Skip to content

පටුනට යන්න

සත්‍යය ඔබට කොතරම් අනර්ඝද?

සත්‍යය ඔබට කොතරම් අනර්ඝද?

සත්‍යය ඔබට කොතරම් අනර්ඝද?

‘නුඹලා සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යයද නුඹලා නිදහස් කරන්නේය.’—යොහන් 8:32.

1. පෙනෙන විදිහට පිලාත් සහ යේසුස් “සත්‍යය” යන වචනය යොදාගත් ආකාරය එකිනෙකට වෙනස් වූයේ කෙසේද?

 “සත්‍යය කියන්නේ කුමක්ද” කියා පිලාත් ඇසූ අවස්ථාවේදී, ඔහුට දැනගැනීමට වුවමනා වූයේ පොදුවේ මිනිසුන් සත්‍යය කියා හඳුන්වනු ලබන දෙය බව පෙනෙන්න තිබේ. පිලාත් එම ප්‍රශ්නය ඇසුවේ යේසුස් මෙසේ පැවසූ විටදීය. “මා උපන්නේත් ලොව පහළ වූයේත් සත්‍යයට සාක්ෂි දරන පිණිස ය.” (යොහන් 18:37, 38, නව අනුවාදය) සත්‍යය ගැන සඳහන් කිරීමේදී පිලාත්ට වෙනස්ව යේසුස් කතා කළේ දිව්‍ය සත්‍යය ගැනයි.

සත්‍යය කෙරෙහි ලෝකයේ ආකල්පය

2. සත්‍යයේ වටිනාකම පැහැදිලි වන්නේ යේසුස් කළ කිනම් ප්‍රකාශයෙන්ද?

2 ‘සියල්ලන්ටම ඇදහිල්ල නැත’ කියා පාවුල් පැවසුවේය. (2 තෙසලෝනික 3:2) සත්‍යය සම්බන්ධයෙන්ද පැවසිය හැක්කේ ඒ දෙයමයි. බයිබලය මත පදනම් සත්‍යයට සවන් දීමේ ප්‍රස්තාව ලැබුණත් බොහෝදෙනෙක් හිතාමතාම එය නොසලකා හරිති. එහෙත් සත්‍යය මොනතරම් අනර්ඝද කියා යේසුස් පැවසූ මෙම වදන්වලින් පැහැදිලි වන්නේ නැද්ද? ‘නුඹලා සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යයද නුඹලා නිදහස් කරන්නේය.’—යොහන් 8:32.

3. අප අවනත විය යුත්තේ රැවටිලිකාර ඉගැන්වීම් ගැන දී තිබෙන කිනම් අනතුරු ඇඟවීම්වලටද?

3 මිනිස් දර්ශන හා සම්ප්‍රදායන් මගින් සත්‍යය සොයාගත නොහැකි බව ප්‍රේරිත පාවුල් පැවසුවේය. (කොලොස්සි 2:8, න. අ.) ඇත්තෙන්ම එවැනි දේවල් මත පදනම් ඉගැන්වීම් රැවටිලිකාරය. එපීසයේ සිටි ක්‍රිස්තියානීන් ඒවා මත විශ්වාසය තැබුවොත්, ඔවුන් “මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසි වෙමින් ගෙනයනු ලබන්නාවූ” ආත්මික ළදරුවන් හා සමාන වන බවට පාවුල් ඔවුන්ට අනතුරු ඇඟෙව්වේය. (එපීස 4:14) අදදින දිව්‍ය සත්‍යයට විරුද්ධ වන අය පවසන වහසි බස්වලින් ‘මනුෂ්‍යයන්ගේ ප්‍රයෝගවලට’ ලැබෙන්නේ මහත් අනුබලයකි. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා “වහසි බස්” යන වදන නිර්වචනය කරන්නේ, “අන් අයගේ විශ්වාසයන්, ආකල්ප හෝ ක්‍රියාවන් සූක්ෂ්ම ලෙස වෙනස් කිරීමේ අභිලාෂයෙන් ක්‍රමානුකූලව යොදන වෑයම” ලෙසය. එවන් වහසි බස් මගින් ප්‍රයෝගකාරි ලෙස සත්‍යය විකෘති කොට දක්වන අතර, සත්‍යයේ වෙස්ගන්වමින් බොරුව උලුප්පා දක්වයි. එවැනි කූට රැවටිලිකාර බලපෑම් මැද සත්‍යය සොයාගැනීමට නම් අප උනන්දුවෙන් බයිබලය සෝදිසි කර බැලිය යුතුයි.

