Skip to content

පටුනට යන්න

ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන රැස්වීම්

ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන රැස්වීම්

‘මාවෙතට එන්න, මම ඔබට සහනය දෙමි’

ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන රැස්වීම්

ටොරොන්ටෝ සිට ටෝකියෝ දක්වාද, මොස්කව් සිට මොන්ටෙවීඩියෝ දක්වාද යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ මිතුරන් මිලියන ගණනක් සෑම සතියකම වතා කිහිපයක් ඔවුන්ගේ නමස්කාර ස්ථාන කරා ඇදී එනවා. දවස පුරා වෙහෙස මහන්සි වී රැකියා අවසන් කොට පැමිණෙන පවුල්වල ස්වාමිපුරුෂයන්ද, ගෙදර දොරේ වැඩ කරන කාන්තාවන් සහ ඔවුන්ගේ කුඩා දරුවන්ද මීට ඇතුළත්. එදින පාසැල් ගිය කඩිසර දරුවන්ද එසේමයි. කැක්කුම්, වේදනා, ඇඟේ පතේ අමාරුකම් ඇති ගාටමින් යන වයසක අයත්, මහත් ධෛර්යයක් ඇති වැන්දඹුවන් හා අනාථ දරුවන් මෙන්ම සැනසීම අවශ්‍යව ඇති කනස්සල්ලෙන් දුකින් පෙළන අයද ඒ අතර සිටිනවා.

මේ රැස්වීම්වලට යෑම පිණිස යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රවාහණ ක්‍රම බොහොමයක් යොදාගන්නවා. අධි වේගී විදුලි දුම්රියෙන් මෙන්ම බූරුවන් පිට නැඟීද, අතුරු සිදුරු නැතුව මඟීන්ගෙන් පිරී ගිය උමං දුම්රිය මෙන්ම ලොරිවල පිටුපස නැගීද ඔවුන් රැස්වීම් කරා ඇදී එනවා. ඇතැම් අය කිඹුලන්ගෙන් ගහණ වූ ගංගාවල් තරණය කරන අතරේදී, තවත් අය විශාල නගරවල මානසික වශයෙන් මහත් නොසන්සුන් බවක් ඇති කරවමින් එහා මෙහා වාහන ඇදී යන මහා මාවත් පසු කර ඔවුන්ගේ රැස්වීම් කරා ඇදී එනවා. මේ හැමෝම මෙතරම් වෑයමක් දරන්නේ ඇයි?

මූලික වශයෙන් ගත්තොත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම සහ සහභාගි වීම යෙහෝවා දෙවිට නමස්කාරය පුදන වැදගත් ක්‍රමවලින් එකක් වන නිසයි. (හෙබ්‍රෙව් 13:15) ප්‍රේරිත පාවුල් තවත් අමතර හේතුවක් මේ විදිහට ගෙනහැර දැක්වූවා. “තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. . . . අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු.” (හෙබ්‍රෙව් 10:24, 25, අකුරු ඇල කළේ අපය.) පාවුල් මෙහිදී ගීතිකාකාර දාවිත්ගේ හැඟීම් ප්‍රතිනාද කළේ මෙසේයි. “[යෙහෝවාගේ] ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂ වීමි.”—ගීතාවලිය 122:1.

රැස්වීම්වලට පැමිණීමෙන් ක්‍රිස්තියානීන් ඉමහත් ප්‍රීතියක් අද්දකින්නේ ඇයි? මන්දයත් පැමිණ සිටින සැමෝම නිකම්ම නිරීක්ෂකයන් නොවන නිසාත්, මෙම රැස්වීම් සෑම කෙනෙකුටම එකිනෙකාව හොඳින් හඳුනාගැනීමට ප්‍රස්තාවක් ලබා දෙන නිසාත්ය. විශේෂයෙන්ම, මෙම අවස්ථාවන් හුදෙක් ලැබීමටම නොව එකිනෙකාට දීමටත් එකිනෙකාව ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පෙලඹීමටත් ප්‍රස්තාවන් උදා කරනවා. මේ නිසා රැස්වීම් එකිනෙකාව ගොඩ නංවන අවස්ථාවක් වෙයි. එපමණක්ද නොව, ක්‍රිස්තියානි රැස්වීම්, ‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි’ යන යේසුස්ගේ පොරොන්දුව ඉෂ්ට වන ක්‍රමවලින් එකක්ද වෙයි.—මතෙව් 11:28.

