ඇදහිල්ල පදනම් විය යුත්තේ තර්කණය මතද?
ඇදහිල්ල පදනම් විය යුත්තේ තර්කණය මතද?
“කල්පනා කිරීමට තිබෙන අකමැත්ත නිසාම ශ්‍රද්ධාවත් වුණු ආගමික බැතිමත්තු ඕනෑ තරම් සිටිති” යැයි ලියන්නේ එක්සත් ජනපදයේ දේවධර්ම සෙමනේරියක පීඨාධිපතිවරයෙකි. “හේතු සාධක නොමැතිව ‘ඇදහිල්ල මත’ ඕනෑම දෙයක් පිළිගන්ට ඔවුන් කැමතිය” කියාද ඔහු තවදුරටත් ලියයි.
තමන්ට ආගමික ඇදහිල්ලක් තිබෙන බව කියා සිටින බොහෝදෙනෙකු, තමන් යමක් විශ්වාස කරන්නේ ඇයි නැතහොත් තම ඇදහිල්ලට සාධාරණ පදනමක් තිබෙනවාද යන්න ගැන බොහෝ අඩුවෙන් සිතන බවයි පෙනෙන්ට තිබෙන්නේ. එබැවින්, බොහෝදෙනෙකු ආගම නමැති විෂය ගැන කතා කිරීමට පසුබට වීම එක අතකට පුදුමයක් නොවේ.
නමස්කාරය සඳහා ආගමික පිළිම යොදාගැනීම සහ කටපාඩම් යාච්ඤා ඉදිරිපත් කිරීම වැනි පුරුදු, සිතීමේ හැකියාව මුවහත් කිරීමට දායක නොවීම කනගාටුවට කරුණකි. දශලක්ෂ සංඛ්‍යාත ජනයා සතුව ඇත්තේ, මෙවන් පුරුදු ඇතුළු විසිතුරු ගෘහ නිර්මාණ ශිල්පයෙන් නිමැවුණු අතිවිශාල පුදපූජා ස්ථාන, වෛවර්ණ ජනෙල් වීදුරු සහ මනබන්ධනීය ගීතිකා පමණි. තම ඇදහිල්ල පදනම්ව තිබෙන්නේ බයිබලය මතයැයි සමහර පල්ලි කියා සිටියත්, ‘යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන්න, එවිට ඔබ ගැළවේ’ යනුවෙන් ඔවුන් දෙන පණිවිඩයම, ගැඹුරු බයිබල් අධ්‍යයනයක් කිරීමෙන් කෙනෙකුව වළකාලයි. තවත් සමහරු දේශපාලනමය හා සමාජීය කාරණා මත කේන්ද්‍රගත වූ ආරංචියක් දේශනා කරති. මේ සෑම දෙයකම ප්‍රතිඵලය කුමක්ද?
උතුරු ඇමරිකාවේ තිබූ තත්වය ගැන එක් ආගමික ලේඛකයෙක් මෙසේ ලීවේය. “ක්‍රිස්තියානි ධර්මය තුළ . . . පිටාතර දැනුමට පමණක් සීමාවීමේ නැඹුරුවාවක් ඇති අතර එහි අනුගාමිකයන්ව තම විශ්වාසයන් පිළිබඳව දැනුවත් කර නැති තරම්ය.” එක්සත් ජනපදය “බයිබල් දැනුම අතින් නූගත් ජාතියකැයි” කීමට තරම් එක් ජනමත විමසන්නෙක් පෙලඹුණේය. අවංකවම කියනවා නම්, එම නිරීක්ෂණය ක්‍රිස්තියානීන්යැයි කියාගන්නා අනිකුත් රටවලටත් අදාළය. බොහෝ ක්‍රිස්තියානි නොවන ආගම්ද තර්කානුකූලව ගොඩනඟනසුලු සිතීමේ හැකියාව වෙනුවට, විවිධාකාර මැතිරීම්, චාරිත්‍රානුකූල යාතිකා සහ අනේකවිධ භාවනා ක්‍රම කෙරෙහි අවධානය යොමු කරන අතර, ප්‍රතිඵලයක් හැටියට තර්කණ හැකියාව මොට කරගෙන තිබේ.
එසේ වුවත්, තම ආගමික විශ්වාසයන්ගේ නිරවද්‍යතාව කෙරෙහි අල්ප අවධානයක් දෙන සෙනඟම එදිනෙදා ජීවිතයේ වෙනත් කාරණා කෙරෙහි අසාමාන්‍ය අවධානයක් දෙති. උදාහරණයක් හැටියට, කලක් ගොස් මල කා යකඩ ගොඩක් බවට පත් වන කාර් එකක් මිල දී ගැනීම සඳහා වෙහෙසී සොයා බලන්නෙකු, තම ආගම ගැන ‘ආහ්, ඒක මගේ අම්මටයි තාත්තටයි හොඳ නම්, මටත් හොඳයි!’ කියා ගණනකටවත් නොගෙන පැවසීම පුදුම දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද?
අප දෙවිව සතුටු කිරීමට සැබවින්ම උනන්දුවක් දක්වන්නේ නම්, අප ඔහු ගැන විශ්වාස කරන දේ නිවැරදිද නැද්දැයි බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු නැද්ද? ‘දෙවි උදෙසා ජ්වලිතකමක් ඇති එහෙත් නිවැරදි දැනුම ඇතුව නොසිටි’ යම් බැතිමත් පිරිසක් ගැන ප්‍රේරිත පාවුල් කතා කළේය. (රෝම 10:2, NW) ඔවුන් වනාහි නිවසක් පින්තාරු කිරීමට කුලියට ගත්, වැරදි පාටකින් නිවස පින්තාරු කිරීමට මහන්සි වූ පින්තාරු ශිල්පියෙකු වැනිය. ඔහු වරද්දාගන්නේ, නිවස අයිතිකරුගේ උපදෙස්වලට ඇහුම්කන් නොදෙන නිසාය. තම වැඩය ගැන පින්තාරු ශිල්පියා සතුටු විය හැකි වුවත්, අයිතිකරු ඊට එකඟ වේද?
සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවිට පිළිගත හැක්කේ කුමක්ද? බයිබලය මෙසේ කියයි. “මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ නිවැරදි දැනුම ලබාගන්නවාට කැමති වූ, අපගේ ගැළවුම්කරු වන දෙවි ඉදිරියෙහි යහපත්ව පිළිගත හැකිව තිබේ.” (1 තිමෝති 2:3, 4, NW) අද තිබෙන බොහෝ ආගම් තුළින් එවන් ආකාරයක දැනුමක් ලබාගත නොහැකි බව ඇතමෙකුට සිතිය හැකිය. එහෙත්, මෙසේ සිතන්න. මිනිසුන් සැබෑව ගැන නිවැරදි දැනුම ලබාගැනීම දෙවිගේ කැමැත්ත නම්, ඔහු එය අසාධාරණ ලෙස ඔවුන්ගෙන් සඟවා තබයිද? නැහැ, බයිබලයට අනුව එය එසේ නොවෙයි. එහි කියන්නේ මෙසේය. “නුඹ [දෙවිව] සොයනවා නම් ඔහු නුඹට සම්බ වෙනවා ඇත.”—1 ලේකම් 28:9.
අවංක ආශාවකින් සොයන අයට දෙවි තමන්ව සොයාගැනීමට උදව් කරන්නේ කෙසේද? ඊළඟ ලිපිය අපට පිළිතුරු සපයයි.