Skip to content

පටුනට යන්න

ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කරන්න

ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කරන්න

ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කරන්න

‘දෙවි, මාගේ සිත [හදවත, NW] ස්ථිරය. මාගේ සිත [හදවත, NW] ස්ථිරය.’—ගීතාවලිය 57:7.

1. දාවිත්ට තිබුණාවූ නිසැකකම ඇතුව සිටීමට අපට හැක්කේ මන්ද?

 තමන්ගේ කැපවූ සේවකයන්ට ක්‍රිස්තියානි ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමටත් සැබෑ ක්‍රිස්තියානි ධර්මය තදින් අල්ලාගෙන සිටීමටත් උපකාර කරන්න යෙහෝවාට පුළුවනි. (රෝම 14:4) එමනිසා ගීතිකාකරු දාවිත්ට තිබූ නිසැකකම ඇතුව සිටින්න අපටත් හැකියි. ඔහු මෙසේ ගායනා කිරීමට පෙලඹිණ. ‘දෙවි, මාගේ සිත [හදවත, NW] ස්ථිරය.’ (ගීතාවලිය 108:1) අපේ හදවත ස්ථිර නම් අප දෙවිට කළ කැපවීමට එකඟව ජීවත් වීමට පෙලඹෙනු ඇත. එමෙන්ම මඟ පෙන්වීම හා ශක්තිය ලබාගැනීමට ඔහුගේ උපකාරය පතනවා නම් අපේ ඇදහිල්ල බිඳහෙළිය නොහැකි බව අපට ඔප්පු කළ හැක. එසේම ‘නිතරම ස්වාමීන්ගේ මෙහෙයෙහි වඩ වඩා පවතින,’ අඛණ්ඩතාව රැකගන්න අය වශයෙන් අප ස්ථිර අධිෂ්ඨානයක් හා නිසැකකමක් ඇතුව සිටින්නන් බවද පෙන්විය හැක.—1 කොරින්ති 15:58.

2, 3. පළවෙනි කොරින්ති 16:13හි සඳහන් පාවුල්ගේ අවවාදයෙන් අරුත් වන්නේ කුමක්ද?

2 ප්‍රේරිත පාවුල් පුරාණ කොරින්තියේ විසූ යේසුස්ගේ අනුගාමිකයන්ට මෙසේ උපදෙස් දුන්නේය. “අවදිව සිටින්න. ඇදහිල්ලේ ස්ථිරව සිටින්න. පුරුෂයන් මෙන් සිටින්න. ශක්තිමත් වෙන්න.” (1 කොරින්ති 16:13) මෙම උපදේශය අද සිටින ක්‍රිස්තියානීන්ටද නිසැකවම අදාළ වේ. ග්‍රීක් භාෂාවට අනුව මෙහි කරන්න කියා පවසා තිබෙන සෑම දෙයක්ම සඳහන් කරන්නේ වර්තමාන කාලයෙනි. එමනිසා දිගටම සිදු කළ යුතු ක්‍රියාවක් එම උපදේශයට ඇතුළත් වේ. මෙම අවවාදයෙන් අරුත් වන්නේ කුමක්ද?

3 අපට ආත්මිකව “අවදිව” සිටිය හැක්කේ යක්ෂයාට විරුද්ධව සිටීමෙන් හා දෙවිට ළංව සිටීමෙනි. (යාකොබ් 4:7, 8) යෙහෝවා මත රඳා සිටීමෙන් අප අතර තිබෙන එකමුතුකම රැකගැනීමටත් ‘ක්‍රිස්තියානි ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමටත්’ පුළුවනි. රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් නිර්භීතව දෙවිට සේවය කිරීමෙන් අප අතර සිටින ස්ත්‍රීන් බොහෝදෙනෙකු ඇතුළුව අප සැමට “පුරුෂයන් මෙන්” සිටිය හැක. (ගීතාවලිය 68:11) අපට ‘ශක්තිමත්ව’ සිටිය හැක්කේ අපේ ස්වර්ගික පියාගේ කැමැත්ත කිරීම සඳහා ශක්තිය ලබාගැනීමට දිගටම ඔහුගෙන් උපකාරය ඉල්ලීමෙනි.—පිලිප්පි 4:13.

4. ක්‍රිස්තියානීන් වශයෙන් අපේ බව්තීස්මයට මඟ පෑදූ පියවර මොනවාද?

