Skip to content

පටුනට යන්න

දිව්‍ය ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වීම ලබන්න

දිව්‍ය ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වීම ලබන්න

දිව්‍ය ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වීම ලබන්න

‘ප්‍රයෝජන ලබාගැනීමට ඔබට උගන්වන්නේ යෙහෝවාය.’—යෙසායා 48:17.

1. මැවුම්කරු මිනිසුන්ට මඟ පෙන්වීම සපයන්නේ කෙසේද?

 විද්‍යාඥයන් විශ්වයේ රහස් අනාවරණය කරගන්න මහත් වෑයමක් දරද්දී විශ්වයේ තිබෙන අතිමහත් ශක්ති ප්‍රමාණය ගැන ඔවුන් විස්මයට පත් වෙනවා. මධ්‍යම ප්‍රමාණයේ තරුවක් වන අපේ සූර්යයා නිපදවන ශක්ති ප්‍රමාණය “සෑම තත්පරයකටම වරක් හයිඩ්‍රජන් බෝම්බ බිලියන 100ක් පුපුරුවාහරින” විට පිට වන ශක්ති ප්‍රමාණයට සමානයි. තමන් සතු අසීමිත බලය යොදාගනිමින් විශ්වයේ තිබෙන එවන් දැවැන්ත වස්තූන් පාලනය කරන්නත් ඒවාට මඟ පෙන්වීම ලබා දෙන්නත් මැවුම්කරුට පුළුවන්. (යෝබ් 38:32; යෙසායා 40:26) නිදහස් කැමැත්ත, හරි වැරැද්ද හඳුනාගැනීම, තර්කානුකූලව සිතීම හා අධ්‍යාත්මික කාරණා තේරුම්ගැනීම යනාදිය සම්බන්ධයෙන් සුවිශේෂ හැකියාවක් තිබෙන මිනිසුන් වන අප ගැන කුමක් කිව හැකිද? අපට මඟ පෙන්වීම ලබා දීම සඳහා හොඳම ක්‍රමය ලෙස මැවුම්කරු තෝරාගෙන තිබෙන්නේ කුමන ක්‍රියාමාර්ගයද? ඔහුගේ පරිපූර්ණ නීති හා උසස් ප්‍රතිපත්ති මෙන්ම හොඳින් පුහුණු කරන ලද අපේ හෘදය සාක්ෂිය යොදාගනිමින් ඔහු ප්‍රේමනීය ලෙස අපට මඟ පෙන්වීම සපයනවා.—2 සාමුවෙල් 22:31; රෝම 2:15, 16.

2, 3. දෙවි ප්‍රීති වන්නේ අප ඔහුට කෙසේ කීකරු වෙනවා දකින විටද?

2 බුද්ධිමත් මැවිලි ඔවුන්ගේම කැමැත්තෙන් තමන්ට කීකරු වන විට යෙහෝවා ඉන් මහත් ප්‍රීතියක් ලබයි. (හිතෝපදේශ 27:11) හිතන්න බැරි රොබෝවරුන් වගේ තම කැමැත්තට යටත් කරවාගන්නා ආකාරයෙන් මිනිසාව මවන්නේ නැතුව, හරි දෙය කරන්න ඉවහල් වන බුද්ධිමත් තීරණ ගැනීමට හැකි වන පරිදි යෙහෝවා අපට නිදහස් කැමැත්ත නමැති ත්‍යාගය ලබා දුන්නා.—හෙබ්‍රෙව් 5:14.

3 තමාගේ ජීවිතයෙන් පරිපූර්ණ ලෙස තමන්ගේ පියාව දැකගන්න සැලැස්වූ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “මා නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා නම්, නුඹලා මාගේ මිත්‍රයෝය. . . . තවත් නුඹලාට දාසයෝයයි නොකියමි.” (යොහන් 15:14, 15) පුරාණ කාලයේ සිටි දාසයෙකුට ඔහුගේ ස්වාමියාගේ නියෝගවලට කීකරු වෙනවා හැරෙන්න වෙන කිසිම දෙයක් කළ නොහැකි වුණා. සිත්ගන්නාසුලු ගුණාංග විදහාපෙන්වීමෙන් මිත්‍රත්වයක් ඇති කරගත හැකියි. අපට පුළුවන් යෙහෝවාගේ මිත්‍රයන් වෙන්න. (යාකොබ් 2:23) මෙම මිත්‍රත්වය වඩ වඩා ශක්තිමත් වන්නේ අන්‍යොන්‍ය ප්‍රේමය මතයි. දෙවිට කීකරු වීම හා ප්‍රේමය අතර තිබෙන සම්බන්ධය ගැන යේසුස් මෙසේ පැවසුවා. “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේය. මාගේ [පියාද] ඔහුට ප්‍රේම [කරයි].” (යොහන් 14:23) පියා අපට ප්‍රේම කරමින් සුරක්ෂිත ලෙස මඟ පෙන්වීම සපයයි. ඒ නිසයි තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න කියා යෙහෝවා අපට ආරාධනා කරන්නේ.

