Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස්ගේ නායකත්වය ඔබ සලකන්නේ සැබෑ දෙයක් ලෙසද?

ක්‍රිස්තුස්ගේ නායකත්වය ඔබ සලකන්නේ සැබෑ දෙයක් ලෙසද?

ක්‍රිස්තුස්ගේ නායකත්වය ඔබ සලකන්නේ සැබෑ දෙයක් ලෙසද?

“නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ [නායකයා] එක්කෙනෙක්මය, එනම් [ක්‍රිස්තුස්ය].”—මතෙව් 23:10.

1. සැබෑ ක්‍රිස්තියානීන්ගේ එකම නායකයා කවුද?

 දිනය නීසාන් 11වන අඟහරුවාදාය. ක්‍රිස්තුස්ගේ මරණයට තව ඇත්තේ දවස් තුනක් පමණි. ඔහු දේවමාළිගාවට යන අවසන් වතාව එය විය. එදින දේවමාළිගාවේ රැස්ව සිටි සෙනඟට හා ඔහුගේ ගෝලයන්ට යේසුස් වැදගත් යමක් ඉගැන්වීය. “නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ [ආචාරීන්] එක්කෙනෙක්මය. නුඹලා සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින [තැනැත්තාමය]. නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ [නායකයා] එක්කෙනෙක්මය, එනම් [ක්‍රිස්තුස්ය]” කියා ඔහු පැවසීය. (මතෙව් 23:8-10) මෙම වදන්වලින් පැහැදිලි වන්නේ සැබෑ ක්‍රිස්තියානීන්ගේ නායකයා යේසුස් බවයි.

2, 3. යෙහෝවාට සවන් දීම හා ඔහු පත් කර තිබෙන නායකයාව පිළිගැනීම අපේ ජීවිතවලට බලපාන්නේ කෙසේද?

2 අපගේ ජීවිතයෙහි යේසුස්ගේ නායකත්වය පිළිගන්න විට අද්දකින ප්‍රයෝජන කියා නිම කළ නොහැකිය. යෙහෝවා අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් මේ නායකයාගේ පැමිණීම පුරෝකථනය කරමින් මෙසේ පැවසුවේය. “පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න. එසේය, ඇවිත් මිල මුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න. . . . හොඳාකාරයෙන් මට ඇහුම්කන් දී හොඳව තිබෙන දේ කන්න. නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්ති විඳීවා. . . . බලව, [ඔහු] ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් [නායකයෙක්, NW] හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි.”—යෙසායා 55:1-4.

3 මෙහිදී යෙසායා වතුර, කිරි හා මුද්‍රිකපානය වැනි කාටත් පොදු ද්‍රවයන් රූපාලංකාරයෙන් භාවිත කළේ අප යෙහෝවාට සවන් දෙමින් ඔහු අපට දී තිබෙන නායකයාව අනුගමනය කරනවා නම්, එය අපේ පෞද්ගලික ජීවිතයට බලපාන ආකාරය පැහැදිලි කර දීම සඳහාය. එහි බලපෑම රස්නේ දවසක සීතල වතුර වීදුරුවක් පානය කරන විට දැනෙන ප්‍රබෝධවත් හැඟීම හා සමානය. සත්‍යයට සහ ධර්මිෂ්ඨකමට තිබෙන අපේ පිපාසය ඉන් සන්සිඳුවාගත හැක. ළදරුවන්ට අවශ්‍ය ශක්තිය සපයමින් ඔවුන්ට වැඩෙන්න කිරි උපකාර වන්නාක් මෙන් අපට ශක්තිමත්ව සිටීමට හා දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව දිගටම පවත්වාගනිමින් ආත්මිකව වැඩීමට ‘වචනය නමැති කිරි’ [NW] උපකාරවත් වේ. (1 පේතෘස් 2:1-3) උත්සව අවස්ථාවක තිබෙන ප්‍රීතිය වැඩි කිරීමට මුද්‍රිකපානයට තිබෙන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. මේ හා සමානව සැබෑ දෙවිට නමස්කාර කිරීමෙන් හා ඔහු පත් කර තිබෙන නායකයාගේ අඩි පාරේ ගමන් කිරීමෙන් ‘මුළුමනින්ම ප්‍රීතිමත්’ විය හැකියි. (ද්විතීය කථාව 16:15) එසේනම් තරුණ මහලු ස්ත්‍රී පුරුෂ අප සියලුදෙනාම ක්‍රිස්තුස්ගේ නායකත්වය අපහට සැබෑ බව පෙන්වීම වැදගත්. කෙසේවෙතත්, මෙසියස් අපේ නායකයා බව දෛනික ජීවිතයේදී අපට පෙන්විය හැක්කේ කෙසේද?

