Skip to content

පටුනට යන්න

වොල්ඩෙන්සෙස් මිථ්‍යාග්‍රාහකයන්ගේ සිට රෙපරමාදු භක්තිකයන් දක්වා ගමන

වොල්ඩෙන්සෙස් මිථ්‍යාග්‍රාහකයන්ගේ සිට රෙපරමාදු භක්තිකයන් දක්වා ගමන

වොල්ඩෙන්සෙස් මිථ්‍යාග්‍රාහකයන්ගේ සිට රෙපරමාදු භක්තිකයන් දක්වා ගමන

අපගේ කතාව ඇරඹෙන්නේ වසර 1545දීය. අප සිටින්නේ දකුණු ප්‍රංශයේ ප්‍රොවෝන්ස්හි සුන්දර ලූබෙරෝං ප්‍රදේශයේය. ආගමික හේතූන් මත ඉතා කුරිරු මෙන්ම අසාධාරණ ප්‍රතිපත්තියකින් උසිගන්වා ඇති හමුදාවක් ඉතා බිහිසුණු මෙහෙයුමක් දියත් කිරීමට එහි එක් රොක්ව සිටියි. සතියක් පුරා මිනිස් ලේ ගලයි.

ගම්මාන ගිනිබත් කෙරේ. එහි වැසියන් සිරභාරයට හෝ මරුමුවට පත් කරනු ලැබේ. සිත් පිත් නොමැති මෙම සෙබළුන්ගේ අතින් උදා වූ මෙම බිහිසුණු, මිනීමරු කාලපරිච්ඡේදය යුරෝපය සිසාරා පැතිර ගියේ ඉමහත් කම්පනයක් ඇති කරවමිනි. පුරුෂයන් 2,700දෙනෙකු මරු දුටු අතර, තවත් 600දෙනෙකු ගැලී වහල් සේවයට යවන ලදි. අහිංසක මව්වරුන් සහ දරු දැරියන්ට විඳීමට සිදු වූ දුක් ගාවිනා කියා නිම කළ නොහැකි තරම්ය! පුදුමයට කාරණයක් වන්නේ, මෙම ලේ පිපාසිත යුද මෙහෙයුම දියත් කළ හමුදාපති ප්‍රංශ රජුගේ සහ පාප්ගේ පැසසුමටද ලක්වීමය.

ප්‍රංශයේ කතෝලික රජු වූ Iවන ෆ්‍රැන්සිස්, රෙපරමාදු දහමේ ව්‍යාප්තිය ගැන තම සැලකිල්ල පළ කරමින් මිථ්‍යාග්‍රාහකයන් ලෙස හංවඩු ගසන ලද අය ගැන විපරම් කිරීමට පටන්ගත් විට, ජර්මනිය ඒ වන විටත් රෙපරමාදු ප්‍රතිසංස්කරණය මගින් දෙකඩ වී තිබිණ. මිථ්‍යාග්‍රාහකයන් සොයා ගිය ප්‍රොවෝන්ස්හි බලධාරීහු ඔවුන් තැනින් තැන විසිර සිටින සුළු පිරිසක් නොවන බව තේරුම්ගත්හ. ඒ වෙනුවට ඔවුන්ට පෙනී ගියේ මෙම ආගමික විරුද්ධවාදීන් ගම්මාන පිහිටුවා ප්‍රදේශය පුරාම පදිංචි වී සිටි බවය. මෙම මිථ්‍යාග්‍රාහකයන් අතුගා දැමීමට වූ නියමය නීතියෙන් සම්මත කොට 1545දී සමූලඝාතනයක් ලෙස ක්‍රියාත්මක කරන ලදි.

මෙම මිථ්‍යාග්‍රාහකයන් කවුරුන්ද? මෙතරම් දරුණු ආගමික අසාධාරණයකට ඔවුන් ලක් වූයේ මන්ද?

