Skip to content

පටුනට යන්න

අවදිව සිට, පෙරට ඇදෙමු ධෛර්යයෙන්!

අවදිව සිට, පෙරට ඇදෙමු ධෛර්යයෙන්!

අවදිව සිට, පෙරට ඇදෙමු ධෛර්යයෙන්!

විශේෂ රැස්වීම් පිළිබඳ වාර්තාව

අප ජීවත් වෙමින් සිටින්නේ “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි” [NW] කාලවලය යන කාරණය ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන්, අපිද මෙම “අන්තිම දවස්වල” ජීවිතයේ පීඩනවලට හසු වන්නෙමු. (2 තිමෝති 3:1-5) නමුත් ජනයාට උපකාර අවශ්‍ය බව අපි වටහාගෙන ඇත්තෙමු. ලෝක සිද්ධීන්වල සැබෑ අර්ථය ඔවුන් තේරුම්ගෙන නැත. එබැවින් සහනය සහ බලාපොරොත්තුව ඔවුන්ට අවශ්‍යය. අපගේ අසල්වාසීන්ට උපකාර කිරීමෙහිලා මූලික වශයෙන් අපගේ කාර්යභාරය වන්නේ කුමක්ද?

දෙවි විසින් පිහිටුවා ඇති රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය හවුලේ බෙදාගැනීමට දෙවි අපට බල පැවරුමක් දී තිබේ. (මතෙව් 24:14) මිනිස් සංහතිය සඳහා තිබෙන එකම බලාපොරොත්තුව මෙම ස්වර්ගික රාජ්‍යය බව ජනයා දැනගත යුතුය. එහෙත්, අපගේ පණිවුඩය සැමවිටම ආශාවෙන් පිළිගනු ලබන එකක්ද නොවේ. ඇතැම් ප්‍රදේශවල අපගේ වැඩ තහනම් කොට තිබෙන අතර, අපගේ සහෝදරයන්ට පීඩාද ගෙනැවිත් තිබේ. එහෙත්, අප අපගේ වැඩය අත්හරින්නේ නැත. යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටින අපි පිබිද සිට, නොකඩවාම අත්නෑර ශුභාරංචිය බෙදාගනිමින් ධෛර්යයෙන් යුතුව පෙරට ඇදී යමු.—ක්‍රියා 5:42.

මෙම ස්ථිර අධිෂ්ඨානය 2001 ඔක්තෝබර් මාසයේ පැවති විශේෂ රැස්වීම්වල පැහැදිලිව දක්නට තිබුණි. ඔක්තෝබර් 6වෙනි සෙනසුරාදා පෙන්සිල්වේනියාවේ පිහිටි වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි වාර්ෂික රැස්වීම පැවැත්වූයේ, එක්සත් ජනපදයේ නිව් ජර්සි නගරයේ ජර්සි සිටිහි පිහිටා ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේදීය. a ඊට අමතරව ඊළඟ දවසේ, එක්සත් ජනපදයේ රැස්වීම් තුනක්ද කැනඩාවේ තවත් රැස්වීමක්ද පැවැත්විණි. b

මෙම වාර්ෂික රැස්වීමේ සභාපති ලෙස කටයුතු කළ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජික සැමුවෙල් එෆ්. හර්ඩ්, ගීතාවලිය 92:1 සහ 4ට යොමු දක්වමින් කියා සිටියේ, “අප ස්තුතිවන්ත අය බව පෙන්වීමට අපි කැමැත්තෙමු” කියායි. ඇත්තෙන්ම, ලොව දස දෙසින් පැමිණි වාර්තා පහක් නිසා විශේෂයෙන්ම ස්තුතිවන්ත බව ප්‍රකාශ කිරීමට හේතු තිබිණි.

ලොව දස දෙසින් පැමිණි වාර්තා

ගෝල්ඩ් කෝස්ට් ලෙස කලින් හැඳින්වූ ඝානාවේ දේශනා කටයුතුවල ප්‍රගතිය ගැන සහෝදර ඇල්ෆ්‍රඩ් ක්වාචි වාර්තා කළේය. එම රටේ අපගේ වැඩ කටයුතු වසර ගණනාවක් පුරා තහනම් කර තිබිණි. “ඇයි තහනම් කරලා තියෙන්නේ? ඔයගොල්ලෝ කරපු වැරැද්ද මොකක්ද?” යනුවෙන් මිනිස්සු නිතර නිතර අසන්ට වූහ. මෙය සාක්ෂි දැරීමට හොඳ අවස්ථාවන් විවෘත කළායයි සහෝදර ක්වාචි කියා සිටියේය. වර්ෂ 1991දී තහනම ඉවත් කරනු ලැබූ විට, ඝානාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ 34,421ක් සිටියහ. වර්ෂ 2001 අගෝස්තු මාසය වන විට එම සංඛ්‍යාව 68,152 දක්වා ඉහළ නැංගේය. එය සියයට 98ක වර්ධනයකි. ආසන 10,000කින් යුත් එක් රැස්වීම් ශාලාවක් සෑදීමට සැලසුම් පිළියෙළ විණි. ඝානාවේ සිටින අපගේ ආත්මික සහෝදරයන් තමන්ගේ ආගමික නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටින බව මින් පැහැදිලිය.

