Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ දවසින් බේරෙන්නේ කවුද?

යෙහෝවාගේ දවසින් බේරෙන්නේ කවුද?

යෙහෝවාගේ දවසින් බේරෙන්නේ කවුද?

“උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය.”—මලාකී 4:1.

1. මලාකී මෙම දුෂ්ට ක්‍රමයේ අවසානය විස්තර කරන්නේ කෙසේද?

 නුදුරු අනාගතයේ සිදු වන භයානක සිදුවීම් කිහිපයක් වාර්තා කරන්නට අනාගතවක්තෘ මලාකී යෙහෝවාගෙන් ආනුභාවය ලැබුවා. මෙම සිදුවීම් මිහිපිට වෙසෙන සෑම පුද්ගලයෙකුටම බලපායි. මලාකී 4:1හි මෙසේ පුරෝකථනය කර තිබෙනවා. “උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය. එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල යෙහෝවා කියන්නේය.” දැන් පවතින මෙම දුෂ්ට ක්‍රමයේ විනාශය කොතරම් පූර්ණ එකක් වනු ඇද්ද? එදාට සිදු වන ඒ විනාශය කොතරම් ප්‍රබලද කියනවා නම්, එය හරියට ගසකට නැවත වැවෙන්නට නොහැකි වන විදිහට එහි මුල් සහමුලින්ම උදුරා දමනවා හා සමානයි.

2. ඇතැම් ශුද්ධ ලියවිලිමය පද යෙහෝවාගේ දවස විස්තර කරන්නේ කෙලෙසද?

2 මලාකී පුරෝකථනය කරමින් සිටින්නේ කුමන ‘දවස’ ගැනද කියා ඔබට ප්‍රශ්නයක් මතු විය හැකියි. ඔහු කතා කරන්නේ යෙසායා 13:9හි සඳහන් දවස ගැනයි. එහි මෙසේ පැවසේ. ‘බලව, දේශය පාළු කර එහි සිටින පව්කාරයන් එයින් නැති කර දමන පිණිස යෙහෝවාගේ දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.’ ශෙපනියා 1:15හි ඒ ගැන මෙම විස්තරය සපයනවා. “ඒ දවස වනාහි උදහස් දවසක්ය. දුක්ඛිත වූ විපත්ති දවසක්ය. නාස්ති වීමේ හා සුනත් වීමේ දවසක්ය. අන්ධකාර වූ කළුවර වූ දවසක්ය. වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය.”

“මහත් පීඩාව”

3. ‘යෙහෝවාගේ දවස’ කුමක්දැයි විස්තර කරන්න.

3 මලාකීගේ අනාවැකියේ ප්‍රධාන ඉටුවීම ගත් කල, ‘යෙහෝවාගේ දවස’ යනු “මහත් පීඩා” සහිත කාලපරිච්ඡේදයකි. මේ සම්බන්ධයෙන් යේසුස් පුරෝකථනය කළේ මෙසේයි. “මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයි කලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.” (මතෙව් 24:21) විශේෂයෙන්ම1914 සිට මේ වන තෙක් මෙලොවෙහි කොයිතරම් පීඩා නැත්නම් කම්කටොලු ඇති වූවාදැයි නිකමට සිතා බලන්න. (මතෙව් 24:7-12) දෙවන ලෝක මහ යුද්ධයෙන් පමණක් ජීවිත මිලියන 50කට වැඩි ගණනක් මරුට බිලි වුණා. එහෙත් මතු පැමිණෙන “මහත් පීඩාව” ඒ සියලු පීඩාවලට වඩා බොහෝ සෙයින් දරුණු එකක් වේවි. යෙහෝවාගේ දවසට සමාන වන ඒ මහත් පීඩාව අවසන් වන්නේ අර්මගෙදොන් යුද්ධයෙන්. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනට පවතින මේ දුෂ්ට ක්‍රමය නිමාවට පත් වෙයි.—2 තිමෝති 3:1-5, 13; එළිදරව් 7:14; 16:14, 16.

4. යෙහෝවාගේ දවස නිමාවට පත් වන විට, සිදු වී හමාර වනු ඇත්තේ කුමක්දැයි විස්තර කරන්න.