4 අප සත්‍යය වැළඳගෙන තිබෙන බව පෙන්නුවේ, යෙහෝවාට කොන්දේසි විරහිත ලෙස කැපවී, එය වතුර බව්තීස්මය මගින් සංකේතවත් කළ අවස්ථාවේදීයි. එනමුත් අපේ බව්තීස්මයට මඟ පෑදූ පියවර මොනවාද? මුලින්ම අපි දේවවචනය ගැන නිවැරදි දැනුමක් ලබාගත්තෙමු. (යොහන් 17:3) එහි ප්‍රතිඵලයක් හැටියට අපි ඇදහිල්ල ගොඩනඟා ගත් අතර, අතීතයේ කළ වැරදි ගැන අප සැබවින්ම කනගාටු වන බව පෙන්වමින් පසුතැවිලි වුණෙමු. (ක්‍රියා 3:19, 20; හෙබ්‍රෙව් 11:6) ඊළඟට සිදු වූයේ අපේ හැරීමයි. අප වැරදි ක්‍රියාවලින් හැරුණේ දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීමේ ඉලක්කය ඇතුවයි. (රෝම 12:2; එපීස 4:23, 24) හැරීමෙන් පසු ගත් පියවර වූයේ යාච්ඤාවෙන් යෙහෝවාට මුළු හදින්ම කැපවීමයි. (මතෙව් 16:24; 1 පේතෘස් 2:21) යහපත් හෘදය සාක්ෂියක් ලබා දෙන මෙන් අපි දෙවිගෙන් ඉල්ලා ඔහුට වූ අපේ කැපවීම සංකේතවත් කරමින් බව්තීස්ම වුණෙමු. (1 පේතෘස් 3:21) අප ගත් මෙම පියවර නිතර නිතර මතක් කරගැනීම වැදගත්. මන්ද අපේ කැපවීමට එකඟව ජීවත් වීමට හා ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කිරීමට අඛණ්ඩ වෑයමක් දැරීමේ අවශ්‍යතාව කෙරෙහි සිත යොමු කර තබාගත හැක්කේ එසේ කිරීමෙනි.

නිවැරදි දැනුම දිගටම සොයන්න

5. ශුද්ධ ලියවිලිමය දැනුම අප දිගටම ලබාගත යුත්තේ මන්ද?

5 දෙවිට වූ අපේ කැපවීමට එකඟව ජීවත් වීමට නම් අප දිගටම ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම ලබාගත යුතුය. ඇදහිල්ල ගොඩනංවා ගැනීමට එම දැනුම ඉවහල් වේ. අප මුලින්ම දෙවි පිළිබඳ සත්‍ය ඉගෙනගන්න කාලයේදී ආත්මික ආහාර ලබාගැනීමෙන් මොනතරම් ප්‍රීතියක් අද්දැක්කාද! (මතෙව් 24:45-47) ඒ “ආහාර වේල්” ඉතාමත් ප්‍රණීත වූ අතර, අපට ආත්මිකව හොඳ පෝෂණයක් ඒවායින් ලැබුණි. පෝෂ්‍යදායී ආත්මික ආහාර දිගටම ලබාගැනීම දැනුත් අත්‍යවශ්‍ය දෙයකි. මන්ද යෙහෝවාගේ කැපවූ සේවකයන් හැටියට දිගටම ස්ථිර හදවතක් පවත්වාගත හැක්කේ එසේ කිරීමෙනි.

6. බයිබලයේ සඳහන් සත්‍යය සඳහා හෘදයාංගම අගය කිරීමක් ගොඩනඟා ගැනීමට ඔබට උපකාරය ලැබුණේ කෙසේද?

6 ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම දිගටම ලබාගැනීමට නම් වෑයම අවශ්‍යයි. එය සැඟවුණු නිධානයක් සොයනවා හා සමානයි. නිධානයක් සෙවීමට මොනතරම් වෑයමක් දැරිය යුතුද කියා අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් “දෙවි පිළිබඳ දැනුම” [NW] ලබාගැනීමට දරන වෑයම මොනතරම් වටිනවාද! (හිතෝපදේශ 2:1-6) රාජ්‍ය ප්‍රචාරකයෙකු ඔබ සමඟ මුලින්ම බයිබලය පාඩම් කිරීමට යොදාගත්තේ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත විය හැකියි. එක පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න සැලකිය යුතු කාලයක්, සමහරවිට වතාවන් කිහිපයක් වෙන් කරන්න ඇති. සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ කියවා සාකච්ඡා කිරීමෙන් ඔබ ප්‍රයෝජන ලැබුවේය. යම් කරුණක් තේරුම්ගන්න අමාරු වූවා නම්, එය ඔබට පැහැදිලි කර දෙන ලදි. ඔබගේ බයිබල් පාඩම පැවැත්වූ තැනැත්තා හොඳින් සූදානම් වී, දෙවිගේ ආත්මය ඉල්ලා යාච්ඤා කළේය. එමෙන්ම සත්‍යය සඳහා හෘදයාංගම අගය කිරීමක් ගොඩනඟා ගැනීමට ඔහු ඔබට උපකාර කළේය.