පොහොසත්හු පාරට බසිති

ඉහත සඳහන් ඝාතනයේදී මරු දුටු අය යුරෝපයේ විශාල ප්‍රදේශයක පැතිරුණු හා 12වන සියවසේදී පමණ බිහි වූ ආගමික කණ්ඩායමකට සම්බන්ධ වී සිටියහ. සියවස් කිහිපයක් පුරා එය ව්‍යාප්ත වෙමින් අඛණ්ඩව පැවති අන්දම පරීක්ෂා කර බලන විට, ඒ කණ්ඩායම ආගමික විරුද්ධවාදීන් අතරින් අද්විතීය තැනක් ගන්නා බවට සාක්ෂි සපයයි. ඉතිහාසඥයන් වැඩිදෙනාගේ මතය වන්නේ එම ආගමික කණ්ඩායම කල එළි දුටුවේ වසර 1170දී පමණ බවය. ලියොන් නමැති ප්‍රංශ නුවරෙහි වෝඩේ නමැති ධනවත් වෙළෙන්දෙක් දෙවිව සතුටු කිරීම ගැන ගැඹුරින් උනන්දු වන්නට පටන්ගත්තේය. තම දේපොළ විකුණා දුප්පතුන්ට දෙන මෙන් එක්තරා ධනවතෙකුට යේසුස් ක්‍රිස්තුස් දුන් අවවාදය මෙම වෙළෙන්දාගේ සිත්ගත් බව සැලවේ. මේ අනුව, වෝඩේ තම පවුලේ අඛණ්ඩ නඩත්තුව සඳහා සැලසුම් යොදා, සුවිශේෂය දේශනා කිරීමට තම ධන සම්භාරය අත්හැරියේය. (මතෙව් 19:16-22) වැඩි කලක් යන්නට මත්තෙන් අනුගාමිකයන් පිරිසක් ඔහු පසුපස ඒමට පටන්ගත් අතර, ඔවුන්ට වොල්ඩෙන්සෙස් යන නාමය දෙන ලදි. a

වෝඩේගේ ජීවිතය කේන්ද්‍රගත වී තිබුණේ දුගීකම, දේශනා කිරීම සහ බයිබලය වටාය. පූජක පක්ෂය සතු ධනස්කන්ධයට විරෝධතා දැක්වීම එම වකවානුවේදී අලුත් යමක් නොවීය. එවකට සෑහෙන කාලයක් පුරා පූජක පක්ෂය අතරම සිටි විරුද්ධවාදීන් කිහිපදෙනෙක් කතෝලික සභාවේ දූෂිත ක්‍රියාදාමය සහ බල තණ්හාව හෙළා දැක්කෝය. කෙසේවෙතත්, වෝඩේ සහ ඔහුගේ අනුගාමිකයන්ගෙන් බහුතරය ගිහියෝ වූහ. එසේ නම්, බයිබලය පොදු ජනයා කතා කළ භාෂාවෙන් තිබීමේ අවශ්‍යතාව ඔහු විසින් දැකීමට හේතුව මින් පැහැදිලි වනවාට සැකයක් නොමැත. බයිබලයේ ලතින් වල්ගේට් අනුවාදය පූජක පක්ෂයට පමණක් සීමා වූ බැවින්, සුවිශේෂයන් සහ බයිබලයේ වෙනත් පොත් නැඟෙනහිර මධ්‍යම ප්‍රංශයේ පොදු ජනයා තේරුම්ගත් ෆ්‍රැන්කෝ-ප්‍රොවෙන්සාල් භාෂාවට පරිවර්තනය කිරීම සඳහා වෝඩේ කටයුතු යෙදීය. b දේශනා කිරීමට වූ යේසුස්ගේ ආඥාව මත ක්‍රියාත්මක වෙමින්, ලියොන්හි මෙම දුගී ජන පිරිස තම පණිවිඩය සමඟින් වීථිවලට බැස්සෝය. (මතෙව් 28:19, 20) කතෝලික සභාව වොල්ඩෙන්සස් සාමාජිකයන් සම්බන්ධයෙන් දැරූ විරුද්ධවාදී ආකල්පයට තීරණාත්මක හේතුව වූයේ ප්‍රසිද්ධියේ දේශනා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු නොසැලෙන ස්ථාවරය බව ඉතිහාසඥ ගබ්‍රියෙල් ඕඩිස්යෝ පැහැදිලි කරයි.

