Skip to content

පටුනට යන්න

අවශ්‍යතාව ඇති අයට ප්‍රේමනීය කරුණාව පෙන්වන්න

අවශ්‍යතාව ඇති අයට ප්‍රේමනීය කරුණාව පෙන්වන්න

අවශ්‍යතාව ඇති අයට ප්‍රේමනීය කරුණාව පෙන්වන්න

‘එකිනෙකාට [ප්‍රේමනීය, NW] කරුණාව පෙන්වන්න.’—සෙකරියා 7:9.

1, 2. (අ) අප ප්‍රේමනීය කරුණාව පෙන්විය යුත්තේ මන්ද? (ආ) අප සලකා බලන්නේ කුමන ප්‍රශ්න ගැනද?

යෙහෝවාගේ වචනයේ අපට මෙසේ උපදෙස් දෙයි. “[ප්‍රේමනීය, NW පාදසටහන] කරුණාවට” ප්‍රේම වන්න. (මීකා 6:8) අප එසේ කළ යුතු වීමට හේතුද එහි සපයයි. එක් හේතුවක් වන්නේ ‘ප්‍රේමනීය කරුණාව පෙන්වන මිනිසෙකු එයින් තමාගේම ප්‍රාණයට යහපතක් කරගැනීමයි.’ (හිතෝපදේශ 11:17, NW) මෙය මොනතරම් සැබෑවක්ද! ප්‍රේමනීය කරුණාව නැතහොත් පක්ෂපාතී ප්‍රේමය පෙන්වීමෙන් අන් අය සමඟ කල්පවතින උණුසුම් සබඳතාවක් ගොඩනඟා ගත හැකියි. මෙහි ප්‍රතිඵලයක් හැටියට, පක්ෂපාතී මිතුරන් අපට සිටිනු ඇත. ඇත්තෙන්ම එවැනි මිතුරන් සිටීම අප පෙන්වන ප්‍රේමනීය කරුණාවට ලැබෙන යහපත් ත්‍යාගයක් නොවේද!—හිතෝපදේශ 18:24.

2 තවදුරටත් ශුද්ධ ලියවිල්ලෙහි අපට මෙසේ පවසා තිබේ. “ධර්මිෂ්ඨකමද [ප්‍රේමනීය, NW] කරුණාවද අනුව යන්නාට ජීවිතය . . . ලැබේ.” (හිතෝපදේශ 21:21) අප ප්‍රේමනීය කරුණාව දිගටම පෙන්වන විට දෙවිගේ ආදරයට අප පාත්‍ර වන අතර, සදාකාල ජීවනය ඇතුළු අනාගත ආශීර්වාද භුක්ති විඳීමේ ප්‍රස්තාව ඔහු අපට ලබා දෙනු ඇත. අපට ප්‍රේමනීය කරුණාව පෙන්විය හැක්කේ කෙසේද? අප මෙම ගුණාංගය පෙන්විය යුත්තේ කාටද? ප්‍රේමනීය කරුණාව මානව දයාවට වඩා වෙනස්ද?

මානව දයාව හා ප්‍රේමනීය කරුණාව

3. ප්‍රේමනීය කරුණාව මානව දයාවට වඩා වෙනස් වන්නේ කෙසේද?

3 සාමාන්‍යයෙන් මනුෂ්‍යත්වය නිසා පෙන්වන මානව දයාව හා ප්‍රේමනීය කරුණාව බොහෝ පැතිවලින් එකිනෙකට වෙනස් වේ. නිදසුනක් වශයෙන්, බොහෝ අවස්ථාවලදී මිනිසුන් මානව දයාව පෙන්වන්නේ එය ලබන අය කෙරෙහි කිසිදු පෞද්ගලික ඇල්මක් ඇතුව හෝ ඔවුන් සමඟ කිට්ටු සබඳතාවක් ඇති කරගෙන හෝ නොවේ. එහෙත් අප යමෙකුට ප්‍රේමනීය කරුණාව පෙන්වන්නේ නම් අපි එම තැනැත්තාට මහත් ඇල්මකින් සමීප වන්නෙමු. ලැදියාවක් දක්වන්නෙමු. මිනිසුන් අතර පෙන්වනු ලැබූ ප්‍රේමනීය කරුණාව ගැන බයිබලයේ සඳහන් උදාහරණවලින් පෙනෙන්නේ එය කලක් තිස්සේ පැවත තිබෙන සබඳතා මත පදනම් විය හැකි බවයි. (උත්පත්ති 20:13; 2 සාමුවෙල් 3:8; 16:17; NW) එසේත් නැත්නම් ප්‍රේමනීය කරුණාව පදනම් විය හැක්කේ එය කලින් පෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගොඩනඟා ගත් සබඳතා මතයි. (යෝෂුවා 2:1, 12-14; 1 සාමුවෙල් 15:6; 2 සාමුවෙල් 10:1, 2; NW) මේ වෙනස තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා බයිබල් උදාහරණ දෙකක් සසඳා බලමු. ඉන් එකකදී මිනිසුන් අතර මානව දයාව ප්‍රකාශ වූ අන්දමත්, ඊළඟ එකේදී මිනිසුන් අතර ප්‍රේමනීය කරුණාව ප්‍රකාශ වූ ආකාරයත් දැකගත හැකි වේ.

