Skip to content

පටුනට යන්න

ඔබේ හදින් හා මනසින් දෙවිව සොයන්න

ඔබේ හදින් හා මනසින් දෙවිව සොයන්න

ඔබේ හදින් හා මනසින් දෙවිව සොයන්න

දෙවිව සතුටු කරන ආකාරයේ ඇදහිල්ලක් ගොඩනැඟීමේදී හදවත සහ මනස යන දෙකම පාවිච්චි කිරීමට සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ උනන්දු කෙරේ.

ඇත්තෙන්ම අප දෙවිට “මුළු හදවතින්” සහ “මුළු ජීවිතයෙන්” පමණක් නොව “මුළු මනසින්” නැතහොත් බුද්ධියෙන් පවා ප්‍රේම කළ යුතු බව ක්‍රිස්තියානි සභාවේ ප්‍රාරම්භකයා වන යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වීය. (මතෙව් 22:37, NW) එසේය, අපේ නමස්කාරයේදී අපේ මානසික ශක්තීන් ප්‍රධාන කාර්යයක් ඉටු කළ යුතුය.

තමන් කී දේ ගැන සිතා බැලීමට තම ශ්‍රාවකයන්ට ඇරයුම් කරද්දී ‘ඔබ සිතන්නේ කුමක්ද’ කියා යේසුස් නිතරම වාගේ ඇසුවේය. (මතෙව් 17:25; 18:12; 21:28; 22:42) ඒ හා සමානව, ප්‍රේරිත පේතෘස්ද සෙසු ඇදහිලිවන්තයන්ගේ “විචාරවත්ව සිතීමේ හැකියාව පුබුදුවන” පිණිස ලීවේය. (2 පේතෘස් 3:1, NW) වැඩිම දේශ ගණනාවක සංචාරය කළ මුල් සියවසේ සිටි මිෂනාරිවරයා වූ ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අනුශාසනා කළේ, ඔවුන් තම තමන්ගේ “තර්කණ ශක්තිය” යොදාගනිමින් “යහපත් වූ පිළිගත හැකි වූ සම්පූර්ණ වූ දෙවිගේ කැමැත්ත කුමක්ද කියා සෝදිසි කර [තමන්ටම] තහවුරු කරගන්ට” කියාය. (රෝම 12:1, 2, NW) දෙවිව සතුටු කළ හැකි ඇදහිල්ලක් ගොඩනඟා ගත හැක්කේත්, ජීවිතයේ පැනනඟින පරීක්ෂණ ජයගැනීමට හැක්කේත්, ක්‍රිස්තියානියෙකු තම විශ්වාසයන් කෙරෙහි එවැනි ආකාරයක අංග සම්පූර්ණ මෙන්ම සියුම් එළඹීමක් කිරීමෙන් පමණි.—හෙබ්‍රෙව් 11:1, 6.

මිනිසුන් තුළ එවන් ඇදහිල්ලක් ගොඩනැඟීමේ අටියෙන් මුල් ක්‍රිස්තියානීහු “ශුද්ධ ලියවිලි පදනම් කරගෙන තර්කානුකූලව කතා කළෝය.” එමෙන්ම ඔවුන්ට ඉගැන්වූ දේවල් “යොමු දැක්වීම් ආධාරයෙන් පැහැදිලි කරමින්ද, ඔප්පු කරමින්ද” කතා කළෝය. (ක්‍රියා 17:1-3, NW) තර්කානුකූලව සිතීමට අනුබල දෙන්නාවූ එවැනි එළඹීමක් අවංක හදවත් ඇති අයගෙන් යහපත් ප්‍රතිචාරයක් ගෙනාවේය. උදාහරණයක් හැටියට, මකිදෝනියේ නගරයක් වූ බෙරීයයේ සිටි බොහෝදෙනෙක් “[පාවුල් සහ ඔහුගේ සගයන් විස්තර කළ] මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස ශුද්ධ ලියවිලි දවස්පතා සියුම්ව විමර්ශනය කරමින්, මහත් උනන්දුවෙන් [දෙවිගේ] වචනය පිළිගත්තෝය.” (ක්‍රියා 17:11, NW) මෙහි සඳහන් කාරණා දෙකක් සැලකිල්ලට භාජන කිරීම වටී. පළමුව, දෙවිගේ වචනයට කන් දීමට බෙරීයය වැසියන් දැක්වූ උනන්දුවයි. දෙවනුව, ඔවුන් ඇසූ දෙය නිවැරදියැයි සිතා අන්ධානුකරණයක් කරනවා වෙනුවට, නැවත වරක් ශුද්ධ ලියවිල්ලෙන්ම එය තහවුරු කරගැනීමයි. මේ හේතූන් නිසා, ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වූ ලූක් බෙරීයයේ සිටි මේ ජනයාට ප්‍රශංසා කරමින් ඔවුන්ව ගෞරවනීයව හැඳින්වූයේ “උදාර වූ විවෘත මනසකින්” යුත් අය හැටියටයි. ආත්මික කාරණා වෙත ප්‍රවේශ වන විට ඔබත් එවැනිම උදාර මනසක් ඇතුව සිටිනවාද?