කතෝලිකයන්ගේ සිට මිථ්‍යාග්‍රාහකයන් දක්වා ගමන

ඒ කාලයේදී දේශනා කිරීම පූජක පක්ෂයට පමණක් සීමා වූ වරප්‍රසාදයක් විය. තවද දේශනා කිරීමට වූ අයිතිය පැවරීමේ බලය කතෝලික සභාවේ බලධාරීන් සතු විය. වොල්ඩෙන්සස් සාමාජිකයන්ව සලකන ලද්දේ නූගත් හා අපණ්ඩිත අය ලෙසය. කෙසේ නමුත් 1179දී වෝඩේ තමා කළ දේශනා මෙහෙයට නිල අවසරයක් IIIවන ඇලෙක්සැන්ඩර් පාප්ගෙන් ඉල්ලා සිටියේය. මෙයට අවසර දුන්නද, එය රැඳී පැවතුණේ ප්‍රාදේශීය පූජකයන්ගේ අවසරය ඇතුව කිරීමේ කොන්දේසිය මතය. ඉතිහාසඥ මැල්කම් ලැම්බට් පවසන පරිදි, “මෙවන් අවසරයක් පූර්ණ ප්‍රතික්ෂේප කිරීමක් හා සමාන විය.” මේ අනුව, ලියොන්හි අග්‍රබිෂොප් ෂොන් බෙල්මොන් ගිහියන් විසින් දේශනා කිරීම එකහෙළා තහනම් කළේය. ‘මනුෂ්‍යයන්ට වඩා දෙවිට අප විසින් කීකරු විය යුතුය’ යන්න ක්‍රියා 5:29න් උපුටා දක්වමින් එයට වෝඩේ ප්‍රතිචාරය දැක්වීය. මෙම තහනමට එකඟව ක්‍රියා කිරීමට අපොහොසත් වූ වෝඩේව 1184දී කතෝලික සභාවෙන් නෙරපා දමන ලදි.

වොල්ඩෙන්සෙස් සාමාජිකයන්ව ලියොන් වසමෙන් පිටමං කර, නගර සීමාවන්ගෙන් පිටතට බලෙන් එළවා දමනු ලැබුවද මුලින් පනවන ලද තහනම දැඩි ලෙස ක්‍රියාත්මක නොවූ බවක් පෙනේ. වොල්ඩෙන්සෙස් සාමාජිකයන්ගේ අවංකකම හා සරල ජීවන රටාව පොදු ජනයාගෙන් වැඩිදෙනාගේ පැසසුමට ලක් වූ අතර, බිෂොප්වරු පවා ඔවුන් සමඟ නොකඩවා කතා බහ කළෝය.

යූවන් කැමරන් නමැති ඉතිහාසඥයාට අනුව වොල්ඩෙන්සෙස් දේශනාකරුවන් “රෝමානු කතෝලික සභාවට දැක්වූ විරෝධය පදනම් විරහිත එකක් කියා” පැවසිය නොහැක. ඔවුන්ගේ “අභිප්‍රාය වූයේ දේශනා කිරීමත් ඉගැන්වීමත්ය.” ඉතිහාසඥයන් පවසන්නේ, මෙම ආගමික ව්‍යාපාරය මිථ්‍යාග්‍රාහක ගණයට බලෙන්ම වාගේ ඇද දමන ලද්දේ ඔවුන්ට එරෙහිව පැනවූ සීමා තහංචි වැලක් හේතුවෙන් බවයි. මෙම සීමා තහංචි මගින් ප්‍රගතිශීලීව සහ කල්පවතින අන්දමකින් ඔවුන්ව සමාජයෙන් කොන් කරන ලදි. කතෝලික සභාවෙන් නිකුත් වූ හෙළා දැකීම් මුදුන්පත් වූයේ 1215දී වොල්ඩෙන්සෙස් සමාජයට විරුද්ධව සිව්වන ලැටරන් මණ්ඩලය විසින් නිකුත් කරන ලද අභිශාපය මාර්ගයෙනි. මෙය ඔවුන්ගේ දේශනා කිරීමේ කාර්යයට බලපෑවේ කෙසේද?

මහජන ඇසින් සැඟවී

වෝඩේ 1217දී මියගිය අතර, ඔහුගේ අනුගාමිකයන් පිට එල්ල වූ පීඩා හේතුවෙන් ඔවුහු ප්‍රංශයේ ඇල්පයින් නිම්නවලට, ජර්මනියට, උතුරු ඉතාලියට සහ මධ්‍යම හා නැඟෙනහිර යුරෝපයට විසිර ගියෝය. පීඩා නිසා ඔවුන් කළ තවත් දෙයක් නම් ග්‍රාමීය පෙදෙස්වල පදිංචි වීමය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ දේශනා කිරීමේ කර්තව්‍යය බොහෝ ප්‍රදේශවල සීමා සහිතව සිදු කෙරිණ.

