Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස් ඔහුගේ සභාවට නායකත්වය දෙයි

ක්‍රිස්තුස් ඔහුගේ සභාවට නායකත්වය දෙයි

ක්‍රිස්තුස් ඔහුගේ සභාවට නායකත්වය දෙයි

“පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.”—මතෙව් 28:20, NW.

1, 2. (අ) ගෝලයන් සෑදීමේ ආඥාව දුන් අවස්ථාවේදී නැවත නැඟිට සිටි යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන් පොරොන්දුව කුමක්ද? (ආ) යේසුස් ක්‍රියාකාරි ලෙස මුල් ක්‍රිස්තියානි සභාවට නායකත්වය දුන්නේ කෙසේද?

 නැවත නැඟිටුවන ලද අපේ නායකයා යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයට යෑමට කලින් සිය ගෝලයන් ඉදිරියෙහි පෙනී සිට මෙසේ පැවසුවේය. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. [පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත්] නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි [පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි NW].”—මතෙව් 23:10; 28:18-20.

2 යේසුස් තම ගෝලයන්ට තව තවත් ගෝලයන් සෑදීමේ ජීවිත ගළවන කාර්යය පැවරුවා පමණක් නොව, ඔවුන් සමඟ සිටින බවටද පොරොන්දු විය. ක්‍රිස්තියානි ධර්මයේ මුල් ඉතිහාසය ගැන දැනගැනීමට බයිබලයේ ක්‍රියා පොත මහෝපකාරි වේ. එම වාර්තාව කියවීමේදී අලුත පිහිටුවන ලද සභාවට නායකත්වය දීම සඳහා යේසුස් ඔහුට දී තිබෙන බලතල පාවිච්චි කළ බව මනාව පැහැදිලි වේ. තම පොරොන්දුවට එකඟව අනුගාමිකයන්ව ශක්තිමත් කිරීමට හා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සැපයීම සඳහා “උපකාරකයා,” [NW] නොහොත් ශුද්ධාත්මය ඔහු එවීය. (යොහන් 16:7; ක්‍රියා 2:4, 33; 13:2-4; 16:6-10) නැවත නැඟිටුවන ලද යේසුස් තම ගෝලයන්ට උපකාර කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී යොදාගත්තේ තම අණසක යටතේ සිටි දේවදූතයන්වයි. (ක්‍රියා 5:19; 8:26; 10:3-8, 22; 12:7-11; 27:23, 24; 1 පේතෘස් 3:22) එපමණක්ද නොව, අපේ නායකයා සභාවට මඟ පෙන්වීම සැපයීමේ අරමුණ ඇතුව පාලක මණ්ඩලයක් ලෙස කටයුතු කිරීම සඳහා සුදුසුකම් ලත් පුරුෂයන්ව පත් කිරීමේ විධිවිධානයක්ද ඇති කළේය.—ක්‍රියා 1:20, 24-26; 6:1-6; 8:5, 14-17.

3. මේ ලිපියේදී සාකච්ඡාවට ලක් වන්නේ කුමන ප්‍රශ්නද?

3 අප ජීවත් වන “පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය” ගැන කුමක් කිව හැකිද? යේසුස් ක්‍රිස්තුස් අද තිබෙන ක්‍රිස්තියානි සභාවට නායකත්වය දෙන්නේ කෙසේද? එමෙන්ම මෙම නායකත්වය අප පිළිගන්න බව පෙන්විය හැක්කේ කෙසේද?

ස්වාමියාට විශ්වාසවන්ත දාසයෙක් සිටියි

4. (අ) “විශ්වාස වූ නුවණ ඇති දාසයා” සෑදී ඇත්තේ කාගෙන්ද? (ආ) ස්වාමියා දාසයාට බලාගැනීම සඳහා බාර දී තිබෙන්නේ කුමක්ද?

4 තමන් පැමිණ සිටින කාලය හා සම්බන්ධ ලකුණ ගැන අනාවැකිය පැවසූ අවස්ථාවේදී යේසුස් මෙසේ පැවසීය. “ස්වාමියා විසින් තමාගේ ගෙයිවැසියන්ට නියම වේලාවට කෑම දෙන්ට ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාස වූ නුවණ ඇති දාසයා කවුද? ස්වාමියා එන කල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාද ලද්දෙක්ය. සැබවක් නුඹලාට කියමි—ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය.” (මතෙව් 24:45-47) “ස්වාමියා” අපේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස්ය. පොළොව මත තිබෙන ඔහු සතු දේවල් රැකබලා ගැනීම සඳහා ඔහු ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාව,’ එනම් මිහිපිට සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන් සමූහයව පත් කර තිබේ.

