Skip to content

පටුනට යන්න

රසල්ගේ පොත් පත් අගය කළ දේවගැතියන් දෙදෙනා

රසල්ගේ පොත් පත් අගය කළ දේවගැතියන් දෙදෙනා

රසල්ගේ පොත් පත් අගය කළ දේවගැතියන් දෙදෙනා

චාල්ස් ටේස් රසල් යෙහෝවාගේ සැබෑ ක්‍රිස්තියානි නමස්කාරකයන් අතර වැජඹෙමින් ඉතා අනභිභවනීය සේවයක් ඉටු කළේය. ඔහු ප්‍රථම වරට යුරෝපයට ගියේ 1891දීය. එම චාරිකාවේදී ඔහු ඉතාලියේ පිනරෝලෝ නුවරේ නැවතුණ අතරවාරයේ, කලින් වොල්ඩෙන්සෙස් a ආගමික දේවගැතියෙකු වූ මහාචාර්ය ඩැනියෙල් රීවෝව මුණගැසුණා කියා ආරංචි මාර්ග පවසයි. රීවෝ තම සේවයෙන් ඉවත් වුවත් වොල්ඩෙන්සෙස් ආගමිකයන් සමඟ සමීප ඇසුරක් පැවැත්වූයේය. එනමුත් ඔහු කාරණා කටයුතු දෙස විවෘත මනසකින් බැලූ අතර සී. ටී. රසල් විසින් රචිත පොත් පත් ගණනාවක් කියෙව්වේය.

රීවෝ, වර්ෂ 1903දී රසල් විසින් රචිත යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම (සිංහලෙන් නොමැත) යන පොත ඉතාලි භාෂාවට පරිවර්තනය කළ අතර ඔහුගේම වියදමෙන් එය මුද්‍රණය කළේය. මෙම සංස්කරණය නිල වශයෙන් ඉතාලි භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කිරීමට ප්‍රථමයෙන් ඔහු එය එළි දැක්වීය. රීවෝ එහි පෙරවදන මෙසේ පෙළගැස්වීය. “ඉතාලි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ මෙම මුල්ම සංස්කරණය අප ස්වාමීන්ගේ රැකවරණයේ තබනවා. ඔහුගේ ආශීර්වාදය මෙයට ලැබේවා! එවිට මෙහි තිබෙන අඩුපාඩුකම් අභිභවා යමින් ඔහුගේ පරිශුද්ධ නාමයට ගෞරවය දැක්වීමටත් ඉතාලි භාෂාව කතා කරන ස්වාමීන්ගේ දරුවන්ට දැඩි භක්තියක් පෙන්වීමටත් ඉන් හැකියාව ලැබේවි. මෙම පොත කියවීම මගින් දෙවිගේ ප්‍රඥාවෙත් ඔහුගේ සැලැස්ම හා ප්‍රේමය පිළිබඳ වූ දැනුමෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද කියා වටහාගත් සියලුදෙනාගේම හදවත් අගයෙන් පිරී ඉතිරේවා! ඒ වගේම මෙම පොත මනුෂ්‍යයන් අතට පත් කිරීමට අවශ්‍ය උපකාරය ලබා දීම සම්බන්ධයෙන් දෙවිට ස්තූති වේවා!”

සියොන්හි මුරටැඹක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පිළිබඳව දැනුම් දෙන්නා (සිංහලෙන් නොමැත) නමැති ප්‍රකාශනයත් රීවෝ ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීමට මුල පිරුවේය. මෙම සඟරාව 1903 සිට ත්‍රයිමාසිකව ප්‍රකාශයට පත් වූ අතර එය දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ද වොච්ටවර් ලෙසත් සිංහල භාෂාවෙන් මුරටැඹ ලෙසත් හඳුන්වනු ලබයි. මහාචාර්ය රීවෝ බයිබල් ශිෂ්‍යයෙකු (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූ ලෙස) නොවුණත් බයිබල් ශිෂ්‍යයන්ගේ ප්‍රකාශන තුළ පැහැදිලි කර තිබූ පණිවිඩය දැනුම් දීමට විශාල උනන්දුවක් පෙන්වීය.

