Skip to content

පටුනට යන්න

බව්තීස්ම විය යුත්තේ මන්ද?

බව්තීස්ම විය යුත්තේ මන්ද?

බව්තීස්ම විය යුත්තේ මන්ද?

‘ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න.’—මතෙව් 28:19.

1, 2. (අ) ඇතැම් බව්තීස්මයන් සිදු කර තිබෙන්නේ කිනම් තත්වයන් යටතේද? (ආ) බව්තීස්මය සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න මොනවාද?

 ෂාලමෙන් රජ, යටත් කරගත් සියලුම සැක්සන්වරුන්ට බව්තීස්ම වන්න කියා බල කළේය. මෙය සිදු වූයේ පො.යු. 775-77 දක්වා වූ කාලය අතුරතුරය. “ඔහුගේ බල කිරීම මැද ඔවුන් වැලඳගත්තේ නාමමාත්‍ර කිතු දහමකි” කියා ඉතිහාසඥ ජෝන් ලෝඩ් ලීවේය. ඒ හා සමානව, රුසියාව පාලනය කළ පළමුවන ව්ලඩිමීර් පො.යු. 987දී ග්‍රීක ඕතඩොක්ස් ආගමට අයත් කුමරියකව විවාහ කරගැනීමෙන් පසු තමන්ගේ යටත්වැසියන් “ක්‍රිස්තියානීන්” විය යුතු බව තීරණය කළේය. ඔහු බව්තීස්ම වන ලෙස සිය යටත්වැසියන්ට නියෝග කළ අතර, එයට අවනත නොවූ අයට මරණීය තර්ජන එල්ල විය.

2 බව්තීස්ම කිරීමේ නිවැරදි ක්‍රමය වූයේ එයද? එම බව්තීස්මවලට සැබෑ අර්ථයක් තිබේද? ඕනෑම කෙනෙකුව බව්තීස්ම විය හැකිද?

බව්තීස්මය—කෙසේද?

3, 4. ක්‍රිස්තියානි බව්තීස්මයේදී වතුර ටිකක් ඉසීම හෝ හිස පිටට වතුර වත් කිරීම සුදුසු දෙයක් නොවන්නේ මන්ද?

3 බව්තීස්ම වීමට ජනයාට බල කළ ෂාලමෙන් හා පළමුවන ව්ලඩිමීර් යන පාලකයන් ක්‍රියා කළේ දේවවචනයට පටහැනිවයි. ඇත්තෙන්ම, ශුද්ධ ලියවිලිවල සඳහන් සත්‍යය ඉගෙනගෙන නැති අයව වතුර ඉසීමෙන් හෝ හිස මත වතුර වත් කිරීමෙන් හෝ ජලයේ ගිල්වීමෙන් පවා කරන බව්තීස්මවලින් ඵලක් නැත.

4 පොදු යුගයේ 29දී නාසරෙත්හි යේසුස් යොහන් බව්තීස්ත වෙත ගිය අවස්ථාවේදී සිදු වූ දෙය සලකා බලන්න. යොහන් ජනයාව යොර්දාන් ගඟෙහි බව්තීස්ම කරමින් සිටියේය. මේ සෙනඟ බව්තීස්ම වීමට ඔහු වෙතට පැමිණියේ ඔවුන්ගේම කැමැත්තෙනි. ඔවුන්ට යොර්දාන් ගඟට බසින්න කියා, යොහන් ගඟේ වතුර ටිකක් ගෙන ඔවුන්ගේ හිස් පිටට වත් කළාද නැත්නම් ගඟේ වතුර ඔවුන්ට ඉසුවාද? යොහන් යේසුස්ව බව්තීස්ම කළ අවස්ථාවේදී සිදු වූයේ කුමක්ද? බව්තීස්ම කිරීමෙන් පසු, ‘යේසුස් දියෙන් ගොඩ ආ’ බව මතෙව් වාර්තා කරයි. (මතෙව් 3:16) ඔහුව යොර්දාන් ගඟෙහි ගිල්වා ආපසු ඉහළට ඔසවනු ලැබීය. මේ හා සමානව, භක්තිමත් මිනිසෙකු වූ ඉතියෝපීය නපුංසකයාව බව්තීස්ම කරනු ලැබුවේද ‘වතුර තිබූ තැනකය.’ බව්තීස්ම කරනු ලැබීමට වතුර තිබූ තැනක් අවශ්‍ය වූයේ යේසුස්ගේ මෙන්ම ඔහුගේ ගෝලයන්ගේ බව්තීස්මයේදී සිරුර සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වනු ලැබූ නිසාය.—ක්‍රියා 8:36.

5. මුල් ක්‍රිස්තියානීන් ජනයාව බව්තීස්ම කළේ කෙසේද?