දේශපාලනික අස්ථාවරභාවයක් තිබුණද, අයර්ලන්තයේ වෙසෙන අපගේ සහෝදරයෝ දේවසේවයේ ක්‍රියාශීලීව නිරත වෙමින් සිටිති. එමෙන්ම ඔවුහු සමාජයේ ගෞරවාදරයටද පාත්‍ර වී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ මධ්‍යස්ථභාවයයි. අයර්ලන්තයේ චාරිකා හයක සභාවන් 115ක් තිබෙන බව ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක පීටර් ඇන්ඩෲස් කියා සිටියේය. ලියෑම් නමැති දහ හැවිරිදි පිරිමි ළමයෙක් පාසැලේදී නිර්භීතව සාක්ෂි දැරූ ආකාරය පිළිබඳ අද්දැකීමක් සහෝදර ඇන්ඩෲස් පැවසීය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද මගේ බයිබල් කතන්දර පොත ලියෑම් තම පංතියේ ළමුන් 25දෙනෙකුටද ඔහුගේ ගුරුවරයාටද බෙදා දුන්නේය. ලියෑම්ට බව්තීස්ම වීමට වුවමනා විය. ඔහු ඒ සඳහා කුඩා වැඩියයි යමෙක් පැවසූ විට, ලියෑම් පිළිතුරු දුන්නේ මෙසේයි. “මා බව්තීස්ම වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ මගේ වයස නොවේ. යෙහෝවා කෙරෙහි මගේ තිබෙන ප්‍රේමයයි. මම යෙහෝවාට කොච්චර ප්‍රේම කරනවාද කියා මගේ බව්තීස්මයෙන් පෙන්වාවි.” ලියෑම්ගේ ඉලක්කය මිෂනාරියෙකු වීමයි.

වර්ෂ 1968දී, වෙනිසුවෙලාවේ ශුභාරංචියේ ප්‍රචාරකයන් සිටියේ 5,400කි. එහෙත්, දැන් එහි ප්‍රචාරකයන් 88,000කට වඩා වැඩියෙන් සිටින බව ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක ස්ටෙෆාන් යොහැන්සන් සඳහන් කළේය. තවද 2001 වසරේදී සිහි කිරීමේ උත්සවයට 2,96,000කට වඩා පැමිණි හෙයින් දැන් එහි තවදුරටත් වර්ධනයකට අත වනමින් තිබේ. වර්ෂ 1999 දෙසැම්බර් මාසයේදී, එහි ධාරානිපාත වරුසා ඇද හැලීම හේතුවෙන් කඩාගෙන ගිය මඩ සහිත ජල පාරවල්වලට හසුවීමෙන් 50,000ක් මිය ගිය බවට ගණන් බලා ඇති අතර, සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුද ඊට ඇතුළත් වුණි. එක් රාජ්‍ය ශාලාවක් එහි සිවිලිමේ සිට අඩි දෙකක් පහත මට්ටම දක්වාම මඩෙන් පිරී ගියේය. එම ගොඩනැඟිල්ල අතහැර දමන්නයැයි යමෙකු විසින් යෝජනා කළ විට, සහෝදරයන්ගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “නැහැ ඒක කොහෙත්ම කරන්න බැහැ. මේක අපේ රාජ්‍ය ශාලාව. මේක දැන් අතහැර දමන්න අපට බැහැ.” ඔවුහු මඩ, ගල් සහ වෙනත් සුන් බුන් විශාල ප්‍රමාණයක් ඉවත් කරන්ට පටන්ගත්හ. ගොඩනැඟිල්ල යළිත් අලුත්වැඩියා කරනු ලැබූ අතර, මෙම විපතට ගොදුරු වෙන්නට පෙර තිබුණාට වඩා දැන් රාජ්‍ය ශාලාව අලංකාර බව සහෝදරයෝ කියති.

පිලිපීනයේ භාෂාවල් සහ උපභාෂා 87ක් තිබෙනවායයි එහි ශාඛාවේ සම්බන්ධීකාරක ඩෙන්ටන් හොප්කින්සන් පැවසුවේය. පසුගිය සේවා වර්ෂය පුරා, එම රටේ ප්‍රධාන භාෂා තුනකින් එනම්, සේබ්වානෝ, ඉලොකෝ සහ ටගාලොග් යන භාෂා තුනින් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (සිංහලෙන් නොමැත) මුදාහරින ලදි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඔබ සන්තෝෂමත් කිරීමට ශුභ ආරංචි යන පොත කියෙවූ නව හැවිරිදි පිරිමි ළමයෙකුගේ අද්දැකීමක් ගැන සහෝදර හොප්කින්සන් සඳහන් කළේය. ඔහු ශාඛාවෙන් තවත් ප්‍රකාශන ලබාගෙන කියෙවූ නමුත් ඔහුගේ පවුලේ අය ඊට විරුද්ධ වූහ. වසර ගණනාවකට පසුව, ඔහු වෛද්‍ය විද්‍යාලයේ සිටින විට, ශාඛා කාර්යාලය අමතා, බයිබල් පාඩමක් ඉල්ලා සිටියේය. වර්ෂ 1996දී බව්තීස්ම වූ ඔහු, වැඩි කල් නොගොස් පූර්ණ කාලීන සේවයට ඇතුල් වූයේය. ඔහු සහ ඔහුගේ භාර්යාව දැන් එම ශාඛා කාර්යාලයේ සේවය කරමින් සිටී.

පුවටෝ රිකෝවල දැන් “සාක්ෂිකරුවන්ව අපනයනය” කිරීමේ ව්‍යාපෘතියක් කෙරෙමින් පවතින බව එහි ශාඛා කමිටු සම්බන්ධීකාරක රොනල්ඩ් පාකින් කියා සිටියේය. එම දූපතේ ප්‍රචාරකයන් 25,000ක් පමණ සිටින අතර, එම සංඛ්‍යාව වසර ගණනාවක් පුරා එම තත්වයේම තිබී ඇත. ඒ මන්ද? ඊට හේතුව නම්, පුවටෝ රිකෝවලින් සෑම වසරකම, එක්සත් ජනපදවලට ප්‍රචාරකයන් 1,000ක් පමණ “අපනයනය” කිරීමයි. මේ අයගෙන් බොහෝදෙනෙක් එහි යන්නේ ආර්ථික හේතු නිසාය. ලියුකේමියා රෝගයෙන් පෙළුණු ලුවිස් නමැති 17හැවිරිදි සාක්ෂිකරුවෙකු සම්බන්ධ වූ පෙරළියක් ඇති කළ අධිකරණ තීන්දුවක් ගැන සහෝදර පාකින් විස්තර කළේය. ලුවිස් රුධිරය ප්‍රතික්ෂේප කළ නිසා, ඔහුගේ නඩුව අධිකරණයට ගෙන යන ලදි. විනිශ්චයකාරවරියට ඔහු සමඟ පෞද්ගලිකව කතා කිරීමට වුවමනා වූ බැවින්, ඇය ඔහුව බැහැදැකීමට රෝහලට ගියාය. ලුවිස් ඇගෙන් මෙසේ ඇසුවේය. “මම බරපතළ අපරාධයක් කළොතින් ඔබ මාව විනිශ්චය කරන්නේ වැඩිහිටියෙකුට සමානව නම්, මට දෙවිට කීකරු වීමට වුවමනා වූ විට පමණක් ඔබ මාව බාලයෙකු ලෙස සලකන්නේ ඇයි?” ඔහු මේරූ වැඩිහිටියෙකු බව ඒත්තුගත් විනිශ්චයකාරවරිය තීරණයක් ගැනීමට ඔහුටම ඉඩ දුන්නාය.

