Skip to content

පටුනට යන්න

අපේ දරුවන්ගේ හදවත් තුළ යෙහෝවා සඳහා ප්‍රේමයක් පැලපදියම් කිරීම

අපේ දරුවන්ගේ හදවත් තුළ යෙහෝවා සඳහා ප්‍රේමයක් පැලපදියම් කිරීම

ජීවිත කතාව

අපේ දරුවන්ගේ හදවත් තුළ යෙහෝවා සඳහා ප්‍රේමයක් පැලපදියම් කිරීම

පැවසුවේ වර්නර් මාට්සන්

අවුරුදු කිහිපයකට කලින් මගේ ලොකු පුතා හාන්ස් වර්නර් මට බයිබලයක් තෑගි කළා. පිට කවරය ඇතුලේ ඔහු ලියා තිබුණේ “ආදරණීය තාත්තේ, අපේ මුළු පවුලටම ජීවනයට යන මඟෙහි ගමන් කිරීම සඳහා යෙහෝවාගේ වචනය දිගටම මඟ පෙන්වනු ලැබේවා! මීට ඔබට මුළු හදින්ම ස්තුති කරන ඔබේ ලොකු පුතා.” එම වචන මගේ හිතේ කොයිතරම් සතුටක් ඇති කළාද කියලා දෙමාපියෙක් නම් ඔබට තේරුම්ගත හැකියි. ඇත්තෙන්ම ඒ වේලාවේ මම හීනෙකින්වත් හිතුවේ නෑ අපිට පවුලක් වශයෙන් ලොකු අභියෝගවලට මූණ දෙන්න වෙයි කියා.

මම ඉපදුණේ 1924දී ජර්මනියේ වරායක් වන හැම්බර්ග් සිට කිලෝමීටර් 20ක් ඈතින් පිහිටි හාල්ට්සන්බෙක්වලයි. මාව ලොකු මහත් කළේ මගේ අම්මයි සීයයි. ආවුද තනන්නෙකු වශයෙන් පුහුණුව ලබා තිබූ මාව 1942දී යුධ හමුදාවේ (වේර්මාක්ට්) අනිවාර්ය සේවය සඳහා බඳවාගත්තා. දෙවන ලෝක යුද්ධයේදී රුසියානු යුධ පෙරමුණේ සටන් කරන අතරතුරේ මං අද්දැක්ක දේවල් මාව කොයිතරම් කම්පනයකට ලක් කළාද කිව්වොත් ඒවා වචනවලින් විස්තර කරන්න බැහැ. මට ටයිෆොයිඩ් උණ හැදුණ නමුත් බෙහෙත් කළාට පස්සේ මාව ආයෙත් යුධ පෙරමුණට යැව්වා. මම 1945 ජනවාරි මාසයේදී, පෝලන්තයේ ලොඩ්ස්වලදී දරුණු ලෙස තුවාල ලැබුව නිසා මාව හමුදා රෝහලකට ඇතුල් කළා. යුද්ධය අවසන් වන විටත් මම සිටියේ එතැනමයි. රෝහලේ සිටින විටත්, නොයිඅන්ගාමහි රැඳවුම් කඳවුරේ සිටින විටත් මම ගොඩක් දේවල් ගැන කල්පනා කරන්න පටන්ගත්තා. ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද? ඉන්නවා නම්, මේ තරම් කෲර දේවලට ඉඩ දෙන්නේ ඇයි වැනි ප්‍රශ්න මගේ හිතට වද දුන්නා.

