Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවල ලිපි කියවීමෙන් ඔබ සතුටක් ලැබුවාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර සැපයිය හැකිදැයි බලන්න.

ජීවිතයේ පීඩා අවම කරගැනීම සඳහා කන්ද උඩ දේශනාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට ඔබ කුමන වැඩසටහනක් දියත් කරනවාද?

එම දේශනාවේ හෝ සුවිශේෂයේ වෙනත් තැන්වල සඳහන් යේසුස්ගේ මුලික ඉගැන්වීම්වලින් එකක් දිනපතාම කියවන්න. එම ඉගැන්වීම් මෙනෙහි කිරීමෙන් හා පුද්ගලිකව අදාළ කරගැනීමට උත්සාහ කිරීමෙන්, ඔබට උපරිම ප්‍රීතියක් ලැබිය හැකි අතර පීඩනය අවම කරගැනීමටත් පුළුවන.—12/15, පිටු 12-14.

අමතර වගකීම් උසුලන්ට සභා සේවකයන්ව පුහුණු කිරීම සඳහා සභා වැඩිමහල්ලන්ට ඇති හොඳ හේතු තුන මොනවාද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟම, අලුත බව්තීස්ම වූ අයගේ දියුණුව සඳහා උදව් කිරීමට අමතර වගකීම් දැරිය හැකි පුරුෂයන් අවශ්‍යයි. එමෙන්ම දිගු කාලයක් සේවය කර ඇති සමහර වැඩිමහල්ලන් වයස්ගත වීම හෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීම නිසා ඔවුන් කරන වගකීම් ප්‍රමාණය අඩු කිරීමට සිදුවීමත් තවත් හේතුවකි. තවද වගකීම් හොඳින් උසුලන සමහර වැඩිමහල්ලන්ට තමන්ගේ සභාවල වගකීම්වලට අමතරව වෙනත් පැවරුම්ද ඉටු කිරීමට සිදු වේ. එනිසා ඔවුන් කලින් කළ ආකාරයට තමන්ගේ සභාව වෙනුවෙන් කාලය වැය කිරීමට නොහැකි වේ.—1/1, පිටුව 29.

සැබෑ නොවන දෙවිවරුන් කෙරෙහි මනුෂ්‍යයන් විශ්වාසය තබන්නේ කෙසේද?

බොහෝ අය තමුන්ගේ ආගමට අයත් දෙවිවරුන්ට නමස්කාර කරති. මොවුන් එලියාගේ කාලයේ සිටි බාල් වැනි ගැළවීමක් ලබා දීමට නොහැකි පණ නැති දෙවිවරුන් හා සමානය. (1 රාජාවලිය 18:26, 29; ගීතාවලිය 135:15-17) තවත් අය නළු නිළියන්ට හා ක්‍රීඩකයන්ට ගරු සැලකිල්ලක් දැක්වුවද ඔවුන්ට අනාගතය ගැන කිසිදු පැහැදිලි බලාපොරොත්තුවක් ගෙන දිය නොහැකියි. නමුත් යෙහෝවා සැබෑ දෙවි කෙනෙක් වන අතර ඔහු අරමුණු කරන සියල්ලද ඉටු කරයි.—1/15, පිටු 3-5.

දෙවිගේ අනතුරු ඇඟවීමට කායින් දැක්වූ ප්‍රතිචාරයෙන් අපට උගත හැකි පාඩම කුමක්ද?

දෙවි අපට නිදහස් කැමැත්ත දී තිබෙනවා. ඒ නිසා යහපත කිරීමෙන් වැළකී නොසිට අපට හරි දේ තෝරාගෙන කළ හැකියි. නමුත් කායින් එසේ කළේ නැත. මීට අමතරව, පසුතැවිලි නොවන පව්කාරයන්ව යෙහෝවා විනිශ්චය කරන බව බයිබලයේ සඳහන් වේ.—1/15, පිටු 22-3.

පිරිසිදුකම අද විශේෂයෙන් වැදගත් වන්නේ ඇයි?

වෙනස් වන සමාජ රටාවට අනුව මිනිසුන් මීට පෙර කාලවල කළා හා සමානව අද ගෙවල් දොරවල් පිරිසිදු කරන්නේ නැහැ. ඔවුන් අද ඒ සඳහා වැය කරන්නේ ඉතා අඩු කාලයක් පමණයි. එහෙත් ආහාරවල සහ ජලයේ පිරිසිදුකම නොසලකා හැරීමෙන් සෞඛ්‍ය ගැටලුවලට මඟ පෑදිය හැකිය. ශාරීරික පිරිසිදුකමට අමතරව ආත්මික, සදාචාරාත්මක සහ මානසික පිරිසිදුකම ගැනද බයිබලය අවධාරණය කරයි.—2/1, පිටු 3-6.

ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ට පෙර ජීවත් වූ අය ගැන සඳහන් කරමින් ඔවුහු ‘අප නැතුව සම්පූර්ණ නොවෙති’ කියා පාවුල් පැවසුවේ මන්ද? (හෙබ්‍රෙව් 11:40)

දහස් අවුරුදු පාලනය තුළදී, ස්වර්ගයේ සිටින ක්‍රිස්තුස් සහ ඔහුගේ ආලේප ලත් සහෝදරයන් රජුන් සහ පූජකයන් ලෙස සේවය කරනවා ඇති. ඔවුන් මිදීමේ පූජාවේ වටිනාකම නැවත නැඟිටින්නන්ට දානය කරනවාද ඇති. මෙසේ හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් එවන් විශ්වාසවන්ත අය ‘සම්පූර්ණ’ අය බවට පත් වේ.—2/1, පිටු 22, 23.

‘ඔබ තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත’ යැයි පාවුල් හෙබ්‍රෙව්වරුන්ට පැවසීමේදී ඔහු අදහස් කළේ කුමක්ද? (හෙබ්‍රෙව් 12:4)

ඔහු එහි පෙන්නුම් කළේ මරණය දක්වාම නොසැලී සිටීමයි. මරණය දක්වා ස්ථිරව සිටි විශ්වාසවන්ත සේවකයන් පිළිබඳ ආදර්ශයන් ඉතිහාසගත වී තිබෙනවා. පාවුල් මේ දේවල් ලියන විට හෙබ්‍රෙව්වරුන් එවැනි පරීක්ෂාවන්ට මුහුණ දී නොතිබුණා විය හැකියි. නමුත් මේරුකම දක්වා ප්‍රගතිය ලැබීමේ අවශ්‍යතාව ඔවුන්ට තිබිණි. පැමිණෙන ඕනෑම දෙයක් විඳදරාගැනීම පිණිස ඇදහිල්ල ශක්තිමත් කරගත යුතු විය.—2/15, පිටුව 29.

යෙහෝවාගේ දයාව නිසා ඔහුගේ යුක්තිය ලිහිල් වේයැයි කීමෙන් වැළකීම වඩාත් සුදුසු වනුයේ ඇයි?

“ලිහිල්” යන වචනය සමහර භාෂාවල භාවිතා කර තිබෙන්නේ මධ්‍යස්ථව හෝ වැළකී සිටීම යන අර්ථය ගෙන දීම සඳහායි. යෙහෝවා යුක්තියේ හා දයාවේ දෙවි කෙනෙක් වන නිසා ඔහු මෙම ගුණාංග දෙක විදහාපෙන්වන්නේ සමබර ආකාරයකින් හා එකඟතාවකින් යුතුවය. (නික්මයාම 34:6, 7; ද්විතීය කථාව 32:4; ගීතාවලිය 116:5; 145:9) මෙබැවින් යෙහෝවාගේ යුක්තිය දයාවෙන් ලිහිල් වීමට අවශ්‍ය නැත.—3/1, පිටුව 30.

පවුලේ සාමාජිකයෙක් මිය ගිය විට එම්බාම් කිරීම ක්‍රිස්තියානීන්ට උචිතද?

එම්බාම් කිරීම යනු මෘත දේහය කාලයක් තබාගැනීම සඳහා යොදාගන්නා යම් පිළියමකි. පුරාණ කාලයේ අය එම්බාම් කිරීම සිදු කළේ ආගමික හේතු නිසාය. නමුත් සැබෑ නමස්කාරකයන් එසේ සිදු කරන්නේ ආගමික හේතු නිසා නොවේ. (දේශනාකාරයා 9:5; ක්‍රියා 24:15) එම්බාම් කිරීම මගින් සිදු කෙරෙන්නේ එම ශරීරය නැවත දූවිල්ලට හැරීම කල් දැමීමයි. (උත්පත්ති 3:19) නමුත් එම්බාම් කිරීම සඳහා නීතික අවශ්‍යතාවක් ඇත්නම් ඒ ගැන වැඩිය හිතන්න අවශ්‍ය නැත. තවද පවුලේ සාමාජිකයන් කැමැත්තක් දක්වයි නම් හා අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා සමහර අය ඈත සිට පැමිණිය යුතු නම් එම්බාම් කිරීමට සිදු වේ.—3/15, පිටු 29-31.

දෙවි සියලු ජාතීන්වල ජනයාව පිළිගන්නා බව කුමන බයිබල් උදාහරණවලින් අපට උගත හැකිද?

යෙහෝවා ප්‍රොපේත යෝනාව නිනිවයට යැව්වේ එහි වැසියන්ට අනතුරු ඇඟවීමටත් ඔවුන්ගේ පසුතැවිල්ල පිළිගැනීමටත්ය. යේසුස් වචනයෙන් හා ක්‍රියාවෙන් සමරිතානුවන්ට ප්‍රේමය පෙන්වීමට උනන්දු කළා. යුදෙව් නොවන්නන්ට ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රේරිත පේතෘස් හා පාවුල් යන දෙදෙනාම උත්සුක වුණා. සියලුම ජාතීන්ට අයත් ජනයාට උදව් කිරීමේ අවශ්‍යතාවය මෙම උදාහරණවලින් අපට මනාව පැහැදිලි වේ.—4/1, පිටු 21-4.