5, 6. (අ) ප්‍රේරිත යොහන් දර්ශනයකදී දුටු ‘පහන් රුක් සතෙන්’ හා ‘තාරකා සතෙන්’ නියෝජනය වන්නේ කුමක්ද? (ආ) “තාරකා සත” යේසුස්ගේ දකුණතෙහි තිබීමෙන් අඟවන්නේ කුමක්ද?

5 විශ්වාස වූ නුවණ ඇති දාසයා ඍජුවම යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ පවතින බව බයිබලයේ එළිදරව් පොත පෙන්වා දෙයි. ‘ස්වාමීන්ගේ දවසේදී’ සිදු වන දේවල් පිළිබඳ දර්ශනයකදී ‘රන් පහන් රුක් සතක්ද, ඒ පහන් රුක් මැද මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි වූ කෙනෙක්’ ඔහුගේ ‘දකුණතෙහි තාරකා සතක්ද ඇතුව සිටිනවා’ ප්‍රේරිත යොහන් දුටුවේය. දර්ශනය ගැන යොහන්ට පැහැදිලි කරමින් යේසුස් මෙසේ පැවසීය. “මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියන්න. තාරකා සත නම් සභා සතේ දූතයෝය. පහන් රුක් සත නම් සභා සතය.”—එළිදරව් 1:1, 10-20.

6 ‘රන් පහන් රුක් සතෙන්’ නියෝජනය වන්නේ 1914දී ආරම්භ වූ ‘ස්වාමීන්ගේ දවසේ’ පැවති සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සියලුම සභාවන්ය. “තාරකා සත” ගැන කුමක් කිව හැකිද? ඒවායින් මුල් අවස්ථාවේදී සංකේතවත් කළේ මුල් සියවසේ පැවති එම සභාවන් රැකබලා ගත් ආත්මයෙන් උත්පාදනය වූ අභිෂේක ලත් අවේක්ෂකයන් සියලුදෙනාවයි. a මෙම අවේක්ෂකයන් සිටියේ යේසුස්ගේ දකුණු අතෙහිය. මෙයින් අදහස් කෙරෙන්නේ ඔවුන් ඔහුගේ පාලනය හා මඟ පෙන්වීම යටතේ සිටින බවයි. දාස පන්තියට නායකත්වය දුන්නේ ක්‍රිස්තුස් යේසුස්ය. කෙසේවෙතත්, දැන් සිටින්නේ අභිෂේක ලත් අවේක්ෂකයන් ස්වල්ප දෙනෙකි. එසේනම් අද ලොව පුරා තිබෙන 93,000කට වැඩි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් කෙරෙහි ක්‍රිස්තුස්ගේ නායකත්වය විහිදී යන්නේ කෙසේද?

7. (අ) ලොව පුරා පිහිටි සභාවලට නායකත්වය දීම සඳහා යේසුස් පාලක මණ්ඩලය යොදාගන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි අවේක්ෂකයන්ව පත් කරනු ලබන්නේ ශුද්ධාත්මයෙන් කියා පැවසිය හැක්කේ මන්ද?

7 මුල් සියවසේදී මෙන් අදත් අභිෂේක ලත් අවේක්ෂකයන් අතරින් තෝරාගත් සුදුසුකම් තිබෙන පුරුෂයන් කිහිපදෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් පාලක මණ්ඩලය ලෙස සේවය කරයි. මොවුහු සමස්ත විශ්වාස වූ නුවණැති දාසයාව නියෝජනය කරති. ආත්මයෙන් අභිෂේක ලත් හෝ නොලත් සුදුසුකම් තිබෙන පුරුෂයන්ව ලොව පුරා පිහිටි සභාවල සේවය කිරීම සඳහා වැඩිමහල්ලන් ලෙස පත් කිරීමට අපේ නායකයා යොදාගන්නේ එම පාලක මණ්ඩලයවයි. මෙහිදී ශුද්ධාත්මය අතිවැදගත් කාර්යභාරයක් ඉටු කරයි. යේසුස්ට එය යොදාගැනීමේ බලතල යෙහෝවා දී ඇත. (ක්‍රියා 2:32, 33) මුලින්ම, මෙම අවේක්ෂකයන් ශුද්ධාත්මයේ ආනුභාවයෙන් ලියවී තිබෙන දෙවිගේ වචනයේ සඳහන් සුදුසුකම් විදහාපෑ යුතුය. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9; 2 පේතෘස් 1:19, 21) නිර්දේශ කිරීම් හා පත් කිරීම් සිදු කරන්නේ යාච්ඤා කිරීමෙන් අනතුරුව හා ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේය. මේ හැර පත් කරනු ලබන්න පුද්ගලයෝ ආත්මයේ ඵල විදහාපෙන්වන බවට සාක්ෂි සපයති. (ගලාති 5:22, 23) අභිෂේක ලත් නොලත් සියලුම වැඩිමහල්ලන්ට පාවුල්ගේ මෙම උපදේශය එක හා සමානව අදාළ වේ. “ඔබ ගැනත් ශුද්ධාත්මය මගින් අවේක්ෂකයන් ලෙස ඔබව පත් කර තිබෙන මුළු රැළ ගැනත් අවධානය දෙන්න.” (ක්‍රියා 20:28, NW) පත් කරනු ලබන මෙම පුරුෂයන්ට පාලක මණ්ඩලයෙන් මඟ පෙන්වීම් ලැබෙන අතර ඔවුන් එඬේරුන් ලෙස සභාවල සේවය කරන්නේ කැමැත්තෙනි. මෙයාකාරයෙන් ක්‍රිස්තුස් අප සමඟ සිටිමින් ක්‍රියාකාරි ලෙස සභාවට නායකත්වය දෙයි.

8. ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට නායකත්වය දීමට දේවදූතයන්ව යොදාගන්නේ කෙසේද?

8 යේසුස් අද සිටින ඔහුගේ අනුගාමිකයන්ට නායකත්වය දීම සඳහා දේවදූතයන්වද යොදාගනියි. තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවේ සඳහන් අස්වැන්න කපන කාලය පැමිණෙන්නේ ‘පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදයේදීය.’ [NW] අස්වැන්න කැපීමට ස්වාමියා යොදාගන්නේ කාවද? “කපන්නෝ නම් දේවදූතයෝය” කියා ක්‍රිස්තුස් පැවසීය. ඔහු ඊට මෙසේද එකතු කළේය. ‘මනුෂ්‍ය පුත්‍රයා තම දූතයන් එවන්නේය. ඔවුහු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද ඔහුගේ රාජ්‍යයෙන් වෙන් කරන පිණිස රැස් කරන්නෝය.’ (මතෙව් 13:37-41) එතියෝපීය නපුංසකයා වෙත යෑමට පිලිප්ට මඟ පෙන්වූයේ දේවදූතයෙකි. ඒ හා සමානව අවංක හදවත් ඇති අයව සොයාගැනීමට අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන් සිදු කරන කාර්යයට මඟ පෙන්වීම සැපයීම සඳහා යේසුස් ඔහුගේ දූතයන්ව යොදාගන්න බවට ඕනෑතරම් සාක්ෂි තිබේ.—ක්‍රියා 8:26, 27; එළිදරව් 14:6.

9. (අ) අදදින ක්‍රිස්තුස් ක්‍රිස්තියානි සභාව කෙරෙහි සිය නායකත්වය මෙහෙයවන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තුස්ගේ නායකත්වයෙන් ප්‍රයෝජන ගැනීමට නම් අප සලකා බැලිය යුත්තේ කිනම් ප්‍රශ්නයද?

9 යේසුස් ක්‍රිස්තුස් අදදින සිටින ඔහුගේ අනුගාමිකයන්ට පාලක මණ්ඩලය, ශුද්ධාත්මය හා දේවදූතයන් මගින් නායකත්වය සපයන බව දැන සිටීම අප තුළ ඇති කරන්නේ මොනතරම් නිසැකකමක්ද! හිංසා පීඩා හෝ වෙනත් දුෂ්කරතා නිසා යෙහෝවාගේ නමස්කාරකයන් අතර සිටි සමහරුන්ට පාලක මණ්ඩලය සමඟ සබඳතා පවත්වාගත නොහැකි විය. මෙවන් තත්වයන් මැද පවා ක්‍රිස්තුස් ශුද්ධාත්මය හා දේවදූතයන් මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වීම සපයයි. කෙසේවෙතත් අප ඔහුගේ නායකත්වයෙන් ප්‍රයෝජන ලබන්නේ අප එය පිළිගන්නේ නම් පමණි. අප ක්‍රිස්තුස්ගේ නායකත්වය පිළිගන්න බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

“කීකරුව යටත් වෙන්න”

10. සභාවේ පත් කර සිටින වැඩිමහල්ලන්ට අප ගෞරව කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

