Skip to content

පටුනට යන්න

තනිකමේ හැඟීම්වලින් ජයගන්න ඔබට පුළුවන්!

තනිකමේ හැඟීම්වලින් ජයගන්න ඔබට පුළුවන්!

තනිකමේ හැඟීම්වලින් ජයගන්න ඔබට පුළුවන්!

තනිකම නිසා හටගන්නා වේදනාව තමන් කිසිදා අද්දැක නැතැයි කියා පැවසිය හැක්කේ කාටද? තනිකම ඇතිවීමට හේතු රැසක් තිබෙන්න පුළුවන්. ඒ වුණත්, විශේෂයෙන්ම වේදනාකාරි විය හැක්කේ කෙදිනකවත් විවාහ නොවූ, වැන්දඹුවන් වූ හෝ දික්කසාද වූ කාන්තාවන් අද්දකින තනිකමයි.

උදාහරණයකට, ෆ්‍රැන්සිස් නම් තරුණ ක්‍රිස්තියානි කාන්තාවක් මෙසේ විස්තර කරනවා. “මට අවුරුදු විසිතුන ලබද්දී මගේ හැම මිතුරෙක්ම වාගේ විවාහ වෙලයි හිටියේ. මං විතරක් තනි වුණා.” a කාලය ගෙවී යද්දී හා විවාහ කලත්‍රයෙක් සොයාගැනීම උගහටයි කියා පෙනෙන්න තිබෙද්දී, දැනෙන පාළුව තනිකම එන්න එන්නම වැඩි වෙන්න පුළුවන්. “මම කවදාවත් තනිකඩව ඉන්න හිතුවේ නෑ. ඇත්තෙන්ම කියනවා නම් මට අවස්ථාව ලැබුණොත් මං දැන් වුණත් විවාහ වෙන්න කැමතියි” කියා අවුරුදු 50කට කිට්ටු වයසක පසු වන සැන්ඩ්‍රා පිළිගන්නවා. පනස් ගණන්වල පසු වන ඇන්ජලා පැහැදිලි කරන්නේ මෙහෙමයි. “මම තනිකඩව ඉන්නේ මගේ උවමනාවට නෙමෙයි. දේවල් මේ අතට පෙරළුණේ විශේෂ පුරෝගාමියෙක් හැටියට මං සේවය කළ ප්‍රදේශයේ තනිකඩ සහෝදරයෝ වැඩිය හිටියේ නැති හින්දයි.”

බොහෝ ක්‍රිස්තියානි කාන්තාවන් ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වෙන්න යන යෙහෝවාගේ අවවාදයට පක්ෂපාතකම දක්වමින් විවාහ නොවීමට තීරණය කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීය දෙයක්. (1 කොරින්ති 7:39) සමහර අය තනිකඩ ජීවිතයට හොඳින් හැඩගැසෙන නමුත්, විවාහ වීමට හා දරුවන් ඇති දැඩි කිරීමට වූ තමන් සතු ආශාව කාලයාගේ ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන බව තවත් සමහරෙකුගේ අද්දැකීමයි. “මට කලත්‍රයෙක් නැති හින්දා මට නිතර දෙවේලේ ලොකු හිස්බවක් දැනෙනවා” කියා සැන්ඩ්‍රා පිළිගන්නවා.

වියපත් වූ දෙමව්පියන්ට සාත්තු සප්පායම් කිරීමට සිදුවීම වැනි වෙනත් කාරණා නිසා තනිකමේ හැඟීම් උග්‍ර විය හැකියි. “මම බැඳලා නැති නිසා අපේ වයසක දෙමව්පියන්ව මං බලාගනියි කියලා මගේ පවුලේ අය බලාපොරොත්තු වුණා” කියා සැන්ඩ්‍රා පවසනවා. “මට සහෝදර සහෝදරියන් හයදෙනෙක් හිටියත් අවුරුදු 20ක් පුරාම මේ වගකීමෙන් වැඩි හරියක්ම ඉටු කළේ මමයි. මගේ ඕනෑ එපාකම් ගැන බලන්න පුරුෂයෙක් හිටියා නම් මගේ ජීවිතය මීට වඩා පහසු එකක් වෙන්න තිබුණා.”

