Skip to content

පටුනට යන්න

ටර්ටූලියන්ගේ පරස්පර විරෝධතා

ටර්ටූලියන්ගේ පරස්පර විරෝධතා

ටර්ටූලියන්ගේ පරස්පර විරෝධතා

‘ක්‍රිස්තියානිකාරයෙකු හා දර්ශනවාදියෙකු අතර ඇති සමානකම කුමක්ද? සත්‍යය දූෂ්‍ය කරන්නෙකු හා එය උගන්වා එය සුරකින්නෙකු අතර ඇති සමානත්වය කුමක්ද? ප්ලේටෝගේ ශාස්ත්‍රාලයත් පල්ලියත් අතර ඇති එකඟත්වය කුමක්ද?’ මෙවන් අභියෝගාත්මක ප්‍රශ්න නඟනු ලැබුවේ දෙවන හා තුන්වන සියවස්වල විසූ ලේඛකයෙකු වූ ටර්ටූලියන් විසිනි. “සභාවේ ඉතිහාසය හා ඔහුගේ කාලයේ ඉගැන්වූ එහි මූලධර්ම හා සම්බන්ධව ඉතාම ඵලදායී මූලාශ්‍රයක්” බවට ඔහු ප්‍රකට විය. මෙසේ ආගමික ජීවිතයේ එකදු අංගයක්වත් ඔහුගේ අවධානයෙන් ගිලිහී නොගිය තරම්ය.

ඇතැම්විට, ටර්ටූලියන් වඩාත් ප්‍රකටව ඇත්තේ ඔහු පැවසූ විරුද්ධාභාස හෙවත් පරස්පර විරෝධී බවක් අඟවන කියමන් හේතුවෙනි. ඒවායෙන් සමහරක් මෙන්න. “දෙවියන් කුඩාව සිටින කල, ඔහු විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨය.” “[දේවපුත්‍රයාගේ මරණය] සැම අයුරින්ම විශ්වාස කළ යුතුය. මන්ද එය සාධාරණව පිළිගැනීම අසීරු නිසාය.” “[යේසුස්ව] භූමදාන කළේය, පසුව නැවත නැඟිටෙව්වේය. එය සැබෑවකි. මන්ද එය විය නොහැකි දෙයක් නිසාය.”

ටර්ටූලියන් හා බැඳි පරස්පර විරෝධතා මේ කියමන්වලට පමණක් සීමා වූයේ නැත. සත්‍යය ආරක්ෂා කර පල්ලියේ හා එහි මූලධර්මවල අඛණ්ඩතාව පවත්වාගෙන යෑම ඔහු ලියූ දෙයෙහි අභිප්‍රාය වුවත්, ඔහු ඇත්තෙන්ම සැබෑ ඉගැන්වීම් දූෂ්‍ය කළේය. ක්‍රිස්තියානි ලෝකය උදෙසා ඔහුගෙන් දායක වූ ප්‍රධානතම බලපෑම වූයේ පසු කාලීන ලේඛකයන් ත්‍රිත්ව මූලධර්මය හැටියට ගොඩනඟා ගත් සිද්ධාන්තයයි. මෙය සිදු වූයේ කෙසේදැයි පිරික්සා බැලීමට, ටර්ටූලියන් කියන්නේ කවුදැයි මුලින්ම සමාලෝචනය කරමු.

“සිත්ගත් කතුවරයෙකු විය”

ටර්ටූලියන්ගේ ජීවිතය ගැන දන්නා දේ ඉතාම සීමිතය. ඔහු ඉපදුණේ පො.යු. 160දී උතුරු අප්‍රිකාවේ කාතේජයේදී බව බොහෝ විශාරදයන්ගේ මතයයි. ඔහු උගතෙකු වූ අතර, එවකට සිටි දර්ශනවාදි අදහස් දත් කෙනෙකුද විය. ක්‍රිස්තියානියැයි කියාගන්නවුන් තම ඇදහිල්ල වෙනුවෙන් දිවි පිදීමට කැමැත්තෙන් සිටීම, පෙනෙන ආකාරයට, ඔහුව ක්‍රිස්තියානි ධර්මය වෙත ආකර්ෂණය කළේය. ක්‍රිස්තියානි ජීවිත පරිත්‍යාගය සම්බන්ධයෙන් ඔහු මෙසේ ඇසීය. “දිවි පුදන්ට සිතන්නෙකු එහි ඵලවිපාක ගැන සොයා බලන්ට පෙලඹෙන්නේ නැද්ද? එසේ සොයා බලන්නෙකු අපේ මූලධර්ම වැලඳ නොගෙන සිටීවිද?”