මාව 1947 සැප්තැම්බර් මාසයේ රැඳවුම් කඳවුරෙන් නිදහස් කළාට පසුව මං කාර්ලාව විවාහ කරගත්තා. අපි දෙන්නා එකම ගමේ තමයි හැදුණේ. කාර්ලා කතෝලිකයෙක් වුණත් මගේ පවුලේ අය නම් ආගම ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. අපි දෙන්නාගේ විවාහ කටයුතු සිදු කළ පූජකයා කිව්වේ අඩුම තරමින් සෑම සැන්දෑවකම ස්වාමීන්ගේ යාච්ඤාව හරි කියන්න කියලයි. අපි ඔහුගේ උපදෙස් පිළිපැද්දා, හැබැයි අපි යාච්ඤා කළේ මොනවා ගැනද කියා අපි දැනගෙන හිටියේ නැහැ.

අවුරුද්දක් ගෙවුණට පස්සේ හාන්ස් වර්නර් ඉපදුණා. ඒ කාලයේදී තමයි මාත් එක්ක වැඩ කළ විල්හෙල්ම් ආරන්ස් මට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හඳුන්වලා දුන්නේ. ඔහු මට බයිබලයෙන් පෙන්නුවා යම් කාලයකදී යුද්ධ සම්පූර්ණයෙන්ම නතර වෙයි කියලා. (ගීතාවලිය 46:9) මම 1950 ශරත් ඍතුවේදී යෙහෝවාට මගේ ජීවිතය කැප කරලා බව්තීස්ම වුණා. ඊට අවුරුද්දකට පස්සේ මගේ ආදරණීය බිරිඳත් බව්තීස්ම වුණ එක මට මොනතරම් ප්‍රීතියක්ද!

යෙහෝවාගේ මාර්ගයෙහි දරුවන් ඇති දැඩි කිරීම

යෙහෝවා විවාහයේ ආරම්භකයා බව මම බයිබලයෙන් කියවා තිබුණා. (උත්පත්ති 1:26-28; 2:22-24) අපේ දරුවන්, එනම් හාන්ස් වර්නර්, කාර්ල්-හයින්ස්, මිෂායෙල්, ගාබ්‍රියෙල්ලා හා ටෝමාස් ඉපදෙන කොට මමත් මගේ බිරිඳ ළඟම සිටියා. ඒ අද්දැකීම ලැබුණ හින්දා හොඳ පුරුෂයෙක් හා තාත්තා කෙනෙක් වීමට මගේ අදිටන තව තවත් වැඩි වුණා. අපේ සෑම දරුවෙකුගේම උපත කාර්ලාටයි මටයි ඉතාමත් ප්‍රීතිමත් අවස්ථා වුණා.

අපේ පවුලට අමතක නොවන සිද්ධියක් තමයි 1953, නියුරන්බර්ග්හි පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුව. සිකුරාදා දහවල් සැසිවාරයේදී “නව ලෝක සමාජය තුළ දරුවන්ව ඇති දැඩි කිරීම” යන මාතෘකාවෙන් යුත් කතාවක් ඉදිරිපත් කළා. කථිකයා කිවූ මේ වචන අපට කවදාවත් අමතක වෙලා නැහැ. “අපේ දරුවන්ට දිය හැකි ශ්‍රේෂ්ඨතම උරුමය වන්නේ දෙවිගේ සේවකයන් වීමට ඔවුන්ගේ හදවත් තුළ ආශාවක් ජනිත කරවීමයි.” කාර්ලාටයි, මටයි වුවමනා වුණේ යෙහෝවාගේ උපකාරය ඇතුව එසේ කිරීමටයි. ඒත් ඒ කොහොමද?