4, 5. මෙහි සඳහන් බයිබලයෙන් ගත් උදාහරණ දෙක මගින් මානව දයාව හා ප්‍රේමනීය කරුණාව අතර වෙනස පෙනෙන්නේ කෙසේද?

4 බයිබලයෙහි මානව දයාව පෙන්වීම ගැන සඳහන් උදාහරණයකින් කියවෙන්නේ මුහුදුබත් වූ නැවක සිටි පිරිසක් ගැනයි. මෙලීතය නම් දිවයිනට ගසාගෙන ආ ඒ පිරිස අතර ප්‍රේරිත පාවුල්ද සිටියේය. (ක්‍රියා 27:37–28:1) අතරමං වී තම දිවයිනට පැමිණි මේ පිරිසට උපකාර කරන්න මෙලීතයේ වැසියන් බැඳී සිටියේ නැත. එමෙන්ම ඔවුන් සමඟ කිසිම සබඳතාවක් තිබුණේද නැත. එසේ වුවත් එහි වැසියෝ මේ අමුත්තන්ව ආගන්තුක සත්කාරශීලී ලෙස පිළිගත්හ. ඇත්තෙන්ම ඔවුහු “අසාමාන්‍ය ලෙස මානව දයාව” [NW] දැක්වූහ. (ක්‍රියා 28:2, 7) ඔවුන් පෙන්වූ ආගන්තුක සත්කාරය කරුණාවන්ත ක්‍රියාවක් වූවත්, එවැනි දෙයකට අවස්ථාව ලැබුණේ අහම්බෙනි. එමෙන්ම එය පෙන්වනු ලැබුවේද අමුත්තන් පිරිසකටයි. මෙය මිනිසුන් සාමාන්‍යයෙන් පෙන්වන මානව දයාව පිළිබඳ උදාහරණයකි.

5 දැන් මේ උදාහරණය සසඳා බලන්න. දාවිත් රජ ඔහුගේ මිතුරාව සිටි යොනාතාන්ගේ පුත්‍රයා වූ මෙපිබොෂෙත්ට ආගන්තුක සත්කාරය පිරිනැමුවේය. “නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහිය” කියා දාවිත් මෙපිබොෂෙත්ට පැවසීය. මෙයට හේතුව පැහැදිලි කරමින් දාවිත් මෙසේ පැවසුවේය. “සැබෑවටම නුඹේ පිය වූ යොනාතාන් නිසා මම නුඹට [ප්‍රේමනීය, NW] කරුණාව [පෙන්වන්නෙමි].” (2 සාමුවෙල් 9:6, 7, 13) දාවිත් අඛණ්ඩව දැක්වූ මෙම ආගන්තුක සත්කාරශීලී ගුණාංගය නිවැරදිව හැඳින්විය යුත්තේ නිකම්ම මනාව දයාව පෙන්වීමක් ලෙස නොව ප්‍රේමනීය කරුණාව ක්‍රියාවට නැංවීමක් ලෙසය. මන්ද ඔහු ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ ඒ වන විටත් ඇති කරගෙන තිබූ සබඳතාවට තමන් පක්ෂ බවට සාක්ෂියක් ලෙසය. (1 සාමුවෙල් 18:3; 20:15, 42) අද සිටින දෙවිගේ සේවකයෝද පොදුවේ මිනිසුන්ට මානව දයාව පෙන්වති. එහෙත් ඔවුන් අඛණ්ඩව ප්‍රේමනීය කරුණාව නොහොත් පක්ෂපාත ප්‍රේමය පෙන්නුම් කරන්නේ ඇදහිල්ලේ පවුලේ අයටයි. මන්ද මේ අය සමඟ ඔවුන්ට තිබෙන්නේ දෙවිගේ අනුමැතිය ඇති සබඳතාවකි.—මතෙව් 5:45; ගලාති 6:10.

6. මිනිසුන් අතර ප්‍රකාශ වන ප්‍රේමනීය කරුණාවේ කවර ගතිලක්ෂණ දේවවචනයෙහි කැපීපෙනේද?

6 ප්‍රේමනීය කරුණාව හා බැඳි අමතර ගතිලක්ෂණ කිහිපයක් පැහැදිලිව හඳුනාගැනීම සඳහා මේ ගුණාංගය ගැන කතා කරන බයිබල් වාර්තා තුනක් කෙටියෙන් සලකා බලමු. මෙහිදී මිනිසුන් විසින් පෙන්වන ලද ප්‍රේමනීය කරුණාවේ මූලික ගතිලක්ෂණ තුනක් අපේ අවධානයට යොමු වනු ඇත. එනම් මෙම ගුණාංගය පෙන්වනු ලබන්නේ (1) නිශ්චිත ක්‍රියාවන් කිරීමෙන්, (2) සිය කැමැත්තෙන්ම හා (3) විශේෂයෙන්, අවශ්‍යතාවලින් පෙළෙන අයටය. එපමණක්ද නොව, අපට ප්‍රේමනීය කරුණාව පෙන්විය හැක්කේ කෙසේද කියා එම වාර්තාවලින් පැහැදිලි කරගත හැක.

