Skip to content

පටුනට යන්න

සංවේදනය කරුණාවේ සහ දයානුකම්පාවේ මූලික රහසයි

සංවේදනය කරුණාවේ සහ දයානුකම්පාවේ මූලික රහසයි

සංවේදනය කරුණාවේ සහ දයානුකම්පාවේ මූලික රහසයි

“අනුන්ගේ වේදනාව සමනය කරන්නට ඔබට හැකි නම්, ජීවිතය නිෂ්ඵල නොවේ” යයි හෙලන් කෙලර් ලියා තැබුවා. කෙලර් සිත් වේදනාව තේරුම්ගත් බව සහතිකයි. වයස මාස 19ක් වන විට, අසනීපයකින් පෙළීම නිසා ඇය මුළුමනින්ම අන්ධ ගොළු බිහිරි බවට පත් වුණා. නමුත් දයානුකම්පිත ගුරුවරියක් බ්‍රේල් බසින් කියවීමටත් ලිවීමටත් පසුව කතා කිරීමටත් හෙලන්ට ඉගැන්වූවා.

කෙලර්ගේ ගුරුවරිය වූ ඈන් සලිවන්, ශාරීරික ආබාධයකින් පෙළෙන්නෙකු එම ගැටලුව සමඟ පොරබදින විට ඇති වන කලකිරීම් මුසු වූ වේදනාව ගැන හොඳින් දැන සිටියා. ඇයත් සියයට අනූනවයක්ම වගේ අන්ධ වෙලයි සිටියේ. නමුත් හෙලන්ගේ අතේ අකුරු එකින් එක “ලිවීමෙන්” ඇය සමඟ අදහස් හුවමාරු කරගන්නට ඇය යම් ක්‍රමයක් සොයාගත්තේ මහත් ඉවසීමකින්. තම ගුරුවරිය දැක්වූ සංවේදනයෙන් ඉමහත් සේ පෙලඹුණු හෙලන්, අන්ධ බිහිරි අයට උපකාර කරන්නට තම මුළු ජීවිතයම කැප කරන්නට ඉටාගත්තා. තමාට තිබූ ආබාධයෙන් බොහෝ දුරකට ගොඩ ආ හෙලන්, ඒ හා සමාන තත්වයක සිටි අය කෙරෙහි මහත් අනුකම්පාවක් දැක්වූවා. ඇයට වුවමනා වුණේ ඔවුන්ට උපකාර කරන්නයි.

මේ ආත්මාර්ථකාමී ලෝකය තුළ, අනුන්ගේ අවශ්‍යතා තුට්ටුවකටවත් ගණන් නොගෙන ‘අනුකම්පාව දැක්වීමෙන් වැළකීම’ හරිම පහසු දෙයක් බව සමහරවිට ඔබත් දැක ඇති. (1 යොහන් 3:17) කෙසේවෙතත්, තම අසල්වාසීන්ට ප්‍රේම කරන ලෙසටත් එකිනෙකා කෙරෙහි දැඩි ප්‍රේමයක් ඇතිව සිටින ලෙසටත් ක්‍රිස්තියානීන්ට අණ කර තිබෙනවා. (මතෙව් 22:39; 1 පේතෘස් 4:8) එහෙත්, මෙම යථාර්ථය ගැන සමහරවිට ඔබ හොඳින් දැන සිටිනවා වෙන්නට පුළුවනි: අප එකිනෙකාට ප්‍රේම කිරීමට මුළුමනින්ම අදහස් කරගෙන සිටියත්, අනුන්ගේ වේදනාවන් නිවා දැමීමට අපට උදා වන ප්‍රස්තාවන්වලදී අපි බොහෝ විට අපගේ ඇස් වසාගන්නවා. මෙය සිදු වන්නේ හුදෙක් අප ඔවුන්ගේ අවශ්‍යතා ගැන නොදැන සිටින නිසා වන්නට පුළුවන්. කරුණාව සහ දයානුකම්පාව දැක්වීමෙන් අපව හිර කරගෙන සිටින ඒ දොරගුලු විවෘත කළ හැකි යතුර නම් සංවේදනයයි.