ක්‍රිස්තියානීන් හා ලෝකය

4. සත්‍යය ලැබෙන්නේ කාටද? එය ලබාගන්න අයගේ වගකීම කුමක්ද?

4 තමන්ගේ ගෝලයන් බවට පත්ව සිටි අය ගැන යේසුස් ක්‍රිස්තුස් මෙසේ යෙහෝවාට යාච්ඤා කළේය. “සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව. ඔබගේ වචනය සත්‍යතාවය.” (යොහන් 17:17, 18අ) යේසුස්ගේ ගෝලයන්ව පවිත්‍ර කර නැතහොත් වෙන් කර තබන ලදි. කුමක් සඳහාද? යෙහෝවාට සේවය කරමින් ඔහුගේ නාමය හා රාජ්‍යය දස දෙස පතළ කිරීම සඳහාය. (මතෙව් 6:9, 10; 24:14) යෙහෝවා සපයන සත්‍යය සියලුම මිනිසුන් සතු දෙයක් නොවුවත්, ජාතිය, වර්ගය හා සංස්කෘතිය කුමක් හෝ වේවා එම සත්‍යය සොයන සියලුදෙනාටම නොමිලේ ලැබෙන තෑග්ගක් ලෙස එය ලබාගත හැක. “[දෙවි] මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ [ඔහු] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ [ඔහුට] ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ” කියා ප්‍රේරිත පේතෘස් පැවසුවේය.—ක්‍රියා 10:34, 35.

5. බොහෝ අවස්ථාවලදී ක්‍රිස්තියානීන් හිංසා පීඩාවලට ලක් වන්නේ මන්ද?

5 ක්‍රිස්තියානීන් බයිබල් සත්‍යය අන් අය සමඟ බෙදාගැනීමට සූදානමින් සිටියත් සෑම තැනකින්ම එයට හොඳ ප්‍රතිචාරයක් නොලැබේ. යේසුස් මෙසේ අනතුරු ඇඟෙව්වේය. “ඔවුහු [මිනිස්සු] නුඹලා පීඩා විඳීමට පාවා දී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නහුය.” (මතෙව් 24:9) මේ වගන්තිය ගැන අයර්ලන්ත ජාතික පූජකයෙකු වූ ජෝන් ආර්. කාටර් 1817දී මෙසේ ලීවේය. “දේශනා සේවය මගින් මනුෂ්‍යයන්ගේ ජීවිත යහ මඟට ගැනීමට ඔවුන් [ක්‍රිස්තියානීන්] දරන වෑයම් මේ දක්වා මිනිසුන් අගය කර නැත. මිනිසුන් ඔවුන්ගේ සේවය අගය කරනවා වෙනුවට සැබවින්ම සිදු වී තිබෙන්නේ ඔවුන් වෛරයට හා හිංසා පීඩාවලට ලක්වීමයි. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ සේවය මගින් මිනිසුන්ගේ වැරදි අනාවරණය වීමයි.” එසේ හිංසා පීඩා කරන්නෝ ‘ගැළවීම අත් කර දෙන සත්‍යයට ප්‍රේමවීම පිළි නොගන්නෝය.’ මේ නිසා ‘සත්‍යය විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්න වූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස, බොරුව විශ්වාස කරන හැටියට දෙවි මුළාවේ ක්‍රියා කිරීමක් ඔවුන්ට එවන්නේය [මුළාව ඔවුන් තුළ ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරියි, NW].’—2 තෙසලෝනික 2:10-12.

6. ක්‍රිස්තියානීන් තමන් තුළ වැඩීමට ඉඩ නොදිය යුතු තෘෂ්ණාවන් මොනවාද?

6 සතුරුකම්වලට ගොදුරු වන මේ ලෝකයේ ජීවත් වන ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත යොහන් මෙම උපදේශය සපයයි. “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. . . . ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [පියාණන්ගෙන්] නොව ලෝකයෙන් වේ.” (1 යොහන් 2:15, 16) “සියල්ල” කියා පැවසීමේදී යොහන් ඉන් කිසිවක් බැහැර නොකරයි. මේ නිසා සත්‍යයෙන් අපව වෙනතකට යොමු කරවීමේ අරමුණින් මේ ලෝකය ඉදිරිපත් කරන ඕනෑම දෙයක් සඳහා ආශාවක් අප තුළ වැඩීමට ඉඩ නොදිය යුතුයි. යොහන්ගේ උපදේශයට සවන් දීම තුළින් අපේ ජීවිත කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති වේ. ඒ කෙසේද?