පියෙක් ප්‍රේමනීය කරුණාව පෙන්වයි

7. ආබ්‍රහම්ගේ සේවකයා බෙතුයෙල්ට හා ලාබන්ට පැවසුවේ කුමක්ද? සලකා බැලීම සඳහා මේ සේවකයා ඔවුන්ට පැවසුවේ කුමක්ද?

7 කලින් ලිපියේ සඳහන් කළ ආබ්‍රහම්ගේ සේවකයාගේ කතාවේ ඉතිරි කොටස උත්පත්ති 24:28-67 දක්වා විස්තර කෙරේ. රෙබෙකාව හමුවීමෙන් පසුව, ඇගේ පියා වූ බෙතුයෙල්ගේ නිවසට මේ සේවකයාට ආරාධනා කරන ලදි. (ඡේද උත් 24:28-32) තමාගේ ගමනේ අරමුණ ආබ්‍රහම්ගේ පුත්‍රයාට භාර්යාවක් සොයාගැනීම බව සේවකයා විස්තර කළේය. (ඡේද උත් 24:33-47) මේ ගමනේදී ඒ වන විටත් ලබා තිබූ සාර්ථකත්වය තමන් සලකන්නේ “[තමාගේ] ස්වාමියාගේ පුත්‍රයාට ඔහුගේ සහෝදරයාගේ දියණිය ලබාගන්න පිණිස හරි මාර්ගයෙහි [තමන්ව] ගෙනාවාවූ” යෙහෝවාගේ මඟ පෙන්වීම අඟවන ලකුණක් හැටියට කියා ඔහු අවධාරණය කළේය. (ඡේද උත් 24:48) තමන්ගේ ගමනට යෙහෝවා ආශීර්වාද කරමින් සිටින බව බෙතුයෙල්ටත් ඔහුගේ පුත් ලාබන්ටත් ඒත්තුගැන්වීම සඳහා තමා මහත් උනන්දුවෙන් කරන විස්තරය උපකාරවත් වෙයි කියා මේ සේවකයා සිතූ බවට සැකයක් නැත. අවසානයේදී සේවකයා මෙසේ පවසන්නට විය. “නුඹලා මාගේ ස්වාමියාට [ප්‍රේමනීය, NW] කරුණාවෙන්ද අවංකකමෙන්ද ක්‍රියා කරන්නහු නම් මට කියන්න. නැතහොත් මා විසින් දකුණට හෝ වමට හෝ හැරෙන පිණිස මට කියන්න.”—ඡේද උත් 24:49.

8. රෙබෙකා හා සම්බන්ධ කාරණයේදී බෙතුයෙල් කටයුතු කළේ කෙසේද?

8 යෙහෝවා ඒ වන විටත් ආබ්‍රහම්ට ප්‍රේමනීය කරුණාව පෙන්වා තිබිණ. (උත්පත්ති 24:12, 14, 27) ආබ්‍රහම්ගේ සේවකයා සමඟ යෑමට රෙබෙකාට අවසර දීමෙන් ප්‍රේමනීය කරුණාව පෙන්වන්න, බෙතුයෙල් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වේවිද? වෙනත් වචනවලින් කිවහොත්, යෙහෝවා පෙන්වා තිබූ ප්‍රේමනීය කරුණාවේ අරමුණ ඉටු කිරීමට, මිනිසුන් විසින් පෙන්නුම් කරනු ලබන ප්‍රේමනීය කරුණාව දායක වනු ඇද්ද? එසේ නැතහොත් මේ සේවකයාගේ දිගු ගමන නිෂ්ඵල එකක් වේවිද? “මේ වනාහි යෙහෝවා කෙරෙන් පැමිණි කාරණයකි” කියා ලාබන් හා බෙතුයෙල් පැවසූ විට ආබ්‍රහම්ගේ සේවකයාට ඉමහත් සැනසිල්ලක් දැනුණු බවට සැකයක් නැත. (ඡේද උත් 24:50) මේ කාරණයට යෙහෝවා මැදිහත් වී තිබෙන බව වටහාගත් ඔවුහු ඔහුගේ එම තීරණය අදිමදි නොකර පිළිගත්හ. අනතුරුව බෙතුයෙල් ඔහුගේ ප්‍රේමනීය කරුණාව පෙන්වමින් තවදුරටත් මෙසේ පැවසුවේය. “මෙන්න, රෙබෙකා නුඹ ඉදිරියෙහිය. ඈ කැඳවාගෙන යන්න. යෙහෝවා කී ලෙස ඈ නුඹේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව [වේවා!]” (ඡේද උත් 24:51) ආබ්‍රහම්ගේ සේවකයා සමඟ යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වූ රෙබෙකා වැඩි කල් යන්න කලින් ඊසාක්ගේ ආදරණීය බිරිඳ බවට පත් විය.—ඡේද උත් 24:49, 52-58, 67.

