ඔවුහු මාංසයේ උල් සමඟ සාර්ථකව කටයුතු කළෝය
ඔවුහු මාංසයේ උල් සමඟ සාර්ථකව කටයුතු කළෝය
“මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි වූ උලක් මාගේ මාංසයෙහි මට දෙන ලද්දේය.”—2 කොරින්ති 12:7.
1. අදදින මිනිසුන් මුහුණ දෙන සමහර ගැටලු මොනවාද?
ඔබ දිගටම පවතින පීඩාවක් සමඟ පොරබදිමින් සිටිනවාද? එසේ නම්, ඔබ තනි වී නැත. ‘කටයුතු කිරීමට අසීරු මේ අර්බුදකාරි කාලවල [NW]’ ජීවත් වන ඇදහිලිවන්ත ක්‍රිස්තියානීහු දරුණු විරුද්ධවාදීකම්, පවුල්වල ප්‍රශ්න, අසනීප, ආර්ථික ගැටලු, චිත්තවේගීය පීඩන, ප්‍රේමනීය කෙනෙකුගේ මරණය ඇතුළු වෙනත් ආකාරයේ අභියෝගවලට මුහුණ දෙමින් සිටිති. (2 තිමෝති 3:1-5) ඇතැම් රටවල පවතින ආහාර හිඟකම් හා යුද්ධ නිසා බොහෝදෙනෙකුගේ ජීවිතවලට පවා තර්ජන එල්ල වී තිබේ.
2, 3. අප මුහුණ දෙන උල් වැනි ගැටලු නිසා ඇති විය හැකි කලකිරෙනසුලු ආකල්පය කුමක්ද? එවන් හැඟීම් අනතුරුදායක විය හැක්කේ කෙසේද?
2 එවන් ගැටලු නිසා තමන්ට කිසිම හව්හරණක් නැතැයි කියා යමෙකු සිතිය හැකියි. විශේෂයෙන්ම ප්‍රශ්න ගැටලු එක පිට එක කඩා පාත් වෙද්දී එසේ හැඟෙන්න පුළුවනි. හිතෝපදේශ 24:10හි පවසන මේ දෙය සැලකිල්ලට ගන්න. “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.” පීඩාවලට මුහුණ දෙද්දී අප කලකිරීමට පත් වුවහොත්, අපට වැඩි වැඩියෙන් අවශ්‍ය කරන ශක්තිය හීන වී ගොස් අන්තිමය දක්වා විඳදරාගැනීමට වූ අපේ අධිෂ්ඨානය දුර්වල වී යා හැකියි. මෙය සිදු වන්නේ කෙසේද?
3 කලකිරීමේ ප්‍රතිඵලයක් හැටියට දේවල් දෙස යථාර්ථවාදීව බැලීමේ අප සතු හැකියාව බොඳ වී යා හැකියි. නිදසුනක් වශයෙන් අප අද්දකින දුෂ්කරතා ගැනම සිත සිතා සිටීම හා අපට අප ගැනම සෑහෙන දුකක් හා අනුකම්පාවක් ඇතිවීම පහසුවෙන්ම සිදු විය හැකි දෙයකි. සමහරුන් වේදනාවෙන් දෙවිගෙන් මෙසේ පවා අසන්න පුළුවනි. “ඇයි ඔබ මට මේ දේවල් වෙන්න ඉඩහරින්නේ?” මෙවන් කලකිරෙනසුලු ඍණ ආකල්පයක් යමෙකුගේ හෘදයෙහි මුල් බැස ගත්තොත්, ඒ තැනැත්තාගේ ප්‍රීතිය හා නිසැකකම ටිකෙන් ටික නැති වී යා හැකියි. දෙවිට සේවය කරන කෙනෙකු කොතරම් දුරට කලකිරීමට පත් විය හැකිද කියනවා නම්, ඔහු “ඇදහිල්ලේ යහපත් සටන” පවා අත්හැර දැමීමට ඉඩ තිබේ.—1 තිමෝති 6:12.
4, 5. ඇතැම් අවස්ථාවලදී සාතන් අපේ ගැටලුවලට සම්බන්ධ වන්නේ කෙසේද? එහෙත් අපට තබාගත හැකි නිසැකකම කුමක්ද?