5 “බව්තීස්ම වීම” හා “බව්තීස්මය” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනවලින් විස්තර කෙරෙන්නේ ජලයෙහි ගිල්වීමයි. එක් ශබ්ද කෝෂයක (Smith’s Bible Dictionary) මෙසේ සඳහන් වේ. “බව්තීස්මය යන්නෙහි නිවැරදි මෙන්ම පදගතාර්ථමය අර්ථය වන්නේ දියෙහි ගිල්වීමයි.” මේ නිසා ඇතැම් බයිබල් පරිවර්තනවල යොහන්ව විස්තර කරන්නේ “දියෙහි ගිල්වන යොහන්” කියාය. (මතෙව් 3:1, Rotherham; Diaglott, අන්තර් පේළි පරිවර්තනය) ඔගස්ටස් නියැන්ඩර් විසින් සම්පාදනය කරන ලද මුල් සියවස් තුනෙහි ක්‍රිස්තියානි ආගමේ හා පල්ලියේ ඉතිහාසය නමැති ග්‍රන්ථයේ (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් වේ. “මුල් කාලයේ බව්තීස්මය සිදු කරනු ලැබුවේ දියෙහි ගිල්වීමෙනි.” ප්‍රසිද්ධ ප්‍රංශ කෘතියක (Larousse du XXe Siècle, පැරිසිය, 1928) මෙසේ අදහස් දක්වා තිබේ. “ජලය තිබූ ස්ථානවලදී මුල් ක්‍රිස්තියානීන්ව දියෙහි ගිල්වීමෙන් බව්තීස්ම කරන ලදි.” එමෙන්ම නියූ කැතලික් එන්සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වේ. “මුල් කාලයේ පැවති සභාවෙහි බව්තීස්මය සිදු කළේ දියෙහි ගිල්වීමෙන් බව පැහැදිලිව පෙනෙන්න තිබේ.” (1967, වෙළුම II, 56වන පිටුව) එමනිසා අදදින යම් කෙනෙකු සිය කැමැත්තෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම වීමේදී ඔහුව සම්පූර්ණයෙන්ම දියෙහි ගිල්වනු ලැබේ.

බව්තීස්මය සඳහා නව හේතුවක්

6, 7. (අ) යොහන් සිදු කළ බව්තීස්මයේ අරමුණ වූයේ කුමක්ද? (ආ) යේසුස්ගේ අනුගාමිකයන්ගේ බව්තීස්මය හා බැඳි අලුත් දෙය කුමක්ද?

6 යොහන් කළ බව්තීස්මයේ අරමුණ යේසුස්ගේ ගෝලයන් විසින් කරනු ලැබූ බව්තීස්මයේ අරමුණට වඩා වෙනස් විය. (යොහන් 4:1, 2) යොහන් ජනයාව බව්තීස්ම කළේ ව්‍යවස්ථාවට විරුද්ධව ඔවුන් කළ පාප ගැන ඔවුන්ගේ පසුතැවිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරෙන සංකේතයක් ලෙසය. a (ලූක් 3:6) එනමුත් යේසුස්ගේ අනුගාමිකයන් කළ බව්තීස්මයට අලුත් යමක් ඇතුළත් විය. ප්‍රේරිත පේතෘස් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී තමන් ඉදිරිපත් කළ කතාවට සවන් දීගෙන සිටි අයගෙන් මෙසේ මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. “නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් [ක්‍රිස්තුස්ගේ] නාමයෙන් බව්තීස්මය ලබන්න.” (ක්‍රියා 2:37-41) පේතෘස් අමතමින් සිටියේ යුදෙව්වන්ව හා යුදෙව් ආගම වැලඳගත් අයවයි. එහෙත් ඔහු කතා කරමින් සිටියේ ව්‍යවස්ථාවට විරුද්ධව ඔවුන් කළ පාප ගැන ඔවුන්ගේ පසුතැවිල්ල සංකේතවත් කරමින් බව්තීස්ම වීම ගැන නොවේ. එමෙන්ම යේසුස්ගේ නාමයෙන් බව්තීස්ම වීම මගින් පාප සෝදාහැරීම සංකේතවත් වන බව ඔහු අදහස් කළේ නැත.—ක්‍රියා 2:10.