දිව්‍ය ප්‍රතිපත්ති

4. ඔබ ප්‍රතිපත්ති විස්තර කරන්නේ කෙසේද?

4 ප්‍රතිපත්ති කියන්නේ මොනවටද? ප්‍රතිපත්තියක් යනු “සාමාන්‍ය හෝ මූලික සත්‍යයක්. වෙනත් නීති හා සිද්ධාන්ත පදනම් වන හෝ ඒවා සෑදීමට යොදාගනු ලබන පුළුල් හා මූලික නීතියක්, සිද්ධාන්තයක් හෝ උපකල්පනයක්” යයි විග්‍රහ කර තිබෙනවා. (Webster’s Third New International Dictionary) අපේ ස්වර්ගික පියා අපේ ජීවිතයේ විවිධ තත්වයන් හා කාරණාවලට අදාළ වන මූලික මඟ පෙන්වීම් සපයන බව බයිබලය පරෙස්සමින් අධ්‍යයනය කිරීමෙන් අනාවරණය වෙනවා. ඔහු එසේ මඟ පෙන්වීම් සපයන්නේ අපේ සදාකාලික ශුභසිද්ධිය සැලකිල්ලට ගෙනයි. මෙය ඥානවන්ත සාලමොන් රජ පැවසූ මෙම වදන්වලට එකඟයි. “මාගේ පුත්‍රය, කන් දී මාගේ කීම් පිළිගන්න. එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය. ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරි වූ මාවත්වල නුඹ ගෙන [යන්නෙමි].” (හිතෝපදේශ 4:10, 11) යෙහෝවා දී තිබෙන මූලික ප්‍රතිපත්ති අප ඔහු සමඟ මෙන්ම සෙසු අය සමඟ පවත්වන සබඳතාව කෙරෙහිත්, අපේ නමස්කාරය හා එදිනෙදා අප ගත කරන ජීවිතය කෙරෙහිත් බලපායි. (ගීතාවලිය 1:1, 2) එම මූලික ප්‍රතිපත්තිවලින් කිහිපයක් දැන් අපි සලකා බලමු.

5. මූලික ප්‍රතිපත්ති කිහිපයකට උදාහරණ සපයන්න.

5 යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාව ගැන යේසුස් මෙසේ පැවසුවා. “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ [යෙහෝවාට] ප්‍රේම [කරන්න].” (මතෙව් 22:37) මීට අමතරව, අපි වෙනත් අය සමඟ කටයුතු කරන විට බලපාන ප්‍රතිපත්තිද දෙවි අපට සපයනවා. “මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න” කියා පවසන රන් අණ මෙයට හොඳ උදාහරණයක්. (මතෙව් 7:12; ගලාති 6:10; තීතස් 3:2) නමස්කාරය සම්බන්ධයෙන් අපට මෙසේ උපදෙස් දී තිබෙනවා. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් [නොහරිමු].” (හෙබ්‍රෙව් 10:24, 25) අපි එදිනෙදා කරන දේවල් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ පවසනවා. “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල [දෙවිගේ] ගෞරවය පිණිස කරන්න.” (1 කොරින්ති 10:31) ගණන් කළ නොහැකි තරම් තවත් ප්‍රතිපත්ති දේවවචනයේ සඳහන් වෙනවා.

6. ප්‍රතිපත්ති නීතිවලින් වෙනස් වන්නේ කෙසේද?

6 ප්‍රතිපත්ති කියන්නේ ක්‍රියාවට නඟන්න පුළුවන් මූලික සත්‍යයන් වන අතර නැණවත් ක්‍රිස්තියානීන් ඒවාට ඇලුම් කරන්න ඉගෙනගන්නවා. යෙහෝවාගේ ආනුභාවයෙන් සාලමොන් මෙසේ ලිව්වා. “මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන් දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා. නුඹේ සිත තුළ ඒවා තබාගන්න. මක්නිසාද ඒවා සම්බ වන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත් වේ.” (හිතෝපදේශ 4:20-22) ප්‍රතිපත්ති නීතිවලින් වෙනස් වන්නේ කෙසේද? නීති සඳහා පදනම සපයන්නේ ප්‍රතිපත්තියි. බොහෝවිට නිශ්චිත ස්වරූපයක් ගනු ලබන නීති අදාළ වන්නේ යම් විශේෂ කාලයකට හෝ තත්වයකට වුවත් ප්‍රතිපත්ති සැමදාටම වලංගුයි. (ගීතාවලිය 119:111) දිව්‍ය ප්‍රතිපත්ති යල් පනින්නේවත් පහව යන්නේවත් නැහැ. අනාගතවක්තෘ යෙසායා දේවානුභාවයෙන් ලියූ මෙම වදන්වල සත්‍යතාව පැහැදිලියි. “තණකොළ වියළෙයි. මල පර වෙයි. නුමුත් අපේ [දෙවිගේ] වචනය සදාකාලේටම පවත්නේය.”—යෙසායා 40:8.