පුතෙකු විසින් පෙන්වූ ප්‍රේමනීය කරුණාව

9, 10. (අ) යාකොබ් ඔහුගේ පුත් යෝසෙප්ගෙන් ඉල්ලා සිටියේ තමා වෙනුවෙන් කුමක් කරන්න කියාද? (ආ) යෝසෙප් ඔහුගේ පියාට ප්‍රේමනීය කරුණාව පෙන්නුවේ කෙසේද?

9 ආබ්‍රහම්ගේ මුනුපුරා වූ යාකොබ්ද ප්‍රේමනීය කරුණාව ලැබුවේය. උත්පත්ති 47වන පරිච්ඡේදයේ විස්තර කරන පරිදි ඒ කාලයේදී මිසරයේ ජීවත් වෙමින් සිටි යාකොබ් “නසින කාලය ආසන්න වූයේය.” (ඡේද උත් 47:27-29) දෙවි ආබ්‍රහම්ට දෙන බවට පොරොන්දු වී තිබූ දේශයෙන් පිට වෙනත් දේශයක තමන්ගේ මරණය සිදුවීම ඔහුගේ කනස්සල්ලට හේතු විය. (උත්පත්ති 15:18; 35:10, 12; 49:29-32) තමන්ව මිසරයේ භූමදානය කරනවාට අකමැති වූ යාකොබ් තමන්ගේ දේහය කානාන් දේශයට ගෙන යෑම සඳහා කටයුතු පිළියෙළ කළේය. ඉහළ තනතුරක් හෙබවූ ඔහුගේ පුත් යෝසෙප් හැර යාකොබ්ගේ කැමැත්ත ඉටු කළ හැකි තත්වයක සිටියේ වෙන කවුද?

10 වාර්තාවේ මෙසේ සඳහන් වේ. “[යාකොබ්] තමාගේ පුත්‍ර වූ යෝසෙප් කැඳවා ඔහුට කතා කොට, නුඹෙන් මට කරුණාව ඇත්තේ වී නම්, . . . මට [ප්‍රේමනීය, NW] කරුණාවෙන් සහ සැබෑකමින් ක්‍රියා කරන්න. මිසරයෙහි මා තැන්පත් නොකරන්න. මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන්පොළෙහි මා තැන්පත් කරන්න.” (උත්පත්ති 47:29, 30) මේ ඉල්ලීම ඉටු කරන බවට යෝසෙප් පොරොන්දු වී වැඩි කල් යන්න කලින් යාකොබ් මිය ගියේය. යෝසෙප් සහ යාකොබ්ගේ සෙසු පුත්තු ඔහුගේ දේහය ‘කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් . . . මිලේට ගත්තාවූ මක්පේලායේ කෙතේ තිබූ ගුහාවෙහි තැන්පත් කළෝය.’ (උත්පත්ති 50:5-8, 12-14) මෙසේ යෝසෙප් ඔහුගේ පියාට ප්‍රේමනීය කරුණාව පෙන්නුවේය.

ලේලියක විසින් පෙන්වූ ප්‍රේමනීය කරුණාව

11, 12. (අ) රූත් නායොමිට ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ කෙසේද? (ආ) රූත් ‘පටන්ගැනීමේදී’ පෙන්වූ ප්‍රේමනීය කරුණාවට වඩා “අන්තිමේදී” පෙන්වූ ප්‍රේමනීය කරුණාව ප්‍රබල වූයේ කෙසේද?

11 වැන්දඹුවක වූ නායොමිට රූත් නම් ඇගේ ලේලිය විසින් ප්‍රේමනීය කරුණාව පෙන්වූ ආකාරය ගැන බයිබලයේ රූත් නම් පොතේ විස්තර කෙරේ. රූත්ද වැන්දඹුවක් වූවාය. යූදාහි පිහිටි බෙත්ලෙහෙමට ආපසු යෑමට නායොමි තීරණය කළ අවස්ථාවේදී රූත් මෙසේ පවසමින් ඇගේ ප්‍රේමනීය කරුණාව හා අධිෂ්ඨානය පෙන්නුම් කළාය. “නුඹ යන තැනට මමත් යමි. නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය. නුඹේ දෙවි මාගේ දෙවි වන්නේය.” (රූත් 1:16) පසුව රූත් නායොමිගේ මහලු ඥාතියෙකු වූ බෝවස් සමඟ විවාහ වීමට කැමති බව නායොමිට දැනගන්න සැලැස්වූ අවස්ථාවේදීද ඇය ප්‍රේමනීය කරුණාව පෙන්නුවාය. * (ද්විතීය කථාව 25:5, 6; රූත් 3:6-9) බෝවස් රූත්ට මෙසේ පැවසුවේය. ‘නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි [ප්‍රේමනීය, NW] කරුණාවක් පෙන්වූවෙහිය.’—රූත් 3:10.