7. දෙවි පිළිබඳ සත්‍යය අන් අයට ඉගැන්වීමට පුද්ගලයෙකු සුදුසුකම් ලැබීමට අවශ්‍ය කරන්නේ කුමක්ද?

7 එසේ වෑයම් කිරීම සුදුසු බව පාවුල් ලියූ මෙම වදන්වලින් පැහැදිලි වේ. “වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා.” (ගලාති 6:6) මෙහි ග්‍රීක් පාඨයෙන් අඟවන්නේ ‘ඉගෙනගන්නාගේ’ මනස හා හදවත තුළ දේවවචනයේ ඉගැන්වීම් පැළපදියම් කළ බවයි. ඔබටත් එසේ උගන්වා තිබෙන නිසා අන් අයට ඉගැන්වීමට ඔබ සුදුසුකම් ලබයි. (ක්‍රියා 18:25) විශ්වාසවන්තව ඔබේ කැපවීමට අනුව ජීවත් වීමට නම්, ඔබේ ආත්මික සෞඛ්‍ය හා ස්ථිරකම පවත්වාගත යුතුයි. මේ සඳහා දේවවචනය දිගටම අධ්‍යයනය කිරීම අවශ්‍යයි.—1 තිමෝති 4:13; තීතස් 1:13, 14; 2:2.

ඔබේ පසුතැවිල්ල හා හැරීම අමතක නොකරන්න

8. දේවභක්තික හැසිරීම දිගටම පවත්වාගත හැක්කේ කෙසේද?

8 ඔබ සත්‍යය ඉගෙනගෙන, පසුතැවිලි වී, ඉන් අනතුරුව යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම නිසා ඔබට දෙවිගෙන් සමාව ලැබී තිබෙන බවට වූ හැඟීම ඔබ තුළ ඇති වූ අවස්ථාවේදී දැනුණු සැනසිල්ල ඔබට මතකද? (ගීතාවලිය 32:1-5; රෝම 5:8; 1 පේතෘස් 3:18) කලින් ඔබ ගත කළ පව්කාර ජීවිතයට නැවත හැරෙන්න ඔබ කැමති නැති බව නිසැකයි. (2 පේතෘස් 2:20-22) ඔබේ දේවභක්තික හැසිරීම දිගටම පවත්වාගැනීමටත්, ඔබේ කැපවීමට එකඟව ජීවත් වීමටත්, දිගටම යෙහෝවාට විශ්වාසවන්තව සේවය කිරීමටත් ඔබට උපකාරවත් වන දේවල් අතර නිතිපතා කරන යාච්ඤාවට හිමි වන්නේ වැදගත් තැනකි.—2 පේතෘස් 3:11, 12.

9. පව්කාර ක්‍රියාවලින් හැරීමෙන් පසු අප ලුහුබැඳිය යුත්තේ කුමන මාර්ගයක්ද?

9 පව්කාර ක්‍රියාවලින් හැරීමෙන් පසු ඔබේ හදවත දිගටම ස්ථිරව තබාගැනීම සඳහා සැමවිටම දෙවිගේ උපකාරය පතන්න. ඔබ කලින් ගමන් කරමින් සිටියේ වැරදි පාරකයි. නමුත් විශ්වාසය තැබිය හැකි සිතියමක තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව ඔබ ගමන් කිරීමට පටන්ගත්තේ හරි පාරේයි. දැන් ඉතින් වෙනත් පාරවල්වලට හැරෙන්න එපා. දෙවිගේ මඟ පෙන්වීම් මත නිතරම රඳා සිටින්න. ජීවනයට යන මාර්ගයේ පමණක් ගමන් කිරීමට අදිටන් කරගන්න.—යෙසායා 30:20, 21; මතෙව් 7:13, 14.

ඔබේ කැපවීම හා බව්තීස්මය කිසිමදාක අමතක නොකරන්න

10. දෙවිට වූ අපේ කැපවීම සම්බන්ධයෙන් අප මතක තබාගත යුතු දේවල් මොනවාද?

