Skip to content

පටුනට යන්න

අඛණ්ඩතාව අවංක අයට මාර්ගෝපදේශකයක්

අඛණ්ඩතාව අවංක අයට මාර්ගෝපදේශකයක්

අඛණ්ඩතාව අවංක අයට මාර්ගෝපදේශකයක්

“මව් කුසින් උපන් හැම කෙනෙකුගේම ජීවිත කෙටිය. දුකින් පිරී ඇත” යනුවෙන් බයිබලයේ සඳහන් වේ. (යෝබ් [ජෝබ්] 14:1, නව අනුවාදය) දුක හා වේදනාව මිනිස් ජීවිතයේ සාමාන්‍ය දේවල් බවට පත් වී ඇත. එදිනෙදා ජීවිතය පවා ගෙවී යන්නේ කනස්සල්ලෙන් හා වියවුලෙන්. දුෂ්කර තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හා දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨව සිටීමට අපට මඟ පෙන්විය හැක්කේ කුමකටද?

බොහෝ වත් පොහොසත්කම් ලත් යෝබ් ගැන සලකා බලන්න. ඔහු මීට අවුරුදු 3,500කට පෙර විසූ රට අද හඳුන්වන්නේ අරාබිය යනුවෙන්. මෙම දේවභයැති මිනිසා කෙරෙහි සාතන් මොනතරම් විපත්ති ගෙනාවාද! ඔහු සතු සියලුම පශු සම්පත් හා ඔහුගේ ආදරණීය දරුවන් ඔහුට අහිමි විය. ඉන්පසු හිසේ සිට පාද දක්වා මුළු ශරීරය පුරාම දරුණු ගඩු ගෙඩි හටගන්න සාතන් සැලැස්සුවේය. (යෝබ් 1 හා 2 පරිච්ඡේද) තමන් මෙවැනි අසීරු තත්වයකට මුහුණ දෙන්න හේතුව යෝබ් දැනගෙන සිටියේ නැත. නමුත් යෝබ් “වචනින් පව් කළේ නැත.” (යෝබ් 2:10) හෙබ්‍රෙව් ලියවිල්ලට අනුව ඔහු පැවසුවේ “මා නසින තුරු මාගේ අඛණ්ඩතාව මාගෙන් ඉවත නොදමන්නෙමි” කියාය. (යෝබ් 27:5, NW) යෝබ්ගේ අඛණ්ඩතාව පීඩාකාරි කාලයේදී ඔහුට හරි මඟ පෙන්වීම සපයන ලදි.

අඛණ්ඩතාව සදාචාරමය වශයෙන් කැළැල් රහිතව හෝ සම්පූර්ණත්වයෙන් සිටීම ලෙස නිර්වචනය කර ඇති අතර දෙවි ඉදිරියේ නිර්දෝෂව හා නිදොස්ව සිටීමත් අඟවයි. කෙසේවෙතත් කතාවෙන් හා හැසිරීමෙන් පරිපූර්ණව සිටීම මෙනයින් අදහස් නොකරන්නේ අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට දෙවිගේ ප්‍රමිතිවලට සම්පූර්ණයෙන්ම ළඟාවීමට කිසිසේත් නොහැකි නිසාය. එනමුත් මනුෂ්‍ය අඛණ්ඩතාවෙන් නියෝජනය වන්නේ යෙහෝවාට හෘද පූර්ණ භක්තියකින් හා ඔහුගේ අරමුණට හා කැමැත්තට එකඟව සම්පූර්ණ කැපවීමකින් සේවය කිරීමයි. අවංක අයට ඕනෑම තත්වයක් යටතේ හා සෑම කල්හිම මඟ පෙන්වීමට මෙවැනි දේවභක්තික ජීවිතයක් රුකුලක් වේ. අඛණ්ඩතාව අපට විවිධ අවස්ථාවලදී මඟ පෙන්වීම් සපයන ආකාරය ගැනත් ඒවා පිළිපැදීමෙන් ලැබෙන මහත් ආශීර්වාද ගැනත් බයිබලයේ හිතෝපදේශ පොතේ 11වෙනි පරිච්ඡේදයේ මුල් ඡේදවල තහවුරු කර තිබේ. එමනිසා හිතෝපදේශ පොතේ වාර්තා කර ඇති උපදෙස් වෙත මහත් ඕනෑකමින් කිට්ටු අවධානයක් යොමු කිරීම වටී.