මනසත් හදවතත් එකට වැඩ කරයි

කලින් සඳහන් කළ ආකාරයට, සැබෑ නමස්කාරය සඳහා හදවත සහ මනස යන දෙකම අවශ්‍ය වේ. (මාර්ක් 12:30) නිවසක් පින්තාරු කරන්ට ගොස් වැරදි පාට ගෑ කුලී පින්තාරුකරුවාගේ නිදර්ශනය නැවත මතක් කරගන්න. ඔහු නිවසේ අයිතිකරුවාගේ හඬට හොඳින් කන් දුන්නා නම්, ඔහුට තම මුළු ජවයම යොදා අයිතිකරුගේ අනුමැතිය තිබෙන බවට වූ විශ්වාසය ඇතුව මුළු හදින්ම එම වැඩය නිම කරන්ට හැකිව තිබුණි. අපේ නමස්කාරයද ඒ හා සමානය.

“සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාට නමස්කාර කරන” බව යේසුස් පැවසුවේය. (යොහන් 4:23, අකුරු ඇල කළේ අපය.) “අවසානයේදී යෙහෝවාව සම්පූර්ණයෙන්ම සතුටු කිරීම සඳහා ඔහු ඉදිරියේ ඔබින ලෙස හැසිරිය හැකි වන පිණිස ඔහුගේ කැමැත්ත පිළිබඳව, සියලු ආකාර ප්‍රඥාවෙන් සහ ආත්මික අවබෝධයෙන් යුත් නිවැරදි දැනුමෙන් පිරී යන ලෙස ඉල්ලමින් නුඹලා වෙනුවෙන් අප නොනවත්වාම යාච්ඤා කළේ ඒ නිසයි” කියා ප්‍රේරිත පාවුල් ලීවේ එම හේතුව නිසාවෙනි. (කොලොස්සි 1:9, 10, NW) තමන් ‘දන්නා දේට නමස්කාර කරන’ බැවින් අවංක සිත් ඇති අයට මුළු ජවයම යොදා පූර්ණ විශ්වාසයෙන් යුතුව දෙවිට මුළු හදින්ම නමස්කාර කිරීමට එවන් ‘නිවැරදි දැනුමක්’ අවස්ථාව උදා කර දෙයි.—යොහන් 4:22.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කිරීමට ප්‍රස්තා ලබා නැති අලුත උපන් බිළිඳුන්ව හෝ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන නවකයන්ව බව්තීස්ම නොකරන්නේ මේ හේතූන් නිසාය. යේසුස් තම අනුගාමිකයන්ට මෙවන් මෙහෙයක් භාර දුන්නේය. ‘සියලු ජාතීන්ට අයත් මිනිසුන් ගෝලයන් කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20, NW) අව්‍යාජ බයිබල් ශිෂ්‍යයෙකුට නමස්කාරය හා සම්බන්ධ කාරණා ගැන බුද්ධිමත් තීරණයක් ගත හැක්කේ දෙවිගේ කැමැත්ත පිළිබඳව නිවැරදි දැනුම ලබාගත් පසුව පමණය. එවන් නිවැරදි දැනුමක් ලබාගැනීමට ඔබ උත්සාහ කරමින් සිටීද?

ස්වාමීන්ගේ යාච්ඤාවේ අර්ථය වටහාගැනීම

බයිබලයේ කියන දේවල් පිළිබඳ නිවැරදි දැනුමක් තිබීමත් ඒ පිළිබඳ සීමිත දැනුමක් තිබීමත් අතර වෙනසක් ඇත. එය දැක්වීමට අපි මතෙව් 6:9-13හි වාර්තා කර ඇති ස්වාමීන්ගේ යාච්ඤාව නැතහොත් කවුරුත් දන්නා පරමණ්ඩල යාච්ඤාව සලකා බලමු.