අපි මුලින්ම දිනපතාම පවුලක් හැටියට යාච්ඤා කිරීම පුරුද්දක් කරගත්තා. මෙයින් ළමයින් ඉගෙනගත්තා යාච්ඤාව කොතරම් වැදගත්ද කියා. අපේ හැම දරුවෙකුටම කුඩා කාලයේ ඉඳන්ම අපි ඉගැන්නුවා කෑමට පෙර යාච්ඤා කරන්න ඕනේ කියලා. චූටි කාලයේ වුණත් කිරි බෝතලය දැක්ක ගමන්ම ඔවුන් හිස නමා චූටි අත් දෙක එකතු කරගෙන යාච්ඤාවට සූදානම් වුණා. එක් අවස්ථාවකදී සාක්ෂිකරුවෙක් නොවන මගේ බිරිඳගේ ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයට අපි සහභාගි වුණා. විවාහ මංගල්‍යයෙන් පසුව මනාලියගේ දෙමව්පියන් අපිට කෑමට ආරාධනා කළා. සියලුදෙනාම යාච්ඤා නොකර කන්න සූදානම් වුණා. හැබැයි අපේ පස්හැවිරිදි කාර්ල්-හයින්ස් ඒකට ඉඩ දුන්නේ නැහැ. “කන්න ඉස්සෙල්ලා යාච්ඤාවක් කියන්නකෝ” කියා ඔහු පැවසුවා. කෑමට ආරාධනා කළ අමුත්තන් පුදුමයෙන් වාගේ ඔහු දෙස බැලුවා. ඉන්පසු අපි දෙසත් අපිට ආරාධනා කළ අය දෙසත් බැලුවා. ප්‍රශ්නයක් ඇති වෙන්න ඉස්සෙල්ලා අපිට ආරාධනා කළ අයගෙන් මම ඇහුවා කෑමට ස්තුති කරලා යාච්ඤාවක් කියන්නද කියලා. ඔවුන් ඒකට එකඟ වුණා.

ඒ සිද්ධියෙන් මට මතක් වුණේ යේසුස්ගේ මේ වචන ටිකයි. “බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණ කර තිබේ.” (මතෙව් 21:16) අපේ දරුවන් සමඟ අපි නිතරම කළ හෘද පූර්ණ යාච්ඤා, යෙහෝවාව ඔවුන්ගේ ප්‍රේමනීය පියා හැටියට සලකන්න ඔවුන්ට උපකාරවත් වුණා කියලා අපි හිතනවා.

යෙහෝවා කෙරෙහි වූ අපේ වගකීම

දෙවිට ආදරේ කරන්න දරුවන්ට ඉගැන්වීමට නම් නිතිපතා ඔහුගේ වචනය කියවා එය අධ්‍යයනය කළ යුතුයි. මේක හිතේ තියාගෙන අපි සෑම සතියකදීම, බොහෝදුරට සඳුදා සවස් වරුවේ පවුලේ පාඩමක් පැවැත්වූවා. අපේ වැඩිමලායි බාලයයි අතර අවුරුදු නවයක පරතරයක් තිබුණ නිසා දරුවන්ගේ අවශ්‍යතාවන් හාත්පසින්ම වෙනස් වුණා. ඒ හින්දා අපි හැමතිස්සේම හැම දරුවෙක් සමඟම එකම තොරතුරු සාකච්ඡා කළේ නැහැ.

උදාහරණයකට පාසැල් යෑමට තරම් වයසක නොසිටි දරුවන්ට අපි හරිම සරල විදිහටයි ඉගැන්නුවේ. කාර්ලා ඔවුන් එක්ක එක බයිබල් පදයක් කියවලා සාකච්ඡා කළා. එහෙමත් නැත්නම් අපේ බයිබල් ආධාරක පොත් පත්වලින් පින්තූරයක් පෙන්වා ඒ ගැන කතා කළා. මගේ සොඳුරු මතකයන් අතර රැඳිලා තියෙන එක සිද්ධියක් වන්නේ අපේ පුංචි එවුන් ටික උදේ පාන්දරින්ම අපේ ඇඳට නැඟලා ද නිව් වර්ල්ඩ් a කියන පොතෙන් ඔවුන් වැඩියෙන්ම ආස කරපු පින්තූරය අපිට පෙන්නූ හැටියි.