යෞවනයෙනි—‘දිගටම ප්‍රඥාවෙන් වැඩෙන්න’

4. (අ) දොළොස් හැවිරිදි යේසුස් පාස්කු උත්සවය සඳහා යෙරුසලමට ගිය අවස්ථාවේදී සිදු වූයේ කුමක්ද? (ආ) වයස අවුරුදු 12දී පවා යේසුස්ට කොතරම් හොඳ බුද්ධියක් තිබුණාද?

4 අපේ නායකයා දරුවන් සඳහා තැබූ ආදර්ශය සලකා බලන්න. යේසුස්ගේ ළමා කාලය ගැන එතරම් විස්තර දැනගත නොහැකි වුවත් එක් සිද්ධියකින් ඔහුගේ ළමා කාලය ගැන අපට බොහෝ දේ හෙළි කරයි. යේසුස්ට වයස අවුරුදු 12ක් වූ විට, ඔහුගේ දෙමාපියෝ පාස්කු මංගල්‍යයට සහභාගි වීම සඳහා අවුරුදු පතා යෙරුසලමට ගිය අවස්ථාවේදී ඔහුවද රැගෙන ගියහ. ඒ අවස්ථාවේදී ශුද්ධ ලියවිලි ගැන කළ සාකච්ඡාවකට යේසුස්ගේ සිත සම්පූර්ණයෙන්ම ඇදී ගියේය. නිවස බලා ආපසු යන විට යේසුස් තමන් සමඟ නොසිටින බව ඔහුගේ පවුලේ අයගේ අවධානයට ලක් නොවීය. කලබලයට පත් ඔහුගේ පියා වූ යෝසෙප්ට හා මව වූ මරියාට දේවමාළිගාවේදී ඔහුව සම්බ වූයේ දවස් තුනකට පසුවයි. ඒ අවස්ථාවේදී ඔහු “පණ්ඩිතයන් මැද වාඩි වී ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද” සිටිනවා ඔවුන්ට දැකගත හැකි විය. ‘ඔහුගේ බස් ඇසූ සියල්ලෝම ඔහුගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ.’ මේ ගැන සිතා බලන්න! ආත්මික කාරණා පිළිබඳව සිතුවිලි කලතන ප්‍රශ්න ඇසීමට පමණක් නොව ඒවාට බුද්ධිමත්ව උත්තර දීමටද හැකි වන විට යේසුස්ගේ වයස අවුරුදු 12ක් පමණයි. දෙමාපියන්ගෙන් ලැබුණු පුහුණුව ඔහුට ඉමහත් උපකාරයක් වූ බවට සැකයක් නැත.—ලූක් 2:41-50.

5. පවුලේ බයිබල් පාඩම කෙරෙහි තමන් දරන ආකල්පය ඇගයීමකට ලක් කරන්න යෞවන දරුවන්ට හැක්කේ කෙසේද?

5 සමහරවිට ඔබත් නව යොවුන් වියේ පසු වන දරුවෙකු විය හැකියි. ඔබේ දෙමාපියන් දෙවිට භක්තිමත්ව සේවය කරන අය නම් ඔබේ නිවසේ පවුලක් වශයෙන් බයිබලය නිතිපතා පාඩම් කිරීමට හොඳ සැලැස්මක් තිබෙනවා විය හැක. පවුලේ පාඩම ගැන ඔබ දරන ආකල්පය කුමක්ද? මතු දැක්වෙන ප්‍රශ්න ගැන ගැඹුරින් සිතා බලන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. ‘මම මුළු හදින්ම පවුලේ පාඩමට සහයෝගය දෙනවාද? පාඩම සඳහා වෙන් කර තිබෙන කාලයේදී වෙනත් දේවල් සැලසුම් නොකිරීමෙන් මම එයට සහයෝගය දෙනවාද?’ (පිලිප්පි 3:16) ‘මම ක්‍රියාශීලී ලෙස පාඩමට හවුල් වෙනවාද? සුදුසුයි කියා හැඟෙන අවස්ථාවලදී පාඩමේදී සාකච්ඡා කරන කරුණු ගැන මම ප්‍රශ්න අසනවාද? ඒවායේ අදාළත්වය ගැන මම අදහස් දක්වනවාද? මා ආත්මිකව වර්ධනය වෙද්දී ‘මේරූ අය සඳහා තිබෙන ඝන ආහාරවලට’ [NW] රුචියක් වඩවාගනිමින් සිටිනවාද?’—හෙබ්‍රෙව් 5:13, 14.