4 ඇත්තෙන්ම අපට පීඩා ඇති කරන්නේ යෙහෝවා දෙවි නොවෙයි. (යාකොබ් 1:13) අප ඇතැම් පරීක්ෂණවලට මුහුණ දෙන්නේ අප ඔහුට විශ්වාසවන්තව සේවය කිරීමට වෑයම් කරමින් සිටින නිසාය. යෙහෝවාට සේවය කරන සෑම කෙනෙකුම ඔහුගේ ප්‍රධානතම සතුරා වන සාතන් නමැති යක්ෂයාගේ ඉලක්කයක් වේ. “මේ ලෝකයේ [දුෂ්ට] දෙවියා” වන ඔහු තමන්ට ඉතිරි වී තිබෙන කෙටි කාලය තුළ උත්සාහ කරන්නේ යෙහෝවාට ප්‍රේම කරන ඕනෑම කෙනෙකු ඔහුගේ කැමැත්ත කරමින් සිටීම අත්හරින්න සැලැස්වීමයි. (2 කොරින්ති 4:4) සාතන් ලොව පුරා සිටින අපේ සහෝදර සංගමයට හැකි සෑම ආකාරයකින්ම හිංසා පීඩා ඇති කරවයි. (1 පේතෘස් 5:9) අප මුහුණපාන සෑම ගැටලුවකටම සාතන් ඍජුව සම්බන්ධ නොවුවත්, අපව තව තවත් දුර්වල කිරීමට මාන බලමින් අපේ ගැටලු ඔහුගේ වාසියට හරවාගත හැකියි.
5 සාතන් හා ඔහු යොදාගන්න අවි කොතරම් ප්‍රබල විය හැකි වුවත් අපට පුළුවන් ඔහුව පරාජය කරන්න! මේ ගැන අපට නිසැක විය හැක්කේ යෙහෝවා දෙවි අප වෙනුවෙන් සටන් කරන නිසයි. සාතන්ගේ උපායන් ගැන තම සේවකයන්ව දැනුවත් කරන බවට ඔහු නිසැක වී තිබේ. (2 කොරින්ති 2:11) සැබෑ ක්‍රිස්තියානීන් අද්දකින පීඩා ගැන දෙවිගේ වචනය අපට බොහෝ දේ පවසයි. ප්‍රේරිත පාවුල් අද්දුටු පීඩා ගැන සඳහන් කිරීමේදී ‘මාංසයේ උලක්’ යන ප්‍රකාශය බයිබලයේ භාවිත කර තිබේ. එයට හේතුව කුමක්ද? එම ප්‍රකාශය දේවවචනයෙහි පැහැදිලි කරන ආකාරය අපි පරීක්ෂා කර බලමු. පීඩාවලට සාර්ථකව මුහුණ දීම සඳහා යෙහෝවාගේ උපකාරය අවශ්‍ය කරන්නේ අපට පමණක් නොවන බව එසේ පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වේවි.
පීඩා උල්වලට සමාන කිරීමට හේතු
6. ‘මාංසයේ උලක්’ කියා පැවසීමෙන් පාවුල් අදහස් කළේ කුමක්ද? ඒ උල කුමක් විය හැකිද?
6 දැඩි ලෙස පීඩා අද්දුටු පාවුල් දේවානුභාවයෙන් මෙසේ ලීවේය. “මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි වූ උලක් මාගේ මාංසයෙහි මට දෙන ලද්දේය. ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.” (2 කොරින්ති 12:7) පාවුල්ගේ මාංසයෙහි තිබූ මේ උල කුමක්ද? සමට යටින් පසාරු කරගෙන ගොස් තිබෙන උලක් නිසා සෑහෙන වේදනාවක් දැනෙන බව අපි දනිමු. එම ප්‍රකාශයේ පදගතාර්ථයෙන් අදහස් වන්නේ පාවුල්ට ශාරීරිකව, චිත්තවේගීයව හෝ මේ දෙයාකාරයෙන්ම වේදනා ගෙන දුන් දෙයකි. පාවුල්ගේ ඇසක තිබූ ආබාධය හෝ වෙනත් අසනීපයක් නිසා ඔහු විඳි වේදනාව එයින් අදහස් විය හැක. එසේත් නැත්නම් ඔහුට වේදනා ගෙන දුන් උල විය හැක්කේ ප්‍රේරිතයෙකු වශයෙන් ඔහුගේ සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ඔහු කළ දේශනා සේවය හා ඉගැන්වීමේ වැඩය ගැන ප්‍රශ්න කළ අය කළ කී දේවල්ය. (2 කොරින්ති 10:10-12; 11:5, 6, 13) ඔහුගේ මාංසයට ඇනී තිබූ උල කුමක් වුණත්, එය ඉවත් කළ නොහැකි විය.
7, 8. (අ) නිතර නිතර ‘පහර දුන්නා’ යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ කුමක්ද? (ආ) දැන් අපට වේදනා ඇති කරවන ඕනෑම ආකාරයේ උලක් සමඟ සාර්ථකව කටයුතු කිරීම වැදගත් වන්නේ මන්ද?
