Skip to content

පටුනට යන්න

පියෙකුට පුතෙකුගෙන් උපකාර

පියෙකුට පුතෙකුගෙන් උපකාර

පියෙකුට පුතෙකුගෙන් උපකාර

එංගලන්තයේ වාසය කරන අවුරුදු තිහක් පමණ වයසැති ජේම්ස් මානසික ආබාධයකින් හා සුළු වශයෙන් ඕටිසම් නමැති රෝගයෙන් පෙළෙන කෙනෙක්. ඔහු අවුරුදු ගණනාවක් තිස්සේ මව හා සහෝදරිය සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙනවා. එනමුත් ඔහුගේ පියා ඔවුන්ගේ විශ්වාසයන් ගැන කිසිදාක උනන්දුවක් දැක්වූයේ නැහැ. එක් දවසක් රැස්වීමෙන් පසු යේසුස්ගේ මරණය සිහි කිරීමේ දිනයට අඳුරන අයට ආරාධනා කරන්නේ කෙසේද කියා නිරූපණය කර පෙන්නුවා. ගෙදර ගිය විගස, ජේම්ස් ඔහුගේ කාමරයට වැදුණා. මේ ගැන සෝදිසියෙන් සිටි මවට දැකගත හැකි වූයේ ජේම්ස් ඉතා කලබලයෙන් පැරණි මුරටැඹ හා පිබිදෙව්! ප්‍රකාශන වෙන් කරන අයුරුයි. සඟරාවක පිටුපස කවරයේ සඳහන් සිහි කිරීමේ ආරාධනාවක් තෝරාගත් ඔහු වහා පියා වෙත ගියා. ඔහු මුලින්ම පින්තූරය පෙන්නූ අතර ඊළඟට පියා දෙසට ඇඟිල්ල දික් කර කිව්වා මේක “ඔබටයි!” කියලා. ජේම්ස්ගේ මව හා පියා ඔවුනොවුන් දෙස පුදුමයෙන් වගේ බලා සිටියා. ඉන්පසු ඔවුන් තේරුම්ගත්තා ජේම්ස් පියාට සිහි කිරීමේ උත්සවයට ආරාධනා කරන බව. එවිට පියා කිව්වා සහභාගි වීමට උත්සාහ කරන්නම් කියා.

සිහි කිරීමේ දවසේ හැන්දෑවේ ජේම්ස් ඔහුගේ පියාගේ අල්මාරිය ඇර කලිසමක් තෝරාගෙන ඔහු අතට දී සංඥා කළා ඒක අඳින්න කියා. එවිට ඔහුගේ පියා සිහි කිරීමට එන්නේ නැති බව කිව්වා. ජේම්ස් හා මව එදා රැස්වීමට සහභාගි වෙන්න රාජ්‍ය ශාලාවට තනියම ගියා.

ටික කාලෙකට පසු ජේම්ස් රැස්වීම්වලට යෑමට එතරම් කැමැත්තක් නොදැක්වූ අතර ඒ සඳහා ඔහුව සූදානම් කරගැනීම මවට අසීරු වුණා. රැස්වීම් යනවා වෙනුවට ජේම්ස්ට අවශ්‍ය වී තිබුණේ පියා සමඟ ගෙදර නතර වීමටයි. තවත් එක් ඉරිදා උදෑසනක රැස්වීමකට ගෙන යෑම සඳහා ඔහුව සූදානම් කිරීම මවට අපහසු වුණා. මවව මවිතයට පත් කරමින් පියා ඔහුගෙන් විමසුවා “ජේම්ස් මම අද රැස්වීමට ආවොත් ඔයත් එනවාද?” ජේම්ස්ගේ මුහුණ ප්‍රීතියෙන් බැබළුණා. ඔහු පියාව වැලඳගෙන කිව්වා “ඔව්” ඉන්පසු තුන්දෙනාම රාජ්‍ය ශාලාවට ගියා.

එදා පටන් ජේම්ස්ගේ පියා සෑම ඉරිදා රැස්වීමකටම සහභාගි වුණු අතර ආත්මික ප්‍රගතියක් ලැබීමට නම් අනෙකුත් සියලුම රැස්වීම්වලටද සහභාගි වීම අවශ්‍ය බව ඔහුට ඉක්මනින්ම ඒත්තුගන්වනු ලැබුවා. (හෙබ්‍රෙව් 10:24, 25) දිගටම ඔහු සියලුම රැස්වීම්වලට සහභාගි වූවා පමණක් නොව ඉන් මාස දෙකකට පසු බයිබලය ඉගෙනගැනීමට ආරම්භ කළ අතර ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් ඉක්මනින් ආත්මික දියුණුවක් ලැබුවා. වැඩි කාලයක් ගතවීමට පෙර රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කර්තව්‍යයේද සහභාගි වුණා. ඔහු බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන අවුරුද්දකින් විතර ඔහුගේ ජීවිතය යෙහෝවාට කැප කළ අතර ජලයේ ගිලී බව්තීස්ම වීම තුළින් එය ප්‍රකාශ කළා. දැන් ඔහු සභා සේවකයෙක් ලෙස වගකීම් දරන අතර පවුලේ සියලුදෙනාම එක්සත්ව යෙහෝවාට සේවය කරනවා.