10 ඔබ යාච්ඤාවෙන් යෙහෝවාට කැප වූයේ සදාකාලයටම ඔහුට විශ්වාසවන්තව සේවය කිරීමේ ඉලක්කය ඇතුව බව මතකයේ තබාගන්න. (යූද් 20, 21) කැපවීම යන්නෙන් අදහස් වන්නේ පරිශුද්ධ අරමුණක් සඳහා වෙන් කර තැබීමයි. (ලෙවී කථාව 15:31; 22:2) ඔබේ කැප වූයේ තාවකාලික ගිවිසුමකට හෝ මිනිසුන්ට බැඳී සිටීමට නොවේ. එය විශ්ව පරමාධිපති දෙවිට වූ සදාකාලික කැපවීමකි. ඊට එකඟව ජීවත් වීමට නම් ජීවිතාන්තය දක්වා දෙවිට පක්ෂපාතව සිටීම අවශ්‍යයි. ඔව්, ‘අපි ජීවත් වුණත් නැසුණත් අයිති යෙහෝවාටයි.’ (රෝම 14:7, 8) අපේ ප්‍රීතිය රඳා පවතින්නේ අප ඔහුගේ කැමැත්ත කිරීමට යටත් වීමත් ස්ථිර හදවතකින් යුතුව ඔහුට දිගටම සේවය කිරීමත් මතයි.

11. ඔබේ බව්තීස්මය හා ඉන් අර්ථවත් වන දේ ඔබ මතක තබාගත යුත්තේ මන්ද?

11 ඔබ මුළු හදින්ම යෙහෝවාට කැපවී සිටින බව ඔබේ බව්තීස්මයෙන් සංකේතවත් වන බව නිතරම මතක තබාගන්න. බව්තීස්ම වීමට තීරණය කළේ ඔබ විසින්ම නිසා එය බලෙන් කළ දෙයක් නොවේ. ඔබේ ජීවිතයේ ඉතිරි කාලය පුරා ඔබේ කැමැත්ත දෙවිගේ කැමැත්තට එකඟව හැඩගැසීමට ඔබ අදිටන් කරගෙන සිටිනවාද? යහපත් හෘදය සාක්ෂියක් ඇති කරගැනීමට ඔබ දෙවිගෙන් උපකාර ඉල්ලූ අතර ඔහුට ඔබේ කැපවීම සංකේතවත් කරමින් ඔබ බව්තීස්ම වූයේය. ඔබේ කැපවීමට එකඟව ජීවත් වෙමින් දෙවි සමඟ ඔබ ඇති කරගත් යහපත් හෘදය සාක්ෂිය දිගටම රැකගන්න. මෙසේ කිරීමෙන් යෙහෝවාගේ මහඟු ආශීර්වාද ඔබට භුක්ති විඳිය හැකියි.—හිතෝපදේශ 10:22.

ඔබේ කැමැත්ත මගින් කෙරෙන කාර්යය

12, 13. කැපවීමට හා බව්තීස්මයට අපේ කැමැත්ත සම්බන්ධ වන්නේ කෙසේද?

12 පොළොව පුරා වෙසෙන දශලක්ෂ ගණනක් දෙනා කැපවී, බව්තීස්ම වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉමහත් ආශීර්වාද භුක්ති විඳිති. දෙවිට අප කළ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කරන විට අප මියයන්නේ අප කලින් ගත කළ ජීවන රටාවටයි. එසේ වුවත් තේරීම් කිරීමට අප සතු කැමැත්ත අප අත්හැර ඇති බව ඉන් අදහස් නොකරයි. ඇදහිලිවන්තයන් වීමට අපි නිවැරදි දැනුමක් ලැබුවෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිට යාච්ඤාවෙන් අප කැප වූයෙත් ඉන් අනතුරුව බව්තීස්ම වූයෙත් අපගේ කැමැත්තට එකඟවයි. ඔව්, කැපවීම සහ බව්තීස්මය නමැති පියවර අප ගත්තේ අපගේම කැමැත්තෙන් මිස වෙනත් අයගේ පෙලඹවීම මත නොවේ. මුලින්ම අප දෙවිගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගත යුතුය. ඉන්පසුව එය අපගේ කැමැත්තෙන්ම කළ යුතුය. (එපීස 5:17) මෙහිදී අප අනුගමනය කරන්නේ යේසුස්වයි. ඔහු නියැලී සිටි වඩු කර්මාන්තය අත්හැර දමා බව්තීස්ම වී සිය ස්වර්ගික පියාගේ කැමැත්ත කිරීමට තමාව මුළුමනින්ම යොදවන්න ගත් තීරණයේදී, ඔහු ක්‍රියා කළේ තම කැමැත්තට එකඟවය.—ගීතාවලිය 40:7, 8; යොහන් 6:38-40.

