Skip to content

පටුනට යන්න

යෙහෝවා ද්‍රෝහීන්ගේ ක්‍රියාවන් ද්වේෂ කරයි

යෙහෝවා ද්‍රෝහීන්ගේ ක්‍රියාවන් ද්වේෂ කරයි

යෙහෝවා ද්‍රෝහීන්ගේ ක්‍රියාවන් ද්වේෂ කරයි

‘එකිනෙකාට විරුද්ධව ද්‍රෝහිකම් නොකරමු.’—මලාකී 2:10.

1. සදාකල් ජීවනය අපට ලබා දීමට නම්, දෙවි අපගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

 සදාකල් ජීවත් වෙන්න ඔබ ආසද? ඔබ බයිබලයේ පොරොන්දු වී ඇති එම බලාපොරොත්තුව විශ්වාස කරන අයෙක් නම්, ‘නැතුව, කවුද අකමැති!’ කියා පිළිතුරු දෙනවාට සැකයක් නැහැ. එනමුත්, එවන් ජීවිතයක් භුක්ති විඳින්න නම්, දෙවිගේ අවශ්‍යතාවලට එකඟව අපි ජීවත් වෙන්න අවශ්‍යයි. (දේශනාකාරයා 12:13; යොහන් 17:3) මෙවන් දෙයක් අසම්පූර්ණ මනුෂ්‍යයන්ගෙන් අපේක්ෂා කිරීම අසාධාරණද? නැහැ. යෙහෝවා පවසන මෙම දිරිගන්වනසුලු අදහස සලකා බලන්න. ‘මම පූජාවට නොව [ප්‍රේමනීය, NW] කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවිව ඇඳිනගැනීමටත් කැමැත්තෙමි’ යන්න ඔහුගේ අදහසයි. (හොෂෙයා 6:6) ඉතින්, වැරදිවලට නැඹුරුවාවක් ඇති අසම්පූර්ණ මනුෂ්‍යයන්ට පවා දෙවිගේ ඉල්ලීම් සපුරාලිය හැකි බව එයින් අදහස් කෙරෙනවා.

2. ඉශ්‍රායෙලිතයන් බොහෝදෙනෙක් යෙහෝවාට ද්‍රෝහිකම් කළේ කෙසේද?

2 ඒ වුණත්, සෑම කෙනෙකුම යෙහෝවාගේ කැමැත්ත කිරීමට ආශාවක් දක්වන්නේ නැහැ. ඉශ්‍රායෙලිතයන් වැඩිදෙනා එසේ කිරීමට අකමැති වූ බව හොෂෙයා පැහැදිලි කළා. ජාතියක් හැටියට දෙවිගේ නීතිවලට කීකරු වන්නට ඔවුන් සිය කැමැත්තෙන්ම ගිවිසුමකට එළඹ තිබුණා. (නික්මයාම 24:1-8) එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන්, ඔවුන් ‘ගිවිසුම කඩ කළා.’ එසේ කළේ දෙවිගේ නීති උල්ලංගනය කිරීමෙනුයි. “ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය” කියා යෙහෝවා එම ඉශ්‍රායෙලිතයන්ට පැවසුවේ එමනිසයි. (හොෂෙයා 6:7) එදා පටන් බොහෝදෙනෙක් එසේ කර තිබෙනවා. ඇත්තෙන්ම යෙහෝවා තමාට විරුද්ධව හෝ තමන්ට ප්‍රේම කරමින් සේවය කරන අයට විරුද්ධව සිදු වන ද්‍රෝහිකම් කිරීමේ ක්‍රියාකලාපය ද්වේෂ කරනවා.

3. මෙම පාඩමේදී සලකා බලනු ලබන්නේ කුමක්ද?

3 යෙහෝවා ද්‍රෝහිකම සලකන ආකාරය හුවා දැක්වූ එකම අනාගතවක්තෘ හොෂෙයා නොවෙයි. ඇත්තෙන්ම සතුටින් පිරි දිගු කාලීන ජීවිතයක් භුක්ති විඳීම අපගේ අපේක්ෂාව නම්, යෙහෝවා ද්‍රෝහිකම සලකන ආකාරයට අපත් ද්‍රෝහිකම සැලකිය යුතුයි. කලින් ලිපියේදී අපි මලාකීගේ අනාවැකිමය පණිවිඩය විග්‍රහ කරන්න පටන්ගත්තේ එහි පළමුවන පරිච්ඡේදය සලකා බැලීමත් සමඟයි. දැන් අපි මෙම පොතෙහි දෙවන පරිච්ඡේදයට අපේ අවධානය යොමු කරමු. එහිදී දෙවි ද්‍රෝහිකම සලකන ආකාරයට අමතර අවධානයක් ලැබෙන්නේ කෙසේදැයි අපට දැකගත හැකි වේවි. බබිලෝනියෙන් නිදහස් වී දශක ගණනාවකට පසුව දෙවිගේ සෙනඟ අතර පැවති තත්වයක් ගැන මලාකී කතා කරමින් සිටියත්, මෙම දෙවන පරිච්ඡේදයෙන් අපට අර්ථවත් වන වටිනා අදහස් කිහිපයක්ම ලබාගත හැකියි.