සංවේදනය යනු කුමක්ද?

එක ශබ්දකෝෂයක පවසන්නේ, සංවේදනය යනු “තවත් කෙනෙකුගේ තත්වය, හැඟීම් සහ චේතනාවන් අවබෝධයෙන් යුතුව හඳුනාගැනීම” කියායි. එසේම, අනෙකකුගේ පෞද්ගලිකත්වයට ඇතුල් වී ඔහුගේ අද්දැකීම් චෛතසිකව විඳින්නට ඇති හැකියාව හැටියටත් එය විස්තර කර තිබෙනවා. එබැවින් සංවේදනය දැක්වීමට නම්, පළමුවෙන්ම තවත් කෙනෙකුගේ තත්වයන් අවබෝධ කරගැනීම හා දෙවනුව එම තත්වයන් නිසා ඔහුට හෝ ඇයට ඇති වුණු හැඟීම් අපටද දැනීම අවශ්‍යයි. ඔව්, අනෙක් තැනැත්තාගේ වේදනාව අපේ හදවතින්ම දැනීම සංවේදනයට ඇතුළත් වෙනවා.

“සංවේදනය” යන වචනය බයිබලයේ දකින්නට නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම ශුද්ධ ලියවිලිවල මෙම ගුණාංගයට යොමු දැක්වීම් කර තිබෙනවා. ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානීන්හට “දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද” පෙන්වන ලෙස උපදෙස් දුන්නා. (1 පේතෘස් 3:8) මෙහි “අනුකම්පාව” යනුවෙන් ග්‍රීක් බසින් පරිවර්තනය කර ඇති වචනයේ පදගතාර්ථය නම්, “තවත් කෙනෙකු සමඟ දුක් විඳීම” හෙවත් “දයානුකම්පාව ඇතුව සිටීම” යන්නයි. “ප්‍රීති වෙන්නන් සමඟ ප්‍රීති වෙන්න. අඬන්නන් සමඟ අඬන්න” යනුවෙන් ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට අවවාද කළ අවස්ථාවේදී ඔහු කියා සිටියෙත් එවන් හැඟීම් ඇතුව සිටින්නයි. පාවුල් තවදුරටත් මෙසේ කිව්වා. “එකිනෙකා සමඟ එක්සිත් වෙන්න.” (රෝම 12:15, 16) අප අපවම අනෙක් තැනැත්තාගේ තත්වයට දමාගත්තේ නැති නම්, අපට මෙන් අපගේ අසල්වාසියාට ප්‍රේම කිරීමට නොහැකිය යන කාරණය සත්‍යයක් බවට ඔබ එකඟ නොවන්නේද?

සෑම කෙනෙකුටම යම් තරමකින් හෝ සහජයෙන්ම සංවේදනයක් තිබෙනවා. හාමතේ හඬන දරුවන්ගේ හෝ ඉතා දුකින් කලකිරී සිටින සරණාගතයන්ගේ හෝ පින්තූරයක් දකින විට හදවත උණු නොවන්නේ කාටද? හඬන දරුවෙකුව පැත්තකට දමන්නේ කොයි අම්මාද? නමුත් දුක් වේදනාවන්හි සෑම පැත්තක්ම අපට ඉක්මනින්ම තේරුම්ගන්නට අමාරුයි. මානසික අසහනයෙන් පෙළෙන, සැඟවුණු කායික ආබාධයක් ඇති නොඑසේ නම් ආහාර ගැනීමේ අපහසුතාවක් ඇති කෙනෙකුගේ වේදනාව තේරුම්ගැනීම කොතරම් අසීරු වේවිද! විශේෂයෙන්ම අපට කවදාවත් එවන් ගැටලුවක් තිබී නැත්නම් එය මොනතරම් සත්‍යයක්ද! කෙසේවෙතත්, අප එවන් තත්වයන් තුළ ජීවත් නොවුණත්, එවන් තත්වයන්ට ගොදුරු වී සිටින අය කෙරෙහි අනුකම්පාව දැක්වීමට හැකි බවත් එසේ කළ යුතු බවත් ශුද්ධ ලියවිලිවල අපට පෙන්වා දෙනවා.

