Skip to content

පටුනට යන්න

පිලිපීන කඳුකරයේදී දෙවිව මහිමවත් කරමින්

පිලිපීන කඳුකරයේදී දෙවිව මහිමවත් කරමින්

පිලිපීන කඳුකරයේදී දෙවිව මහිමවත් කරමින්

පිලිපීනය දූපත්වලින් සෑදුණු රටක් කියා ඔබ සිතුවොත් ඔබ නිවැරදියි. නමුත් තේජාන්විත කඳුවලින්ද ගහන රටකි එය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නගරවල හා පහත් බිම් ප්‍රදේශයන්හි දේශනා කිරීම යම් දුරකට පහසු මෙන්ම ප්‍රතිඵලදායක වී ඇත. කෙසේනමුදු, කඳුකර ප්‍රදේශයන් ගැන පවසන්න තිබෙන්නේ වෙනස් කතාවකි.

මෙහි මනහර කඳු ඉහළට නැඟ තිබෙන්නේ මුහුදු වෙරළවල්, කොරල් පර, ධීවර ගම්මාන හා ක්‍රියාශීලී නගර ඇති තැනිතලා දූපත්වලට හාත්පසින්ම වෙනස්වයි. මෙම කඳු දේවරාජ්‍යය පිළිබඳ “ශුභාරංචිය” දේශනා කිරීමට අභියෝග කරන බාධකයන් මෙන්ද නැඟී සිටියි.—මතෙව් 24:14.

පිලිපීන දූපත් පිහිටා තිබෙන්නේ මහා භූ තල දෙකක් එකට ගැටෙන ස්ථානයකයි. මෙලෙස මෙම ප්‍රදේශයේ භූ තල සම්බන්ධ වීම හේතුවෙන් වඩා විශාල දූපත්වල තියුණු කඳු වැටි බිහි වී තිබේ. දූපත් 7,100කට වඩා වැඩි සංඛ්‍යාවකින් සමන්විත පිලිපීනය පිහිටා තිබෙන්නේ පැසිෆික් තැටියේ බටහිර ආරුක්කුවේය. මෙබැවින්, එම දූපත්වල ගිනි කඳු තැනින් තැන දක්නට තිබේ. මෙය ඒවායෙහි කඳුකර භූ දර්ශන මැවීමටද දායක වේ. මෙවැනි රළු බිම් පෙදෙසක් කඳුකර ජනයාව හුදකලා කර ඇත. මෝටර් රථ ධාවනයට සුදුසු මාර්ග හිඟ බැවින් ඔවුන් වෙතට යෑම දුෂ්කරය.

මෙවැනි බාධක තිබෙතත් “සියලු මනුෂ්‍යයන්” කරා යෑම අවශ්‍ය බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වැටහේ. (1 තිමෝති 2:3) මෙබැවින්, පිලිපීනයේ සාක්ෂිකරුවන් යෙසායා 42:11, 12හි සඳහන් ආකාරයට “පර්වතවල වැසියෝ ඔල්වර හඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා. ඔවුහු යෙහෝවාට ගෞරවය දී, ඔහුගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශ කෙරෙත්වා” යන අදහසින් වැඩ කර තිබේ.

වැඩි වෑයමක් යොදමින් කඳුකර වැසියන්ට සාක්ෂි දැරීම සම්බන්ධයෙන් සලකා බැලුවේ මීට වසර 50කට වඩා වැඩි කලකට පෙරය. දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම වැඩය ශීඝ්‍රවත් කිරීමට මිෂනාරිවරු අත හිත දුන්හ. ප්‍රදේශ වාසීන් බොහෝදෙනෙකු බයිබල් සත්‍යයන් වැලඳගත් අතර, ඔවුහුද කඳුකරයේ ඉහළ පිහිටි ගම්මානවලට මෙම සත්‍යය පැතිරවීමට උපකාර කළහ. මින් කදිම ඵල ඉපදවිය. උදාහරණයකට, උතුරු ලූෂොංහි කොර්ඩිලේරා මධ්‍යම කඳුකරවල ශුභාරංචිය ප්‍රචාරය කරන්නන් 6,000කට වැඩිදෙනෙක් සිටිති. මොවුන්ගෙන් වැඩිදෙනෙක් ස්වදේශිකයන් වන අතර ඉබාලොයි, ඉෆුගාඕ සහ කාලින්ගා යන ජාතීහුද ඔවුන් අතර වෙත්.