හෙළා දැකිය යුතු පූජකයෝ

4. යෙහෝවා පූජකයන්ට දුන්නේ කවර අනතුරු ඇඟවීමද?

4 දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ ප්‍රබල හෙළා දැකීමකින්. එසේ හෙළා දකිනු ලබන්නේ යුදෙව් පූජකයන්වයි. යෙහෝවා ඔවුන්ව හෙළා දකින්නේ තම ධර්මිෂ්ඨ මාර්ගවලින් ඔවුන් ඈත් වී ඇති නිසයි. එම පූජකයන් ඔහුගේ උපදෙස් සිතට ගෙන තම මාර්ගයන් නිවැරදි කරගන්නේ නැත්නම්, දරුණු ප්‍රතිවිපාක ඔවුන් පිටට පැමිණෙනවා සිකුරුයි. මුල් පද දෙකෙහි සඳහන් දේ සලකා බලන්න. ‘ඉතින් පූජකයෙනි, මේ ආඥාව නුඹලාටය. මාගේ නාමයට ගෞරව දෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහු නම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාප කරන්නෙමියි සේනාවල යෙහෝවා කියන්නේය. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කළෙමි.’ පූජකයන් දෙවිගේ ආඥා ජනයාට උගන්වා තිබුණා නම් ඔවුන්ට ආශීර්වාද අත් කරගැනීමට තිබුණා. එනමුත් එසේ නොකළ නිසා ඔවුන්ට අත් වන්නේ ශාපයයි. පූජකයන්ගේ මුවින් පිට වූ ආශීර්වාදයන් පවා ශාපයක් බවට පත් වනු ඇති.

5, 6. (අ) පූජකයන්ව විශේෂයෙන්ම හෙළා දැකිය යුතු වූයේ මන්ද? (ආ) යෙහෝවා පූජකයන්ව කොතරම් හෙළා දකිනවාද කියා පෙන්නුම් කළේ කෙසේද?

5 පූජකයන්ව විශේෂයෙන් හෙළා දැක්කේ ඇයි? සත්වන පදය මලාකී 2:7 එක පැහැදිලි හේතුවක් සපයයි. ‘පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය. මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක් හෙයින්ද ඔහු සේනාවල යෙහෝවාගේ පණිවිඩකාරයාය.’ ‘යෙහෝවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියූ සියලු පනත් ඉගැන්වීම’ පූජකයන්ගේ වගකීම බව අවුරුදු දහසකට ඉහතදී මෝසෙස් තුළින් ඉශ්‍රායෙලයට දෙන ලද දෙවිගේ නීතිවල සඳහන්ව තිබුණා. (ලෙවී කථාව 10:11) නමුත්, පසු කාලයේදී 2 ලේකම් 15:3හි ලේඛකයා වාර්තා කළ ආකාරයට “බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑ වූ [දෙවි ගැන] උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව” සිටීම කනගාටුවට කරුණක්.

6 පොදු යුගයට පෙර පස්වන සියවසේදී, එනම් මලාකීගේ කාලයේදී පූජක තන්ත්‍රය සම්බන්ධයෙන් පැවති තත්වය ඒ හා සමාන වුණා. දෙවිගේ ව්‍යවස්ථාව ජනයාට ඉගැන්වීමේ කාර්යය ඉටු කිරීමට ඔවුන් අපොහොසත් වී සිටියා. එමනිසා ඔවුන්ගේ ක්‍රියාකලාපයට යම් ගණන් දීමක් අවශ්‍ය කෙරුණා. යෙහෝවා ඔවුන්ට එරෙහිව එකහෙළා යොමු කර ඇති තරවටුව සලකා බලන්න. මලාකී 2:3හි මෙසේ සැල වෙනවා. “නුඹලාගේ මුහුණු පිට කසළ [ගොම, NW], එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ [ගොම, NW] ඉසිමි.” එය දැඩි හික්මවීමක් නොවෙයිද! පූජා කළ සතුන්ගේ හම් සහ ගොම කූඩාරම පිහිටි ස්ථානයෙන් පිටතට ගෙන ගොස් පුලුස්සනු ලැබිය යුතුව තිබුණා. (ලෙවී කථාව 16:27) එනමුත්, යෙහෝවා පවසා සිටින්නේ ඒ ගොම ඔවුන්ගේ මුහුණුවල ඉසිනු ලබන බවයි! එම වදන්වලින් යෙහෝවා ඔවුන්ව කොතරම් හෙළා දකිනු ලැබුවාද කියා ඔබට සිතාගත හැකි වෙයි. ඔව්, දෙවි පූජාවන් සහ ඒවා ඉදිරිපත් කළ අයව ප්‍රතික්ෂේප කළා.

