Skip to content

පටුනට යන්න

ඉපැරණි ලෝකයක් විනාශ වී ගියේ මන්ද?

ඉපැරණි ලෝකයක් විනාශ වී ගියේ මන්ද?

ඉපැරණි ලෝකයක් විනාශ වී ගියේ මන්ද?

සමස්ත ලෝක ජලගැල්ම ස්වාභාවික ආපදාවකින් ඇති වූ විනාශයක් නෙවෙයි. එය දෙවි විසින් පමුණුවන ලද විනිශ්චයක ප්‍රතිඵලයක්. ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් දී තිබුණත් ඒවා නොසලකා හැර තිබුණා. ඒ ඇයි? යේසුස් එය පැහැදිලි කළේ මෙසේයි. “ජලගැල්මට පෙර ඒ දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා, [මිනිස්සු] කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසිදු තැකීමක් නොකර සිටියහ.”—මතෙව් 24:38, 39, NW.

දියුණු ශිෂ්ටාචාරයක්

ජලගැල්මට පෙර පැවති ශිෂ්ටාචාරය අපි අද භුක්ති නොවිඳින දේවල් රැසකින් ප්‍රයෝජන ලබාගත්තා. උදාහරණයකට, සියලුම ජනයා කතා කළේ එකම භාෂාවයි. (උත්පත්ති 11:1) විවිධ කුසලතාවන් ඇති දක්ෂ මිනිසුන්ගේ සාමූහික ප්‍රයත්නය අවශ්‍ය කරවන විද්‍යාව හා කලාව වැනි ක්ෂේත්‍රයන්වල නිපුණ වීමට මෙය ඉවහල් වන්න ඇති. ඒ වගේම බොහෝදෙනෙකුට දීර්ඝායුෂ තිබුණ නිසා සියවස් ගණනාවක් පුරා ඉගෙනගනිමින් දැනුම් සම්භාරයක් රැස් කරගැනීමටත් පුළුවන් වුණා.

ඒ කාලයේ විසූ මිනිසා දීර්ඝායුෂ භුක්ති වින්දේ නැති බවත් බයිබල් වාර්තාවේ අවුරුදු වශයෙන් සඳහන් කරන විට එයින් ඇඟවූයේ මාස බවත් ඇතමෙක් පවසනවා. මෙය ඇත්තක් විය හැකිද? හොඳයි, උදාහරණයකට මහලලෙල්ව ගන්න. “මහලලෙල් සැටපස් අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව යරෙද් උපන්නේය. . . . මහලලෙල්ගේ සියලු දවස් අටසිය අනූපස් අවුරුද්දක්ය. ඔහු මළේය” කියා බයිබලයේ පවසනවා. (උත්පත්ති 5:15-17) අවුරුද්දක් කියන්නේ මාසයකට නම් තම පුතා ඉපදෙන විට මහලලෙල්ගේ වයස වූයේ අවුරුදු පහක් පමණයි! ඇත්තෙන්ම එය එසේ විය නොහැකියි. ඒ කාලයේ විසූ ජනයා පළමු මිනිසා වූ ආදම්ගේ පරිපූර්ණ ස්වභාවයට වඩාත් සමීපව සිටිය බැවින් සියවස් ගණනාවක් පුරා ජීවත් වීමට ඔවුන්ට හැකි වුණා. එහෙමනම්, ඔවුන් සමත් වුණේ මොන වගේ දේවල් කිරීමටද?

ජලගැල්මට සියවස් ගණනාවකට පෙර, ජනගහනය කොයිතරම් වර්ධනය වී තිබුණාද කිව්වොත් නගරයක් පවා ගොඩනැඟීමට ආදම්ගේ පුත් කායින් සමත් වූ අතර ඔහු එම නගරයට ඒනොක් යන නම තැබුවා. (උත්පත්ති 4:17) ජලගැල්මට පෙර කාලවලදී විවිධ කර්මාන්ත දියුණු වීමට පටන්ගත්තා. “සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ” තැනීම සඳහා කම්හල්ද තිබුණා. (උත්පත්ති 4:22) ගොඩනැඟීමේ කටයුතු, වඩු වැඩ, ඇඳුම් මැසීම හා කෘෂි කර්මාන්තය සඳහා මෙම ආයුධ භාවිත කළ බව නිසැකයි. මන්ද මිහිපිට විසූ පැරණිතම මිනිසුන්ගේ ඉතිහාසගත වාර්තාවල මේ සෑම කර්මාන්තයක් හා ව්‍යාපාරයක් ගැනම සඳහන් වෙනවා.

දැනුම් සම්භාරයක් රැස් කරගෙන තිබුණ නිසා ලෝහ විද්‍යාව, ශස්‍ය විද්‍යාව, බැටළුවන් හා ගවයන් ඇති කිරීම, ලේඛන ශිල්පය, චිත්‍ර, නැටුම් හා සංගීතය වැනි විශේෂ කුසලතාවන් ප්‍රවර්ධනය කරගැනීමට ඉදිරි පරම්පරාවලටත් හැකියාව ලැබුණා. උදාහරණයකට, ‘වීණාවත් නළාවත් පාවිච්චි කරන සියල්ලන්ගේ පියා යූබාල්’ බව සඳහන් වෙනවා. (උත්පත්ති 4:21) ශිෂ්ටාචාරය ඉතා දියුණු තත්වයකයි තිබුණේ. එහෙත් එක සැණින්ම ඒ සියල්ලම නැති වී ගියා. සිදු වුණේ කුමක්ද?