ප්‍රතිපත්ති ගැන සිතමින් කටයුතු කරන්න

7. ප්‍රතිපත්ති ගැන සිතමින් ඒවා ක්‍රියාවට නැඟීමට දේවවචනය අපව දිරිමත් කරන්නේ කෙසේද?

7 ප්‍රතිපත්ති මත සිතමින් කටයුතු කරන්න කියා ‘දෙවිගේ වචනය’ අපව නිතර නිතර දිරිමත් කරනවා. මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවේ සඳහන් දේවල් කෙටි කර දක්වන්න කියා යේසුස්ගෙන් ඉල්ලා සිටි විට, ඔහු එය සංක්ෂිප්ත ප්‍රකාශ දෙකකින් ඉදිරිපත් කළා. මුල් ප්‍රකාශයෙන් අවධාරණය කළේ යෙහෝවා කෙරෙහි ප්‍රේමයයි. අසල්වැසියා කෙරෙහි ප්‍රේමය අනිත් ප්‍රකාශයෙන් කාවැද්දුවා. (මතෙව් 22:37-40) මෙහිදී යේසුස් කළේ මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවේ මූලික සත්‍යයන් කලින් කැටි කොට දක්වා තිබූ ප්‍රකාශයකින් කොටසක් උපුටා දැක්වීමයි. ඒ කොටස ද්විතීය කථාව 6:4, 5හි දක්නට තිබෙන්නේ මෙසේයි. ‘අපේ දෙවි වූ යෙහෝවා එකම යෙහෝවාය. ඔබේ දෙවි වූ යෙහෝවාට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.’ පෙනෙන විදිහට, ලෙවී කථාව 19:18හි සඳහන් දෙවිගේ නියෝගයද යේසුස්ගේ මනසෙහි තිබුණා. දේශනාකාරයා පොතෙහි සඳහන් පැහැදිලි, කෙටි හා ප්‍රබල අවසානයේදී සාලමොන් රජ දෙවිගේ නීති රැසක හරය මෙසේ සංක්ෂිප්ත කොට දක්වා තිබෙනවා. ‘සියල්ල අසන ලදි, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවිට භයව ඔහුගේ ආඥා පවත්වන්න. මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය. මක්නිසාද යහපත් වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවි විනිශ්චයට පමුණුවන්නේය.’—දේශනාකාරයා 12:13, 14; මීකා 6:8.

8. මූලික බයිබල් ප්‍රතිපත්ති හොඳින් ග්‍රහණය කරගැනීම අපට ආරක්ෂාවක් වන්නේ ඇයි?

8 එවන් මූලික ප්‍රතිපත්ති අප හොඳින් ග්‍රහණය කරගන්නවා නම් වඩාත් නිශ්චිතව අදාළ වන නියෝග තේරුම්ගැනීමටත් ඒවා අදාළ කරගැනීමටත් අපට පුළුවන්. ඒ වගේම මූලික ප්‍රතිපත්තිවල සැබෑ අරුත අප සම්පූර්ණයෙන් වටහාගන්නේ නැත්නම්, නැණවත් තීරණ ගන්න අපට හැකි වන්නේ නැහැ. අපේ ඇදහිල්ලද පහසුවෙන්ම එහාට මෙහාට වැනෙන්න ඉඩ තිබෙනවා. (එපීස 4:14) එවන් ප්‍රතිපත්ති ටික කාලයකින් මැකී නොයන විදිහට අපේ මනස් හා හදවත්වල කොටාගන්නවා නම්, අප තීරණ ගන්න විට ඒවා ක්‍රියාවට නැඟීම අපට අසීරු වන්නේ නැහැ. අපි අවබෝධයෙන් යුතුව ඒවා අදාළ කරගන්නවා නම්, අපට සාර්ථක විය හැකි බව නිසැකයි.—යෝෂුවා 1:8; හිතෝපදේශ 4:1-9.

9. බයිබල් ප්‍රතිපත්ති හොඳින් අවබෝධ කරගෙන ක්‍රියාවට නැංවීම සැමවිටම ලෙහෙසි දෙයක් නොවන්නේ ඇයි?