7. යෙහෝවා ව්‍යවස්ථාවේ ගුරුවරුන් සමඟ කෝප වූයේ මන්ද?

7 මලාකීගේ කාලයට සියවස් ගණනාවකට කලින්, යෙහෝවා ලෙවී ගෝත්‍රිකයන් සමඟ ඇති කළ ගිවිසුමට අනුව, මණ්ඩපය (නැත්නම් දේවමාළිගාව) සහ ඒ හා බැඳි පරිශුද්ධ සේවාවන් ඉටු කිරීම භාර වී තිබුණේ ඔවුන්ටයි. ඉශ්‍රායෙල් ජාතියේ ගුරුවරුන් ලෙස කටයුතු කළෙත් ඔවුන්. එම පැවරුම ඉටු කර තිබුණා නම්, ඔවුන්ටත් මුළු ජාතියටත් ජීවනය සහ සාමය භුක්ති විඳීමට හැකියාව තිබුණා. (ගණන් කථාව 3:5-9) එනමුත් මුලින් දෙවි සඳහා තිබුණු බිය ලෙවීවරුන් තුළ පසු කාලයේදී දකින්න තිබුණේ නැහැ. මේ අනුව යෙහෝවා ඔවුන්ට මෙසේ පැවසුවා. “නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝදෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය. නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳ දැමුවහුය. . . . නුඹලා මාගේ මාර්ගයන් රක්ෂා [කළේ නැත].” (මලාකී 2:8, 9) සැබෑව ඉගැන්වීමට අසමත් වූ මෙම පූජකයන් ඔවුන්ගේ නොසැලකිලිමත්භාවය හා අවාදර්ශය මගින් බොහෝදෙනෙකුව නොමඟ යැව්වා. එසේ නම් යෙහෝවා ඔවුන් සමඟ උදහස් වුණේ හොඳ හේතු ඇතුවයි.

දෙවිගේ ප්‍රමිති රක්ෂා කරමු

8. දෙවිගේ ප්‍රමිති රැකීම මිනිසුන්ගෙන් අපේක්ෂා කිරීම ඕනෑවට වඩා වැඩියෙන් කර ඇති ඉල්ලීමක්ද? පැහැදිලි කරන්න.

8 අසම්පූර්ණ මනුෂ්‍යයන් වූ නිසා මෙම පූජකයන් දෙවිගේ ප්‍රමිති රැකීමට කොහෙත්ම බැරි, අනුකම්පාව සහ සමාව ලැබිය යුතු වූ ජන පිරිසක් ලෙස සැලකිය යුතු බව සිතන්න එපා. මනුෂ්‍යයන්ට දෙවිගේ ආඥා රක්ෂා කළ හැකි බව මතක තබාගන්න. මන්ද ඔවුන්ට කළ නොහැකි දෙයක් යෙහෝවා ඔවුන්ගෙන් අපේක්ෂා නොකරන නිසයි. ඇතැම්විට, සමහර පූජකයන් දෙවිගේ ප්‍රමිති රක්ෂා කළා විය හැකියි. කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨ “උත්තම පූජකයා” වන යේසුස්, පසුව එම ප්‍රමිති රැක්ක බවට කිසිම සැකයක් නැහැ. (හෙබ්‍රෙව් 3:1) එමනිසා මෙම වදන් සැබවින්ම අදාළ වන්නේ ඔහුටයි. “සැබෑකමේ ව්‍යවස්ථාව ඔහුගේ මුඛයෙහි තිබුණේය. අධර්මිෂ්ඨකමක් ඔහුගේ තොල්වල සම්බ නොවීය. ඔහු සමාදානයෙන්ද අවංකකමෙන්ද මා සමඟ හැසිර, බොහෝදෙනෙකු අපරාධයෙන් හරවාගත්තේය.”—මලාකී 2:6.