7. සත්‍යය පිළිබඳ දැනුම අවංක හදවත් ඇති අයව පොලඹවන්නේ කෙසේද?

7 ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ජීවනය ලැබීම සඳහා දෙවි විසින් අපේක්ෂා කරන දේවල් පුද්ගලයන්ට උගන්වමින්, වසර 2001 සෑම මාසයකම නිවාස බයිබල් පාඩම් දශලක්ෂ හතරාමාරකට වඩා වැඩි ගණනක් පැවැත්වූහ. 2,63,431දෙනෙකු බව්තීස්ම වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. සත්‍යයේ ආලෝකය අනර්ඝ කොට සලකන මෙම නවක ගෝලයන් නරක ආශ්‍රය හා වැරදි දේවල්ද, අද ලෝකයේ හාත්පස පැතිරී පවතින දෙවිව අගෞරවයට පත් කරන මාර්ගද අත්හැර දමා තිබේ. බව්තීස්ම වූ දා සිට ඔවුහු සියලුම ක්‍රිස්තියානීන් සඳහා යෙහෝවා නියම කර තිබෙන ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වෙති. (එපීස 5:5) එසේ වෑයම් කිරීමට තරම් සත්‍යය ඔබට අනර්ඝද?

යෙහෝවා අපව බලාගනියි

8. යෙහෝවා අපේ කැපවීමට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ‘පළමුකොට රාජ්‍යය සෙවීම’ නැණවත් දෙයක් වන්නේ මන්ද?

8 මුළු විශ්වයේම පරමාධිපති වුවත්, යෙහෝවා දයානුකම්පිතව අසම්පූර්ණ දුර්වල මිනිසුන් වන අපගේ කැපවීම පිළිගනිමින් අපව ඔහු වෙත ඇදගැනීමේ අටියෙන් සංකේතමය අන්දමකින් පහතට නැමෙයි. මෙසේ අපේ ඉලක්ක හා ආශාවන් උසස් තලයක තබාගැනීමට ඔහු අපට උගන්වයි. (ගීතාවලිය 113: 5-8) එමෙන්ම ඔහු සමඟ පෞද්ගලිකව කිට්ටු සබඳතාවක් ඇති කරගැනීමටද යෙහෝවා අපට ඉඩ සලසා දේ. අප ‘පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයනවා’ නම් අපව බලාගන්න බවට ඔහු පොරොන්දු වේ. අප එසේ ක්‍රියා කරමින් අපේ ආත්මිකත්වය රැකගන්නවා නම් ඔහු තවදුරටත් මෙසේද පොරොන්දු වී තිබේ. ‘අනෙකුත් සියල්ලත් ඔබට දෙනු ලබන්නේය.’—මතෙව් 6:33.

9. “විශ්වාස වූ නුවණ ඇති දාසයා” කවුද? යෙහෝවා මේ ‘දාසයාව’ යොදාගනිමින් අපව බලාගන්නේ කෙසේද?

9 යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ ප්‍රේරිතයන් 12දෙනාව තෝරාගෙන, ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාවේ අත්තිවාරම දැමුවේය. ඔවුන්ව ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ කියාද හඳුන්වනු ලබයි. (ගලාති 6:16; එළිදරව් 21:9, 14) පසු කාලයේදී මොවුන්ව ‘ජීවමාන දෙවිගේ සභාව හා සැබෑවේ කණුවක් සහ අත්තිවාරමක් [ආධාරකයක්, NW]’ ලෙසද හඳුන්වන ලදි. (1 තිමෝති 3:15) යේසුස් එම සභාවේ සාමාජිකයන්ව හැඳින්වූයේ “විශ්වාස වූ නුවණ ඇති දාසයා” හා “විශ්වාස වූ නුවණ ඇති ගබඩාකාරයා” ලෙසය. ක්‍රිස්තියානීන්ට “නියම වේලාවට [ඔවුන්ගේ] කෑම කොටස” ලබා දීමේ වගකීම එම විශ්වාසවන්ත සේවකයාට පැවරෙන බව යේසුස් පැවසුවේය. (මතෙව් 24:3, 45-47; ලූක් 12:42) ආහාර නොමැති වුවහොත් අප කුසගින්නෙන් මිය යන බව නිසැකයි. ඒ හා සමානව අපට ආත්මික ආහාර නොලැබුණහොත් අප ආත්මිකව දුර්වල වී මිය යනු ඇත. එනිසා “විශ්වාස වූ නුවණ ඇති දාසයා” සිටීම, යෙහෝවා අපව බලාගන්න බවට තවත් එක් සාක්ෂියකි. යෙහෝවා එම “දාසයා” මාර්ගයෙන් අපට ලබා දෙන අනර්ඝ ආත්මික ආහාර අපි සැමවිටම ඉමහත් සේ අගය කරන බව පෙන්වමු.—මතෙව් 5:3, NW.