ඈත එපිට රටවලින් පැමිණි වාර්තා ඉදිරිපත් වූවායින් පසුව, එක්සත් ජනපද ශාඛාවේ හැරල්ඩ් කෝකන්, යෙහෝවාගේ සේවකයන් අතර දිගු කලක් සේවය කළ හතරදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට භාජනය කළේය. ආතර් බොන්නෝ පූර්ණ කාලීන සේවයේ වසර 51ක් සේවයේ නියැලී ඇති අතර, දැන් ඉක්වදෝරයේ ශාඛා කමිටුවේ සේවය කරයි. ඇන්ජලෝ කැටන්සාරෝ පූර්ණ කාලීන සේවකයෙකු ලෙස වසර 59ක් සේවය කර ඇති අතර, එයින් වැඩි හරියක්ම සේවය කර ඇත්තේ සංචාරක අවේක්ෂකයෙකු ලෙසය. රිචඩ් ඒබ්‍රහැම්සන් 1953දී ගිලියඩ් පාසලින් උපාධිය ලබා, බෘක්ලින් බෙතෙල් කරා පැමිණීමට පෙරාතුව ඩෙන්මාර්ක්හි වසර 26ක් මුළුල්ලේ අධීක්ෂණ කටයුතු කිරීමේ වරප්‍රසාද ලැබීය. අවසානයේදී, 96හැවිරිදි කැරී ඩබ්. බාබර්ට සවන් දීම සියල්ලන්ටම මහත් සතුට ගෙන දෙන්නක් විය. වර්ෂ 1921දී බව්තීස්ම වූ සහෝදර බාබර්, වසර 78ක් පුරා පූර්ණ කාලීන දේවසේවයේ යෙදී සිට ඇති අතර, 1978 සිට පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සේවය කර ඇත.

හද පුබුදුවන අනුශාසනා

මෙම වාර්ෂික රැස්වීමට, හද පුබුදුවන අනුශාසනාවලින් පිරි කතා මාලාවක් ඇතුළත් විය. සහෝදර රොබට් ඩබ්. වොලන්, “සිය නාමය උදෙසා සෙනඟක්” යන තේමාව යටතේ කතා කළේය. අපි දෙවිගේ නාමය දරන ජනතාව වෙමු. අපව රටවල් 230කට වඩා වැඩි ගණනක සොයාගත හැකියි. යෙහෝවා අපට ‘මතු කාලය සඳහා බලාපොරොත්තුවක්’ දී තිබේ. (යෙරෙමියා 29:11) අප දෙවිගේ රාජ්‍යයට වැඩි වැඩියෙන් සහයෝගය දෙමින් සැනසීමේ හා සහනයේ එම පුදුමාකාර පණිවුඩය නොනවත්වාම අනුන්ට බෙදා දිය යුතුයි. (යෙසායා 61:1) “යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නාමයට එකඟව දවසින් දවස නොකඩවාම දිවි ගෙවීමට අපි අදිටන් කරගනිමු” යයි සහෝදර වොලන් අවසන් වශයෙන් කියා සිටියේය.—යෙසායා 43:10.

වැඩ සටහනේ අවසාන කොටස, පාලක මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද කතා තුනකින් සමන්විත කතා මාලාවක් විය. එහි තේමාව වූයේ, ‘අවදිව, ස්ථිරව, ශක්තිමත්ව සිටීමට කාලය මෙයයි’ යන්නය.—1 කොරින්ති 16:13.

පළමුව, සහෝදර ස්ටීවන් ලෙට් කතා කළේ, “මේ අන්තිම පැයේදී අවදිව සිටින්න” යන තේමාව යටතේයි. කායික නින්ද අපට දී තිබෙන දායාදයකි. එය අපව යළි පණගන්වයි. කෙසේවෙතත් ආත්මික නින්ද නම් කිසිවිටෙකත් අපට යහපතක් නොකරන බව සහෝදර ලෙට් පැහැදිලි කළේය. (1 තෙසලෝනික 5:6) එසේ නම්, අපට ආත්මිකව අවදිව සිටිය හැක්කේ කෙසේද? සහෝදර ලෙට් මෙම ආත්මික “පෙති” තුන ගැන සඳහන් කළේය. (1) ස්වාමීන්ගේ වැඩය තුළ කාර්යබහුලව සිටින්න. (1 කොරින්ති 15:58) (2) ඔබගේම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව සිටින්න. (මතෙව් 5:3, NW) (3) ඥානවන්ත ක්‍රියා කිරීම පිණිස බයිබලය මත පදනම් උපදෙස්වලට ප්‍රතිචාරය දැක්වීමට සෑදී පැහැදී සිටින්න.—හිතෝපදේශ 13:20.