7 ‘ස්වර්ග රාජ්‍යයේ යතුරුවලින්’ මුල්ම යතුර පේතෘස් පාවිච්චි කළේ ඒ අවස්ථාවේදීය. එහි අරමුණ වූයේ කුමක්ද? ඔහුට සවන් දීගෙන සිටින අයට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමේ ප්‍රස්තාව විවෘත වී තිබීම පිළිබඳ දැනුම ඔවුන්ට හෙළි කිරීම එහි අරමුණ විය. (මතෙව් 16:19) යුදෙව්වන් මෙසියස් හැටියට යේසුස්ව පිළිගත්තේ නැත. එනිසා පසුතැවිලි වී ඔහු කෙරෙහි ඇදහිල්ල තැබීම බව්තීස්මය සඳහා අලුත් මෙන්ම අතිවැදගත් හේතුවක් විය. ඔවුන්ට දෙවිගෙන් සමාව ලබාගත හැකි වූයේ එසේ කිරීමෙන් පමණි. එවන් ඇදහිල්ලක් තමන්ට තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකි වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ජලයේ ගිල්වනු ලැබීමෙන්ය. ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට තමන්ගේ ජීවිතය කැප කිරීමට තමන් විසින්ම ගත් තීරණය ඔවුහු මෙසේ ජලයේ ගිල්වනු ලැබීමෙන් සංකේතවත් කළහ. අදදින දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කැමති සියලුදෙනාම ඒ හා සමාන ඇදහිල්ලක් පෙන්වමින් යෙහෝවා දෙවිට තමන්ව කැප කළ යුතුය. එමෙන්ම මහෝත්තම දෙවිට තමන් කළ කොන්දේසි විරහිත කැපවීම සංකේතවත් කරමින් බව්තීස්ම විය යුතුය.

නිවැරදි දැනුම අත්‍යවශ්‍යයි

8. ක්‍රිස්තියානි බව්තීස්මයට සෑම කෙනෙකුම සුදුසුකම් නොලබන්නේ මන්ද?

8 ක්‍රිස්තියානි බව්තීස්මය සඳහා සෑම කෙනෙකුම සුදුසුකම් ලබන්නේ නැත. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ අණ කළේය. ‘ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) බව්තීස්ම කිරීමට කලින් ජනයාට ‘යේසුස් ඔහුගේ ගෝලයන්ට අණ කළ සියල්ලම ඉගැන්විය’ යුතුය. එමනිසා දෙවිගේ වචනය පිළිබඳ නිවැරදි දැනුම මත පදනම් වූ ඇදහිල්ලක් නොමැති අයට බව්තීස්ම වීමට බල කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නොමැත. එමෙන්ම එසේ කිරීම යේසුස් ඔහුගේ සැබෑ අනුගාමිකයන්ට දුන් නියෝගයටද පටහැනිය.—හෙබ්‍රෙව් 11:6.

9. ‘පියාගේ නාමයට’ බව්තීස්ම වීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

9 ‘පියාගේ නාමයට’ බව්තීස්ම වීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? අපේ ස්වර්ගික පියාගේ තත්වය හා ඔහු සතු අධිකාරය බව්තීස්ම අපේක්ෂකයා පිළිගැනීම, එයින් අදහස් වේ. යෙහෝවා දෙවි අපේ මැවුම්කරු මෙන්ම “මුළු පොළොවට මහෝත්තමයා” බවත්, මුළු විශ්වයේම පරමාධිපති බවත් බව්තීස්ම අපේක්ෂකයා පිළිගනියි.—ගීතාවලිය 83:17; යෙසායා 40:28; ක්‍රියා 4:24.

10. ‘පුත්‍රයාගේ නාමයට’ බව්තීස්ම වීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

10 ‘පුත්‍රයාගේ නාමයට’ බව්තීස්ම වීම යනුවෙන් අදහස් වන්නේ දෙවිගේ ඒකජාතක පුත්‍රයා වශයෙන් යේසුස්ට හිමි තත්වය හා ඔහු සතු අධිකාරය පිළිගැනීමයි. (1 යොහන් 4:9) බව්තීස්ම වීමට සුදුසුකම් ලබන අය යේසුස්ව “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට” දෙවි මනුෂ්‍යවර්ගයාට ලබා දුන් තැනැත්තා ලෙස පිළිගනිති. (මතෙව් 20:28; 1 තිමෝති 2:5, 6) බව්තීස්ම අපේක්ෂකයන් තේරුම්ගත යුතු තවත් දෙයක් නම්, දෙවි ඔහුගේ පුත්‍රයාට දී තිබෙන ‘උසස් තත්වයයි.’—පිලිප්පි 2:8-11; එළිදරව් 19:16.

11. ‘ශුද්ධාත්මයේ නාමයට’ බව්තීස්ම වීමෙහි අර්ථය කුමක්ද?