ව්‍යාපාරික කටයුතුවලදී අවංක වීමට අඛණ්ඩතාව මඟ පාදයි

පුරාණ ඉශ්‍රායෙල්හි විසූ සාලමොන් රජ අවංකකමේ ප්‍රතිපත්තිය උලුප්පා දැක්වීමට නීතිමය වචන භාවිතා කරනවා වෙනුවට කාව්‍යමය වචන යොදාගනිමින් මෙසේ පැවසුවේය. “හොර තරාදිය යෙහෝවාට පිළිකුලක්ය. එහෙත් හරි කළන්පඩියට ඔහු ප්‍රසන්නය.” (හිතෝපදේශ 11:1) යෙහෝවා ඔහුට නමස්කාර කරන්නන්ගෙන් ව්‍යාපාරික කටයුතුවලදී අවංක වීම අපේක්ෂා කරන බව පෙන්වීමට හිතෝපදේශ පොතේ තරාදි හා පඩි සම්බන්ධව කතා කර තිබෙන අවස්ථා හතරෙන් මෙය පළමුවැන්නයි.—හිතෝපදේශ 16:11; 20:10, 23.

හොර තරාදි පාවිච්චි කරන හෝ වංක ලෙස කටයුතු කරන කෙනෙකුගේ සමෘද්ධිමත් තත්වය දකින විට ඔවුන්ගේ මාර්ගය අනුගමනය කිරීමට කෙනෙකු තුළ පෙලඹීමක් ඇති විය හැකියි. නමුත් දෙවිගේ යහපත් ප්‍රමිති උල්ලංගනය කරමින් ආචාර ධර්මවලට පටහැනි ව්‍යාපාරික කටයුතුවල නියැලෙන්න අපට ඇත්තටම අවශ්‍යද? අප අඛණ්ඩතාවෙන් යුතුව ගමන් කරනවා නම් කිසි සේත් එසේ කිරීම අවශ්‍ය වන්නේ නැත. අවංකකම සංකේතවත් කරන නිවැරදි කළන්පඩියක් තබාගැනීම තුළින් යෙහෝවාගේ සිත සතුටට පත් වන නිසා අපි වංකකම හෙළා දකින්නෙමු.

‘නිහතමානී අය සමඟ ප්‍රඥාව තිබේ’

සාලමොන් රජු තවදුරටත් කියනුයේ “උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි. එහෙත් ප්‍රඥාව තිබෙන්නේ නිහතමානී අය සමඟ” බවයි. (හිතෝපදේශ 11:2, NW) උඩඟුකමේ විවිධ මුහුණුවර තිබෙන අතර එය ආඩම්බරකම, අකීකරුකම හෝ කුඩුකේඩුකම යන කොයි මුහුණුවර ගත්තත් එයින් අත් වන අවසාන ප්‍රතිඵලය නම් නින්දාවයි. අනික් අතට යටහත් පහත් ලෙස අපේ සීමාවන් දැන කටයුතු කිරීම ප්‍රඥාවේ ක්‍රියාමාර්ගයයි. හිතෝපදේශයේ මෙම සත්‍යතාව බයිබලයේ ආදර්ශ මගින් මනාව ගෙනහැර දක්වා තිබේ.