වැරදුණේ කොතැනද?

ජලගැල්මට පෙර විසූ සමාජය කොයිතරම් දියුණුවක් ලබා තිබුණත් එයට තිබුණේ නරක ආරම්භයක්. එහි පියා වන ආදම් දෙවිට විරුද්ධව කැරලිගැසූ කෙනෙක්. ලිඛිත වාර්තාවල මුලින්ම සඳහන් නගරය ගොඩනැඟූ කායින් තමාගේම සහෝදරයාව මරා දමා තිබුණා. දුෂ්ටකම වේගයෙන් ප්‍රවර්ධනය වුණ එක පුදුමයක්ද! ආදම් තම දරුවන්ට දායාද කර දුන් කැළැල් වූ උරුමයේ ප්‍රතිඵලයක් වශයෙන් තත්වය එන්න එන්නම දරුණු අතට හැරුණා.—රෝම 5:12.

මෙම තත්වය පවතින්න ඉඩහරින්නේ තව අවුරුදු 120ක් පමණයි කියා යෙහෝවා සඳහන් කරද්දී දුෂ්ටකම උච්චාවස්ථාවකට පැමිණෙමින් තිබූ බව පැහැදිලියි. (උත්පත්ති 6:3) බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් වූවා. ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන්ම නපුරුව තිබුණා. පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණා.’—උත්පත්ති 6:5, 11.

කල් යත්ම, ජලගැල්මක් මාර්ගයෙන් මාංසමය වූ සියල්ලන්ව විනාශ කරන බව දෙවි නිශ්චිතවම නෝවාට දැනුම් දුන්නා. (උත්පත්ති 6:13, 17) නෝවා “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” ලෙස ක්‍රියා කළ නමුත් තමන් අවට තිබුණු සෑම දෙයක්ම විනාශ වනවා කියා පිළිගැනීමට ජනයා අපොහොසත් වුණ බව පැහැදිලියි. (2 පේතෘස් 2:5) අනතුරු ඇඟවීමට අවනත වී ගැළවුණේ අටදෙනෙක් පමණයි. (1 පේතෘස් 3:20) අදදින මෙම සිද්ධිය සලකා බැලීමේ ඇති වැදගත්කම කුමක්ද?

අපට වැදගත් වන්නේ ඇයි?

අපි ජීවත් වන්නේ නෝවාගේ දවස්වලට සමාන කාලයකයි. අපිට නිතරම පාහේ අසන්න ලැබෙන්නේ ත්‍රස්තවාදයේ කෲර ප්‍රතිඵල, සංවිධානාත්මක ලෙස කරන වාර්ගික ශෝධන, තුවක්කුවලින් සන්නද්ධ මිනිසුන් නිරපරාදේ සිදු කරන සමූලඝාතන සහ ශීඝ්‍ර වර්ධනයක් අද්දකිමින් පවතින ගෘහස්ථ සැහැසියාව වැනි තැතිගන්වනසුලු දේවල් ගැනයි. නැවත වරක් පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන අතර කලින් සිදු වුණාක් මෙන් අදත් ලෝකය කෙරෙහි පැමිණීමට නියමිත විනිශ්චය පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කෙරෙනවා. දෙවිගේ පත් කරන ලද විනිශ්චයකරු වශයෙන් පැමිණ, එඬේරෙක් බැටළුවන් හා එළුවන් වෙන් කරනවා හා සමානව තමා ජනයා අතර වෙන් කිරීමක් කරන බව යේසුස්ම පැවසුවා. යේසුස් කීවේ, නුසුදුස්සන්ව “සදාකාල දඬුවමට” පමුණුවන බවයි. (මතෙව් 25:31-33, 46) කොහොම වුණත්, මේ වතාවේදී නම් එකම සැබෑ දෙවිට නමස්කාර කරන මිලියන ගණනින් යුත් මහත් සමූහයක් ගැළවෙන බව බයිබලයේ සඳහන් කර තිබෙනවා. මෙම සෙනඟ, පැමිණෙන්න තිබෙන නව ලෝකය තුළ සාමය හා සුරක්ෂිතභාවය සදාකාලයටම භුක්ති විඳිනවා නියතයි.—මීකා 4:3, 4; එළිදරව් 7:9-17.