11 ‘ශුද්ධාත්මයේ නාමයට’ බව්තීස්ම වීමෙහි අර්ථය කුමක්ද? ශුද්ධාත්මය යනු යෙහෝවා සිය අරමුණට එකඟව කටයුතු කිරීමේදී විවිධාකාරවලින් යොදාගන්න ඔහුගේ ක්‍රියාකාරික බලය බව බව්තීස්ම අපේක්ෂකයා පිළිගැනීම එයින් අදහස් වේ. (උත්පත්ති 1:2; 2 සාමුවෙල් 23:1, 2; 2 පේතෘස් 1:21) ‘දෙවිගේ ගැඹුරු දේවල්’ තේරුම්ගැනීමට, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය කරගෙන යෑමට, “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ, NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල, NW], මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම [ආත්ම-දමනය, NW]” යන ආත්මයේ ඵල විදහාපෙන්වීමට තමන්ට උපකාර කරන්නේ ශුද්ධාත්මය බව බව්තීස්ම වීමට සුදුසුකම් ලබන අය පිළිගනිති.—1 කොරින්ති 2:10; ගලාති 5:22, 23; යෝවෙල් 2:28, 29.

පසුතැවිලි වීමේ හා හැරීමෙහි වැදගත්කම

12. ක්‍රිස්තියානි බව්තීස්මය පසුතැවිලි වීමට සම්බන්ධ වන්නේ කෙසේද?

12 කිසිම පාපයක් නොකළ යේසුස්ගේ බව්තීස්මය හැර අනෙකුත් බව්තීස්ම මගින් පසුතැවිලි වීම දෙවි අනුමත කරන බවට සංකේතයක් වේ. පසුතැවිලි වෙද්දී අප කර තිබෙන දේවල් ගැන හෝ අපට කිරීමට නොහැකි වූ දේවල් ගැන අපට මහත් කනගාටුවක්, දුකක් දැනෙයි. දෙවිව සතුටු කරන්න සැබෑ වුවමනාවක් තිබූ මුල් සියවසේ විසූ යුදෙව්වන්ට, කලින් තමන් ක්‍රිස්තුස්ට විරුද්ධව කළ පාප ගැන පසුතැවිලි වීමට සිදු විය. (ක්‍රියා 3:11-19) කොරින්තියේ සිටි සමහර අන්‍යජාතික ඇදහිලිවන්තයෝ වේශ්‍යාකම, පිළිම නමස්කාරය, සොරකම් කිරීම හා වෙනත් බරපතළ පාප ගැන පසුතැවිලි වූහ. ඔවුන්ගේ පසුතැවිල්ල නිසා ඔවුන්ව යේසුස්ගේ රුධිරයෙන් ‘සෝදා පවිත්‍ර’ කරනු ලැබීය. “ශුද්ධ කරනු” ලැබීය. එනම් දෙවිගේ සේවය සඳහා වෙන් කරන ලදි. එමෙන්ම ක්‍රිස්තුස්ගේ නාමයෙන් හා දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීම යටතේ ඔවුන්ව “ධර්මිෂ්ඨ කරනු” ලැබීය. (1 කොරින්ති 6:9-11) යහපත් හෘදය සාක්ෂියක් හා තමන් කරන ලද පාප ගැන හැඟෙන වරදසහගත හැඟීමෙන් දෙවි දෙන සහනය ලබාගැනීමේදී පසුතැවිලි වීම අතිවැදගත් පියවරකි.—1 පේතෘස් 3:21.

13. බව්තීස්මය සම්බන්ධයෙන් ගත් කල හැරීමට අයත් වන්නේ කුමක්ද?

13 අප ගමන් කළ වැරදි මාර්ගවලින් හැරීම සිදු කළ යුත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අප බව්තීස්ම වීමට කලිනි. ක්‍රිස්තුස් යේසුස්ව අනුගමනය කිරීමට තමාගේ මුළු හදින්ම තීරණය කර තිබෙන තැනැත්තා විසින් කිසිවෙකුගේ බල කිරීමකින් තොරව සිය කැමැත්තෙන්ම ගනු ලබන පියවරකි, හැරීම. මෙසේ හැරෙන පුද්ගලයෝ තමන් කලින් කළ වැරදි දේවල් ප්‍රතික්ෂේප කර දෙවිගේ ඇස් හමුවෙහි හරි දෙය කිරීමට අදිටන් කරගනිති. ශුද්ධ ලියවිලිවලට අනුව, හැරීම හා සම්බන්ධ හෙබ්‍රෙව් හා ග්‍රීක් ක්‍රියා පදවල ආපසු හැරීම හා වෙනතකට හැරීම යන අර්ථ ගැබ් වී ඇත. වැරදි මාර්ගයකින් දෙවි වෙතට හැරීම එම ක්‍රියාවෙන් ඇඟ වෙයි. (1 රාජාවලිය 8:33, 34) හැරීමේදී “පසුතැවිල්ලට සුදුසු ක්‍රියා” පෙන්වීම අවශ්‍යයි. (ක්‍රියා 26:20) බොරු නමස්කාරය අත්හැරීම, දෙවිගේ ආඥාවලට එකඟව ක්‍රියා කිරීම හා යෙහෝවාට පමණක් තනි භක්තිය පිරිනැමීම, හැරීමේදී අවශ්‍ය කරන තවත් දේවල් වේ. (ද්විතීය කථාව 30:2, 8-10; 1 සාමුවෙල් 7:3) හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප සිතන ආකාරයෙහි, අපේ ඉලක්කවල හා පෞද්ගලිකත්වයෙහි වෙනස්කම් දැකිය හැක. (එසකියෙල් 18:31) අප ‘හැරෙන’ විට අප තුළ තිබූ අභක්තික ගතිලක්ෂණ පහ වී අලුත් පෞද්ගලිකත්වයක් ඇති වේ.—ක්‍රියා 3:19, 20; එපීස 4:20-24; කොලොස්සි 3:5-14.

