Skip to content

පටුනට යන්න

දක්ෂ නායකත්වයක් කොහෙන්ද?

දක්ෂ නායකත්වයක් කොහෙන්ද?

දක්ෂ නායකත්වයක් කොහෙන්ද?

“සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවූ [තැනැත්තා දෙවිය]” කියා බයිබලය සඳහන් කරයි. (හෙබ්‍රෙව් 3:4; එළිදරව් 4:11) සැබෑ දෙවිවූ යෙහෝවා අපේ මැවුම්කරු බැවින්, ඔහු ‘අපේ ස්වභාවය [හොඳින්, NW] දන්නේය.’ (ගීතාවලිය 103:14) අපේ සීමාවන් සහ අවශ්‍යතාවන් ගැන ඔහුට සම්පූර්ණ දැනුමක් ඇත. දෙවි ප්‍රේමනීය කෙනෙකු බැවින් මිනිසාගේ එම අවශ්‍යතා සපුරාලීමට කැමැත්තෙන් සිටී. (ගීතාවලිය 145:16; 1 යොහන් 4:8) දක්ෂ නායකත්වයක් පිළිබඳ අපේ අවශ්‍යතාවත් ඉන් එකක්!

ප්‍රොපේත යෙසායා මාර්ගයෙන් යෙහෝවා මෙසේ ප්‍රකාශ කළේය. “බලව, [ඔහු] ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් [නායකයෙක්, NW] හා ආණ්ඩුකාරයෙක්ද [අණ දෙන නිලධාරියෙක්, NW] කොට දුනිමි.” (යෙසායා 55:4) අද පවතින නායකත්වය පිළිබඳ අර්බුදයට විසඳුමක් සෙවීමේදී සර්ව පරාක්‍රමයා විසින් පත් කළ මේ නායකයා කවුදැයි සොයා බැලීමත්, ඔහුගේ නායකත්වය පිළිගැනීමත් ඇතුළත්ය. එසේ නම්, පුරෝකථනය කළ මෙම නායකයා සහ අණ දෙන නිලධාරියා කවුද? නායකයෙකු වීමට ඔහුට තිබෙන සුදුසුකම් මොනවාද? ඔහු අපව කොතැනකට මඟ පෙන්වාවිද? ඔහුගේ නායකත්වයෙන් ප්‍රයෝජන ලැබීම සඳහා අප කුමක් කළ යුතුද?

පොරොන්දු වූ නායකයා පැමිණේ

අවුරුදු 2,500කට පමණ පෙර, ගාබ්‍රියෙල් දේවදූතයා ප්‍රොපේත දානියෙල්ට පෙනී මෙසේ ප්‍රකාශ කළේය. “නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේප ලත් තැනැත්තා [මෙසියස් නමැති නායකයා, NW] දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගලත් නැවත ගොඩනඟනු ලබනවා ඇත.”—දානියෙල් 9:25.

යෙහෝවා තෝරාගත් නායකයා නිශ්චිතවම පැමිණෙන කාලය දේවදූතයා දානියෙල්ට දන්වමින් සිටි බව පැහැදිලිය. යෙරුසලමේ තාප්ප යළි ගොඩනඟන්ට අණ ලැබුණු පො.යු.පෙ. 455 සිට සති 69ක් නැතහොත් අවුරුදු 483ක් ගෙවී ගිය තැන “මෙසියස් නමැති නායකයා” පැමිණෙනු ඇත. a (නෙහෙමියා 2:1-8) එම කාලපරිච්ඡේදය අවසන් වූ විට සිදු වූයේ කුමක්ද? සුවිශේෂයේ ලේඛකයෙකු වූ ලූක් මෙසේ සඳහන් කරයි. ‘පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්දෙහි [පො.යු. 29හි], දෙවිගේ වචනය වනයෙහිදී සෙකරියස්ගේ පුත්‍රවූ යොහන් වෙතට පැමිණියේය. ඔහු පව් කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනා කරමින්, යොර්දාන් වටකර මුළු පළාතට ආවේය.’ මේ කාලයේදී, මෙසියස් නමැති නායකයා ගැන ‘සෙනඟ බලාපොරොත්තුවෙන් සිටියහ.’ (ලූක් 3:1, 2, 6, 15) සෙනඟ යොහන් වෙතට ඇදී ආවත්, එම නායකයා ඔහු නොවීය.