9 බයිබල් ප්‍රතිපත්ති මැනවින් අවබෝධ කරගනිමින් ක්‍රියාවට නැඟීම, නීති මාලාවක් පිළිපැදීම තරම් ලෙහෙසි දෙයක් නොවේ. ප්‍රතිපත්ති පදනම් කරගෙන තර්කානුකූලව සිතමින් තීරණ ගැනීමට අසම්පූර්ණ මිනිසුන් වන අප තුළ නිසැකකමක් නොතිබිය හැකියි. එනිසා යම් තීරණයක් ගැනීමට සිදු වන විට හෝ උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටින විට, කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල් ඇතුළත් නිශ්චිත නීති රීති මාලාවක් තිබෙනවා නම් අපි එයට වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි සභාවේ වැඩිමහල්ලෙකුගෙන් හෝ වෙනත් මේරූ ක්‍රිස්තියානියෙකුගෙන් මඟ පෙන්වීම් ඉල්ලා සිටින්න පුළුවන්. මෙහිදී අපට ඔහුගෙන් බලාපොරොත්තු විය හැක්කේ අපි මුහුණ පා සිටින තත්වයට අදාළ කරගත හැකි නිශ්චිත රීතියක්. කෙසේවෙතත්, බයිබලයේ හෝ බයිබලය මත පදනම් ප්‍රකාශනවල ඒ සඳහා නිශ්චිත රීතියක් නොතිබෙන්න පුළුවන්. එසේ තිබුණත්, එය සෑම තත්වයකටම එක සේ අදාළ නොවිය හැකියි. එක්තරා මිනිසෙක් යේසුස්ගෙන් මෙසේ ඉල්ලා සිටි බව ඔබට මතක ඇති. ‘ආචාරිනි, මා සමඟ උරුමය බෙදාගන්ට මාගේ සහෝදරයාට කියන්න.’ එක කුස උපන් සහෝදරයන් අතර ඇති වූ මතභේදය නිරාකරණය කරගැනීම සඳහා විගස යම් නීතියක් සපයනවා වෙනුවට, යේසුස් ඔහුට පුළුල් ක්ෂේත්‍රයක් පුරා විහිදී යන මෙම ප්‍රතිපත්තිය ඔහුට දුන්නා. “සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම් වෙන්ට බලාගන්න.” මෙසේ යේසුස් එදාටත් අදටත් එක සේ ප්‍රයෝජනවත් වන මඟ පෙන්වීමක් ලබා දුන්නා.—ලූක් 12:13-15.

10. ප්‍රතිපත්තිවලට එකඟව හැසිරීමෙන් අපේ හදවතේ තිබෙන චේතනා හෙළි වන්නේ කෙසේද?

10 ඇතැම් අය අකමැත්තෙන් වුණත් නීතිවලට කීකරු වන්නේ දඬුවම් ලැබීමට තිබෙන බිය නිසායි. එවැනි අයව ඔබ දැක ඇති. නමුත් ප්‍රතිපත්තිවලට ගරු කරන අය තුළ එවන් ආකල්පයක් දැකිය නොහැකියි. තමන්ට මඟ පෙන්වීමට ප්‍රතිපත්තිවලට ඉඩහරින අය ඒවාට එකඟව ක්‍රියා කරන්නේ මුළු හදවතින්මයි. ඇත්තෙන්ම, ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු නොකිරීම නිසා විගස දඬුවම් නොලැබීම, ප්‍රතිපත්ති බොහොමයක දක්නට තිබෙනවා. අපි යෙහෝවාට කීකරු වෙන්නේ ඇයි කියාත්, අපේ හදවතේ තිබෙන චේතනා මොන වගේද කියාත් හෙළි කිරීමට එමගින් අපට අවස්ථාවක් ලබා දෙනවා. පෝතිඵර්ගේ භාර්යාව කළ නරක යෝජනාව යෝසෙප් ප්‍රතික්ෂේප කිරීමෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. පරදාර සේවනය තහනම් කළ ලිඛිත නීතියක් ඒ වන විට යෙහෝවා දී තිබුණේ නැහැ. ඒ වගේම වෙනත් පුරුෂයෙකුගේ භාර්යාවක් සමඟ අනාචාරයේ හැසිරුණා නම්, එම තැනැත්තාට දිය යුතු දඬුවම දෙවි ඒ වන විට නියම කර තිබුණේද නැහැ. ඒ වුණත්, විවාහයේ විශ්වාසවන්තකම ගැන දෙවි දී තිබූ ප්‍රතිපත්ති යෝසෙප් දැන සිටියා. (උත්පත්ති 2:24; 12:18-20) එම ප්‍රතිපත්ති යෝසෙප් කෙරෙහි මොනතරම් ප්‍රබල බලපෑමක් ඇති කළාද කියා ඔහු පැවසූ මෙම වදන්වලින් අපට තේරුම්ගත හැකියි. “මම මේ මහත් දුෂ්ටකම කර [දෙවිට] විරුද්ධව කෙසේ පව් [කරන්නෙම්ද?]”—උත්පත්ති 39:9.