9. අපගේ කාලයේදී සත්‍යය විශ්වාසවන්තව පතළ කර ඇත්තේ කවුරුන්ද?

9 මීට සමානව යේසුස්ගේ ආලේප ලත් සහෝදරයන්ද අපගේ කාලය දක්වාම ‘දෙවිට ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක්’ ලෙස සියවසකට වැඩි කාලයක් පුරා සේවය කර තිබෙනවා. (1 පේතෘස් 2:5) බයිබල් සත්‍යයන් අන් අයට සැපයීමේ කාර්යයෙහි පෙරමුණ ගෙන ඇත්තේ ඔවුන්. ඔබ ඔවුන් උගන්වන බයිබල් සත්‍යයන් ඉගෙනගන්නා විට, සැබෑකමේ ව්‍යවස්ථාව ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ මුඛයෙහි ඇති බව අද්දැකීමෙන් ඔබට පෙනී ගොස් නැද්ද? සමහරවිට ඔබත් ඇතුළුව බොහෝදෙනෙකුට ආගමික බොරුවෙන් ඉවත් වීමට ඔවුන් උපකාර කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා මිලියන ගණනක් බයිබල් සත්‍යයන් ඉගෙනගෙන සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටිනවා. මේ අය සිටින්නේ තවත් මිලියන ගණනකට සැබෑකමේ ව්‍යවස්ථාව ඉගැන්වීමේ වරප්‍රසාදය ඇතුවයි.—යොහන් 10:16; එළිදරව් 7:9.

සුපරීක්ෂාකාරිව සිටීමට හේතු

10. අප සුපරීක්ෂාකාරි විය යුත්තේ මන්ද?

10 කොහොම නමුත් අපි සුපරීක්ෂාකාරි විය යුතුයි. මලාකී 2:1-9හි සඳහන් පාඩම් අපිත් ඉගෙනීමට අපොහොසත් වෙනවා විය හැකියි. අධර්මිෂ්ඨකමක් අපගේ තොල්වල සම්බ නොවීමට අපි පෞද්ගලිකව කල්පනාකාරිව සිටිනවාද? නිදසුනකට, අපේ පවුලේ සාමාජිකයන්ට අප කියන දේ ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද? සභාවේ සිටින අපේ ආත්මික සහෝදර සහෝදරියන්ට විශ්වාස කරන්න පුළුවන්ද? සමහරවිට අපි කියන දේ යම් ආකාරයකින් නිවැරදි වුණත්, අපේ අදහස් අනුන්ව මුළා කරවනසුලු ඒවා විය හැකියි. ඒකෙන් අදහස් කරන්නේ අපි ඒ දේ කියන්නේ අනුන්ව නොමඟ යැවීමේ අරමුණ ඇතුව බවයි. එහෙමත් නැත්නම්, යම් ව්‍යාපාරික කටයුත්තක් ගැන තොරතුරු වැඩි කර කියන්නත්, සඟවන්නත් කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. හැබැයි අප කරන දේවල් යෙහෝවාට තේරෙනවා නොවෙයිද? ඇත්තෙන්ම අපි ඒ දේවල් කරනවා නම්, අපේ තොල්වල ප්‍රශංසාව නමැති පූජාව යෙහෝවා භාරගනීවිද?

11. විශේෂයෙන්ම සුපරීක්ෂාකාරි විය යුත්තේ කවුරුන්ද?

11 සභාවේ දේවවචනය ඉගැන්වීමේ වරප්‍රසාදය ඇති පුරුෂයන්ටද මලාකී 2:7හි සඳහන් දේ ප්‍රබල අනතුරු ඇඟවීමක් විය යුතුයි. ‘ඔවුන්ගේ තොල්වල දැනගැන්ම තිබිය යුතුය. මිනිසුන් ව්‍යවස්ථාවද ඔවුන්ගේ මුඛයෙන් දැනගත යුතුය’ කියා එහි සඳහන් වෙනවා. යාකොබ් 3:1හි කියන විදිහට එවැනි ගුරුවරුන්ට බැරෑරුම් වගකීමක් තිබෙනවා. ඔව්, ඔවුන්ට ලැබෙන්නේ ‘වඩා බරපතළ විනිශ්චයක්.’ ඔවුන් උද්‍යෝගයෙන් සහ ප්‍රාණවත්ව දේශනා නොකළ යුතු බව මින් අදහස් කරන්නේ නැහැ. කොහොම නමුත් ඔවුන්ගේ ඉගැන්වීම දෙවිගේ ලිඛිත වචනය හා යෙහෝවාගේ සංවිධානය සපයා දෙන උපදෙස් මත ස්ථිරව පදනම් විය යුතුයි. ඔවුන් “වෙන අයටත් උගන්වන්ට සමර්ථ වූ” අය බවට පත් වන්නේ එයාකාරයෙනුයි. එය කිරීම සඳහා ඔවුන්ට උපදෙස් ලැබෙන්නේ මෙසේයි. “සැබෑවේ වචනය හරි ආකාර පහදා දෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවිට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ [ඔබේ උපරිමය, NW] කරන්න.”—2 තිමෝති 2:2, 15.