සංවේදනය පිළිබඳ ශුද්ධ ලියවිලිමය ආදර්ශ

සංවේදනයේ පරමාදර්ශය යෙහෝවායි. තමා පරිපූර්ණ වුවත් යෙහෝවා අපෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වන්නේ නැහැ. “මක්නිසාද ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:14; රෝම 5:12) එපමණක්ද නොව, අපගේ සීමාවන් ගැන ඔහු සාවධානව සිටින නිසා, ‘අපේ පුළුවන්කමට වඩා අප පරීක්ෂා කරනු ලබන්ට ඉඩ දෙන්නේ නැත.’ (1 කොරින්ති 10:13) සිය සේවකයන් සහ ශුද්ධාත්මය මගින් විසඳුම් සොයාගැනීමට ඔහු අපට උදව් කරනවා.—යෙරෙමියා 25:4, 5; ක්‍රියා 5:32.

යෙහෝවාට තම ජනයා විඳින වේදනාව පෞද්ගලිකව දැනෙනවා. බබිලෝනියෙන් නැවත හැරී ආ යුදෙව්වන්ට ඔහු මෙසේ කීවා. “නුඹලාට අතගසන්නා [මාගේ] ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.” (සෙකරියා 2:8) දෙවිගේ සංවේදනය තියුණු ලෙස අවබෝධ කරගෙන සිටි බයිබල් ලේඛක දාවිත් ඔහුට පැවසුවේ. “මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව. ඒවා ඔබගේ පොතෙහි ලියන [ලද්දේය]” කියායි. (ගීතාවලිය 56:8) යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයන් ඔවුන්ගේ අඛණ්ඩතාවය රැකගැනීමට පොරබදද්දී වැගිරෙවූ කඳුළු පොතක ලියා තිබෙනවාක් මෙන් මතකයේ තබාගෙන සිටීම මොනතරම් සැනසිල්ලක්ද!

සිය ස්වර්ගික පියාණන් මෙන්, යේසුස් ක්‍රිස්තුස්ද අනුන්ගේ හැඟීම්වලට සංවේදීව සිටිනවා. බිහිරි මිනිසෙකුව සුව කරන විට, ඔහුව පැත්තකට රැගෙන ගියේ පෙනෙන විදිහට ප්‍රාතිහාර්යමය සුවය නිසා ඔහුව අනවශ්‍ය ලෙස කලබලයට හෝ ලැජ්ජාවට පත් නොකරන අටියෙනුයි. (මාර්ක් 7:32-35) තවත් අවස්ථාවක, තම මිය ගිය පුතාව භූමදාන කරන්නට ගිය වැන්දඹුවක දුටු යේසුස් සැණෙකින් ඈ විඳිමින් සිටි සෝදුක තේරුම්ගත්තා. අවමංගල්‍ය පෙරහැර වෙත ගිය ඔහු එම යෞවනයාව නැවත නැඟිට්ටෙව්වා.—ලූක් 7:11-16.

සිය නැවත නැඟිටුවීමට පසු, යේසුස් දමස්කයට යන පාරේදී සාවුල්ට දර්ශනය වූ අවස්ථාවේ, සාවුල් තමාගේ ගෝලයන්ට එල්ල කළ දරුණු පීඩාවන් තමන්ට බලපෑ ආකාරය ගැන සඳහන් කළා. “මම වනාහි නුඹ පීඩා කරන යේසුස්ය” කියා ඔහු සාවුල්ට පැවසුවා. (ක්‍රියා 9:3-5) යේසුස්ට සිය ගෝලයන් විඳි දුක් වේදනා දැනුණේ, හරියට තමාට පෞද්ගලිකව විඳින්න සිදු වූ වේදනාවක් වගෙයි. එය හරියට අසනීපව සිටින දරුවෙකුගේ වේදනාව මවකට දැනෙනවා වගේමයි. එමෙන්ම, අපගේ ස්වර්ගික උත්තම පූජකයා හැටියට, යේසුස්ට ‘අපගේ දුර්වලකම්වලදී අපේ දුක දැනෙනවා.’ නව අනුවාදයේ කියන ලෙස, ඔහුට “අපේ දුබලකම් ගැන අනුකම්පාවක්” දැනෙනවා.—හෙබ්‍රෙව් 4:15.