13 තම පුත්‍රයාව “දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට” යෙහෝවා දෙවි අරමුණ කළේය. මේ නිසා ඇදහිල්ලෙන් යුක්තව එම දුක් විඳදරාගැනීමට හැකි වන පරිදි තමාගේ කැමැත්ත ක්‍රියාවට නැඟීමට යේසුස්ට සිදු විය. තමන්ට මුහුණ දීමට සිදු වූ දුක් විඳදරාගැනීම සඳහා ඔහු “බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පු කර තමන්ගේ දේවභය නිසා [සතුටුදායක ලෙස, NW] උත්තර [ලැබුවේය].” (හෙබ්‍රෙව් 2:10, 18; 5:7, 8) අපත් දෙවි කෙරෙහි එවැනි ගෞරවාන්විත බියක් පෙන්වනවා නම්, ඔහුගෙන් “සතුටුදායක ලෙස උත්තර” ලබනවාට සැකයක් නැත. එමෙන්ම ඔහුගේ කැප වූ සාක්ෂිකරුවන් වශයෙන් අපට ස්ථිරව සිටීමට යෙහෝවා උපකාර කරන බවටද නිසැක විය හැකියි.—යෙසායා 43:10.

ඔබට පුළුවන් දිගටම ස්ථිර හදවතක් පවත්වාගන්න

14. අප දිනපතාම බයිබලය කියවිය යුත්තේ මන්ද?

14 ස්ථිර හදවතක් දිගටම පවත්වාගනිමින් දෙවිට වූ ඔබේ කැපවීමට එකඟව ජීවත් වන්න ඔබට උපකාරවත් වන්නේ කුමක්ද? දේවවචනය පිළිබඳ දැනුම වැඩි කරගැනීමේ අරමුණ ඇතුව දිනපතාම බයිබලය කියවන්න. මෙය කරන්න කියා “විශ්වාස වූ නුවණැති දාසයා” මහත් ඕනෑකමින් නිතර නිතර අපෙන් ඉල්ලා සිටියි. එවැනි උපදේශයක් අපට දෙන්නේ අපේ කැපවීමට එකඟව ජීවත් වීම සඳහා අප දෙවිගේ සත්‍යයෙහි දිගටම ගමන් කළ යුතු නිසාය. යෙහෝවාගේ සංවිධානය හිතාමතාම බොරු ඉගැන්වීම්වලට අනුබල දෙනවා නම්, බයිබලය කියවන්න කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හා ඔවුන් දේශනා කරන අයට කවදාවත් උනන්දු කරවන්නේ නැත.

15. (අ) අප තීරණ ගන්න විට සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයේ මුල් තැන රැකියාවට හිමි නොවන බව පැවසිය හැක්කේ මන්ද?

15 තීරණ ගන්න විට, යෙහෝවාට වූ අපේ කැපවීම ඉටු කිරීමේදී එම තීරණ බලපාන ආකාරය ගැන සැම විටම සිතා බලන්න. සමහරවිට ඔබේ රැකියාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදු විය හැකියි. ඔබට සැබෑ නමස්කාරයේ වර්ධනය වීමට හැකි වන අයුරින් ඒ හා බැඳි තීරණ ගැනීමට ඔබ වෑයම් කරනවාද? කැපවූ ක්‍රිස්තියානීන් විශ්වාසය තැබිය හැකි අය බවත්, ඔවුන් කාලය කා නොදමමින් වැඩ කරන බවත් රැකියා ස්ථානවල සිටින ස්වාමිවරුන්ගේ අවධානයට යොමු වී තිබේ. එපමණක්ද නොව, ඔවුන් අනිත් අයට වඩා ඉදිරියෙන් සිටීමේ අරමුණින් ධනය හා කීර්තිය පසුපස හඹා යන්නේ නැති බවත්, ඉතා සුඛෝපභෝගී පහසුකම් භුක්ති විඳිය හැකි තනතුරු සඳහා අනිත් අය සමඟ තරඟ නොකරන බවත් ඔවුන්ගේ අවධානයට ලක් වී ඇත. සාක්ෂිකරුවන් තුළ මෙවැනි මාංසික නැඹුරුවාවන් නොමැත්තේ ධනය, කීර්තිය හා බලය අත් කරගැනීම ඔවුන්ගේ ඉලක්කය නොවන නිසයි. දෙවිට වූ තමන්ගේ කැපවීමට එකඟව ජීවත් වන අයගේ ජීවිතවල වැදගත්ම දෙය වන්නේ දෙවිගේ කැමැත්ත කිරීමයි. තමන්ගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා තමන් කරන රැකියාවට ඔවුන්ගේ ජීවිතවල හිමි වන්නේ දෙවන තැනයි. ප්‍රේරිත පාවුල් මෙන් ඔවුන් තමන්ගේ ප්‍රධානතම වැඩය හැටියට සලකන්නේ ක්‍රිස්තියානි දේවසේවයයි. (ක්‍රියා 18:3, 4; 2 තෙසලෝනික 3:7, 8; 1 තිමෝති 5:8) ඔබේ ජීවිතයේ මුල් තැන ඔබ දෙන්නේ රාජ්‍ය හා බැඳි කටයුතුවලටද?—මතෙව් 6:25-33.