12 රූත් ප්‍රේමනීය කරුණාව පෙන්වීමට ‘පටන්ගැනීම’ වශයෙන් සැලකෙන්නේ ඇය තමාගේ සෙනඟව අත්හැර නායොමි සමඟ විසීමට තෝරාගත් අවස්ථාවයි. (රූත් 1:14; 2:11)බෝවස් සමඟ විවාහ වීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමින් රූත් “අන්තිමේදී” පෙන්වූ ප්‍රේමනීය කරුණාව මුලින්ම පෙන්වූ ප්‍රේමනීය කරුණාවටත් වඩා ප්‍රබලයි. මේ නිසා දරුවන් බිහි කළ හැකි වයස ඉක්මවා සිටි නායොමි වෙනුවෙන් උරුමක්කාරයෙකු බිහි කරන්ට රූත්ට හැකි විය. රූත් බෝවස් සමඟ විවාහ වී කලකට පසු දරුවෙකු බිහි කළ අවස්ථාවේදී බෙත්ලෙහෙමේ ස්ත්‍රීහු මෙසේ පැවසුවෝය. “නායොමිට පුත්‍රයෙක් උපන්නේය.” (රූත් 4:14, 17) ඇත්තෙන්ම “සුශීලවත් ස්ත්‍රියක්” වූ රූත්ට යෙහෝවාගෙන් යහපත් විපාකයක් ලැබිණ. යේසුස් ක්‍රිස්තුස්ගේ මිත්තනියක් වීමේ අපූර්ව වරප්‍රසාදය ඇයට විවෘත විය.—රූත් 2:12; 3:11; 4:18-22; මතෙව් 1:1, 5, 6.

ක්‍රියාවෙන් ප්‍රකාශ වන්නකි

13. බෙතුයෙල්, යෝසෙප් සහ රූත් ප්‍රේමනීය කරුණාව ප්‍රකාශ කළේ කෙසේද?

13 බෙතුයෙල්, යෝසෙප් සහ රූත් යන අය විසින් ප්‍රේමනීය කරුණාව පෙන්වූ ආකාරය ඔබේ අවධානයට ලක් වූවාද? ඔවුහු එම ගුණාංගය කාරුණික වචනවලට පමණක් සීමා නොකර එය නිශ්චිත ආකාරයෙන් ක්‍රියාවට නැඟූහ. “මෙන්න, රෙබෙකා” කියා පැවසුවා පමණක් නොව, ‘රෙබෙකාව පිටත් කිරීමටද’ බෙතුයෙල් කටයුතු කළේය. (උත්පත්ති 24:51, 59) “ඔබ කී ලෙස මම කරන්නෙමි” කියා පැවසුවා පමණක් නොව, යෝසෙප් සහ ඔහුගේ සහෝදරයෝ තම පියා වූ යාකොබ් ‘තමන්ට අණ දුන් ලෙසම’ කළහ. (උත්පත්ති 47:30; 50:12, 13) “නුඹ යන තැනට මමත් යමි” කියා නායෝමිට රූත් පැවසුවාය. නමුත් එය වචනවලට පමණක් සීමා කර නොගෙන ඇය තමන්ගේ සෙනඟගෙන් වෙන්ව, නායොමි සමඟ පිටත් වූවාය. මෙසේ “ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණෙන තුරු ගමන් කළෝය.” (රූත් 1:16, 19) යූදාට පැමිණි පසුද රූත් කලින් කළාක් මෙන් ‘තමන්ගේ නැන්දම්මා තමන්ට අණ කළ සියල්ල කළාය.’ (රූත් 3:6) අනිත් අයගේ මෙන්ම රූත්ගේ ප්‍රේමනීය කරුණාවද ක්‍රියාවෙන් ප්‍රකාශ වූවකි.

14. (අ) අද සිටින දෙවිගේ සේවකයන් ප්‍රේමනීය කරුණාව ක්‍රියාවලින් පෙන්වන්නේ කෙසේද? (ආ) ඔබේ ප්‍රදේශයේ සිටින ක්‍රිස්තියානි සහෝදරයන් ප්‍රේමනීය කරුණාව ක්‍රියාවට නඟන්නේ කුමන ආකාරවලින්ද?