7 එම උල පාවුල්ට නිතර නිතර පහර දුන් බව සැලකිල්ලට ගන්න. මෙහි පාවුල් යොදාගත් ග්‍රීක් ක්‍රියා පදය රැගෙන තිබෙන්නේ “ඇඟිලි පුරුක් ඇට” සඳහා යොදාගනු ලබන වචනයෙන් වීම සිත්ගන්නා කරුණකි. එම වචනය මතෙව් 26:67හි පදගතාර්ථයෙන්ද 1 කොරින්ති 4:11හි රූපික අර්ථයෙන්ද යොදාගෙන තිබේ. එම වගන්තිවලට අනුව එම වචනයෙන් අදහස් වන්නේ මිට මොළවා එල්ල කරන පහරක් කෑමයි. යෙහෝවා කෙරෙහිත් ඔහුගේ සේවකයන් කෙරෙහිත් සාතන්ට තිබෙන බද්ධ වෛරය ගැන සලකා බලද්දී උලක් නිතර නිතර පාවුල්ට පහර දීම ගැන යක්ෂයා සතුටු වූ බව අපට ස්ථිරව පැවසිය හැකියි. අපත් ඒ හා සමානව මාංසයේ උලකින් වේදනා විඳින විට එදා මෙන් අදත් සාතන් සතුටු වෙයි.
8 එමනිසා පාවුල් මෙන් අපත් එවන් වේදනාකාරි උල්වලට සාර්ථකව මුහුණ දෙන ආකාරය දැන සිටිය යුතුයි. අපේ ජීවිතය රඳා පවතින්නේ එසේ කිරීම මතයි. නැවත කෙදිනකවත් උල් වැනි ගැටලු නොමැති ඔහුගේ නව ලොවේ අප සදාකල් ජීවත් වනවා දැකීම යෙහෝවාගේ ආශාවයි. මෙම මවිතකර ත්‍යාගය ලබාගැනීමට අපට උපකාර කිරීම සඳහා දෙවි ඔහුගේ වචනය වන බයිබලයේ ආදර්ශ බොහොමයක් ඇතුළත් කර තිබේ. ඔහුගේ ඇදහිලිවන්ත සේවකයන් ඔවුන්ගේ මාංසයට ඇනී තිබූ උල් සමඟ සාර්ථකව කටයුතු කළ ආකාරය එම ආදර්ශවලින් දැකගත හැකියි. ඔවුනුත් අප වගේ අසම්පූර්ණ මෙන්ම සාමාන්‍ය මිනිසුන්ය. ‘අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] දුවන්න’ ඒ “මහත් සාක්ෂිකාර සේනාව” අතර සිටින ඇතමුන් ගැන සලකා බැලීම අපට උපකාරවත් විය හැකියි. (හෙබ්‍රෙව් 12:1) ඔවුන් විඳදරාගත් දේවල් ගැන මෙනෙහි කිරීමෙන් සාතන් අපට පීඩා කිරීමට යොදාගත හැකි ඕනෑම ආකාරයේ උලක් සමඟ සාර්ථකව කටයුතු කළ හැකි බවට නිසැකකමක් ඇති කරගත හැකියි.
මෙපිබොෂෙත්ට වේදනා ගෙන දුන් උල්
9, 10. (අ) මෙපිබොෂෙත්ගේ මාංසයට උලක් ඇනුණාක් මෙන් වේදනාවක් ඇති වූයේ කෙසේද? (ආ) දාවිත් රජ මෙපිබොෂෙත්ට කරුණාව පෙන්නුවේ කෙසේද? අපට දාවිත්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?
9 දාවිත්ගේ මිත්‍රයා වූ යොනාතාන්ගේ පුත් මෙපිබොෂෙත් ගැන සිතා බලන්න. ඔහු පස් හැවිරිදි වියේදී ඔහුගේ පියා වූ යොනාතාන්ව හා සීයා වූ සාවුල් රජුව මරා දැමූ බව ආරංචි විය. බියට පත් වූ ඔහුගේ කිරි මව ඔහුවත් රැගෙන පලා ගියාය. ඈ ‘ඉක්මන් කර පලා යද්දී ඔහු වැටී කොර වුණේය.’ (2 සාමුවෙල් 4:4) ඔහු ටිකෙන් ටික වැඩෙද්දී ඔහුගේ පාදයේ ආබාධය ඔහුට සෑහෙන වේදනාවක් ගෙන දුන් උලක් වූවාට සැකයක් නැත.