“මගේ ඇස්වලින් කොරපොතු හැලුණා වගෙයි”

රසල්ගේ ප්‍රකාශන අගය කළ තවත් වොල්ඩෙන්සෙස් දේවගැතියෙකි ජූසෙපා බඤ්චේට්ටි. ඔහුගේ පියා කතෝලික ධර්මය අත්හැර තිබූ අතර ඔහුට වොල්ඩෙන්සෙස් ධර්මය උගන්වා තිබුණි. වර්ෂ 1894, දේවගැතියෙක් වූ ජූසෙපා අපුලියා සහ එබ්බුරූසිවලත්, එල්බා සහ සිසිලි යන දූපත්වලත් සිටි වොල්ඩෙන්සියානු වැසියන් වෙනුවෙන් සේවය කළේය.

යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම යන රසල්ගේ පොත ඉතාලි භාෂාවෙන් මුද්‍රණය කළේ වර්ෂ 1905දීයි. බඤ්චේට්ටි විසින් මෙම පොත පිළිබඳව අගය කිරීමකින් යුතුව ලියනු ලැබූ ලිපියක් එක් රෙපරමාදු සඟරාවක (La Rivista Cristiana) පළ වූයේ මෙසේයි. “ශුද්ධ ලියවිලි පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහ ස්ථිරසාර මඟ පෙන්වීමක් ලබාගැනීම සඳහා ඕනෑම ක්‍රිස්තියානියෙකුට රසල්ගේ මෙම පොත කදිම පිටිවහලක්. එය කියවීම ප්‍රයෝජනදායක මෙන්ම විපාකදායී අද්දැකීමක් වන බව නිසැකයි. එය කියවූ විගසම දෙවි වෙතට යන මඟ ඍජු මෙන්ම පහසුයි කියා මට තේරුම් ගියා. මගේ ඇස්වලින් කොරපොතු හැලුණා වගෙයි මට දැනුණේ. පරස්පර විරෝධි ලෙස පෙනුණ දේවල් පිළිගන්න පුළුවන් වුණා. කලින් තේරුම්ගැනීමට නොහැකි වූ ඉගැන්වීම් පවා පහසුවෙන් තේරුම්ගන්න පුළුවන්කම ලැබුණා. සංකීර්ණ දේවල් පැහැදිලි වුණා. ඒ වගේම ඒ පැහැදිලි කිරීම් පිළිගත හැකි ඒවායි. ක්‍රිස්තුස් තුළින් ලැබෙන ගැළවීම කොතරම් සරල ලෙස මට තේරුම්ගන්න පුළුවන් වුණාද කියනවා නම් ප්‍රේරිතවරයා වගේ මෙහෙම අහන්න මමත් පෙලඹුණා. අහෝ, දෙවිගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද!”—රෝම 11:33.

වර්ෂ 1925දී රෙමිජියෝ කුමිනෙට්ටි සඳහන් කළේ මෙවැන්නකි. බඤ්චේට්ටි බයිබල් ශිෂ්‍යයන්ගේ වැඩයට “සහයෝගය” දැක්වීය. ඔවුන් විසින් පැහැදිලි කරනු ලැබූ ඉගැන්වීම් කෙරෙහි ඔහු පෙන්නුම් කළේ “පූර්ණ නිසැකකමක්.” එලෙසම ඔහු විසිනුත් එවන් ඉගැන්වීම් පතළ කිරීමට යම් ක්‍රියාමාර්ග ගනු ලැබීය.

බඤ්චේට්ටිගේ ලියවිලිවලින් එක් දෙයක් පැහැදිලියි. එනම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන ලෙසත් ලියවිලිවල පෙන්වා දෙන ලෙසත් භූමික නැවත නැඟිටීමක් ඔහු විශ්වාස කළ බව. එමෙන්ම දානියෙල්ගේ සති 70 පිළිබඳ අනාවැකිය තුළින් යේසුස්ගේ මරණය සිදු වූ වර්ෂය දෙවි විසින් නියම කරන ලදුව එළිදරව් කර තිබෙන ආකාරය පැහැදිලි කරන විට ඔහු බයිබල් ශිෂ්‍යයන් සමඟ එකඟ විය. (දානියෙල් 9:24-27) ඔහුගේ පල්ලියේ ඉගැන්වීම් ඔහු එක් වතාවකට වඩා ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළේය. ඔහු පැවසූ එක් දෙයක් නම් යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය අනුස්මරණය කිරීම අවුරුද්දකට වතාවක් “නියමිත දිනයට කළ යුතු බවයි.” (ලූක් 22:19, 20) ඔහු පරිණාම වාදය පිළිබඳ ඩාවින්ගේ මතයද ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම සැබෑ ක්‍රිස්තියානීන් යුද කටයුතුවල සහභාගි නොවිය යුතු බව තරයේ කියා සිටියේය.—යෙසායා 2:4.