4 යෙහෝවාගේ එම දවස අවසානයේදී සාතන්ගේ ලෝකයද, එහි අනුග්‍රාහකයන්ද සහමුලින්ම විනාශ කරනු ලබාවි. මුලින්ම ඉවත් කරනු ලබන්නේ බොරු ආගමයි. ඊළඟට සාතන්ගේ දේශපාලනමය හා ආර්ථික ක්‍රමයන් පිට යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක වේවි. (එළිදරව් 17:12-14; 19:17, 18) ඒ සම්බන්ධයෙන් එසකියෙල් මෙසේ පුරෝකථනය කරයි. “ඔවුන් තමුන්ගේ රිදී වීථිවල විසි කරනවා ඇත. ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය. ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන යෙහෝවාගේ උදහස් දවසේදී ඔවුන්ට ගැළවෙන්ට නොහැකි වන්නේය.” (එසකියෙල් 7:19) ඒ දවස ගැන ශෙපනියා 1:14හි තවදුරටත් කියන්නේ මෙසේයි. ‘යෙහෝවාගේ මහත් දවස ළංව තිබේ. ඒක, එනම් යෙහෝවාගේ දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය.’ යෙහෝවාගේ මහත් දවස ගැන බයිබලය පවසන දේ සැලකිල්ලට ගත් කල, දෙවිගේ ධර්මිෂ්ඨ නීති සහ ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරන්න අප අධිෂ්ඨානපූර්වක විය යුතු බවට කිසිම සැකයක් නැහැ.

5. යෙහෝවාගේ නාමය කෙරෙහි භය ඇති අය අද්දකිනු ඇත්තේ කුමක්ද?

5 යෙහෝවාගේ දවසේ ප්‍රතිඵලයක් වශයෙන් සාතන්ගේ ලෝකයට සිදු වන දේ ගැන පුරෝකථනය කිරීමෙන් පසු යෙහෝවා මෙවන් දෙයක් කියන බව මලාකී 4:2හි වාර්තා වී තිබෙනවා. “මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුව කිරීම ඇතුව උදා වන්නේය. නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.” “ධර්මිෂ්ඨකමේ සූර්යයා” කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ටයි. ආත්මික අර්ථයකින් “ලෝකයේ ආලෝකය” ඔහුයි. (යොහන් 8:12) යේසුස් සුව කිරීම ඇතුව මුලින්ම උදා වන්නේ ආත්මික සුව කිරීමකටයි. එම ආත්මික සුවය අපි දැන් අද්දකිමින් සිටිනවා. ඊළඟට නව ලොවෙහි අපට ශාරීරිකව සම්පූර්ණ සුවයක් අපේක්ෂා කළ හැකියි. එසේ සුවය ලබන අය නිදහස් කළ ‘ගාලක වස්සන් මෙන්’ ප්‍රීතියෙන් දුව පැන යාවි.

6. යෙහෝවාගේ සේවකයන් ප්‍රීතියෙන් සහභාගි වනු ඇත්තේ කුමන ජයග්‍රාහී උත්සවයටද?

6 යෙහෝවාට අවශ්‍ය කරන දේ නොසලකා හරින අය ගැන කුමක් කිව හැකිද? මලාකී 4:3හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “නුඹලා [එනම් දෙවිගේ සේවකයන්] දුෂ්ටයන් පාගා දමන්නහුය. මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවල යෙහෝවා කියන්නේය.” සාතන්ගේ ලෝකය විනාශ කිරීමේ කටයුත්තට දෙවිගේ නමස්කාරකයන් සහභාගි වන්නේ නැහැ. ඔවුන් දුෂ්ටයන් පාගා දමන්නේ සංකේතාත්මක ආකාරයකින්. එනම් යෙහෝවාගේ දවසින් අනතුරුව පවත්වනු ලබන මහා ජයග්‍රාහී උත්සවයට සහභාගි වීමෙනුයි. නිදසුනකට ඵාරාවෝ සහ ඔහුගේ සේනාවන් රතු මුහුදේ ගිලී විනාශ වීමෙන් පසු එවැනි උත්සවයක් පවත්වනු ලැබුවා. (නික්මයාම 15:1-21) එලෙසම සාතන් සහ ඔහුගේ ලෝකය පහවීමෙන් පසුවත් ජයග්‍රාහී මංගල්‍යයක් පවත්වනු ලබනවා. යෙහෝවාගේ දවසින් බේරෙන විශ්වාසවන්ත අය මෙසේ මොරගසනු ඇති. ‘අපි ඔහුගේ ගැළවීම ගැන ප්‍රීති සන්තෝෂ වෙමු.’ (යෙසායා 25:9) එදාට ජීවත්ව සිටින අය යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු වී ඇති ආකාරයත් සාමකාමීව වාසය කිරීම සඳහා පොළොව පිරිසිදු කර ඇති ආකාරයත් දකින විට, ප්‍රීති සන්තෝෂ වීම සඳහා ඔවුන්ට කොතරම් හේතු තිබේවිද!

