Skip to content

පටුනට යන්න

දෙවි කවුද?

දෙවි කවුද?

දෙවි කවුද?

“දෙවියන් යනු විශ්වයේ උල්පත සහ එය පවත්වාගෙන යන ප්‍රධාන බලවේගය මෙන්ම ආගමික බැතිමතුන්ගෙන් පුද නමස්කාරය ලබන තැනැත්තාව හඳුන්වා දීමට පොදුවේ භාවිතා කරන නාමයකි.” එසේ සඳහන් වන්නේ දි එන්සයික්ලෝපීඩියා අමෙරිකානා නම් විශ්වකෝෂය තුළයි. එක් ශබ්දකෝෂයක “දෙවියන්” යන්න නිර්වචනය කර තිබුණේ “උතුම්ම හා ශ්‍රේෂ්ඨතම යථාර්ථය” ලෙසයි. ගෞරවාන්විත බියක් උපදවන එවන් යථාර්ථයක ස්වභාවය කුමක් විය හැකිද?

දෙවි අපුද්ගල බලවේගයක්ද නැත්නම් සැබෑ පුද්ගලයෙක්ද? ඔහුට නමක් තිබේද? බොහෝදෙනෙක් විශ්වාස කරන්නාක් මෙන් ඔහුට ඇත්තේ ත්‍රිත්ව ස්වභාවයක්ද? ඔහුව දැන හඳුනාගත හැක්කේ කොහොමද? මෙම ප්‍රශ්නවලට සෑහීමකට පත් කරවන සත්‍යවාදී පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකියි. ඇත්තෙන්ම දෙවිව සොයන්න කියා දිරිගන්වමින් “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින” බව බයිබලය පවසනවා.—ක්‍රියා 17:27.

පුද්ගලයෙක් නොවන බලවේගයක්ද නැත්නම් සැබෑ පුද්ගලයෙක්ද?

දෙවි පිළිබඳව විශ්වාස කරන බොහෝදෙනෙක් සිතන්නේ ඔහු පුද්ගලයෙක් නෙවෙයි නිකම්ම බලවේගයක් කියායි. උදාහරණයකට, සමහර සංස්කෘතීන්වල දෙවිවරුන්ව සම්බන්ධ කර තිබෙන්නේ ස්වභාව ධර්මය තුළ පවතින බලයන් හා සමඟයි. විශ්වයේ සැකැස්ම හා මිහිපිට ජීවීන්ගේ ස්වභාවය පිළිබඳව කළ විද්‍යාත්මක පර්යේෂණවලින් ලැබී තිබෙන සාක්ෂි පදනම් කරගෙන සමහරු නිගමනය කරන්නේ ඒවායේ පැවැත්මට පාදක වූ මුල් හේතුවක් තිබිය යුතු බවයි. කොහොම නමුත්, මෙම මුල් හේතුවට පෞද්ගලිකත්වයක් තිබෙනවා කියා පිළිගැනීමට ඔවුන් අදිමදි කරනවා.

නමුත් මැවිල්ලේ සංකීර්ණත්වය දෙස බලන විට මුල් හේතුවට උසස්ම ගණයේ බුද්ධියක් තිබිය යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද? බුද්ධියක් ඇති තැන මනසකුත් තිබිය යුතුයි. සෑම මැවිල්ලකටම හේතුව වූ ශ්‍රේෂ්ඨ මනස අයත් වන්නේ දෙවි නම් පුද්ගලයාටයි. ඔව්, දෙවිට ශරීරයක් තිබෙනවා. එය අපේ ශරීර මෙන් භෞතික එකක් නෙවෙයි ආත්මික ශරීරයක්. බයිබලයේ පවසන්නේ “ස්වාභාවික ශරීරයක් තිබේ නම් ආත්මික ශරීරයක්ද තිබේ” කියායි. (1 කොරින්ති 15:44) “දෙවි ආත්මයක්” යනුවෙන් පවසමින් බයිබලය දෙවිගේ ස්වභාවය පැහැදිලිව විස්තර කරනවා. (යොහන් 4:24) ආත්මයක් කියන්නේ අපේ ජීව ස්වරූපයට මුළුමනින්ම වෙනස් වූ ජීව ස්වරූපයක්. එය මනුෂ්‍ය ඇස්වලින් දැකගත නොහැකි අදෘශ්‍යමාන ස්වරූපයක් ගන්නවා. (යොහන් 1:18) එමෙන්ම වෙනත් අදෘශ්‍යමාන ආත්ම ජීවීන්ද සිටියි. ඔවුන් සැබෑ “දෙවිගේ පුත්‍රයන්” හෙවත් දේවදූතයන් වෙයි.—යෝබ් 1:6; 2:1.