ප්‍රේරිත පාවුල් අනුන්ගේ දුක් වේදනාවන් සහ හැඟීම් ගැන සංවේදී වන්නට ඉගෙනගත්තා. “යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේ නම් මම නොදැවෙම්ද?” යයි ඔහු ඇසුවා. (2 කොරින්ති 11:29) දේවදූතයෙක් විත්, පිලිප්පියේ හිර මැදිරියක හිර කර සිටි පාවුල් සහ සීලස්ව ප්‍රාතිහාර්යමය ලෙස නිදහස් කළ විට, පාවුල්ට පළමුව කල්පනා වුණේ කිසිවෙකු පැන නොගිය බව හිර ගෙදර මුලාදෑනියාට කියන්නයි. හිර ගෙදර මුලාදෑනියා සිය දිවි නසාගනීවිය කියා පාවුල් සංවේදීය ලෙස තේරුම්ගත්තා. රෝම නීතියට අනුව, යම් සිරකරුවෙකු, විශේෂයෙන්ම ආරක්ෂා සහිතව තබන ලෙස උපදෙස් දී තිබුණු විටෙක සිරකරුවෙකු පැන ගියා නම්, හිරගෙදර මුලාදෑනියාට දැඩි දඬුවම් පමුණුවනු ඇති බව පාවුල් දැන සිටියා. (ක්‍රියා 16:24-28) ජීවිත බේරාගැනීමේ පාවුල්ගේ මෙම ක්‍රියාව ගැන මහත් සේ පැහැදුණු හිර ගෙදර මුලාදෑනියා සහ ඔහුගේ පවුලේ අය ක්‍රිස්තියානීන් බවට පත්වීමට පියවර ගත්තා.—ක්‍රියා 16:30-34.

සංවේදනය වගා කරන අන්දම

ශුද්ධ ලියවිලි අපව නිතර නිතර දිරිගන්වන්නේ අපගේ ස්වර්ගික පියා සහ ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන ලෙසයි. එබැවින් සංවේදනය යනු අප විසින් වගා කළ යුතු ගුණාංගයක්. අපට මෙය කළ හැක්කේ කොහොමද? අනුන්ගේ අවශ්‍යතා සහ හැඟීම්වලට අප දක්වන සංවේදිතාවය තියුණු කළ හැකි ක්‍රම තුනක් තිබෙනවා. සවන් දීමෙන්, නිරීක්ෂණය කිරීමෙන් සහ සිතේ මවාගැනීමෙන් එය කළ හැකියි.

සවන් දෙන්න. පරෙස්සමින් සවන් දීමෙන්, අපි අනුන් මුහුණ දෙන ගැටලු ගැන දැනගන්නෙමු. අප වඩාත් හොඳින් සවන් දෙන විට, අනෙක් අය ඔවුන්ගේ හදවත් විවෘත කර ඔවුන්ගේ හැඟීම් අපට ප්‍රකාශ කරාවි. “යම් වැඩිමහල්ලෙක් මට සවන් දේවිය කියා හොඳ නිසැකකමක් මට තිබෙනවා නම් මට ඔහුට කතා කරන්නට පුළුවන්” යයි මීරියාම් පැහැදිලි කරනවා. “ඔහුට මගේ ගැටලුව හොඳට තේරෙනවා කියලා මට දැනෙන්න ඕනෑ. දේවල් සෝදිසි කර බැලීමේ අටියෙන් ඔහු මගෙන් ප්‍රශ්න අහනකොට මං දන්නවා මං ඔහුට කියපු දේට ඔහු හොඳින් සවන් දීගෙන ඉඳලා තියෙනවා කියා.”