10 අපේ නායකයා “තෑගි වශයෙන් මනුෂ්‍යයන්ව,” [NW] සභාවලට දී තිබෙන අතර, ඔවුන්ගෙන් “සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද [එඬේරුන්ද, NW] සමහරුන් ගුරුවරුන්ද කොට” පත් කර ඇත. (එපීස 4:8, 11, 12) ක්‍රිස්තුස්ගේ නායකත්වය අපි පිළිගන්නවාද නැද්ද කියා අපේ ආකල්ප හා ක්‍රියාවලින් පැහැදිලිව හෙළි වේ. ක්‍රිස්තුස් අපට දී ඇති ආත්මිකව සුදුසුකම් ලත් පුරුෂයන් ගැන ‘ස්තුතිවන්ත වීම’ සුදුසුය. (කොලොස්සි 3:15) අපේ ගෞරවයද ඔවුන්ට හිමි විය යුතුයි. “යහපත් ලෙස ප්‍රධානකම් කරන [පෙරමුණ ගන්නා, NW] වැඩිමහල්ලෝ . . . දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝය.” කියා ප්‍රේරිත පාවුල් ලීවේය. (1 තිමෝති 5:17) සභාවේ වැඩිමහල්ලන් නොහොත් අවේක්ෂකයන් අපට දී තිබීම ගැන අපේ ස්තුතියත් අප ඔවුන්ට ගෞරව කරන බවත් පෙන්විය හැක්කේ කෙසේද? පාවුල් මෙසේ පිළිතුරු දෙයි. ‘නුඹලාගේ ප්‍රධානීන්ට [ඔබ අතරේ පෙරමුණ ගන්න අයට, NW] කීකරුව යටත් වෙන්න.’ (හෙබ්‍රෙව් 13:17) ඔව්, අපි ඔවුන්ට කීකරුව යටත් විය යුතු අතර ඔවුන් දෙන මඟ පෙන්වීමට අවනත විය යුතුය.

11. සභාව තුළ වැඩිමහල්ලන් සිටීමේ විධිවිධානයට ගරු කිරීම අපේ කැපවීමට එකඟව ජීවත් වීමේ ලක්ෂණයක් වන්නේ මන්ද?

11 අපේ නායකයා පරිපූර්ණයි. එනමුත් ඔහු තෑගි වශයෙන් දී තිබෙන මනුෂ්‍යයන් පරිපූර්ණ නැත. එනිසා සමහර අවස්ථාවලදී ඔවුන් අතින් වැරදි සිදු විය හැක. එසේවුවත් අප ක්‍රිස්තුස්ගේ විධිවිධානයට දිගටම පක්ෂපාතව සිටීම අවශ්‍යයි. ඇත්තෙන්ම අපේ කැපවීමට හා බව්තීස්මයට එකඟව ජීවත් වීමෙන් අදහස් වන්නේ සභාව තුළ ආත්මයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අධිකාරය වලංගු යමක් සේ පිළිගෙන ඊට කැමැත්තෙන්ම යටත් වීමය. අප ‘ශුද්ධාත්මයේ නාමයට’ බව්තීස්ම වීමෙන් අදහස් වන්නේ ශුද්ධාත්මය යනු කුමක්ද යන්න අප තේරුම්ගෙන තිබෙන බවටත් යෙහෝවාගේ අරමුණු ඉටුවීමේදී එමගින් සිදු කෙරෙන කාර්යභාරය අප පිළිගෙන තිබෙන බවටත් අප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමකි. (මතෙව් 28:19) එසේ බව්තීස්ම වීමෙන් අප පෙන්වන්නේ ආත්මයේ ක්‍රියාකාරිත්වයට අප සහය දෙන බවත් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් අතරට එය නිදහසේ ගලා ඒම වළක්වන කිසිම දෙයක් අප නොකරන බවත්ය. වැඩිමහල්ලන්ව නිර්දේශ කිරීමේදී හා පත් කිරීමේදී ශුද්ධාත්මය මගින් අතිවැදගත් කාර්යභාරයක් සිදු කෙරෙන නිසා, සභාව තුළ වැඩිමහල්ලන් සිටීමේ විධිවිධානයට අප සහයෝගය නොදුන්නොත්, අපේ කැපවීමට එකඟව අප ජීවත් වෙනවා කියා අපට ඇත්තටම කිව හැකිද?