දෙවි කිසිවෙකු විසින් මවනු නොලැබූ ආත්ම ශරීරයක් ඇති පුද්ගලයෙක් වන නිසා ඔහුට වාසස්ථානයක් තිබෙන බව සිතීම සාධාරණයි. ආත්ම විෂය ගැන සඳහන් කරමින් බයිබලය අපට පවසන්නේ ස්වර්ගය දෙවිගේ “වාසස්ථානය” වන බවයි. (1 රාජාවලිය 8:43) බයිබල් ලේඛක පාවුල්ද මෙසේ සඳහන් කරනවා. “ක්‍රිස්තුස් සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශය වන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවිගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල් වූයේය.”—හෙබ්‍රෙව් 9:24.

බයිබලයේ “ආත්මය” යන වචනය වෙනත් අර්ථයකින්ද භාවිත කරනවා. ගීතිකාකරු දෙවිට යාච්ඤා කරමින් පැවසුවේ “ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති” කියායි. (ගීතාවලිය 104:30) මෙහිදී ආත්මය කියන්නේ දෙවි නෙවෙයි, ඔහු කැමති ඕනෑම දෙයක් ඉටු කිරීමට ඔහු යොදාගන්නාවූ හෝ එවන්නාවූ බලයටයි. දෙවි භෞතික අහසත්, පොළොවත් පණ ඇති සියල්ලත් මැව්වේ එම බලය යොදාගෙනයි. (උත්පත්ති 1:2; ගීතාවලිය 33:6; NW) ඔහුගේ ආත්මය හඳුන්වන්නේ ශුද්ධාත්මය යනුවෙනුයි. බයිබලය ලිවූ මනුෂ්‍යයන්ට ඔහුගේ ආනුභාවය දීම සඳහා දෙවි භාවිත කළේද ශුද්ධාත්මයයි. (2 පේතෘස් 1:19, 21) මින් පැහැදිලි වන්නේ ශුද්ධාත්මය කියන්නේ දෙවි තම අරමුණු ඉටු කිරීමට යොදාගන්නා ඔහුගේ අදෘශ්‍යමාන ක්‍රියාකාරි බලය බවයි.

දෙවිට අද්විතීය නමක් ඇත

“තමාගේ මිටෙහි සුළඟ අඩංගු කරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙව්වේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම කුමක්ද?” යනුවෙන් බයිබල් ලේඛක ආගුර් ප්‍රශ්න කළා. (හිතෝපදේශ 30:4) වෙනත් වචනවලින් පැවසුවොත් ආගුර් ප්‍රශ්න නැඟුවේ මෙහෙමයි. ‘මෙවන් දේවල් කර ඇති කිසියම් මනුෂ්‍යයෙක් සිටී නම් ඔහුගේ නම නැත්නම් ඔහුගේ පවුල් පෙළපත සඳහන් කරන්න පුළුවන්ද?’ ස්වාභාවික බලයන් පාලනය කිරීමට බලය ඇත්තේ දෙවිට පමණයි. දෙවි සිටින බවට මැවිල්ල ප්‍රබල සාක්ෂියක් සැපයුවත් දෙවිගේ නම පිළිබඳව නම් එය නිහඬයි. ඇත්තෙන්ම කියනවා නම්, දෙවි අපට ඔහුගේ නම කියා දුන්නේ නැත්නම් අපට කෙදිනකවත් එය දැනගත නොහැකියි. මැවුම්කරු තම නාමය හෙළි කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙහෙමයි. “මම යෙහෝවාය. මාගේ නාමය ඒකය.”—යෙසායා 42:8.