ඇගේ තනිකම වැඩිවීමට මඟ පාදන තවත් හේතුවක් ගැන ෆ්‍රැන්සිස් සඳහන් කරනවා. “සමහර වෙලාවට මිනිස්සු මගෙන් කෙළින්ම අහනවා ‘ඇයි ඔයා බඳින්නේ නැත්තේ?’ කියලා. එතකොට මට හිතෙන්නේ මම තනිකඩව ඉන්නේ මගේම වරදක් හින්දයි කියලා. මම යන හැම විවාහ උත්සවයකදීම වගේ ‘ඉතිං ඔයා කවදාද බඳින්නේ?’ කියන මං අකමැතිම ප්‍රශ්නය කවුරුහරි මගෙන් අහනවා. ඉතිං ඊට පස්සේ මට හිතෙන්නේ ‘ආත්මික මනසක් ඇති සහෝදරයෝ මාව බඳින්න කැමති නැත්නම් මට අවශ්‍ය ආත්මික සුදුසුකම් නැතුව ඇති, එහෙමත් නැත්නම් මම පොඩ්ඩක්වත් ලස්සන නැතුව ඇති’ කියලයි.”

පාළුව හා තනිකම වැනි හැඟීම්වලින් ජයගන්නේ කොහොමද? ඒ වගේම මේ සම්බන්ධයෙන් අන්‍යයන්ට යම් ආකාරයකින් උපකාර කළ හැකිද?

යෙහෝවා මත රැඳෙන්න

‘ඔබේ බර යෙහෝවා පිට තබන්න. එවිට ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය’ යනුවෙන් ගීතිකාකරු ගායනා කළා. (ගීතාවලිය 55:22) හෙබ්‍රෙව් පාඨයේ “බර” යන වචනයෙහි පදගතාර්ථය “කොටස” වන අතර, එය යොමු දක්වන්නේ අපේ ජීවිත ගමනේදී අපිට උරුම වූ කොටස නිසා අද්දැකිය හැකි බිය සැක හා කාන්සාවන් වෙතටයි. වෙන කිසිම කෙනෙකුට වඩා අපේ බර පිළිබඳව අවබෝධයක් තිබෙන්නේ යෙහෝවාටයි. ඒ වගේම ඒවා සමඟ සාර්ථකව කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්නත් ඔහුට පුළුවන්. තනිකමේ හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කරන්න ඇන්ජලාට උපකාරවත් වන්නේ යෙහෝවා දෙවි මත රඳා සිටීමයි. ඇගේ පූර්ණ කාලීන දේවසේවය ගැන මතක් කරගනිමින් ඇය මෙසේ පවසනවා. “මම පුරෝගාමී සේවය පටන්ගත්ත අලුත මමයි මාත් එක්ක සේවය කළ මගේ මිතුරියයි අපිට ළඟින්ම පිහිටි සභාවට හුඟක් ඈතින් තමයි ජීවත් වුණේ. යෙහෝවා මත සම්පූර්ණයෙන් රැඳෙන්න අපි ඉගෙනගත්තා. ඇත්තෙන්ම ඒක මගේ මුළු ජීවිත කාලය පුරාම මට උපකාරවත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අශුභවාදි හැඟීම් ඇති වුණාම මම ඒ හැම දෙයක් ගැනම කියන්නේ යෙහෝවාටයි. එතකොට ඔහු මට උපකාර කරනවා. මාව නිතරම සනසන්නේ ගීතා. 23වන ගීතිකාවයි. ඒක මං නිතර නිතර කියවනවා.”

