Skip to content

පටුනට යන්න

දෙවිගේ නීති අපට ප්‍රයෝජන ගෙන දෙයි

දෙවිගේ නීති අපට ප්‍රයෝජන ගෙන දෙයි

දෙවිගේ නීති අපට ප්‍රයෝජන ගෙන දෙයි

“ඔබගේ ව්‍යවස්ථාවට [නීතියට] මම කොපමණ ප්‍රේම කරම්ද!”—ගීතාවලිය 119:97.

1. දෙවිගේ නීතිවලට කීකරු වීම ගැන බහුතරයකගේ ආකල්පය කුමක්ද?

 අද සිටින හුඟදෙනෙක් දෙවිගේ නීතිවලට කීකරු වෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නොපෙනෙන බලවත් කෙනෙකුගේ උපදෙස් පිළිගැනීම හෝ ඔහු කැමති දේවල් කිරීම, වැඩිදෙනෙක් සලකන්නේ කිසිම තේරුමක් නැති දෙයක් ලෙසයි. අද අපි ජීවත් වෙන්නේ හරි වැරැද්ද අතර වෙනස දක්වන පැහැදිලි සීමා මායිම් හරිහැටි හඳුනාගත නොහැකි, සදාචාර ප්‍රමිති පිළිබඳව වෙනස් මතිමතාන්තර බහුල යුගයකයි. (හිතෝපදේශ 17:15; යෙසායා 5:20) “අමෙරිකානුවන් බහුතරයක් කැමති වන්නේ හරි හෝ හොඳ හෝ වැදගත් හෝ දෙය කුමක්ද කියා තමන් විසින්ම තීරණය කිරීමටයි” කියා මෑතකදී කළ ජනමත විමසුමකදී අනාවරණය වුණා. ලෞකිකත්වයේ ආධිපත්‍යයට යට වී තිබෙන බොහෝ සමාජවල දක්නට තිබෙන්නේ එවන් සිතුවිලි පිළිබිඹු කරන තත්වයකි. ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ “ඕනෑම දෙයකට ඉඩ දෙන දෙවි කෙනෙකුටයි. දැඩි නීති රීති නැති තත්වයකටයි. සදාචාරය හෝ වෙනත් කාරණා ගැන ස්ථිර, ප්‍රබල මත දරන පුද්ගලයන් නොමැති සමාජයකටයි.” අද සිටින “පුද්ගලයන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ දැහැමි හා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීම යනුවෙන් අදහස් කරන දෙය තමන් විසින්ම තීරණය කිරීමයි” කියා සමාජ විශ්ලේෂකයෙකු අදහස් පළ කළා. ඔහු තවදුරටත් මෙසේ කියා සිටියා. “යම් ඉහළ බලතල හොබවන ඕනෑම කෙනෙක් සිටිනවා නම්, ඔහු විසින් පනවන නියෝග මිනිසුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සකස් වී තිබිය යුතුයි.”

2. බයිබලයේ මුලින්ම සඳහන් වී ඇති නීතිය යන වදනත් දෙවිගේ ආශීර්වාද හා අනුමැතිය අතරත් සමීප සබඳතාවක් තිබෙන්නේ කෙසේද?

2 බොහෝදෙනෙක් යෙහෝවාගේ නීතිවල තිබෙන වටිනාකම ගැන ප්‍රශ්න කරන නිසා දෙවිගේ ප්‍රමිති අපගේම ප්‍රයෝජනය සඳහා බවට වූ අපේ විශ්වාසය තව තවත් තහවුරු කරගැනීම අවශ්‍යයි. බයිබලයේ නීතිය ගැන මුලින්ම සඳහන් කර තිබෙන වාර්තාව ගැන ටිකක් සලකා බලමු. උත්පත්ති 26:4හි අපට දෙවි පවසන දේ සම්බන්ධයෙන් මෙසේ කියවීමට තිබෙනවා. ‘ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාවද [නීතිද, NW] පැවැත්තුවේය.’ මෙම වදන් පවසනු ලැබුවේ යෙහෝවා විසින් ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට සවිස්තරාත්මක නීති මාලාවක් දීමට සියවස් ගණනාවකට කලිනුයි. ආබ්‍රහම් දෙවිගේ නීතිවලට කීකරු වුණා. ඔහුගේ කීකරුකමට දෙවි ආශීර්වාද කළේ කෙසේද? “නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය” කියා යෙහෝවා දෙවි ඔහුට පොරොන්දු වුණා. (උත්පත්ති 22:18) මෙයින් පැහැදිලි වන්නේ දෙවිගේ නීතිවලට කීකරු වීම හා දෙවිගේ ආශීර්වාද මෙන්ම අනුමැතිය ලැබීම අතර සමීප සබඳතාවක් තිබෙන බවයි.