මුළු හදින්ම කැපවීම ඉතාමත් වැදගත්

14. යේසුස්ගේ අනුගාමිකයන්ගේ කැපවීමෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද?

14 යේසුස්ගේ අනුගාමිකයන් වශයෙන් බව්තීස්ම වීමට කලින් ගත යුතු තවත් වැදගත් පියවරක් වන්නේ මුළු හදින්ම දෙවිට කැපවීමයි. පරිශුද්ධ අරමුණක් සඳහා වෙන් කර තැබීම කැපවීමෙන් අදහස් වෙයි. මෙම පියවර මොනතරම් වැදගත්ද කියනවා නම් යෙහෝවාට පමණක් සදාකාලයටම නමස්කාර කිරීමට අප තීරණය කර තිබෙන බව යාච්ඤාවෙන් ඔහුට පැවසිය යුතුය. (ද්විතීය කථාව 5:9) අප කැප වන්නේ යම් රාජකාරියකට හෝ මිනිසෙකුට නොව, නමුත් දෙවිට බව අමුතුවෙන් කිව යුතු නැත.

15. බව්තීස්ම අපේක්ෂකයන් ජලයෙහි ගිල්වනු ලබන්නේ මන්ද?

15 ශුද්ධ ලියවිලිවල සඳහන් දෙවිගේ කැමැත්ත කිරීම සඳහා අපේ ජීවිතය යෙදවීමට අප අදිටන් කරගෙන සිටින බව අපි ක්‍රිස්තුස් මාර්ගයෙන් අපව දෙවිට කැප කරන විට ප්‍රකාශ කරන්නෙමු. දෙවිගේ කැමැත්ත කිරීමට තමා ඉදිරිපත් වී සිටි බව අඟවමින් යේසුස් යොර්දාන් ගඟෙහි බව්තීස්ම වූවාක් මෙන් බව්තීස්ම අපේක්ෂකයෝද තමන්ගේ එම කැපවීම සංකේතවත් කරමින් ජලයෙහි ගිල්වනු ලබති. (මතෙව් 3:13) අතිවැදගත් අවස්ථාවක් වූ බව්තීස්මයේදී යේසුස් යාච්ඤා කළේය. මෙය සැලකිල්ලට ගත යුතු දෙයකි.—ලූක් 3:21, 22.

16. ජනයා බව්තීස්ම වෙනවා දකින විට අපට දැනෙන ප්‍රීතිය යෝග්‍ය ලෙස පළ කළ හැක්කේ කෙසේද?

16 යේසුස්ගේ බව්තීස්මය අතිවැදගත් බැරෑරුම් දෙයක් වුවත්, එය ප්‍රීතිමත් අවස්ථාවක්ද විය. අදදින සිදු කෙරෙන ක්‍රිස්තියානි බව්තීස්මය සම්බන්ධයෙන්ද එය සැබෑවකි. ජනයා තමන්ගේ ජීවිත දෙවිට කැප කිරීම සංකේතවත් කරනවා දකින විට අපට දැනෙන ප්‍රීතිය ගෞරවනීය අත්පොළසන් හඬින් හා උණුසුම් හැඟීමෙන් යුතුව ප්‍රශංසා කිරීමෙන් පෙන්විය හැක. මෙම අවස්ථාව ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරෙන අවස්ථාවක් නිසා එය පරිශුද්ධ ලෙස සැලකිය යුතුය. එනිසා ඔල්වරසන් දීම, විසිල් කිරීම හෝ ඒ හා සමාන දේවලින් වැළකී සිටිය යුතුය. අපේ ප්‍රීතිය පළ කළ යුත්තේ ගෞරවනීය ලෙසයි.