බඤ්චේට්ටි එක් අවස්ථාවක ජේ. කැම්බල් වෝල් නමැති පුද්ගලයා සමඟ රසල්ගේ පොත් පත් විමර්ශනය කළේය. එම අවස්ථාවේ වෝල් කළ විවේචනයට බඤ්චේට්ටි ප්‍රතිඋත්තර බැන්දේ මෙසේයි. “ඔබ රසල්ගේ වෙළුම් හය කියෙව්වොත් ඒ ගැන ගොඩක් සතුටු වන බව මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒ වගේම ඔබ මට මුළු හදින්ම ස්තුති කරයි කියාත් මට සහතිකයි. මම ඒ ඉගැන්වීම් ගැන නිකම් පුරසාරම් දොඩනවා නෙමෙයි. ඇත්තටම මම එම පොත් කියෙව්වේ අවුරුදු 11කට කලින්. මුළුමනින්ම ශුද්ධ ලියවිලි මත පදනම් වූ එවන් ආලෝකයක් සහ සහනයක් ලබා දීම ගැන මම දෙවිට හැමදාමත් ස්තුති කරනවා.”

“ඇහුම්කන් දෙන්න, ඇහුම්කන් දෙන්න, ඇහුම්කන් දෙන්න”

එක් දෙයක් පැහැදිලියි. ඒ, ඩැනියෙල් රීවෝ සහ ජූසෙපා බඤ්චේට්ටි නමැති මෙම වොල්ඩෙන්සෙස් දේවගැතියන් දෙදෙනා රසල් විසින් බයිබල් සත්‍යය පැහැදිලි කරන ලද ආකාරය පිළිගත් බව හා අගය කළ බව. බඤ්චේට්ටි ලීවේ මෙසේයි. “අපේ දේවගැතියන් හෝ දේවධර්මවාදී මහාචාර්යවරුන් හෝ වෙන කිසි කෙනෙක් සෑම දෙයක්ම දන්නේ නැහැ. ඇත්තෙන්ම අපිට තව ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. . . . අපි ඇහුම්කන් දිය යුතුයි. හැම දෙයක්ම දන්නවා කියා නොසිතිය යුතුයි. අපගේ ගවේෂණය සඳහා දෙන දේවල් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. හැම දෙයකට වඩා ඇහුම්කන් දෙන්න, ඇහුම්කන් දෙන්න, ඇහුම්කන් දෙන්න.”

සෑම වසරකම දහස් ගණන් මනුෂ්‍යයෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම නිවසට ගෙන එන රාජ්‍ය පණිවිඩයට ඇහුම්කන් දෙති. බයිබල් සත්‍යය දැනගැනීමට පිපාසයෙන් සිටින විවෘත මනස් ඇති සෑම තැනකම සිටින ජනයා “මා අනුව එන්න” යන යේසුස්ගේ ආරාධනයට ප්‍රතිචාරය දක්වමින් සිටිති.—මාර්ක් 10:17-21; එළිදරව් 22:17.

[පාදසටහන]

a එම නම පැමිණ තිබෙන්නේ 12වන ශතවර්ෂයේ ප්‍රංශයේ ලියොන් නුවරේ වෙළෙන්දෙක් වූ පියෙර් වෝඩේ හෙවත් පිටර් වොල්ඩෝගෙනි. ඔහු විශ්වාස කළ දේ නිසා ඔහුව කතෝලික සභාවෙන් නෙරපනු ලැබීය. වොල්ඩෙන්සෙස් පිළිබඳව සවිස්තරව දැනගැනීමට 2002 මාර්තු 15 මුරටැඹ කලාපයේ “වොල්ඩෙන්සෙස්—මිථ්‍යාග්‍රාහකයන්ගේ සිට රෙපරමාදු භක්තිකයන් දක්වා ගමන” යන ලිපිය බලන්න.

[28වන පිටුවේ පින්තූරය]

මහචාර්ය ඩැනියෙල් රීවෝ

[29වන පිටුවේ පින්තූරය]

ජූසෙපා බඤ්චේට්ටි

[හිමිකම් විස්තර]

Banchetti: La Luce, April 14, 1926