සැනසිල්ලේ සහ සැලකිල්ලේ ක්ෂේමභූමියක්

යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම රැස්වීම් ප්‍රබෝධවත් අවස්ථාවන් හැටියට සලකන්නේ හොඳ හේතු ඇතිවයි. එක් දෙයක් නම්, රැස්වීම්වලදී “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් ආත්මික ආහාර නියමිත වේලාවට ලැබීමයි. (මතෙව් 24:45) එමෙන්ම, යෙහෝවාගේ සේවකයන්ව දක්ෂයන් බවට පත් කිරීමේදීත් දේවවචනයේ ජ්වලිතවත් ගුරුවරුන් බවට පත් කිරීමේදීත් රැස්වීම්වලින් ඉටු වන්නේ අති වැදගත් වැඩ කොටසක්. මීට අමතරව, රාජ්‍ය ශාලාවේදී, දුෂ්කර කාලවල් අද්දකින අයට ප්‍රේමනීය සැලකිල්ල දක්වනසුලු අයව සහ උපකාර කරන්නට කැමැත්තෙන් සිටින හිතේෂිවන්ත මිතුරන්ව හමුවීමට ලැබීමත් මහත් ආශීර්වාදයක්.—2 කොරින්ති 7:5-7.

මෙය ෆිලිස් නම් වැන්දඹුවගේ අද්දැකීමයි. ඇගේ සැමියා මිය ගියේ ඇගේ දරුවන්ට වයස අවුරුදු පහක් සහ අටක් පමණ වන විටයි. ක්‍රිස්තියානි රැස්වීම්වලට ගිය විට ඇයටත් ඇගේ දරුවන්ටත් දැනුණු උණුසුම ගැන විස්තර කරමින් ඇය පැවසුවේ මෙසේයි. “රාජ්‍ය ශාලාවට යෑම මහත් සැනසිල්ලක් වුණා. මා ගිය සෑම වතාවකම පාහේ වෙනත් ඇදහිලිවන්ත අය අපව බදාගෙන ඒ අයගේ ප්‍රේමයත් සැලකිල්ලත් අපට පෙන්නුවා. සමහරවිට ශුද්ධ ලියවිලි පදයක අදහසක් මතක් කර දීමෙන් නැත්නම් අත් දෙක තදින් අල්ලාගෙන සිටීමෙන් ඔවුන්ගේ ප්‍රේමය පෙන්වූවා. මෙය අපට මහත් අස්වැසිල්ලක් වුණා. මං හරිම කැමැත්තෙන් යන තැනක් තමයි රැස්වීම්.”—1 තෙසලෝනික 5:14.

මාරි බරපතළ ශල්‍යකර්මයකට මුහුණ දුන් පසු, ඇගේ වෛද්‍යවරයා කියා සිටියේ ඇයට සුවය ලැබීමට අඩුතරමින් සති හයක් පමණ ගත වෙන බවයි. එම සතිවල මුල් අවදියේදී රැස්වීම්වලට යෑමට මාරිට හැකි වූයේ නැහැ. ඒ වගේම ඇය වෙනදා තරම් සතුටින් නොසිටි බවත් ඇගේ වෛද්‍යවරයාට වැටහුණා. ඇය රැස්වීම්වලට දැන් යන්නේ නැති බව ඔහු දැනගත් විට රැස්වීම්වලට යන ලෙස ඔහු ඇයට දිරිගැන්වූවා. මාරි ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඇගේ ඇදහිල්ලෙහි නොසිටි ඇගේ සැමියා ඇගේ සෞඛ්‍ය තත්වය නිසා ඇයට රැස්වීම්වලට යෑමට ඉඩ නොදෙන බවයි. එබැවින්, ඇගේ වෛද්‍යවරයා එක්තරා විදිහක වෛද්‍ය “නිල නියෝගයක්” ලිඛිතව දෙමින්, දිරිගැන්වීම ලැබීමටත් ගොඩනංවනසුලු ඇසුර සඳහාත් මාරි රාජ්‍ය ශාලාවට යා යුතු බවට නියෝග කළා. මාරි ඇගේ විස්තරය අවසන් කරන්නේ මෙහෙමයි. “එක් රැස්වීමකට ගියායින් පසුව, මට මහත් සැහැල්ලුවක් දැනුණා. මා කෑම කන්නට පටන්ගත්තා. මුළු රාත්‍රියේම මම නිදාගත්තා. ඉන් පස්සේ මට හැම තිස්සෙම වේදනා නාශක බෙහෙත් ගන්න වුවමනා වුණේ නැහැ. මට නැවතත් සිනහසෙන්නට හැකි වුණා.”—හිතෝපදේශ 16:24.