ටර්ටූලියන් නාමික ක්‍රිස්තියානියෙකු බවට පත් වූ පසු, කෙටි හා දක්ෂ කියමන් ලිවීමේ නිපුණත්වයක් ලබමින් නිර්මාණශීලී ලේඛකයෙකු බවට පත් විය. “දේවධර්මාචාරීන් අතර සුලභ නොවූ හැකියාවක් [ඔහු] සතු විය. ඔහු සිත්ගත් කතුවරයෙකු වීයැයි” සභාවේ පියවරු (The Fathers of the Church) නමැති පොත නිරීක්ෂණය කළේය. එක්තරා විශාරදයෙක් මෙසේ කීවේය. “වාක්‍යවලින් නොව වචනවලින් අදහස දීමේ නිපුණත්වයක් ටර්ටූලියන්ට [තිබුණි]. එබැවින් ඔහුගේ තර්කවලට වඩා දක්ෂ කියමන් තේරුම්ගැනීම පහසු විය. එවැනි කියමන් බොහෝ අවස්ථාවලදී උපුටා දැක්වීමටත්, කලාතුරකින් ඔහු දීර්ඝ වශයෙන් කී දේවල් උපුටා දැක්වීමටත් හේතුව එය විය හැකිය.”

ක්‍රිස්තියානි ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන්

අපොලජි (නිදහසට කරුණු) ටර්ටූලියන්ගේ සුප්‍රකටම කෘතිය විය. එය නාමමාත්‍ර ක්‍රිස්තියානි ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන් ලියැවුණු ප්‍රබලම සාහිත්‍ය කෘතිය විය. එය ලියැවුණේ ක්‍රිස්තියානීන්ව බොහෝ අවස්ථාවලදී මිථ්‍යා දෘෂ්ටික කලහකාරීන්ගේ ගොදුරක් වූ සමයේදීය. ටර්ටූලියන් මේ ක්‍රිස්තියානීන්ගේ ආරක්ෂාවට පැමිණ ඔවුන්ව අසාධාරණ ලෙස සැලකීමට එරෙහිව විරෝධය පෑවේය. ඔහු මෙසේ පැවසුවේය. “සෑම මහජන විපතකටම හා අවාසනාවන්ත සිදුවීමකටම හේතුව ක්‍රිස්තියානීන්යැයි [විරුද්ධවාදීහු] සිතති. . . . නයිල් ගඟෙන් ජලය ගොවිබිම් කරා නොගියොත්, කාලගුණය වෙනස් නූණොත්, භූමිකම්පාවක්, සාගතයක් හෝ වසංගතයක් පැමිණියොත්, සැවොම කෑගසන්නේ, ‘ක්‍රිස්තියානීන්ව සිංහයන්ට දමනු!’ කියාය.”

ක්‍රිස්තියානීන් රජයට පක්ෂපාත නැතැයි බොහෝවිට චෝදනා නැඟුවද, ඔවුන් රාජ්‍යයේ සිටින විශ්වාසවන්තම යටත් වැසියන් බව පෙන්වීමට ටර්ටූලියන් උත්සාහ දැරීය. රෝම ආණ්ඩුව පෙරළා දැමීමට වෑයම් කළ අවස්ථා කිහිපයක් ගැන මතක් කරවමින්, එම කුමන්ත්‍රණකරුවන් පැමිණියේ මිථ්‍යා දෘෂ්ටිකයන් අතරින්ම මිස ක්‍රිස්තියානීන් අතරින් නොවන බව තම විරුද්ධවාදීන්ට ටර්ටූලියන් සිහි කර දුන්නේය. ක්‍රිස්තියානීන්ව මරා දැමීමෙන් අත් වන පාඩුව දරාගැනීමට සිදු වන්නේ ආණ්ඩුවටම බවද ඔහු පෙන්වා දුන්නේය.