14 අද සිටින දෙවිගේ සේවකයන් ප්‍රේමනීය කරුණාව ප්‍රකාශ කරනවා දැකීම අපගේ හදවත් උණුසුම් කරවන්නකි. නිදසුනක් වශයෙන් ශාරීරිකව දුර්වල, මානසික පීඩනයෙන් පෙළෙන හා ශෝකයෙන් කල්ගත කරන සෙසු ඇදහිලිවන්තයන්ට විඳදරාගැනීම සඳහා චිත්තවේගීයව උපකාරය සපයන අය ගැන සිතා බලන්න. (හිතෝපදේශ 12:25) එමෙන්ම සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු වයසක අයව වාහනවලින් සතිපතා සභා රැස්වීම් සඳහා රාජ්‍ය ශාලාවට නොවරදවාම රැගෙන ඒම ගැනද සිතා බලන්න. අසූ දෙහැවිරිදි වියේ පසු වන ඇනා ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳියි. රැස්වීම්වලට පැමිණෙන්න ලැබීම ගැන ඇය මෙසේ පවසයි. “මට හැම රැස්වීමකටම වාහනයකින් එන්න ලැබිලා තියෙන එක යෙහෝවාගේ ආශීර්වාදයක්. මේ වගේ ප්‍රේමනීය සහෝදර සහෝදරියන් මට ලබා දීම ගැන මම හද පත්ලෙන්ම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.” ඔබත් ඔබේ සභාවේ එවැනි ක්‍රියාවන් කරමින් සිටිනවාද? (1 යොහන් 3:17, 18) ඔබ එවන් ක්‍රියා මගින් ප්‍රේමනීය කරුණාව පෙන්වනවා නම්, එය බෙහෙවින් අගය කරනු ලබන බව අමතක නොකරන්න.

එය පෙන්වන්නේ සිය කැමැත්තෙනි

15. අප සලකා බැලූ බයිබල් වාර්තා තුනෙන් ප්‍රේමනීය කරුණාව පිළිබඳව තවදුරටත් කැපීපෙනෙන්න සලස්වනු ලබන ලක්ෂණය කුමක්ද?

15 අප සලකා බැලූ බයිබල් වාර්තාවලින් පැහැදිලි වන තවත් දෙයක් වන්නේ ප්‍රේමනීය කරුණාව කිසියම් බල කිරීමක් නිසා නොව, අදිමදි නොකර තමන්ගේ කැමැත්තෙන් පෙන්වා තිබෙන බවයි. බෙතුයෙල් ආබ්‍රහම්ගේ සේවකයා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ ඔහුගේම කැමැත්තෙනි. රෙබෙකා සම්බන්ධයෙන්ද කිව හැක්කේ ඒ දෙයමයි. (උත්පත්ති 24:51, 58) යෝසෙප් ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ යම් කෙනෙක් ඇඟිල්ලෙන් ඇන එසේ කරන්න කියා පැවසූ නිසා නොවේ. (උත්පත්ති 50:4, 5) රූත් ‘නායොමි සමඟ යන්ට නියම කරගෙනම සිටියාය.’ (රූත් 1:18) බෝවස් ළඟට යන්න කියා නායොමි රූත්ට යෝජනා කළ විට, “නුඹ මට කියන සියල්ල කරන්නෙමි” කියා ඊට ප්‍රතිචාරය දැක්වීමට මේ මෝවබ් ජාතික ස්ත්‍රියව පෙලඹුවේ ප්‍රේමනීය කරුණාවයි.—රූත් 3:1-5.

16, 17. බෙතුයෙල්, යෝසෙප් සහ රූත් විසින් පෙන්වන ලද ප්‍රේමනීය කරුණාව විශේෂයෙන් සිත්ගන්නේ කුමක් නිසාද? මේ ගුණාංගය පෙන්වීමට ඔවුන්ව පොලඹවනු ලැබුවේ කුමක්ද?

16 බෙතුයෙල්, යෝසෙප් සහ රූත් විසින් පෙන්වන ලද ප්‍රේමනීය කරුණාව සුවිශේෂ වැදගත්කමකින් යුක්තයි. මන්ද ආබ්‍රහම්, යාකොබ් සහ නායොමි යන අය තමන්ගේ කැමැත්ත ඉටු කරවාගැනීම සඳහා අන් අයට බල කළ හැකි තත්වයක සිටියේ නැත. තමන්ගේ දියණිය ආබ්‍රහම්ගේ සේවකයාට භාර දීමට බෙතුයෙල් නීතිමය වශයෙන් බැඳී සිටියේ නැත. ‘කඩිසරව ගෙදර දොරේ වැඩ කරන මගේ දුව ඈත ප්‍රදේශයකට යනවාට මම නම් කැමති නැහැ’ කියා ආබ්‍රහම්ගේ සේවකයාට පහසුවෙන්ම කියන්න බෙතුයෙල්ට හැකිකම තිබිණ. (උත්පත්ති 24:18-20) ඒ හා සමානව තම පියාගේ ඉල්ලීම ඉටු කිරීම හෝ නොකිරීම, යෝසෙප්ගේ අතේ තිබූ තීරණයක් විය. මන්ද පියා මිය ගිය අතර ඔහු කළ ඉල්ලීම ඉටු කිරීම සඳහා බල කරන්න පියාට හැකියාවක් තිබුණේ නැත. නායොමි රූත්ට පැවසූ දේවලින් පැහැදිලි වූයේ, ඇය කැමති නම් දිගටම මෝවබ් දේශයේ ජීවත් විය හැකි බවයි. (රූත් 1:8) වයසක බෝවස් සමඟ විවාහ නොවී ‘තරුණයෙකු’ සමඟ විවාහ වීම සඳහා තීරණයක් ගැනීමට රූත්ට නිදහස තිබිණ.