12. උගන්වන අය කල්පනාකාරි විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

12 අප කල්පනාකාරිව කටයුතු කරන්නේ නැත්නම්, සමහරවිට පෞද්ගලික මතයන් හෝ මනාපයන් අප පවසන දේට ඇතුළත් කරන්න පෙලඹීමක් ඇති විය හැකියි. දැඩි මතයන් දරන කෙනෙකුට හෝ තමා ගන්න තීරණයන් සම්බන්ධයෙන් දැඩි නිසැකකමකින් සිටින කෙනෙකුට මෙය විශේෂයෙන්ම අවදානම් සහිත දෙයක් වෙන්න පුළුවන්. යෙහෝවාගේ සංවිධානය උගන්වමින් සිටින දෙයට පටහැනිව යන්නට තරම් ඔහු දුරදිග යා හැකියි. එනමුත් මලාකී 2වන පරිච්ඡේදයෙහි ඒත්තුගන්වා ඇති විදිහට, සභාවේ ගුරුවරුන්ගෙන් අපේක්ෂා කරන්නේ බැටළුවන්ව බාධාවට පත් කළ හැකි පෞද්ගලික මතයන් නොව, නමුත් දෙවිගේ දැනුමට විශ්වාසවන්තව ඇලී සිටිමින් අදහස් පළ කිරීමයි. යේසුස් මෙසේ පැවසුවා. “මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපත.”—මතෙව් 18:6.

නොඇදහිලිකාරයෙකු හා විවාහ වීම

13, 14. මලාකී උලුප්පා දැක්වූ එක් ද්‍රෝහි ක්‍රියාමාර්ගයක් නම් කරන්න.

13 මලාකී 2වන පරිච්ඡේදය ද්‍රෝහිකම වඩාත් ඍජු ආකාරයකින් හුවා දක්වනවා. විශේෂයෙන්ම දහවන පදයේ මලාකී 2:10 සිට බැලුවොත් එසේ කර තිබෙන බව පැහැදිලියි. මෙහිදී මලාකී එකිනෙකට සම්බන්ධ ක්‍රියාවන් දෙකකට අවධානය යොමු කරනවා. ඒ ක්‍රියාවන් දෙක ගැන කතා කරද්දී ඔහු “ද්‍රෝහිකම” නමැති අදහස නැවත නැවත ගෙනහැර දක්වනවා. මුලින්ම 10වන පදයෙහි කියන ආකාරයට මලාකී තම උපදෙස් ඉදිරිපත් කරන්නට පෙර “අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක [දෙවි කෙනෙක්] නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලෙසන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම් කරමුද” කියමින් ප්‍රශ්න මාලාවක් අසනවා. ඊට පසු, මලාකී 2:11වන පදයෙහි මෙම ද්‍රෝහි ක්‍රියාමාර්ගය ‘යෙහෝවාගේ ශුද්ධකම කෙලෙසීමක්’ වන බව පැහැදිලි කරනවා. ඔවුන් කරමින් සිටි මෙතරම් බරපතළ වූ දෙය කුමක්ද? එම පදයේ ඔවුන් ගත් එක වැරදි ක්‍රියාමාර්ගයක් ගැන සඳහන් වෙනවා. ඔවුන් විසින් ‘අන්‍ය දෙවියෙකුගේ දියණියක් සරණ පාවාගැනීම’ එම වැරදි ක්‍රියාවයි.