17, 18. යම් කෙනෙක් බව්තීස්මය සඳහා සුදුසුද කියා නිශ්චය කරගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද?

17 ළදරුවන්ට වතුර ඉස ඔවුන්ව බව්තීස්ම කරන අය හෝ ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක් නොමැති දහස් ගණන් අයව බලෙන් බව්තීස්ම කරන අය මෙන් නොව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කවදාවත් කිසිම කෙනෙකුව බව්තීස්ම වීමට බලෙන් කැමති කරවාගන්නේ නැත. ඇත්තෙන්ම ඔවුන් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් සුදුසුකම් නොමැති අයව බව්තීස්ම කරන්නේද නැත. යම් කෙනෙක් බව්තීස්ම නොලත් ශුභාරංචිය දේශනා කරන්නෙකු ලෙස සේවයේ හවුල් වීමට කලින් පවා ඔහුගේ සුදුසුකම් ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ සලකා බලති. එම තැනැත්තාට ශුද්ධ ලියවිල්ලෙහි මූලික ඉගැන්වීම් තේරුම්ගත හැකිද, ඔහු ඒවාට එකඟව ජීවත් වෙනවාද, “ඇත්තටම යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වීමට ඔබට වුවමනාද?” කියන ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකට ඔහු ඒකාන්ත පිළිතුරක් දෙනවාද කියා තහවුරු කරගැනීමට ඔවුහු වගබලා ගනිති.

18 බොහෝ අවස්ථාවලදී, රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමෙහි අර්ථවත් ලෙස හවුල් වන අය බව්තීස්ම වීමට තමන් ආශාවෙන් සිටින බව පැවසූ විට, වැඩිමහල්ලෝ ඔවුන් සමඟ සාකච්ඡා කරති. මෙම සාකච්ඡාවල අරමුණ වන්නේ මේ අය ඇත්තටම තමන්ගේ ජීවිත යෙහෝවාට කැප කර සිටින ඇදහිලිවන්තයන් බවත්, බව්තීස්මය සඳහා දෙවි නියම කර තිබෙන සුදුසුකම් මොවුන්ට තිබෙන බවත් තහවුරු කරගැනීමයි. (ක්‍රියා 4:4; 18:8) බව්තීස්මය අපේක්ෂාවෙන් සිටින අය ඒ සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය අවශ්‍යතාවන් සපුරාලනවාද කියා නිශ්චය කරගැනීමට, බයිබල් ඉගැන්වීම් පදනම් කරගත් ප්‍රශ්න 100කට වැඩි ප්‍රමාණයකට ඔවුන් දෙන පිළිතුරු වැඩිමහල්ලන්ට උපකාරවත් වේ. සමහරුන් සුදුසුකම් නොලබන අතර, ඔවුන්ව බව්තීස්මය සඳහා භාරගනු නොලැබේ.

ඔබට තිබෙන බාධාව කුමක්ද?

19. යොහන් 6:44ට අනුව යේසුස්ගේ හවුල් උරුමක්කරුවන් වන්නේ කවුද?

19 මිය ගිය පසු ස්වර්ගයට යන බව බලෙන් බව්තීස්ම කළ අයට පවසා තිබෙන්න පුළුවන. නමුත් තමන්ගේ අඩි පාරේ ගමන් කරන අය ගැන යේසුස් මෙසේ පැවසුවේය. “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.” (යොහන් 6:44) යෙහෝවා ක්‍රිස්තුස් වෙතට 1,44,000දෙනෙකුව ඇදගෙන තිබෙන අතර, ඔවුන් ස්වර්ගික රාජ්‍යයේ යේසුස්ගේ හවුල් උරුමක්කාරයන් ලෙස කටයුතු කරනු ඇත. දෙවිගේ විධිවිධානයේ අංගයක් වන ස්වර්ගයේ එම තේජවත් තත්වය භුක්ති විඳීමට සුදුසුකම් ලබන අයව පවිත්‍ර කරනු ලැබිය යුතුයි. නමුත් යමෙකුව බලෙන් බව්තීස්ම කළහොත් එම තත්වය භුක්තිවිඳීමට ඔහුට නුපුළුවන.—රෝම 8:14-17; 2 තෙසලෝනික 2:13; එළිදරව් 14:1.

20. තවමත් බව්තීස්ම වී නැති අයට, බව්තීස්ම වීමට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?

20 ‘මහත් පීඩාවෙන්’ බේරී පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් සිටින විශාල පිරිසක්, විශේෂයෙන්ම 1930 ගණන්වල මැද භාගයේ සිට යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්’ලෙස හඳුන්වනු ලබන කණ්ඩායමට එක් වී ඇත. (එළිදරව් 7:9, 14; යොහන් 10:16) මොවුන් බව්තීස්මය සඳහා සුදුසුකම් ලබන්නේ, ඔවුන්ගේ ජීවිත දේවවචනයට එකඟව හැඩගස්වා ගෙන තිබෙන නිසාත්, ‘තමන්ගේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද මුළු බුද්ධියෙන්ද’ ඔහුට ප්‍රේම කරන නිසාත්ය. (ලූක් 10:25-28) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ‘ආත්මයෙන් සහ සැබෑකමින් දෙවිට නමස්කාර කරන’ බව සමහරුන් වටහාගෙන සිටියත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔවුන් තවමත් පියවර ගෙන නැත. එමෙන්ම තමන් යෙහෝවාට අවංකව ප්‍රේම කරන බවටත්, තනි භක්තිය පිරිනමන බවටත් බව්තීස්ම වීමෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. (යොහන් 4:23, 24; ද්විතීය කථාව 4:24; මාර්ක් 1:9-11) මෙවැනි අයට බව්තීස්මය නමැති අතිවැදගත් පියවර ගැන නිශ්චිත ලෙස සඳහන් කරමින් මහත් ඕනෑකමින් යාච්ඤා කළ හැක. දේවවචනයට එකඟව තම ජීවිතය හැඩගස්වා ගෙන, යෙහෝවා දෙවිට කොන්දේසි විරහිතව කැප වී, එය වතුර බව්තීස්මයෙන් සංකේතවත් කිරීමට එවැනි යාච්ඤා ඔවුන් තුළ පෙලඹීමක් ඇති කරනු ඇත.

21, 22. සමහරුන් කැපවී බව්තීස්ම වීමෙන් වැළකී සිටීමට බලපාන හේතු මොනවාද?

21 සමහරුන් ධනය පසුපස හඹා යමින් ලෝකයේ දේවල මොනතරම් ඇලී ගැලී සිටිනවාද කියනවා නම් ආත්මික දේවල් සඳහා ඔවුන්ට කාලය කොහෙත්ම නැති තරම්. මෙම තත්වය ඔවුන්ට බව්තීස්ම වීමට බාධාවකි. (මතෙව් 13:22; 1 යොහන් 2:15-17) තමන්ගේ ආකල්ප හා ඉලක්ක ඔවුන් වෙනස් කරගන්නේ නම්, භුක්ති විඳිය හැකි සන්තෝෂය මොනතරම්ද! යෙහෝවාට ළංවීමෙන් ඔවුන්ට ආත්මික දේවල් බහුලව භුක්ති විඳිය හැක. කාංසාවෙන් මිදීමට පුළුවන. දෙවිගේ කැමැත්ත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සාමය හා තෘප්තිය අද්දැකිය හැක.—ගීතාවලිය 16:11; 40:8; හිතෝපදේශ 10:22; පිලිප්පි 4:6, 7.

22 තවත් සමහරු යෙහෝවාට ප්‍රේම කරන බව පැවසුවත් කැප වී බව්තීස්ම වීමට පියවර නොගනිති. ඊට හේතුව බව්තීස්ම නොවී සිටීමෙන් තමන් දෙවිට ගණන් දීමට හෝ වග කියන්න බැඳී නොසිටින බව ඔවුන් සිතීමයි. එනමුත් අප එක් එක්කෙනා දෙවිට ගණන් දිය යුතුය. දෙවි ඉදිරියෙහි වගකීමට අප බැඳුණේ යෙහෝවාගේ වචනයට අප සවන් දුන් අවස්ථාවේදීයි. (එසකියෙල් 33:7-9; රෝම 14:12) පුරාණයේ විසූ ඉශ්‍රායෙල්වරු ‘තෝරාගත් සෙනඟක්’ හැටියට, උපතින්ම යෙහෝවාට කැප වූ ජාතියකට අයත් වූහ. එමනිසා ඔහුගේ නියමයන්ට එකඟව ඔහුට විශ්වාසවන්තව සේවය කිරීමට ඔවුහු බැඳී සිටියහ. (ද්විතීය කථාව 7:6, 11) අදදින කිසිවෙක් උපතින්ම දෙවිට කැපවී නොසිටියත්, අපට ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ඉගැන්වීම් ගැන නිවැරදි දැනුමක් ලැබී තිබෙනවා නම්, අප ඇදහිල්ලෙන් යුතුව ඊට එකඟව කටයුතු කළ යුතුය.

23, 24. බව්තීස්ම වීමෙන් තමන්ව වළක්වාලන්න ඉඩ නොදිය යුත්තේ කුමන ආකාරයේ බියකටද?