කුඩුකේඩු ගුණාංගවලින් හෙබි ලෙවීයෙක් වන කෝරා යෙහෝවාගේ පත් කරන ලද සේවකයන් වන මෝසෙස් හා ආරොන්ගේ අධිකාරියට විරුද්ධව කැරැල්ලක් දියත් කළේය. මෙම උඩඟු ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය කුමක් වීද? කැරලිගැසුවන් සමහරදෙනෙකුව ‘පොළොව ඇගේ මුඛය ඇර ගිලගත්තාය.’ එපමණක්ද නොව කෝරා ඇතුළු අනිත් අයව ගින්නෙන් දවා දමනු ලැබීය. (ගණන් කථාව 16:1-3, 16-35, 26:10; ද්විතීය කථාව 11:6) මෙය කොතරම් අගෞරවනීය තත්වයක්ද! උස්සාගේ අවාදර්ශය ගැනත් කල්පනා කර බලන්න. ගිවිසුම් පෙට්ටිය වැටීම වැළැක්වීමට ඔහු අත දිගු කොට එය ඇල්ලුවේය. දෙවි එකෙණෙහිම පහර දුන් අතර ඔහු මරණයට පත් විය. (2 සාමුවෙල් 6:3-8) එසේ නම් උඩඟුකම පහ කර දැමීම කොතරම් අත්‍යවශ්‍යද!

නිහතමානී හා යටහත් පහත් පුද්ගලයෙකු අතින් වැරැද්දක් වුණත් ඔහු අගෞරවයට පත් වන්නේ නැත. යෝබ් බොහෝ පැතිවලින් ආදර්ශමත් කෙනෙකු වුවද ඔහුත් අසම්පූර්ණ පුද්ගලයෙකි. ඔහුගේ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඔහුගේ සමහර කල්පනාවල ලොකු අඩු පාඩුකම් තිබුණු බවයි. මිතුරන් හමුවේ ඔහුගේ නිර්දෝෂිභාවය ප්‍රකාශ කිරීමේදී ඔහු සමබරව අදහස් දැක්වූයේ නැත. එක් අවස්ථාවකදී තමන් දෙවිට වඩා ධර්මිෂ්ඨ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. (යෝබ් 35:2, 3) යෝබ්ගේ කල්පනාවන් යෙහෝවා නිවැරදි කළේ කෙසේද?

පොළොව, මුහුද, තාරකා මණ්ඩලය, සමහර සතුන් හා වෙනත් ආශ්චර්යවත් මැවිලි වෙත යෝබ්ගේ අවධානය යොමු කරවමින් යෙහෝවා,සිය බලවත්කම හා සසඳන විට මිනිසා කොතරම් සුළුද කියා පෙන්නුම් කළේය. (යෝබ් පරිච්ඡේද 38-41) යෝබ්ගේ දුක් ගාවිනාවලට හේතුව යෙහෝවා කිසිවිටකත් සඳහන් කළේ නැත. එය සඳහන් කිරීම අවශ්‍ය නොවීය. යෝබ් නිහතමානී පුද්ගලයෙකි. ඔහු ඉතා යටහත් පහත්ව යෙහෝවා හා ඔහු අතර ඇති වෙනස, එනම් ඔහුගේ අසම්පූර්ණකම හා දුර්වලකම ගැනත් ඒ වගේම යෙහෝවාගේ ධර්මිෂ්ඨකම හා මහත් බලය ගැනත් තේරුම්ගත්තේය. යෝබ් මෙසේ පැවසීය. “මම මටම පිළිකුල් කොට, දූවිල්ලෙත්, අළුවලත් හිඳ පශ්චත්තාප වෙමි.” (යෝබ් 42:6) යෝබ්ගේ අඛණ්ඩතාව සැණෙකින් අවවාද පිළිගැනීමට ඔහුට මඟ පෑදීය. අප ගැන කුමක් කිව හැකිද? අපත් අඛණ්ඩත්වයේ මඟ පෙන්වීමට යටත් වෙනවා නම් නිවැරදි කිරීම් හා අවවාද ඉක්මනින් පිළිගැනීමට අපි මැළි නොවෙමු.