ක්‍රිස්තියානි රැස්වීම්වල තිබෙන මෙම ප්‍රේමනීය වාතාවරණය පිටත සිටින්නන්ගේ අවධානයට හසු නොවී තිබෙන්නේද නැහැ. එක් පාසැල් සිසුවියක් මානව වංශ විද්‍යාව පිළිබඳ පංතියේ රචනාවක් ලිවීම පිණිස යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නිරීක්ෂණය කර බලන්නට තීරණය කළා. රැස්වීම්වල තිබෙන වාතාවරණය ගැන ඇය රචනාවට ලීවේ මෙසේයි. “මාව ඉතා උණුසුම් ලෙස හා සාදරයෙන් පිළිගැණිනි. එය නම් මගේ සිතට තදින්ම කාවැදිණි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන මිත්‍රශීලී ස්වභාවය නම් ඉතාමත්ම තදින් කැපී පෙනෙන ලක්ෂණයකි. මම දැක්ක කැපී පෙනෙනම දෙය වූයේ එයයි.”—1 කොරින්ති 14:25.

කරදරවලින් පිරි මේ ලෝකයේ ක්‍රිස්තියානි සභාව ආත්මික ක්ෂේමභූමියක්. එහි සාමය හා ප්‍රේමය පිරිලා. රැස්වීම්වලට යෑමෙන්, ඔබටම ගීතිකාකරුගේ වචනවල සත්‍යතාව අද්දකින්නට පුළුවන්. “බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!”—ගීතාවලිය 133:1.

[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සුවිශේෂී අවශ්‍යතාවක් සපුරාලීම

ශ්‍රව්‍යාබාධිතයන්ට ක්‍රිස්තියානි රැස්වීම්වලින් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද? ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සංඥා භාෂා කණ්ඩායම් බිහි වෙනවා. පසුගිය වසර 13 මුළුල්ලේ, එක්සත් ජනපදය පුරා සංඥා භාෂා සභාවන් 27ක්ද, සංඥා භාෂා කණ්ඩායම් 43ක්ද පිහිටුවා තිබීම සැලකිය යුතු දෙයක්. රටවල් 40ක අඩු තරමින් සංඥා භාෂා සභා 140ක් දැනට පිහිටුවා තිබෙනවා. වීඩියෝ පට මගින් සංඥා භාෂා 13කින් ක්‍රිස්තියානි ප්‍රකාශන ප්‍රකාශයට පත් කරයි.

ක්‍රිස්තියානි සභාව විසින් ශ්‍රව්‍යාබාධිත අය හටද යෙහෝවාට ප්‍රශංසා කිරීමට අවස්ථාව ලබා දෙනවා. ප්‍රංශයේ වෙසෙන කලින් කතෝලිකයෙකුව සිටි ඕඩිල්, වරින් වර දැඩි මානසික අසහනයට ලක් වූවා පමණක් නොව දිවිනසා ගැනීමේ සිතුවිල්ල පවා ඇගේ සිතට පහළ වූ අවස්ථාද තිබුණා. නමුත් ඇය ක්‍රිස්තියානි රැස්වීම් මගින් තමන්ට ලැබුණු බයිබල් අධ්‍යාපනය ගැන ඉතා කෘතඥ වෙනවා. “මට නැවත සුවය ලැබුණා පමණක් නොවේ, මට ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්නටත් ලැබුණා. ඒ සියල්ලටම වඩා මට සත්‍යය සොයාගන්නට පුළුවන් වුණා. දැන් මගේ ජීවිතයට හොඳ අරමුණක් තිබෙනවා.”