සහෝදර තියඩෝර් ජැරැස් “පරීක්ෂා යටතේ ස්ථිරව සිටින්න” යන තේමාවෙන් යුතු හද පුබුදුවන කතාවක් ඉදිරිපත් කළේය. එළිදරව් 3:10ට යොමු දක්වමින් සහෝදර ජැරැස් මෙසේ ඇසීය. “‘පරීක්ෂාවේ පැය’ යනු කුමක්ද?” එම පරීක්ෂාව පැමිණෙන්නේ අප දැන් ජීවත් වෙමින් සිටින ‘ස්වාමීන්ගේ දවසේදීයි.’ (එළිදරව් 1:10) මෙම පරීක්ෂාව ප්‍රධාන ප්‍රශ්නය වටා නාභිගත වෙයි. එනම්, අප සහයෝගය දක්වන්නේ දෙවිගේ පිහිටුවන ලද රාජ්‍යයටද නැතහොත් සාතන්ගේ දුෂ්ට ක්‍රමයටද? එම අන්තිම පැය අවසන් වන තෙක්, අප නොයෙක් පරීක්ෂා සහ දුෂ්කරතාවලට මුහුණු දෙනු ඇත. අප යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් පක්ෂපාතව සිටිනු ඇද්ද? ‘අපට එවන් පක්ෂපාතකමක් පෞද්ගලිකව පෙන්වීමට සිදු වෙනවා ඇත’ කියා සහෝදර ජැරැස් ප්‍රකාශ කළේය.

අවසන් වශයෙන්, සහෝදර ජෝන් ඊ. බාර්, “ආත්මික පුද්ගලයන් වශයෙන් ශක්තිමත්ව වැඩෙන්න” යන තේමාව යටතේ තම කතාව ඉදිරිපත් කළේය. ලූක් 13:23-25ට යොමු දක්වා සිටි ඔහු, ‘පටු දොරටුවෙන් ඇතුල් වීමට’ අප දැඩි උත්සාහයක් දැරිය යුතුයයි සඳහන් කළේය. බොහෝ අය අසමත් වන්නේ ඔවුන් ශක්තිමත්ව වැඩීමට මහන්සි වී වැඩ නොකරන නිසාය. පූර්ණ ලෙස වැඩුණු ක්‍රිස්තියානීන් බවට පත්වීම පිණිස, අප ජීවිතයේ සියලු පැතිවලදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට ඉගෙනගත යුතුය. සහෝදර බාර් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය. “(1) අනික් සියල්ලට වඩා යෙහෝවාට මුල් තැන දීමටත් (2) ශක්තිමත්ව වැඩීමටත් (3) යෙහෝවාගේ කැමැත්ත කිරීමෙහිලා දැඩි උත්සාහයක් දැරීමටත් කාලය මෙයයි. මේ කරුණු තුන සමඟ ඔබ එකඟ වන බව මට විශ්වාසයි. මේ දේවල් කිරීම තුළින්, නිමක් නැති පුදුමාකාර ජීවිතයකට පාර කපන පටු දොරටුව තුළින් ඇතුල් වීමට අපට හැකි වෙනවා ඇති.”

වාර්ෂික රැස්වීම නිමාවකට ඇදී යනවාත් සමඟම, පිළිතුරු දී නැති එක් ප්‍රශ්නයක් ඉතුරුව තිබුණි. එය නම්, 2002 සේවා වර්ෂය සඳහා වාර්ෂික පදය කුමක්ද යන්නයි. එම ප්‍රශ්නයට ඊළඟ දවසේ පිළිතුරු ලැබිණි.

අමතර රැස්වීම

අමතර රැස්වීම ඇතුළත් වැඩ සටහන ආරම්භ වනවාත් සමඟම ඉරිදා උදෑසන අපේක්ෂාවන්ගෙන් පිරී ගියේය. සතියේ මුරටැඹ සාරාංශය සමඟින් එය ආරම්භ වූ අතර, වාර්ෂික රැස්වීමේ කැපීපෙනෙන තැන් පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක්ද තිබිණි. ඊළඟට, 2002 වාර්ෂික පදය ඇතුළත් කතාව ඇසීමට සැමෝම සතුටින් සිටියහ. එය නම්, ‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි.’ යන්නයි. (මතෙව් 11:28) මෙම කතාව පදනම් වී තිබුණේ ඉන්පසු ප්‍රකාශයට පත් කළ 2001 දෙසැම්බර් 15දා මුරටැඹ කලාපයේ පළවෙන පාඩම් ලිපිය මතයි.

ඉන්පසුව, ප්‍රංශයේ සහ ඉතාලියේ 2001 අගෝස්තුවලදී පවත්වන ලද “දෙවිගේ වචනය උගන්වන්නෝ” යන තේමාවෙන් යුත් විශේෂ සමුළුවලට සහභාගි වූ නියෝජිතයෝ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්ට වූහ. c අවසානයේදී, වැඩ සටහනේ විශේෂාංගයන් ලෙස අවසන් කතා දෙක බෘක්ලින් බෙතෙල්හි ආගන්තුක කථිකයන් විසින් ඉදිරිපත් කරන ලදි.

පළමු කතාවේ තේමාව වූයේ “මෙම දුෂ්කර කාලවලදී ධෛර්යයෙන් යුතුව යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම” යන්නයි. කථිකයා පහත සඳහන් ප්‍රධාන කරුණු ඔස්සේ කතාව ගොඩනැඟුවේය. (1) ධෛර්යයෙන් යුතුව යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තැබීම සෑමවිටම දෙවිගේ ජනයා සඳහා අතිශයින් වැදගත් වී තිබේ. විරුද්ධවාදිකම් හමුවේ නිර්භීතකම හා ඇදහිල්ල දැක්වූ අයගේ ආදර්ශයන් බොහොමයක් බයිබලයේ අඩංගු වේ. (හෙබ්‍රෙව් 11:1-12:3) (2) යෙහෝවා අපට ඔහු කෙරෙහි දැඩි සේ විශ්වාසය තැබීමට හොඳ පදනමක් ලබා දෙයි. ඔහු තම ක්‍රියාවෙන් සහ වචනයෙන් සහතික කරන්නේ සිය සේවකයන්ව සලකන බවත් ඔවුන්ව කිසිවිටෙකත් අමතක නොකරන බවත්ය. (හෙබ්‍රෙව් 6:10) (3) විශේෂයෙන් අදදින ධෛර්යය සහ දැඩි විශ්වාසය තිබීම අවශ්‍යය. යේසුස් පුරෝකථනය කළාක් මෙන්, අපි ‘වෛරයට’ පාත්‍ර වෙමු. (මතෙව් 24:9) විඳදරාගනු පිණිස, දෙවිගේ වචනය කෙරෙහි රඳා සිට, ඔහුගේ ආත්මය අප සමඟ තිබෙන බව විශ්වාස කර, ධෛර්යයෙන් යුතුව දිගටම ශුභාරංචිය දේශනා කිරීම අවශ්‍යය. (4) අප දැනටමත් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙමින් සිටින බව ආදර්ශවලින් පෙන්නුම් කරයි. ආර්මේනියාවේ, ප්‍රංශයේ, ජෝර්ජියාවේ, කසකස්ථානයේ, රුසියාවේ සහ ටර්ක්මෙනිස්ථානයේ අපගේ සහෝදරයන් විඳදරාගෙන ඇති ආකාරය ගැන කථිකයා යම් අද්දැකීම් ඉදිරිපත් කරන විට සියලුදෙනාගේ හදවත් දැවෙන්නට විය. සැබවින්ම, ධෛර්යයෙන් යුතුව යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට කාලය මෙයයි!