වසර 1229දී කතෝලික සභාව දකුණු ප්‍රංශයේ විසූ කැතාරි නොහොත් ඇල්බිජෙන්සෙස්වරුන්ට එරෙහිව ඔවුන්ගේ කුරුස යුධ මෙහෙයුම අවසන් කළේය. c ඊළඟට ඔවුන් ඉලක්ක කරගත්තේ වොල්ඩෙන්සෙස් ව්‍යාපාරයට හවුල් වූ අයවයි. වැඩි කලක් යන්නට මත්තෙන් අධර්ම මර්දනාධිකරණය කතෝලික සභාවේ සියලු සතුරන්ට විරුද්ධව දියත් කළ කුරිරු මෙහෙයුමක් බවට පත් විය. එයින් බියට පත් වූ වොල්ඩෙන්සෙස් ප්‍රජාව මහජන ඇසින් සැඟවුණෝය. වසර 1230 වූ විට ඔවුහු තව දුරටත් මහජනයා ඉදිරියෙහි දේශනා නොකළෝය. ඕඩිස්යෝ මෙසේ පැහැදිලි කරයි. “අලුත් බැටළුවන් සෙවීමට වෙහෙසෙන්නේ නැතුව. . . ඔවුන් යොමු වූයේ හරවාගත් අයව රැකබලා ගැනීමේ කටයුත්තට පමණි. බාහිර පීඩන සහ පීඩා හමුවෙහි ඔවුන්ගේ ඇදහිල්ල රක්ෂා කරගැනීමට උපකාර ලබා දීම ඔවුන්ගේ පරමාර්ථ අතර විය.” “දේශනා කිරීමේ අවශ්‍යතාව පැවතුණද, එහි පරමාර්ථ සම්බන්ධයෙන් සම්පූර්ණ වෙනසක් සිදු වූ” බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

ඔවුන්ගේ විශ්වාසයන් සහ ව්‍යවහාරයන්

දේශනා කිරීමේ කටයුතුවල යෙදීමේ වරම 14වන සියවස වන විට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම දීම නතර කෙරිණ. ඒ වෙනුවට වොල්ඩෙන්සෙස් සභිකයන් දේශනා කරන්නන් සහ අදහන්නන් කියා කොටස් දෙකකට බෙදී තිබිණ. ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්වල නිරත වූයේ මනා පුහුණුවක් ලද පුරුෂයන් පමණකි. මෙම සංචාරක දේවගැතියන්ව පසු කාලයකදී බර්බ් (මාමලා) යන නමින් හඳුන්වන ලදි.

වොල්ඩෙන්සෙස් පවුල් ඔවුන්ගේ නිවෙස්වලදී බැහැදැකීමට ගිය මෙම බර්බ්වරු, මෙම ව්‍යාපාරය ව්‍යාප්ත කරනවාට වඩා එහි ඉදිරි පැවැත්ම සහතික කරනු වස් වෙහෙස මහන්සි වූහ. බර්බ්වරුන් සියලුදෙනාම කියවීමට සහ ලිවීමට සමත් වූ අතර, සය වසරක් පුරා පැවති ඔවුන්ගේ පුහුණුව බයිබලය පදනම් කරගත් එකක් විය. පොදු ජනයාගේ භාෂාවෙන් බයිබලය භාවිත කළ නිසා, ඔවුන්ගේ රැළට එය පැහැදිලි කිරීම පහසු කරවීය. වොල්ඩෙන්සෙස් සාමාජිකයන්ගේ සංස්කෘතිය බයිබලය වටා කේන්ද්‍රගත වූ ඉතා ප්‍රබල එකක් වූ බව ඔවුන්ගේ විරුද්ධවාදීහු පවා පිළිගත්හ. ඔවුන්ගේ දරුවන්ට පවා මෙය බලපෑවේය. ශුද්ධ ලියවිල්ලෙන් විශාල කොටස් උපුටා දැක්වීමේ හැකියාවද ඔවුන්ට තිබිණ.