16. අනවශ්‍ය කනස්සල්ල නිසා දෙවිට වූ අපේ කැපවීමට එකඟව ජීවත් වීම දුෂ්කර නම් අපට කුමක් කළ හැකිද?

16 සමහරුන් සත්‍යය ඉගෙනගැනීමට කලින් ජීවිතයේ නොයෙකුත් කාංසාවන් නිසා දැඩි මානසික පීඩනයකින් පෙළෙමින් සිටියා විය හැකියි. නමුත් ඔවුන් රාජ්‍යයේ බලාපොරොත්තුව මහත් සොම්නසකින් පිළිගත් විට ඔවුන්ගේ හදවත් ප්‍රීතියෙන්ද, අගය කිරීමෙන්ද, දෙවි කෙරෙහි ප්‍රේමයෙන්ද පිරී ඉතිරී ගියේය. එදා සිට අද දක්වා ඔවුන් භුක්ති විඳ තිබෙන ආශීර්වාද ගැන ගැඹුරින් සිතා බලනවා නම්, යෙහෝවාට වූ කැපවීමට එකඟව ජීවත් වීමට එය ඔවුන්ට මහත් උපකාරයක් විය හැකියි. අනිත් අතට මේ ගැනත් සිතා බලන්න. කුඩා පැළ වැඩී ඵල දරන තත්වයට පත්වීම වළක්වාලන කටු ගස් හා සමානව ‘දෙවිගේ වචනය’ යටපත් කර දමන වත්මන් ක්‍රමය තුළ තිබෙන කාටත් පොදු ප්‍රශ්න ගැටලු නිසා අනවශ්‍ය ලෙස කනස්සලට පත්වීම ගැන කුමක් කිව හැකිද? (ලූක් 8:7, 11, 14; මතෙව් 13:22; මාර්ක් 4:18, 19) ඔබ හෝ ඔබේ පවුලේ අය එවැනි තත්වයකට පත් වෙමින් තිබෙන බවට ලක්ෂණ ඔබ දුටුවොත් කනස්සල්ල යෙහෝවා වෙත විසි කරන්න. දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය තවත් වැඩි කරගැනීමට හා ස්තුතිපූර්වක වීම වර්ධනය කරගැනීමට උපකාර පතා යාච්ඤා කරන්න. ඔබේ බර ඔහු වෙත විසි කරනවා නම්, ඔහු ඔබව උසුලනවා ඇත. එමෙන්ම ස්ථිර හදවතකින් යුතුව ඔහුට ප්‍රීතියෙන් දිගටම සේවය කරන්න අවශ්‍ය ශක්තියද ඔහු ඔබට ලබා දෙයි.—ගීතාවලිය 55:22; පිලිප්පි 4:6, 7; එළිදරව් 2:4.

17. අසීරු පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද?

17 ඔබ දෙවිට කැප වූ අවස්ථාවේදී කළාක් මෙන් යෙහෝවා දෙවිට නිතිපතාම යාච්ඤා කරන්න. (ගීතාවලිය 65:2) වැරදි දෙයක් කිරීමට පෙලඹීමක් ඇති වන විට හෝ ඉතා අසීරු පරීක්ෂණයකට මුහුණ දෙන විට දෙවිගෙන් මඟ පෙන්වීමත් ඊට අනුකූලව කටයුතු කිරීමට උපකාරයත් ඉල්ලන්න. ඇදහිල්ල ඇතුව සිටීමේ අවශ්‍යතාව නිතරම මතකයේ තබාගන්න. මන්ද ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “නුඹලාගෙන් යමෙකුට [යම් පරීක්ෂණයකට සාර්ථකව මුහුණ දීම සඳහා] ප්‍රඥාව අඩු නම් වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ [දෙවිගෙන්] ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට [යෙහෝවාගෙන්] යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.” (යාකොබ් 1:5-8) යම් පරීක්ෂණයක් බලවත් ලෙස අපව යට කර දමන බවක් හැඟෙන විට, අපට මේ ගැන නිසැක විය හැකියි. “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවි විශ්වාස කෙනෙක්ය. ඔහු නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකි වන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදා දෙන්නේය.”—1 කොරින්ති 10:13.

