පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
හෙබ්‍රෙව් 12:4හි, ‘ඔබ තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත’ යන්නෙහි ගැබ් වී ඇති අරුත කුමක්ද?
‘ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටීම’ යන වගන්තියේ අදහස නම් ඔබේ විශ්වාසවන්තකම බිඳ හෙළීමට පැමිණෙන පීඩාවන්ට විරුද්ධව සිටීම මරණය දක්වාම කළ යුතු බවය. පදගතාර්ථමය අදහස නම් කෙනෙකුට ලේ වගුරන තත්වයකට මුහුණ දෙන්න සිදු වුවත් ස්ථිරව සිටීමයි.
හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගෙන් සමහරෙකු තම ඇදහිල්ල නිසාවෙන් “දුක් පීඩා හා සමඟ මහා සටනක යෙදෙමින් [ඒ වන විටත්] ස්ථිර ව සිටි” බව ප්‍රේරිත පාවුල් දැන සිටියේය. (හෙබ්‍රෙව් 10:32, 33, නව අනුවාදය) දිවීමේ තරඟ, මල්ලව පොර, බොක්සිං තරඟ, කව පෙත්ත සහ හෙල්ලය විසි කිරීම වැනි අංගයන් ඇතුළත් ග්‍රීක මලල ක්‍රීඩා උළෙලක තිබෙන දැඩි සටනත් ක්‍රිස්තියානීන් ඇදහිල්ල උදෙසා කරන සටනත් අතර තිබෙන සමානකම මෙහිදී පාවුල් ගෙනහැර දක්වන බවක් දක්නට තිබේ. මේ නිසයි, හෙබ්‍රෙව් 12:1හි “සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයද අහක දමා, . . . අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] දුවමු” කියා ඔහු සෙසු ක්‍රිස්තියානීන්ගෙන් අයැද සිටියේ.
වගන්ති තුනකට පසු හෙබ්‍රෙව් 12:4හි පාවුල් සමහර විට ධාවන තරඟයක සිට බොක්සිං තරඟයක චිත්ත රූපයකට අදහස මාරු කරමින් සිටියා විය හැකියි. (1 කොරින්ති 9:26හි ධාවකයන් පිළිබඳවත් බොක්සිං ක්‍රීඩකයන් පිළිබඳවත් සඳහන් කර තිබේ.) පුරාණ බොක්සිං ක්‍රීඩකයන් තම අත් මිට සහ මැණික් කටුව වටා හම් පටියක් පැළඳ සිටියේය. එම හම් පටියේ “ඊයම්, යකඩ හෝ වානේ ඇණ ඔබ්බවා තිබුණි. එම ඇණ මගින් බොක්සිං ක්‍රීඩකයන්ට මාරාන්තික තුවාල ඇති කරවීය.” මෙවන් සහසික තරඟ හේතුවෙන් ලේ ගැලීම් සහ සමහර අවස්ථාවන්වල මරණය පවා අත් විඳින්න සිදු විය.
පීඩා හා “ලේ වැගිරෙන තෙක්” එනම් මරණය අත් විඳින තරමට අමානුෂික වධ හිංසා විඳි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පිළිබඳ ආදර්ශයන් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීහු හොඳ හැටි දැන සිටියහ. පුරාණ ඇදහිලිවන්තයන් විඳි පීඩාවන් පිළිබඳව පාවුල් පවසන දේ සැලකිල්ලට ගන්න.
“ඔවුහු ගල් ගසනු ලැබුවෝය. කියතෙන් ඉරනු ලැබුවෝය. පරීක්ෂා කරනු ලැබුවෝය. කඩුවෙන් මරනු ලැබුවෝය. ඔවුහු අසරණකමද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.” ඉන්පසු පාවුල් අපේ ඇදහිල්ලේ ආදර්ශකයා වන යේසුස් ගැන හුවා දක්වයි. ‘ඔහු ලජ්ජාව නොසලකා වද කණුව දරාගෙන, පසුව දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි හිඳගත්තේය.’ —හෙබ්‍රෙව් 11:37; 12:2.
ඇත්තෙන්ම බොහෝදෙනෙකු තම ස්ථාවරය පවත්වාගැනීමට “ලේ වැගිරෙන තෙක්” එනම් මරණය දක්වා ස්ථිරව කටයුතු කර තිබේ. ඔවුන්ගේ විරුද්ධ වීම, ඇදහිල්ලේ ඌනතාවය නමැති පාපයට එරෙහිව කරන ඇතුළාන්ත පොර බැදීමකට වඩා වැඩි යමක් විය. ඔවුහු අමානුෂික ශාරීරික වධ හිංසා මැද පක්ෂපාතව සිටිමින් තම විශ්වාසවන්තකම මරණ මංචකය දක්වා පවත්වාගත්හ.
කුරිරු පීඩාවන් සමනය වුණායින් පසුව, යෙරුසලමේ පිහිටි සභාවේ නවක ක්‍රිස්තියානීන්ට මරණයට සහ කුරිරු වධ හිංසාවන්ට මුහුණ දීමට සිදු වූයේ නැත. (ක්‍රියා 7:54-60; 12:1, 2; හෙබ්‍රෙව් 13:7) ඔවුන්ට දැඩි පීඩා නොතිබුණත් උරුම කරගෙන තිබූ පාපය නිසා සමහරෙක් නොකඩවා ස්ථිරව සිටීම අත්හැරියහ. එනම්, ‘ඔවුහු සිත්වලින් ක්ලාන්ත වී වෙහෙසට පත් වී සිටියහ.’ (හෙබ්‍රෙව් 12:3) මේරුකම දක්වා ප්‍රගතිය ලැබීමේ අවශ්‍යතාව ඔවුන්ට තිබිණි. එය තම දිවි පුදන තරම් ශාරීරික වධ හිංසාවලට මුහුණ දීම ඇතුළු පැමිණෙන ඕනෑම දෙයක් විඳදරාගැනීමට හැකියාවක් ඔවුන් තුළ ගොඩනංවනු ඇත.—හෙබ්‍රෙව් 6:1; 12:7-11.
නවීන කාලයේ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු තම ක්‍රිස්තියානි ධර්මය පාවා නොදෙමින් “ලේ වැගිරෙන තෙක් විරුද්ධව” සිටි නිසා ඔවුන්ව ඝාතනය කර තිබේ. හෙබ්‍රෙව් 12:4හි ඇති පාවුල්ගේ වදන් ගැන බියක් ඇති කරගන්නවා වෙනුවට, අප දෙවිට කොතරම් දුරකට පක්ෂපාතකම දැක්වීමට අදිටන් කරගෙන සිටිය යුතුද යන්න පෙන්වීමට තිබෙන ඉඟියක් ලෙස අපට එය සැලකිය හැකියි. හෙබ්‍රෙව්වරුන්ට ලියූ එම ලිපියේම අග භාගයේ පාවුල් මෙසේ සඳහන් කළේය. “අපි, ගෞරවයෙන්ද දේවභයින්ද [දෙවිට] ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.”—හෙබ්‍රෙව් 12:28.