මුල් වොල්ඩෙන්සෙස් සමාජය ප්‍රතික්ෂේප කළ දේ අතර, බොරු කීම, ශුද්ධ ගිනි ස්ථානය, මළවුන් සඳහා පූජා, පාප්වරුන් ලබා දෙන ක්ෂමා සහ ලිහිල් කිරීම් හා මරියා සහ “සාන්තුවරුන්ට” නමස්කාර කිරීමද විය. තවද ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය නොහොත් අන්තිම රාත්‍රි භෝජනය ඔවුන් සැමරුවේ වාර්ෂිකවය. ලැම්බට් පවසන පරිදි ඔවුන්ගේ නමස්කාර පිළිවෙත “ගිහියාගේ ආගම ලෙස සැලකිය හැක.”

“දෙබිඩි ජීවිතයක්”

වොල්ඩෙන්සෙස් සාමාජිකයෝ ඉතා කිට්ටු, එකට බැඳුණු ප්‍රජා ජීවිතයක් ගත කළහ. පුද්ගලයන් ආගමෙන් පිට විවාහ නොවූ අතර, සියවස් කිහිපයක් ගෙවී යෑමේ ප්‍රතිඵලයක් ලෙස වොල්ඩෙන්සෙස් පෙළපත් නාම බිහි විය. කෙසේවෙතත්, සිය ඉදිරි පැවැත්ම ආරක්ෂා කරනු වස්, වොල්ඩෙන්සෙස්වරු තම මතයන් සඟවාගැනීමට වෑයම් කළෝය. සිය ආගමික විශ්වාසයන් සහ ව්‍යවහාරයන් සම්බන්ධයෙන් ඉතා රහසිගත ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා, ඔවුන්ගේ විරුද්ධවාදීන් ඔවුන්ට විරුද්ධව එල්ල කළේ ඉතා ප්‍රබල චෝදනාය. නිදසුනකට, ඔවුන් යක්ෂ නමස්කාරයෙහි නිරත වන බව එක් චෝදනාවක කියවේ. d

වොල්ඩෙන්සෙස් සාමාජිකයන් මෙවන් චෝදනාවලට උත්තර දුන් එක් මඟක් වූයේ තම ස්ථාවරය අත්හැර, ඉතිහාසඥ කැමරන් පවසන ආකාරයට කතෝලික නමස්කාරයට “අවම ලෙස අනුකූල වීමේ” ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙනි. වොල්ඩෙන්සෙස් සමාජයේ බොහෝදෙනෙක් කතෝලික පූජකයන් ඉදිරිපිට පාපොච්චාරණය කළෝය, පූජාවට සහභාගි වූහ, ආසිරි පැන් භාවිත කළහ. ඔවුහු කතෝලික වන්දනා ගමන්වල පවා නිරත වූහ. ලැම්බට් මෙසේ අදහස් දක්වයි. “බොහෝ දේවල් ඔවුහු තම කතෝලික අසල්වාසීන් මෙන් කළෝය.” මේ නිසා, වොල්ඩෙන්සස්වරුන් “දෙබිඩි ජීවිතයක්” ගත කළ බව ඕඩිස්යෝ එකහෙළාම පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙසේය. “තමන් අද්දුටු සාමය රැකගැනීමේ අරමුණෙන් ඔවුහු එක් අතකින් කතෝලික භක්තිකයන් සේ පෙනී සිටියහ. අනික් අතට ඔවුන් වෙනම කණ්ඩායමක් ලෙස අඛණ්ඩව පැවතීමේ අටියෙන් එක්තරා වත් පිළිවෙත් හා පුරුදු විශේෂයකට අනුව දිවි ගෙවූහ.”

මිථ්‍යාග්‍රාහකයන්ගේ සිට රෙපරමාදු භක්තිකයන් දක්වා

දහසයවන සියවසේ සිදු වූ ආගමික ප්‍රතිසංස්කරණය යුරෝපයේ පැවති ආගමික වාතාවරණය සහමුලින්ම වෙනස් කළේය. යම් ආගමික අසාධාරණයකට මුහුණ දුන් අයට තම රටෙහිම නීතික පිළිගැනීමක් ලබාගැනීමට මඟ පෑදුණු අතර, වඩාත් ලිහිල් වාතාවරණයක් පැවති ප්‍රදේශයක් බලා ගමන් කිරීමටද හැකි විය. විශාල ජන සංඛ්‍යාවක්, පිහිටුවා තිබුණු සම්මත ආගම දහම විවේචනයට ලක් කළ නිසා, මිථ්‍යාග්‍රාහය නමැති අදහස කෙමෙන් කෙමෙන් බරපතළකමින් අඩු වෙන්නට පටන්ගත්තේය.