ප්‍රේරිත පාවුල්ටත් සිදු වුණා විශේෂාකාර බරක් උසුලන්ට. අඩුම තරමින් තුන් වතාවකදීම ‘ඔහුගේ මාංසයේ උල ඉවත් කරන මෙන් ඔහු ස්වාමීන්ගෙන් ඉල්ලා සිටියා.’ ආශ්චර්යයක් මගින් පාවුල්ගේ එම බර ඉවත් කළේ නැතත්, යෙහෝවා තම මහත් කරුණාව දැක්වීම මගින් ඔහුව උසුලන බවට පොරොන්දු කළා. (2 කොරින්ති 12:7-9) පාවුල් ඉගෙනගෙන තිබුණ තවත් දෙයක් වුණේ සෑහීමකට පත්වීමේ රහසයි. ඔහු පසු කලෙක මෙසේ ලිව්වා. ‘මා කුමන තත්වයක කොහේ සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධව සිටින්නටත්, අගහිඟකම් ඇතිව සිටින්නටත් හැකි රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තැනැත්තා තුළ මට සියලු දේ කළ හැකිය.’—පිලිප්පි 4:12, 13, නව අනුවාදය.

අධෛර්යයට පත් වූ විට හෝ තනිකමේ හැඟීම් ඇති වූ විට දෙවිගෙන් ශක්තිය ලබාගත හැක්කේ කොහොමද? පාවුල් මෙසේ ලිව්වා. ‘කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබගේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් තුළ ඔබගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත.’ (පිලිප්පි 4:6, 7) සැන්ඩ්‍රා මෙම උපදේශය ක්‍රියාවට නඟනවා. ඇය පැහැදිලි කරන්නේ මෙහෙමයි. “මම තනිකඩ නිසා හුඟක් වේලාවට මං ඉන්නේ තනියෙන්. යෙහෝවාට යාච්ඤා කරන්න ඉතිං මට ඕන තරම් අවස්ථා ලැබෙනවා. මට ඔහුත් එක්ක තියෙන්නේ හරිම කිට්ටු බැඳීමක්. මගේ ඕනෑම ප්‍රශ්නයක් ඔහුට කියන්න පුළුවන්.” ෆ්‍රැන්සිස් මෙසේ පවසනවා. “අශුභවාදි හැඟීම් සමඟ තනියෙන් පොරබදින එක හරිම අමාරු වැඩක්. හැබැයි මගේ හැඟීම් අවංකව යෙහෝවාට කියද්දී මට ලොකු සහනයක් දැනෙනවා. මගේ ආත්මික හා චිත්තවේගීය ශුභසිද්ධියට බලපාන ඕනෑම දෙයක් ගැන යෙහෝවා උනන්දු වෙනවා කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ.”—1 තිමෝති 5:5.

‘එකිනෙකාගේ බර උසුලන්න’

ක්‍රිස්තියානි සහෝදරත්වය තුළ අපේ බර තනියෙන් උසුලන්න අවශ්‍ය නැහැ. “එකිනෙකාගේ බර උසුලා, එසේ [ක්‍රිස්තුස්ගේ] ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න” යනුවෙන් ප්‍රේරිත පාවුල් අවවාද කළා. (ගලාති 6:2) සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමේදී දිරිගන්වනසුලු ‘කාරුණික වචනයක්’ අපට ඔවුන් පැවසිය හැකි අතර එමගින් තනිකම නමැති අපේ බර වඩාත් සැහැල්ලු එකක් බවට පත් වෙන්න පුළුවන්.—හිතෝපදේශ 12:25, න. අ.

ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවෙක් වූ යෙප්තාගේ දියණිය පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ පවසා ඇති දේ ගැනත් සිතා බලන්න. අම්මොන් සතුරු සේනාව පරාජයට පත් කිරීමට පෙර, නිවැසියන් අතරින් තමාට සුබ පතන්න පැමිණෙන පළමුවෙනි තැනැත්තාව යෙහෝවාට ඔප්පු කරන බවට යෙප්තා භාරයක් වී තිබුණා. එසේ ආ පළමුවන තැනැත්තිය ඔහුගේ දියණියයි. (විනිශ්චයකාරයන් 11:30, 31, 34-36) විවාහ වී දරුවන් හදා වඩා ගැනීමට වූ ඇගේ සහජ ආශාව පසෙක දමා තනිකඩව සිටීමට සිදු වුණත් එම භාරයට එකඟව කටයුතු කරන්න යෙප්තාගේ දුව කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. එතැන් පටන් මුළු ජීවිත කාලය පුරාම ඇය ෂිලෝහි දේවමාළිගාවේ සේවය කළා. ඇය කළ පරිත්‍යාගය කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ එකක්ද? ඊට හාත්පසින් වෙනස්ව, “ගිලියද්හි යෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්‍රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඉශ්‍රායෙල්වරුන් අතරේ ඇති [වුණා].” (විනිශ්චයකාරයන් 11:40) ඔව්, අන්‍යයන්ට ප්‍රශංසා කිරීමෙන් ඔවුන්ව දිරිගන්වන්න පුළුවන්. ඒ නිසා, ප්‍රශංසාව ලබන්න වටින අයට ප්‍රශංසාව දීමට කිසිවිටෙක පසුබට නොවෙමු.

මේ සම්බන්ධයෙන් යේසුස්ගේ ආදර්ශය සලකා බැලීමත් සුදුසුයි. පිරිමින් කාන්තාවන් සමඟ කතා බහ කිරීම සාමාන්‍ය යුදෙව් සිරිත නොවුණත් යේසුස් මරියා සහ මාර්තා සමඟ කාලය ගත කළා. සමහරවිට ඔවුන් දෙදෙනා එක්කෝ වැන්දඹුවන් හෝ අවිවාහකයන් වන්නට ඇති. ඒ වුණත් ඔවුන් සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීම මගින් ඔවුන්ට ආත්මික ප්‍රයෝජන අත් කර දීමට යේසුස් කැමති වුණා. (ලූක් 10:38-42) අවිවාහක සහෝදරියන්ව අපේ ප්‍රිය සම්භාෂණවලට ආරාධනා කිරීමෙන් හා ඔවුන් සමඟ දේශනා සේවයේ වැඩ කිරීමට සැලසුම් යෙදීමෙන් අපටත් පුළුවන් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න. (රෝම 12:13) එවැනි විශේෂ අවධානයක් ලැබෙන විට ඔවුන් එය අගය කරනවාද? එක් සහෝදරියක් මෙසේ පවසනවා. “මම දන්නවා සහෝදර සහෝදරියන් මට ආදරෙයි කියලා. ඒ වගේම ඔවුන් මාව අගය කරනවා කියලා. හැබැයි ඒගොල්ලෝ ඊට වඩා පෞද්ගලික ආකාරයකින් මං ගැන උනන්දු වෙද්දී මම ඒක ගොඩක් අගය කරනවා.”

“අපිට අපේම කියලා කෙනෙක් නැති හින්දා අනිත් අයටත් වඩා ආදරයක්, සැලකිල්ලක් අපිට ඕනේ. අපේ ආත්මික සහෝදර සහෝදරියන් අපේම පවුලේ අය කියන හැඟීම අපිට වැඩියෙන් දැනෙන්න ඕනේ” කියා සැන්ඩ්‍රා පැහැදිලි කරනවා. යෙහෝවා එවැනි අය ගැන සැලකිලිමත් වන බව නිසැකයි. එවගේම, ඔවුන්ව අවශ්‍යයි කියාත් ඔවුන්ට ආදරෙයි කියාත් පෙන්වද්දී අපි ඇත්තෙන්ම යෙහෝවා සමඟ සහයෝගයෙන් වැඩ කරනවා හා සමානයි. (1 පේතෘස් 5:6, 7) එවැනි අය සඳහා දක්වන සැලකිල්ල යෙහෝවා නොසලකා හරින්නේ නැහැ. මන්ද “දුප්පතුන්ට අනුකම්පාකරන්නා [යෙහෝවාට] ණයට දෙන්නේය. ඔහුගේ හොඳ ක්‍රියාවට [යෙහෝවා දෙවි] ඔහුට ප්‍රතිඵල [දෙන්නේය].”—හිතෝපදේශ 19:17.

“එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය”

උපකාර කිරීමට අන්‍යයන්ට හැකි අතර ඔවුන් සපයන උපකාර ඉතා දිරිගන්වනසුලු ඒවා විය හැකියි. එනමුත් ‘එකිනෙකා තම තමාගේ බර උසුලන්න’ අවශ්‍යයි. (ගලාති 6:5) කෙසේවෙතත්, තනිකම නමැති බර උසුලන විට යම් අන්තරාවන් පිළිබඳව අපි සුපරීක්ෂාකාරි විය යුතුයි. උදාහරණයකට, අපි කිසිවෙකු සමඟ වැඩිය කතා බහ නොකර සෑම කෙනෙකුගෙන් ඈත් වී සිටියොත් තනිකම රජයන්න පුළුවන්. අනිත් අතට ප්‍රේමය වගා කළොත් අපිට තනිකමේ හැඟීම්වලින් ජයගත හැකියි. (1 කොරින්ති 13:7, 8) අපේ තත්වයන් කුමක් හෝ වේවා සතුට ලබාගත හැකි හොඳම ක්‍රමය වන්නේ දීමෙන් හා දේවල් හවුලේ බෙදාගැනීමෙනුයි. (ක්‍රියා 20:35) “මට පාළුව, තනිකම දැනෙන්න තරම් වෙලාවක් නෑ. මම ප්‍රයෝජනවත් දෙයක් කරනවා නම්, එහෙමත් නැත්නම් මට හුඟක් දේවල් කරන්න තියෙනවා නම් මං තනි වෙලා කියලා මට හැඟෙන්නේ නෑ” කියා එක් කඩිසර පුරෝගාමි සහෝදරියක් පවසනවා.

තනිකම නිසා නුසුදුසු ආශ්‍රයකට වැටීමේ අන්තරාව ගැන අපි සුපරීක්ෂාකාරි විය යුතුයි. උදාහරණයකට, විවාහ වීමට තිබෙන ආශාව මුල් තැනට දමා නොඇදහිලිකාරයෙක් සමඟ විවාහ වීමෙන් අනන්ත අප්‍රමාණ ගැටලුවලට මුහුණ දීම හා විශේෂයෙන්ම එවැනි සබඳතාවක් ඇති කරගැනීමෙන් වැළකී සිටීමට වූ ශුද්ධ ලියවිලිමය අවවාද නොපෙනී යෑමට තරම් අන්ධ තත්වයකට පත්වීම කොතරම් ඛේදනීය දෙයක්ද! (2 කොරින්ති 6:14) දික්කසාද වූ ක්‍රිස්තියානි කාන්තාවක් පැවසුවේ මෙහෙමයි. “තනිකඩව ඉන්න එකට වඩා නරක දෙයක් තියෙනවා. ඒ තමයි වැරදි පුද්ගලයා සමඟ විවාහ වීම.”

විසඳිය නොහැකි ගැටලුවක් තාවකාලිකව අපිට විඳදරාගැනීමට සිදු විය හැකියි. දෙවිගේ උපකාරය ඇතුව තනිකමේ හැඟීම් සමඟ අපිට සාර්ථකව කටයුතු කරන්න පුළුවන්. අපි දිගින් දිගටම යෙහෝවාට සේවය කරද්දී යම් දවසක අපේ සියලුම අවශ්‍යතාවන් හොඳම ආකාරයෙන් පූර්ණ වන බවට වූ නිසැකකම වර්ධනය කරගනිමු.—ගීතාවලිය 145:16.

[පාදසටහන]

a අදහස් දක්වා ඇති කාන්තාවන්ගේ නියම නම් සඳහන් කර නැහැ.

[28වන පිටුවේ පින්තූර]

දීමෙන් හා දේවල් හවුලේ බෙදාගැනීමෙන් තනිකමේ හැඟීම්වලින් ජයගන්න පුළුවන්