10. නිතිපතා රැස්වීම්වලට පැමිණ සිටීම වැදගත් වන්නේ මන්ද?

10 ආත්මික ආහාර ගැනීමට, පෞද්ගලික අධ්‍යයනය මෙන්ම සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීම හා සභා රැස්වීම්වලට යෑමද ඇතුළත් වේ. මීට මාස හයකට කලින් නැත්නම් සති හයකට කලින් ඔබ අනුභව කළ දේවල් හරියටම කියන්න ඔබට පුළුවන්ද? බොහෝදුරට ඒවා ඔබට අමතක වී තිබෙන්න පුළුවනි. ඔබ අනුභව කළ දේවල් කුමක් වුවත් ඔබට ජීවත් වීමට අවශ්‍ය පෝෂණය ඒවායින් ලැබිණ. ඔබ එදා සිට ඒ හා සමාන ආහාර කීප වතාවක්ම අනුභව කර තිබෙන්න පුළුවනි. අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී අපට ලබා දෙන ආත්මික ආහාර සම්බන්ධයෙන්ද එය සැබෑවක් වේ. සමහරවිට රැස්වීම්වලදී අප සවන් දුන් සෑම දෙයක්ම අපට මතක නැත. ඇතැම්විට කීප වතාවක් එක වගේ තොරතුරු ලැබී තිබෙන්න පුළුවනි. එහෙත් අපට ලැබුණේ අපේ ආත්මික ශුභසිද්ධියට අත්‍යවශ්‍ය ආත්මික ආහාරයි. අපේ රැස්වීම්වලදී නියම වේලාවට හොඳ ආත්මික පෝෂණයක් සැපයේ.

11. ක්‍රිස්තියානි රැස්වීම්වලට යද්දී අපට තිබෙන වගකීම් මොනවාද?

11 ක්‍රිස්තියානි රැස්වීම්වලට යද්දී අපට වගකීමක් පැවරේ. ‘එකිනෙකාව දිරිගන්වන්න [NW]’ කියාද සභාවේ සෙසු සාමාජිකයන්ව ‘ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට’ පොලඹවන්න කියාද ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබේ. සෑම ක්‍රිස්තියානි රැස්වීමකටම සූදානම් වීමෙන්ද, පැමිණීමෙන්ද, සහභාගි වීමෙන්ද අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වන අතර අන් අයද දිරිගැන්වීමක් ලබති. (හෙබ්‍රෙව් 10:23-25) ඇතැම් ආහාර අනුභව කිරීමට අකමැති දරුවන්ට මෙන් ඇතැමුන්ට ආත්මික පෝෂණය ලබාගැනීමට නිතර නිතර දිරිගැන්වීම් අවශ්‍ය විය හැක. (එපීස 4:13) එවන් දිරිගැන්වීමක් අවශ්‍ය අවස්ථාවලදී එය ලබා දීම ප්‍රේමනීය ක්‍රියාවකි. මන්ද එසේ කිරීම, එවන් අයට මේරූ ක්‍රිස්තියානීන් ලෙස වැඩීමට මහත් උපකාරයක් වේ. මේරූ ක්‍රිස්තියානීන් ගැන පාවුල් මෙසේ ලීවේය. “නමුත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හරි වැරැද්ද නිශ්චය කරගැනීමට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු කළ විමර්ශන ශක්තියක් ඇති මේරූ පුද්ගලයන්ටය.”—හෙබ්‍රෙව් 5:14, NW.