ඉශ්‍රායෙලයට සමාන ක්‍රිස්තියානි ලෝකය

7, 8. මලාකීගේ කාලයේ ඉශ්‍රායෙල්හි පැවති ආත්මික තත්වය විස්තර කරන්න.

7 යෙහෝවාගේ අනුග්‍රහය ලබන්නේ ඔහුට සේවය කරන අයයි. ඔහුට සේවය නොකරන අය එය ලබන්නේ නැහැ. මලාකී තම පොත ලියූ කාලයේද එම ප්‍රමිතිය අදාළ වුණා. පොදු යුගයට පෙර 537දී අවුරුදු 70කට බබිලෝනියේ වහලුන් හැටියට සිටි ඉශ්‍රායෙල් ජාතිය නිදහස ලැබුවා. එනමුත්, ඉන්පසු ගෙවී ගිය සියවස තුළදී ඉශ්‍රායෙල් ජාතිය නැවතත් ඇදහිල්ල අත්හැර ගිය අතර ඔවුන් දුෂ්ටකමට ඇද වැටුණා. ජනතාවගෙන් වැඩි පිරිසක් යෙහෝවාගේ නාමය අගෞරවයට පත් කළා. ඔහුගේ ධර්මිෂ්ඨ නීති නොසලකා හරිමින් සිටියා. පූජා කිරීම සඳහා ඔවුන් දේවමාළිගාවට ගෙන එමින් සිටියේ අන්ධ, කොර සහ රෝගි සතුන්වයි. ඒ විතරක් නොවෙයි, ඔවුන්ගේ තරුණ වයසේ භාර්යාවන්ව අත්හරිමින් සිටියා.

8 එමනිසා යෙහෝවා ඔවුන්ට පැවසුවේ මෙසේයි. “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලිකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමි. . . . මක්නිසාද යෙහෝවා වන මම වෙනස් නොවෙමි.” (මලාකී 3:5, 6) එහෙත් තමන් කරන නපුරු ක්‍රියා අත්හරින ඕනෑම කෙනෙකුට යෙහෝවා යම් ඇරයුමක් කළා. “මා වෙතට හැරී එන්න. මමත් නුඹලා වෙතට හැරී එන්නෙමි.”—මලාකී 3:7.

9. මලාකීගේ අනාවැකිවලට ප්‍රාථමික ඉටුවීමක් තිබුණේ කෙසේදැයි විස්තර කරන්න.

9 පොදු යුගයේ පළමුවන සියවසේදීත් මෙම වදන් යම් ආකාරයකින් ඉටු වුණා. යුදෙව්වන් අතළොස්සක් යෙහෝවාට සේවය කරමින්, ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සෑදුණු අලුත් ‘ජාතියේ’ කොටසක් බවට පත් වුණා. එම ජාතියට අන්‍ය ජාතිකයන්ද ඇතුළත් වුණා. එනමුත් ස්වාභාවික යුදෙව්වන්ගෙන් බහුතරයක්ම යේසුස්ව ප්‍රතික්ෂේප කළා. ප්‍රතිඵලයක් වශයෙන් යේසුස් එම ඉශ්‍රායෙල් ජාතියට පැවසුවේ මෙසේයි. “බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළු කොට අත්හරිනු ලැබේ.” (මතෙව් 23:38; 1 කොරින්ති 16:22) පොදු යුගයේ 70දී මලාකී 4:1හි පුරෝකථනය කර තිබූ ආකාරයට මාංසික ඉශ්‍රායෙලය පිට ‘උදුනක් මෙන් ඇවිළෙන දවසක් පැමිණියා.’ යෙරුසලමද ඇගේ දේවමාළිගාවද විනාශ වූ අතර සාගතය, අභ්‍යන්තර බල අරගල සහ රෝම හමුදාවන්ගේ ප්‍රහාරයන් නිසා මිලියනයකට අධික ජනතාවක් මිය ගියා. කොහොම නමුත්, යෙහෝවාට සේවය කළ අය එම පීඩාවෙන් බේරුණා.—මාර්ක් 13:14-20.