කෙසේවෙතත්, කඳුකරයේ ළඟාවීමට අපහසු තවත් ඉහළ ප්‍රදේශද පවතී. එහි වෙසෙන ජනයාව අමතක කර නැත. ඔවුන්ගෙන් සමහරෙකු වෙත ළඟා වී තිබෙන්නේ කෙසේද? ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වීද?

සම්ප්‍රදායන් වෙනුවට අව්‍යාජ ඇදහිල්ල

උතුරු දූපතක් වන ලූෂොංහි ඇබ්‍රා පළාතේ කඳුකර ප්‍රදේශයන්හි වෙසෙන්නේ ටින්ජියන් ගෝත්‍රිකයන්ය. මෙම නම පැමිණ තිබෙන්නේ පුරාණ මැලේ වචනයක් වන ටින්ජි යන වචනයෙන් විය හැකියි. එහි අර්ථය “කන්ද” යන්නයි. මොනතරම් උචිත නමක්ද! ජනයා තමන්ව සහ තම භාෂාව ඉට්නෙග් කියාද හඳුන්වති. කාබුනියන් යනුවෙන් හැඳින්වෙන දෙවිකෙනෙකුව විශ්වාස කරන ඔවුන්ගේ දෛනික ජීවිතය මිථ්‍යා විශ්වාසවලින් පිරී පවතී. උදාහරණයක් වශයෙන්, කෙනෙක් යම් තැනකට යෑමට සූදානම් වෙද්දී කිවිසුමක් පිට කළොත් එය අසුබ නිමිත්තක් වේ. එම නරක බලපෑම පහව යන තුරු ඔහු පැය කීපයක් රැඳී සිටිය යුතු වෙයි.

ස්පාඤ්ඤ ජාතිකයන් 1572දී කතෝලික දහම රැගෙන මෙහි පිවිසියත් ටින්ජියන්වරුන්ට නියම කිතු දහම ඉගැන්වීමට ඔවුන් අසමත් විය. කතෝලිකයන් බවට පත් වූ අය කාබුනියන් කෙරෙහි තිබූ සිය විශ්වාසය අත් නොහැරිය අතර ස්වදේශී සිරිත් විරිත්වලම නියැලුණාහ. මෙම ජනයාට බයිබලයේ හරි දැනුම මුලින්ම ලැබුණේ 1930 ගණන්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම කඳුවල රාජ්‍යයේ පණිවිඩය පතළ කිරීමට පටන්ගත් විටය. එදා සිට අවංක ටින්ජියන්වරුන් බොහෝදෙනෙකු “කඳු මුදුන්වල සිට” යෙහෝවාව මහිමයට පත් කිරීමට පටන්ගෙන තිබේ.

උදාහරණයක් වශයෙන්, ලින්ග්බාඕවන් නමැත්තා කලින් එම ප්‍රදේශයේ ගරුබුහුමන් ලැබූ ගෝත්‍රික නායකයාව සිටියේය. ඔහු ටින්ජියන් සංස්කෘතියේ දේවල් ඉහළින්ම කරමින් සිටි පුද්ගලයෙකු විය. “මම ටින්ජියන් සම්ප්‍රදායන් ඉහ මුදුනින්ම පිළිගත්ත කෙනෙක්. කවුරුහරි මැරුණොත් අපි එයාව වැළලුවාට පස්සේ ගොංග් නමැති සංගීත භාණ්ඩ වාදනය කරමින් නැටුමක් නැටුවා. අපි සත්වයන්වත් පූජා කළා. අපි විශ්වාස කළේ කාබුනියන් දෙවියන්වයි. බයිබලයේ දෙවිව මම දැනගෙන හිටියේ නැහැ.” ඔහු එසේ කළේ නාමික කතෝලිකයෙකුව සිටියදීමය.