12. අධිකාරයට අගෞරව කිරීම සම්බන්ධයෙන් යූද් සඳහන් කරන අවාදර්ශ මොනවාද? ඒවායින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

12 කීකරු වීමේ හා යටත් වීමේ වැදගත්කම අපට උගන්වන ආදර්ශ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වේ. සභාවේ සිටින පත් කරන ලද පුරුෂයන්ව දැඩි ලෙස විවේචනය කරන අය ගැන සඳහන් කරමින් ශ්‍රාවක යූද් අනතුරු අඟවන ආදර්ශ තුනක් ගැන මෙසේ පවසයි. “ඔවුන්ට දුක් වේ! මක්නිසාද ඔවුහු කායින්ගේ මාර්ගයෙහි ගමන් කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ [කැරලිකාර, NW] කථාවේදී විනාශ වූවෝය.” (යූද් 11) යෙහෝවා ප්‍රේමනීය ලෙස දුන් උපදෙස් නොසලකා හැරිය කායින් මිනි මැරීමට මඟ පෑදූ වෛරයේ ක්‍රියා පරිපාටියක් අනුගමනය කළේ හිතාමතාමය. (උත්පත්ති 4:4-8) කිහිප වතාවක්ම දෙවිගෙන් අනතුරු ඇඟවීම් ලැබුණත් බාලාම් වෑයම් කළේ තෑගි බෝග ලබාගැනීමේ අරමුණින් දෙවිගේ සෙනඟට ශාප කරන්නයි. (ගණන් කථාව 22:5-28, 32-34; ද්විතීය කථාව 23:5) කෝරාට ඉශ්‍රායෙල්හි ගෞරවනීය වගකීමක් පවරා තිබුණත් ඔහු එයින් සෑහීමට පත් වූයේ නැත. ඔහු දෙවිගේ සේවකයෙකු වූ පොළොවේ සිටි ඉතා මෘදු ගුණාන්විත මිනිසා වූ මෝසෙස්ට විරුද්ධව කැරැල්ලක් දියත් කළේය. (ගණන් කථාව 12:3; 16:1-3, 32, 33) කායින්, බාලාම් හා කෝරාට විපත්තිවලට මුහුණ දීමට සිදු විය. සභාවල වගකීම් දැරීමට යෙහෝවා යොදාගන්න පුද්ගලයන් දෙන උපදෙස්වලට සවන් දීම හා ඔවුන්ට ගෞරව කිරීම සම්බන්ධයෙන් එම අවාදර්ශ අපට උගන්වන්නේ මොනතරම් බලගතු පාඩමක්ද!

13. අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළ පරිදි සභාව තුළ වැඩිමහල්ලන් සිටීමේ විධිවිධානයට යටත් වන අය අද්දකින ආශීර්වාද මොනවාද?

13 අපේ නායකයා ක්‍රිස්තියානි සභාවෙහි පිහිටුවා තිබෙන අධීක්ෂණ කටයුතු මෙහෙයවීමේ විධිවිධානයෙන් ප්‍රයෝජන ලබාගැනීමට කැමති නොවන්නේ කවුද? මෙහි ආශීර්වාද ගැන අනාගතවක්තෘ යෙසායා මෙසේ පුරෝකථනය කළේය. “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම් කරන්නේය, අධිපතීහුද දැහැමින් [යුක්තියෙන්, NW] අධිපතිකම් කරන්නෝය. මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවා වෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩා වූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.” (යෙසායා 32:1, 2) මෙම විචිත්‍රවත් විස්තරයෙන් කියවෙන පරිදි ආරක්ෂාවක් සපයන “ඉඩමක්” නොහොත් ස්ථානයක් වීම සෑම වැඩිමහල්ලෙකුගෙන්ම අපේක්ෂා කෙරේ. අධිකාරයට යටත් වීම අපට අමාරු දෙයක් විය හැකියි. එසේ වුවත් සභාව තුළ දෙවි නියම කර තිබෙන අධිකාරයට කීකරුව යටත් වීමට යාච්ඤා පූර්වකව උත්සාහ කරමු.

වැඩිමහල්ලන් ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වන අයුරු

14, 15. තමන් ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වන බව සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන අය පෙන්වන්නේ කෙසේද?

14 සෑම ක්‍රිස්තියානියෙකුම, විශේෂයෙන්ම වැඩිමහල්ලන් ක්‍රිස්තුස්ගේ නායකත්වය අනුගමනය යුතුයි. වැඩිමහල්ලන්ට නැතහොත් අවේක්ෂකයන්ට සභාව තුළ යම් ප්‍රමාණයක අධිකාරයක් ලැබී තිබේ. එහෙත් ඔවුහු සෙසු ඇදහිලිවන්තයන්ගේ කටයුතුවලට ඇඟිලි ගසමින් ‘ඔවුන්ගේ ඇදහිල්ල කෙරෙහි බලය පැවැත්වීමට’ වෑයම් නොකරති. (2 කොරින්ති 1:24) වැඩිමහල්ලෝ ක්‍රිස්තුස්ගේ මෙම වදන් සිතට ගනිති. “අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයන් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය.” (මතෙව් 20:25-27) වැඩිමහල්ලන් තමන්ගේ වගකීම් ඉටු කිරීමේදී ඔවුන් අවංකව වෑයම් කරන්නේ අනිත් අයට සේවය කරන්නයි.

