Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස්ව පිළිසිඳගත් අවස්ථාවේදී කන්‍ය මරියාගේ අසම්පූර්ණත්වය යේසුස්ට අයහපත් අන්දමින් බලපෑවාද?

‘යේසුස්ගේ උත්පත්තිය’ ගැන දේවානුභාවයෙන් දුන් ලියවිල්ලේ මෙසේ සඳහන් වෙනවා. “මරියා යෝසෙප්ට විවාහ බස් දී සිටියදී, ඔවුන් එක් වෙන්ට පළමුවෙන්, [ශුද්ධාත්මය] කරණකොටගෙන ඈ ගර්භිණී වූ බව දැනගන්නා ලදි.” (මතෙව් 1:18) මරියාගේ ගැබ්ගැනීමේදී දෙවිගේ ශුද්ධාත්මය ඉතා වැදගත් කාර්යයක් ඉටු කළා.

මරියා ගැන කුමක් කිව හැකිද? ඇගේ ඩිම්බ සෛල මෙම ගර්භිණීභාවය කෙරෙහි යම් බලපෑමක් ඇති කළාද? මරියාගේ ආදි පියවරුන් වන ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, යූදා හා දාවිත් රජට දෙවි කළ පොරොන්දුවට අනුව මෙම දරුවා ඔවුන්ගේම පෙළපතින් පැමිණිය යුතු වුණා. (උත්පත්ති 22:18; 26:24; 28:10-14; 49:10; 2 සාමුවෙල් 7:16) එසේ නොවූවා නම් දිව්‍ය පොරොන්දුවලට අනුව මරියාගෙන් උපන් දරුවා හරි උරුමක්කාරයා වූ බව පැවසිය හැක්කේ කෙසේද? ඔහු සැබවින්ම ඇගේ පුත්‍රයා විය යුතුව තිබුණා.—ලූක් 3:23-34.

යෙහෝවාගේ දූතයා මරියා ඉදිරියේ පෙනී සිට පැවසුවේ මෙයයි. “මරියා, භය නොවන්න. මක්නිසාද නුඹට [දෙවිගෙන්] කරුණාව ලැබුණේය. බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහි කරන්නීය. ඔහුට යේසුස් යන නාමය තබන්න.” (ලූක් 1:30, 31) දරුවෙකු පිළිසිඳ ගැනීමට නම් ඩිම්බ සෛලයක් සංසේචනය වීම අවශ්‍යයි. පෙනෙන විදියට යෙහෝවා දෙවි මරියාගේ ගර්භාශයේ ඩිම්බ සෛලයක් සංසේචනය වීමට ඔහුගේ බලය යෙදූ අතර, එය සිදු කරනු ලැබුවේ ස්වර්ගයේ සිටි ඔහුගේ ඒක ජාතක පුත්‍රයාගේ ආත්ම ජීවිතය භූමික ජීවිතයකට මාරු කිරීමෙන්.—ගලාති 4:4.

අසම්පූර්ණ ස්ත්‍රියක තුළ පිළිසිඳගත් මෙවැනි දරුවෙකුට පාපයෙන් තොර, ශාරීරිකව සම්පූර්ණ කෙනෙක් විය හැකිද? පරිපූර්ණත්වය හා අසම්පූර්ණත්වය එකට මුසු වන අවස්ථාවලදී ප්‍රවේණි නීති බලපාන්නේ කොයි ආකාරයෙන්ද? දෙවිගේ පුත්‍රයාගේ පරිපූර්ණ ජීව බලය මරියාගේ ගර්භාෂයට මාරු කිරීමෙදීත් එය කලළයක් බවට ප්‍රතිසන්ධි කිරීමේදීත් ශුද්ධාත්මය ක්‍රියාත්මක වූ බව මතක තබාගන්න. එමනිසා මරියාගේ ඩිම්බ සෛලවල තිබූ අසම්පූර්ණත්වය මැකී ගිය අතර මූලාරම්භයේ සිටම ජානවල සැකැස්ම පරිපූර්ණ එකක් විය.

කෙසේවෙතත් අපට සහතික විය හැකි දෙය නම් දෙවිගේ අරමුණ ඉෂ්ට වීමට ඒ අවස්ථාවේදී දෙවිගේ ශුද්ධාත්ම බලය ක්‍රියාත්මක වූ බවයි. ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට එය පහදා දුන්නේ මෙලෙසයි. ‘ශුද්ධාත්මය ඔබ කෙරෙහි පැමිණ, මහෝත්තමයාණන්ගේ ආනුභාවද ඔබ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවිගේ පුත්‍රයාණෝයයි කියනු ලබන්නේය.’ (ලූක් 1:35) ඔව්, දෙවිගේ ශුද්ධාත්මය ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කිරීම නිසා කිසිම අසම්පූර්ණත්වයකට හෝ හානිකර බලපෑමකට පිළිසිඳගත් කලලය කැළැල් කිරීමට හැකි වුණේ නැහැ.

පැහැදිලිවම යේසුස් ඔහුගේ පරිපූර්ණ ජීවිතය සම්බන්ධව කිසි මිනිසෙකුට නොව තම පියාට ණයගැතිව සිටියා. යෙහෝවා ඔහු සඳහා ‘ශරීරයක් සූදානම් කළ’ අතර පිළිසිඳගැනීමේ පටන් “නොකිලුටු වූ පව්කාරයන්ගෙන් වෙන් වූ” ශරීරයක් යේසුස්ට තිබුණා.—හෙබ්‍රෙව් 7:26; 10:5.

[19වන පිටුවේ පින්තූරය]

‘ඔබ ගර්භිණීව පුත්‍රයෙකු බිහි කරන්නීය’