Skip to content

පටුනට යන්න

ඔබේ සුරක්ෂිතභාවය රඳා ඇත්තේ කොහේද?

ඔබේ සුරක්ෂිතභාවය රඳා ඇත්තේ කොහේද?

ඔබේ සුරක්ෂිතභාවය රඳා ඇත්තේ කොහේද?

බටහිර අප්‍රිකානු කුඩා ගමක වෙසෙන තරුණ ෂෝස්වියේ ඔහුගේ පවුලේ උදවියගෙනුත් මිතුරන්ගෙනුත් සමුගනියි. a එතැන් සිට ඔහු පියවර තබන්නේ විශාල නගරයකට ගොස් මූල්‍යමය අතින් සුරක්ෂිතභාවය සොයාගැනීමටය. කෙසේවෙතත්, එහි පැමිණි වහාම ඔහුගේ බලාපොරොත්තු බොඳ වී යයි. නගරයේ සල්ලි ගස් නැති බව ඔහුට වැටහෙයි.

නාගරික ජීවිතයට හුරුවීමට පොරබදින ෂෝස්වියේ සෑහෙන අධෛර්යට පත් වෙයි. විශාල නගරය ඔහු සිතුවාට වඩා බොහෝම වෙනස් තැනකි. මේ අතර ඔහුගේ හදවතෙහි එක් සිතුවිල්ලක් බුර බුරා නැඟෙන ගින්නක් මෙන් ඇවිළෙයි. ඒ ඔහු හැර දමා ආ දිළිඳු ගම වෙතටත් පවුලේ අය සහ මිතුරන් වෙතටත් නැවත යෑමට වූ සිතුවිල්ලය. එහෙත්, සමහර ගම්මු තමාට ඔච්චම් කරතැයි ඔහු භය වෙයි. ‘නගරයට ඇවිල්ලවත් මට සාර්ථක වෙන්න බැරි වෙච්ච හින්දා, මං කිසිකමකට නැති එකෙක් කියලා ඒ අය මට කියාවි’ යයි සිතමින් ඔහු දුක් වෙයි.

මේ සියල්ලටම වඩා ඔහු කරදර වන්නේ මෙය තම දෙමාපියන්ට කොයි ආකාරයෙන් බලපායිද කියන කාරණය ගැනය. ඔවුන් මූල්‍යමය අතින් යැපෙන්නේ ඔහු මතයි. මේ චිත්තවේගීය බරෙන් ගොඩ ඒමට ඔහු අතට හසු වූ සුළු රැකියාවක් කරමින් දවසෙන් වැඩි වේලාවක් එහි යෙදෙයි. එහෙත්, ඔහු අතට පත් වූයේ සිහින මැවූ දෙයින් කීයෙන් කීයද! ඉවරයක් නැතුව වැඩ කිරීමෙන් ඔහුගේ කයත් මනසත් තද විඩාවට පත් වෙයි. ඔහු ඒ තරම්ම අගය කළ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් කිරීමට තිබෙන කාලය සතියෙන් සතිය ගිලිහී යයි. ඔහුගේ පවුලේ සහ පරණ මිතුරන්ගේ උණුසුමෙන් දුරස් වූ ඔහු දුක සේ තනියම ජීවිතය ගත කරයි. ඔහුට ඒ තරම්ම අවශ්‍ය කළ සුරක්ෂිතභාවය නගරයෙන් නොලැබෙන බව ඔහුට තේරෙයි.

නම් ගම් සහ තැන් වෙනස් වුවත්, ෂෝස්වියේගේ ඒ දුක්බර කතාව අපි යළි යළිත් අසන්නෙමු. ෂෝස්වියේ නගරයට පැමිණියේ දඩබ්බරකම නිසා නොවේ. ඔහු සොයමින් සිටියේ සුරක්ෂිතභාවයයි. ඒ සඳහා තමන්ගේ පුංචි ගමේ සිටිනවාට වඩා නගරයට ගියොත් වැඩි ප්‍රස්තා සොයාගැනීමට හැකි වෙතැයි ඔහු අවංකවම පැතීය. ඇතැම්විට, කෙනෙකු ද්‍රව්‍යමය අතින් යම් දියුණුවක් අද්දැකිය හැකි වුවත්, ඔහු සැබවින්ම සුරක්ෂිතයි කියා එයින් අදහස් කරන්නේ නැත. ෂෝස්වියේට එය එසේ වූයේ නැත. එමෙන්ම, එවැනිම අයුරින් උත්සාහ දරන බොහෝදෙනෙකුටද එසේ නොවනු ඇති බව නිසැකය. මෙය අප තුළ මෙවන් ප්‍රශ්නයක් ඇති කරයි. එසේ නම්, “සුරක්ෂිතභාවය කියා කියන්නේ කුමකටද?”

විවිධ අය විවිධ ආකාරයට සුරක්ෂිතභාවය පැහැදිලි කරයි. එක් ශබ්දකෝෂයකට අනුව, සුරක්ෂිතභාවය යනු “අනතුරෙන් රැකවරණයයි” නැතහොත් “බියෙන් හෝ කනස්සල්ලෙන් රැකවරණයයි.” “අනතුරෙන් [පූර්ණ] රැකවරණය” අදදින කොතැනකවත් සොයාගත නොහැකි බව සමහරුන් තේරුම්ගෙන ඇත. වටපිටාවේ බිය උපදවන තත්වයක් තිබිය හැකි වුවත්, තමන්ට සුරක්ෂිතකමක් හැඟෙනවා නම් ඔවුහු එයින් සෑහීමට පත් වෙති.

ඔබ ගැන කුමක් කිව හැකිද? සුරක්ෂිතභාවය සඳහා ඔබ නෙත් යොමන්නේ කොහේටද? ෂෝස්වියේ සිතූ ලෙස සුරක්ෂිතභාවය තිබෙන්නේ ගමේ නොවේ නම් නගරයේද? එසේ නැත්නම් එය ගැබ්ව තිබෙන්නේ කොහෙන්, කොහොම හරි සොයාගත් මුදල්වලද? සමහරවිට එය සමාජ හිනිමඟේ යම් හිනිපෙත්තක සැඟවී තිබේද? ඔබ සොයන සුරක්ෂිතභාවය කොහේ තිබුණත් ඔබේ පවුලේ අයත් ඔබත් වෙනුවෙන් කොතරම් කාලයකට එය තියේවිද?

බොහෝදෙනා සුරක්ෂිතභාවය සොයන ක්‍රම තුනක් ගැන අපි දැන් විමසා බලමු. භූගෝලීය පිහිටීම, මුදල්, තත්වය හෝ තරාතිරම මේවා වේ. ඉන්පසුව, සැබෑ හා කල් පවතින සුරක්ෂිතභාවය රඳා තිබෙන්නේ කොහේදැයි සලකා බලමු.

[පාදසටහන]

a නම වෙනස් කර ඇත.