එම ප්‍රදේශයේ දේශනා කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවසේවකයෝ පැමිණියාහ. ඔවුන්ට ලින්ග්බාඕවන්ව මුණගැසුණු අතර බයිබලය කියවීමට ඔහුව දිරිගන්වනු ලැබීය. ඔහු මෙසේ මතකයට නඟයි. “යෙහෝවා සැබෑ දෙවි බව මට ඒත්තුගැන්නුවේ බයිබලයයි.” සාක්ෂිකරුවෙකු ලින්ග්බාඕවන් සමඟ බයිබල් පාඩමක් ඇරඹීමෙන් අනතුරුව සැබෑ දෙවිට සේවය කිරීමට ඔහු තීරණයක් ගත්තේය. ඔහු ගෝත්‍රයේ නායක තනතුර ඇතුළු තම පූර්ව ක්‍රියාමාර්ගයන් අත්හැරියේය. ප්‍රදේශයේ පූජකයා හා ඔහුව ඇසුරු කළ අය මේ ගැන කුපිත වූහ. කෙසේවෙතත්, ලින්ග්බාඕවන් බයිබලයෙහි සත්‍යතාවන් අනුගමනය කිරීමට ගත් තීරණය වෙනස් නොකළේය. දැන් ඔහු සභා වැඩිමහල්ලෙකු වශයෙන් සේවය කරමින් සිටියි.

දවස් හතක් හා රෑ හයක්

ඇබ්‍රාහි ඇතැම් කොටස්වල දැන් සෑහෙන දුරකට නිතිපතා ශුභාරංචියට සවන් දීමට සලස්වා තිබෙන නමුත් ඈත ප්‍රදේශවල සාක්ෂියක් දැරීමට ලැබෙන්නේ කලාතුරකිනි. කලකට පෙර, මෙම ප්‍රදේශවලින් එකක් වෙත ළඟාවීමට ප්‍රයත්නයක් දැරීය. සාක්ෂිකරුවන් 35කින් සමන්විත කණ්ඩායමක් ඇබ්‍රා, ටිනෙග්හි නොපැවරූ බලප්‍රදේශයක දේශනා සේවයේ යෙදීමට ගමන් ඇරඹූහ. එය වසර 27ක් පුරා යෑමට නොහැකි වී තිබූ තැනකි.

දවස් හතක් තුළ මෙම දේශනා සේවය කිරීමට සිදු වූයේ පයින්මයි. බඩුබාහිරාදියද රැගෙන සංගිලි පාලම්වලින් හා ගැඹුරු ගංගාවලින් මාරුවීම හා කඳු වැටි අතරින් පැය ගණනක් ඇවිදීම ගැන සිතා බලන්න. මෙසේ යෑමට සිදු වූයේ කලාතුරකින් ශුභාරංචිය සවනේ වැකෙන අයට දේශනා කිරීමටයි! රෑ හයක් ගත කරමින් ගිය කටුක ගමනේදී දවස් හතරක්ම රැය පහන් කළේ කඳුකරයේ එළිමහනේය.