පසුව පො.යු. 29 ඔක්තෝබර් මාසයේදී පමණ නාසරෙත්හි යේසුස් බව්තීස්ම වීම සඳහා යොහන් වෙතට පැමිණියේය. යොහන් මේ ගැන සාක්ෂි දෙමින් මෙසේ පවසයි. ‘ආත්මය පරෙවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි. එය ඔහු පිට නැවතුණේය. මම ඔහු නෑඳින සිටියෙමි. නුමුත් වතුරෙන් බව්තීස්ම කරන්ට මා එවූ තැනැත්තාම මට කථාකොට: ආත්මය යමෙකු පිට බැස නවතිනවා නුඹ දකින්නෙහිද ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරන්නේ ඔහුයැයි මට කීවේය. මමද ඒ දැක: මොහු දෙවිගේ පුත්‍රයායැයි සාක්ෂි දුනිමි.’ (යොහන් 1:32-34) බව්තීස්ම වීමත් සමඟම යේසුස් ආලේප ලත් නායකයා නැතහොත් මෙසියස් හෝ ක්‍රිස්තුස් බවට පත් විය.

එසේය, පොරොන්දු වූ ‘ජන නායකයා සහ අණ දෙන නිලධාරියා’ යේසුස් ක්‍රිස්තුස් බව ඔප්පු විය. නායකයෙකු වශයෙන් ඔහුගේ ගුණාංග පිරික්සා බලන විට, අදදින පරිපූර්ණ නායකයෙකුගෙන් අපේක්ෂා කරන සුදුසුකම්වලින් බොහෝ ඔබ්බට ඔහු ගොස් සිටින බව අපට ක්ෂණිකව වැටහේ.

මෙසියස් පරිපූර්ණ නායකයෙකි

දක්ෂ නායකයෙක් තමා යටතේ සිටින්නන්ට නිශ්චිත මඟ පෙන්වීම් සපයයි. තම තමන්ගේ ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය අධිෂ්ඨානය සහ හැකියාව අත් කරගැනීමට ඔවුන්ට උදව් කරයි. ‘මෙය 21වන සියවසේ සාර්ථක නායකයෙකුට අත්‍යවශ්‍යමය’ කියා 21වන සියවසේ නායකත්වය: ඉහළම පෙළේ නායකයන් සියදෙනෙකු සමඟ කළ සාකච්ඡා (ඉංග්‍රීසියෙන්) නමැති පොත පවසයි. එදිනෙදා මුහුණ දෙන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා යේසුස් තම ශ්‍රාවකයන්ව මොනතරම් ඵලදායක ලෙස සූදානම් කළාද! ඔහුගේ සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව ගැන විතරක්ම සිතන්න. මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවල වාර්තා වී ඇති වචනවල ගැබ්ව ඇති අතිශය ප්‍රායෝගිකකම සලකා බලන්න.

නිදසුනක් හැටියට, පුද්ගලික එකඟ නොවීම් නිරාකරණය කරගන්නා හැටි ගැන යේසුස් දුන් උපදෙස සලකා බලන්න. ඔහු මෙසේ කීවේය. “එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහි වී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟි වී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.” (මතෙව් 5:23, 24) අනිත් පුද්ගලයා සමඟ සමාදාන වීමට මූලිකත්වය ගැනීමට මුල් තැන දිය යුතුය. එය මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට යෙරුසලම් දේවමාළිගාවේ පූජාසනය මත පඬුරක් පුද කිරීම වැනි ආගමික කටයුත්තක් කරනවාට වඩා වැදගත් විය. එසේ නොවන්නේ නම්, නමස්කාරයේ ක්‍රියා දෙවි ඉදිරියේ පිළිගත හැකි තත්වයේ නැත. සියවස් ගණනාවකට පෙර වූවා සේම යේසුස්ගේ උපදෙස අදටත් ප්‍රායෝගිකය.

ලිංගික දුරාචාරයේ මලපතෙන් වැළකී සිටීමටත් යේසුස් තම ශ්‍රාවකයන්ට උදව් කළේය. ඔහු ඔවුනට මෙසේ අනුශාසනා කළේය. “කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.” (මතෙව් 5:27, 28) කොතරම් උචිත අනතුරු ඇඟවීමක්ද! සිතෙහි දූෂිත සිතුවිලි පෝෂණය කාමමිථ්‍යාචාරයේ මඟට පය තබන්නේ කුමටද? කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම් සිතින් නික්මෙන්නේයැයි යේසුස් පැවසීය. (මතෙව් 15:18, 19) මේ නිසා අපේ හදවත් රැකගැනීම නුවණට හුරුය.—හිතෝපදේශ 4:23.