10. සාමාන්‍යයෙන් ගත් කල, ජනතාව සහ පූජක පක්ෂය මුල් සියවසේ ඉශ්‍රායෙලය අනුකරණය කරන්නේ කෙලෙසද?

10 මිනිස්වර්ගයා, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකය පොදුවේ අනුකරණය කර තිබෙන්නේ මුල් සියවසේ විසූ ඉශ්‍රායෙල් ජාතියේ අවාදර්ශයයි. නායකයන් සහ සාමාන්‍ය ජනතාව දෙවි පිළිබඳ යේසුස් ඉගැන්වූ සත්‍යයන්ට වඩා බොරු ආගමික විශ්වාසයන්වලට මනාපයක් දක්වා තිබෙනවා. විශේෂයෙන් මේ සඳහා වගකිව යුත්තේ ආගමික නායකයන්. ඔවුන් යෙහෝවාගේ නාමය භාවිත කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන්ගේ විවිධාකාර බයිබල් අනුවාදවලින් එය ඉවත් කරන්නට තරම් නිර්භීත වී තිබෙනවා. ඔවුන් තවදුරටත් යෙහෝවාව නින්දාවට පත් කරන්නේ, නිරාගින්නක සදාකාලයටම වධ විඳීම, ත්‍රිත්වය සහ අමරණීය ආත්මය වැනි මිථ්‍යා ඉගැන්වීම් මෙන්ම පරිණාමවාදය වැනි ශුද්ධ ලියවිල්ලට විරුද්ධ දෙවිව අගෞරවයට පත් කරන ඉගැන්වීම්වලිනුයි. මෙසේ, මලාකීගේ කාලයේ විසූ පූජකයන් මෙන් ඔවුන්ද යෙහෝවාට හිමි විය යුතු ප්‍රශංසාව සොරාගන්නවා.

11. තමුන් ඇත්තටම සේවය කරන්නේ කාටද යන්න ලෝකයේ ආගම් පෙන්නුම් කරන්නේ කෙසේද?

11 මේ අනුව 1914දී අන්තිම දවස් ආරම්භ වූවායින් පසු, ලෝකයේ ආගම්, විශේෂයෙන් ක්‍රිස්තියානීන් ලෙස නමට පෙනී සිටි ආගම් ඔවුන් සේවය කළේ කාටද කියා පැහැදිලිව පෙන්නුම් කළා. ලෝක යුද්ධ දෙකේදී හටගත් ජාතික මතභේද නිසා ඔවුන් තම සාමාජිකයන්ට දිරිගන්වා සිටියේ යුද්ධයට ගොස් තමාගේම ආගමේ ජනයාව පවා ඝාතනය කරන්නටයි. යෙහෝවාට කීකරු වන අය සහ එසේ නොකරන අය කවුද කියා දේවවචනය ඉතා පැහැදිලිව හඳුන්වා දෙයි. “මෙයින් දෙවිගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවිගෙන් නොවෙයි. මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අප විසින් එකිනෙකාට ප්‍රේම කළ යුතුය යන මේය. තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.”—1 යොහන් 3:10-12.

අනාවැකි ඉටු වේ

12, 13. දෙවිගේ සේවකයන් විසින් අපගේ කාලය තුළදී ඉටු කර ඇති අනාවැකි මොනවාද?

12 පළමු ලෝක මහ යුද්ධය 1918දී අවසන් වූ විට, දෙවි විසින් ක්‍රිස්තියානි ලෝකය ඇතුළුව බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනිය විනාශය සඳහා නියම කර තිබූ බව යෙහෝවාගේ ආත්මික ජාතියේ ඉතිරි කොටසට දකින්න පුළුවන් වුණා. අවංක හදවත් ඇති අයහට එතැන් සිට අසන්නට ලැබුණේ මෙම ඇරයුමයි. ‘මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්න. . . . මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය. දෙවිද ඇගේ අපරාධ සිහි කළේය.’ (එළිදරව් 18:4, 5) යෙහෝවාට සේවය කරන්න අවංක ආශාවකින් සිටි අයව බොරු ආගමික මතයන්ගෙන් සම්පූර්ණයෙන්ම පවිත්‍ර කිරීමට පටන්ගත්තා. ඊළඟට ඔවුන් නිරත වූයේ ‘රාජ්‍යයේ ශුභාරංචිය’ ලෝ පුරා දේශනා කිරීමේ කටයුත්තෙහියි. ඇත්තෙන්ම ඒ දේශනා කිරීමේ වැඩය දැන් පවතින මේ දුෂ්ට ක්‍රමයේ අවසානයට පෙර නිමා කළ යුතුයි.—මතෙව් 24:14.