3. (අ) යෙහෝවාගේ නීති ගැන එක්තරා ගීතිකාකරුවෙකුට ඇති වූ හැඟීම කුමක්ද? (ආ) අප සලකා බැලීමට වටින්නේ කිනම් ප්‍රශ්නද?

3 අනාගතයේ යූදාහි රජකම හිමිවීමට තිබූ රාජ කුමාරයෙක් ගීතාවලියේ එක් ගීතයක් රචනා කළ බව පෙනෙන්න තිබෙනවා. සාමාන්‍යයෙන් නීති ගැන බොහෝදෙනෙකුට ඇති නොවන හැඟීමක් මොහු තුළ ඇති වුණා. ඔහු හැඟීමෙන් යුතුව දෙවිට මෙසේ පැවසුවා. “ඔබගේ ව්‍යවස්ථාවට [නීතිවලට, NW] මම කොපමණ ප්‍රේම කරම්ද!” (ගීතාවලිය 119:97, අකුරු ඇල කළේ අපය.) මෙය හදිසියේ පහළ වූ හැඟීමක් නොවෙයි. දෙවිගේ නීතිවල සඳහන්ව ඇති දේවකැමැත්ත සඳහා ඔහුගේ ඇල්මේ ප්‍රකාශයක් ලෙස එය සැලකිය හැකියි. දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ටද ඒ හා සමාන හැඟීම් තිබුණා. යේසුස් මෙසේ පවසන බවට අනාවැකියක් ලෙස විස්තර කර තිබුණේ මෙසේය. “මාගේ [දෙවියනි], ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි. එසේය, ඔබගේ ව්‍යවස්ථාව [නීතිය NW] මාගේ සිත තුළෙහිය.” (ගීතාවලිය 40:8; හෙබ්‍රෙව් 10:9) අප ගැන කුමක් කිව හැකිද? දෙවිගේ කැමැත්ත කරන්න අපත් ප්‍රිය වෙනවාද? යෙහෝවාගේ නීතිවල වටිනාකම හා ප්‍රයෝජන අපට සහමුලින්ම ඒත්තුගොස් තිබෙනවාද? අපේ නමස්කාරයේදී, අපේ දෛනික ජීවිතයේදී, අප තීරණ ගන්නා විට, අන් අය සමඟ පවත්වන සබඳතාවලදී දෙවිගේ නීතිවලට කීකරු වීමට හිමි වන තැන ගැන කුමක් කිව හැකිද? දෙවිගේ නීතිවලට ප්‍රේම කරන්න නම්, නීති සම්පාදනය කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් දෙවිට අයිතියක් තිබෙන බවට හේතු අප හොඳින් වටහාගත යුතුයි.

යෙහෝවා—නීති පැනවීමට අයිතියක් ඇති තැනැත්තා

4. නීති පැනවීමට අයිතියක් තිබෙන එකම තැනැත්තා යෙහෝවා වන්නේ මන්ද?

4 මැවුම්කරු හැටියට මුළු විශ්වයටම බල පැවැත්වෙන පරිදි නීති පනවන්න අයිතියක් තිබෙන එකම තැනැත්තා යෙහෝවායි. (එළිදරව් 4:11) ‘යෙහෝවා අපේ නීති දායකයාය’ කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවා. (යෙසායා 33:22) ජීවි සහ අජීවි මැවිලි පාලනය කෙරෙන භෞතික නීති නියම කළේ ඔහුයි. (යෝබ් 38:4-38; 39:1-12; ගීතාවලිය 104:5-19) දෙවිගේ මැවිල්ලක් හැටියට මිනිසාට යෙහෝවාගේ භෞතික නීතිවලට යටත් වීමට සිදු වේ. මිනිසාට හරි වැරැද්ද සම්බන්ධයෙන් තම අභිමතය පරිදි නිදහසේ තීරණ ගැනීමට අයිතියක් තිබුණත්, ඔහුට සන්තෝෂයෙන් සිටිය හැක්කේ දෙවි සදාචාරය සහ නමස්කාරය සම්බන්ධයෙන් දී තිබෙන නීතිවලට යටත්ව සිටිනවා නම් පමණයි.—රෝම 12:1; 1 කොරින්ති 2:14-16.