ටර්ටූලියන්ගේ අනිකුත් කෘතීන් ක්‍රිස්තියානි ජීවිතය වටා ගෙතී තිබුණි. උදාහරණයක් හැටියට, ඔහුගේ ඔන් ද ෂෝස් (විවිධප්‍රසංග සම්බන්ධයෙන්) නමැති විවරණයෙහි යම් යම් විනෝදාස්වාද, මිථ්‍යා දෘෂ්ටික ක්‍රීඩා හා වේදිකා දර්ශන පවත්වන ස්ථානවලට යෑමට එරෙහිව ටර්ටූලියන් අනතුරු ඇඟවීය. පෙනෙන විදිහට, එවකට සිටි ක්‍රිස්තියානි ධර්මයට හැරුණු නවකයෝ බයිබලයේ ඇති උපදෙස් ගැන ඉගෙනගන්නා අතරේ මිථ්‍යා දෘෂ්ටික ක්‍රීඩා නැරඹීමට යෑමේ ඇති වරදක් නොදුටූහ. ඔවුන්ගේ සිතීමේ ශක්තිය පුබුදුවාලීමට උත්සාහ කළ ටර්ටූලියන් මෙසේ ලීවේය. “දෙවිගේ ගෘහයේ සිට යක්ෂයාගේ ගෘහයට නැතහොත් ස්වර්ගයේ සිට ඌරු කොටුවට පය තැබීම මොනතරම් නරුම වැඩක්ද!” ඔහු තවදුරටත් මෙසේ කීවේය. “ඔබ හෙළා දකින ක්‍රියාවන්, වචනයෙන්වත් අනුමත නොකළ යුතුය.”

සත්‍යය ආරක්ෂා කරන අතරේම එය දූෂ්‍ය කරයි

අගේන්ස්ට් ප්‍රග්සීයස් (ප්‍රග්සීයස්ට විරුද්ධව) නමැති ටර්ටූලියන්ගේ රචනයෙහි මෙසේ සඳහන් වේ. “යක්ෂයා විවිධාකාරයෙන් සැබෑවට විරුද්ධ වනවා පමණක් නොව ඊට එරෙහිවද ක්‍රියා කරයි. සමහර අවස්ථාවලදී, ඔහුගේ ඉලක්කය වී ඇත්තේ සත්‍යය ආරක්ෂා කරන මුවාවෙන් එය විනාශ කිරීමයි.” මේ රචනයේ එන ප්‍රග්සීයස් නම් තැනැත්තා කවුදැයි දන්නේ නැති වුවත්, දෙවි හා ක්‍රිස්තුස් සම්බන්ධයෙන් ඔහු කළ ඉගැන්වීම් ගැන ටර්ටූලියන් ප්‍රශ්න කරයි. ටර්ටූලියන් ප්‍රග්සීයස්ව සැලකුවේ, ඉතා සූක්ෂ්ම ආකාරයට ක්‍රිස්තියානි ධර්මය දූෂ්‍ය කිරීමට තැත් කරන සාතන්ගේ ඉත්තෙකු හැටියටය.

දෙවි හා ක්‍රිස්තුස් අතර ඇති සබඳතාව, එවකට විසූ ක්‍රිස්තියානීන්යැයි කියාගත්තවුන් අතර ප්‍රචලිතව තිබූ අතිවැදගත් ප්‍රශ්නයකි. ඔවුන් අතුරින් සමහරෙකුට, එනම් ග්‍රීක පසුබිමක හැදී වැඩුණු සමහරෙකුට එක දෙවි කෙනෙකු හා ගැළවුම්කරු මෙන්ම මිදුම්කරු හැටියට යේසුස්ගේ භූමිකාව අතර ඇති සම්බන්ධය තේරුම්ගැනීම දුෂ්කර යමක් විය. ඔවුන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් වූ මෙය විසඳීමට ප්‍රග්සීයස් උත්සාහ කළේය. එබැවින්, යේසුස් යනු දෙවිගේ තවත් ස්වරූපයක් බවත් පියා හා පුත්‍රයා අතරේ වෙනසක් නැති බවත් ඔහු ඉගැන්වීය. “මැවීමේදී හා ව්‍යවස්ථාව දීමේදී පියාණන් ලෙසද, යේසුස් ක්‍රිස්තුස් පුත්‍රයාණන් ලෙසද, ක්‍රිස්තුස්ගේ ස්වර්ගාරෝහණයෙන් පසු ශුද්ධාත්මය ලෙසද” දෙවි තමන්ව හෙළි කළායැයි ප්‍රකාරවාදය ලෙස හැඳින්වූ මේ සිද්ධාන්තය කියා සිටියි.