ගමනට සහභාගි වූ නිර්භය සාක්ෂිකරුවන් ආහාර වර්ග රැගෙන ගියත් මුළු ගමනටම සෑහෙන ප්‍රමාණයක් රැගෙන යන්න ඔවුන්ට නොහැකි විය. එනමුදු මෙය ප්‍රශ්නයක් නොවූයේ ජනයා සිය ආහාර පාන, බයිබල් ආධාරක පොත් පත්වලට හුවමාරු කිරීමට ඉමහත් කැමැත්තක් දැක්වූ නිසාය. සාක්ෂිකරුවන්ට ගොවිපොළේ නිෂ්පාදිත ආහාර වර්ග, මාළු හා මුව මස් බහුලව ලැබිණ. යම් අපහසුතාවන් තිබුණත් එම කණ්ඩායම පැවසුවේ “අපි අද්දැක්ක උතුරායන ප්‍රීතිය නිසා මේ පරිත්‍යාගයන් ඒ තරම් ලොකු දේවල් වුණේ නැහැ” කියාය.

එම දවස් හත තුළදී මෙම දේවසේවකයන් විසින් ගම්මාන දහයක සාක්ෂි දරමින් පොත් 60ක්, සඟරා 186ක්, විවරණිකා 50ක් සහ බොහෝ පත්‍රිකාද බෙදාහැරීය. මිනිසුන් කණ්ඩායම් 74කට ඔවුහු බයිබල් පාඩම් පවත්වන අයුරු පෙන්වූහ. ප්‍රදේශයේ නිලධාරීන්ගේ හා ප්‍රමුඛ පෙළේ ඇතැම් පුරවැසියන්ගේ ඉල්ලීම පරිදි ටිනෙග් නගරයේදී පැවැත්වූ සභා රැස්වීමකට 78දෙනෙක් පැමිණ සිටියාහ. පැමිණ සිටි වැඩිදෙනා ගුරුවරුන් හා පොලිස් නිලධාරීන්ය. කඳු මුදුන්හි සිට ‘මොරගසමින්’ යෙහෝවාව පසසන අයට ටින්ජියන්වරුන්ගෙන් තවත් බොහෝදෙනෙකු එකතු වෙයි කියා බලාපොරොත්තු විය හැක.

රන්වලට වඩා අගනා යමක්

පිලිපීනයේ දකුණු කෙළවරෙහි පිහිටි ඇතැම් දූපත්වල රන් තිබෙන බව ස්පාඤ්ඤ වැසියෝ සොයාගත්හ. මෙබැවින්, මින්ඩෝරෝ යන නම බිහි විය. එය ස්පාඤ්ඤ භාෂාවෙන් මිනා ඩෙ ඕරෝ නැතහොත් “රන් ආකරය” යන්න කෙටි කර දැක්වීමකි. කෙසේනමුත්, එම දූපත්වල දැන් රන්වලට වඩා අගනා යමක් සම්බ වී ඇත. එනම් සැබෑ දෙවි වූ යෙහෝවාට සේවය කරන්න කැමති ජනයාය.

මින්ඩෝරෝහි අභ්‍යන්තරයේ හුදකලා වී තිබෙන වන ගැබෙහි මැන්ග්‍යාන් නමින් හැඳින්වෙන ස්වදේශී වැසියන් 1,25,000දෙනෙක් පමණ වෙසෙති. සරල ජීවිතයක් ගත කරන ඔවුහු පිට අය සමඟ වැඩි සම්බන්ධකමක් නොපවත්වන අතර තමන්ටම ආවේනික වූ භාෂාවක් කතා කරති. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ජීවවාදීන් සහ බහුදේවවාදීන් වන අතර ඔවුහු සොබාදහමේ පවතිනවායයි කියන විවිධ ආත්ම කෙරෙහි විශ්වාසය තබති.