6, 7. කාලසටහනකට අනුව දිනපතාම බයිබලය කියවීමෙන් දරුවන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

6 දිනපතා බයිබලය කියවීමට සැලසුමක් යෙදීමද වැදගත්. ගීතිකාකරු මෙසේ ගායනා කළේය. ‘දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා සන්තෝෂවත් අයෙකි. ඔහු ප්‍රීතිය ලබන්නේ යෙහෝවාගේ ව්‍යවස්ථාවෙනි. ඔහු රෑ දාවල් ඔහුගේ ව්‍යවස්ථාව සිහින් හඬින් කියවයි.’ (ගීතාවලිය 1:1, 2, NW) මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා ‘රෑ දාවල් සිහින් හඬින් ව්‍යවස්ථා පොත කියවූ’ කෙනෙකි. දෙවි දුන් පැවරුම නැණවත්ව හා සාර්ථකව ඉටු කරන්න එය ඔහුට මහෝපකාරි විය. (යෝෂුවා 1:8, NW) අපේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවේය. “මනුෂ්‍යයා [යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත් වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ.” (මතෙව් 4:4) අපට මාංසික ආහාර දිනපතාම අවශ්‍ය නම්, ආත්මික ආහාර ඊටත් වඩා කොපමණ වැඩියෙන් අපට නිතිපතාම අවශ්‍යද!

7 තම ආත්මික අවශ්‍යතාව වටහාගත් 13 හැවිරිදි නිකෝල් සෑම දවසකම බයිබලය කියවීමට පටන්ගත්තාය. a දැන් 16වන වියේ පසු වන ඇය මුල් වරට මුළු බයිබලයම කියවා අවසන් කර, දෙවන වතාවටත් එහි භාගයකට ආසන්න ප්‍රමාණයක් කියවා තිබේ. මේ සඳහා ඇය යොදාගන්නේ සරල ක්‍රමයකි. “දවසකට අඩුම තරමින් එක පරිච්ඡේදයක්වත් කියවන්න මම අධිෂ්ඨාන කරගෙනයි ඉන්නේ” කියා ඇය පවසයි. දිනපතාම බයිබලය කියවීම ඇයට ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද? මෙයට ඇය මෙසේ උත්තර දෙනවා. “අද අපි ඉන්නේ නරක බලපෑම්වලින් වට වෙලයි. පාසැලේදී වගේම වෙනත් තැන්වලදීත් මගේ ඇදහිල්ලට දිනපතාම නොයෙක් අභියෝග එල්ල වෙනවා. දිනපතාම බයිබලය කියවීම, මේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා මට දිරිගැන්වීමක් වන බයිබල් ප්‍රතිපත්ති හා ආඥා විගස මතක් කරගන්න මට උපකාරවත් වෙලා තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට මම යෙහෝවාටත් යේසුස්ටත් හුඟාක් ළං වෙලා කියලා මට දැනෙනවා.”

8. සිනගෝගයේදී යේසුස් පුරුදුව සිටියේ කුමක් කරන්නද? යෞවන දරුවන්ට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද?

8 ඒ කාලයේ තිබූ සිනගෝගවලදී ශුද්ධ ලියවිල්ල කියවන විට එයට සවන් දීමටත් ඇතැම් අවස්ථාවලදී කියවීමෙහි හවුල් වීමටත් යේසුස් පුරුදුව සිටියේය. (ලූක් 4:16; ක්‍රියා 15:21) යෞවන දරුවන් යේසුස්ගේ එම ආදර්ශය අනුගමනය කරමින් බයිබලය කියවා අධ්‍යයනය කරන ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණෙන්නේ නම්, එයින් අත් කරගත හැකි ප්‍රයෝජන මොනතරම්ද! මෙම රැස්වීම් අගය කරන 14වන වියේ පසු වන රිචඩ් මෙසේ පවසයි. “රැස්වීම්වලින් මට හුඟාක් ප්‍රයෝජන ලැබෙනවා. හොඳ දේවල් හා නරක දේවල් මොනවාද, සදාචාර සම්පන්න හා සදාචාරයට පටහැනි දේවල් මොනවාද, ක්‍රිස්තුස් වගේ වීමට කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල් මොනවාද කියල මට නිතර නිතර සිහිගැන්වීම් රැස්වීම්වලින් ලැබෙනවා. ඒ හින්දා මට වේදනා විඳ දේවල් අද්දැකලා ඉගෙනගන්න අවශ්‍ය නැහැ.” ඔව්, “යෙහෝවාගේ සිහිගැන්වීම විශ්වාසදායකයි. අද්දැකීම් නැති අයව නැණවත් කරවයි.” (ගීතාවලිය 19:7, NW) සෑම සතියකම පවත්වන රැස්වීම් පහටම පැමිණෙන්න නිකෝල්ද මහත් වෑයමක් දරයි. රැස්වීම්ලට සූදානම් වීම සඳහා ඇය පැය දෙක තුනක් වැය කරයි.—එපීස 5:15, 16.