10 අවුරුදු කිහිපයකට පසු දාවිත් රජ යොනාතාන් කෙරෙහි තිබූ ඉමහත් ප්‍රේමය නිසා මෙපිබොෂෙත්ට ප්‍රේමනීය-කරුණාව පෙන්නුවේය. දාවිත් සාවුල්ගේ දේපොළ සියල්ලම ඔහුට දී, එය බලාගැනීමට සාවුල්ගේ සේවකයෙකු වූ ශීබාව පත් කළේය. “නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහිය” කියාද දාවිත් මෙපිබොෂෙත්ට පැවසුවේය. (2 සාමුවෙල් 9:6-10) මෙලෙස දාවිත් පෙන්වූ ප්‍රේමනීය-කරුණාව මෙපිබොෂෙත්ට සැනසිල්ලක් ගෙන දුන් බවට සැකයක් නැත. එමෙන්ම ඔහුගේ පාදයේ ආබාධය නිසා දැනුණු වේදනාව සමනය කරගැනීමටත් එමගින් හැකි විය. දාවිත් තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක්ද! මාංසයේ උලක් නිසා හටගන්න වේදනාව දරාගැනීමට සටනක් කරන අයට අපත් කරුණාව පෙන්විය යුතුයි.
11. ශීබා මෙපිබොෂෙත් ගැන දාවිත්ට පැවසුවේ කුමක්ද? ඔහු පැවසුවේ බොරුවක් කියා අප දන්නේ කෙසේද? (පාදසටහන බලන්න.)
11 පසු කාලයේදී මෙපිබොෂෙත්ට තවත් මාංසයේ උලක් සමඟ කටයුතු කරන්න සිදු විය. ඔහුගේ සේවකයා වූ ශීබා දාවිත් රජුට ඔහු ගැන ද්වේෂසහගත ලෙස බොරු කීවේය. මේ කාලය වන විට දාවිත් ඔහුගේ පුත් අබ්සොලොම් ඔහුට විරුද්ධව ගැසූ කැරැල්ල නිසා යෙරුසලමෙන් පලා ගොස් තිබිණ. මෙපිබොෂෙත් දාවිත්ගේ පැත්ත නොගෙන යෙරුසලමේ නතර වූයේ රජකම ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් බව ශීබා පැවසුවේය. a ශීබා පැවසූ මේ බොරුව දාවිත් විශ්වාස කර, මෙපිබොෂෙත්ගේ දේපොළ සියල්ලම ඒ බොරුකාරයාට පැවරුවේය.—2 සාමුවෙල් 16:1-4.
12. තමා මුහුණු දුන් තත්වය හමුවෙහි මෙපිබොෂෙත් ක්‍රියා කළේ කෙසේද? ඔහු අපට කදිම ආදර්ශයක් සපයන්නේ කෙසේද?
12 කෙසේවෙතත්, මෙපිබොෂෙත් අවසානයේදී දාවිත්ව හමු වූ අවස්ථාවේදී සැබෑ සිද්ධිය ඔහුට පැවසුවේය. ඇත්තෙන්ම මෙපිබොෂෙත් දාවිත්ගේ කණ්ඩායමට එක් වෙන්න සූදානමින් සිටියේය. එහෙත් ශීබා ඔහුව රවටා ඔහු වෙනුවට රජු ළඟට යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ශීබා කළ මේ වරද දාවිත් නිසියාකාරයෙන් නිවැරදි කළාද? ඔහු මෙය විසඳුවේ බාගෙටයි. ඔහු දේපොළ ඔවුන් දෙදෙනාටම බෙදා දුන්නේය. මෙහිදී හරි විසඳුමක් නොලැබීම නිසා තවත් මාංසයේ උලක් මෙපිබොෂෙත් හමුවෙහි විය. ඔහු සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත් වූවාද? දාවිත් ගත් තීරණය අසාධාරණයි කියා මෙපිබොෂෙත් ඔහුට දෝෂාරෝපණය කළාද? නැත. දාවිත්ගේ කැමැත්තට ඔහු නිහතමානීව එකඟ වූයේය. ඔහු වැඩියෙන්ම සිත යොමු කළේ මේ සිද්ධියේදී වූ යහපත් දේවල්වලටයි. ඉශ්රායෙල්හි රජු වීමට අයිතිවාසිකමක් තිබූ තැනැත්තා සුරක්ෂිතව ආපසු පැමිණීම ගැන ඔහු සතුටු වූයේය. තමාගේ ශාරීරික ආබාධය, ද්වේෂසහගත ලෙස තමා ගැන කියූ බොරු හා බලාපොරොත්තු සුන්වීම යන මේ සියල්ල හමුවෙහි විඳදරාගැනීමෙන් මෙපිබොෂෙත් තැබුවේ විශිෂ්ට ආදර්ශයකි.—2 සාමුවෙල් 19:24-30.
පීඩාවලට සාර්ථකව මුහුණ දුන් නෙහෙමියා
13, 14. යෙරුසලමේ පවුරු නැවත ගොඩනැඟීමට පැමිණි කාලයේදී නෙහෙමියාට විඳදරාගැනීමට සිදු වූයේ උල් වැනි වූ කෙබඳු ආකාරයේ වේදනාවන්ද?