17 බෙතුයෙල්, යෝසෙප් සහ රූත් ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ සිය කැමැත්තෙනි. එසේ කිරීමට ඔවුන් පෙලඹුණේ මුළු හදවතින්මය. තමන් සමඟ සබඳතාවක් ඇති කරගෙන සිටි අය වෙනුවෙන් මෙම ගුණාංගය විදහාපෙන්වීමේදී තමන් හරි දේ කිරීමට බැඳී සිටින බව ඔවුන්ට හැඟුණි. පසු කාලයේදී දාවිත්ද මෙපිබොෂෙත්ට ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ තමන් එසේ කළ යුතුයි කියා ඔහුට හැඟුණු නිසාය.

18. (අ) ක්‍රිස්තියානි වැඩිමහල්ලන් එඬේරුන් මෙන් ‘රැළ රැක බලාගන්නේ’ කිනම් ආකල්පයක් ඇතුවද? (ආ) සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීම ගැන තමාට හැඟෙන ආකාරය ගැන එක් වැඩිමහල්ලෙකු අදහස් දැක්වූයේ කෙසේද?

18 එඬේරුන් මෙන් දෙවිගේ රැළ රැකබලා ගන්න පුරුෂයන් ඇතුළුව, දෙවිගේ සෙනඟ අතර අදත් ප්‍රේමනීය කරුණාව දැකගත හැක. (ගීතාවලිය 110:3; 1 තෙසලෝනික 5:12) වැඩිමහල්ලන් වශයෙන් තමන්ව පත් කරමින් තමන් කෙරෙහි තබා තිබෙන විශ්වාසයට එකඟව ජීවත් වීම වගකීමක් බව වැඩිමහල්ලන්ට හැඟෙයි. (ක්‍රියා 20:28) සභාව වෙනුවෙන් ඔවුන් කරන එඬේර වැඩ හා ප්‍රේමනීය කරුණාව පෙන්වන වෙනත් දේවල් ඔවුන් කරන්නේ ‘බලහත්කාරය නිසා නොව කැමැත්තෙනි.’ (1 පේතෘස් 5:2) වැඩිමහල්ලන් එඬේරුන් මෙන් තමන්ගේ භාරයේ සිටින රැළ රැකබලා ගන්නේ එය තමන්ගේ වගකීමක් නිසාය. එනමුත්, එසේ කිරීමට ඔවුන් තුළ ආශාවක්ද තිබේ. ඔවුන් එසේ කරන්නේ තමන් ක්‍රිස්තුස්ගේ බැටළුවන්ට ප්‍රේමනීය කරුණාව පෙන්විය යුතු නිසාත්, එසේ කිරීමට තමන් කැමැත්තෙන් සිටින නිසාත්ය. (යොහන් 21:15-17) “සහෝදරයන්ගේ නිවෙස්වලට ගිහිල්ලා ඒ අයව බැහැදකින්න, නැත්නම් එයාලත් එක්ක දුරකථනයෙන් ටිකක් කතා කරන්න මම හරිම ආසයි. මෙහෙම කරන්නේ වෙන හේතුවක් නිසා නෙමේ, මම එයාලා ගැන හිතනවා කියලා පෙන්වන්නයි. සහෝදරයන්ට උදව් කිරීමෙන් මම ලොකු ප්‍රීතියක් හා තෘප්තියක් ලබනවා” කියා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පවසයි. බැටළුවන් කෙරෙහි සැලකිල්ල දක්වන ලොව පුරා සිටින වැඩිමහල්ලන් ඉත සිතින් එයට එකඟ වන බව නිසැකයි.

අවශ්‍යතාවෙන් පෙළෙන අයට ප්‍රේමනීය කරුණාව පෙන්වමු

19. මේ ලිපියේ සාකච්ඡා කළ බයිබල් වාර්තාවල ප්‍රේමනීය කරුණාව පෙන්වීම සම්බන්ධයෙන් උලුප්පා දක්වනු ලබන කාරණය කුමක්ද?