5. දෙවිගේ නීති සම්බන්ධයෙන් ගලාති 6:7හි සඳහන් ප්‍රතිපත්තිය සැබෑ වන්නේ කෙසේද?

5 යෙහෝවාගේ භෞතික නීති කඩ කළ නොහැකි බව අපි දන්නවා. (යෙරෙමියා 33:20, 21) පුද්ගලයෙක් ගුරුත්වාකර්ෂණය වැනි ඇතැම් භෞතික නීති කඩ කළොත් ඔහුට එහි ඵල විපාකවලට මුහුණ දීමට සිදු වෙනවා. එසේම දෙවිගේ සදාචාර නීතිද වෙනස් කළ නොහැකියි. සූක්ෂ්ම ලෙස ඒවායින් රිංගා යෑමටද හැකි වන්නේ නැහැ. ඒවා කඩ කළොත් අනිවාර්යෙන්ම දඬුවම් විඳීමට සිදු වෙයි. ප්‍රතිඵල විගස දැකිය නොහැකි වුවත්, සොබාදහම හා බැඳි ඔහුගේ නීති මෙන් සදාචාර නීතිද නිත්‍යයි. “[දෙවිට] සරදම් කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය.”—ගලාති 6:7; 1 තිමෝති 5:24.

යෙහෝවාගේ නීතිවල පරාසය

6. දෙවිගේ නීති කොතරම් පුළුල්ද?

6 දෙවිගේ නීති පිළිබඳව තිබෙන හොඳම උදාහරණය මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවයි. (රෝම 7:12) පසු කාලයක යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් ව්‍යවස්ථාවට හිමිව තිබූ තැන ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට’ ලබා දුන්නා. a (ගලාති 6:2; 1 කොරින්ති 9:21) දෙවි ඔහුගේ නියෝග මූලික විශ්වාසයන් ලෙස හෝ පිළිපැදිය යුතු යම් පිළිවෙත් ලෙස අපේ ජීවිතයේ ඇතැම් අංගවලට පමණක් සීමා නොකරයි. “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව” යටතේ සිටින ක්‍රිස්තියානීන් වශයෙන් අප ඒ බව වටහාගෙන සිටිනවා. දෙවිගේ ප්‍රමිති පවුලේ කටයුතු, ව්‍යාපාරික ගනු දෙනු, විරුද්ධ ලිංගයේ අය ඉදිරියෙහි හැසිරෙන ආකාරය, සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි දක්වන ආකල්ප හා සැබෑ නමස්කාරයෙහි හවුල් වීම ඇතුළු ජීවිතයේ සෑම කාරණයකටම අදාළ වෙයි.—යාකොබ් 1:25, 27.

7. වැදගත් දිව්‍ය නීතිවලට උදාහරණ සපයන්න.

7 උදාහරණයක් හැටියට බයිබලයෙහි සඳහන් මේ දෙය සැලකිල්ලට ගන්න. “වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් [පරදාර සේවනය කරන්නෝවත්, NW] ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් [දෙවිගේ] රාජ්‍යය උරුම කර නොගන්නෝය.” (1 කොරින්ති 6:9, 10) පරදාර සේවනය සහ වේශ්‍යාකම කියන්නේ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ඇති කරගන්න “පුංචි ප්‍රේම සම්බන්ධයක්” නොවෙයි. සමලිංගික සේවනය කියන්නේ නිකම්ම “විකල්ප ජීවන රටාවක්” නොවෙයි. මේ දේවල් කිරීමෙන් සිදු වන්නේ යෙහෝවාගේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමකි. සොරකම් කිරීම, බොරු කීම හා අපහාස කිරීම යන දේවල් සම්බන්ධයෙන්ද එය සත්‍යයක්. (ගීතාවලිය 101:5; කොලොස්සි 3:9; 1 පේතෘස් 4:15) යාකොබ් පාරට්ටු කරගැනීම හෙළා දුටු අතර, මෝඩ කතාවලින් හා නීච කවටකම්වලින් වැළකී සිටින්න කියා පාවුල්ද අපට උපදෙස් දුන්නා. (එපීස 5:4; යාකොබ් 4:16) ක්‍රිස්තියානීන්ට දී තිබෙන හැසිරීම හා සම්බන්ධ මේ සියලුම රීති දෙවිගේ සම්පූර්ණ ව්‍යවස්ථාවට අයත් වෙයි.—ගීතාවලිය 19:7.