නිරීක්ෂණය කරන්න. තමන්ට හැඟෙන ආකාරය ගැන හෝ තමන් මුහුණ දෙන දේවල් ගැන සැම කෙනෙක්ම විවෘතව අපට කියන්නේ නැහැ. කෙසේවෙතත්, සෙසු ක්‍රිස්තියානියෙක් කලකිරී සිටින විට, නහඹරයෙක් වැඩිය කතා බහ නොකර විට හෝ දේවසේවකයෙකු තුළ තිබූ ජ්වලිතය නිවීගෙන යන විට, හොඳ නිරීක්ෂණයෙන් සිටින ක්‍රිස්තියානියෙකුට එය පහසුවෙන් වටහාගන්නට පුළුවන්. යම් ගැටලුවක් එහි මුල් අවදියේදීම දෙමාපියන් විසින් තේරුම්ගැනීම අතිශයින්ම වැදගත්. මාරි කියන්නේ මෙසේයි. “මං කියන්න හදන දේ කියන්නත් කලින්, මට දැනෙන විදිහ අම්මාට තේරෙනවා. ඒ නිසා මගේ ගැටලු ගැන ඇය සමඟ අවංකව කතා කරන එක මට පහසුයි.”

තත්වයන් සිතේ මවාගන්න. සංවේදනය තීව්‍ර කළ හැකි වඩාත් ප්‍රබල ක්‍රමය නම් ඔබෙන්ම මෙසේ ඇසීමයි. ‘මම මේ තත්වයේ සිටියා නම්, මට කොහොම හැඟේවිද? මම කොහොම ප්‍රතික්‍රියා කරාවිද? මට කුමක් අවශ්‍ය කරාවිද?’ යෝබ්ගේ බොරු සැනසිලිකාරයන් තුන්දෙනාට කිසිවිටෙකත් යෝබ්ගේ තත්වයට ඔවුන්වම දමාගැනීමට හැකි වුණේ නැහැ. මෙබැවින්, යෝබ් විසින් කළා කියා තම සිත්වල මවාගත් පාප නිසාවෙන් ඔවුන් ඔහුව හෙළා දැක්කා.

අසම්පූර්ණ මිනිසුන්ට යමෙකුගේ හැඟීම් තේරුම්ගන්නවාට වඩා ලෙහෙසියෙන් වැරදි විවේචනය කරන්නට පුළුවන්. කෙසේවෙතත්, යමෙකු මුහුණ දුන් දුක් කරදර වේදනා අපේ සිතේ මවාගන්නට බලවත් උත්සාහයක් ගන්නවා නම්, හෙළා දකිනවාට වඩා සංවේදනය දක්වන්නට එය අපට උපකාර කරාවි. “යම් යෝජනා ඉදිරිපත් කරන්නට පටන්ගන්නට පෙර හොඳින් සවන් දී සම්පූර්ණ තත්වයම තේරුම්ගන්නට මම වෑයම් කරද්දී, මට වඩාත් හොඳ උපදෙස් දෙන්නට පුළුවන්” යයි අද්දැකීම් ලත් වැඩිමහල්ලෙකු වන ජුවන් කියා සිටියා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බෙදාහැර තිබෙන ප්‍රකාශන මේ කාරණයේදී බොහෝදෙනෙකුට උපකාර වී තිබෙනවා. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල මානසික පීඩනය සහ ළමා අපචාරය වැනි සංකීර්ණ ගැටලු ගැනද කතා කර තිබෙනවා. මෙම කාලෝචිත තොරතුරු පාඨකයන්ට උදව් වී ඇත්තේ එවන් තත්වයන්ට ගොදුරු වී ඇති අයගේ හැඟීම්වලට වඩාත් සංවේදීව ක්‍රියා කිරීමටයි. මේ හා සමානව, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොත, බොහෝ දෙමාපියන්ට තම දරුවන්ගේ ගැටලු හොඳින් අවබෝධ කරගැනීමට මහත් සේ උපකාරවත් වී තිබෙනවා.

ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට සංවේදනය උපකාරවත් වෙයි

අප අතේ ඇති තරම් කෑම තිබේ නම්, හාමතයෙන් දුක් විඳින දරුවෙකුගේ දුක නිවාලන්නට අප අතුරින් ඉදිරිපත් නොවන්නේ කවුද? අපට සංවේදනය තිබේ නම්, යම් පුද්ගලයෙකුගේ ආත්මික තත්වය ගැනද අපි හොඳින් වටහාගන්නෙමු. බයිබලය යේසුස් ගැන පවසන්නේ මෙහෙමයි. “ඔහු සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළේය.” (මතෙව් 9:36) අදදින මිලියන ගණනක් සිටින්නේ ආත්මික අතින් එවන් තත්වයකයි. ඔවුන්ට උපකාර අවශ්‍යයි.

යේසුස් විසූ කාලයේදී මෙන්, ඇතැම් මිනිසුන්ගේ හදවත් කරා ළඟාවීම පිණිස, අගතිසහගත අදහස් හෝ තදින් කාවැදී ඇති සම්ප්‍රදායන් පෙරළා දමන්නට අපට සිදු වේවි. දයානුකම්පිත දේවසේවකයෙකු කරන දෙයක් තමයි, තමාගේ පණිවුඩය මිනිසුන්ගේ මනසට වඩාත් කාවද්දන එකක් බවට පත් කිරීම සඳහා ඔවුන් සමඟ එකඟ විය හැකි විෂයක් තෝරාගෙන කතා කිරීමට වෑයම් කිරීම. (ක්‍රියා 17:22, 23; 1 කොරින්ති 9:20-23) සංවේදනයෙන් පොලඹවනු ලැබූ කාරුණික ක්‍රියා සමඟින් ඉදිරිපත් කරන විට රාජ්‍ය පණිවුඩය අසන අයට එය වඩාත් හොඳින් පිළිගැනීමට හැකි වේවි. පිලිප්පියේ හිර ගෙදර මුලාදෑනියා සම්බන්ධ සිද්ධියේදී සිදු වූයේ එයයි.

සභාව තුළ සිටින අයගේ දුර්වලකම් අමතක කර දමන්නට සංවේදනය අපහට මහත් සේ උපකාරවත් වෙනවා. අපට රිදවා ඇති සහෝදරයෙකුගේ හැඟීම් තේරුම්ගැනීමට අප උත්සුක වෙනවා නම්, ඔහුට සමාව දීමට අපට ඉතා පහසු බවට කිසිදු සැකයක් නැහැ. අප ඔහුගේ තත්වයේම සිටියා නම් ඔහුගේම පසුබිම තුළ හා අද්දැකීම්වලට ලක් වී සිටියා නම්, සමහරවිට අපත් ඒ හා සමානව ප්‍රතික්‍රියා කරන්නට ඉඩ තිබුණා විය හැකියි. ‘අප ධූලි බව සිහි කිරීමට’ යෙහෝවාව පොලඹවන්නේ ඔහුගේ සංවේදනයයි. එමනිසා, අනුන්ගේ අසම්පූර්ණකම්වලට ඉඩහරිමින් ‘ඔවුන්හට නොමසුරුව කමාවීමට’ අප සතු සංවේදනයටත් අපව පෙලඹවීමට ඉඩ දිය යුතු නොවේද?—ගීතාවලිය 103:14; කොලොස්සි 3:13, NW.

අපට උපදෙස් දීමට සිදු වී තිබෙන විට, වරදක් කර ඇති පුද්ගලයෙකුගේ හැඟීම් සහ සංවේදීතාවයන් තේරුම්ගෙන සිටිනවා නම්, අප එම උපදෙස් වඩාත් කාරුණික ආකාරයකින් දීමට නැඹුරු වේවි. දයානුකම්පිත ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් තමාටම මෙලෙස සිහි කරගන්නවා. ‘මමත් ඒ වරද කරන්නට පුළුවන්. මමත් ඔහුගේ තත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා.’ එමනිසා, පාවුල් නිර්දේශ කරන්නේ මෙයයි. “එවන් මිනිසෙකුව මෘදුකමේ ආත්මයෙන් යුතුව යළි සකස් කිරීමට උත්සාහ කරන්න. එසේ කරන විට ඔබ, ඔබ කෙරෙහිත් ඇසක් තබාගන්න. මන්ද ඔබවද පරීක්ෂාවට ලක් විය හැකි බැවිනි.”—ගලාති 6:1, NW.