11. යෙහෝවාගේ ප්‍රතිපත්තිවලින් මඟ පෙන්වීම ලැබීමට ක්‍රිස්තියානීන් කැමති වන ක්ෂේත්‍ර කිහිපයක් නම් කරන්න.

11 ආශ්‍රිතයන් තෝරාගැනීම, විනෝදාස්වාදය, සංගීතය හා කියවීම සඳහා තෝරාගන්නා දේවල් වැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් තීරණ ගනිද්දී අදදින සිටින ක්‍රිස්තියානීන් කැමති වන්නේ යෙහෝවාගේ ප්‍රතිපත්ති මඟ පෙන්වීමක් ලෙස යොදාගැනීමටයි. (1 කොරින්ති 15:33; පිලිප්පි 4:8) යෙහෝවා ගැනත් ඔහුගේ ප්‍රමිති ගැනත් අප සතු දැනුම හා අවබෝධය මෙන්ම අගය වැඩි වන විට, මුහුණ දෙන ඕනෑම තත්වයක් යටතේ, ඕනෑම පෞද්ගලික කාරණයකදී දිව්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමට අපේ හෘදය සාක්ෂියත් හරි වැරැද්ද අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාවත් අපට මහත් උපකාරයක් සපයයි. අපි සැමවිටම බයිබල් ප්‍රතිපත්තිවල මඟ පෙන්වීමට යටත් වෙනවා නම් දෙවිගේ නීතිවලින් ලිස්සා යා හැකි ක්‍රම තිබේදැයි අපි සොයන්නේ නැහැ. ඒ වගේම යම් නීතියක් කඩ කරන්නේ නැතිව තමන් රිසි දෙයක් කොතෙක් දුරට කරන්න පුළුවන්ද කියා අත්හදා බැලීමට තැත් කරන අයව අපි අනුකරණය කරන්නේද නැහැ. එවැනි සිතුවිලි හානිකර බවත්, ඒවායින් කෙරෙන්නේ අපවම රවටාගැනීමක් බවත් අපි තේරුම්ගන්නවා.—යාකොබ් 1:22-25.

12. දිව්‍ය ප්‍රතිපත්තිවල මඟ පෙන්වීමට යටත් වීමට අත්‍යවශ්‍ය දෙය කුමක්ද?

12 දිව්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමට නම් යම් කාරණයක් ගැන යෙහෝවාට හැඟෙන ආකාරය දැනගැනීමට තමන් තුළ කැමැත්තක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය දෙයක් බව මේරූ ක්‍රිස්තියානීන් දනියි. ගීතිකාකරු මෙසේ උපදෙස් දෙනවා. ‘යෙහෝවාට ප්‍රේම කරන්නෙනි, නපුරට වෛර කරන්න.’ (ගීතාවලිය 97:10) නරක දේවල් කියා දෙවි වර්ග කරන දේවල් කිහිපයක් ඇතුළත් ලැයිස්තුවක් හිතෝපදේශ 6:16-19 දක්වා මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා ද්වේෂ කරන කාරණා හයක් තිබේ. එසේය, ඔහුට පිළිකුල් වූ කාරණා සතක් තිබේ. උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය, දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන් වෙන පාදයෝය, මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.’ එවන් මූලික දේවල් ගැන යෙහෝවාට ඇති වන හැඟීම අප තුළත් ඇති කරගැනීමට තිබෙන ආශාවක් මගින් අපේ ජීවිත පාලනය වෙනවා නම් අපි නිතරම කටයුතු කරන්නේ ප්‍රතිපත්තිවලට අනුවයි.—යෙරෙමියා 22:16.

යහපත් චේතනාව වැදගත්

13. යේසුස් ඔහුගේ කන්ද උඩ දේශනාවේදී අවධාරණය කළේ දේවල් ගැන කෙසේ කල්පනා කිරීමටද?