8. (අ) යෙහෝවාගේ නීතිවල ස්වභාවය කුමක්ද? (ආ) “ව්‍යවස්ථාව” නොහොත් නීති යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයේ මූලික අර්ථය කුමක්ද?

8 යෙහෝවාගේ වචනයෙහි සඳහන් එවන් මූලික රෙගුලාසිවලින් පැහැදිලි වන්නේ ඔහුගේ නීති, හුදෙක් නීතිගත කර තිබෙන දැඩි ව්‍යවස්ථා මාලාවකට වඩා වැඩි යමක් බවයි. තමන් කරන සෑම දෙයකින්ම යහපත් ප්‍රතිඵල අත් කරගත හැකි සමබර යහපත් දිවි පෙවතකට පදනම දෙවිගේ නීති මගින් සපයයි. දෙවිගේ නීති මිනිසාව ගොඩනඟයි. සදාචාර සම්පන්න ජීවිතයකට මඟ සලසයි. දැනුම හා අවබෝධය ලබා දෙයි. (ගීතාවලිය 119:72) “ව්‍යවස්ථාව” නොහොත් නීති ලෙස ගීතිකාකරු යොදාගත් වචනය පරිවර්තනය කර තිබෙන්නේ ටෝරා නමැති හෙබ්‍රෙව් වචනයෙනි. මේ වචනය ගැන බයිබල් විශාරදයෙකු මෙසේ පවසයි. “මෙම වචනය සෑදී තිබෙන ක්‍රියා පදයෙන් අදහස් වන්නේ මෙහෙයවීම, මඟ පෙන්වීම, ඉලක්කයක් වෙතට එල්ල කිරීම හෝ ඉදිරියට යොමු කිරීමයි. මේ අනුව එයින් අදහස් වන්නේ යමක් කරන ආකාරය හැසිරවීමයි.” දෙවිගේ නීති ගීතිකාකරු සැලකුවේ තමන්ට ලැබුණු තෑග්ගක් ලෙසයි. අපත් ඒවා උතුම් කොට සැලකිය යුතු නැද්ද? අප ජීවත් වෙන ආකාරය හැඩගැස්වීමට දෙවිගේ නීතිවලට ඉඩහැරීමෙන් ඒ බව පෙන්වමු.

9, 10. (අ) රඳා පැවතිය හැකි මඟ පෙන්වීම් අපට අවශ්‍ය ඇයි? (ආ) අපට සන්තෝෂවත් සාර්ථක ජීවිතයක් ගත කළ හැක්කේ කුමක් කිරීමෙන් පමණක්ද?

9 රඳා පැවතිය හැකි උපදෙස් හා විශ්වාසදායක මඟ පෙන්වීම් සියලුම මැවිලිවලට අවශ්‍යයි. මෙය මිනිසුන්ට වඩා උසස් යේසුස් හා අනිකුත් දේවදූතයන් සම්බන්ධයෙන්ද සත්‍යයක්. (ගීතාවලිය 8:5; යොහන් 5:30; 6:38; හෙබ්‍රෙව් 2:7; එළිදරව් 22:8, 9) මේ පරිපූර්ණ මැවිලිවලට දෙවිගේ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගත හැකි නම්, අසම්පූර්ණ මිනිසුන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් වෙයිද! යෙරෙමියාගේ මෙම වදන්වල සත්‍යතාව මිනිස් ඉතිහාසය මගින්ද, අපේම අද්දැකීම්වලින්ද තහවුරු වී තිබෙනවා. “[යෙහෝවා] මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.”—යෙරෙමියා 10:23.

10 සන්තෝෂවත්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අප කැමති නම් දෙවිගේ මඟ පෙන්වීම් දෙස බැලිය යුතුයි. දෙවිගේ මඟ පෙන්වීම්වලින් බැහැරව තමන් විසින්ම නියම කරගත් ප්‍රමිති අනුව ජීවත් වීමේ තිබෙන අනතුර තේරුම්ගත් සාලමොන් රජ මෙසේ පැවසුවා. “මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.”—හිතෝපදේශ 14:12.