බයිබලයේ සඳහන් මෙවැනි ප්‍රකාශන හා අනතුරු ඇඟවීම් බොහෝදෙනෙකුගේ සමච්චලයට ලක් වන නමුත් දෙවිගේ විනිශ්චය පැමිණෙන විට එම ප්‍රකාශන සැබෑ බව නිසැකවම ඔප්පු වෙනවා. සැකකරන්නන් සැබෑව නොසලකා හරින බව ප්‍රේරිත පේතෘස් පැහැදිලි කළේ මෙසේයි. ‘අන්තිම දවස්වලදී, ඔහුගේ ඊම [පැමිණ සිටින කාලය, NW] පිළිබඳ පොරොන්දුව කොතැන්හිදැයි කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝය. මක්නිසාද දෙවිගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධ කරන ලද්දාවූ, වතුර මධ්‍යයෙහි වූ පොළොවක්ද තිබුණු බවත්, ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වූ බවත් ඔවුහු කැමැත්තෙන්ම මතක නැති කරති. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරු කරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.’—2 පේතෘස් 3:3-7.

යේසුස්ගේ අනාවැකිමය ආඥාවට එකඟව, පැමිණීමට නියමිත මේ විනිශ්චය දවස ගැන අනතුරු ඇඟවීමක්ද ඉන්පසු පැමිණෙන සාමකාමී කාලය පිළිබඳ ශුභාරංචියක්ද ලොව පුරාම ඉතා ජ්වලිතයෙන් ප්‍රකාශ කෙරෙනවා. (මතෙව් 24:14) මේ අනතුරු ඇඟවීම සැහැල්ලුවට ගත යුත්තක් නෙවෙයි. මන්ද සර්වපරාක්‍රම දෙවි ඔහුගේ වචනයට එකඟව ක්‍රියා කරන බවට කිසිම අනුමානයක් නැහැ.

පැමිණීමට නියමිත ලෝකය

පෙරළියක් ඇති කරවන වෙනස්කම් සිදුවීමට නියමිත බැවින් මනුෂ්‍යවර්ගයාගේ අනාගතය කොයි ආකාරයේ එකක් වේවිද? සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී යේසුස් පොරොන්දු වුණේ, “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහු පොළොව උරුම කරගන්නෝය” කියායි. ඉන්පසු ඔහු තම ගෝලයන්ට දෙවිට මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්නුවා. “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 5:5; 6:10) ඔව්, විශ්වාසවන්ත මනුෂ්‍යයන්ට මේ පොළොව මතම ඉතා මවිතකර අනාගතයක් භුක්ති විඳින්න පුළුවන් කියා යේසුස්ම ඉගැන්නුවා. ඔහු එය හැඳින්වූයේ “යළි-මැවීම” වශයෙනුයි.—මතෙව් 19:28, NW.

එමනිසා, අනාගතය ගැන කල්පනා කරද්දී දෙවිගේ අනතුරු ඇඟවීම් ගැන ඔබ තුළ සැකයක් ඇති කිරීමට සරදම් කරන්නන්ට ඉඩ දෙන්න එපා. අප අවට ලෝකය ඉතා ස්ථාවර තත්වයක පවතින බව අපට පෙනී යා හැකි බව ඇත්තයි. දැන් පවතින ලෝකයට දීර්ඝ ඉතිහාසයකුත් තිබෙනවා. එහෙත් ඒ කෙරෙහි අපි විශ්වාසය නොතැබිය යුතුයි. වත්මන් මිනිස් සමාජය මේ වන විටත් විනිශ්චය කරලයි තිබෙන්නේ. එහෙමනම්, ප්‍රේරිත පේතෘස් තම ලිපියේ අවසානයේදී කී දේ සිතට ගන්න.

“මේ සියල්ල මේ අයුරින් විනාශ වීමට නියමිත බැවින්, ඔබ කෙබඳු අය විය යුතුද? යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්ද එය මනසේ නිතරම තබාගනිමින්ද ශුද්ධ වූ හැසිරීමෙහි හා දේවභක්තික ක්‍රියාවල නිරත වී සිටින්න. . . . ඔබ මේ දේවල් බලාපොරොත්තු වන නිසා ඔහු ඉදිරියෙහි නොකැළැල්ව නිදොස්ව සිටින්නට දැඩි උත්සාහයක් දරමින් සමාදානයෙන් සිටින්න. . . . අපගේ ස්වාමි වූ ගැළවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවෙහිද ඔහුගේ දැනගැන්මෙහිද වර්ධනය වන්න.” (2 පේතෘස් 3:11, 12, 14, 18, NW) එහෙමනම්, නෝවාගේ කාලයේදී සිදු වූ දේවලින් පාඩමක් ඉගෙනගන්න. දෙවිට ළං වන්න. යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න. දේවභක්තිය වර්ධනය කරගන්න. මේ ලෝකයට පැමිණීමට නියමිත විනාශයෙන් බේරී මතු පැමිණෙන සාමකාමී ලෝකය තුළ ජීවත් වීමට තෝරාගන්නා අය අතර ඔබත් සිටින්න!

[5වන පිටුවේ පින්තූරය]

ජලගැල්මට පෙරත් ලෝහ කර්මාන්තය තිබූ බවට සාක්ෂි තිබෙනවා

[7වන පිටුවේ පින්තූරය]

ඉදිරියේ ඇත්තේ මහිමාන්විත අනාගතයක්