13 ප්‍රතිපත්ති දැන සිටීමෙන් හා ඒවා අදාළ කරගැනීමෙන් සැබෑ හරයක් නොමැති බාහිර ආටෝපයෙන් යුත් නමස්කාරයට හසුවීමේ උගුලෙන් අපට ආරක්ෂා විය හැකියි. ප්‍රතිපත්ති අනුව ජීවත් වීම හා නීති අකුරටම පිළිපැදීම අතර වෙනසක් තිබෙනවා. යේසුස් කන්ද උඩ දේශනාවේදී මෙය හොඳින් පැහැදිලි කළා. (මතෙව් 5:17-48) යේසුස්ගේ දේශනාවට සවන් දී ගෙන සිටියේ යුදෙව්වන් බව අමතක නොකරන්න. එනිසා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් හැඩගැසිය යුතුව තිබුණේ මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවට අනුවයි. නමුත් ඇත්තටම ඔවුන්ට තිබුණේ එම ව්‍යවස්ථාව ගැන විකෘති අදහසක්. ඔවුන් අවධාරණය කළේ එහි සැබෑ අර්ථය නොව, එය අකුරටම පිළිපැදිය යුතු බවයි. දෙවිගේ ඉගැන්වීම්වලට වඩා ඔවුන්ගේ සම්ප්‍රදායන් ඔවුන් ඉස්මතු කර දැක්වුවා. (මතෙව් 12:9-12; 15:1-9) මෙහි ප්‍රතිඵලයක් හැටියට පොදුවේ එම සෙනඟට ප්‍රතිපත්ති මත කල්පනා කිරීමට උගන්වා තිබුණේ නැහැ.

14. ප්‍රතිපත්ති පදනම් කරගෙන සිතීමට යේසුස් ඔහුට සවන් දුන් අයට උපකාර කළේ කෙසේද?

14 මීට වෙනස්ව යේසුස් කන්ද උඩ දේශනාවේදී සදාචාරය හා සම්බන්ධ පැති පහකට අදාළ වන ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. කේන්ති යෑම, විවාහය හා දික්කසාදය, පොරොන්දු, පළිගැනීම සහ ප්‍රේම කිරීම හා වෛර කිරීම එම පැති පහට අයත් වෙයි. මේ හැම කාරණයක් ගැනම කතා කරද්දී යේසුස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කළා. මෙසේ යේසුස් ඔහුගේ අනුගාමිකයන් සඳහා සදාචාර ප්‍රමිතිය වඩාත් ඉහළ තලයක තැබුවා. උදාහරණයක් හැටියට, පරදාර සේවනය සම්බන්ධයෙන් අපේ ක්‍රියාවන් පමණක් නොව අපේ සිතුවිලි හා ආශාවන්ද ආරක්ෂා කරගැනීම ගැන ඔහු මෙසේ ප්‍රතිපත්තියක් දුන්නා. “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවෙලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය [පරදාර සේවනය, NW] කළේය.”—මතෙව් 5:28.

15. නීති අකුරටම පිළිපැදීමට තිබෙන නැඹුරුවාවෙන් අපට වැළකී සිටිය හැක්කේ කෙසේද?

15 එම උදාහරණයෙන් පැහැදිලි වන්නේ අපි කවදාවත් යෙහෝවාගේ ප්‍රතිපත්තිවල අරමුණ හා සැබෑ හරය තේරුම්ගැනීමේ අවශ්‍යතාව සුළු කොට නොතැකිය යුතු බවයි. ඇත්තෙන්ම දේවල් අකුරට පිළිපදිමින් බාහිර වශයෙන් භක්තියක් පෙන්වීමෙන් දෙවිගේ අනුමැතිය දිනාගැනීමට අප වෑයම් නොකළ යුතුයි. යේසුස් දෙවිගේ දයාව හා ප්‍රේමය ගැන කතා කරමින් එවැනි ආකල්පයක් තබාගැනීම වැරදි බව හෙළි කළා. (මතෙව් 12:7; ලූක් 6:1-11) අපි බයිබල් ප්‍රතිපත්ති පිළිපදිනවා නම්, බයිබලයේ උගන්වන දේවල් ඉක්මවා යමින් කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල් ඇතුළත් දැඩි නීති රීති මාලාවකට අනුව ජීවත් වීමට වෑයම් කරන්නේ නැහැ. මෙවැනි දෙයක් කිරීමට අන් අයට බල කර සිටින්නෙත් නැහැ. ඒ වෙනුවට අපි වැඩි අවධානයක් යොමු කරන්නේ අපගේ නමස්කාරයේ බාහිර පෙනුමට වඩා දෙවිට ප්‍රේම කිරීම හා කීකරු වීම හා සම්බන්ධ ප්‍රතිපත්තිවලටයි.—ලූක් 11:42.

ප්‍රීතිමත් ප්‍රතිඵල

16. බයිබලයේ සඳහන් නීති සමහරක් පිටුපස තිබෙන ප්‍රතිපත්තිවලට උදාහරණ දෙන්න.