14 වෙනත් වචනවලින් කියනවා නම්, යෙහෝවාට කැප වී සිටි ඉශ්‍රායෙලිතයන්ගෙන් සමහරෙක් ඔහුට නමස්කාර කරන්නේ නැති අය හා විවාහ වී සිටියා. අවට පාඨ සම්බන්ධයෙන් පැහැදිලි වන්නේ ඔවුන් කළේ ඉතා බරපතළ දෙයක් බවයි. දහවන පදය මලාකී 2:10 ඔවුන්ට ‘එක පියෙක්’ සිටි බව කියයි. එයින් අදහස් කළේ (ඉශ්‍රායෙල් යනුවෙන් නම් කළ) යාකොබ්වවත් ආබ්‍රහම්වවත් ආදම්වවත් නොවෙයි. ඔවුන්ගේ ‘එකම පියා’ යෙහෝවා බව මලාකී 1:6 පෙන්නුම් කරනවා. ඉශ්‍රායෙල් ජාතිය හා ඔහු අතර තිබුණේ කිට්ටු සම්බන්ධයක්. ඔවුන්ගේ පියවරුන් සමඟ කර තිබූ ගිවිසුමට ඔවුන් පංගුකාරයන් වෙලයි සිටියේ. එම ගිවිසුමට අයත් එක නීතියක මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න. නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න. ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.”—ද්විතීය කථාව 7:3.

15. (අ) නොඇදහිලිකාරයෙකු හා විවාහ වීම සාධාරණීකරණය කිරීමට ඇතමුන් තැත් කළ හැක්කේ කෙසේද? (ආ) විවාහය නමැති කාරණය සම්බන්ධයෙන් යෙහෝවා තම ස්ථාවරය පළ කරන්නේ කෙසේද?

15 වර්තමානයේ සමහරුන් මෙලෙස තර්ක කරනවා වෙන්නට පුළුවන්. ‘අනේ, එයා නං හරිම හොඳ කෙනෙක්. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල එයා සැබෑ නමස්කාරයත් පිළිගන්න බැරි නැහැ.’ එවැනි අදහස්වලින් පැහැදිලි වන්නේ “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද” යන දේවානුභාවයෙන් ලැබූ අනතුරු ඇඟවීම කොතරම් සැබෑද කියායි. (යෙරෙමියා 17:9) නොඇදහිලිකාරයන්ව විවාහ කරගැනීම සම්බන්ධයෙන් දෙවි දරන ආකල්පය ඉතා පැහැදිලිව මලාකී 2:12හි පළ වේ. ‘මෙසේ කරන මනුෂ්‍යයාව යෙහෝවා සිඳ දමන්නේය!’ එසේ නම්, “ස්වාමීන් තුළ පමණක්” විවාහ වීමට ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා ඇත්තේ එමනිසයි. (1 කොරින්ති 7:39) දැනට ක්‍රියාත්මක වන ක්‍රිස්තියානි පිළිවෙතට එකඟව නොඇදහිලිකාරයෙකු විවාහ කරගැනීම නිසා ඇදහිලිවන්තයෙකුව ‘සිඳ දමනු ලබන්නේ’ නැහැ. කෙසේවෙතත්, ඒ නොඇදහිලිකාර තැනැත්තා හෝ තැනැත්තිය දිගටම තම නොඇදහිලිකාරකම තුළ රැඳී සිටිනවා නම්, දෙවි විසින් දැනට පවතින මෙම ක්‍රමය අවසානයකට ගෙනෙනු ලබන විට ඒ පුද්ගලයාට කුමක් සිදු වෙයිද?—ගීතාවලිය 37:37, 38.

තම කලත්‍රයාට වැරදි ලෙස සැලකීම

16, 17. ඇතමුන් ගත් ද්‍රෝහි ක්‍රියාමාර්ගය විස්තර කරන්න.

16 මලාකී ඊළඟට ද්‍රෝහිකමක් හැටියට හැඳින්විය හැකි දෙවන ක්‍රියාමාර්ගයක් සඳහන් කරයි. ඒ තමයි තමාගේ කලත්‍රයාට වැරදි ලෙස සැලකීම. දෙවන පරිච්ඡේදයෙහි 14වන පදයෙහි මෙසේ සැල වේ. “යෙහෝවා නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව [සිටියේය]. ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම් කළෙහිය.” මේ යුදෙව් පුරුෂයන් තම භාර්යාවන් සමඟ ද්‍රෝහි ලෙස කටයුතු කළ නිසා, යෙහෝවාගේ පූජාසනය ‘කඳුළෙන් වැසී තිබුණා.’ (මලාකී 2:13) මේ පුරුෂයන් නීති විරෝධී හේතු මත දික්කසාද වෙමිනුයි සිටියේ. තම තරුණ වයසේ භාර්යාවන්ව අත්හැර විවාහය කටුගා දැම්මේ, තරුණ හෝ මිථ්‍යාදෘෂ්ටික ස්ත්‍රීන්ව විවාහ කරගැනීමට විය හැකියි. පූජකයන්ද මේ දේට ඉඩහැරීම මොනතරම් කනගාටුවට හේතුවක්ද! මලාකී 2:16හි පවසන්නේ මෙසේයි. “භාර්යාවන් අත්හැර දැමීමට මම ද්වේෂ කරමියි ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා කියන්නේය.” වරදක් නොකළ කලත්‍රයාට දික්කසාද වී නැවත විවාහ වීමට අවස්ථාවක් ලැබෙන එකම පදනම දුරාචාරය බව යේසුස් පසු කාලයකදී පෙන්නුම් කළා.—මතෙව් 19:9.