15 ක්‍රිස්තියානීන්ගෙන් මහත් ඕනෑකමින් මෙසේ ඉල්ලා තිබේ. “[දෙවිගේ] වචනය නුඹලාට කියා දුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් [ඔබ අතර පෙරමුණ ගන්න අයව, NW] සිහි කරන්න. ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුව යන්නෝ වෙන්න.” (හෙබ්‍රෙව් 13:7) මෙහිදී වැඩිමහල්ලන්ව අනුකරණය කිරීමට දිරිගන්වන්නේ ඔවුන් නායකයන් නිසා නොවන බව සැලකිල්ලට ගන්න. “නුඹලාගේ [නායකයා] එක්කෙනෙක්මය, එනම් [ක්‍රිස්තුස්ය].” කියා යේසුස් පැවසුවේය. (මතෙව් 23:10) අනුකරණය කළ යුත්තේ වැඩිමහල්ලන්ගේ ඇදහිල්ලයි. මන්ද ඔවුන් අපේ සැබෑ නායකයා වන ක්‍රිස්තුස්ව අනුකරණය කරන නිසායි. (1 කොරින්ති 11:1) සභාවේ සිටින අය සමඟ කටයුතු කරන විට වැඩිමහල්ලන් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට වෑයම් කරන ආකාර කිහිපයක් සලකා බලමු.

16. යේසුස්ට මහත් බලතල තිබුණත් ඔහු සිය අනුගාමිකයන් සමඟ කටයුතු කළේ කෙසේද?

16 යේසුස් සෑම අතින්ම අසම්පූර්ණ මිනිසුන්ට වඩා උතුම් විය. එමෙන්ම කිසිවෙකුට නොදෙවෙනි බලයක් සිය පියාගෙන් ඔහුට ලැබී තිබිණ. මෙවන් තත්වයක සිටියත් ඔහු සැමවිටම සිය ගෝලයන් සමඟ කටයුතු කළේ නිහතමානිවයි. තමා සතු දැනුම ප්‍රදර්ශනය කරමින් ඔහුට සවන් දුන් අයව යම් අපහසුතාවකට ලක් කළේ නැත. යේසුස් සිය අනුගාමිකයන්ගේ මානව අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඔවුන් සමඟ සංවේදීව හා දයානුකම්පිතව කටයුතු කළේය. (මතෙව් 15:32; 26:40, 41; මාර්ක් 6:31) සිය ගෝලයන්ට කළ හැකි දෙයට වඩා වැඩියෙන් ඔහු කවදාවත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වූයේ නැත. එමෙන්ම දරන්න බැරි දේවල් ඔවුන් මත තැබුවේද නැත. (යොහන් 16:12) යේසුස් ‘මෘදුව සිතින් යටහත්ව සිටියේය.’ එනිසා සහනය ගෙන දෙන පුද්ගලයෙකු ලෙස බොහෝදෙනෙකු ඔහුව සැලකීම පුදුමයක් නොවේ.—මතෙව් 11:28-30.

17. සභාවේ සිටින අය සමඟ කටයුතු කිරීමේදී ක්‍රිස්තුස්ට සමාන නිහතමානිකමක් වැඩිමහල්ලන් පෙන්විය යුත්තේ කෙසේද?

17 අපේ නායක ක්‍රිස්තුස් නිහතමානිකම විදහාපෙන්වූවා නම්, සභාවල සිටින පෙරමුණ ගන්න අය ඊටත් වඩා කොපමණ වැඩියෙන් නිහතමානි විය යුතුද! තමන්ට ලැබී තිබෙන අධිකාරය කිසිවිටකත් අනිසි ලෙස යොදා නොගැනීමට ඔවුහු වගබලා ගනිති. තමන්ගේ ‘කතාවේ උතුම්කමින්’ අනිත් අයගේ සිත් ඇදගැනීමට ඔවුහු තැත් නොකරති. (1 කොරින්ති 2:1, 2) ඔවුන් වෑයම් කරන්නේ සරලව හා අවංකව ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යය කතා කිරීමටයි. එමෙන්ම වැඩිමහල්ලෝ සභාවේ සිටින අයගෙන් බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන් සාධාරණ වීමටද ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිල්ල දැක්වීමටද මහත් පරිශ්‍රමයක් දරති. (පිලිප්පි 4:5, NW) සෑම කෙනෙකුටම යම් සීමාවන් තිබෙන බව වටහාගන්න වැඩිමහල්ලන් ඔවුන් සමඟ කටයුතු කරන්නේ ඔවුන්ගේ තත්වයන් ප්‍රේමනීය ලෙස තේරුම්ගනිමිනි. (1 පේතෘස් 4:8) යටහත් මෙන්ම මෘදු මොළොක් වැඩිමහල්ලන් ප්‍රබෝධයක් ලැබීමේ උල්පතක් නොවේද? ඇත්තෙන්ම ඔවුහු ප්‍රබෝධයක් ගෙන දෙති.