18. යෙහෝවාට වූ අපේ කැපවීමට එකඟව ජීවත් වීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය දුර්වල කරන බරපතළ පාපයක් අප සඟවාගෙන සිටිනවා නම්, අපට කුමක් කළ හැකිද?

18 මේ දක්වා සඟවාගෙන සිටින බරපතළ පාපයක් ඔබේ හෘදය සාක්ෂියට නිතර වද දෙමින්, දෙවිට වූ ඔබේ කැපවීමට එකඟව ජීවත් වීමට ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය දුර්වල කරනවා නම් කුමක් කිව හැකිද? ඔබ පසුතැවිලි වෙනවා නම්, යෙහෝවා “බිඳුණාවූ තැළුණාවූ සිතක් සුළු කොට නොසිතන” බව දැන සිටීමෙන් ඔබට සැනසිල්ල ලබාගන්න පුළුවනි. (ගීතාවලිය 51:17) ප්‍රේමනීය ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් උපකාරය ඉල්ලන්න. ඔබේ ස්වර්ගික පියා සමඟ යහපත් සබඳතාවක් යළි ගොඩනඟා ගැනීමට ඔබ තුළ තිබෙන ආශාව, යෙහෝවාව අනුකරණය කරන ඔවුන් සුළු කොට නොසලකන බව අමතක නොකරන්න. (ගීතාවලිය 103:10-14; යාකොබ් 5:13-15) ඔබ එසේ කිරීමෙන් පසු ආත්මිකව යළි පණගන්වන ලද ශක්තියක් හා ස්ථිර හදවතක් ඇතුව ඔබේ පාදවලට සමතලා පාරවල් සාදාගැනීමට ඔබට හැක. එමෙන්ම දෙවිට වූ ඔබේ කැපවීමට එකඟව ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.—හෙබ්‍රෙව් 12:12, 13.

ස්ථිර හදවතකින් දිගටම සේවය කරන්න

19, 20. අපේ කැපවීමට එකඟව අප දිගටම ජීවත් වීම ඉතාමත් වැදගත් දෙයක් වන්නේ මන්ද?

19 මේ අර්බුදකාරි කාලයේ, අපේ කැපවීමට එකඟව ජීවත් වෙමින් ස්ථිර හදවතකින් දෙවිට දිගටම සේවය කරන්න අප මහත් පරිශ්‍රමයක් දැරිය යුතුයි. “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය” කියා යේසුස් පැවසුවේය. (මතෙව් 24:13) අපි ජීවත් වෙන්නේ ‘අන්තිම දවස්වල’ නිසා අවසානය ඕනෑම මොහොතක පැමිණිය හැකියි. (2 තිමෝති 3:1) එපමණක්ද නොව, හෙට අප ජීවත්ව සිටියිද කියා අපගෙන් කිසිවෙකුට ස්ථිර විය නොහැකියි. (යාකොබ් 4:13, 14) එමනිසා අපේ කැපවීමට එකඟව අද ජීවත් වීම ඉතාමත් වැදගත්.

20 මේ කාරණය ප්‍රේරිත පේතෘස් ඔහුගේ දෙවන ලිපියේදී අවධාරණය කළේය. නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්මේදී අභක්තිකයන් විනාශ වූවාක් මෙන් ‘යෙහෝවාගේ දවස’ ක්‍රියාත්මක වන කාලයේදී පොළොවෙන් සංකේතවත් කරන දුෂ්ට මිනිස් සමාජය විනාශ වන බව ඔහු පෙන්නුම් කළේය. එනිසා පේතෘස් මෙසේ හැඟීමෙන් යුතුව පැවසුවේය. “සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද?” ඔහු ඔවුන්ගෙන් උදක්ම මෙසේද ඉල්ලා සිටියේය. “ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ [බොරු ගුරුවරුන්ගේ හා අභක්තික මිනිසුන්ගේ] මුළාවෙන් ඇදී ගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම් වෙන්න.” (2 පේතෘස් 3:5-17) බව්තීස්ම වූ කෙනෙක් මුළාවෙන් ඇදී ගොස්, ස්ථිර හදවතක් දිගටම පවත්වාගැනීමට අසමත් වූවෙකු ලෙස මිය ගියහොත් එය මොනතරම් කනගාටුදායක දෙයක්ද!