9. යෞවන දරුවන්ට ‘ප්‍රඥාවෙන් දිගටම වැඩෙන්න’ පුළුවන් වන්නේ කෙසේද?

9 ‘එකම සැබෑ වූ දෙවි සහ ඔහු විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුම’ ලබාගැනීමට හොඳම කාලය යෞවන කාලයයි. (යොහන් 17:3) චිත්‍ර කතා කියවීම, රූපවාහිනිය නැරඹීම, වීඩියෝ ක්‍රීඩා කිරීම හෝ අන්තර් ජාලය ඔස්සේ තොරතුරු සෙවීම වැනි දේවලට බොහෝ කාලයක් වැය කරන යෞවනයන්ව ඔබ අඳුරනවා ඇති. අපේ නායකයා තබා තිබෙන පරිපූර්ණ ආදර්ශය අනුකරණය කරනවා වෙනුවට එම යෞවනයන්ව අනුකරණය කරන්නේ මොකටද? යේසුස් යොවුන් වියේදී යෙහෝවා ගැන ඉගෙනගන්න දැක්වූයේ ඉමහත් ආශාවකි. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? ආත්මික දේවල් සඳහා ඔහු දැක්වූ දැඩි ඇල්මේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු “දිගටම ප්‍රඥාවෙන් වැඩුණේය.” (ලූක් 2:52, NW) ඔබටත් එසේ වැඩෙන්න පුළුවනි.

“එකිනෙකාට යටත් වෙන්න”

10. නිවස සාමය හා සතුට පිරි ස්ථානයක් බවට පත් කිරීමට උපකාරවත් වන්නේ කුමක්ද?

10 නිවස සාමය හා සතුට පිරි රක්ෂස්ථානයක් විය හැක. නැත්නම් ගැටුම්වලින් පිරි යුධ පිටියක් විය හැක. (හිතෝපදේශ 21:19; 26:21) ක්‍රිස්තුස්ගේ නායකත්වය අප පිළිගන්නවා නම් අපේ පවුල භුක්ති විඳින සාමය හා සතුට දෙගුණ තෙගුණ වනු ඇත. පවුලේ සාමාජිකයන් අතර පැවතිය යුතු සබඳතා පිළිබඳව යේසුස් තැබුවේ කදිම ආදර්ශයකි. ශුද්ධ ලියවිල්ලේ මෙසේ සඳහන් වේ. “[ක්‍රිස්තුස්] කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත් වෙන්න. භාර්යාවෙනි, [ස්වාමීන්ට] මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. මක්නිසාද [ක්‍රිස්තුස්] සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. [ඔහු] වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. . . . පුරුෂයෙනි, [ක්‍රිස්තුස්] සභාවට ප්‍රේම කොට, ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක් මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.” (එපීස 5:21-25) කොලොස්සියේ පිහිටි සභාවට ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරු වෙන්න, මක්නිසාද ඒක [ස්වාමීන්ට] ප්‍රසන්නය.”—කොලොස්සි 3:18-20.

11. ක්‍රිස්තුස්ගේ නායකත්වය තමාට සැබෑ දෙයක් බව ස්වාමිපුරුෂයෙකුට පෙන්විය හැක්කේ කෙසේද?