දෙවිගේ අද්විතීය නම වන යෙහෝවා, හෙබ්‍රෙව් ලියවිලිවල පමණක් 7000 වාරයකටත් වඩා සඳහන් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් එම නාමය අන්‍යයන්ට කියා දුන්නා වගේම ඔවුන් ඉදිරියේ එම නමට ප්‍රශංසාත් කළා. (යොහන් 17:6, 26) එම නම බයිබලයේ අන්තිම පොතේ “යාට ප්‍රශංසා වේවා” යන අරුත ඇති “හලෙලූයා” යන යෙදුම තුළ භාවිත කර තිබෙනවා. “යා” කියන්නේ “යෙහෝවා” යන නම කෙටි කර දැක්වීමක්. (එළිදරව් 19:1-7අ) නවීනදින බොහෝ බයිබල්වල එම නම භාවිත නොකිරීම කනගාටුවට කරුණක්. ඒ වෙනුවට, එම බයිබල්වල තද කළු අකුරින් “ස්වාමීන්වහන්සේ” නැත්නම් “දෙවියන්වහන්සේ” යන වචන යොදා තිබෙනවා. එසේ කර ඇත්තේ “ස්වාමීන්වහන්සේ” හා “දෙවියන්වහන්සේ” වශයෙන් පොදුවේ භාවිත කරන පදවි නම්වලින් එය වෙන් කොට දැක්වීමටයි. දිව්‍ය නාමය යාවේ යනුවෙන් උච්චාරණය කරන්නට ඇතියි කියා සමහර විශාරදයන්ගේ මතයයි.

විශ්වයේ ශ්‍රේෂ්ඨතම තැනැත්තාගේ නාමය පිළිබඳව මෙතරම් වෙනස් මතයන් පවතින්නේ ඇයි? ගැටලුව ආරම්භ වුණේ සියවස් ගණනාවකට පෙර, මිථ්‍යා මතයක් පදනම් කරගෙන යුදෙව්වරුන් දිව්‍ය නාමය උච්චාරණය කිරීම නතර කළ විටයි. ඔවුන් ශුද්ධ ලියවිල්ල කියවන අවස්ථාවලදී දිව්‍ය නාමය සඳහන් වූ සෑම තැනකදීම ඒ වෙනුවට “පරමාධිපති ස්වාමීන්” යන අරුත ඇති හෙබ්‍රෙව් වචනය භාවිත කරන්න පටන්ගත්තා. බයිබලය ලිවීමට භාවිත කළ හෙබ්‍රෙව් භාෂාව ලියැවුණේ ප්‍රාණාක්ෂර නොමැතිවයි. එමනිසා මෝසෙස්, දාවිත් සහ පුරාණයේ විසූ වෙනත් අය දිව්‍ය නාමයේ අඩංගු ගාත්‍රාක්ෂර උච්චාරණය කළේ කොහොමද කියා හරියටම දැනගන්න ක්‍රමයක් නැහැ. කොහොම වුණත්, “ජෙහෝවා” යන ඉංග්‍රීසි උච්චාරණ ක්‍රමය සියවස් ගණනාවක් පුරා භාවිත කර ඇති අතර බොහෝ භාෂාවල එය ඊට සමාන ආකාරයකින් උච්චාරණය කෙරේ. ඒ වගේම එම උච්චාරණවලට පොදු පිළිගැනීමකුත් තිබෙනවා. අප භාවිත කරන සිංහල බයිබල්වල එම නම සඳහන් වන්නේ “යෙහෝවා” යනුවෙනුයි.—නික්මයාම 6:3; ගීතාවලිය 83:17; යෙසායා 26:4.

පුරාණ හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවිගේ නම උච්චාරණය කළේ කොහොමද කියා නිශ්චිතව දැනගත නොහැකි වුණත් එහි අර්ථය නම් අභිරහසක් නෙවෙයි. ඔහුගේ නමෙහි අර්ථය වන්නේ “ඔහු සිදුවීමට සලස්වයි” යන්නයි. මෙලෙස යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨ අරමුණු කරන්නා වශයෙන් තමන්ව හඳුන්වා දෙයි. ඔහු සැමවිටම තම අරමුණු සහ පොරොන්දු යථාර්ථයක් බවට පත් කරනවා. මෙසේ කිරීමට බලය ඇත්තේ සැබෑ දෙවිට පමණක් වන නිසා එම නාමය දැරීමට අයිතිය ඇත්තේ ඔහුට පමණයි.—යෙසායා 55:11.