16 යෙහෝවාගේ නීති පදනම් වන්නේ මූලික ප්‍රතිපත්ති මතයි. අපි ඔහුට කීකරු වීමට දැඩි වෑයමක් දරද්දී එය හොඳින් තේරුම්ගැනීම ඉතාමත් වැදගත්. උදාහරණයක් හැටියට, පිළිම නමස්කාරයෙන්ද, ලිංගික දුරාචාරයෙන්ද, රුධිරය අනිසි භාවිතයෙන්ද ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතුයි. (ක්‍රියා 15:28, 29) මත වාදවලට ලක් වී තිබෙන මේ කාරණා සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ගේ ස්ථාවරය පදනම් වන්නේ කුමක් මතද? දෙවි අපේ තනි භක්තිය ලැබීමට වටිනවා. අපේ කලත්‍රයාට අපි විශ්වාසවන්ත විය යුතුයි. ජීවිතය දී තිබෙන්නේ යෙහෝවායි. (උත්පත්ති 2:24; නික්මයාම 20:5; ගීතාවලිය 36:9) මෙම මූලික ප්‍රතිපත්ති තේරුම්ගන්නවා නම් ඒවා මත පදනම් වී තිබෙන නීති පිළිගැනීමත් පිළිපැදීමත් වඩාත් පහසු දෙයක් බවට පත් වෙයි.

17. බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගෙන, ඒවා අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 අපි මූලික ප්‍රතිපත්ති තේරුම්ගනිමින් අදාළ කරගන්න විට, ඒවා අපේ යහපතට හේතු වන බව අපට වැටහෙනවා. දෙවිගේ සෙනඟ ආත්මිකව අද්දකින ආශීර්වාද හේතුවෙන් ප්‍රායෝගික පැතිවලින් නොයෙකුත් ප්‍රයෝජන ලබන බව පැහැදිලියි. උදාහරණයක් හැටියට, දුම්පානයෙන් වැළකී සිටින අය, සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන අය හා රුධිරයේ පරිශුද්ධභාවයට ගරු කරන අය ඇතැම් රෝගවලට ගොදුරු වන්නේ නැහැ. ඒ හා සමානව දෙවිගේ වචනයෙන් අපි ඉගෙනගෙන තිබෙන සත්‍යයට එකඟව ජීවත් වන විට ආර්ථිකමය වශයෙන්ද, සාමාජීය වශයෙන්ද, පවුල් ජීවිතය තුළද ප්‍රයෝජන භුක්ති විඳින්න පුළුවන්. පැහැදිලිව දැකගත හැකි මෙවැනි ප්‍රයෝජනවලින් තහවුරු වන්නේ යෙහෝවාගේ ප්‍රමිති ප්‍රායෝගික බවත් ඇත්තෙන්ම වටිනා බවත්ය. නමුත් දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට පොලඹවන ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රායෝගිකව ඒවායින් ලැබෙන ප්‍රයෝජන නොවෙයි. සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවාට කීකරු වන්නේ ඔවුන් ඔහුට ප්‍රේම කරන නිසායි. ඔහු නමස්කාරය ලැබීමට වටින නිසායි. කිරීමට තිබෙන හරි දෙය එය නිසායි.—එළිදරව් 4:11.

18. ක්‍රිස්තියානීන් වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කරන්න කැමති නම්, අපේ ජීවිතයට මඟ පෙන්වීම ලැබිය යුත්තේ කුමකින්ද?

18 අපි බයිබල් ප්‍රතිපත්තිවලින් මඟ පෙන්වීම ලබනවා නම්, වඩා යහපත් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව නිසැකයි. මෙමගින් අන් අයවද දෙවි පෙන්වා තිබෙන සත්‍යය මාර්ගයට ආකර්ෂණය කළ හැකියි. වඩාත්ම වැදගත් දෙය වන්නේ අප ගත කරන ජීවිතය මගින් යෙහෝවාව ගෞරවයට පත් කිරීමයි. ඇත්තෙන්ම යෙහෝවා ප්‍රේමනීය මෙන්ම අපේ ජීවිතයේ උපරිම ශුභසිද්ධිය අපට සලසා දීමට කැමැත්තෙන් සිටින දෙවි කෙනෙකු බව අපි තේරුම්ගන්නෙමු. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව අපි ගනු ලබන තීරණවලට යෙහෝවා ආශීර්වාද කරන ආකාරය දකින විට අපට දැනෙන්නේ අපි ඔහුට තව තවත් ළං වෙන බවයි. අපේ ස්වර්ගික පියා සමඟ තිබෙන අපේ ප්‍රේමනීය සබඳතාව එමගින් තව තවත් ශක්තිමත් වෙයි.

ඔබට මතකද?