මෝසෙස් පවා නිහතමානී හා යටහත් පහත් පුද්ගලයෙකි. අන් අය වෙනුවෙන් මැදහත් වී කටයුතු කිරීමේදී ඔහු වෙහෙසට පත් වුණේය. සුදුසුකම් ලත් වෙනත් පුරුෂයන් සමඟ වගකීම බෙදාගන්නා ලෙසට ඔහුගේ මාමණ්ඩි වන යෙත්‍රෝ ඔහුට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කළ විට තමාගේ සීමාවන් හඳුනාගත් මෝසෙස් මෙම විසඳුම ඉත සිතින් පිළිගත්තේය. (නික්මයාම 18:17-26; ගණන් කථාව 12:3) නිහතමානී පුද්ගලයෙක් අන් අයට අධිකාරිය පැවරීමට අදි මදි නොකරන අතර සුදුසුකම් ලත් අය සමඟ අධිකාරිය බෙදාගැනීමෙන් තමාට යම් හෙයකින් අධිකාරය අහිමි වේදෝ කියා බිය වන්නේද නැත. (ගණන් කථාව 11:16, 17, 26-29) ඒ වෙනුවට ඔහු වගකීම් භාරගන්නන්ට ආත්මිකව මේරූවීමට උපකාර කරයි. (1 තිමෝති 4:15) මෙය අප සම්බන්ධයෙන්ද සැබෑ විය යුතු නොවේද?

‘නිර්දෝෂ අයගේ ගමන් මාර්ගය සමතලාය’

අඛණ්ඩතාව සෑමවිටම අවංක අයව අනතුරුවලින් හා විපත්තිවලින් ආරක්ෂා කරන්නේ නැති බව පිළිගනිමින් සාලමොන් පැවසුවේ ‘අවංක තැනැත්තන්ගේ අඛණ්ඩතාව ඔවුන්ට මඟ පෙන්වයි. එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශ කරයි’ යනුවෙනි. (හිතෝපදේශ 11:3, NW) සමහර දුෂ්කර තත්වයන් යටතේදී පවා අඛණ්ඩතාව අවංක අයට දෙවි ඉදිරියේ නිවැරදි දේ කිරීමට මඟ පෙන්වන අතර එමගින් දිගු කාලීන ප්‍රයෝජන නෙළාගත හැකියි. යෝබ් ඔහුගේ අඛණ්ඩතාව අත්හැරියේ නැති නිසා යෙහෝවා “යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාද කළේය.” (යෝබ් 42:12) ද්‍රෝහිකම් කරන අය අන් අයට අලාභ හානි කරමින් යම් කාලයකට සාර්ථක වුවද සැමදා එම ස්ථාවරය පවතින්නේ නැත. අවසානයේදී ඔවුන්ගේ රැවටිලිකාරකම ඔවුන්ගේම විනාශයට හේතු වේ.

ප්‍රඥාවන්ත රජ කියන්නේ “උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ. එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි” කියායි. (හිතෝපදේශ 11:4) ද්‍රව්‍යවාදී දේවල් ලබාගැනීම සඳහා වෙහෙසෙන නිසා ආත්මික කාරණා එනම් පෞද්ගලික පාඩම, යාච්ඤාව, රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවය අතපසු වෙනවා නම් එසේ කිරීම කොතරම් අඥාන ක්‍රියාවක්ද? යෙහෝවා දෙවි හා අප අතර ප්‍රේමයත්, දෙවි කෙරෙහි භක්තියත් ප්‍රවර්ධනය වන්නේ මෙම ආත්මික ක්‍රියාකාරකම්වලින් පමණි. ඉදිරියේදී පැමිණෙන්නාවූ මහත් පීඩාවෙන් අපව ගළවන්න කිසිම ධන සම්භාරයකට හැකි වන්නේ නැත. (මතෙව් 24:21) ගැළවීම ලබාගත හැක්කේ අවංක අය ධර්මිෂ්ඨකම රැකගැනීම තුළින් පමණි. (එළිදරව් 7:9, 14) අප ප්‍රඥාවන්ත නම් ශෙපනියාගේ ආයාචනාත්මක වදන් අප හෘදයට ගන්නවා නියතයි. ‘යෙහෝවාගේ උදහස් දවස ඔබ පිටට පැමිණෙන්ට පළමුවෙන් යෙහෝවාව සොයන්න. යෙහෝවාගේ විනිශ්චය ඉෂ්ට කළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න.’ (ශෙපනියා 2:2, 3) ඒ අතරම අපේ ‘සම්පතින් යෙහෝවාට ගෞරව කරන්න’ අපට අධිෂ්ඨාන කරගත හැකියි.—හිතෝපදේශ 3:9.