යෙහෝවාගේ නීතිවලට ඇලුම් කළ යුතු වීමට හේතු

11. දෙවිගේ නීති තේරුම්ගැනීමට අප ආශා විය යුත්තේ මන්ද?

11 යෙහෝවාගේ නීති තේරුම්ගැනීමට දැඩි ආශාවක් අප ඇති කරගන්නේ නම් අපට භුක්ති විඳිය හැකි ප්‍රයෝජන බොහෝය. එවැනි ආශාවක් ගීතිකාකරු තුළ තිබූ බව ඔහුගේ මෙම වදන්වලින් පැහැදිලියි. “ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.” (ගීතාවලිය 119:18) දෙවි ගැනත් ඔහුගේ මාර්ග ගැනත් අප වැඩි වැඩියෙන් ඉගෙනගන්නා විට යෙසායා පැවසූ මෙම වදන්වල සත්‍යතාව කෙරෙහි අපේ අගය තව තවත් වැඩි වෙනවාට සැකයක් නැහැ. ‘ප්‍රයෝජන ලබාගැනීමට ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු මාර්ගයෙහි ඔබ ගෙනයන්නෙත් ඔබේ දෙවි වූ යෙහෝවා වන මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්!’ (යෙසායා 48:17, 18) යෙහෝවාගේ අවංක ආශාව වන්නේ තමන්ට නමස්කාර කරන අය අනතුරුවලින් වැළකී, තමාගේ ආඥාවලට ඇහුම්කන් දෙමින් සන්තෝෂවත් ජීවිතයක් ගත කරනවා දැකීමයි. අප දෙවිගේ නීතිවලට ඇලුම් කළ යුතු වීමට ප්‍රධාන හේතු කිහිපයක් පරීක්ෂා කර බලමු.

12. අප ගැන හොඳින්ම දන්න තැනැත්තා යෙහෝවා නිසා ඔහු හොඳම නීති දායකයා කියා පැවසිය හැක්කේ කෙසේද?

12 දිව්‍ය නීතිවල උල්පත වන්නේ අප ගැන හොඳින්ම දන්නා තැනැත්තායි. යෙහෝවා අපේ මැවුම්කරු නිසා මිනිසා ගැන ඔහු තරම් හොඳින් දන්න වෙන කිසිවෙකු නැත කියා පැවසීම තර්කානුකූලයි. (ගීතාවලිය 139:1, 2; ක්‍රියා 17:24-28) අප ගැන යෙහෝවා දන්න තරම් අපේ කිට්ටුම මිතුරන්, නෑදෑයන් හා දෙමාපියන් පවා දන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, අප ගැන අප දන්නවාටත් වඩා වැඩියෙන් දෙවි දන්නවා! අපේ ආත්මික, චිත්තවේගීය, මානසික හා ශාරීරික අවශ්‍යතා ගැන වෙන කිසිවෙකුට නොමැති අවබෝධයක් අපේ මැවුම්කරුට තිබෙනවා. අපේ සැකැස්ම, අපේ ආශාවන්, අපේ අභිලාෂයන් පිළිබඳ මනා තීක්ෂ්ණ බුද්ධියකින් යුතුවයි ඔහු අප දෙස බලන්නේ. යෙහෝවා අපේ සීමාවන් තේරුම්ගනියි. එනමුත් යහපත් දේවල් කිරීමට අපට හැකි බව ඔහු දනියි. මේ ගැන ගීතිකාකරු මෙසේ පවසයි. ‘ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.’ (ගීතාවලිය 103:14) මේ නිසා අපි ඔහුගේ නීතිවලට අනුකූලව ජීවත් වෙමින් ඔහු සපයන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙනවා නම් අපි ආත්මිකව සුරක්ෂිතව සිටින බව අපට දැනෙයි.—හිතෝපදේශ 3:19-26.

13. අපේ ශුභසිද්ධිය ගැන යෙහෝවා අවංක සැලකිල්ලක් දක්වනවා කියා අපට නිසැක විය හැක්කේ මන්ද?