අන්තිම කථිකයාගේ තේමාව වූයේ, “යෙහෝවාගේ සංවිධානය සමඟ පෙරට ඇදෙන්න” යන්නයි. මෙම කතාව තුළින් කාලෝචිත කරුණු ගණනාවක් ආවරණය විය. (1) යෙහෝවාගේ ජනයාගේ පෙරට ඇදී යෑම බොහෝදෙනෙකුගේ නිරීක්ෂණයට නතු වී තිබේ. අපට මහජන ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේ අපගේ දේශනා සේවය සහ අපගේ සමුළු නිසාය. (2) යෙහෝවා එක්සත් වූ සංවිධානයක් ප්‍රතිෂ්ඨාපනය කර තිබේ. පොදු යුගයේ 29දී, යේසුස්ව ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබුවේ, “සියල්ල,” එනම් ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති අයවත් භූමික බලාපොරොත්තුවක් ඇති අයවත් දෙවිගේ එක්සත් පවුලට ගෙන ඒම සඳහායි. (එපීස 1:8-10) (3) සමුළු යනු ජාත්‍යන්තර එක්සත්කමක ජීවමාන වූ නිරූපණයකි. විශේෂයෙන්ම පසුගිය අගෝස්තු මාසයේ ප්‍රංශයේ සහ ඉතාලියේ පැවති විශේෂ සමුළුවලදී එය පැහැදිලිව දිස් විය. (4) ප්‍රංශයේදී සහ ඉතාලියේදී සිත් පුබුදුවාලූ සම්මුතියක් ඇති කරගැනිණි. මෙම සිත් පුබුදුවන සම්මුතියේ කොටස් ස්වල්පයක් කථිකයා සබය සමඟ බෙදාගත්තේය. මෙම සම්මුතියේ සම්පූර්ණ ප්‍රකාශය පහත දක්නට තිබේ.

අන්තිම කතාවේ අවසානයේදී, ආගන්තුක කථිකයා පාලක මණ්ඩලය විසින් සකස් කරන ලද හද කලතන නිවේදනය කියවීය. එහි කොටසක මෙසේ කියවිණි. “ලෝක සිදුවීම් සිදු වන අන්දම වටහාගනිමින් අවදිව සුපරීක්ෂාවෙන් සිටීමට කාලය මෙයයි. . . . ඔබටත් දෙවිගේ ජනයා අතර සිටින සෙස්සන්ටත් පාලක මණ්ඩලය දක්වන ප්‍රේමනීය සැලකිල්ල ඉදිරිපත් කිරීමට අපි සතුටු වන්නෙමු. ඔබගේ මුළු ආත්මයෙන් ඔබ දෙවිගේ කැමැත්ත ඉටු කරන විට, ඔහුගේ බහුල ආශීර්වාද ඔබ කරා ඒවා!” සෑම තැනකම වෙසෙන යෙහෝවාගේ ජනයා මෙම අර්බුදකාරි කාලවලදී අවදිව සිට යෙහෝවාගේ එක්සත් සංවිධානය සමඟ ධෛර්යයෙන් යුතුව පෙරට ඇදී යෑමට අදිටන් කරගෙන සිටිති.

[පාදසටහන්වල]

a මෙම වාර්ෂික රැස්වීම ඉලෙක්ට්‍රොනික මාධ්‍යය හරහා ස්ථාන ගණනාවකටම සම්බන්ධ කරනු ලැබූ අතර, ඊට සහභාගි වූ මුළු සංඛ්‍යාව 13,757ක් විය.

b අමතර රැස්වීම් කැලිෆෝනියාවේ ලෝං බීච්, මිචිගන්හි පොන්ටියැක්, නියූ යෝක්හි යූනියන්ඩේල් සහ ඔන්ටාරියෝහි හැමිල්ටන් යන නගරවල පැවැත්විණි. වෙනත් ස්ථානවල ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ඔස්සේ සම්බන්ධ වූ අය ඇතුළු සහභාගි වූ මුළු සංඛ්‍යාව 1,17, 885ක් විය.

c ප්‍රංශයේ පැරිසියේ, බෝර්ඩෝහි සහ ලියොන්හි විශේෂ සමුළු තුනක් පැවැත්විණි. එක්සත් ජනපදයෙන් ඉතාලියට පැමිණි නියෝජිතයන්ව රෝමය සහ මිලාන් නුවරවලට යවනු ලැබූ අතර, සමගාමී ලෙස සමුළු නවයක් පැවැත්විණි.

[29–31වන පිටුවේ කොටුව⁄පින්තූර]

සම්මුතිය

වර්ෂ 2001 අගෝස්තු මාසයේදී, ප්‍රංශයේ හා ඉතාලියේ “දෙවිගේ වචනය උගන්වන්නෝ” යන තේමාවෙන් යුත් සමුළු පැවැත්විණි. එම සමුළුවලදී හද කලතන සම්මුතියක් ඉදිරිපත් කෙරිණි. එම සම්මුතියේ ප්‍රකාශය පහත පළ වේ.

“යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට, මෙම ‘දෙවිගේ වචනය උගන්වන්නෝ’ සමුළුවට පැමිණ සිටින අප සියල්ලෝම ඉතා ප්‍රයෝජනදායක වූ ඉගැන්වීම් මගින් ගුරුහරුකම් ලබා සිටින්නෙමු. මෙම ඉගැන්වීම්වල උල්පත කවුද කියා පැහැදිලිවම හඳුනාගනු ලැබ තිබේ. මෙම ඉගැන්වීම් මිනිස් ආරම්භයකින් පැමිණි ඒවා නොවේ. එය පැමිණෙන්නේ පුරාණ අනාගතවක්තෘවරයෙකු වන යෙසායා විසින් ‘උදාර උපදේශකයා’ යනුවෙන් හඳුන්වනු ලැබූ තැනැත්තාගෙනි. (යෙසායා 30:20, NW) යෙසායා 48:17හි සඳහන් වී ඇති යෙහෝවාගේ සිහිගැන්වීම සැලකිල්ලට ගන්න. ‘ප්‍රයෝජන ලබාගැනීමට ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු මාර්ගයෙහි ඔබ ගෙන යන්නෙත් ඔබේ දෙවි වූ යෙහෝවා වන මමය.’ ඔහු මෙය සාක්ෂාත් කරගන්නේ කෙසේද? ප්‍රධාන ක්‍රමය නම්, මෙතෙක් වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කර ඇති මෙන්ම වැඩියෙන්ම බෙදාහැර ඇති පොත වන බයිබලය තුළිනි. එහි කිසිම සැකයකින් තොරව අපට කියා තිබෙන්නේ ‘දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල . . . ප්‍රයෝජනවත්’ කියායි.—2 තිමෝති 3:16.

“අදදින වෙසෙන මිනිස් සංහතියට එවන් ප්‍රයෝජනවත් ඉගැන්වීමක් ලබා දීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. අපට මෙසේ කිව හැක්කේ මන්ද? මේ ලෝකයේ වේගයෙන් වෙනස් වන හද වියවුල් කරවන ජවනිකා දෙස බලද්දී විචාර බුද්ධියක් ඇති මිනිසුන් පිළිගන්නේ කුමක්ද? සරලව කිවහොත් මෙයයි. ලෝකයේ වෙසෙන මිලියන ගණනක් මේ ලෝකයේ විවිධ අධ්‍යාපන ක්‍රමවලින් උගන්වනු ලැබ ඇති මුත්, සැබෑ සාරධර්ම පිළිබඳ ඉතා දුක්ඛදායක ඌනතාවයක්ද හරි දේ සහ වැරදි අතර වෙනස වටහාගැනීමට බැරිකමක්ද ඔවුන් තුළ තිබෙන බවයි. (යෙසායා 5:20, 21) බොහෝ අය බයිබලය පිළිබඳව දැනුම ලබා නැත. තාක්ෂණය හරහා පරිගණක ආධාරයෙන් අනන්ත අපමණ තොරතුරු මිනිසාට ගලා ඒමට සලස්වා තිබුණත්, මෙවැනි අතිවැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය හැක්කේ කොහෙන්ද? එනම්, ජීවිතයේ අරමුණ කුමක්ද? අපගේ කාලයේ සිද්ධීන් අපට තේරුම්ගත හැක්කේ කෙසේද? අනාගතය සම්බන්ධයෙන් ස්ථිර බලාපොරොත්තුවක් තිබෙනවාද? සාමය සහ සුරක්ෂිතභාවය කවදා හෝ යථාර්ථයක් වෙයිද? එපමණක්ද නොව, පුස්තකාල රාක්කවල මිලියන ගණනක් පිටු අතර මිනිස් ප්‍රයත්නයන්හි සෑම ක්ෂේත්‍රයකම පාහේ තොරතුරු අනාවරණය කර ඇත. එහෙත් මිනිසා නැවත නැවතත් කරන්නේ පරණ වැරදිමයි. අපරාධ අහස උසට නැඟ ඇත. සදහටම තුරන් කර දැමුවායයි සිතූ රෝග යළිත් හිස ඔසවයි. ඊට අමතරව ඒඩ්ස් වැනි වසංගත දසත පැතිර යන්නේ ඉතා බියගන්වනසුලු අන්දමිනි. ලොමු දැහැගන්වමින් පවුල් ජීවිත කීතු කීතුවලට ඉරී යයි. පරිසර දූෂණයෙන් මහත් හානි සිදු වේ. ත්‍රස්තවාදය සහ දහස් ගණන් මරා දැමිය හැකි ආයුධ සාමයට සහ සුරක්ෂිතභාවයට මහත් තර්ජනයක් එල්ල කරයි. විසඳුම් නැති ගැටලු එකින් එක ගොඩගැසෙයි. මෙම දුෂ්කර කාලවලදී අපේ අසල්වාසියාට උපකාර කිරීමෙහිලා අපගේ නිසි කාර්යභාරය කුමක්ද? මිනිස් සංහතියේ මෙම දුක්ඛදායක තත්වය ගැන පැහැදිලි කරන ඉගැන්වීමක් තිබෙනවාද? එපමණක්ද නොවේ, වඩා හොඳ ජීවිතයකට පාර පෙන්වන මෙන්ම අනාගතය උදෙසා දීප්තිමත් ස්ථිර බලාපොරොත්තුවක් දෙන ඉගැන්වීමක් තිබෙනවාද?

“අපගේ ශුද්ධ ලියවිලිමය පැවරුම නම් ‘ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, ක්‍රිස්තුස් විසින් ඔබ ට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න’ යන්නයි. (මතෙව් 28:19, 20) මෙම පැවරුම දෙනු ලැබුවේ යේසුස් ක්‍රිස්තුස් විසින් සිය මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසුව, ස්වර්ගයෙහිද පොළොවෙහිද අධිකාරිත්වය ඔහුට ලැබුණු පසුවය. එය සියලු මිනිස් ප්‍රයත්නයන් අභිභවා යයි. දෙවිගේ දෘෂ්ටි කෝණයෙන් බලන කළ, අපගේ පැවරුම වනුයේ, ධර්මිෂ්ඨකමට කුසගින්නේ සිටින්නන්ගේ ආත්මික අවශ්‍යතා ගැන අවධානය යොමු කිරීමයි. අප ප්‍රමුඛත්වය දෙන්නේ එයටයි. එම පැවරුම බරපතළ යමක් ලෙස සැලකීමට අපට ශුද්ධ ලියවිලිමය හේතු තිබේ.