වසර 1523 තරම් මුල් අවදියකදී සුප්‍රසිද්ධ ප්‍රතිසංස්කාරක මාටින් ලූතර් වොල්ඩෙන්සස් සාමාජිකයන් ගැන යමක් සඳහන් කළේය. වසර 1526දී වොල්ඩෙන්සස් බර්බ් කෙනෙක් යුරෝපයේ සිදු වූ ආගමික වෙනස්කම් පිළිබඳ පුවත් ඇල්ප් කඳුකරයට ගෙනාවේය. අනතුරුව රෙපරමාදු ප්‍රජාවන් සහ වොල්ඩෙන්සෙස් ප්‍රජාව අතර තොරතුරු හුවමාරු වූ කාලපරිච්ඡේදයක් ආරම්භ විය. මේ කාලය අතරතුරේදී, මුල් භාෂාවලින් ප්‍රංශ භාෂාවට බයිබලය මුල්ම වරට පරිවර්තනය කිරීමට වොල්ඩෙන්සෙස් ප්‍රජාවට දිරිගැන්වූයේ රෙපරමාදු භක්තිකයන්ය. වසර 1535දී මුද්‍රණය කළ මෙය පසුව හඳුන්වන ලද්දේ ඔලිවාටාන් බයිබලය ලෙසය. කෙසේවෙතත්, පුදුමයට හේතුවක් වන්නේ වොල්ඩෙන්සෙස් සාමාජිකයන්ගෙන් වැඩිදෙනා ප්‍රංශ භාෂාව නොදත් අය වීමය!

කතෝලික සභාවේ උසිගැන්වීම යටතේ සිදු වූ පීඩා දිගටම සිදු වෙද්දී, වොල්ඩෙන්සෙස් ප්‍රජාවේ විශාල පිරිසක් රෙපරමාදු සංක්‍රමණිකයන් කළාක් මෙන් දකුණු දිග ප්‍රංශයේ ආරක්ෂා සහිත ප්‍රොවෝන්ස් ප්‍රදේශයේ පදිංචි වූහ. වැඩි කල් නොගොස් මෙම සංක්‍රමණය බලධාරීන්ගේ අවධානයට අසු විය. වොල්ඩෙන්සෙස් සාමාජිකයන්ගේ ජීවන රටාව සහ සදාචාර ප්‍රමිති ගැන නොයෙකුත් ඒකාන්ත අදහස් වාර්තා වී තිබුණද, ඔවුන්ගේ පක්ෂපාතිත්වය ඇතමුන් ප්‍රශ්න කළ අතර, නීතිය හා විනය රැකීමට ඔවුන්ගෙන් තර්ජනයක් එල්ල වන බවටද ඔවුහු චෝදනා කළහ. මෙරැන්ඩොල් ප්‍රකාශය නිකුත් කළ විට මෙම ලිපියේ මුල සඳහන් බිහිසුණු ලේ වැගිරීම සිදු කෙරිණ.

කතෝලිකයන් සහ වොල්ඩෙන්සෙස් සාමාජිකයන් අතර පැවති සබඳතා දිගින් දිගට පිරිහෙන්නට පටන්ගත්තේය. තමන්ට විරුද්ධව දියත් කළ ප්‍රහාරයන්වලට ප්‍රතිචාරයක් වශයෙන් වොල්ඩෙන්සෙස් සාමාජිකයෝ තම ආරක්ෂාව සඳහා අවි අතට ගත්හ. මෙම ඝට්ටනය නිසා ඔවුන්ව රෙපරමාදු ගණයෙහිලා සලකන ලදි. මෙලෙස, වොල්ඩෙන්සෙස් ව්‍යාපාරය සම්මත රෙපරමාදු ධර්මය සමඟ එකතු විය.