13 දිව්‍ය නීති සකස් කර තිබෙන්නේ අපට ප්‍රේම කරන තැනැත්තා විසිනුයි. අපේ සදාකාලික ශුභසිද්ධිය ගැන දෙවි මහත් සැලකිල්ලක් දක්වනවා. තමාගේ පුත්‍රයාව “බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට” ඔහු අපට දුන්නේ මහත් කැප කිරීමක් කර නොවේද? (මතෙව් 20:28) ‘අපේ පුළුවන්කමට වඩා අපව පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදෙන බවට’ යෙහෝවා පොරොන්දු වී තිබෙනවා නොවේද? (1 කොරින්ති 10:13) ඔහු ‘අප ගැන සලකන’ බවට බයිබලය අපට සහතික කර නැද්ද? (1 පේතෘස් 5:7) මිනිසුන්ට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් සැපයීම සම්බන්ධයෙන් යෙහෝවා තරම් ප්‍රේමනීය සැලකිල්ලක් වෙන කිසිම කෙනෙක් පෙන්වා නැහැ. අපේ යහපතට අවශ්‍ය කරන්නේ මොනවාද, අපව සතුටට හා දුකට පත් කරන්නේ මොනවාද කියා ඔහු දන්නවා. අපි අසම්පූර්ණයි. අපි අතින් වැරදි සිදු වෙනවා. ඒ වුණත් අපි දිගටම ධර්මිෂ්ඨකම ලුහුබඳිනවා නම් ඔහු අපිට ප්‍රේම කරනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට අපට ජීවනය හා ආශීර්වාද භුක්ති විඳිය හැකියි.—එසකියෙල් 33:11.

14. දෙවිගේ නීති මිනිසුන්ගේ අදහස්වලින් වෙනස් වන වැදගත් ආකාරයක් විස්තර කරන්න.

14 දෙවිගේ නීති කෙදිනකවත් වෙනස් නොවන බව ස්ථිරයි. අප ජීවත් වන මේ කැලඹිලි සහිත කාලයේදී සදාකාලයෙන් සදාකාලයටම ජීවමානව සිටින යෙහෝවා පර්වතයක් මෙන් නොසැලී ස්ථිරව සිටියි. (ගීතාවලිය 90:2) යෙහෝවා ඔහු ගැන මෙසේ පවසා තිබෙනවා. “[යෙහෝවා] වන මම වෙනස් නොවෙමි.” (මලාකී 3:6) බයිබලයේ සඳහන් දෙවිගේ ප්‍රමිති මත කිසිම සැකයකින් තොරව රඳා සිටිය හැකියි. නිරතුරුවම වෙනස්කම්වලට ලක් වන මිනිසුන්ගේ අදහස් මෙන් නොව, ඒවා ස්ථිරයි. (යාකොබ් 1:17) උදාහරණයක් හැටියට, අවුරුදු ගණනාවක සිට මනෝවිද්‍යාඥයන් දරුවන් ඇති දැඩි කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි කියන අදහසට අනුබල දෙනු ලැබුවා. නමුත් පසු කලෙක තමන්ගේ එම අදහස වෙනස් කරගත් ඇතැම් මනෝවිද්‍යාඥයන් තමන් දුන් උපදේශයෙහි අඩු පාඩු තිබූ බව පිළිගත්තා. මේ කාරණය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමිති හා මඟ පෙන්වීම් මුහුදේ දරුණු කුණාටුවකට ගොදුරු වූ බෝට්ටුවක් මෙන් ඒ මේ අතට වැනෙයි. කෙසේවෙතත්, යෙහෝවාගේ වචනය කවදාවත් වැනෙන්නේ නැහැ. එය ස්ථිරයි. දරුවන්ව ආදරයෙන් ඇති දැඩි කරන ආකාරය ගැන සියවස් ගණනාවක සිට බයිබලය උපදෙස් සපයා තිබෙනවා. මේ ගැන ප්‍රේරිත පාවුල් මෙසේ ලීවා. “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති කරන්න.” (එපීස 6:4) කිසිදා වෙනස් නොවන යෙහෝවාගේ ප්‍රමිති මත අපට විශ්වාසය තැබිය හැකි බව දැනගන්න ලැබීම අපට මොනතරම් අස්වැසිල්ලක්ද!

දෙවිගේ නීතිවලට කීකරු වන අය ලබන ආශීර්වාද

15, 16. (අ) යෙහෝවාගේ ප්‍රමිති අප අදාළ කරගත්තොත් එහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද? (ආ) දෙවිගේ නීති විවාහය සම්බන්ධයෙන් විශ්වාසදායක මඟ පෙන්වීමක් වන්නේ කෙසේද?