අපට සංවේදනය තිබෙනවා නම්, සෙසු ක්‍රිස්තියානියෙකු යම් ප්‍රායෝගික උපකාරයක් අපෙන් ඉල්ලීමට අදි මදි කළත් එය කිරීමට අපට හැකියාව තිබෙනවා නම්, උපකාරය පිරිනැමීමට ඉදිරිපත් වීමට අප පසුබට වන්නේ නැහැ. ප්‍රේරිත යොහන් මෙසේ ලියනවා. “ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක, ඔහුට අනුකම්පා නොකළොත්, දෙවිගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද? . . . වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේම කරමු.”—1 යොහන් 3:17, 18.

“ක්‍රියාවෙනුත් සැබෑවෙනුත්” ප්‍රේම කිරීම පිණිස, අප පළමුව අපගේ සහෝදරයාගේ සුවිශේෂී අවශ්‍යතා මොනවාද කියා වටහාගත යුතුයි. අප අනුන්ට උපකාර කිරීමේ අටියෙන් ඔවුන්ගේ අවශ්‍යතා ගැන සුපරීක්ෂාවෙන් සොයා බලනවාද? සංවේදනය කියන්නේ එයටයි.

අනුකම්පාව වගා කරන්න

අප සහජයෙන්ම ඉතා සංවේදනාත්මක පුද්ගලයන් නොවන්නට පුළුවන්. නමුත් අපට අනුකම්පාව වගා කරන්නට හැකි බව මතක තබාගනිමු. අප වඩාත් හොඳින් සවන් දෙනවා නම්, වඩාත් තියුණු ලෙස නිරීක්ෂණය කරනවා නම්, වෙනත් අයගේ තත්වයන් තුළට අප නිතර නිතර අපවම දමාගන්නවා නම්, අපගේ සංවේදනය වැඩෙනවා ඇති. මෙහි ප්‍රතිඵලයක් හැටියට අපගේ දරුවන්ට, සෙසු ක්‍රිස්තියානීන්ට සහ අපගේ අසල්වාසීන්හට වඩාත් වැඩියෙන් ප්‍රේමය, කරුණාව සහ දයානුකම්පාව පෙන්වීමට අප උත්සුක වනවා නොඅනුමානයි.

ඔබේ සංවේදනය මොට කිරීමට ආත්මාර්ථකාමීකමට කිසි විටෙකත් ඉඩහරින්නට එපා. “ඔබගෙන් කිසිවෙක් තමාගේම කාරණා කටයුතු ගැන පමණක් නොසිතන්න. අනුන්ගේ කාරණා කටයුතු ගැනත් සලකා බලන්න.” (පිලිප්පි 2:4, ෆිලිප්ස්) අපගේ සදාකාලික අනාගතය රඳා පවතින්නේ යෙහෝවාගේ සහ ඔහුගේ උත්තම පූජක යේසුස් ක්‍රිස්තුස්ගේ සංවේදනය මතයි. මෙබැවින්, මෙම ගුණාංගය වගා කිරීමට අපි සදාචාරමය වශයෙන් බැඳී සිටිමු. අපගේ සංවේදනය අපව වඩාත් හොඳ දේවසේවකයන් සහ වඩාත් හොඳ දෙමාපියන් බවට පත් කරාවි. ඒ සියල්ලටම ඉහළින්, “ගැනීමට වඩා දීමේදී වඩාත් සන්තෝෂයක්” ලබන බව වටහාගැනීමට සංවේදනය අපට උපකාර කරාවි.—ක්‍රියා 20:35, NW.

[25වන පිටුවේ පින්තූරය]

අනුන්ට උපකාර කිරීමේ අටියෙන් ඔවුන්ගේ අවශ්‍යතා ගැන හොඳින් සොයා බැලීම සංවේදනයට අයත් වෙනවා

[26වන පිටුවේ පින්තූරය]

ආදරණීය මවක් තම දරුවා කෙරෙහි සහජයෙන්ම සංවේදනාත්මක හැඟීම් දක්වන්නාක් මෙන් අපත් සංවේදනය දක්වනු ඇද්ද?