එහෙත්, ශුද්ධ ලියවිල්ලට අනුව පියා හා පුත්‍රයා අතරේ පැහැදිලි වෙනසක් තිබෙන බව ටර්ටූලියන් පෙන්වා දුන්නේය. පළමුවන කොරින්ති 15:27, 28 උපුටා දක්වමින් ඔහු මෙසේ තර්ක කළේය. “(සියල්ල) යටත් කළ තැනැත්තා හා ඔහු විසින් සියල්ල යටත් කර දෙනු ලැබූ තැනැත්තා යනු අනිවාර්යයෙන්ම දෙදෙනෙකු විය යුතුමය.” ටර්ටූලියන් යේසුස්ගේම මුඛයෙන් පිට වූ වචනවලට යොමු දැක්වූයේය. “පියාණන් මට වඩා උතුම්ය.” (යොහන් 14:28) ඔහු හෙබ්‍රෙව් ලියවිල්ලේ කොටස්වලින්, උදාහරණයක් හැටියට ගීතාවලිය 8:5 වැනි කොටස්වලින් පුත්‍රයාගේ ‘පහත්කම’ බයිබලයෙහි විස්තර කර ඇති ආකාරය පෙන්වීය. “මෙසේ පියා පුත්‍රයාට වඩා වෙනස් හා උතුම් බව” ටර්ටූලියන් නිගමනය කළේය. “ජනිත කළ තැනැත්තා එක්කෙනෙක් වන්නා සේම, ජනිත වූ තැනැත්තා තව කෙනෙකි. එවනු ලැබූ තැනැත්තා එක්කෙනෙක් වන්නා සේම, පැමිණි තැනැත්තා තව කෙනෙකි. සෑදු තැනැත්තා එක්කෙනෙක් වන්නා සේම, සෑදීම සඳහා උපයෝගි කරගත් තැනැත්තා තව කෙනෙකි” යයිද ඔහු පැවසීය.

පුත්‍රයා පියාට වඩා පහත්යැයි ටර්ටූලියන් සැලකුවේය. කෙසේවෙතත්, ප්‍රකාරවාදයට එරෙහිව කළ ඔහුගේ සටනේදී ඔහු “ලියා තිබෙන දේ ඉක්මවා” ගියේය. (1 කොරින්ති 4:6) ඔහු යේසුස්ගේ දේවත්වය වෙනත් සිද්ධාන්තයක් මාර්ගයෙන් ඔප්පු කරන්ට ගොස් වරද්දාගත්තේය. එනම්, “තුන්දෙනෙක් එක්කෙනෙකු තුළ” යන සූත්‍රය ඔහු විසින් ඈඳාගැනීමෙනි. ඔහු මේ සිද්ධාන්තය යොදාගනිමින් පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය යන එක සමාන තුන්දෙනා එක දේවත්වයක් තුළ සිටින බව පෙන්වන්ට යත්න දැරීය. මෙසේ, පියා, පුත්‍රයා හා ශුද්ධාත්මයට “ත්‍රිත්වය” යන ලතින් ස්වරූපය මුලින්ම ඈඳාගත් තැනැත්තා බවට ටර්ටූලියන් පත් විය.