11 ඉහත සඳහන් උපදේශය පිළිපදින පවුල්වල ස්වාමිපුරුෂයා මූලිකත්වය උසුලයි. භාර්යාව ඔහුට පක්ෂපාත ලෙස සහයෝගය දක්වයි. දරුවෝ දෙමාපියන්ට කීකරු වෙති. කෙසේවෙතත්, පුරුෂයා මෙහෙයවන මූලිකත්වය පවුලේ අයගේ සන්තෝෂයට හේතු වන්නේ ඔහු එය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් පමණි. නැණවත් ස්වාමිපුරුෂයෙකු තම මූලිකත්වය මෙහෙයවන ආකාරය ඉගෙනගත යුත්තේ තමාගේ හිස හා නායකයා වන ක්‍රිස්තුස් යේසුස්ව අනුකරණය කිරීමෙනි. (1 කොරින්ති 11:3) පසු කලෙක යේසුස් ‘සභාවේ සියලු දේවල් උදෙසා ප්‍රධානියාව’ සිටියත් ඔහු පොළොවට පැමිණියේ ‘සේවය ලබන්ට නොව සේවය කරන්නටය.’ (එපීස 1:22; මතෙව් 20:28) යේසුස් මෙන් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙකු ඔහුගේ මූලිකත්වය මෙහෙයවන්නේ ආත්මාර්ථකාමී වාසි තකා නොව, නමුත් තම භාර්යාවගේ හා දරුවන්ගේ, ඔව් මුළු පවුලේම ශුභසිද්ධිය උදෙසාය. (1 කොරින්ති 13:4, 5) තමාගේ හිස වන යේසුස් ක්‍රිස්තුස් විදහාපෙන්වූ දේවගුණාංග විදහාපෙන්වීමට ඔහු වෑයම් කරයි. යේසුස් මෙන් ඔහුද මෘදුය. හදවතින් යටහත් පහත්ය. (මතෙව් 11:28-30) ඔහු අතින් වැරදි සිදු වන විට “මට සමාවෙන්න,” “ඔයා හරි” වැනි වදන් තම මුවින් පිට කිරීම ඔහුට අමාරු දෙයක් නොවේ. ඔහු හොඳ ආදර්ශයක් තබන්නේ නම් භාර්යාවට “සහකාරියක්,” නොහොත් “අනුපූරකයෙක්”[NW] වීම හා එවන් පුරුෂයෙකු සමඟ ‘පංගුකාරියක්’ වීම පහසුය. එමෙන්ම ඔහුගෙන් ඉගෙනගැනීම හා ඔහු සමඟ අත් වැල් බැඳගෙන වැඩ කිරීමද පහසුය.—උත්පත්ති 2:20; මලාකී 2:14.

12. මූලිකත්වයේ ප්‍රතිපත්තියට එකඟව ක්‍රියා කරන්න භාර්යාවකට උපකාරවත් වන්නේ කුමක්ද?

12 තම ස්වාමිපුරුෂයාට යටත් වීම භාර්යාවගේ පැත්තෙන් ඉටු විය යුතු දෙයකි. කෙසේවෙතත්, ඇය ලෝකයේ ස්වභාවයට යට වුවහොත් මූලිකත්වයේ ප්‍රතිපත්තිය පිළිබඳ ඇගේ දෘෂ්ටිය බොඳ වී යෑමට ඉඩ තිබේ. එමෙන්ම පුරුෂයෙකුට යටත් වීමේ අදහස ඇයට ප්‍රිය දෙයක් නොවිය හැක. පුරුෂයා ඒකාධිපතියෙකු ලෙස සිය මූලිකත්වය මෙහෙයවිය යුතු බව ශුද්ධ ලියවිලි පෙන්වා දෙන්නේ නැත. එනමුත් භාර්යාවන්ට පවසා තිබෙන්නේ තම ස්වාමිපුරුෂයන්ට යටත් වීම අවශ්‍ය බවය. (එපීස 5:24) පවුලේ සියලු කටයුතු සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ ස්වාමිපුරුෂයා බව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන අතර, මෙම උපදේශය අදාළ කරගන්නා විට පවුලේ සාමයට හා විනයට දායක වේ.—පිලිප්පි 2:5.

13. යටත්කම සම්බන්ධයෙන් යේසුස් දරුවන් සඳහා තැබූ ආදර්ශය කුමක්ද?

13 දරුවන් දෙමාපියන්ට කීකරු විය යුතුයි. මේ සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය විශිෂ්ටයි. දේවමාළිගාවේ සිද්ධියෙන් පසු 12 හැවිරිදි වියේ පසු වූ යේසුස් “[සිය දෙමාපියන්] සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව [සිටියේය].” (ලූක් 2:51) දරුවන් දෙමාපියන්ට යටත් වෙනවා නම්, එය පවුලේ සාමයට හා සමඟියට දායක වේ. පවුලේ සෑම කෙනෙකුම ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වීමේ ප්‍රතිඵලය ප්‍රීතිමත් පවුලක් ඇතිවීමයි.