අපේ ආත්මිකත්වය රැකගත යුත්තේ අප විසින්මයි

12. සත්‍යයේ දිගටම රැඳී සිටීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ කා මතද? පැහැදිලි කරන්න.

12 සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කිරීම සඳහා අපේ විවාහක කලත්‍රයාගෙන් හෝ අපේ දෙමාපියන්ගෙන් අපට දිරිගැන්වීම් ලැබිය හැක. එමෙන්ම සභාවේ එඬේරුන් වන වැඩිමහල්ලන්ද ඔවුන්ගේ භාරය යටතේ සිටින බැටළුවන් වැනි අපව බලාගන්න පුළුවනි. (ක්‍රියා 20:28) එහෙත් සත්‍යය මත පදනම් ජීවනයේ මාර්ගයේ දිගටම ගමන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ කා මතද? ඇත්තෙන්ම වගකීම පැවරෙන්නේ අප එක් එක්කෙනා මතයි. සාමාන්‍ය තත්වයන් යටතේදී මෙන්ම දුෂ්කර කාලවලදීද එය සැබෑවක් වේ. මතු දැක්වෙන සැබෑ සිද්ධිය සලකා බලන්න.

13, 14. බැටළු පැටවෙකු හා සම්බන්ධ සිද්ධියෙන් පැහැදිලි වන්නාක් මෙන් අපට අවශ්‍ය ආත්මික උපකාරය ලබාගත හැක්කේ කෙසේද?

13 ස්කොට්ලන්තයේ කුඩා කන්දක පිහිටි තණ බිමක බැටළු පැටවුන් කිහිපදෙනෙකු තණ කමින් සිටිද්දී, එක පැටියෙක් එම කන්දෙන් එහා පැත්තට ගිය නිසා කන්දෙන් පහළට රෝල් වී ගියේය. ඌට තුවාල නොවුණත්, ඌ හොඳටම භය විය. කන්ද නඟින්න ඌට බැරි වූ නිසා ඌ දුක්මුසු හඬින් මොර දෙන්න පටන්ගත්තේය. එය ඇසුණු විට මොර දෙන්න පටන්ගත් ඌගේ අම්මා මොර දීම නතර කළේ එඬේරා පැමිණ පැටවාව නැවත රැළට ගෙන ඒමෙන් පසුවයි.

14 මෙහිදී දේවල් සිදු වූ අනුපිළිවෙළ සැලකිල්ලට ගන්න. බැටළු පැටවා උපකාරය පතා මොරගැසුවේය. ඌ කෑ මොර ගසද්දී ඌගේ මවද කෑ මොර ගැසුවාය. රැළ ගැන කල්පනාවෙන් සිටි එඬේරා බැටළු පැටවාව බේරාගැනීමට විගස ක්‍රියාත්මක විය. කුඩා සතෙකුට හා ඌගේ මවට අනතුරක් හඳුනාගෙන විගස උපකාරය පතන්න හැකි නම්, අප ආත්මිකව බාධාවට පත් වන විට හෝ බලාපොරොත්තු නොවූ ලෙස සාතන්ගේ ලෝකයේ අනතුරුවලට ගොදුරු වන විට අපත් උපකාරය පැතිය යුතු නැද්ද? (යාකොබ් 5:14, 15; 1 පේතෘස් 5:8) විශේෂයෙන්ම අප තරුණ නිසා හෝ සත්‍යයේ අලුත් නිසා අද්දැකීම් අඩු නම්, අප විගස උපකාර පැතිය යුතුයි.

දිව්‍ය මඟ පෙන්වීම් අනුගමනය කිරීමේ ප්‍රතිඵලය සන්තෝෂයයි

15. ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරන්න පටන්ගත් විට එක් ස්ත්‍රියකට හැඟුණේ කෙසේද?