13 නෙහෙමියා පො.යු.පෙ. පස්වන සියවසේදී පවුරුවලින් වට කර නොතිබූ යෙරුසලම් නගරයට පැමිණි අවස්ථාවේදී, ඔහුට විඳදරාගැනීමට සිදු වූ උල් වැනි වේදනා ගැන සිතා බලන්න. නගරය අනාරක්ෂිතව තිබෙන බවත්, එය යළි ගොඩනැඟීමට පැමිණි යුදෙව්වන් වැඩකටයුතු සංවිධානය නොකර අධෛර්යයට පත්ව සිටි බවත්, යෙහෝවාගේ ඇස් හමුවෙහි අපවිත්‍ර දේවල් කරමින් සිටි බවත් ඔහු දුටුවේය. යෙරුසලමේ පවුරු නැවත ගොඩනැඟීමට අර්තක්ෂස්තා රජු අවසර දී තිබුණත් අසල දේශවල සිටි පාලකයන් නුවර ගොඩනැඟීමට තමා පැමිණ සිටීම ගැන වෛරයෙන් සිටි බව නෙහෙමියාට වැඩි කල් නොගොස් තේරුම්ගත හැකි විය. ඔවුහු “ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණු කරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාප වූහ.”—නෙහෙමියා 2:10.
14 විරුද්ධවාදීකම් එල්ල කළ ඒ විදේශ ජාතීහු නෙහෙමියාගේ වැඩ කටයුතු නතර කර දැමීමට ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කළහ. ඔවුන්ගේ තර්ජන, බොරු චෝදනා, නිග්‍රහ කිරීම් හා බියගැන්වීම් මෙන්ම ඔහුව අධෛර්යය කිරීමට ඔත්තුකාරයන්ව එවීම ඔහුට නිතර නිතර වේදනා ගෙන දුන් උලක් මෙන් වූවාට සැකයක් නැත. එම සතුරන්ගේ කූට උපායන් නිසා ඔහුගේ වැඩ කටයුතු ඔහු නතර කළාද? නැත. ඔහු අධෛර්යය නොවී දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබුවේය. යෙරුසලමේ පවුරු ගොඩනැඟීම අවසන් වූ පසු යෙහෝවා ප්‍රේමනීය ලෙස නෙහෙමියාව උසුලා තිබුණු බව පැහැදිලිව දැකගත හැකි විය.—නෙහෙමියා 4:1-12; 6:1-19.
15. නෙහෙමියාට දැඩි සිත් වේදනාවක් ගෙන දුන්නේ යුදෙව්වන් අතර පැවති කිනම් ගැටලුද?
15 පාලකයෙකු ලෙස, නෙහෙමියාට දෙවිගේ සෙනඟ අතර තිබූ බොහෝ ගැටලු සමඟද කටයුතු කිරීමට සිදු විය. එම සෙනඟ යෙහෝවා සමඟ භුක්ති විඳි සබඳතාවට උල් වැනි එම දුෂ්කරතා මගින් ඇති කළ බලපෑම ගැන ඔහු දැඩි ලෙස සිත්තැවුලට පත් වූයේය. ධනවතුන් අධික පොලී අය කළ අතර ඔවුන්ගේ දුප්පත් සහෝදරයන්ට තමන්ගේ ණය හා පර්සියානු ආණ්ඩුවට බදු ගෙවීම සඳහා තමන්ගේ ඉඩම් අත්හැරීමට මෙන්ම දරුවන්ව පවා දාසයන් හැටියට විකිණීමට සිදු විය. (නෙහෙමියා 5:1-10) යුදෙව්වන් බොහෝදෙනෙක් සබත් දවස කඩ කරමින් සිටි අතර ලෙවීවරුන්ට හා දේවමාළිගාවට අවශ්‍ය දේවල් සැපයීම නතර කර දැමූහ. එපමණක්ද නොව, සමහරුන් “අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පවාගෙන” තිබිණ. මේ දේවල් නිසා නෙහෙමියාගේ සිතට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! එහෙත් උල් වැනි මේ කිසිම දෙයකට ඔහුව නතර කිරීමට නොහැකි විය. දෙවිගේ ධර්මිෂ්ඨ නීති රක්ෂා කිරීමට ජ්වලිතව කටයුතු කළ ඔහු ඒ සෑම අවස්ථාවකටම සාර්ථකව මුහුණ දුන්නේය. අන් අය දෙවිගේ ප්‍රමිති කඩ කරමින් හැසිරෙන විට, යෙහෝවාට පක්ෂපාතව සේවය කිරීම අත්හැරීමට නෙහෙමියා මෙන් අපත් එය හේතුවක් කර නොගනිමු.—නෙහෙමියා 13:10-13, 23-27.