14, 15. නිවස තුළ දුෂ්කර තත්වයන් පැනනඟින අවස්ථාවලදී සාර්ථකව කටයුතු කිරීම සඳහා අපට උපකාරවත් වන්නේ කුමක්ද? මෙය නිදසුනකින් පැහැදිලි කරන්න.

14 නිවස තුළ දුෂ්කර තත්වයන් ඇති වන අවස්ථාවලදී පවා ඒවාට සාර්ථකව මුහුණ දීමේ රහස, යේසුස්ව අනුකරණය කරමින් ඔහුගේ මඟ පෙන්වීම් පිළිගැනීමයි. මේ අද්දැකීම සලකා බලන්න. තිස්පස් හැවිරිදි ජෙරී නහඹර වියේ පසු වූ දියණියක සිටි ලානා සමඟ විවාහ වූයේය. ප්‍රතිඵලයක් ලෙස මොවුන් දෙදෙනාට බලාපොරොත්තු නොවූ ගැටලුවකට මුහුණ දීමට සිදු විය. ජෙරී මේ ගැටලුව ගැන මෙසේ පවසයි. “මූලිකත්වය හොඳින් මෙහෙයවන්න නම් සාර්ථක පවුල් ජීවිත ගත කරන අනිත් අය වගේ මමත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත යුතුයි කියලා මම දැනගෙන හිටියා. ඒ වුණත් මම ඒ ප්‍රතිපත්ති අදාළ කරගනිද්දී ප්‍රඥාව හා විචාර බුද්ධිය වැඩියෙන් පාවිච්චි කරන්න ඕනෙ කියා වැඩි කල් යන්න කලින් මට තේරුණා.” ඔහුගේ සුළු දියණිය ඔහුව සැලකුවේ ඇගේ මවව ඇගෙන් උදුරාගත් කෙනෙකු ලෙසයි. එනිසා ඇය ඔහු සමඟ දැඩි අමනාපයකින් පසු වූවාය. මේ ගැහැනු ළමයාගේ මෙම ආකල්පය ඇය කරන කියන දේවල් කෙරෙහි බලපාන බව තේරුම්ගැනීමට ජෙරීට විචාර බුද්ධිය අවශ්‍ය විය. ඔහු මේ තත්වයට මුහුණ දුන්නේ කෙසේද? ජෙරීම මෙසේ පිළිතුරු දෙයි. “මම මගේ සුළු දියණිය සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගන්න වෑයම කරන අතරේදී, දෙමාපියන්ට පැවරෙන දරුවන්ව හික්මවීමේ වගකීම ටික කලකට ලානා භාරගත්තොත් හොඳයි කියා අපි දෙන්නාම තීරණය කළා. කලකට පසු අපිට එයින් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වුණා.”

15 පවුලේ සාමාජිකයන් කරන කියන දේවල් නිසා නිවස තුළ දුෂ්කර තත්වයන් මතු වන අවස්ථාවලදී, ඔවුන් එසේ ක්‍රියා කිරීමට හේතු මොනවාද කියා තේරුම්ගන්න අපට විචාර බුද්ධිය අවශ්‍යයි. මෙහිදී අපට ප්‍රඥාවද අවශ්‍ය වන්නේ දේවප්‍රතිපත්ති අදාළ කරගෙන ගැටලු නිසි ලෙස හැසිරවීමටයි. නිදසුනක් වශයෙන්, රුධිරය වහනය වීමේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රිය තමාට අත ගැසීමට හේතුව හොඳින් තේරුම්ගත් යේසුස් නැණවත් ලෙස හා දයානුකම්පාවෙන් ඇය සමඟ කටයුතු කළේය. (ලෙවී කථාව 15:25-27; මාර්ක් 5:30-34) ප්‍රඥාව හා විචාර බුද්ධිය අපේ නායකයාගේ කැපීපෙනෙන ගුණාංග අතර වේ. (හිතෝපදේශ 8:12) ඔහු ක්‍රියා කළ ආකාරයට අපත් ක්‍රියා කරනවා නම් එහි ප්‍රතිඵලය සන්තෝෂයයි.

‘පළමුව රාජ්‍යය සොයමින් සිටින්න’

16. අපේ ජීවිතයේ මුල් තැන හිමි විය යුත්තේ කුමකටද? යේසුස් මෙය තම ආදර්ශයෙන් පෙන්වූයේ කෙසේද?

16 තම නායකත්වය පිළිගන්න අයගේ ජීවිතවල මුල් තැන හිමි විය යුත්තේ කුමකටද කියා ඉතාමත් පැහැදිලිව සඳහන් කරමින් යේසුස් මෙසේ පැවසුවේය. ‘පළමුව ඔහුගේ [දෙවිගේ] රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයමින් සිටින්න.’ (මතෙව් 6:33) මෙය කරන්නේ කෙසේද කියා ආදර්ශයෙන් ඔහු පෙන්නුවේය. යේසුස් බව්තීස්ම වීමෙන් පසු නිරාහාරව සිටිමින් මෙනෙහි කිරීමෙහි හා යාච්ඤාවේ නිරතව සිටි දින 40 අවසානයේදී පරීක්ෂණයකට මුහුණ දීමට ඔහුට සිදු විය. සාතන් නමැති යක්ෂයා “ලෝකයේ සියලු රාජ්‍යයන්” පාලනය කිරීමේ අවස්ථාව ඔහු ඉදිරියෙහි තැබීය. යේසුස් එය පිළිගත්තා නම් ඔහුට ගත කරන්න තිබුණු ජීවිතය ගැන සිතා බලන්න. කෙසේවෙතත්, ක්‍රිස්තුස් අවධානය යොමු කළේ දෙවිගේ කැමැත්ත කිරීමටයි. සාතන්ගේ ලෝකයේ සියලු බලතල ලබාගෙන ගත කළ හැකි ජීවිතය කෙටි කාලීන බව ඔහු තේරුම්ගත්තේය. සාතන් ඉදිරිපත් කළ දෙය ඔහු විගස ප්‍රතික්ෂේප කළේ මෙසේ පවසමිනි. ‘නුඹේ දෙවි වූ යෙහෝවාට නමස්කාර කරන්න. ඔහුට පමණක් සේවය කරන්නැයි ලියා තිබේ.’ මෙම සිද්ධිය සිදු වී වැඩි කල් යන්න කලින් යේසුස් “පසුතැවිලි වෙන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළං වී තිබේය කියා දේශනා කරන්ට පටන්ගත්තේය.” (මතෙව් 4:2, 8-10, 17) ක්‍රිස්තුස් පොළොව මත ගත කළ ඉතිරි දවස් කිහිපයේදී ඔහු තම කාලය මුළුමනින්ම වැය කළේ දේවරාජ්‍යය ගැන ජනයාට ප්‍රකාශ කිරීමටයි.

17. රාජ්‍යය කටයුතුවලට අපේ ජීවිතයේ මුල් තැන හිමි වී තිබෙන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

17 ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් කිරීම අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය කරගැනීමට සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන ඇමවල්වලට හසු නොවී, අපේ නායකයාව අප අනුකරණය කිරීම යහපති. (මාර්ක් 1:17-21) රාජ්‍යය හා සම්බන්ධ කාරණා දෙවන තැනට දමන තරමටම ලෞකික ලුහුබැඳීම් නමැති මලපතට අප ගොදුරු වුවහොත් එය මොනතරම් අනුවණ දෙයක්ද! රාජ්‍යය ගැන දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යය යේසුස් අපට බාර දී තිබේ. (මතෙව් 24:14; 28:19, 20) රක්ෂා කිරීමට පවුලක් අපට සිටින්න පුළුවනි. එමෙන්ම ඉටු කිරීමට තවත් වගකීම් තිබෙන්නත් පුළුවනි. නමුත් දේශනා කිරීමට හා ඉගැන්වීමට අපට පැවරී තිබෙන වගකීම ඉටු කිරීම සඳහා සැන්දෑ කාලය හා සති අන්ත යොදාගැනීමෙන් අප සතුටක් ලබන්නේ නැද්ද? පසුගිය 2001 සේවා වසරේදී 7,80,000දෙනෙකුට පමණ පූර්ණ කාලීන සේවකයන් නොහොත් පුරෝගාමීන් ලෙස සේවය කිරීමට හැකිවීම මොනතරම් දිරිගැන්වීමක්ද!