සර්වබලධාරි දෙවිව අනිත් සෑම දෙවි කෙනෙකුගෙන් වෙන් කොට දැක්වීමට යෙහෝවා යන නාමය උපකාරවත් වන බව නොඅනුමානයි. එම නම නිතර නිතර බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. බොහෝ බයිබල් පරිවර්තනයන් තුළ දිව්‍ය නාමය භාවිත කර නොතිබුණත් “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන්” බව ගීතාවලිය 83:17හි පැහැදිලි ලෙස සඳහන් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් තම දේවසේවයේදී අනුගාමිකයන්ට ඉගැන්වූයේ මෙහෙමයි. “නුඹලා මෙසේ යාච්ඤා කරන්න. ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9) එහෙනම්, අපි යාච්ඤා කරද්දී, දෙවි ගැන කතා කරද්දී හා අන්‍යයන් ඉදිරියේ ඔහුට ප්‍රශංසා කරද්දී ඔහුගේ නාමය භාවිත කළ යුතුයි.

යේසුස් දෙවිද?

යෙහෝවා දෙවිම තම පුත්‍රයාගේ අනන්‍යතාව ඉතා පැහැදිලිව ගෙනහැර දක්වා තිබෙනවා. මතෙව්ගේ සුවිශේෂ වාර්තාවේ පෙන්වන්නේ යේසුස්ගේ බව්තීස්මයෙන් පසු “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි [යනුවෙන්] අහසෙන් හඬක් [නික්මුණු]” බවයි. (මතෙව් 3:16, 17) පැහැදිලිවම, යේසුස් ක්‍රිස්තුස් කියන්නේ දෙවිගේ පුත්‍රයායි.

එහෙත් සමහර ආගමික බැතිමතුන් පවසන්නේ යේසුස් දෙවි බවයි. දෙවි ත්‍රිත්වයක් බව තවත් අය පවසනවා. මෙම ඉගැන්වීමට අනුව, “පියාණන්, පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන් නම් ත්‍රිත්වය එකම දෙවියන්වහන්සේ වන අතර ඔවුන් තුන්දෙනෙකු නොව එක්කෙනෙකු වේ.” ඒ තුන්දෙනාම “සදාකාලික” බවත් “එක සමාන” බවත් පැවසේ. (ද කැතලික් එන්සයික්ලෝපීඩියා) එම අදහස් නිවැරදියයි අපට පැවසිය හැකිද?

දේවානුභාවයෙන් ලත් ශුද්ධ ලියවිලිවල යෙහෝවා පිළිබඳව පවසන්නේ “සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවිය” කියායි. (ගීතාවලිය 90:2) පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති “සදාකාල රජ්ජුරුවන්” වන්නේ ඔහුයි. (1 තිමෝති 1:17) අනික් අතට, යේසුස්ව විස්තර කර තිබෙන්නේ “මුළු මැවිල්ලේ කුළුඳුලා” නැත්නම් “දෙවිගේ මැවිල්ලේ මුල” වශයෙනුයි. (කොලොස්සි 1:13-15; එළිදරව් 3:14) දෙවිව තම පියා ලෙස හඳුන්වා දෙමින් “පියා මට වඩා උතුම්ය” කියා යේසුස් පැවසුවා. (යොහන් 14:28) තමාවත් දේවදූතයන්වත් නොදන්නා, දෙවි පමණක් දන්නාවූ දේවල් තිබෙන බවත් යේසුස් පැහැදිලි කළා. (මාර්ක් 13:32) ඒ වගේම යේසුස් තම පියාට යාච්ඤාවකදී පැවසුවේ “මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා” කියායි. (ලූක් 22:42) යේසුස් යාච්ඤා කළේ තමාට වඩා උසස් තැනැත්තෙකුට මිස වෙන කවරෙකුටද? ඒ වගේම යේසුස්ව මළවුන්ගෙන් නැඟිටෙව්වේ යේසුස්ම නෙවෙයි දෙවියි.—ක්‍රියා 2:32.