සාර්ථකව මුහුණ දුන් වෙනත් බොහෝ ඇදහිලිවන්තයෝ
16-18. පවුල තුළ ඇති වූ ගැටලු නිසා ඊසාක්, රෙබෙකා, හන්නා, දාවිත් හා හොෂෙයා යන අය වේදනා අද්දැක්කේ කෙසේද?
16 උල්වලින් අනින්නාක් මෙන් දැනෙන වේදනාකාරි තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කළ තව බොහෝදෙනෙකුගේ ආදර්ශ බයිබලයේ සඳහන් වේ. බොහෝදෙනෙකු අද්දුටු එවන් උල්වලින් එකක් වන්නේ පවුල තුළ මතු වන ගැටලුයි. ඒසව්ගේ භාර්යාවන් දෙදෙනා ඔහුගේ දෙමාපියන් වූ ‘ඊසාක්ගේද රෙබෙකාගේද ශෝකයට හේතුවක් වූහ.’ එම භාර්යාවන් නිසා තමාගේ ජීවිතය පවා එපා වී තිබේ කියා රෙබෙකා පැවසුවාය. (උත්පත්ති 26:34, 35; 27:46) හන්නාට මුහුණ පෑමට සිදු වූ වේදනාව ගැනද සිතා බලන්න. හන්නා වඳව සිටි නිසා ඇගේ ස්වාමිපුරුෂයාගේ අනිත් භාර්යාව වූ පෙනින්නා ඇයට “බොහෝසෙයින් තරහ ඉපදෙවුවාය.” ඇතැම්විට හන්නා නිවසේ තනිව සිටි අවස්ථාවලදී පෙනින්නාගේ උපහාසයට නිතර නිතර ලක් වූවා විය හැකියි. පවුලේ අය ෂීලෝහි පැවති මංගල්‍යයට ගිය අවස්ථාවලදී පෙනින්නා නෑදෑයන් හා මිතුරන් ඉදිරියෙහි හන්නාට සමච්චල් කිරීමෙන් සිත් වේදනා ඇති කළ බවට සැකයක් නැත. මෙය හන්නාගේ මාංසයට ඇනී තිබූ උලක් තව තවත් ඇගේ මාංසය පසාරු කරගෙන යෑමට සැලැස්වූ යමක් හා සමාන විය.—1 සාමුවෙල් 1:4-7.
17 දාවිත්ගේ මාමණ්ඩි වූ සාවුල් රජ ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වියරු වැටීම නිසා දාවිත්ට විඳදරාගැනීමට සිදු වූ දේවල් ගැන සිතා බලන්න. තමාගේ ජීවිතය රැකගැනීම සඳහා දාවිත්ට ජීවත් වීමට සිදු වූයේ ඒන්-ගෙදියේ තිබූ පාළුකරයේ පිහිටි ගල් ගුහාවලය. එහි ගත කළ කාලයේදී භයානක ගිරි දුර්ග හරහා ගමන් කිරීමට ඔහුට සිදු විය. ඔහු සාවුල්ට විරුද්ධව කිසිම වරදක් කළේ නැත. එහෙත් අයුක්තිසහගත ලෙස එසේ දුක් විඳීම ගැන දාවිත්ට දැඩි වේදනාවක් දැනුණු බව නිසැකයි. දාවිත්ට අවුරුදු ගණනාවක් තැනින් තැනට පලා යෑමට සිදු වූයේ ඔහු සාවුල්ගේ ඊර්ෂ්‍යාවට ලක්වීම නිසාය.—1 සාමුවෙල් 24:14, 15; හිතෝපදේශ 27:4.
18 අනාගතවක්තෘ හොෂෙයාට ඔහුගේ පවුලේ ඇති වූ ගැටලු නිසා මුහුණ පෑමට සිදු වූ තත්වය ගැන සිතා බලන්න. ඔහුගේ භාර්යාව වෙනත් පුරුෂයන් සමඟ දුරාචාරයේ හැසිරීම ඔහුගේ සිතට උල්වලින් අනින්නාක් මෙන් දැනෙන්න ඇති. වේශ්‍යාකමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇය අවජාතක දරුවන් දෙදෙනෙකු බිහි කළ අවස්ථාවේදී ඔහු මොනතරම් මානසික වේදනාවක් අද්දකින්න ඇද්ද!—හොෂෙයා 1:2-9.
19. අනාගතවක්තෘ මීකායා වේදනා වින්දේ කුමන හිංසා පීඩා නිසාද?