15 දෙවි ඔහුගේ අනාගතවක්තෘවරයෙකු වූ යෙසායා මාර්ගයෙන් මෙසේ පැවසුවා. “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනය . . . මා නියම කළ කාරණය සඵල කරනවා ඇත.” (යෙසායා 55:11) දෙවිගේ වචනයෙහි සඳහන් ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වීමට අප අවංක වෑයමක් දරන්නේ නම්, අප සාර්ථකත්වය අද්දකිමින් සන්තෝෂය භුක්ති විඳිනවාට කිසිම සැකයක් නැහැ.

16 දෙවිගේ නීති සාර්ථක විවාහයකට විශ්වාසවන්ත මඟ පෙන්වීමක් සපයන ආකාරය සලකා බලන්න. විවාහය සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලිව්වා. “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා. මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද [දෙවි] විනිශ්චය [කරන්නේය].” (හෙබ්‍රෙව් 13:4) ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට ගෞරව කරමින් ප්‍රේම කළ යුතුයි. “නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේම කරන්න. භාර්යාවද පුරුෂයාට භයපක්ෂව [ගැඹුරු ගෞරවයෙන් යුක්තව, NW] සිටින්ට බලාගනීවා.” (එපීස 5:33) අවශ්‍ය කරනු ලබන්නේ කුමන ආකාරයේ ප්‍රේමයක්ද යන්න ගැන 1 කොරින්ති 13:4-8 දක්වා මෙසේ විස්තර කර තිබෙනවා. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යා වෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වෙන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝප වෙන්නේ නැත, නපුර ගණන් ගන්නේ නැත; අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීති වන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාස කරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැත.” මේ ආකාරයේ ප්‍රේමයක් දැකිය හැකි විවාහයක් කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ.

17. මත්පැන් පානය සම්බන්ධයෙන් යෙහෝවා දී තිබෙන ප්‍රමිති පිළිපැදීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?

17 දෙවිගේ වචනයේ බේබදුකම හෙළා දැක තිබෙනවා. මෙය යෙහෝවාගේ ප්‍රමිති අපේම ප්‍රයෝජනය සඳහා බවට තිබෙන තවත් සාක්ෂියක්. ‘යමෙක් බොහෝ මුද්‍රිකපානයට ඇලුම් වීම’ පවා ඔහු අනුමත කරන්නේ නැහැ. (1 තිමෝති 3:3, 8; රෝම 13:13) මේ සම්බන්ධයෙන් තිබෙන දෙවිගේ ප්‍රමිති නොසලකා හරින බොහෝදෙනෙක් නොයෙක් රෝගවලට ගොදුරු වෙනවා. සමහරවිට ඇතැම් රෝග තත්වයන් තවත් උග්‍රවීමට හේතු වී තිබෙන්නේ අධික ලෙස මත්පැන් පානය කිරීමයි. පමණ දැන කටයුතු කරන්න කියා බයිබලයේ දී තිබෙන උපදේශය ගණන් නොගන්න සමහරුන් “ඇඟ පතේ වෙහෙස නිවාගැනීමට” යයි කියමින් අධික ලෙස මත්පැන් පානය කිරීමේ පුරුද්දට වැටී තිබෙනවා. පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම නිසා ගැටලු බොහොමයකට මුහුණ පෑමට සිදු වෙනවා. ඒවා අතර, තමන්ගේ ගෞරවය නැතිවීම, පවුලේ අය සමඟ තිබෙන සබඳතාවලට හානිවීම, පවුල් කැඩී බිඳී යෑම, මුදල් නාස්ති වීම හා රැකියාව අහිමි වීම සඳහන් කරන්න පුළුවන්. (හිතෝපදේශ 23:19-21, 29-35) මත්පැන් පානය සම්බන්ධයෙන් යෙහෝවා දී තිබෙන ප්‍රමිති පිළිපැදීම ආරක්ෂාවක් නොවේද?

18. මුදල් සම්බන්ධ කාරණාවලදී දෙවිගේ නීති ප්‍රායෝගිකද? පැහැදිලි කරන්න.