13 මෙවැන්නක් සිදු වූයේ මලාකී 4:5හි සඳහන් අනාවැකිය ඉටු කිරීමටයි. එහි යෙහෝවා මෙසේ පැවසුවා. “බලව, යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේත වූ එලියා නුඹලා වෙතට එවන්නෙමි.” එම අනාවැකිය මුලින්ම ඉටු වූයේ එලියාට සමාන කාර්යයක් කළ යොහන් බව්තීස්තගේ මෙහෙය තුළින්. ව්‍යවස්ථා ගිවිසුමට එරෙහිව කළ පව්වලට සමාව ලබාගැනීම සඳහා යුදෙව්වන්ව බව්තීස්ම කළ විට යොහන් එලියාට සමාන වැඩක් කළා. වඩා වැදගත් ලෙස යොහන් මෙසියස්ගේ පැමිණීමට මඟ විවර කර දුන් කෙනෙක් වුණා. ඔහු හඳුන්වා දුන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. එනමුත් යොහන්ගේ වැඩය තුළින් මලාකීගේ අනාවැකියට තිබුණේ මූලික ඉටුවීමක් පමණයි. යොහන්ව දෙවන එලියා වශයෙන් හැඳින්වුවත් එලියාගේ වැඩේට සමාන වැඩක් අනාගතයේදීත් සිදු වන බව යේසුස් පැහැදිලි කළා.—මතෙව් 17:11, 12.

14. දැන් පවතින මෙම ක්‍රමය අවසන් වන්නට පෙර කළ යුතු අතිවැදගත් වැඩය කුමක්ද?

14 එලියාගේ වැඩයට සමාන මෙම අතිවැදගත් කාර්යය ‘යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවසට’ පෙර සිදු කරනු ලබන බවත් මලාකීගේ අනාවැකියෙහි පෙන්නුම් කළා. එම දවස අවසන් වන්නේ අප කරා ශීඝ්‍රයෙන් ඇදී එන සර්ව පරාක්‍රම දෙවිගේ මහත් දවසේ යුද්ධය වන අර්මගෙදොන්හිදීයි. මින් අදහස් වන්නේ, මේ දුෂ්ට ක්‍රමයේ අවසානයටත් අනතුරුව උදා වන දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ සහස්‍ර පාලනයටත් පෙර එලියා කළ වැඩයට සමාන කාර්යයක් ඉටු කරනු ලබන බවයි. එමනිසා මෙම අනාවැකිය සැබෑ කරවමින්, යෙහෝවාගේ නවීන දින සාක්ෂිකරුවන් නිර්මල නමස්කාරය යළි නඟා සිටුවීමේ හා දෙවිගේ නාමය මහිමවත් කිරීමේ කාර්යයෙහි සහ බැටළු ගුණැති අයට ඉගැන්වීමේ කාර්යයෙහි කඩිසරව හා උද්‍යෝගයෙන් නිරත වෙනවා. ඔව්, යෙහෝවා විසින් මේ දුෂ්ට ක්‍රමය විනාශ කරන්නට කලින් මේ සියල්ල සිදු විය යුතුයි.

යෙහෝවා තම සේවකයන්ට ආශීර්වාද කරයි

15. යෙහෝවා තම සේවකයන්ව සිහි කරන්නේ කෙසේද?

15 යෙහෝවා ඔහු වෙනුවෙන් සේවය කරන අයට ආශීර්වාද කරන බව නිසැකයි. මලාකී 3:16හි කියන විදිහට, ‘එකල යෙහෝවා කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කතා කරගත්තෝය. යෙහෝවාද කන් දී ඇසුවේය. එවිට යෙහෝවා කෙරෙහි භය ඇත්තාවූ ඔහුගේ නාමය සැලකුවාවූ අය ගැන ඔහු ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියන ලද්දේය.’ ආබෙල්ගේ කාලයේ පටන් දෙවි පොතක ලියන්නාක් මෙන්, මනුෂ්‍යවර්ගයා අතුරින් සදාකාල ජීවනය ලබා දීම සඳහා සිහි කළ යුතු අයගේ නම් සිහියේ තබාගෙන සිටිනවා. යෙහෝවා ඔවුන්ට පවසන්නේ මෙසේයි. “මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩා ගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසි කර බලන්න.”—මලාකී 3:10.