15 බයිබලය පිළිබඳව අවබෝධයක් ඇතුව සිටීමේ වටිනාකම හා සත්‍යයේ දෙවිට සේවය කරන අය එමගින් භුක්ති විඳින මනසේ සාමය සලකා බලන්න. තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම එංගලන්ත සභාවට ගිය 70 හැවිරිදි ස්ත්‍රියක් යෙහෝවාගේ සාක්ෂිකාරියක සමඟ බයිබලය පාඩම් කිරීමට කැමති වූවාය. දෙවිගේ නම යෙහෝවා කියා වැඩි කල් නොගොස් ඉගෙනගත් ඇය රාජ්‍ය ශාලාවේදී කළ යාච්ඤාවලට හවුල් වූයේ මුළු හදින්ම “ආමෙන්” කියමින්ය. ඇය සිය හැඟීම් විස්තර කළේ මෙසේය. “ඔයාලා දෙවිව හඳුන්වා දෙන්නේ මිනිසුන්ට ළඟා වෙන්න බැරි කෙනෙක් හැටියට නෙමෙයි. ඔයාලා යාච්ඤා කරද්දී මට දැනෙන්නේ දෙවි බොහොම හිතවත් මිතුරෙක් සේ අප අතර ඉන්නවා වගෙයි. මීට කලින් මම කවදාවත් මේ වගේ අද්දැකීමක් ලබලා නැහැ.” සත්‍යය තමා කෙරෙහි ඇති කළ මුල්ම බලපෑම උනන්දුව දක්වන ඒ හිතවතියට කවදාවත් අමතක වන්නේ නැත. අපි මුලින්ම සත්‍යය පිළිගත් අවස්ථාවේදී අප එය අනර්ඝ ලෙස සැලකූ ආකාරය කවදාවත් අමතක නොකරමු.

16. (අ) මුදල් ඉපයීම අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය කරගන්නේ නම් කුමක් සිදු විය හැකිද? (ආ) සැබෑ සන්තෝෂය අපට ලබාගත හැක්කේ කෙසේද?

16 සල්ලි වැඩි වෙන තරමට සන්තෝෂයද වැඩි වන බව බොහෝදෙනෙක් විශ්වාස කරති. එහෙත් මුදල් ඉපයීම අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය කරගන්නේ නම් අප “බොහෝ මානසික වේදනා” අද්දැකීමට ඉඩ තිබේ. (1 තිමෝති 6:10, ෆිලිප්ස්) අද කීදෙනෙකු ලොතරැයි පත් මිල දී ගන්නවාද? සූදුව සඳහා මුදල් වැය කරනවාද? අවදානම් ගැන එතරම් නොසිතා ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරනවාද? දශලක්ෂපතීන් වීමේ වාසනාව ගැන සිහින මවනවාද? එහෙත් වාසනාව අත් කරගන්නේ අතළොස්සක් පමණි. ඔවුන් පවා බොහෝ අවස්ථාවලදී තේරුම්ගන්න දෙයක් නම් තමන්ට ක්ෂණිකව ලැබුණු ධනයෙන් සන්තෝෂයක් නොලැබෙන බවයි. සැමදා පවතින සතුට අත් කරගත හැක්කේ යෙහෝවාගේ කැමැත්ත කිරීමෙන් හා යෙහෝවාගේ ශුද්ධාත්මය මගින් සැපයෙන මඟ පෙන්වීමත් ඔහුගේ දේවදූතයන්ගේ උපකාරයත් ඇතුව ක්‍රිස්තියානි සභාව සමඟ සේවය කිරීමෙනි. (ගීතාවලිය 1:1-3; 84:4, 5; 89:15) මෙය කරද්දී බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ආශීර්වාද අප කරා පැමිණිය හැකියි. මෙසේ ආශීර්වාද ඔබ කරා පැමිණීමට තරම් ඔබ සත්‍යය අනර්ඝ කොට සලකනවාද?

17. සම්කරුවෙකු වූ සීමොන්ගේ නිවසේ නතර වී සිටීමෙන් පේතෘස්ගේ ආකල්පය ගැන හෙළි වන්නේ කුමක්ද?

