Skip to content

පටුනට යන්න

ලොව සිසාරා පැතිර පවතින ආබාධ

ලොව සිසාරා පැතිර පවතින ආබාධ

ලොව සිසාරා පැතිර පවතින ආබාධ

ක්‍රිස්චන් ජීවත් වන්නේ අප්‍රිකානු රටකයි. දිනක් හමුදා භටයන් පිරිසක් පැමිණ ඔහුව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්, හමුදාවට බැඳෙන්න කියා බල කළ නමුත්, ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඔහු එසේ කළේ බයිබලය මත පුහුණු කරන ලද ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව එවැනි දෙයක් කළ නොහැකි වූ නිසායි. එම හමුදා භට පිරිස ඔහුව හමුදා කඳවුරට ගෙන ගොස්, දවස් හතරක් තිස්සේ පහර දුන්නා. මේ අතර එක් හමුදා භටයෙක් ඔහුගේ කකුලට වෙඩි තැබුවා. ක්‍රිස්චන්ට කෙසේ හෝ රෝහලකට යා ගත හැකි වුවත් වෙඩි වැදී තිබූ ඔහුගේ කකුලේ දණ හිසෙන් පහළ කොටස කපා දැමුවා. තවත් අප්‍රිකානු රටක, ආයුධ සන්නද්ධ කැරලිකරුවන් විසින් කුඩා දරුවන්ගේ පවා අත් පා කපා දමනු ලැබුවා. කාම්බෝජයේ සිට බෝල්කන් අර්ධද්වීපයේ තිබෙන රටවල්වලද ඇෆ්ඝනිස්තානයේ සිට ඇන්ගෝලාව දක්වා තිබෙන රටවල්වලද වළලා තිබෙන බිම් බෝම්බ නිසා බාල මහලු තරුණ සෑම කෙනෙකුම පාහේ දරුණු ලෙස තුවාල ලබා ආබාධිතයන් බවට පත් වී තිබෙනවා.

එමෙන්ම හදිසි අනතුරු හා දියවැඩියාව වැනි රෝග නිසාද ඇතැමුන් ආබාධිතයන් බවට පත් වෙයි. පරිසරයේ පවතින නොයෙකුත් විෂ සහිත ද්‍රව්‍ය නිසාද තවත් සමහරු ආබාධිතයන් බවට පත් විය හැකියි. උදාහරණයක් හැටියට, නැගෙනහිර යුරෝපීය රටක පිහිටි නගරයක් අසල ප්‍රදේශ කිහිපයක ළමුන්ගෙන් සෑහෙන පිරිසක් ඉපදුණේ එක් අතක වැලමිටෙන් පහළ කොටස නැතුවයි. සාක්ෂිවලට අනුව මෙයට හේතුව විෂ සහිත රසායනික ද්‍රව්‍ය ජානවලට හානි සිදු කර තිබීමයි. තවත් අතිවිශාල පිරිසකට අත් පා තිබුණත්, ඒවා ක්‍රියා විරහිත වීම නිසා හෝ වෙනත් රෝග නිසා ඔවුන් ආබාධිතයන් බවට පත් වී සිටිනවා. ඇත්තෙන්ම අද විවිධ ආබාධ ලොව සිසාරා පැතිර පවතිනවා.

කුමන හේතුවක් නිසා හෝ ආබාධිතයන් බවට පත් වූවන් සිටින්නේ දරාගත නොහැකි ශෝකයෙනුයි. ජූන්යගේ වම් කකුල අහිමි වන විට ඔහුගේ වයස අවුරුදු 20යි. ඔහු මෙසේ පැවසුවා. “මම මානසිකව හුඟාක් පීඩා වින්දා. මගේ නැති වුණ කකුල ආයේ කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා හිතුණු වේලාවන්වල මම හුඟාක් ඇඬුවා. මොනව කරන්නද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ.” කෙසේවෙතත්, කලකට පසු ජූන්ය ජීවිතය දෙස බැලූ ආකාරයේ සෑහෙන වෙනසක් සිදු වී තිබෙන බව දක්නට තිබුණා. ඔහු බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඔහු ඉගෙනගත්ත දේවල් ආබාධිත තත්වය සමඟ සාර්ථකව කටයුතු කරන්න ඔහුට උපකාරවත් වුණා. ඒ විතරක් නෙමෙයි, මේ පොළොව මතම සන්තෝෂවත් අනාගතයක් ගැන මවිතකර බලාපොරොත්තුවක්ද ඇති කරගන්නත් ඔහුට පුළුවන් වුණා. ඔබත් යම් ආබාධයකින් පෙළෙනවා නම්, එම බලාපොරොත්තුව ඇතුව සිටින්න ඔබත් කැමතිද?

එහෙමනම්, ඊළඟ ලිපියත් කියවන්න. එහි සඳහන් කර තිබෙන බයිබල් පාඨ ඔබගේම බයිබලයෙන් බලන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. ඔබට එසේ කළ හැකි නම්, මැවුම්කරු ඔහුගේ අරමුණ ගැන ඉගෙනගනිමින් ඊට එකඟව තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්න අයට අනාගතයේදී ලබා දෙන දේවල් මොනවාද කියා ඔබට බයිබලයෙන්ම දැකගන්න පුළුවන්.