කාර්ලා ඉතා දක්ෂ ලෙසත් ඉවසිලිවන්ත ලෙසත් යෙහෝවාට ආදරය කළ යුතු හේතු ගණනාව දරුවන්ට කියා දුන්නා. මේක හරිම පහසු වැඩක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි ඒකට අපි දෙන්නාට හුඟක් වෙහෙස මහන්සි වෙන්න සිදු වුණා. ඒක ඇත්තෙන්ම අපිව ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් වෙහෙසට පත් කළා කියා කියන්න පුළුවන්. ඒත් අපි වෑයම අත්හැරියේ නැහැ. අපිට ඕන වුණේ යෙහෝවා ගැන කිසිම දෙයක් දන්නේ නැති අය ඔවුන්ට බලපෑම් කරන්න කලින් ඔවුන්ගේ ළපටි හදවත් තුළ දේව ප්‍රතිපත්ති පැලපදියම් කරන්නයි. ඒ නිසා අපේ දරුවන්ට ඉඳගන්න පුළුවන් වුණ විගසම පවුලේ පාඩමට ඔවුන්ව හවුල් කරගත්තා.

දෙමව්පියන් නමස්කාරය සම්බන්ධයෙන් නිවැරදි ආදර්ශය තැබිය යුතුයි කියා කාර්ලායි මායි වටහාගත්තා. ඒ නිසා කෑම කන ගමන්, වත්තේ වැඩ කරන ගමන් හෝ ඇවිදින්න යන ගමන් අපේ සෑම දරුවෙකුටම යෙහෝවා සමඟ තිබුණ පෞද්ගලික සම්බන්ධය තවත් ශක්තිමත් කරන්න අපි වෑයම් කළා. (ද්විතීය කථාව 6:6, 7) කුඩා කාලයේදීම සෑම දරුවෙකුටම අපි බයිබලයක් දුන්නා. ඒ වගේම අලුත් සඟරා ආපු ගමන්ම මම පවුලේ සියලුදෙනාටම එකක් වෙන් කරලා ඒ හැම එකකම ඔවුන්ගේ නම් ලිව්වා. ඒ හින්දා දරුවන් දැනගෙන හිටියා තමාටම කියලා පොත් පත් තිබුණ බව. ඒ වගේම හැම දරුවෙකුටම කියවීමට පිබිදෙව්! සඟරාවේ විවිධ ලිපි පවරන්න අපි තීරණය කළා. ඉරිදා දවල් කෑමෙන් පස්සේ තමන් කියෙවූ ලිපි තේරුම්ගත්තේ කොහොමද කියා ඔවුන් අපිට පැහැදිලි කළා.

දරුවන්ට අවශ්‍ය අවධානය දීම

අපිට ගැටලු නොතිබුණාම නෙවෙයි. දරුවන් ලොකු වෙන්න වෙන්න අපි තේරුම්ගත්තා ඔවුන්ගේ හදවත් තුළ ප්‍රේමය පැලපදියම් කරන්න නම් ඊට කලින් ඔවුන්ගේ හදවත් තුළ තිබෙන්නේ මොනවාද කියා දැනගත යුතු බව. ඒ සඳහා ඔවුන්ට සවන් දීම අවශ්‍ය වුණා. සමහර අවස්ථාවලදී අපේ දරුවන් යම් දේවල් ගැන පැමිණිලි කළා. ඉතිං කාර්ලායි මායි ඔවුන් සමඟ ඉඳගෙන ඒ ගැන කතා කරන්න පෙලඹුණා. අපි තීරණය කළා ඒ වගේ දේවල් ගැන කතා කිරීම සඳහා පවුලේ පාඩමෙන් පස්සේ පැය භාගයක් වෙන් කිරීමට. ඒ වේලාවේදී තමන්ගේ හිතේ තියෙන ඕනෑම දෙයක් පැවසීමට අපි දරුවන්ට නිදහස දුන්නා.

උදාහරණයක් හැටියට, අපේ බාලම දරුවන් දෙන්නා වන ටෝමාස් හා ගාබ්‍රියෙල්ලා හිතාගෙන හිටියා අපි දෙන්නා ඔවුන්ගේ ලොකු අයියාට වැඩි ආදරයක් දක්වනවා කියා. එක් අවස්ථාවකදී ඔවුන් විවෘතව පැවසුවේ “තාත්තේ, ඔයයි අම්මයි හැමතිස්සේම හාන්ස් වර්නර්ට එයාට ඕන විදිහට දේවල් කරන්න ඉඩ දෙනවා” කියායි. මුලදී මට පුදුම හිතුණා. හැබැයි විවෘත මනසක් ඇතුව කාරණය සලකා බැලුවායින් පසුව ඔවුන් කියපු දෙයෙහි යම් ඇත්තක් තියෙනවා කියා මායි කාර්ලායි වටහාගත්තා. ඉතිං ඊට පස්සේ හැම දරුවෙකුටම එකම විදිහට සලකන්න අපි වැඩි උත්සාහයක් දැරුවා.

සමහර වෙලාවලදී මම හිතන්නේ බලන්නේ නැතුව නැත්නම් අසාධාරණ ලෙස දරුවන්ට දඬුවම් කළා. ඒ වගේ අවස්ථාවලදී අපි ඉගෙනගත්තා දෙමව්පියන් හැටියට දරුවන්ගෙන් සමාව ඉල්ලන්න. ඊට පස්සේ අපි යෙහෝවාට යාච්ඤා කළා. යෙහෝවාගෙන් හා දරුවන්ගෙන් සමාව ඉල්ලන්න තමන්ගේ තාත්තා කැමැත්තක් දැක්වූ බව දරුවන්ට දැකගැනීමට හැකිවීම වැදගත් දෙයක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපිට දරුවන් එක්ක ඉතා කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් වුණා. ඔවුන් නිතරම වාගේ අපිට කිව්වේ “තාත්තයි අම්මයි තමයි අපේ හොඳම යාළුවෝ” කියා. ඒකෙන් අපේ හිතට ලොකු සතුටක් දැනුණා.

පවුලක් හැටියට එකට වැඩ කිරීම පවුලේ එකමුතුකමට දායක වෙනවා. ඒ නිසා සියලුදෙනාටම ගෙදර දොරේ කරන්න වැඩ පවරලා දුන්නා. හාන්ස් වර්නර්ට පවරා තිබුණේ සතියකට වරක් කඩේට ගිහින් ගෙදරට අවශ්‍ය බඩු අරං එන්නයි. ඒ සඳහා අපි සාමාන්‍යයෙන් බඩු ලැයිස්තුවක් හා සල්ලි ටිකක් ඔහුගේ අතට දුන්නා. එක සතියකදී අපි බඩු ලැයිස්තුවවත් සල්ලිවත් ඔහුට දුන්නේ නැහැ. ඒ ඇයි කියා ඔහු අම්මාගෙන් ඇහුවාම ඇය කිව්වේ අතේ සල්ලි නැහැ කියායි. එතකොට ළමයි ඔක්කොම එකතු වෙලා හෙමිහිට කතා වෙලා ඔවුන් එක් එක්කෙනා ගාව තිබුණ සල්ලි ටික එකතු කරලා මේසය මත තැබුවා. ඊට පස්සේ, “අම්මේ, දැන් අපිට කඩේට යන්න පුළුවන්!” කියා ඔවුන් ඉතා උද්‍යෝගයෙන් පැවසුවා. ඔව්, හදිසි අවශ්‍යතාවක් පැනනැඟුණු විට උපකාර කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වීමට අපේ දරුවෝ ඉගෙනගෙන තිබුණා. මේකෙන් සිදු වුණේ පවුලේ සියලුදෙනා අතර තිබුණ බැඳීම තවත් ශක්තිමත් වීමයි.

යොවුන් වියට පා තබද්දී පුතාලා ගැහැනු ළමයි ගැන උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. උදාහරණයක් හැටියට 16 හැවිරිදි සාක්ෂිකාර සහෝදරියකට ටෝමාස්ගේ හිත ගියා. මම ඔහුට පැහැදිලි කළා ඒ ගැහැනු ළමයා ගැන අවංක උනන්දුවක් තිබෙනවා නම් විවාහ වෙන්නත් බිරිඳක් හා දරුවන් රැක බලාගැනීමේ වගකීම දරන්නත් ඔහු සූදානම් විය යුතුයි කියා. එතකොට ටෝමාස්ට වයස අවුරුදු 18ක් පමණයි. ඉතිං ඔහුට වැටහී ගියා විවාහයට ඔහු සූදානම් නැති බව.

පවුලක් වශයෙන් ප්‍රගතියක් ලැබීම

දරුවන් ලා බාල කාලයේදීම දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වුණා. අපි ඔවුන්ගේ පැවරුම්වලට හොඳින් සවන් දුන්නා. ඒ පැවරුම් ඔවුන් ඉටු කරන විදිහෙන් ඔවුන් අවංකව මුළු හදින්ම දෙවිට ආදරේ කරන බව අපිට පෙනී ගිය හින්දා අපි ලොකු දිරිගැන්වීමක් ලැබුවා. අපේ ගෙදර ඉඳ හිට නවාතැන් ගත් චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂකයන් ඔවුන්ගේ ජීවිත අද්දැකීම් අපිට කිව්වා. එහෙමත් නැත්නම් ඔවුන් අපිත් සමඟ බයිබලය කියෙව්වා. පූර්ණ කාලීන සේවය සඳහා අපේ හදවත් තුළ ඇල්මක් වර්ධනය කිරීමට මේ පුරුෂයන් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන්ද අපිට උපකාර කළා.

අපි හැමදාම සමුළු එනකම් බලාගෙන හිටියා. දේවසේවකයන් වීමේ ආශාව අපේ දරුවන් තුළ පැලපදියම් කිරීමට මෙම සමුළු විශේෂ ආකාරයකින් දායක වුණා. අපේ දරුවන් ඔවුන්ගේ බැජ් කාඩ් පැළඳගෙන සමුළු භූමියට ගමන් කළේ හරිම උද්‍යෝගයකින්. හාන්ස් වර්නර් අවුරුදු දහයේදීම බව්තීස්ම වෙද්දී අපිට ලොකු සතුටක් දැනුණා. හුඟදෙනෙක් කියා සිටියේ යෙහෝවාට කැපවීමක් කරන්න ඔහු ලාබාල වැඩියි කියායි. හැබැයි වයස අවුරුදු 50ක්ව සිටියදී ඔහු මට කියා සිටියේ අවුරුදු 40ක් පුරාම යෙහෝවාට සේවය කරන්න ලැබීම ගැන ඔහු ඉතා කෘතඥපූර්වක වූ බවයි.

යෙහෝවා සමඟ පෞද්ගලික සම්බන්ධයක් ඇති කරගැනීම හරිම වැදගත් කියා අපි දරුවන්ට පෙන්නුවත් යෙහෝවාට කැප වෙන්න අපි ඔවුන්ට බල කළේ නැහැ. ඒ හින්දා කාලයක් යද්දී අනිත් දරුවනුත් බව්තීස්ම වීමට පියවර ගන්නවා දකිද්දී අපි හුඟක් සතුටු වුණා.

යෙහෝවා වෙත අපේ බර වීසි කරන්න ඉගෙනගැනීම

හාන්ස් වර්නර් 1971දී වොච්ටවර් ගිලියද් පාසැලේ 51වන පංතියෙන් සමත් වී මිෂනාරිවරයෙක් හැටියට ස්පාඤ්ඤයට ගොස් සේවය කිරීමට පැවරුමක් ලැබූ අවස්ථාවේදී අපේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වුණා. අනිත් දරුවනුත් යම් කාලයකට පූර්ණ කාලීන සේවයේ යෙදුණා. දෙමව්පියන් වන අපි ඒකෙන් ලොකු සතුටක් ලැබුවා. මේ අවස්ථාවේදී තමයි හාන්ස් වර්නර් මේ ලිපියේ මුලදී සඳහන් කළ ආකාරයට මට බයිබලයක් තෑගි කළේ. ඒ කාලයේදී අපි පවුලක් හැටියට හුඟක් සතුටින් තමයි හිටියේ.

එහෙත් වැඩි කල් යන්න කලින් අපි වටහාගත්තා අපි යෙහෝවාට තව තවත් ළං විය යුතු බව. ඒ ඇයි? වැඩිහිටියන් බවට පත් වී සිටි අපේ දරුවන්ගෙන් කිහිපදෙනෙක් ඇදහිල්ල දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළ ගැටලුවලට මුහුණ දුන් නිසයි. උදාහරණයක් හැටියට අපේ දූ ගාබ්‍රියෙල්ලාට වේදනාකාරි අද්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇය ලෝටාර් සමඟ විවාහ වුණේ 1976දීයි. හැබැයි විවාහ වී වැඩි කල් යන්න කලින් ඔහු අසනීප වුණා. ඔහු ක්‍රමක්‍රමයෙන් දුර්වල වී මිය යන තෙක්ම ගබ්‍රියෙල්ලා ඔහුට සත්කාර කළා. නිරෝගීව සිටි පවුල් සාමාජිකයෙක් අසනීප වී මිය යනවා දකිද්දී අපිට තේරුම්ගියා යෙහෝවාගේ ප්‍රේමනීය හස්තයෙන් ලැබෙන උපකාරය අපිට කොයිතරම් අවශ්‍යද කියා.—යෙසායා 33:2.

යෙහෝවාගේ සංවිධානය තුළ ලැබූ වරප්‍රසාද

මාව 1955දී සභාවේ සේවක (දැන් මුලසුන භාර අවේක්ෂක) හැටියට පත් කරන විට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මං ගාව තිබුණේ නැහැයි කියා මට හැඟුණා. කරන්න හුඟක් වැඩ තිබුණ අතර ඒ සෑම දෙයක්ම ඉටු කිරීම සඳහා සමහර දවස්වලදී පාන්දර හතරට නැඟිටින්න මට සිදු වුණා. මට හවස් වරුවේ වැඩ කරන්න සිදු වුණ අවස්ථාවලදී මගේ බිරිඳයි දරුවනුයි මට බාධා නොකර පූර්ණ සහයෝගය දැක්වූවා.

කොහොම වුණත් හැකි සෑම විටකම අපි පවුලක් වශයෙන් අපේ විවේක කාලය එකට ගත කළා. මගේ වැඩපොළේ ස්වාමියා මට ඔහුගේ කාර් එක භාවිත කරන්න දුන් අවස්ථාවලදී අපි හැමදෙනාම එකතු වෙලා කොහේ හරි ගමනක් යනවා. අපි කැලෑවක් ඇතුලේ මුරටැඹ පාඩමට සූදානම් වුණ අවස්ථාවන් දරුවන්ට ලොකු ප්‍රීතියක් ගෙන දුන්නා. අපි විනෝදයට ඒ කැලෑවල ඇවිදින්නත් ගියා. ඒ වගේ වේලාවලට මම හාර්මෝනිකාව වාදනය කරද්දී පවුලේ අනිත් අය සිංදු කිව්වා.

මාව 1978දී ආදේශක චාරිකා අවේක්ෂකයෙක් (සංචාරක දේවසේවකයෙක්) හැටියට පත් කළා. මට ලොකු භයක් දැනුණ හින්දා “යෙහෝවා මට නම් මේ වැඩේ කරන්න බැහැ. හැබැයි ඔබ කියනවා නම් මම ඒක ඉටු කරන්න මගේ උපරිමය කරන්නම්” කියා මම යාච්ඤා කළා. ඉන් අවුරුදු දෙකකට පසුව, ඒ කියන්නේ මට වයස අවුරුදු 54ක් වන විට මං කරගෙන ගිය පොඩි ව්‍යාපාරය අපේ බාල පුතා ටෝමාස්ට භාර දුන්නා.

එතකොට අපේ දරුවෝ ඔක්කොම වැඩිහිටියන්. ඒ හින්දා මටයි කාර්ලාටයි යෙහෝවා වෙනුවෙන් වැඩි යමක් කිරීමට හැකියාව තිබුණා. ඒ අවුරුද්දේම මාව චාරිකා අවේක්ෂකයෙක් වශයෙන් පත් කළ අතර හැම්බර්ග්හි කොටසක් හා මුළු ෂ්ලෙස්විග්-හොල්ස්ටයින් ප්‍රදේශයම මට පැවරුවා. දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳව අපි අද්දැකීම් ලබා තිබුණ හින්දා දෙමව්පියන්ව හා දරුවන්ව වඩා හොඳින් තේරුම්ගන්න අපිට හැකියාව තිබුණා. බොහෝ සහෝදරයන් අපිව හැඳින්වූයේ ඔවුන්ගේ චාරිකා දෙමව්පියන් හැටියටයි!

මා සමඟ චාරිකාවේ අවුරුදු දහයක් සේවය කළ පසු කාර්ලාට සැත්කමක් කරන්න සිදු වුණා. ඒ අවුරුද්දේම මගේ මොළේ ගෙඩියක් තියෙනවා කියා වෛද්‍යවරුන් සොයාගත්තා. ඒ හින්දා චාරිකා සේවය අත්හැර අවශ්‍ය සැත්කම කළා. මට නැවත ආදේශක චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කරන්න ලැබුණේ ඉන් අවුරුදු තුනකට පසුවයි. කාර්ලායි මායි දැන් ඉන්නේ අපේ හැත්තෑ ගණන්වලයි. අපිට දැන් සංචාරක සේවයේ යෙදෙන්න හැකියාවක් නැහැ. පැවරුමක් හරියට ඉටු කරන්න බැරි නම් ඒක අල්ලගෙනම ඉඳලා වැඩක් නැහැයි කියා තේරුම්ගන්න යෙහෝවා අපිට උපකාර කළා.

අතීතය ගැන සිතා බලද්දී අපේ දරුවන්ගේ හදවත් තුළ සත්‍යය සඳහා ප්‍රේමයක් පැලපදියම් කිරීමට යෙහෝවාගෙන් ලැබූ උපකාරය ගැන මමයි කාර්ලායි හුඟක් ස්තුතිවන්ත වෙනවා. (හිතෝපදේශ 22:6) යෙහෝවා වසරක් වසරක් පාසා අපේ වගකීම් ඉසිලීම සඳහා අපිට අවශ්‍ය මඟ පෙන්වීම හා පුහුණුව ලබා දීලා තියෙනවා. අපි දැන් වයසට ගිහින්. අපේ සෞඛ්‍ය තත්වය දුර්වලයි. හැබැයි යෙහෝවා කෙරෙහි අපිට තිබෙන ආදරය එදා මෙන් අදත් ඉතා ශක්තිමත්ව පවතිනවා.—රෝම 12:10, 11.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද නමුත් දැන් ලබාගත නොහැකියි.

[26වන පිටුවේ පින්තූරය]

අපේ පවුල, 1965දී හැම්බර්ග්හි එල්බ් ගඟ අසල ඇවිදින්න ගිය අවස්ථාවකදී

[28වන පිටුවේ පින්තූරය]

බර්ලින්හි 1998දී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී අපේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක්

[29වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ කාර්ලා සමඟ