23 සමහරුන් බව්තීස්ම වීමට අදිමදි කරන්නේ ප්‍රමාණවත් දැනුමක් තමන්ට නැතැයි කියා සිතන නිසාය. “පටන්ගැන්මේ සිට කෙළවර දක්වා [ සැබෑ දෙවි] කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරි” නිසා අප සියලුදෙනාටම ඉගෙනගැනීමට තිබෙන දේ බොහෝය. (දේශනාකාරයා 3:11) එතියෝපීය නපුංසකයා ගැන සිතා බලන්න. යුදෙව් ආගම වැලඳගෙන තිබූ කෙනෙකු හැටියට ශුද්ධ ලියවිලි ගැන ඔහුට යම් ප්‍රමාණයක දැනුමක් තිබුණත්, දෙවිගේ අරමුණු හා සම්බන්ධ සෑම ප්‍රශ්නයකටම උත්තර ඔහු දැන සිටියේ නැත. කෙසේවෙතත්, යේසුස්ගේ මිදීමේ මිල පූජාව මගින් ගැළවීම සඳහා යෙහෝවා සකස් කළ විධිවිධානය ගැන ඉගෙනගැනීමෙන් අනතුරුව, එම නපුංසකයා කල් නොදමා ජලයේ ගිල්වීමෙන් බව්තීස්ම වූයේය.—ක්‍රියා 8:26-38.

24 දෙවිට කැපවීමට සමහරුන් අදිමදි කිරීමට තවත් හේතුවක් වන්නේ තමන්ගේ කැපවීමට එකඟව තමන්ට ජීවත් වෙන්න පුළුවන් වේවිද කියන බිය නිසාය. දහහත් හැවිරිදි මොනීක් මෙසේ පවසයි. “මගේ කැපවීමට එකඟව මට ජීවත් වෙන්න පුළුවන්දෝ කියන බය හින්දා මම බව්තීස්ම වෙන්න අදිමදි කළා.” කෙසේවෙතත් අපි මුළු හදින්ම යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබනවා නම් ඔහු ‘අපේ මාර්ග සමතලා කරනවා’ ඇත. ඔහුගේ විශ්වාසවන්ත කැපවූ සේවකයන් වශයෙන් “සත්‍යයෙහි දිගටම ගමන් කිරීමට” ඔහු අපට උපකාර කරන බවට සැකයක් නැත.—හිතෝපදේශ 3:5, 6; 3 යොහන් 4, NW.

25. අපේ සැලකිල්ලට යොමු කිරීමට වටින ප්‍රශ්නය කුමක්ද?

25 සෑම වසරකම දහස් ගණනක් දෙවිට කැපවී බව්තීස්ම වීමට පෙලඹෙන්නේ යෙහෝවා කෙරෙහි තිබෙන දැඩි විශ්වාසය හා ඔහුට තිබෙන හෘදයාංගම ප්‍රේමය නිසාය. නිසැකවම දෙවිගේ කැප වූ සියලුම සේවකයන්ට වුවමනා කරන්නේ ඔහුට විශ්වාසවන්තව සේවය කිරීමටයි. කෙසේවෙතත්, අප ජීවත් වන්නේ අර්බුදකාරි කාලයක නිසා ඇදහිල්ල පිළිබඳව නොයෙකුත් පරීක්ෂණවලට මුහුණ දීමට අපට සිදු වේ. (2 තිමෝති 3:1-5) අපේ කැපවීමට එකඟව ජීවත් වීමට අපට කළ හැක්කේ කුමක්ද? මේ ගැන ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනු ඇත.

[පාදසටහන]

a යේසුස් කිසිම පාපයක් නොකළ නිසා ඔහු බව්තීස්ම වූයේ පසුතැවිලි වීම සංකේතවත් කිරීමට නොවේ. ඔහුගේ බව්තීස්මයෙන් සංකේතවත් කළේ සිය පියාගේ කැමැත්ත කිරීම සඳහා ඔහු දෙවිට තමාවම භාර කිරීමයි.—හෙබ්‍රෙව් 7:26; 10:5-10.

ඔබට මතකද?

• ක්‍රිස්තියානි බව්තීස්මය සිදු කරනු ලබන්නේ කෙසේද?

• බව්තීස්ම වීම සඳහා කෙනෙකුට තිබිය යුත්තේ කුමන ආකාරයේ දැනුමක්ද?

• සැබෑ ක්‍රිස්තියානීන්ගේ බව්තීස්මයට මඟ පාදන පියවර මොනවාද?

• සමහරුන් බව්තීස්ම වීමට අදිමදි කරන්නේ මන්ද? නමුත් ඔවුන්ට උපකාර ලැබිය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූර]

‘පියාගෙත්, පුත්‍රයාගෙත්, ශුද්ධාත්මයෙත් නාමයට’ බව්තීස්ම වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද?