Skip to content

පටුනට යන්න

“මට දෙවිට සේවය කරන්න ඕනෑ වුණා”

“මට දෙවිට සේවය කරන්න ඕනෑ වුණා”

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

“මට දෙවිට සේවය කරන්න ඕනෑ වුණා”

‘මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව එන්න.’ දේවදූතයෙක් ප්‍රකාශ කළ එම වදන් පො.යු. පළමුවෙනි ශතවර්ෂයේ ගෝලයෙක් වූ යොහන්ගේ කණ වැකුණි. අද අපේ කාලයේ මිලියන සංඛ්‍යාත අවංක හදවත් ඇති අය මෙයට ප්‍රතිචාර දක්වනු වස් ‘මහා බබිලෝනියෙන්’ එනම් බොරු ආගමික ලෝක අධිරාජ්‍යයෙන් පලා යති. (එළිදරව් 18:1-4) හයිටි නම් රටේ වාසය කරන විල්නර් මෙම තීරණය ගත් අයගෙන් කෙනෙකි. ඔහුගේ අද්දැකීමට සවන් දෙමු.

“මම ඉපදුණේ 1956දී. අපේ පවුල ආගමට ලැදි කතෝලික පවුලක් වූ අතර අපි ජීවත් වුණේ හයිටි නම් රටේ ශාන්ත මාර්ක් නම් වූ කුඩා නගරයේයි. හයිටි රටේ ශාන්ත මිෂෙල් අටාලයෙහි පිහිටි සෙමනේරියට යෑමට අපේ නගරයෙන් තෝරාගත්තේ මා ඇතුළු තවත් දෙදෙනෙකු පමණයි. මෙය අපේ පවුලට ඉමහත් ප්‍රීතිමත් අවස්ථාවක් වුණා. වර්ෂ 1980දී අපව බෙල්ජියමේ ස්ටාව්ලෝ නම් නගරයට යැව්වා තවත් පුහුණු වීම් සඳහා. අපි එහිදී කතෝලික විශ්ව විද්‍යාලයකට ගියා.

“මුලදී පූජකත්වය ලබාගන්න මම හරිම ආශාවෙන් සිටියේ. ඒත්, දවසක් කෑම කාමරයේදී අපේ කණ්ඩායම භාරව කටයුතු කළ පුජකතැන කිව්වා මට යමක් කියන්න තියෙන නිසා ටික වේලාවකට නවතින්න කියලා. ඔහු කිසිම පැකිලීමකින් තොරව කිව්වා මා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න කැමති බව. මාව තිගැස්සුණා. මම ඔහුගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ අතර මා තුළ විශාල කලකිරීමක් ඇති වුණා. මම මේ විස්තරය දෙමව්පියන්ට දැන්වූ අතර ඉන් මාස කිහිපයකට පසු ඔවුන් අකමැති වුවද මා සෙමනේරියෙන් සමුගත්තා. මම ගමේ නතර වෙලා වෙනත් වෘත්තීය පුහුණුවක් ලැබුවා.

“නැවත මම ශාන්ත මාර්ක් නගරයට පැමිණි විට මට කතෝලික පල්ලිය කෙරෙහි කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. තවමත් මට දෙවිට සේවය කරන්න ඕනෑ වුණා. නමුත් මොනවද කරන්න ඕනේ කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම ඇඩ්වෙන්ටිස්, එබනීසර් හා මෝමන් යන පල්ලිවලට ගියා. ඒත් ආත්මික උපදෙසක්වත් මඟ පෙන්වීමක්වත් ලැබුණේ නැහැ.

“බෙල්ජීයමේ සෙමිනේරියේ ඉන්න කොට මම ක්රැම්පන් බයිබලය (බයිබල් පරිවර්තනයක්) කියෙවූ බව මට මතක් වුණා. එයින් මා කියවා තිබුණා දෙවිට නමක් තියෙන බව. මම ඒ නමින් ඉතා උද්‍යෝගයෙන් යාච්ඤා කළා මට සත්‍ය ආගම සොයා දෙන්න කියා.

“ඉන් ටික කලකට පසු යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් අපේ ගමට පදිංචියට ආවා. ඔවුන් සන්සුන්, ගෞරවාන්විත හා ගරු කටයුතු අය. ඔවුන්ගේ ජීවන රටාව ගැන මම පැහැදුණා. එක දවසක් ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් වාර්ෂිකව පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට මට ආරාධනා කෙරුවා. මම එම රැස්වීම බෙහෙවින් අගය කළ අතර ඔවුන් හා විධිමත් බයිබල් පාඩමක් කිරීමට කැමැත්ත පළ කළා. දෙවිට සේවය කිරීමේ නිවැරදි මාර්ගය මා සොයාගත් බව ඉන් මාස හයකට පමණ පසු මට තහවුරු වුණා. වර්ෂ 1988 නොවැම්බර් 20වෙනි දින දෙවිට මගේ කැපවීම බව්තීස්මයෙන් ප්‍රකාශ කළා.”

කලකට පසු, විල්නර් පූර්ණ කාලීනව දේවසේවය කිරීමට තෝරාගත්තා. අද ඔහු සභා වැඩිමහල්ලෙක් ලෙස සේවය කරයි. ඔහු සිය භාර්යාව හා දරු දෙදෙනා සමඟ සභාවේ ප්‍රීතියෙන් සේවය කරනවා.

[9වන පිටුවේ පින්තූරය]

බයිබලය කියවීම මගින් විල්නර් දැනගත්තා දෙවිගේ නම යෙහෝවා බව