18. යේසුස් දරුවන්ට සැලකූ ආකාරයෙන් වැඩිමහල්ලන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

18 යේසුස් කුඩා අයට පවා පහසුවෙන් ළඟා විය හැකි කෙනෙකු විය. මිනිසුන් ‘ළමුන්ව ඔහු ළඟට ගෙනෙද්දී’ ඔහුගේ ගෝලයන් ඔවුන්ට ඒ සඳහා ඉඩ නොදුන් අවස්ථාවේදී යේසුස් කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගන්න. “ළදරුවන් මා ළඟට එන්ට හරින්න. ඔවුන් වළක්වන්ට එපා” කියා ඔහු පැවසුවේය. අනතුරුව ඔහු “ඔවුන්ව වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාද [කළේය].” (මාර්ක් 10:13-16) යේසුස් මිත්‍රශීලී හා කරුණාවන්ත පුද්ගලයෙකු වූ අතර, අන් අය ඔහුගේ ඇසුර ප්‍රිය කළහ. යේසුස්ව දුටු විට මිනිසුන් තුළ බියක් ඇති වූයේ නැත. දරුවන්ට පවා බියක් සැකක් නැතිව ඔහු ළඟ සිටීමට හැකි විය. වැඩිමහල්ලන්ද පහසුවෙන් ළඟා විය හැකි අය වන අතර තමන් උණුසුම් මිත්‍රත්වයක් ඇති කරගත හැකි කරුණාවන්ත අය බව පෙන්වන විට වෙනත් අය, දරුවෝ පවා ඔවුන් සමඟ සිටීමට බියක් හෝ සැකයක් ඇති කර නොගනිති.

19. ‘ක්‍රිස්තුස්ගේ මනස’ ඇතුව සිටීමට අයත් වන්නේ කුමක්ද? මේ සඳහා කෙබඳු ආකාරයේ වෑයමක් දැරිය යුතුද?

19 වැඩිමහල්ලන්ට යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කළ හැක්කේ කොතරම් දුරකටද කියා රඳා පවතින්නේ ඔවුන් ඔහු ගැන දැන සිටින ප්‍රමාණය මතයි. ‘යෙහෝවාට උගන්වන පිණිස ඔහුගේ සිත දැනගත්තේ කවුද?’ කියා පාවුල් ඇසුවේය. අනතුරුව ඔහු ඊට මෙසේද එකතු කළේය. ‘නමුත් අපට ක්‍රිස්තුස්ගේ සිත [මනස, NW] ඇත්තේය.’ (1 කොරින්ති 2:16) ක්‍රිස්තුස් සිතන ආකාරය හා ඔහුගේ පෞද්ගලිකත්වයේ සෑම අංගයක්ම දැන සිටීම ඔහුගේ මනස ඇතුව සිටීමට අයත් වේ. මෙසේ අප ඔහුගේ මනස ඇතුව සිටිනවා නම් යම් තත්වයක් යටතේදී යේසුස් කටයුතු කරන ආකාරය දනිමු. අපේ නායකයාව එතරම් හොඳින් දැනහඳුනා ගතහොත් එය මොනතරම් ආශීර්වාදයක් වේදැයි සිතා බලන්න! මෙලෙස අපේ නායකයාව හඳුනාගැනීමට නම් සුවිශේෂ වාර්තාව හොඳින් අධ්‍යයනය කළ යුතු අතර යේසුස්ගේ ජීවිතය හා ආදර්ශය තේරුම්ගැනීමට ඉවහල් වන තොරතුරුවලින් අපේ මනස නිතිපතාම පුරවාගත යුතුයි. වැඩිමහල්ලන් ක්‍රිස්තුස්ගේ නායකත්වය අනුගමනය කිරීමට එලෙස වෑයම් කරන විට, සභාවේ සිටින අය ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීමට නැඹුරු වෙති. අනිත් අය ප්‍රීතියෙන් නායකයාගේ අඩි පාරේ ගමන් කරනවා දැකීමෙන් වැඩිමහල්ලෝද මහත් තෘප්තියක් අද්දකිති.