18 මුදල් හා සම්බන්ධ කාරණාවලදීද දෙවිගේ ප්‍රමිතිවල ප්‍රායෝගික වටිනාකමක් තිබෙන බව තහවුරු වී තිබෙනවා. බයිබලය ක්‍රිස්තියානීන්ව දිරිමත් කරන්නේ අලස නොවී අවංකව වැඩ කිරීමටයි. (ලූක් 16:10; එපීස 4:28; කොලොස්සි 3:24) මෙම උපදේශය පිළිපැදීම නිසා බොහෝ ක්‍රිස්තියානීන් රැකියා උසස් වීම් ලබා තිබෙනවා. වෙනත් අය රැකියාව අහිමි කරගනිද්දී ඔවුන් රැකියාව රැකගනිමින් සිටිනවා. සූදුව, දුම්පානය හා මත් ද්‍රව්‍ය භාවිතය වැනි ශුද්ධ ලියවිලිවලට පටහැනි පුරුදු හා ඇබ්බැහිවීම්වලින් වැළකී සිටින විට සෑහෙන මුදලක් ඉතිරි කරගත හැකියි. දෙවිගේ ප්‍රමිති පිළිපැදීමෙන් ආර්ථික වශයෙන් ලැබිය හැකි ප්‍රයෝජන ගැන තවත් උදාහරණ ඔබට සැපයිය හැකි බවට සැකයක් නැහැ.

19, 20. දෙවිගේ නීති පිළිපැදීම නැණවත් දෙයක් වන්නේ මන්ද?

19 අසම්පූර්ණ මිනිසුන් දෙවිගේ නීති හා ප්‍රමිතිවලට පිටුපෑම බොහොම පහසුවෙන්ම සිදු විය හැකියි. සීනයි කඳු පාමුල සිටි ඉශ්‍රායෙල්වරුන් ගැන සිතා බලන්න. දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහු නම් සියලු සෙනඟ අතරින් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය.” මෙයට ප්‍රතිචාරය දක්වමින් ඔවුන් මෙසේ පැවසුවා. “[යෙහෝවා] කී සියල්ලම කරන්නෙමු.” ඒත්, ඔවුන් කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්! (නික්මයාම 19:5, 8; ගීතාවලිය 106:12-43) අපි ඔවුන් මෙන් නොවී, දෙවිගේ ප්‍රමිති පිළිගෙන ඒවාට අනුකූලව ජීවත් වීමට අදිටන් කරගනිමු.

20 අපට කළ හැකි නැණවත්ම දෙය වන්නේ අපේ ජීවිතවලට නිවැරදි මඟ පෙන්වීමක් ලබාගැනීමට යෙහෝවා දී තිබෙන අසමසම නීති පිළිපැදීමයි. එමෙන්ම එසේ කිරීමෙන් ඉමහත් ප්‍රීතියක් අපට භුක්ති විඳින්න පුළුවන්. (ගීතාවලිය 19:7-11) මෙය සාර්ථකව කරන්න නම් අප දේව ප්‍රතිපත්තිවල වටිනාකම තේරුම්ගෙන ඒවාට ඇලුම් කිරීම අවශ්‍යයි. ඊළඟ ලිපියේ අප සාකච්ඡා කරන්නේ මේ විෂය ගැනයි.

[පාදසටහන]

a ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව’ පිළිබඳව සවිස්තර තොරතුරු සඳහා 1996 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 14-24 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• දෙවිගේ නීති අපේම ප්‍රයෝජනය සඳහා බව අපට විශ්වාස කළ හැක්කේ මන්ද?

• යෙහෝවාගේ නීතිවලට අප ඇලුම් කළ යුතු වීමට තිබෙන හේතු මොනවාද?

• දෙවිගේ නීති ප්‍රයෝජනදායක වන්නේ කිනම් ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ නීතිවලට කීකරු වීමෙන් ආබ්‍රහම් මහඟු ආශීර්වාද භුක්ති වින්දා

[15වන පිටුවේ පින්තූර]

අවිවේකී ජීවන රටාවක් ගත කිරීම නිසා ඇති වන කනස්සල්ල හේතුවෙන් බොහෝදෙනෙක් දෙවිගේ නීතිවලින් ඈත්ව සිටියි

[17වන පිටුවේ පින්තූරය]

පර්වතයක් මත පිහිටි ප්‍රදීපාගාරයක් මෙන් දෙවිගේ නීති ස්ථිරයි. කිසිදා වෙනස් වන්නේ නැහැ