යේසුස් ඉගැන්වූ මේ ආදර්ශ යාච්ඤාව පල්ලි යන දශලක්ෂ ගණන් ජනයා නිතිපතා ජප කරති. එහෙත්, ඔවුන්ගෙන් කීයෙන් කීදෙනාටද එහි මුල් කොටසේම සඳහන් දෙවිගේ නාමය සහ රාජ්‍යය පිටුපස ඇති අර්ථය කියා දී තිබෙන්නේ? මේ විෂයන් ඒ තරම්ම වැදගත් නිසයි යේසුස් යාච්ඤාවේ මුලින්ම එය සඳහන් කළේ.

යාච්ඤාව ආරම්භ වන්නේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා” නැතහොත් විශුද්ධ වේවා කියාය. යේසුස් කිව්වේ දෙවිගේ නාමය විශුද්ධ වේවා කියා බව මතක තබාගන්න. බොහෝදෙනෙකුට එම කොටසින් අඩුම තරමින් ප්‍රශ්න දෙකක්වත් මතු වේ. පළමු ප්‍රශ්නය, දෙවිගේ නම කුමක්ද? දෙවැනි ප්‍රශ්නය, එය විශුද්ධ කළ යුත්තේ මන්ද?

පළමුවැනි ප්‍රශ්නයට උත්තරය බයිබලයේ මුල් භාෂා පිටපත්වල 7,000 වාරයකට වඩා දැකගත හැකිය. ඉන් එක් ස්ථානයක් නම් ගීතාවලිය 83:17යි. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් [දැනගන්නවා ඇත]” කියා එහි පැවසේ. (අකුරු ඇල කළේ අපය.) යෙහෝවා නමැති දිව්‍ය නාමය ගැන නික්මයාම 3:15 මෙසේ කියැවේ. “මෙය සදාකල්හිම මාගේ නාමයය. මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.” a එසේනම්, පවිත්‍රත්වයේ සහ ශුද්ධත්වයේ පරමාදර්ශය වන දෙවිගේ නාමය විශුද්ධ කළ යුත්තේ මන්ද? මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම එය නින්දාවටත් අපකීර්තියටත් පත් කර ඇති නිසාය.

ආදම් සහ ඒව තහනම් ගසේ ගෙඩි කෑවොත් මැරෙන බව ඒදන් උයනේදී දෙවි පැවසුවේය. (උත්පත්ති 2:17) සාතන් කිසිම භයක් හැකක් නැතුව දෙවි කී දේට පටහැනි දෙයක් ඒවට කීවේය. “නුඹලා ඇත්තටම නසින්නේ නැත.” මේ අනුව දෙවි බොරු කියන බවට සාතන් චෝදනා කළේය. ඔහු එතැනින් නොනැවතී, දෙවිගේ නාමයට තවත් අවමන් කරමින් දෙවි අසාධාරණ ලෙස ඇය දත යුතු වටිනා යමක් සඟවාගෙන සිටින බව ඒවට කීවේය. “නුඹලා එයින් [යහපත හා නපුර දැනගැනීමේ ගසින්] කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” මොනතරම් නින්දාවක්ද!—උත්පත්ති 3:4, 5.

තහනම් ගෙඩිය අනුභව කිරීමෙන් ආදම් සහ ඒව සාතන්ගේ පැත්ත ගත්තෝය. එතැන් සිට බොහෝදෙනෙකු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ප්‍රතික්ෂේප කිරීම මගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ මුල් නින්දාව තවත් වැඩි කර තිබේ. (1 යොහන් 5:19) තමන්ගේ දුක් වේදනා සම්බන්ධයෙන් වගකිව යුත්තේ දෙවියැයි පවසමින් මිනිස්සු තවමත් දෙවිට දොස් පවරති. වේදනාවට මුල තමන්ම වුණත් නින්දා කරන්නේ දෙවිටය. ‘සමහරු මෝඩකමින් විපතට පත් වෙති; පසුව දෙවිහට දොස් තබති’ කියා හිතෝපදේශ 19:3හි [නව අනුවාදය] කියයි. තම පියාට එතරම්ම ආදරය කළ යේසුස් පියාගේ නාමය විශුද්ධ වේවා කියා යාච්ඤා කළේ ඇයි කියා දැන් ඔබට වැටහෙනවාද?

“ඔබගේ රාජ්‍යය ඒවා”

දෙවිගේ නාමය විශුද්ධ වේවා කියා යාච්ඤා කළ පසු යේසුස් මෙසේ කීවේය. “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) එම කොටස ගැන අපට මෙවන් ප්‍රශ්න පැනනැඟිය හැකිය. ‘දෙවිගේ රාජ්‍යය කුමක්ද? දෙවිගේ කැමැත්ත පොළොව මත ඉටුවීමත් ඔහුගේ රාජ්‍යයේ පැමිණීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද?’

බයිබලයේ “රාජ්‍යය” යන වචනයේ මූලික තේරුම නම් “රජෙකුගේ පාලන ක්‍රමයක්” යන්නයි. එසේනම්, තර්කානුකූලව දෙවිගේ රාජ්‍යය යන්නෙන් යොමු දක්වන්නේ දෙවි තමන් විසින් තෝරාගත් රජෙකු සමඟ කරන පාලන ක්‍රමයකට, නැතහොත් ආණ්ඩුවකටයි. මෙහි රජු වෙන කවරෙකුවත් නොව, ‘රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමීන්’ වන නැවත නැඟිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්ය. (එළිදරව් 19:16; දානියෙල් 7:13, 14) යේසුස් ක්‍රිස්තුස් විසින් පාලනය කරන දෙවිගේ මෙසියානු රාජ්‍යය ගැන ප්‍රොපේත දානියෙල් මෙසේ ලීවේය. ‘ඒ රජුන්ගේ [වත්මන් ආණ්ඩු පාලනය කරන මිනිසුන්ගේ] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය. ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.’—දානියෙල් 2:44, 45ආ.

එසේය, දේවරාජ්‍යය පොළොව සම්පූර්ණයෙන්ම පාලනය කරනු ඇත. සියලුම දුෂ්ටකම් මැරකම් නැති කර “සදාකාලේටම” පාලනය කරන්නේය. මේ අනුව, දෙවිගේ රාජ්‍යය යන්නෙන් අදහස් කරන්නේ, සාතන් සහ දුෂ්ට මිනිසුන් ගෙනෙන නින්දාසහගත බොරු නැති කර යෙහෝවාගේ නාමය විශුද්ධ කරන මාධ්‍යයයි.—එසකියෙල් 36:23.

සියලුම ආණ්ඩුවල මෙන් දෙවිගේ රාජ්‍යයේත් යටත් වැසියෝ සිටිති. මොවුහු කවරහුද? බයිබලය උත්තර දෙයි. “මොළොක් ගුණ ඇත්තෝ [මෘදු අය, NW] දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:11) යේසුස්ද ඒ හා සමාන දෙයක් කීවේය. “මොළොක් ගුණ ඇත්තෝ සන්තෝෂවත්ය. මක්නිසාද ඔවුහු පොළොව උරුම කරගන්නෝය.” ඇත්තවශයෙන්ම, ජීවිතය ගළවාගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන දෙවි පිළිබඳ නිවැරදි දැනුම ඔවුන් සතුය.—මතෙව් 5:5, NW; යොහන් 17:3, NW.

දෙවිටත් අන්‍යයන්ටත් අව්‍යාජ ලෙස ආදරය කරන, මුදු මොළොක් ගුණැති ජනයාගෙන් මුළු පොළොවම පිරී තිබීම ගැන ඔබට සිතාගත හැකිද? (1 යොහන් 4:7, 8) “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා යේසුස් යාච්ඤා කළේ ඒ ගැනයි. යේසුස් තම අනුගාමිකයන්ට ඒ ආකාරයට යාච්ඤා කරන්ට ඉගැන්නුවේ ඇයි කියා ඔබට දැන් තේරෙනවාද? ඊටත් වඩා, එම යාච්ඤාවේ ඉටුවීම ඔබට පෞද්ගලිකව බලපෑ හැකි ආකාරය ඔබට පෙනෙනවාද?

දශලක්ෂ සංඛ්‍යාත ජනයා ශුද්ධ ලියවිලි විමර්ශනය කරති

පැමිණෙන දෙවිගේ රාජ්‍යය පිළිබඳව ලොව පුරා ප්‍රකාශ කෙරෙන ලෝක ව්‍යාප්ත ආත්මික අධ්‍යාපනික ව්‍යාපෘතියක් ගැන යේසුස් පුරෝකථනය කළේය. ඔහු පැවසුවේ, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස [ජනාවාස, NW] ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය; එවිට [වත්මන් ලෝක ක්‍රමයේ] අන්තිමය පැමිණෙන්නේය” යන්නය.—මතෙව් 24:14.

ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකරුවන් 60 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් එම ශුභාරංචිය තම අසල්වැසියන් සමඟ බෙදාගනිමින් සිටිත්. දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් ඉගෙනගැනීමට ඔබේ තර්කණ ශක්තිය යොදාගෙන ‘සියුම්ව ශුද්ධ ලියවිලි විමර්ශනය කරන්ට’ ඔවුහු ඔබට ආරාධනා කරත්. එසේ කිරීම ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරවයි. එපමණක්ද නොව, “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් [පිරී]” තිබෙන පාරාදීස පොළොවක ජීවත් වීමට තිබෙන අපේක්ෂාව ගැන සිතද්දී ඔබ ප්‍රීතියෙන් ඉපිල යනු ඇත.—යෙසායා 11:6-9.

[පාදසටහන]

a සමහර විශාරදයන් “යෙහෝවා” වෙනුවට “යාහ්වේ” යන යෙදුම පාවිච්චි කිරීමට වඩා කැමතිය. කෙසේවෙතත්, බොහෝ නවීන බයිබල් පරිවර්තකයන් දෙවිගේ නාමය තම අනුවාදවලින් මකා දමා, ඒ වෙනුවට පදවි නාම වන “ස්වාමීන්වහන්සේ” හෝ “දෙවියන්වහන්සේ” වශයෙන් ආමන්ත්‍රණය කර ඇත. දෙවිගේ නාමය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ද ඩිවයින් නේම් දැට් විල් එන්ඩ්‍යෝ ෆොරෙවර් නමැති විවරණිකාව බලන්න.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

උතුම් ගුරුවරයා අනුකරණය කරන්න

යේසුස් බොහෝ අවස්ථාවල ඉගැන්වූයේ නිශ්චිත බයිබල් මාතෘකා යොදාගෙනය. උදාහරණයක් හැටියට, යේසුස්ගේ මරණය සම්බන්ධයෙන් ව්‍යාකූල වී සිටි ගෝලයන් දෙදෙනෙකුට නැවත නැඟිටීමෙන් පසු දෙවිගේ අරමුණ තුළ ඔහුගේ භූමිකාව යේසුස් පහදා දුන්නේය. ඒ ගැන ලූක් 24:27 මෙසේ කියැවෙයි. “මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලිවල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරා දුන්නේය.”

යේසුස් නිශ්චිත විෂයක් තෝරාගත් බව සැලකිල්ලට ගන්න. ඔහු කතා කළේ “තමන්” හෙවත් මෙසියස් ගැනයි. ඔහු ඔහුගේ සාකච්ඡාව සඳහා උපුටාගත්තේ ‘සියලුම ලියවිලිවලිනුයි.’ පින්තූර ප්‍රහේලිකාවක එකට යා කරන කැබලි මෙන් ආත්මික සත්‍යතාවන්ගේ පැහැදිලි රටාවක් තම ගෝලයන්ට දැකගත හැකි වන සේ යේසුස් අදාළ බයිබල් වගන්ති එකිනෙකට ගළපා පැහැදිලි කර දුන්නේය. (2 තිමෝති 1:13, NW) ප්‍රතිඵලයක් හැටියට, ඔවුන් නිකම්ම දැනුම ලබනවා වෙනුවට ඒ දැනුමෙන් ඔවුන් තුළ ගැඹුරු පෙලඹීමක්ද ඇති විය. වාර්තාව අපට මෙසේ කියයි. “ඔවුහු: ඔහු අප සමඟ මඟදී කතා කළ කල්හිත් ලියවිලි අපට තෝරා දුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කතා කරගත්තෝය.”—ලූක් 24:32.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝද දේවසේවයේදී යේසුස් යොදාගත් ක්‍රම අනුකරණය කිරීමට වෙර දරති. ඔවුන්ගේ ප්‍රධාන අධ්‍යයන මෙවලම් නම් දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාවත් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතත්ය. මේවායේ විවිධාකාර බයිබල් මාතෘකා ගැන සාකච්ඡා කෙරෙයි. “දෙවි කියන්නේ කවුද?” “දුක් වේදනා පැවතීමට දෙවි ඉඩ දී ඇත්තේ මන්ද?” “මේ අන්තිම දවස්!” “දෙවිට ගරු කරන පවුලක් ගොඩනැඟීම” මින් කිහිපයකි. සෑම පාඩමකම ඊට අදාළ බයිබල් පද ගණනාවක් අඩංගු වේ.

ඉහත විෂයන් හෝ වෙනත් විෂයන් පිළිබඳව බයිබලය ආධාරයෙන් නොමිලේ කරන පාඩමක් ඔබටත් ඕනෑ නම්, ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණ ගැසෙන්න. එසේ නැත්නම්, මේ සඟරාවේ දෙවන පිටුවේ තිබෙන ලිපිනයට ලියන්ට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

[පින්තූරය]

නිශ්චිත බයිබල් මාතෘකා යොදාගෙන ඔබේ ශිෂ්‍යයාගේ හදවතට ළඟා වෙන්න

[7වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ හරය ඔබ වටහාගෙන තිබෙනවාද?

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා . . .”

“ඔබගේ [මෙසියානු] රාජ්‍යය ඒවා . . .”

“ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා”