Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“මහත් සමූහය” යෙහෝවාගේ දේවමාළිගාවේදී පරිශුද්ධ සේවය පිරිනමනවා යොහන් දුටු විට, ඔවුන් නමස්කාර කරමින් සිටියේ දේවමාළිගාවේ කුමන කොටසෙහිද?—එළිදරව් 7:9-15.

මහත් සමූහය නමස්කාර කරමින් සිටින්නේ යෙහෝවාගේ උතුම් ආත්මික දේවමාළිගාවේ එක් භූමික මළුවක බව පැවසීම සාධාරණය. විශේෂයෙන්ම එය සාලමොන්ගේ දේවමාළිගාවේ පිට මළුවට අනුරූප තත්වයක තිබේ.

කලකට පෙර පවසා තිබුණේ, මහත් සමූහය යේසුස්ගේ කාලයේදී තිබූ අන්‍යජාතීන්ගේ මළුවට සමාන හෝ අනුරූප ආත්මික තත්වයක සිටින බවය. කෙසේවෙතත්, එය එසේ නොවන බව අඩුම තරමින් හේතුසාධක පහකින් හෙළි කර තිබේ. ප්‍රථමයෙන්ම, හෙරොද්ගේ දේවමාළිගාවේ සියලුම ලක්ෂණයන් යෙහෝවාගේ උතුම් ආත්මික දේවමාළිගාව නිරූපණය කරන්නේ නැත. උදාහරණයක් වශයෙන්, හෙරොද්ගේ දේවමාළිගාවේ ස්ත්‍රීන්ගේ මළුවක් හා ඉශ්‍රායෙල්වරුන්ගේ මළුවක් තිබිණ. ස්ත්‍රීන්ගේ මළුවට පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙගොල්ලන්ටම ඇතුල් විය හැකි වුවත් ඉශ්‍රායෙල්ගේ මළුව තුළට යෑමට අවසර තිබුණේ පුරුෂයන්ට පමණි. යෙහෝවාගේ උතුම් ආත්මික දේවමාළිගාවේ භූමික මළුවල නමස්කාරයේ යෙදෙන පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව වෙන් කර නැත. (ගලාති 3:28, 29) මෙබැවින්, ආත්මික දේවමාළිගාවේ ස්ත්‍රීන්ගේ මළුවට හා ඉශ්‍රායෙල්ගේ මළුවට සමාන කළ හැකි දෙයක් නැත.

දෙවනුව, සාලමොන්ගේ දේවමාළිගාව පිළිබඳව හෝ එසකියෙල්ගේ දර්ශනයේදී දුටු දේවමාළිගාව පිළිබඳව දිව්‍යමය ආනුභාවයෙන් සැපයූ ගෘහ නිර්මාණ සැලසුම්වල අන්‍යජාතීන්ගේ මළුවක් තිබුණේ නැත. සෙරුබ්බාබෙල් යළි ඉදි කළ දේවමාළිගාවේද එවැන්නක් තිබුණේ නැත. මෙබැවින්, නමස්කාරය සඳහා පවතින යෙහෝවාගේ උතුම් ආත්මික දේවමාළිගා විධිවිධානය තුළ අන්‍යජාතීන්ගේ ආත්මික මළුවක් තිබිය යුතුයි කියා පැවසීමට හොඳ හේතුවක් නොමැත. විශේෂයෙන්ම ඊළඟ කරුණ සලකා බලන විට එය තහවුරු වේ.

තුන්වනුව, ඒදොමීය හෙරොද් රජ අන්‍යජාතීන්ගේ මළුව ඉදි කර තිබුණේ තමාවම මහිමයට පත් කරගැනීමට හා රෝමයේ අනුග්‍රහය දිනාගැනීමටයි. හෙරොද් සෙරුබ්බාබෙල්ගේ දේවමාළිගාව අලුත්වැඩියා කිරීම ඇරඹුවේ පො.යු.පෙ. 18දී හෝ 17දී විය හැක. දි ඇන්ක බයිබල් ඩික්ෂනරි නම් ශබ්දකෝෂයේ පැහැදිලි කරන්නේ “බටහිර රෝමය වෙනුවෙන් බලපැවැත්වූ අධිරාජ්‍යවාදී බලයේ සාමාන්‍ය නැඹුරුවාව වූයේ . . . නැඟෙනහිර රටවල දක්නට ලැබෙන දේවමාළිගාවලට වඩා විශාල දේවමාළිගාවක් සෑදීමයි” කියාය. කෙසේවෙතත්, ඒ වන විටත් නියම දේවමාළිගාවේ මිමි යොදා තිබිණ. ශබ්දකෝෂය මෙසේ පැහැදිලි කරයි. “මෙම දේවමාළිගාවේ මිමි කලින් තිබූ ඒවාවල [සාලමොන්ගේ හා සෙරුබ්බාබෙල්ගේ] මිමිවලට සමානව තිබිය යුතු වූ අතර, දේවමාළිගාව පිහිටි කන්ද උඩ භූමි භාගයේ ප්‍රමාණය සම්බන්ධයෙන්ද සීමා පනවා නොතිබිණ.” මෙබැවින් නවීන කාලවලදී අන්‍යජාතීන්ගේ මළුව ලෙස හඳුන්වා තිබෙන කොටස එක් කරමින් හෙරොද් දේවමාළිගා ප්‍රදේශය පුළුල් කළේය. එවැනි පසුබිමකින් යුතු ඉදි කිරීමක යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ විධිවිධානයට අනුරූප වන තත්වයක් තිබිය යුත්තේ මන්ද?

සතරවනුව, අන්ධ, කොර හා අචර්මච්ඡේදිත අන්‍යජාතීන් යන සියල්ලන්ටම පාහේ අන්‍යජාතීන්ගේ මළුවට ඇතුල් වීමට හැකි විය. (මතෙව් 21:14, 15) මෙම මළුව, දෙවිට පූජා ඔප්පු කිරීමට කැමැත්ත දැක්වූ අචර්මච්ඡේදිත අන්‍යජාතීන් බොහෝදෙනෙකු වෙනුවෙන් යම් කාර්යයක් ඉටු කළ බව ඇත්තයි. එමෙන්ම, සමහර අවස්ථාවලදී යේසුස් සෙනඟට කතා කළේත්, මුදල් මාරුකරන්නන් හා වෙළඳුන් තම පියාගේ ගෘහය කෙලසා ඇති බව පවසමින් ඔවුන්ව දෙවරක් පන්නා දැම්මෙත් මෙහිදීය. (මතෙව් 21:12, 13; යොහන් 2:14-16) එසේ වුවත්, ද ජුවිෂ් එන්සයික්ලොපීඩියාහි මෙසේ පවසයි. “මෙම පිටත මළුව දේවමාළිගාවේ කොටසක් නොවන වග ස්ථිරයි. එහි තිබෙන්නේ පරිශුද්ධ භූමි පෙදෙසක් නොවන අතර ඕනෑම කෙනෙකුට එහි ඇතුල් වීමට හැකියාව තිබිණ.”

පස්වනුව, අන්‍යජාතීන්ගේ මළුවට යොමු දැක්වීම සඳහා “දේවමාළිගාව” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය (හයිඑරොන්) “දේවමාළිගා ගොඩනැඟිල්ලට පමණක් නොව මුළු ගොඩනැඟිලි සංකීර්ණයටම යොමු දක්වයි” කියා බාක්ලේ එම්. නිව්මන් හා ෆිලිප් සී. ස්ටයින් විසින් ප්‍රකාශිත මතෙව් සුවිශේෂයට අත්පොතක් (සිංහලෙන් නැත) යන්නෙහි පවසයි. මීට වෙනස්ව, මහත් සමූහය පිළිබඳව යොහන් දුටු දර්ශනයේ සඳහන් “දේවමාළිගාව” ලෙස පරිවර්තනය කර තිබෙන (නෙඕස්) ග්‍රීක් වචනය තුළ වැඩි නිශ්චිතබවක් ගැබ්ව ඇත. යෙරුසලමේ දේවමාළිගාව පිළිබඳ පද සම්බන්ධය සලකා බලන කල එය සාමාන්‍යයෙන් අතිශුද්ධස්ථානයට, දේවමාළිගා ගොඩනැඟිල්ලට හෝ දේවමාළිගා භූමියට යොමු දක්වයි. එය ඇතැම්විට “ශුද්ධස්ථානය” වශයෙන් දක්වා ඇත.—මතෙව් 27:5, 51; ලූක් 1:9, 21; යොහන් 2:20.

මහත් සමූහයේ සාමාජිකයෝ යේසුස්ගේ මිදීමේ මිල පූජාව විශ්වාස කරති. ඔව්හු ‘තමුන්ගේ සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා සුදු කරගෙන’ ආත්මිකව පිරිසිදු වී සිටිති. මේ හේතුවෙන්, ඔවුන් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කර තිබෙන්නේ දෙවිගේ මිතුරන් වීමේ හා මහත් පීඩාවෙන් බේරීමේ අපේක්ෂාවද ඔවුන්ට ලබා දෙමිනි. (යාකොබ් 2:23, 25) ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථා ගිවිසුමට යටත් වෙමින් ඉශ්‍රායෙලිතයන් සමඟ නමස්කාරයේ යෙදුණු, යුදෙව් ආගමට හැරුණාවූ අයට ඔවුහු බොහෝ විධිවලින් සමාන වෙති.

ඇත්තෙන්ම, පූජකයන් තම රාජකාරිය ඉටු කළ ඇතුල් මළුවේ යුදෙව් ආගම වැලඳගත් අය සේවය නොකළහ. එමෙන්ම මහත් සමූහයේ සාමාජිකයෝද යෙහෝවාගේ උතුම් ආත්මික දේවමාළිගාවේ ඇතුල් මළුවේ නොසිටින්නෝය. එම මළුවෙන් නියෝජනය වන්නේ යෙහෝවාගේ ‘ශුද්ධ පූජක සමූහයට’ අයත් සාමාජිකයන්ට පොළොවේ සිටියදීම තිබෙන පරිපූර්ණ හා ධර්මිෂ්ඨ මානව පුත්‍රත්වයය. (1 පේතෘස් 2:5) එහෙත්, ස්වර්ගික වැඩිමහල්ලා යොහන්ට පැවසූ පරිදි මහත් සමූහය ඇත්තෙන්ම සිටින්නේ දේවමාළිගාව තුළය. දේවමාළිගාවෙන් පිටත ඇති අන්‍යජාතීන්ගේ ආත්මික මළුවක් වැනි තැනක නොවෙයි ඔවුන් සිටින්නේ. එය මොනතරම් කදිම වරප්‍රසාදයක්ද! එමෙන්ම සෑම කෙනෙක්ම සැමවිටම ආත්මික හා සදාචාර පවිත්‍රත්වය රැකගත යුතු බව එය හුවා දක්වන්නේ මොනතරම් කදිම ආකාරයකටද!

[31වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

සාලමොන්ගේ දේවමාළිගාව

1. දේවමාළිගා ගොඩනැඟිල්ල

2. ඇතුල් මළුව

3. පිට මළුව

4. දේවමාළිගා මළුවේ පඩි පෙළ