ධර්මිෂ්ඨකම ලුහුබැඳීමේ වටිනාකම තවදුරටත් අවධාරණය කරමින් සාලමොන් රජ නිර්දෝෂ තැනැත්තාගේ හා දුෂ්ටයාගේ ක්‍රියාවල ඵල විපාක ගැන පැවසුවේ මෙසේයි. “නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලා කරයි. එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි. ඇද නැත්තන්ගේ [අවංක තැනැත්තන්ගේ, NW] ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි. එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසු වනු ලබති. දුෂ්ට මනුෂ්‍යයා නසින කල ඔහුගේ බලාපොරොත්තු නැති වෙයි. අයුතුකම් කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැති වෙයි. ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි. දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත් වෙයි.” (හිතෝපදේශ 11:5-8) නිර්දෝෂ තැනැත්තා ඔහුගේ මාර්ගයෙන් වැටෙන්නේවත්, ඔහු කටයුතු කරන ආකාරය නිසා උගුල්වලට අසු වන්නේවත් නැත. ඔහුගේ මාර්ගය සමතලාය. අවසානයේදී අවංක තැනැත්තා විපතින් ගළවනවා නියතයි. දුෂ්ටයන් බලවත් බව පෙනුණද ඔවුන්ට ගැළවීමේ බලාපොරොත්තුවක් නැත.

“නගරය ප්‍රීති වෙයි”

අඛණ්ඩතාව පවත්වන අවංක තැනැත්තන්ගේ හා දුෂ්ටකම් කරන්නන්ගේ ක්‍රියාකලාපය අන් අය කෙරෙහිද බලපෑමක් ඇති කරයි. ඉශ්‍රායෙල්හි රජ පැවසුවේ මෙසේයි. “අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශ කරයි. එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.” (හිතෝපදේශ 11:9) නින්දිත මෙන්ම හානිකර ඕපාදූප, අශික්ෂිත කතා සහ හිස් දෙඩවිලිවල යෙදෙන අය අන්‍යයන්ට හානි පමුණුවන බව කොයි කවුරුත් පිළිගනියි. ඊට වෙනස්ව ධර්මිෂ්ඨ පුද්ගලයෙකු කල්පනාකාරි, සැලකිලිමත් හා පිරිසිදු කතා බහේ යෙදෙයි. ඔහුට දැනුම ආරක්ෂාවක් වන්නේ අඛණ්ඩතාවයේ සාක්ෂි මගින් ඔහුට චෝදනා කරන්නන් නිතැතින්ම බොරුකාරයන් බව ඔප්පු කිරීමට හැකි වන නිසයි.

රජ තවදුරටත් පවසන්නේ, “ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධ වන කල නගරය ප්‍රීති වෙයි. දුෂ්ටයන් නැති වන කල ඔල්වර හඬ පවත්වයි” යනුවෙනි. (හිතෝපදේශ 11:10) ධර්මිෂ්ඨයන්ට අන් අය ප්‍රේම කරන අතර ඔවුන් තමන්ගේ අසල්වාසීන්ව ප්‍රීති උද්දාමයට පත් කරයි. කිසි කෙනෙක් ‘දුෂ්ටයන්ට’ කැමති නැත. දුෂ්ට කෙනෙකු මිය ගිය විට එම වියෝව ගැන පොදු ජනතාව දුකට පත් වන්නේද නැත. යෙහෝවා දෙවි ‘දුර්ජනයන්ව දේශයෙන් සිඳ දමනු ලබන විට හා ද්‍රෝහිකම් කරන්නන්ව එයින් උදුරා දමනු ලබන විට’ කිසි කෙනෙක් ඒ ගැන දුක ප්‍රකාශ නොකරන බව නියතයි. (හිතෝපදේශ 2:21, 22) ඒ වෙනුවට සියලු දුෂ්ටයන් මේ දසුනෙන් ඉවත් කිරීම ගැන මහත් ප්‍රීති ඝෝෂා පැවැත්වෙනු ඇත. අප ගැන කුමක් කිව හැකිද? අපට කල්පනා කර බැලිය හැකි දේ නම් අපේ හැසිරීම අන් අයගේ ප්‍රීතියට දායක වනවාද යන වගයි.