21, 22. ගීතාවලිය 57:7හි සඳහන් වදන් දාවිත් මෙන්ම සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන්ද සැබෑවක් වී තිබෙන්නේ කෙසේද?

21 ඔබ බව්තීස්ම වූ සන්තෝෂවත් දවස සැමදා මතකයේ තබාගන්නවා නම්, ඔබේ වචනවලින් හා ක්‍රියාවලින් දෙවිගේ හදවත සතුටු කිරීම සඳහා ඔහුගේ උපකාරය ඉල්ලනවා නම්, දෙවිට වූ ඔබේ කැපවීමට එකඟව ජීවත් වීමට ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වනු නිසැකයි. (හිතෝපදේශ 27:11) යෙහෝවා කෙදිනකවත් ඔහුගේ සෙනඟගේ බලාපොරොත්තු කඩ කරන්නේ නැත. එමනිසා අප ඔහුට විශ්වාසවන්තව සිටිය යුතුයි. (ගීතාවලිය 94:14) දාවිත්ගේ සතුරන්ගේ උපාය මාර්ග වියවුල් කර දැමීමෙන් දෙවි ඔහුට දයාව හා අනුකම්පාව පෙන්නුවේය. ස්තුතිපූර්වකව මෙය අගය කළ දාවිත් තමාගේ ගැළවුම්කාරයා කෙරෙහි තිබෙන ප්‍රේමය බිඳහෙළිය නොහැකි ලෙස ස්ථිරයි කියා පැවසුවේය. මහත් හැඟීමෙන් යුතුව ඔහු මෙසේ ගායනා කළේය. “[දෙවි], මාගේ සිත [හදවත, NW] ස්ථිරය. මාගේ සිත [හදවත, NW] ස්ථිරය. මම ගීතිකා කරන්නෙමි. එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.”—ගීතාවලිය 57:7.

22 දාවිත් මෙන් සැබෑ ක්‍රිස්තියානීන් දෙවිට දක්වන පක්ෂපාතකම හා ප්‍රේමය කිසිම දෙයකට බිඳහෙළිය නොහැක. තමන්ට ගැළවීම හා ආරක්ෂාව ලැබෙන්නේ යෙහෝවාගෙන් බව ස්ථිර හදවතකින් යුතුව පවසන ඔවුහු ප්‍රීතියෙන් ඔහුට ප්‍රශංසා කරති. ඔබට ස්ථිර හදවතක් තිබෙනවා නම්, ඔබ සැම විටම රඳා සිටින්නේ දෙවි මතයි. එමෙන්ම ඔහුගේ උපකාරය ඇතුව ඔබේ කැපවීමට එකඟව ඔබ ජීවත් වනු ඇත. ඔව්, ඔබටත් දාවිත් ඔහුගේ ගීතිකාවක ගායනා කළ “ධර්මිෂ්ඨයා” මෙන් විය හැක. දාවිත් ඔහු ගැන මෙසේ ගායනා කළේය. “ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත [හදවත යෙහෝවා, NW] කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.” (ගීතාවලිය 112:6, 7) දෙවි කෙරෙහි ඇදහිල්ල ඇතුව සැමවිටම ඔහු මත රඳා සිටිනවා නම්, ඔබේ කැපවීමට එකඟව ජීවත් වීමටත් ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කිරීමටත් ඔබට හැකි වෙනවා නොඅනුමානය.

ඔබට මතකද?

• ඔබ බයිබලය පිළිබඳව නිවැරදි දැනුම දිගටම ලබාගත යුත්තේ මන්ද?

• අපේ පසුතැවිලි වීම හා හැරීම අප අමතක නොකළ යුත්තේ මන්ද?

• අපේ කැපවීම හා බව්තීස්මය නිතර මතක් කරගැනීමෙන් අපට ප්‍රයෝජන අත් කරගත හැක්කේ කෙසේද?

• ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූර]

ඔබ දිනපතාම දේවවචනය කියවීමෙන් ඔබේ ආත්මික සෞඛ්‍යය හා ස්ථිරකම පවත්වාගන්නවාද?

[18වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි දේවසේවය අපේ ප්‍රධානතම වැඩය කරගැනීම, ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කිරීමට අපට උපකාරවත් වෙයි