18. දේවසේවයේ හවුල් වීමෙන් ප්‍රීතියක් ලබන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

18 සුවිශේෂ වාර්තාව යේසුස්ව විස්තර කරන්නේ කාර්යශූර මෙන්ම මෘදු මොළොක් හැඟීම්වලින් යුත් පුද්ගලයෙකු ලෙසය. තමන් වටා සිටි අයගේ ආත්මික අවශ්‍යතා තේරුම්ගත් ඔහු, ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් පෙලඹී ඔවුන්ට උපකාර කළේය. (මාර්ක් 6:31-34) අපට පැවරී තිබෙන දේවසේවයෙන් ප්‍රීතියක් ලැබිය හැක්කේ අන් අය සඳහා තිබෙන ප්‍රේමයෙන් පෙලඹී, ඔවුන්ට උපකාර කිරීමේ අවංක ආශාව ඇතුව අප එහි හවුල් වන විටයි. එහෙත් එවන් ආශාවක් අප ඇති කරගන්නේ කෙසේද? “මම නහඹර වියේ පසු වුණ කාලයේදී දේවසේවයේ හවුල් වුණේ ඕනෑවට එපාවටයි” කියා ජේසන් නමැති තරුණයා පවසයි. මේ සේවය සඳහා ආශාවක් ඇති කරගන්න ඔහුට උපකාරවත් වූයේ කුමක්ද? ජේසන් මෙසේ උත්තර දෙයි. “මගේ පවුලේ අය සෙනසුරාදා උදේ වරුව වෙන් කරලා තිබුණේ සේවයේ හවුල් වෙන්නයි. මේ විදිහට නිශ්චිත දවස් වෙන් කරල තිබුණු එක මට සෑහෙන උපකාරයක් වුණා. මොකද වැඩි වැඩියෙන් හවුල් වෙද්දී එයින් ලැබෙන හොඳ ප්‍රතිඵල දකින්නත් වැඩි ප්‍රීතියක් ලබන්නත් මට හැකි වුණා.” අපත් නිතිපතා ක්‍රියාශීලීව දේවසේවයේ හවුල් විය යුතුයි.

19. ක්‍රිස්තුස්ගේ නායකත්වය ගැන සලකා බලන කල අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 ක්‍රිස්තුස්ගේ නායකත්වය පිළිගැනීම, තෘප්තිමත් හා ප්‍රබෝධවත් දිවියකට මඟ සලසන බව නිසැකයි. එසේ කරන විට යොවුන් විය, දැනුමෙහි හා ප්‍රඥාවෙහි වර්ධනය වීම සඳහා යොදවන ඵලදායී කාලයක් වනු ඇත. පවුල් ජීවිතය තුළ සාමය හා සතුට භුක්ති විඳිය හැක. එමෙන්ම දේවසේවය ප්‍රීතිය හා තෘප්තිය ගෙන දෙන කාර්යයක් වනු ඇත. එසේනම් ක්‍රිස්තුස්ගේ නායකත්වය අප සැබෑ දෙයක් ලෙස සලකන බව අපේ දෛනික ජීවිතයෙන් හා අප ගන්නා තීරණවලින් පෙන්වීමට අදිටන් කරගනිමු. (කොලොස්සි 3:23, 24) ක්‍රිස්තුස් නායකත්වය සපයන තවත් මාධ්‍යයක් තිබේ. එනම් ක්‍රිස්තියානි සභාවයි. මෙම විධිවිධානයෙන් අපට ප්‍රයෝජන අත් කරගත හැකි ආකාරය ගැන ඊළඟ ලිපියේදී අපි සාකච්ඡා කරමු.

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

ඔබට මතකද?

• දෙවි පත් කර තිබෙන නායකයාව අනුගමනය කිරීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

• යේසුස්ගේ නායකත්වය අනුගමනය කිරීමට තමන්ට වුවමනා බව යෞවනයන්ට පෙන්විය හැක්කේ කෙසේද?

• පවුලේ සාමාජිකයන් ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වන විට, එය පවුල් ජීවිතයට බලපාන්නේ කෙසේද?

• අප ක්‍රිස්තුස්ගේ නායකත්වය සැබෑ යමක් ලෙස සලකන බව අපේ දේවසේවයෙන් අපට පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

දෙවි ගැනත් පත් කරන ලද අපේ නායකයා ගැනත් දැනුම ලබාගැනීමට හොඳ කාලයකි යෞවන කාලය

[10වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වීමෙන් පවුලේ සන්තෝෂය තව තවත් වැඩි වේ

[12වන පිටුවේ පින්තූර]

යේසුස් මුල් තැන දුන්නේ රාජ්‍යයටයි. ඔබත් එසේද?