• ප්‍රතිපත්තියක් කියන්නේ කුමකටද?

• ප්‍රතිපත්ති නීතිවලින් වෙනස් වන්නේ කෙසේද?

• ප්‍රතිපත්ති පදනම් කරගෙන කල්පනා කර කටයුතු කිරීම අපට ප්‍රයෝජනදායක වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ කොටුව]

තව දවස් කිහිපයකින් තමාව රැකියාවෙන් ඉවත් කරන බව සඳහන් කර තිබූ ලිපියක් ඝානාවේ සිටින ක්‍රිස්තියානියෙකු වන විල්සන්ට ලැබුණා. ඔහු එම සමාගමේ වැඩ කළ අවසාන දවසේදී, එහි කලමනාකරණ අධ්‍යක්ෂකගේ පෞද්ගලික මෝටර් රථය සේදීමේ කාර්යය ඔහුට පැවරුවා. මෝටර් රථය සෝදන අතරතුරේදී විල්සන්ට එහි තිබූ මුදල් වගයක් සම්බ වුණා. ඔහුගේ වැඩ බැලූ නිලධාරියාට ඔහු ඒ බව පැවසූ අවස්ථාවේදී ඒ තැනැත්තා ඔහුට කිව්වේ, ඔහුව රැකියාවෙන් ඉවත් කරන්න යන නිසා දෙවි ඔහුට ඒ මුදල් ලබා දී තිබෙනවා කියායි. කොහොමවුණත්, අවංකකම හා සම්බන්ධ බයිබල් ප්‍රතිපත්ති අනුව කටයුතු කළ විල්සන් ඒ මුදල් අධ්‍යක්ෂකට ආපසු ලබා දුන්නා. පුදුමයට පත් වුණ අධ්‍යක්ෂකවරයා විල්සන්ගේ අවංකකම අගය කරමින් ඒ වේලාවේම ඔහුගේ රැකියාව ස්ථිර කළා. ඒ විතරක් නොවෙයි. එම සමාගමේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස ඔහුට උසස් වීමක්ද ලබා දුන්නා.—එපීස 4:28.

[21වන පිටුවේ කොටුව]

රුචියා 60ගණන්වල පසු වන ඇල්බේනියානු කාන්තාවක්. පවුලේ අය අතර තිබූ යම් මතභේදයක් නිසා ඇය අවුරුදු 17ක් තිස්සේ ඇගේ අයියා එක්ක කතා කළේ නැහැ. පසු කලක ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. සැබෑ ක්‍රිස්තියානීන් අමනාපය සිතේ තබාගන්නේ නැතුව අනිත් අයත් එක්ක සමාදානයෙන් සිටිය යුතුයි කියා ඇය බයිබල් පාඩමේදී ඉගෙනගත්තා. එදා මුළු රාත්‍රියේම ඇය යාච්ඤා කළා. පසුවදා ඇය අමනාපයෙන් සිටි ඇගේ සහෝදරයාගේ නිවසට ගිය විට ඇගේ හදවත ගැහෙමින් තිබුණා. ඇය දොරට තට්ටු කළ විට දොර ඇරියේ ඇගේ නෑනායි. පුදුමයට පත් ඇය රුචියාගෙන් මෙසේ ඇසුවා. “කවුද මැරුණේ? ඔයා මෙතැන මොකද කරන්නේ?” තමාගේ සහෝදරයාව හමු වෙන්න පුළුවන්ද කියා රුචියා ඇගෙන් ඇසුවා. බයිබල් ප්‍රතිපත්ති ගැනත් යෙහෝවා ගැනත් තමා ඉගෙනගත් දේවල්, තමාගේ සහෝදරයා සමඟ සමාදාන වෙන්න තමන්ව පෙලඹුවා කියා ඇය සන්සුන්ව පැහැදිලි කළා. ඔවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු ගලා ආ අතර, මේ විශේෂ අවස්ථාව ඔවුන් සැමරුවේ එකිනෙකාව සිප වැලඳගැනීමෙනුයි.—රෝම 12:17, 18.

[23වන පිටුවේ පින්තූරය]

මතෙව් 5:27, 28

[23වන පිටුවේ පින්තූරය]

මතෙව් 5:3, NW

[23වන පිටුවේ පින්තූරය]

මතෙව් 5:24

[23වන පිටුවේ පින්තූරය]

‘ඔහු සමූහයන් දැක කන්දට නැගුණේය. ඔහු හිඳගත් කල්හි ඔහුගේ ගෝලයෝ ඔහු වෙතට ආවෝය. එවිට ඔහු මුඛය හැර ඔවුන්ට උගන්වන්න පටන්ගත්තේය.’—මතෙව් 5:1, 2