19 තවත් ආකාරයේ මාංසයේ උලක් වන්නේ හිංසා පීඩාය. අනාගතවක්තෘ මීකායාගේ අද්දැකීම සලකා බලන්න. දුෂ්ට ආහබ් රජ බොරු අනාගතවක්තෘවරුන් පිරිවරාගෙන සිටිනවා දැකීම හා ඔවුන් පැවසූ අමූලික බොරු ඔහු විශ්වාස කිරීම ධර්මිෂ්ඨකම ලුහුබඳිමින් සිටි මීකායාට වේදනාවක් ගෙන දෙන්න ඇති. මේ සියලුම අනාගතවක්තෘවරුන් කතා කරන්නේ “බොරුකාර ආත්මයක්” මගින් කියා මීකායා ආහබ්ට පැවසූ විට එම බොරුකාරයන්ගේ නායකයා කළේ කුමක්ද? ඔහු ‘මීකායාගේ කම්මුලට ගැසුවේය.’ ඊටත් වඩා වේදනාවක් ගෙන දුන්නේ රාමොත් ගිලියද් අත් පත් කරගැනීමේ සටන පරාජය වන බවට යෙහෝවාගෙන් ලැබුණු අනතුරු ඇඟවීමට ආහබ් දැක්වූ ප්රතිචාරයයි. මීකායාව සිර කර හරි හැටි ආහාර පාන නොදෙන්න කියා ආහබ් අණ කළේය. (1 රාජාවලිය 22:6, 9, 15-17, 23-28) එමෙන්ම යෙරෙමියා ගැනත් ඔහුට හිංසා පීඩා කරමින් ඝාතනය කිරීමට තැත් කළ අය ඔහුට සැලකූ ආකාරය ගැනත් මතක් කරගන්න.—යෙරෙමියා 20:1-9.
20. නායොමිට විඳදරාගැනීමට සිදු වූ මාංසයේ උල් මොනවාද? ඇය ආශීර්වාද ලැබුවේ කෙසේද?
20 තමන් ප්‍රේම කරන අයගේ මරණයද මාංසයට උලක් ඇනී තිබෙන්නාක් මෙන් වේදනාව ගෙන දෙන දෙයකි. තම ස්වාමිපුරුෂයාගේ හා පුතුන් දෙදෙනාගේ වියෝවීම නිසා ඇති වූ වේදනාව දරාගැනීමට නායෝමිට සිදු විය. ඇය ආපසු බෙත්ලෙහෙමේ පදිංචි වීමට පැමිණීමෙන් පසු පවා ඇගේ වියෝ දුක පහ වූයේ නැත. ඇයට නායොමියයි නොකියා, ඇගේ වේදනාකාරි අද්දැකීම් මතකයට නංවන වදනක් වූ මාරායයි කියන්න කියා ඇය ඇගේ යෙහෙළියන්ට පැවසුවාය. කෙසේවෙතත් පසු කාලයේදී යෙහෝවා ඇගේ විඳදරාගැනීමට ආශීර්වාද කරමින් මෙසියස්ගේ පෙළපතට උරුමකම් කියන මුනුපුරෙකු ඇයට ලබා දුන්නේය.—රූත් 1:3-5, 19-21; 4:13-17; මතෙව් 1:1, 5.
21, 22. යෝබ් වියෝ දුකෙන් හා වෙනත් දේ අහිමි වීමෙන් වේදනා වින්දේ කෙසේද? ඔහු එයට මුහුණ දුන්නේ කෙසේද?
21 යෝබ් ඔහුගේ ආදරණීය දරුවන් දහදෙනා හදිසියේම මරණයට පත්වීම ගැනත් සේවකයන් ඇතුළු ඔහුගේ එළු බැටළු රැළවල් විනාශ වීම ගැනත් ආරංචි වූ අවස්ථාවේදී මොනතරම් කම්පනයට පත් වූවාද කියා සිතන්න. ඔහුගේ මුළු ලෝකයම නිමේෂයකින් කඩා වැටුණාක් මෙන් ඔහුට දැනිණ. විපත්ති පිට විපත්ති යෝබ් පිටට පැමිණෙද්දී සාතන්ද ඔහුට රෝගයකින් පහර දුන්නේය. මෙම දරුණු රෝගය නිසා තමා මරණයට ළං වෙමින් සිටි බව යෝබ්ට හැඟෙන්න ඇති. ඔහු විඳි වේදනාව මොනතරම්ද කියනවා නම් මිය යෑම සහනයක් කියා ඔහුට හැඟුණේය.—යෝබ් 1:13-20; 2:7, 8.