ආහාර හා වෙනත් අවශ්‍ය දෑවල හිඟයක් පවතින අවස්ථාවලදී මැන්ග්‍යාන්වරුන්ගෙන් ඇතැම්හු රැකියා සොයාගෙන ඉඳ හිට පහත රටට පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි පේලිං. ඔහු මැන්ග්‍යාන්වරුන්ගේ උපගෝත්‍රයක් වන බටන්ගන් ගෝත්‍රයට අයත් කෙනෙකි. කඳු වනලැහැබ්වල ජීවත් වන සිය ජනයා අතර හැදී වැඩුණු ඔහු බටන්ගන් ඇදහිලි ක්‍රම හා සිරිත් විරිත්වලට යටත්ව සිටියේය. ඉණ රෙදිකඩ සාමාන්‍ය ඇඳුම විය. බටන්ගන් සම්ප්‍රදායට අනුව, හොඳ අස්වැන්නක් ලැබෙන බවට සහතික කරගැනීම සඳහා කුකුළෙක් මරා උගේ ලේ වතුරට වැක්කෙරෙන්න සලස්වා නමස්කාරකයන් යාච්ඤා කරමින් සිටිය යුතු විය.

පේලිං දැන් එම සම්ප්‍රදායන්වලට හවුල් වන්නේ නැත. ඒ මන්ද? ඔහු රැකියාවක් සොයා පහත් බිම්වලට ගිය විට යෙහෝවාගේ සාක්ෂිකාර පවුල් ඔහුට රැකියාවක් දුන්නා. එක් පවුලක් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පේලිංට බයිබල් සත්‍යය ගැන පැවසුවේය. හොඳ ප්‍රතිචාරයක් දැක්වූ ඔහු මිනිසා හා පොළොව කෙරෙහි යෙහෝවාගේ අරමුණ ගැන දැනගන්න ලැබීම සම්බන්ධයෙන් ඇත්තෙන්ම තම අගය ප්‍රකාශ කළේය. ඔවුහු ඔහුට කණිෂ්ඨ පාසැලකට යන්නත් බයිබලය පාඩම් කරන්නත් සැලසුම් යෙදූහ. පේලිං වයස අවුරුදු 24දී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට බව්තීස්ම විය. වයස අවුරුදු 30දී ඔහු උසස් පාසැලේ දෙවන වසරේ උගනිමින් සිටි අතර පාසැල තම දේශනා බලප්‍රදේශය කරගත්තේය. දැන් ඔවුන් ඔහුව හඳුන්වන්නේ රොලැන්ඩෝ කියාය (පහත රට නමක්).

ඔබට රොලැන්ඩෝව මුණගැසුණොත් දැන් ඔබට ඔහුව හමු වන්නේ, මනා ලෙස හැඳ පැළඳ හසරැල්ලකින් මුව සරසාගෙන පූර්ණ කාලීන දේවසේවයේ නියැලෙන හා මින්ඩෝරෝහි සභාවක සේවය කරන සභා සේවකයෙකු ලෙසිනි. මෑතකදී රොලැන්ඩෝ යළිත් කඳුකරයට ගියේ බටන්ගන් සම්ප්‍රදායන්වලට හවුල් වීමට නොව එහි වැසියන් සමඟ බයිබලයේ ඇති ජීවනදායක සත්‍යයන් බෙදාගැනීමටයි.

රාජ්‍ය ශාලාවක් ලබාගැනීමට දැඩි ආශාවකින්

සෙබුආනෝහි “කඳුකර ජනයා” යන අර්ථය ඇති බකිඩ්නන් පළාත පිහිටා තිබෙන්නේ දකුණු දූපතක් වන මින්ඩනාඕවලය. මෙය කඳු, කැනියම්, ගං මිටියාවත් සහ සානුවලින් ගහන ප්‍රදේශයකි. මෙම සරු බිම් පෙදෙස අන්නාසි, ඉරිඟු, කෝපි, හාල් සහ කෙසෙල් වගාවට සුදුසුය. එහි ජීවත් වන්නේ උස්බිම් ගෝත්‍රිකයන් වන ටලාන්ඩිග් සහ හයිගාඔනන්ය. මොවුන්ද යෙහෝවා ගැන ඉගෙනගත යුතුය. මෑතකදී, ටාලාකාග් නගරය අසල මේ සඳහා ප්‍රස්තාව උදා වූයේ අරුම පුදුම ආකාරයකිනි.