“නගරය උසස් වෙයි”

අවංක කෙනෙකුගෙන් හා දුෂ්ට කෙනෙකුගෙන් සමාජයට වන බලපෑම සම්බන්ධවද සාලමොන් රජ පැවසුවේය.“අවංක තැනැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි. නමුත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළා දමනු ලැබේ.”හිතෝපදේශ 11:11, NW.

අවංක මාර්ගයක් අනුගමනය කරන නගරවාසීන් යහපත් හැසිරීම හා සාමය පවත්වාගැනීමට දායක වන අතර අන් අයව නඟා සිටුවීමට උපකාර කිරීමටද ඔවුන්ට හැකියි. එමගින් නගරයක් උසස් වෙයි; සමෘද්ධිමත් වෙයි. ඊට හාත්පසින්ම වෙනස්ව නින්දා බස් කියන, සිත රිදවන හා වැරදි කරන අය නිසා ඇති වන්නේ දුක, අසමගිය, කලබල හා කරදරයි. මෙම තත්වය වඩාත් බලපාන්නේ උසස් නිල දරන තැනැත්තන් මේ ක්‍රියාවන්හි නියැලෙන විටයි. එවැනි නගරයක් තුළ දක්නට තිබෙන්නේ අවුල්සහගත, දූෂිත හා සදාචාරමය ලෙසින් පමණක් නොව ආර්ථික ලෙසින්ද පහත වැටීමක්.

හිතෝපදේශ 11:11හි සඳහන් ප්‍රතිපත්තිය යෙහෝවාගේ සෙනඟටද එකිනෙකා සමඟ ආශ්‍රය භුක්ති විඳීමේදී එක හා සමානව අදාළ වෙයි. නගරයක් වැනි සභාවක් තුළ අඛණ්ඩතාව පවත්වාගන්නා අවංක ආත්මික පුද්ගලයන්ගේ බලපෑම තිබෙන විට එය ප්‍රීතිමත්, ක්‍රියාශීලී හා එකිනෙකාට උපකාර කිරීමට කැමැත්තක් දක්වන සභාවක් බවට පත් වෙයි. මෙයින් දෙවිට ගෞරවයක් ගෙනෙන අතර යෙහෝවාගේ ආශීර්වාදයෙන් සභාව ආත්මිකව දියුණු වෙයි. අසතුටට පත් වන නිසා හෝ සෑහීමට පත් නොවන නිසා ඉඳ හිට කෙනෙක් වැරදි සොයමින් සභාව ගැන හා එහි ක්‍රියාවන් ගැන විවේචනය කළ හැකියි. මෙය සභාව තුළ “තික්තකමේ මුලක්” මෙන් පැතිර යමින් කලින් එවැනි මැසිවිලි නඟන ස්වභාවයක් නොතිබූ පුද්ගලයන් කෙරෙහිද බලපායි. (හෙබ්‍රෙව් 12:15) මෙවැනි අයට අවශ්‍ය වී තිබෙන්නේ වැඩි අධිකාරයක් හා ප්‍රසිද්ධියක් ලබාගැනීමටයි. සභාව තුළ හෝ වැඩිමහල්ලන් අතර අයුක්ති සහගතභාවයක් ඇති බව, ජාති භේද ඇති බව හෝ ඒ හා සමාන දෙයක් ගැන ඔවුන් බොරු කටකතා පතුරුවයි. ඔවුන්ගේ කතා සභාව තුළ බෙදීම් ඇති කළ හැකියි. අප එවැනි අයගේ කතාවලට සවන් නොදෙමින් සභාවේ සාමය හා එකමුතුකම රැකගැනීමට සහයෝගයෙන් කටයුතු කළ යුතු නොවේද?