22 මේ සියල්ල මදිවට ශෝකයට පත්ව සිටි ඔහුගේ භාර්යාව ඔහු ළඟට ඇවිත් වේදනාවෙන් මෙසේ පැවසුවාය. ‘දෙවිව අත්හැර මැරෙන්න.’ මෙම වදන් වේදනාවෙන් පෙළුණු ඔහුගේ මාංසය පසාරු කරගෙන ගිය උලක් මෙන් විය. පසුව ඔහුගේ මිතුරන් තිදෙනා ඔහුව සනසනවා වෙනුවට බොරු තර්ක විතර්කවලින් ඔහුගේ වේදනාව තවත් වැඩි කළහ. ඔහු රහසින් පව් කර තිබෙන බවත්, ඔහු දුක් විඳීමට හේතුව ඔහුගේ අවාසනාව බවත් කියා ඔහුට චෝදනා කළහ. වැරදි වැටහීම් මත ඔවුන් කළ තර්ක විතර්කවලින් ඔහුගේ මාංසයට ඇනී තිබූ උල් තව තවත් ඔහුගේ මාංසය පසාරු කරගෙන යන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහු අද්දුටු වේදනාකාරි දේවලට හේතුවවත් ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවන බවවත් ඔහු දැන සිටියේ නැති බව සැලකිල්ලට ගන්න. එහෙත් “මේ සියල්ලේදී යෝබ් පව් කළේවත් අඥානකමින් [දෙවිට] දොස් තැබුවේවත් නැත.” (යෝබ් 1:22; 2:9, 10; 3:3; 14:13; 30:17) එකවිට උල් රැසකින් වේදනා වින්දත් ඔහු කිසිවිටකත් ඔහුගේ අඛණ්ඩතාව අත්හැරියේ නැත. මොනතරම් දිරිගන්වනසුලු ආදර්ශයක්ද!
23. අප සාකච්ඡා කළ විශ්වාසවන්ත සේවකයන්ට විවිධාකාර මාංසයේ උල්වලින් හටගත් වේදනාව දරාගැනීමට හැකි වූයේ මන්ද?
23 කලින් සඳහන් කළා හා සමාන ආදර්ශ රැසක් බයිබලයේ අඩංගු වේ. මේ සෑම විශ්වාසවන්ත සේවකයෙකුටම මාංසයේ උල් සමඟ කටයුතු කිරීමට සිදු විය. ඔවුන් මුහුණ දුන් ගැටලු විවිධාකාර වුවත් ඔවුන් සියලුදෙනාටම පොදු දෙයක් තිබිණ. ඔවුන්ගෙන් කිසිවෙක් යෙහෝවාට කරන සේවය අත්හැරියේ නැත. දැඩි පීඩනයක් එල්ල කළ පරීක්ෂණ මැද ඔවුහු යෙහෝවා සපයා දුන් ශක්තියේ ආධාරයෙන් සාතන්ව පරාජය කළහ. ඒ කෙසේද? ඊළඟ ලිපිය මේ ප්‍රශ්නයට උත්තර දෙන අතර අපේ මාංසයට ඇනී තිබෙන උලක් හා සමාන ඕනෑම දෙයකට අපටත් සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය පෙන්වා දෙයි.
[පාදසටහන]
a මෙපිබොෂෙත් වැනි කෘතවේදී නිහතමානි කෙනෙකු බලලෝභයෙන් පෙළුණා කියා සිතිය නොහැකියි. ඔහුගේ පියා වූ යොනාතාන් විශ්වාසවන්තකම සම්බන්ධයෙන් තැබූ කදිම වාර්තාව ගැන ඔහු හොඳින් දැන සිටි බවට සැකයක් නැත. සාවුල්ගේ පුත්‍රයා වුණත් යොනාතාන් නිහතමානීව පිළිගත්තේ යෙහෝවා ඉශ්රායෙල් කෙරෙහි රජු ලෙස තෝරාගෙන තිබෙන්නේ දාවිත්ව බවයි. (1 සාමුවෙල් 20:12-17) මෙපිබොෂෙත්ගේ දේවබියැති පියා මෙන්ම දාවිත්ගේ පක්ෂපාත මිතුරා වශයෙන් යොනාතාන් රාජකීය බලයට දැඩි ආශාවක් ඔහුගේ පුත්‍රයා තුළ ඇති කළා කියා සිතිය නොහැකියි.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
• අප මුහුණ දෙන ගැටලු මාංසයට ඇනී තිබෙන උල්වලට සමාන කළ හැක්කේ මන්ද?
• මෙපිබොෂෙත්ට හා නෙහෙමියාට විඳදරාගැනීමට සිදු වූ මාංසයේ උල් සමහරක් මොනවාද?
• විවිධාකාර මාංසයේ උල්වලින් හටගත් වේදනා විඳදරාගත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් පුරුෂයන්ගේ හා ස්ත්රීන්ගේ ආදර්ශ රාශිය අතුරින් ඔබ කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කළ ආදර්ශය කුමක්ද? ඒ මන්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[15වන පිටුවේ පින්තූර]
මෙපිබොෂෙත්ට ශාරීරික ආබාධ, අපවාද හා බලාපොරොත්තු සුන්වීම සමඟ කටයුතු කිරීමට සිදු විය
[16වන පිටුවේ පින්තූරය]
විරුද්ධවාදීකම් නිසා නෙහෙමියා අධෛර්යයට පත් වූයේ නැත