16, 17. යෙහෝවා තම සෙනඟට හා ඔවුන්ගේ වැඩයට ආශීර්වාද කර තිබෙන්නේ කෙසේද?

16 යෙහෝවා ඔහුට සේවය කරන අයට මහඟු ලෙස ආශීර්වාද වගුරුවා තිබෙනවා. කෙසේද? ඔහුගේ අරමුණු පිළිබඳව වැඩිමනත් අවබෝධයක් ලබා දීමෙනුයි. (හිතෝපදේශ 4:18; දානියෙල් 12:10) දේශනා කිරීමේ වැඩයෙහිදීත් අපට පුදුමාකාර ලෙස ඵල නෙළාගැනීමට හැකි වී තිබීම තවත් ආශීර්වාදයක්. යහපත් හෘද තත්වයක් ඇති විශාල සමූහයක් සැබෑ නමස්කාරයේ යෙදීම සඳහා ඔවුන් හා එක් වී තිබෙනවා. ඔවුන් ‘සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් පැමිණෙන කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්’ වන අතර, ඔවුන් ‘සිංහාසනයෙහි සිටින අපේ දෙවිටත් බැටළුපැටවාටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින්’ මොරගසමින් සිටිනවා. (එළිදරව් 7:9, 10) මෙම මහත් සමූහය සුවිශේෂ ආකාරයකින් දැකගන්න පුළුවන් වී තිබෙනවා. තවද ඔවුන් සේවය කරමින් සිටින්නේ ලොව පුරා මිලියන හයකට අධික පිරිසක් සිටින සභාවන් 93,000කට වැඩි ගණනකයි.

17 මීට අමතරව, ඉතිහාසය පුරා බයිබලය මත පදනම් ප්‍රකාශන පුළුල්ව බෙදාහැර ඇත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝයි. මෙයින්ද යෙහෝවාගේ ආශීර්වාද තවත් ප්‍රත්‍යක්ෂ වෙයි. සෑම මසකම මුරටැඹ සහ පිබිදෙව්! සඟරා මිලියන 90ක් පමණ මුද්‍රණය කරනවා. මුරටැඹ සඟරාව භාෂා 144කින් සහ පිබිදෙව්! සඟරාව භාෂා 87කින් ලබාගන්න පුළුවන්. ඊළඟට අපි පාවිච්චි කළ හා කරමින් සිටින බයිබල් අධ්‍යයන ආධාරක සඳහන් කළ හැකියි. නිදසුනකට 1968දී පළ කළ සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය යන පොත භාෂා 117කින් පිටපත් මිලියන 107කට වැඩි ගණනක් බෙදාහැරියා. වර්ෂ 1982දී මුදාහළ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත බෙදාහැරියේ භාෂා 131කින් පිටපත් මිලියන 81කට වැඩියෙනුයි. ඉන්පසුව 1995දී සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොත මුදාහැරිය අතර එය භාෂා 154කින් පිටපත් මිලියන 85ක් පමණ බෙදාහැර තිබෙනවා. තවද 1996දී පළ වූ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව භාෂා 244කින් පිටපත් මිලියන 150ක් පමණ බෙදාහැර තිබෙනවා.

18. විරුද්ධවාදීකම් මැද පවා අප ආත්මික සමෘද්ධියක් අද්දකින්නේ මන්ද?