සාලමොන් රජ තවදුරටත් මෙලෙස පවසයි. “හෘදයේ අඩුවක් ඇති තැනැත්තා තමාගේම සහචරයාට අවමන් කරයි. නමුත් නිහඬතාව රැකගෙන සිටින්නා පුළුල් විචාර බුද්ධියක් ඇති මනුෂ්‍යයෙක්ය. අපහාස කරන්නෙක් හැටියට එහේ මෙහේ ඇවිදින්නා රහස්‍ය කතා අනාවරණය කරයි. නමුත් විශ්වාසවන්ත ආත්මයක් ඇති තැනැත්තා කාරණයක් වසා දමයි.”හිතෝපදේශ 11:12, 13, NW.

විචාර බුද්ධිය අඩු හෝ “හෘදයේ අඩුවක්” ඇති කෙනෙක් මතු කළ හැකි මහත් විපත්ති මොනවාද? ඔහු නොහික්මුණු ලෙස කතා කරමින් අනුන්ට නින්දා පමුණුවීමට හෝ නිග්‍රහ කිරීමට හැකියි. මෙවැනි නැඹුරුවාවක් දක්වනවා නම්, සභාව තුළ උද්ගත වී ඇති මෙම අහිතකර බලපෑම නවතා දමන්න පත් කරන ලද වැඩිමහල්ලන් වහාම ක්‍රියා කළ යුතුයි. විචාර බුද්ධිය ඇති තැනැත්තා “හෘදයේ අඩුවක්” ඇති කෙනෙකු මෙන් නොව යෝග්‍ය අවස්ථාවලදී නිහඬතාවය රැකගනී. ඔහු විශ්වාසය කඩ කරනවා වෙනුවට කාරණය සඟවයි. පාලනයෙන් තොර වූ දිවකින් බොහෝ වැරදි දේ කියවිය හැකි බව දන්නා නිසා විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කරන තැනැත්තා “විශ්වාසවන්ත ආත්මයක්” ඇතුව සිටියි. ඔහු සෙසු ඇදහිලිවන්තයන්ට පක්ෂපාතීව කටයුතු කරන අතර ඔවුන්ට හානියක් විය හැකි ආකාරයේ රහස් කාරණා හෙළි කරන්නේ නැත. මෙවැනි අඛණ්ඩතාව පවත්වන්නන් සභාවට මොනතරම් ආශීර්වාදයක්ද!

අපට නිර්දෝෂ අය මෙන් ගමන් කිරීමට අවශ්‍ය ආත්මික ආහාර ‘නුවණැති දාසයාගේ’ මඟ පෙන්වීම යටතේ යෙහෝවා බහුල ලෙස සපයයි. (මතෙව් 24:45) නගරයක් වැනි සභාවේ සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් පුද්ගලික උපකාරයද නොඅඩුව ලැබේ. (එපීස 4:11-13) අපට ලැබෙන මෙවැනි උපකාරවලට ඇත්තෙන්ම කෘතඥපුර්වක විය යුතුයි. මන්ද “ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති. එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.” (හිතෝපදේශ 11:14) අපට කුමන ආකාරයේ තත්වයකට මුහුණ පෑමට සිදු වූවත් ‘අපි අඛණ්ඩතාවයෙන් ගමන් කිරීමට’ ස්ථීර අධිෂ්ඨානයක් ගනිමු.—ගීතාවලිය 26:1, NW.

[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෞකික සැප සම්පත් වෙනුවෙන් දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් ඉවත දැමීම කොතරම් අඥානද!

[24වන පිටුවේ පින්තූර]

යෝබ් අඛණ්ඩත්වයේ මඟ පෙන්වීමට අනුව ගමන් කළ නිසා යෙහෝවා ඔහුට ආශීර්වාද කළේය

[25වන පිටුවේ පින්තූරය]

උස්සා මරණයට පත් වූයේ උඩඟුකම නිසයි