එහෙනම්, ශුද්ධ ලියවිල්ලට අනුව බැලූ විට යෙහෝවා කියන්නේ සර්වබලධාරි දෙවිටයි. යේසුස් කියන්නේ ඔහුගේ පුත්‍රයාටයි. පොළොවට ඒමට පෙරවත්, ඔහුගේ භූමික ජීවිත කාලයේදීවත්, නැවත නැඟිට ස්වර්ගයට ගිය පසුවත් යේසුස් කිසිවිටෙක ඔහුගේ පියාට සමානව සිටියේ නැහැ. (1 කොරින්ති 11:3; 15:28) අපි කලින් සලකා බැලූ ලෙස, ත්‍රිත්වයේ තුන්වෙනි පුද්ගලයායයි පැවසෙන ශුද්ධාත්මය ඇත්තෙන්ම පුද්ගලයෙක් නෙවෙයි. එය දෙවි තමා අරමුණු කරන ඕනෑම දෙයක් ඉටු කිරීමට යොදාගන්නා බලයයි. මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ ත්‍රිත්වය ශුද්ධ ලියවිලිමය ඉගැන්වීමක් නොවන බවයි. * බයිබලයේ පවසන්නේ “අපේ දෙවි වූ යෙහෝවා එකම යෙහෝවා” යනුවෙනුයි.—ද්විතීය කථාව 6:4.

දෙවිව වඩාත් හොඳින් හඳුනාගන්න

දෙවිට ලබන්න වටින තනි භක්තියත් ප්‍රේමයත් ඔහුට ලබා දෙන්න නම් අපි ඔහුගේ නියම පෞද්ගලිකත්වය හඳුනාගත යුතුයි. දෙවිව වඩාත් හොඳින් ඇඳිනගන්නේ කොහොමද? “දෙවිගේ අදෘශ්‍යමාන දේ වන ඔහුගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම්ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය” කියා බයිබලය පවසනවා. (රෝම 1:20) දෙවිව හඳුනාගැනීමට පුළුවන් එක් ක්‍රමයක් වන්නේ ඔහුගේ මැවිලි නිරීක්ෂණය කිරීමෙන් හා ඒවා ගැන අගයෙන් යුක්තව මෙනෙහි කිරීමෙනුයි.

එහෙත් මැවිල්ල තුළින් අපට දෙවි ගැන දැනගත යුතු හැම දෙයක්ම දැනගන්න බැහැ. උදාහරණයකට ඔහු අද්විතීය නමක් ඇති ආත්ම පුද්ගලයෙක් බව දැනගැනීමට නම් අපි අනිවාර්යයෙන්ම බයිබලය කියවිය යුතුයි. එහෙනම් දෙවිව වඩාත් හොඳින් හඳුනාගැනීමට හොඳම ක්‍රමය වන්නේ බයිබලය අධ්‍යයනය කිරීමයි. ශුද්ධ ලියවිලි මාර්ගයෙන් තමා මොන වගේ දෙවි කෙනෙක්ද කියා යෙහෝවා වැඩි විස්තර සපයනවා. එමගින් ඔහු තම අරමුණු හෙළි කර දෙනවා වගේම ඔහුගේ මාර්ගයන් පිළිබඳව හැදෑරීමට අපට උපකාර කරනවා. (ආමොස් 3:7; 2 තිමෝති 3:16) අප “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්” ලබනවාට දෙවි කැමති බව දැනගැනීමෙන් අපි මොනතරම් සතුටු විය යුතුද! මන්ද එමගින් අපට ඔහුගේ ප්‍රේමනීය සැපයුම්වලින් ප්‍රයෝජන ලබාගත හැකියි. (1 තිමෝති 2:3, NW) එහෙනම් යෙහෝවා ගැන ඉගෙනගත හැකි සෑම දෙයක්ම ඉගෙනගැනීමට පූර්ණ උත්සාහයක් දරමු.

[පාදසටහන]

^ 19 ඡේ. මෙම විෂය වඩාත් සවිස්තරාත්මකව පැහැදිලි කරගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද? (සිංහලෙන් නොමැත) යන විවරණිකාව බලන්න.

[5වන පිටුවේ පින්තූර]

පොළොව මැවීමටත් බයිබලය ලිවීමට මිනිසුන්ට ඔහුගේ ආනුභාවය ලබා දීමටත් දෙවි ඔහුගේ ශුද්ධාත්මය යොදාගත්තා

[5වන පිටුවේ පින්තූරය]

“මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය” යනුවෙන් අහසෙන් හඬක් නික්මුණා

[7වන පිටුවේ පින්තූරය]

යේසුස් තමාට වඩා උතුම් පුද්ගලයා වන දෙවිට යාච්ඤා කළා

[7වන පිටුවේ පින්තූරය]

යේසුස් දෙවිගේ නම අනුන්ට දැනුම් දුන්නා

[7වන පිටුවේ පින්තූර]

දෙවිව වඩාත් හොඳින් හඳුනාගන්න අපට පුළුවන්