18 මේ සියල්ල සිදු කරන තිබෙන්නේ සාතන්ගේ ලෝකයේ නිරන්තර මෙන්ම දැඩි විරුද්ධවාදිකම් මැදයි. අපි අද්දකින ආත්මික සමෘද්ධියෙන් පැහැදිලිවම කියාපාන්නේ යෙසායා 54:17හි වදන් කොතරම් සැබෑද යන්නයි. ‘නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය. විනිශ්චය කිරීමට නුඹට විරුද්ධව නැඟිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත් කරනවා ඇත. යෙහෝවාගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි යෙහෝවා කියන්නේය.’ මලාකී 3:17 ප්‍රධාන වශයෙන් යෙහෝවාගේ සේවකයන් සම්බන්ධයෙන් ඉටු වන බව දැන සිටීම මොනතරම් සැනසිල්ල ගෙන දෙන්නක්ද! “ඔව්හු වනාහි මා විසින් [විශේෂ සම්පතක්, NW] පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය . . . [කියා] සේනාවල යෙහෝවා කියන්නේය” යනුවෙන් එහි සඳහන් වෙනවා.

යෙහෝවාට ප්‍රීතියෙන් සේවය කරමු

19. යෙහෝවාට සේවය කරන අය සහ සේවය නොකරන අය අතර කැපී පෙනෙන වෙනසක් තිබෙන්නේ කෙසේදැයි විස්තර කරන්න.

19 යෙහෝවාගේ විශ්වාසවන්ත, ප්‍රේමනීය සේවකයන් හා සාතන්ගේ ලෝකයේ දුෂ්ටයන් අතර වෙනස දිනක් දිනක් පාසා කැපී පෙනෙනවා. මලාකී 3:18හි පුරෝකථනය කළ විදිහට, “ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවිට සේවය කරන්නා සහ ඔහුට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.” එම වෙනස්කම් රාශිය අතුරින් එකක් වන්නේ යෙහෝවාට සේවය කරන අය ඉමහත් ප්‍රීතියකින් එසේ කිරීමයි. ඊට හේතු වන දේවල් අතර ඔවුන්ට තිබෙන මවිතාකාර බලාපොරොත්තුව සඳහන් කළ හැකියි. යෙහෝවා මෙසේ පවසන විට ඔවුන්ට ඇත්තේ මොනතරම් ප්‍රබල නිසැකකමක්ද! “බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීති වෙන්න.”—යෙසායා 65:17, 18; ගීතාවලිය 37:10, 11, 29; එළිදරව් 21:4, 5.

20. අප ප්‍රීතිමත් ජනතාවක් වන්නේ මන්ද?

20 යෙහෝවා තමාට පක්ෂපාතව ලොව පුරා සේවය කරන අයව යෙහෝවාගේ දවසින් බේරාගෙන, අලුත් ලොවකට ගෙන එන බවට වූ දේව පොරොන්දුව කෙරෙහි ඉමහත් නිසැකකමක් ඇතුවයි අප සිටින්නේ. (ශෙපනියා 2:3; එළිදරව් 7:13, 14) අලුත් ලොව උදාවීමට පෙර, මහලු වයස, අසනීප හෝ හදිසි අනතුරු නිසා අපගෙන් සමහරෙක් මරණ නින්දට වැටුණත්, යෙහෝවා අපව සිහි කරන බවටත්, සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව අපව නැවත නැඟිටුවන බවටත් අපට සහතික කරනවා. (යොහන් 5:28, 29; තීතස් 1:1, 2) ඉතින්, අපිට ගැටලු සහ නොයෙකුත් අභියෝගයන් තිබෙන බව ඇත්තයි. එනමුත් යෙහෝවාගේ දවසේ අවසානයට අප දිනෙන් දින ළඟා වෙත්ම, මිහිපිට ජීවත් වන ප්‍රීතිමත්ම ජනතාව අප බව විශ්වාස කිරීමට ඕනෑතරම් හේතු තිබෙනවා.

ඔබේ පිළිතුර කුමක්ද?

• ‘යෙහෝවාගේ දවස’ කුමක්දැයි විස්තර කරන්න.

• මෙලොවෙහි ආගම් පුරාණ ඉශ්‍රායෙල් හා සමාන වන්නේ කෙසේද?

• යෙහෝවාගේ සේවකයන් ඉටු කරන්නේ කවර අනාවැකිද?

• යෙහෝවා තම සෙනඟට ආශීර්වාද කර ඇත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

මුල් සියවසේ යෙරුසලම ‘උදුනක් මෙන් ඇවිළී’ ගියා

[23වන පිටුවේ පින්තූර]

යෙහෝවා තම සේවකයන්ට අවශ්‍ය දේ සපයයි

[24වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සේවකයන් සැබවින්ම ප්‍රීතියෙන් සිටින්නේ ඔවුන්ගේ මහිමාන්විත බලාපොරොත්තුව නිසයි