17 මලාකී පැවසූ වදන් ගැන ටිකක් සිතා බලන්න. ඒවා හදවත් ස්පර්ශ කරන්නේ නැද්ද? කරුණාව දැක්වීමට අප සැම තුළ තිබෙන ආශාව එමගින් පුබුදුවන්නේ නැද්ද? භාර්යාවන්ව ‘නුඹේ පංගුකාරි හා නුඹේ ගිවිසුමේ භාර්යාව’ හැටියට ඔහු හඳුන්වනවා. තම භාර්යාව අත්හැරීමේ වරදට හසු වූ සෑම පුරුෂයෙකුම විවාහ වී තිබුණේ සෙසු නමස්කාරකයෙක්, ඒ කියන්නේ ඉශ්‍රායෙල් ස්ත්‍රියක් සමඟයි. ඔහු ඇයව තෝරාගත්තේ ජීවිතාන්තය දක්වා රක්ෂා කරන ආදරණීය සහකාරියක් හැටියටයි. සමහරවිට, එසේ කරන්නත් ඇත්තේ ඇය තරුණව, රූමත්ව සිටි කාලයේදී විය හැකියි. කාලය ගෙවී ගියත්, දෙදෙනා අතර සිදු වූ විවාහ ගිවිසුම අවලංගු කිරීමට ඇගේ වයස්ගත පෙනුම පදනමක් වූයේ නැහැ.

18. ද්‍රෝහිකම පිළිබඳව මලාකීගේ උපදෙස් අදදිනට අදාළ වන්නේ කවර ආකාරවලින්ද?

18 මෙම උපදෙස් අදදිනටත් එක සේ අදාළ වන බව පැහැදිලියි. ස්වාමීන් තුළ පමණක් විවාහ වීමටත් විවාහ බැමි ශක්තිමත්ව තබාගැනීමටත් දෙවි දී ඇති මඟ පෙන්වීම ඇතැම් අය විසින් නොසලකාහැරීම කනගාටුවට හේතුවක් නොවේද? අනික් අතට තම විවාහ බන්ධනය ශක්තිමත්ව තබාගැනීමට ඇතැම් අය වෑයම් නොදැරීමද දුකට හේතුවක්. මෙහිදී, නිදහසට කරුණු ඉදිරිපත් කරන මෙවැනි අය, දෙවි ද්වේෂ කරන ක්‍රියාමාර්ගයක් ලුහුබඳින්නේ ශුද්ධ ලියවිල්ලට පටහැනි දික්කසාදයක් ලබාගැනීමෙනුයි. එසේ කරන්නේ වෙනත් කෙනෙකුව විවාහ කරගැනීමේ අදහසින්. ඇත්තෙන්ම මේ සියල්ලෙන් ඔවුන් ‘දෙවිව වෙහෙසට පත් කරනවා.’ මලාකීගේ කාලයේදී, මෙම දිව්‍ය උපදෙස්වලට පිටු පෑ අය යෙහෝවා දරන ආකල්පවලට කිසිම පදනමක් නැහැයි කියා සිතන්නට පවා නිර්භීත වුණා. ඇත්තෙන්ම ඔවුන් “යුක්තියේ [දෙවි] කොතැනද” කියා අසනවා වගෙයි. එවැනි අදහස් මොනතරම් ද්වේෂසහගතද කියා අපට සිතාගත හැකියි. අපි කවදාවත් එම උගුලට හසු නොවන්නට වගබලා ගනිමු.—මලාකී 2:17.

19. පුරුෂයන්ට හා භාර්යාවන්ට දෙවිගේ ආත්මය ලබාගත හැක්කේ කෙසේද?