දිගටම ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වෙමු

20, 21. නව ලොව දෙස ආශාවෙන් බලා සිටින අප අදිටන් කරගත යුත්තේ කුමක් කිරීමටද?

20 අප සියලුදෙනා ක්‍රිස්තුස්ගේ නායකත්වයට දිගටම යටත් වීම ඉතාමත් වැදගත්. පවතින මේ ක්‍රමයේ නිමාව කරා අපි ළඟා වෙමින් සිටින්නෙමු. අප සිටින තත්වය පො.යු.පෙ. 1473දී මෝවබ් මිටියාවතේ සිටි ඉශ්‍රායෙල්වරුන්ගේ තත්වයට සමාන කළ හැක. ඔවුන් සිටියේ පොරොන්දු දේශය අද්දරයි. අනාගතවක්තෘ මෝසෙස් මාර්ගයෙන් දෙවි ඔවුන්ට මෙසේ පැවසුවේය. “මේ සෙනඟට දෙන හැටියට [යෙහෝවා] ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට නුඹ [යෝෂුවා] ඔවුන් සමඟ ගොස් ඒක ඔවුන්ට උරුම කර දෙනවා ඇත.” (ද්විතීය කථාව 31:7, 8) පත් කරන ලද නායකයා වූයේ යෝෂුවායි. ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට නම් ඔහුගේ නායකත්වයට යටත් විය යුතු විය.

21 බයිබලය අපට මෙසේ පවසයි. “නුඹලාගේ [නායකයා] එක්කෙනෙක්මය, එනම් [ක්‍රිස්තුස්ය].” ධර්මිෂ්ඨකම වාසය කරන නව ලොවට අපව ගෙන යන්නේ ක්‍රිස්තුස් පමණයි. (2 පේතෘස් 3:13) එනිසා අපේ ජීවිතයේ සෑම කාරණයකදීම ඔහුගේ නායකත්වයට යටත් වීමට අදිටන් කරගනිමු.

[පාදසටහන]

a මෙහි සඳහන් ‘තාරකාවලින්’ ස්වර්ගයෙහි සිටින දේවදූතයන්ව සංකේතවත් කරන්නේ නැත. අදෘශ්‍යමාන ආත්ම මැවිලිවල ප්‍රයෝජනය සඳහා තොරතුරු වාර්තා කිරීමට යේසුස් මිනිසෙකුව යොදාගනියි කියා කිසිසේත් සිතිය නොහැක. මේ නිසා මෙම ‘තාරකාවලින්’ නියෝජනය වන්නේ සභාවල අවේක්ෂකයන් නොහොත් වැඩිමහල්ලන් ලෙස සේවය කරන මනුෂ්‍යයන්වයි. මොවුන්ව යේසුස්ගේ දූතයන් නොහොත් පණිවිඩකරුවන් ලෙස සැලකේ. ඔවුන්ගේ ගණන සතක් වීමෙන් අඟවන්නේ දිව්‍ය ප්‍රමිතිවලට අනුකූල වූ සම්පූර්ණකම එම විධිවිධානය සතුවීමයි.

ඔබට මතකද?

• ක්‍රිස්තුස් මුල් සියවසේ තිබූ සභාවට නායකත්වය දුන්නේ කෙසේද?

• අදදින ක්‍රිස්තුස් ඔහුගේ සභාවට නායකත්වය දෙන්නේ කෙසේද?

• සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන අයට අප යටත් විය යුත්තේ මන්ද?

• ක්‍රිස්තුස් තමන්ගේ නායකයා බව වැඩිමහල්ලන්ට පෙන්විය හැක්කේ කිනම් ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තුස් ඔහුගේ සභාවට නායකත්වය දෙන අතර අවේක්ෂකයන් සිටින්නේ ඔහුගේ දකුණතෙහිය

[16වන පිටුවේ පින්තූර]

‘ඔබ අතරේ පෙරමුණ ගන්න අයට කීකරුව යටත් වෙන්න’

[18වන පිටුවේ පින්තූරය]

යේසුස් උණුසුම් හැඟීම්වලින් යුත් පහසුවෙන් ළඟා විය හැකි කෙනෙක් විය. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ඔහු මෙන් වීමට වෑයම් කළ යුතුය