ලෞකික දර්ශනවාදයෙන් පරෙස්සම් වන්න

“තුන්දෙනෙක් එක්කෙනෙකු තුළ” යන සිද්ධාන්තය සාදාගැනීමට ටර්ටූලියන්ට හැකි වූයේ කෙසේද? උත්තරය සැඟව තිබෙන්නේ මිනිසාගේ තවත් පරස්පර විරෝධතාවක් තුළය. එනම්, මිනිස් දර්ශනවාදය සම්බන්ධයෙන් මිනිසා දරන මතය තුළය. ටර්ටූලියන් දර්ශනවාදය හැඳින්වූයේ “මිනිසුන්ගේ හා ‘භූතයන්ගේ මූලධර්ම’” ලෙසය. ක්‍රිස්තියානි සත්‍යතාවන්ට අනුබල දීම සඳහා දර්ශනවාදය යොදාගැනීම ඔහු ප්‍රසිද්ධියේම විවේචනය කළේය. ඔහු පැවසුවේ, “ස්තෝයික, ප්ලතෝනික (ප්ලේටෝවාදි) හා පුහු තර්ක යොදාගෙන කිසිම අයුරකින් ක්‍රිස්තියානි ධර්මය දූෂ්‍ය කිරීමෙන් වළකින” ලෙසය. එහෙත්, තම අදහස්වලට හොඳින් ගැළපුණු විට ටර්ටූලියන් ලෞකික දර්ශනවාදය තමන්ට රිසි සේ පාවිච්චි කළේය.—කොලොස්සි 2:8, නව අනුවාදය.

එක්තරා මූලාශ්‍රයක් මෙසේ පවසයි. “ත්‍රිත්ව දේවධර්මයේ ඉදිරි ගමනට හා විග්‍රහ කිරීමට හෙලනිස්තික (ග්‍රීක) සංකල්ප හා මූලධර්මවල උපකාරය අවැසි විය.” තවදුරටත් ටර්ටූලියන්ගේ දේවධර්මය (සිංහලෙන් නොමැත) නමැති පොත මෙසේ සඳහන් කරයි. “අඩු පාඩු හා සීමාවන් තිබුණත් ටර්ටූලියන්ට මේ ත්‍රිත්ව මූලධර්මය ඉදිරිපත් කිරීමට හැකි වූයේ නීතික හා දාර්ශනික අදහස් හා වචනවල සංකලනයක් තුළින් බව පැහැදිලිය. එය පසු කාලයේදී නීසියා මන්ත්‍රණ සභාවේදී මූලධර්මයක් ලෙස ඉදිරිපත් කිරීමට මඟපෑදීය.” මේ හේතූන් නිසා, තුන්දෙනෙකු එක් දේවත්වයක් තුළය යන ටර්ටූලියන්ගේ සූත්‍රය මුළු ක්‍රිස්තියානි ලෝකය පුරාම ආගමික බොරුවක් ලෙස පැතිර යෑම සඳහා විශාල කාර්යයක් ඉටු කළේය.

සමහරු සත්‍යය ආරක්ෂා කිරීමට ගොස් එය විනාශ කරන බවට ටර්ටූලියන් චෝදනා කළේය. එහෙත් හාස්‍යයට කරුණක් නම්, දේවානුභාවයෙන් දුන් බයිබල් සත්‍යයන් සමඟ මිනිස් දර්ශනවාදය මුසු කිරීමට ගොස් ඔහුම ඒ වළේ වැටීමය. මේ නිසා, “මුළා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද” ගැන බයිබලයේ දී තිබෙන අනතුරු ඇඟවීම අපි සිතට ගනිමු.—1 තිමෝති 4:1.

[29, 30වන පිටුවේ පින්තූර]

ටර්ටූලියන් දර්ශනවාදය විවේචනය කළද ඔහුගේ අදහස් ප්‍රචලිත කිරීමට එය යොදාගත්තේය

[හිමිකම් විස්තර]

Pages 29 and 30: © Cliché Bibliothèque nationale de France, Paris

[31වන පිටුවේ පින්තූරය]

සැබෑ ක්‍රිස්තියානීහු බයිබල් සත්‍යයන් සමඟ මිනිස් දර්ශනවාදය මුසු කිරීමෙන් වැළකෙති