19 මලාකීගේ පණිවිඩයේ හොඳ පැත්තක්ද තිබෙනවා. ඔහු පෙන්නුම් කළ ආකාරයට ඇතැම් පුරුෂයන් තම භාර්යාවන් සමඟ ද්‍රෝහි ලෙස කටයුතු කර තිබුණේ නැහැ. ‘දෙවිගේ ආත්මයේ ඉතිරි කොටසින්’ පූර්ණ වූ විශ්වාසවන්ත පුරුෂයන්ද සිටියා. (මලාකී 2:15වන පදය) ඇත්තෙන්ම ‘තම භාර්යාවන්ට ගෞරවය දෙන’ පුරුෂයන්ගෙන් දෙවිගේ සංවිධානය ගහනව පවතියි. (1 පේතෘස් 3:7) මෙම පුරුෂයන් ඔවුන්ගේ භාර්යාවන්ව අවමානයට ලක් කරන්නේ නැහැ. පිළිකුල්සහගත ලිංගික ක්‍රියා කිරීමට ඔවුන්ට බල කරන්නේ නැහැ. කාමුක දර්ශන නැරඹීමෙන් හෝ වෙනත් ස්ත්‍රීන් සමඟ ඉඟි බිඟි පෑමෙන් ඔවුන් තම භාර්යාවන්ට අගෞරවනීයව සලකන්නේ නැහැ. දෙවිට පක්ෂපාත වූ ක්‍රිස්තියානි භාර්යාවන් රාශියක් සිටීමේ ආශීර්වාදයෙන්ද යෙහෝවාගේ සංවිධානය පොහොසත් වී තිබෙනවා. ඔවුන් දෙවිටත් ඔහුගේ නීතිවලටත් පක්ෂපාතයි. දෙවි ද්වේෂ කරන දේ මොනවාදැයි දන්නා මෙවැනි පුරුෂයන් සහ ස්ත්‍රීන් අදිටන් කරගෙන සිටින්නේ එම දැනුමට එකඟව ක්‍රියා කිරීමට සහ සිතීමටයි. ‘මනුෂ්‍යයන්ට වඩා දෙවිට කීකරු වීමෙන්’ ඔබත් ඔවුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න. එවිට ඔබටත් ආශීර්වාද මෙන්ම දෙවිගේ ශුද්ධාත්මයත් නොමදව ලැබිය හැකියි.—ක්‍රියා 5:29.

20. සියලු මිනිස්වර්ගයා සඳහා ළඟා වෙමින් පවතින කාලය කුමක්ද?

20 ඉතා ළඟදී යෙහෝවා මේ මුළු මහත් ලොව විනිශ්චයට ලක් කරාවි. තම විශ්වාසයන් හා ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සියලුම පුද්ගලයන්ට දෙවිට උත්තර දෙන්න වෙයි. “අප එක් එක්කෙනා තම තමා ගැන දෙවිට ගණන් දෙනවා ඇත.” (රෝම 14:12) එමනිසා කුහුල දනවන ප්‍රශ්නය වන්නේ “යෙහෝවාගේ දවසින් බේරෙන්නේ කවුද” යන්නයි. මෙම ලිපි මාලාවේ තුන්වන හා අවසන් ලිපිය ඒ තේමාව යටතේ දිගහැරෙයි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• යෙහෝවා ඉශ්‍රායෙල්හි පූජකයන්ට තරවටු කළේ කුමන මූලික හේතුව නිසාද?

• දෙවිගේ ප්‍රමිති මිනිසුන්ට රැකීමට නොහැකි තරම් අමාරු ඒවා නොවන්නේ මන්ද?

• අදදින අපගේ ඉගැන්වීම සම්බන්ධයෙන් අප කල්පනාකාරි විය යුත්තේ මන්ද?

• යෙහෝවා විශේෂයෙන්ම හෙළා දුටුවේ කවර ක්‍රියාකලාපයන් දෙකද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

මලාකීගේ කාලයේදී, යෙහෝවාගේ මාර්ග රක්ෂා නොකළ නිසා පූජකයන්ට තරවටු ලැබුණා

[16වන පිටුවේ පින්තූරය]

පෞද්ගලික අදහස් ඉස්මතු නොකරමින් යෙහෝවාගේ මාර්ග ඉගැන්වීමට අප වගබලා ගත යුතුයි

[18වන පිටුවේ පින්තූර]

යෙහෝවා විසින් හෙළා දකිනු ලැබුවේ කිසිදු පදනමක් නොමැතිව තම භාර්යාවන් අත්හැර මිථ්‍යාදෘෂ්ටික ස්ත්‍රීන් විවාහ කරගත් ඉශ්‍රායෙලිතයන්වයි

[18වන පිටුවේ පින්තූරය]

වත්මන් ක්‍රිස්තියානීන් තම විවාහ ගිවිසුමට ගෞරවය දක්වනවා