17 ප්‍රේරිත පේතෘස්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු පො.යු. 36දී තැනිතලා ප්‍රදේශයක් වූ ෂාරොන් බලා මිෂනාරි ගමනක් ඇරඹුවේය. ලිද්දාවෙහි නතර වූ ඔහු අංශභාග රෝගියෙකු වූ අයිනෙයස්ව සුව කළේය. ඉන්පසු යොප්පාවෙහි පිහිටි වරාය වෙත ගමන් කළ ඔහු මිය ගොස් සිටි දොර්කස්ව නැවත නැඟිටෙව්වේය. පසුව සිදු වූ දේ ගැන ක්‍රියා 9:43හි අපට මෙසේ කියවීමට තිබේ. “ඔහු සීමොන් නම් සම්කරුවෙකු වෙත [ගොස්] යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.” මෙම කෙටි විස්තරයෙන් පැහැදිලි වන්නේ පේතෘස් තමන් ගමන් කළ නගරවල මිනිසුන්ට සේවය කරද්දී අගති රහිත ආකල්පයක් විදහාපෙන්වූ බවයි. ඒ කෙසේද? බයිබල් විශාරදයෙකු වන ෆ්‍රෙඩ්රික් ඩබ්. ෆැරර් මෙසේ සඳහන් කරයි. “වාචික [මෝසෙස්ගේ] ව්‍යවස්ථාව අකුරටම පිළිපදින කෙනෙකු සම්කරුවෙකුගේ නිවසේ නතර වෙයි කියා සිතිය නොහැක. මේ කර්මාන්තය සඳහා අවශ්‍ය වූ නොයෙකුත් සතුන්ගේ අමු හම් හා වෙනත් ද්‍රව්‍ය දිනපතාම පාහේ ස්පර්ශ කිරීම, ව්‍යවස්ථාව දැඩි සේ ක්‍රියාත්මක කරන්නෙකුට ඉතාමත් පිළිකුල් සහගත දෙයකි.” “මුහුද අද්දර” පිහිටා තිබූ සීමොන්ගේ නිවස ඔහුගේ හම් වැඩපොළට යාබදව පිහිටා නොතිබුණත්, සීමොන් නිරත වූයේ ‘බොහෝදෙනෙකුගේ පිළිකුලට ලක් වූ කර්මාන්තයකයි. එම කර්මාන්තයේ නියැලුණු ඕනෑම කෙනෙකුව පහත් කොට සලකන ලදි’ කියා ෆැරර් තවදුරටත් පවසයි.—ක්‍රියා 10:6.

18, 19. (අ) තමන්ට ලැබුණු දර්ශනය ගැන පේතෘස් වියවුල් වූයේ මන්ද? (ආ) බලාපොරොත්තු නොවූ ආකාරයෙන් පේතෘස් ලැබූ ආශීර්වාදය කුමක්ද?

18 අගති රහිත ආකල්පයක් විදහාපෙන්වූ පේතෘස්, සීමොන් පිරිනැමූ ආගන්තුක සත්කාරය පිළිගත් අතර, එහිදී බලාපොරොත්තු නොවූ ලෙස දෙවිගෙන් ඔහුට විශේෂ මඟ පෙන්වීමක් ලැබිණ. යුදෙව්වන්ගේ ව්‍යවස්ථාවට අනුව අපවිත්‍රයයි සලකන ලද සතුන්ව අනුභව කිරීමට ඔහුට අණ කළ දර්ශනයක් ඔහු දුටුවේය. “අකැප වූ අපවිත්‍ර වූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි” කියමින් ඔහු ඒවා අනුභව කිරීමට අකමැති විය. නමුත් තුන් වතාවක්ම ඔහුට මෙසේ පවසනු ලැබීය. ‘දෙවි පවිත්‍ර කළ දේ අකැපයයි නොකියන්න.’ ‘තමා දුටු දර්ශනයේ අර්ථය කුමක් විය හැකිදැයි සිතමින් පේතෘස් වියවුල්ව සිටීමට’ හේතුව තේරුම්ගත හැක.—ක්‍රියා 10:5-17; 11:7-10.