උස්බිම් කරා නැඟී ගිය සාක්ෂිකරුවන්ට යන්න සිදු වුණේ ශීත දේශගුණික ප්‍රදේශයකට වුවත් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. එහි වෙසෙන ජනයා සර්වපරාක්‍රම දෙවි පියාණන්ව විශ්වාස කරනවායයි කියා සිටියත් ඔවුන් ඔහුගේ නම දැනගෙන සිටියේ නැත. ඔවුන් වැඩි කාලයක් ගත කළේ වන ලැහැබේ නිසා මෙය ඔවුන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණ මුල් වතාව විය. ඔවුන්ට දෙවිගේ නමත්, රාජ්‍යය පිළිබඳව ඔහුගේ පුදුමාකාර අරමුණ ගැනත් පවසනු ලැබීය. මෙම ජනයා ඉන් ඉමහත් ප්‍රීතියක් ලබන බව දුටු බැවින් ඔවුන්ගේ ගම්මානයට යළිත් යෑමට තීරණය කරන ලදි.

ඉන්පසු කීප වරක් එහි යන ලදි. ප්‍රතිඵලයක් වශයෙන්, එහි වැසියෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ “ගෘහයක්” සඳහා ඉඩමක් පරිත්‍යාග කළහ. සාක්ෂිකරුවෝ සතුටින් එය භාරගත්හ. ඉහළම කඳු මුදුනේ පිහිටි මෙම ඉඩම තිබුණේ පාරට පෙනෙන තැනකයි. ලෑලි, බම්බු සහ පාම් අතුවලින් ගොඩනැඟිල්ල ඉදි කෙරිණ. මාස තුනයි දවස් දහයකින් ඉදි කිරීමේ වැඩ නිම විය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව” යන නම ගොඩනැඟිල්ලේ ඉදිරියෙන්ම යොදා තිබිණ. මදක් සිතා බලන්න. රාජ්‍ය ශාලාවක් ඉදි කර තිබුණේ සභාවක් හැදෙන්නත් කලිනුයි!

ඉන්පසු, පූර්ණ කාලීන දේවසේවකයෙකු වූ සභා වැඩිමහල්ලෙක් හා සභා සේවකයෙක් එහි පැමිණියහ. අහල පහළ ප්‍රදේශවලින් පැමිණි සාක්ෂිකරුවන්ද සමඟ එකතු වී ඔවුහු සභාවක් සෑදීමේ අරමුණින් වැඩ කළහ. වර්ෂ 1998 අගෝස්තුවලදී එම අරමුණ ඉටු විය. දැන් කඳුකර වැසියන්ට බයිබල් සත්‍යයන් ඉගෙනීමට උපකාර කරමින් මෙම රාජ්‍ය ශාලාවෙන් පුංචි සභාවක් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටියි.

සැබවින්ම, යෑමට දුෂ්කර කඳුකරයට පවා රාජ්‍ය සත්‍යය බෙදාහැරීමට කැමැත්තෙන් සිටින තම පිලිපීන සේවකයන්ව යෙහෝවා බලවත් ලෙස යොදාගෙන තිබේ. දැන් යෙසායා 52:7හි ඇති මේ වචන අපේ මතකයට නැඟේ. “ශුභ ආරංචි ගෙනෙන්නාවූ, . . . තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!”

[11වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ඇබ්‍රා

මින්ඩෝරෝ

බකිඩ්නන්

[හිමිකම් විස්තර]

Globe: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[10වන පිටුවේ පින්තූර]

කඳුකරයේ දේශනා කිරීමේදී රළු බිම් හරහා පැය ගණන් ගමන් කිරීමට සිදු වේ

[10වන පිටුවේ පින්තූරය]

කඳුකරයෙන් ගලන දොළපාරකදී සිදු වන බව්තීස්මය