සතුරන්ට ප්‍රේම කිරීම, ත්‍යාගශීලී වීම, ද්‍රව්‍යමය හා ආත්මික කාරණා ගැන නිවැරදි දෘෂ්ටියක් තබාගැනීම වැනි දේවල් පිළිබඳ විශිෂ්ට උපදෙස්ද කන්ද උඩ දේශනාවේ සඳහන්ය. (මතෙව් 5:43-47; 6:1-4, 19-21, 24-34) යාච්ඤා කරන්නේ කෙසේදැයි තම ශ්‍රාවකයන්ට ඉගැන්වීම මගින් දෙවිගේ උපකාරය ලබාගන්නේ කෙසේදැයි යේසුස් පෙන්වීය. (මතෙව් 6:9-13) මිනිස්වර්ගයාට පොදු ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට නායක මෙසියස් තම අනුගාමිකයන්ව දිගින් දිගටම ශක්තිමත් කරමින් හා සූදානම් කරමින් සිටී.

යේසුස් කීමට සූදානම් වූ දේ හඳුන්වා දෙමින්, මෙසේ “කී බව නුඹලා අසා තිබේ” හෝ “කියා තිබුණේය” කියා හය වතාවක් සඳහන් කළත් “මම නුඹලාට කියමි” යන්න පවසමින් වෙනත් අදහසක් ඉදිරිපත් කරයි. (මතෙව් 5:21, 22, 27, 28, 31-34, 38, 39, 43, 44) තම ශ්‍රාවකයන් ඵරිසිවරුන්ගේ වාචික සම්ප්‍රදායට අනුව එක්තරා ක්‍රමයකට වැඩ කිරීමට පුරුදුව සිටි බව මෙමගින් ඔහු ඇඟවීය. එහෙත්, යේසුස් දැන් ඔවුන්ට වෙනත් ක්‍රමයක් පෙන්වමින් සිටියි. එනම්, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සැබෑ අර්ථයයි. මෙසේ යේසුස් ඉදිරිපත් කරමින් සිටියේ වෙනසකි. එමෙන්ම ඔහු එය කළේ තමන්ව අනුගමනය කරන අයට එය පිළිගැනීමට පහසු වන ආකාරයකටය. එසේය, යේසුස් ඔවුන්ගේ ජීවිත තුළ ප්‍රබල අයුරින් ආත්මික සහ සදාචාරමය වෙනස්කම් කරගැනීමට ඔවුන්ව පෙලඹවීය. මෙය සැබෑ නායකත්වය හඳුනාගන්නා ලකුණකි.

එවැනි වෙනසක් ඇති කිරීම මොනතරම් අමාරුදැයි කළමනාකාරිත්වය පිළිබඳ අත්පොතක් පෙන්වා දෙයි. එහි කියන්නේ මෙසේය. “ඒ වෙනස ඇති කරන [නායකයා] තුළ සමාජ සේවකයෙකු සතු සංවේදිතාවත්, මනෝ වෛද්‍යවරයෙකු සතු විචාර බුද්ධියත්, මැරතන් ධාවකයෙකු සතු අධිෂ්ඨාන ශක්තියත්, බුල්ඩෝග් වර්ගයේ බල්ලෙකු සතු ධෛර්යයත්, තාපසයෙකු මෙන් තමන් මත රඳා සිටීමත්, සාන්තුවරයෙකු සතු ඉවසීමත් තිබිය යුතුය. මේ හැම ගුණාංගයක්ම තිබුණද, එනයින්ද සාර්ථකත්වය සහතික කළ නොහැකිය.”