19 කිලෝ මීටර් 50ක් පමණ ඈතින් පිහිටි කායිසාරියෙහි සිටින අන්‍ය ජාතිකයෙකු වූ කොර්නේලියස්ද කලින් දවසේදී දර්ශනයක් දැක තිබූ බව පේතෘස් දැන සිටියේ නැත. සම්කරුවෙකු වූ සීමොන්ගේ නිවසේ සිටින පේතෘස්ව හමුවීමට ඔහුගේ සේවකයන්ව පිටත් කර හරින්න කියා කොර්නේලියස්ට යෙහෝවාගේ දූතයා උපදෙස් දී තිබිණ. කොර්නේලියස් ඔහුගේ සේවකයන්ව සීමොන්ගේ නිවසට පිටත් කර හැරිය අතර, පේතෘස් ඔවුන් සමඟ කායිසාරියට පැමිණියේය. එහිදී ඔහු කොර්නේලියස්ටද ඔහුගේ නෑදෑ හිතවතුන්ටද දේශනා කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍යයේ උරුමක්කරුවන් හැටියට ශුද්ධාත්මය ලැබූ මුල්ම අචර්මච්ඡේදිත අන්‍ය ජාතිකයන් බවට ඔවුහු පත් වූහ. ඔවුන් අතර සිටි පුරුෂයන් අචර්මච්ඡේදිතයන් වූවත් පේතෘස්ට සවන් දුන් සියලුදෙනාවම බව්තීස්ම කරන ලදි. යුදෙව්වන් විසින් අපවිත්‍රයයි සලකන ලද වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වීමේ ප්‍රස්තාව එමගින් විවෘත විය. (ක්‍රියා 10:1-48; 11:18) මෙය පේතෘස්ට ලැබුණු මොනතරම් විශේෂ වරප්‍රසාදයක් වූවාද! මෙම වරප්‍රසාදය භුක්ති විඳීමට ඔහුට හැකි වූයේ ඔහු සත්‍යය අනර්ඝ දෙයක් ලෙස සැලකූ නිසාය. එමෙන්ම යෙහෝවාගෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට යටත් වී, විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සඳහා සත්‍යය ඔහුට මඟ සලසා දීමද ඊට හේතු විය.

20. අපේ ජීවිතවල මුල් තැන සත්‍යයට දෙන විට අපට දෙවිගෙන් ලැබෙන උපකාරය කුමක්ද?

20 පාවුල් ක්‍රිස්තියානීන්ව මෙසේ උනන්දු කරවයි. ‘ප්‍රේමයෙන් යුක්තව සත්‍යය කතා කරමින් හිසව සිටින ක්‍රිස්තුස් උදෙසා සියලු දේවලදී [ප්‍රේමයෙන්] වැඩෙමු.’ (එපීස 4:15, අකුරු ඇල කළේ අපය.) අපේ ජීවිතයේ මුල් තැන සත්‍යයට ලබා දී, අපට මඟ පෙන්වීම සැපයීම සඳහා ශුද්ධාත්මය යොදාගැනීමට යෙහෝවාට අප ඉඩහරිනවා නම් වෙනත් කිසිම දෙයකින් ලබාගත නොහැකි සන්තෝෂයක් සත්‍යය අපට ලබා දෙනු ඇත. එමෙන්ම අපේ එවැන්ජලිස්ත සේවයට දේවදූතයන්ගෙන් සහයෝගය ලැබෙන බවද අමතක නොකරන්න. (එළිදරව් 14:6, 7; 22:6) යෙහෝවා අපට කිරීමට බලය පවරා තිබෙන සේවයට එවන් සහයෝගයක් ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද! දිගටම අඛණ්ඩතාව රක්ෂා කිරීමෙන් සත්‍යයේ දෙවි වන යෙහෝවාට සදහටම ප්‍රශංසා කිරීමට අපට හැකි වනු ඇත. මීටත් වඩා අනර්ඝ දෙයක් තිබිය හැකිද!—යොහන් 17:3.

අප ඉගෙනගත්තේ මොනවාද?

• බොහෝදෙනෙකු සත්‍යය පිළිනොගන්නේ මන්ද?

• ක්‍රිස්තියානීන් සාතන්ගේ ලෝකයේ තිබෙන දේවල් සැලකිය යුත්තේ කෙසේද?

• රැස්වීම් කෙරෙහි අපේ ආකල්පය විය යුත්තේ කුමක්ද? ඒ මන්ද?

• අපේ ආත්මිකත්වය රැකගැනීම සම්බන්ධයෙන් අපට තිබෙන වගකීම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

මධ්‍යධරණී මුහුද

කායිසාරිය

ෂාරොන් මිටියාවත

යොප්පාව

ලිද්දාව

යෙරුසලම

[පින්තූරය]

දෙවිගේ මඟ පෙන්වීම අනුගමනය කළ පේතෘස් බලාපොරොත්තු නොවූ අයුරින් ආශීර්වාද ලැබුවේය

[හිමිකම් විස්තර]

සිතියම: Mountain High Maps® කර්තෘ හිමිකම: © 1997 Digital Wisdom, Inc.

[13වන පිටුවේ පින්තූරය]

යේසුස් සත්‍යයට සාක්ෂි දැරුවේය

[15වන පිටුවේ පින්තූරය]

මාංසික ආහාර මෙන් ආත්මික ආහාරද අපේ ශුභසිද්ධියට අත්‍යවශ්‍ය වේ