“මේ නිසා අපගේ ජීවිතවල එවැනි ක්‍රියාකාරකම් පළමු තැනට දැමිය යුතුය. මෙම සමස්ත ලෝක ඉගැන්වීමේ වැඩසටහනේ ප්‍රගතිය කඩාකප්පල් කිරීමට මොනතරම් බාධක හා බලපෑම් අපට එල්ල වුණත්, ආගමික හා දේශපාලන කණ්ඩායම් අපට කොතරම් විරෝධය පෑවත් ඒවා හමුවේ නොසැලී ඉදිරියට යෑමට දෙවිගේ ආශීර්වාදය අපට ලැබී තිබේ. මෙම වැඩය දිගටම ඉදිරියට ඇදී යමින් උදාර ලෙස නිමාවකට පැමිණෙනු ඇති බවට අපට සහතිකයක් හා විශ්වාසයක් තිබේ. අපට ඒ ගැන එතරම්ම ස්ථිර විය හැක්කේ මන්ද? මක්නිසාදයත් මෙම ක්‍රමයේ අවසානය දක්වාම දෙවි විසින් අපට දෙන ලද සේවය කරගෙන යෑමේදී අප සමඟ සිටින බවට අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් පොරොන්දු වී තිබෙන බැවිනි.

“පීඩනයට පත් වී ඇති මිනිස් සංහතිය තම අවසාන පැය කරා පා නඟමින් සිටිති. නිමාව පැමිණීමට පෙරාතුව අපගේ වත්මන් පැවරුම ඉෂ්ට කළ යුතුය. එමනිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි මෙම පහත සඳහන් සම්මුතිය ඇති කරගනිමු.

“පළමුව: කැප වූ දේවසේවකයන් ලෙස, රාජ්‍ය කටයුතුවලට ජීවිතයේ මුල් තැන දෙමින් දිගටම ආත්මිකව වර්ධනය වීමට අපි අදිටන් කරගෙන සිටිමු. එම ඉලක්කය සාක්ෂාත් කරගනු වස්, ගීතාවලිය 143:10හි සඳහන් ‘ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්නුව මැනව, මක්නිසාද ඔබ මාගේ දෙවිය’ යන වදන්වලට එකඟව අපි යාච්ඤා කරමු. බයිබලය සම්බන්ධයෙන් මනා ශිෂ්‍යයන් වීමත්, දිනපතා එය කියවීමත්, පෞද්ගලික පාඩම සහ පර්යේෂණ කිරීමත් මීට අවශ්‍ය කරවයි. අපගේ දියුණුව සියල්ලන්ට පෙනීමට සැලැස්වීම පිණිස, සභා රැස්වීම්වල, චාරිකා එක්රැස්වීම්වල, දිස්ත්‍රික්, ජාතික සහ ජාත්‍යන්තර සමුළුවල සපයනු ලබන දිව්‍යාණ්ඩුමය අධ්‍යාපනයෙන් සූදානම් වී ගොස් උපරිම ප්‍රයෝජන ගැනීමට ගත හැකි සෑම ප්‍රයත්නයක්ම ගනිමු.—1 තිමෝති 4:15; හෙබ්‍රෙව් 10:23-25.

“දෙවනුව: දෙවි විසින් උගන්වනු ලබන පිණිස, අප ඔහුගේ මේසයෙන් මුළුමනින්ම පෝෂණය වී, භූතයන්ගේ ඉගැන්වීම්වලින් මුළා නොවන ලෙසට බයිබලයේ දී ඇති අනතුරු ඇඟවීම්වලට ඉතා පරෙස්සමින් අවනත වෙමු. (1 කොරින්ති 10:21; 1 තිමෝති 4:1) තවද, ආගමික බොරු, නිෂ්ඵල වාද, පිළිකුල් සහගත ලිංගික අපචාර, කාමුක පොත් පත් නමැති වසංගතය, පහත් විනෝදාස්වාද ඇතුළු සියලු හානිකර බලපෑම්වලින්ද, ‘සුවදායක ඉගැන්වීම්වලට [NW]’ එරෙහි වූ සියලු දේවලින්ද ආරක්ෂා වීමට අප විශේෂ ප්‍රයත්නයක් ගනිමු. (රෝම 1:26, 27; 1 කොරින්ති 3:20; 1 තිමෝති 6:3; 2 තිමෝති 1:13) සුවදායක දේ ඉගැන්වීමට සුදුසුකම් ලැබ සිටින ‘තෑගි වශයෙන් දී තිබෙන මනුෂ්‍යයන්ට අපි ගෞරවය පෙන්වමු. අප ඔවුන්ගේ ප්‍රයත්නයන්ට අවංකව ගෞරව කර, දෙවිගේ වචනයේ සඳහන් පිරිසිදු, ධර්මිෂ්ඨ, සදාචාරමය සහ ආත්මික ප්‍රමිතීන් ස්ථාවරව පිහිටුවීමෙහිලා ඔවුන් දරන උත්සාහයන්වලදී මුළු හදින්ම සහයෝගය දැක්වීමෙන්ද අපට එසේ කළ හැකිය.—එපීස 4:7, 8, 11, 12; 1 තෙසලෝනික 5:12, 13; තීතස් 1:9.

“තුන්වෙනුව: ක්‍රිස්තියානි දෙමාපියන් වශයෙන්, අපගේ හෘද පූර්ණ ප්‍රයත්නය වනුයේ, අපගේ වචනයෙන් පමණක් නොව අපගේ ආදර්ශයෙන්ද අපගේ දරුවන්ට ඉගැන්වීමයි. අපගේ මූලික සැලකිල්ල යොමු වන්නේ, ‘ගැළවීම පිණිස නැණවත් කරන්ට පුළුවන් වූ ශුද්ධ ලියවිලි’ ඔවුන්ගේ ළදරු වියේ පටන් ඉගැන්වීම කෙරෙහිය. (2 තිමෝති 3:15) යෙහෝවාගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද ඔවුන්ව ඇති දැඩි කිරීමෙන් ‘ඔවුන්ට වැඩ සිද්ධ වන බවට හා ඔවුන් පොළොවෙහි බොහෝ කල් ජීවත් වන බවට’ වූ පොරොන්දු අද්දැකීමට අප ඔවුන්හට ප්‍රස්තාවක් දෙන බවද අපගේ මතකයේ තබාගනිමු.—එපීස 6:1-4.