“නායකත්වයට ගතිගුණ වැදගත්ද?” මැයෙන් යුත් ලිපියක් සඳහන් කළේ, “තම අනුගාමිකයන් හැසිරෙනවාට තමන් කැමති කොයි ආකාරයටද නායකයන්ද එසේ හැසිරිය යුතුය” කියාය. ඇත්තෙන්ම, දක්ෂ නායකයෙක් තමන් කියන දෙයට අනුව ක්‍රියා කරයි. යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන් මෙය මොනතරම් සැබෑවක් වූවාද! එසේය, ඔහු තමන් සමඟ සිටින අය යටහත් පහත් විය යුතු බව ඉගැන්වූ අතර, ඔවුන්ගේ පාද සේදීමෙන් ප්‍රායෝගික පාඩමක්ද සපයා දුන්නේය. (යොහන් 13:5-15) දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට ඔහු තම ගෝලයන්ව යැව්වා පමණක් නොව, ඔහුද එම වැඩයේ දැඩි උනන්දුවකින් සහභාගි විය. (මතෙව් 4:18-25; ලූක් 8:1-3; 9:1-6; 10:1-24; යොහන් 10:40-42) එමෙන්ම, නායකත්වයට ප්‍රතිචාරය දැක්වීමේදීද යේසුස් ආදර්ශයක් තැබුවේය. “[පියා] යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය” කියා තමා ගැන ඔහු කීවේය. —යොහන් 5:19.

ඉහත සාකච්ඡා කළ යේසුස් කළ කී දේවලින් පැහැදිලිව පෙනෙන්නේ ඔහු පරිපූර්ණ නායකයෙකු යන්නයි. ඇත්තෙන්ම, ඔහු සිටින්නේ නායකත්වය පිළිබඳ සියලුම මිනිස් ප්‍රමිතීන්ට වඩා ඉහළිනි. යේසුස් පරිපූර්ණය. මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් පසු අමරණීයත්වය ලැබූ ඔහු සදාකල් ජීවත් වන්නේය. (1 පේතෘස් 3:18; එළිදරව් 1:13-18) මෙම සුදුසුකම් සමීපයටවත් ආ හැක්කේ කිනම් මිනිස් නායකයාටද?

අප කුමක් කළ යුතුද?

“මෙසියස් නමැති නායකයා” දෙවිගේ රාජ්‍යයේ පාලක රජු හැටියට කීකරු මිනිස්වර්ගයා කෙරෙහි ආශීර්වාද වගුරුවන්නේය. මේ සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ල මෙසේ පොරොන්දු වෙයි. “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේය.” (යෙසායා 11:9) “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:11) “තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත.” (මීකා 4:4) ‘දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’—එළිදරව් 21:3, 4.

වත්මන් ලෝකය නායකත්වය පිළිබඳ දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. එහෙත්, යේසුස් ක්‍රිස්තුස් මෘදු ගුණාන්විත මිනිසුන්ව සාමකාමී නව ලෝකයකට මෙහෙයවමින් සිටී. යෙහෝවා දෙවිගේ නමස්කාරය තුළ කීකරු මිනිස්වර්ගයාව එක්සත් කරනු ඇති එම ලෝකය මිනිසාව පරිපූර්ණත්වය කරා ගෙන යනු ඇත. එමනිසා, සැබෑ දෙවි ගැනත්, ඔහු පත් කළ නායකයා ගැනත්, දැනුම ලබාගැනීම සහ එම දැනුමට අනුව ක්‍රියා කිරීමත් මොනතරම් වැදගත්ද!—යොහන් 17:3.

කෙනෙකුට දිය හැකි උසස්ම ගෞරවය නම් ඔහුව අනුකරණය කිරීමයි. එසේ නම්, මිනිස් ඉතිහාසයේ සිටින ශ්‍රේෂ්ඨතම නායකයා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට අප වෑයම් කළ යුතු නැද්ද? අප එය කරන්නේ කෙසේද? ඔහුගේ නායකත්වය පිළිගැනීම අපේ ජීවිතයට බලපානු ඇත්තේ කෙසේද? මේ ප්‍රශ්න සහ වෙනත් කාරණා මීළඟ ලිපි දෙකේදී පිරික්සනු ඇත.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ 186-92 දක්වා පිටු බලන්න.

[4වන පිටුවේ පින්තූරය]

දෙවි තෝරාගත් නායකයාගේ පැමිණීම දානියෙල් කලින්ම දැන්නුවේය

[7වන පිටුවේ පින්තූර]

ජීවිතයේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට යේසුස්ගේ ඉගැන්වීම් ජනයාව සූදානම් කළේය

[7වන පිටුවේ පින්තූරය]

යේසුස් කීකරු මිනිස්වර්ගයාව සාමකාමී නව ලෝකයකට මෙහෙයවනු ඇත