මේ දක්වා ගෙවී ගොස් ඇති සියවස් ගණනාව පුරා වොල්ඩෙන්සෙස් පල්ලි ප්‍රංශයේ, උරුගුවේ සහ එක්සත් ජනපදය තරම් දුර බැහැර රටවල පිහිටුවා ඇත. කෙසේ නමුත්, ඉතිහාසඥයන් වැඩිදෙනා ඕඩිස්යෝ හා එකඟ වෙති. ඔහු පවසන්නේ “වොල්ඩෙන්සෙස් දහම මෙලොවින් සමුගත්තේ” රෙපරමාදු දහම මගින් එය “ගිලගත් ආගමික පුනරුත්ථාපනය සිදු වූ කාලයේදී” බවයි. කෙසේවෙතත් ඔවුන්ට තිබූ මුල් ජ්වලිතය සියවස් ගණනාවකට පෙර සිටම නිවී ගොස් තිබිණ. එවැන්නක් සිදු වූයේ එහි සාමාජිකයන් භය වී බයිබලයට එකඟව දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කටයුතු අත්හැර දැමූ විටය.

[පාදසටහන්වල]

a වෝඩේට නම් කිහිපයක්ම ඇත. වල්ඩෙස්, වැල්ඩීසියස් නැතහොත් වොල්ඩෝ ඉන් සමහරකි. “වොල්ඩෙන්සෙස්” යන නම ප්‍රබන්ධ කිරීමට වොල්ඩෝ යන නම හේතු විය. මෙම වොල්ඩෙන්සෙස් කණ්ඩායමේ සාමාජිකයන් ලියොන් නුවරෙහි දුප්පතුන් ලෙසද හඳුන්වන ලදි.

b වසර 1199 තරම් මුල් අවදියකදී පවා ඊශාන දිග ප්‍රංශයේ මෙට්ස්හි බිෂොප්වරයා, IIIවන ඉනසන්ට් පාප් ඉදිරියෙහි පැමිණිලි කළේ පුද්ගලයන් කිහිපදෙනෙකු පොදු ජනයාගේ භාෂාවෙන් බයිබලය කියවා සාකච්ඡා කරන බවය. පෙනෙන ප්‍රකාරයට, මෙම බිෂොප්වරයා කතා කරමින් සිටියේ වොල්ඩෙන්සස් කණ්ඩායමේ උදවිය ගැනයි.

c මුරටැඹ 1995 සැප්තැම්බර් 1 කලාපයේ 27-30 දක්වා පිටුවල දැක්වෙන “කැතාරිවරු—ඔවුහු ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගිකයෝ වූවෝද?” යන මැයින් යුත් ලිපිය බලන්න.

d වොල්ඩෙන්සෙස් සාමාජිකයන්ට විරුද්ධව නිරන්තරයෙන් මඩ ගැසීමේ ව්‍යාපාර දියත් කරනු ලැබූ නිසා වෝඩෙරි නමැති යෙදුම ප්‍රබන්ධ කෙරිණ (වෝඩ්වා නමැති ප්‍රංශ වචනයෙන් ගෙන ඇත). ඒ යෙදුම භාවිත කළේ මිථ්‍යාග්‍රාහකයන් හෝ යක්ෂ නමස්කාරකයන් ලෙස සැක කළ උදවිය විස්තර කිරීමටය.

[23වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

වොල්ඩෙන්සෙස් බලපෑමට ලක් වූ ප්‍රදේශ

ප්‍රංශය

ලියොන්

ප්‍රොවෝන්ස්

ලූබේරෝං

ස්ට්‍රාස්බෝග්

මිලාන්

රෝමය

බර්ලින්

ප්‍රාග්

වියෙනා

[පින්තූරය]

වොල්ඩෙන්සෙස් ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් 1535දී පළ වූ ඔලිවාටාන් බයිබලය පරිවර්තනය කෙරිණ

[හිමිකම් විස්තර]

Bible: © Cliché Bibliothèque nationale de France, Paris

[20, 21වන පිටුවේ පින්තූර]

වෝඩේ

වොල්ඩෙන්සෙස් ප්‍රජාවේ මහලු ස්ත්‍රීන් දෙදෙනෙකුව පිලිස්සීම

[හිමිකම් විස්තර]

Pages 20 and 21: © Landesbildstelle Baden, Karlsruhe