“හතරවෙනුව: කාන්සාවන් සහ බරපතළ ගැටලුවලට මුහුණ දෙන විට, පළමුවෙන්ම අප කරන්නේ, ‘අපගේ කන්නලව් දෙවිට දැන්වීමයි.’ මන්ද එවිට ‘සියලු මිනිස් සිතිවිලි අභිභවා යන දේව සමාදානය’ අපට ලැබෙන බව අපට සහතිකයි. (පිලිප්පි 4:6, 7, NW) ක්‍රිස්තුස්ගේ වියගහ යටතට පැමිණ සිටින අපිට මහත් ප්‍රබෝධයක් දැනේ. දෙවි අප කෙරෙහි සැලකිල්ල දක්වන බව දැන සිටින අපි අපගේ කනස්සලුභාවයන් ඔහු වෙත වීසි කිරීමට පසුබට නොවන්නෙමු.—මතෙව් 11:28-30; 1 පේතෘස් 5:6, 7.

“පස්වෙනුව: දෙවිගේ වචනයේ ගුරුවරුන් බවට පත්වීමේ වරප්‍රසාදය අපට ලැබී තිබෙන නිසා ඒ සඳහා යෙහෝවාට කෘතඥතාව පළ කිරීමක් වශයෙන්, ‘අපගේ සේවය සම්පූර්ණ කිරීමට’ හා ‘සැබෑවේ වචනය හරි ආකාරව පහදා දීමට’ අප ගන්නා ප්‍රයත්නයන් ප්‍රගුණ කරගනිමු. (2 තිමෝති 2:15; 4:5) මීට ඇතුළත් දේ කුමක්දැයි අප ඉතා හොඳින් ග්‍රහණය කරගෙන සිටින නිසා, අපගේ හෘදයාංගම ආශාව වනුයේ, සුදුස්සන්ව සොයාගෙන, වැපුරූ බීජ වැඩීමට සැලැස්වීමයි. එපමණක්ද නොව, බලපෑමෙන් යුතුව තව තවත් වැඩියෙන් නිවාස බයිබල් පාඩම් පැවැත්වීමෙන් අපගේ ඉගැන්වීමේ හැකියාව වැඩි දියුණු කරගනිමු. ‘මෙසේ කිරීම සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමති වූ’ දේව කැමැත්තට අපව වඩාත් එකඟ කරවයි.—1 තිමෝති 2:3, 4.

“හයවෙනුව: පසුගිය ශත වර්ෂය පුරා සහ මෙම සියවසට ඇතුල් වීමත් සමඟමද, බොහෝ රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විවිධ ආකාරවලින් විරුද්ධවාදිකම් සහ පීඩා පැමිණ තිබේ. එහෙත් යෙහෝවා අප සමඟ සිට තිබෙන බව ඔප්පු වී තිබේ. (රෝම 8:31) ‘අපට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන’ බවටත් රාජ්‍ය දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ අපගේ වැඩයට බාධා කිරීමට, එහි වේගය බාල කිරීමට හෝ නැවතීමට කිසිදා ඉඩ නොතබන බවටත් නොවරදිනසුලු ඔහුගේ වචනය අපට සහතික වෙයි. (යෙසායා 54:17) හිතකර තත්වයන් හෝ අහිතකර තත්වයන් යටතේදී වේවා, සත්‍යය කතා කිරීම නැවැත්වීමට අපට බැරිය. අපගේ අධිෂ්ඨානය වනුයේ අපට දී තිබෙන දේශනා කිරීමේ හා ඉගැන්වීමේ පැවරුම හදිසිතාවයෙන් යුතුව ඉෂ්ට කිරීමයි. (2 තිමෝති 4:1, 2) අපගේ ඉලක්කය වනුයේ, දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය සියලු ජනයා සමඟ හැකි උපරිමයෙන් බෙදාගැනීමයි. මෙසේ, ධර්මිෂ්ඨ නව ලොවකදී ලැබෙන සදාකාල ජීවනය නමැති සැපයුම ගැන ඉගෙනගැනීමට ඔවුන්ට දිගටම ප්‍රස්තාව විවෘතව තිබෙනවා ඇති. දෙවිගේ වචනය උගන්වන්නන්ගේ එක්සත් මහත් සේනාවක් වශයෙන් අපගේ අධිෂ්ඨානය වනුයේ, අපගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන් වන යේසුස් ක්‍රිස්තුස් විදහාපෙන්වූ දිව්‍ය ගුණාංග පිළිබිඹු කරමින් ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමයි. මේ සියල්ලම අප කරන්නේ අපගේ උදාර ගුරුවරයාණන් සහ ජීවිත දායකයාණන් වන යෙහෝවා දෙවිගේ ගෞරවයත් ප්‍රශංසාවත් පිණිසය.

“මෙම සමුළුවට පැමිණ සිටින සියලුදෙනාගෙන් මෙම සම්මුතියට කැමති වන අය කරුණාකර එසේය! කියා කියන්න.”

ප්‍රංශයේ සමුළු තුනකට පැමිණ සිටි 1,60, 000දෙනාටත්, ඉතාලියේ ස්ථාන නවයක පැවති සමුළුවලට පැමිණ සිටි 2,89,000දෙනාටත් සම්මුතියේ මෙම අවසාන ප්‍රශ්නය ඉදිරිපත් කරත්ම, පැමිණ සිටි නියෝජිතයන් විවිධ භාෂා ගණනාවකින් එකවර “එසේය!” කියා පැවසූ නාදය මහා හඬින් ගිගුම් දුන්නේය.