19 ප්‍රේමනීය කරුණාව පෙන්වීම සම්බන්ධයෙන් අප සාකච්ඡා කළ බයිබල් වාර්තාවලින් අවධාරණය වන තවත් කරුණක් වන්නේ, ප්‍රේමනීය කරුණාව ලබන පාර්ශ්වයට තනිවම ඉටු කරගත නොහැකි අවශ්‍යතාවක් තිබීමය. තමන්ගේ පෙළපත අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා ආබ්‍රහම්ට බෙතුයෙල්ගේ සහය අවශ්‍ය විය. එසේම යාකොබ්ට ඔහුගේ දේහය කානාන් දේශයට ගෙන යෑමට යෝසෙප්ගේ උපකාරය අවශ්‍ය විය. එමෙන්ම තමන් වෙනුවෙන් උරුමක්කාරයෙකු බිහි කරවාගැනීමට නායොමිට රූත්ගේ උපකාරය අවශ්‍ය වූයේය. අන් අයගේ උපකාරය නොමැතිව තමන්ගේ එම අවශ්‍යතා ඉටු කරගැනීමට ආබ්‍රහම්ටවත්, යාකොබ්ටවත් නායොමිටවත් හැකියාවක් නොතිබිණ. මේ හා සමානව අදදිනත් ප්‍රේමනීය කරුණාව විශේෂයෙන් පෙන්විය යුත්තේ අවශ්‍යතාවලින් පෙළෙන අයටයි. (හිතෝපදේශ 19:17) මෙහිදී අප කුලදෙටුවෙකු වූ යෝබ්ව අනුකරණය කළ යුතුයි. ඔහු “හඬා සිටින අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද, . . . නාස්ති වෙන්ට ළංව සිටි [අයද]” කෙරෙහි සැලකිල්ල දැක්වුවේය. එමෙන්ම යෝබ් ‘වැන්දඹුවගේ සිත ප්‍රීතියෙන් පිනා යන්ට’ සැලැස්සූ අතර, ‘අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියේය.’—යෝබ් 29:12-15.

20, 21. ප්‍රේමනීය කරුණාව ලැබීමේ අවශ්‍යතාවෙන් පෙළෙන්නේ මොන වගේ අයද? අප සෑම කෙනෙකුම අදිටන් කරගත යුත්තේ කුමක් කරන්නද?

20 ‘උපකාරය පතා හඬන අය’ සෑම සභාවකම සිටිති. මෙවැනි අය තනිකම, අධෛර්යය වීම්, නොවටිනාබවේ හැඟීම්, අන් අය නිසා බලාපොරොත්තු කඩවීම, බරපතළ අසනීප හා ප්‍රේමනීය කෙනෙකුගේ මරණය යනාදිය නිසා සිතින් හඬා වැලපෙනවා විය හැකියි. ඔවුන් අද්දකින ගැටලුව කුමක් වුවත් අපගේ මේ ප්‍රේමනීයයන් සියලුදෙනාම අවශ්‍යතාවලින් පෙළෙති. අප කැමැත්තෙන්ම ඉදිරිපත් වී, ඔවුන්ට දිගටම ප්‍රේමනීය කරුණාව ක්‍රියාවලින් පෙන්වීමෙන් එම අවශ්‍යතා පිරිමැසිය හැක. ඇත්තෙන්ම අප එය කළ යුතු දෙයකි.—1 තෙසලෝනික 5:14.

21 එසේ නම් අපි “අධිකතර [ප්‍රේමනීය, NW] කරුණාව” පෙන්වන යෙහෝවා දෙවිව දිගටම අනුකරණය කරමු. (නික්මයාම 34:6; එපීස 5:1) අපට පුළුවන් කැමැත්තෙන්ම යම් නිශ්චිත දේවල් කිරීමෙන්, විශේෂයෙන්ම අවශ්‍යතාවලින් පෙළෙන අය වෙනුවෙන් යම් දේවල් කිරීමෙන් යෙහෝවාගේ එම ගුණාංගය විදහාපෙන්වන්න. අපි ‘එකිනෙකාට [ප්‍රේමනීය, NW] කරුණාව පෙන්වන’ විට යෙහෝවාව එමගින් ගෞරවයට පත් කරන්නෙමු. එමෙන්ම අපද එසේ කිරීමෙන් ඉමහත් ප්‍රීතියක් ලබනවාට සැකයක් නැත.—සෙකරියා 7:9.

[පාදසටහන]

^ 11 ඡේ. මෙයාකාරයේ විවාහයන් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it, ඉංග්‍රීසියෙන්) පොතේ 1වන කාණ්ඩයේ 370වන පිටුව බලන්න.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• ප්‍රේමනීය කරුණාව සාමාන්‍යයෙන් මිනිසුන් පෙන්වන මානව දයාවට වඩා වෙනස් වන්නේ කෙසේද?

• බෙතුයෙල්, යෝසෙප් හා රූත් ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ කවර ආකාරවලින්ද?

• අප ප්‍රේමනීය කරුණාව පෙන්විය යුත්තේ කිනම් ආකල්පයක් ඇතුවද?

• අපේ ප්‍රේමනීය කරුණාව ලැබිය යුත්තේ මොන වගේ අයද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

බෙතුයෙල් ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ කෙසේද?

[21වන පිටුවේ පින්තූරය]

රූත් පෙන්වූ පක්ෂපාතී ප්‍රේමය නායොමිට ආශීර්වාදයක් විය

[23වන පිටුවේ පින්තූර]

මිනිසුන් ප්‍රේමනීය කරුණාව පෙන්වන්නේ සිය කැමැත්තෙන් හා නිශ්චිත ක්‍රියාවන් කිරීමෙනි. එමෙන්ම අවශ්‍යතාවලින් පෙළෙන අයටය