Skip to content

පටුනට යන්න

දෙවි කවුදැයි අප දැනගත යුතුයි

දෙවි කවුදැයි අප දැනගත යුතුයි

දෙවි කවුදැයි අප දැනගත යුතුයි

තාරකාවලින් ගහන පැහැබර රාත්‍රි අහසක් දෙස බලන විට ඔබට අමුතුම ප්‍රබෝධයක් නොදැනේද? නානාවිධ වර්ණවලින් යුත් මල්වල සුවඳ ඔබේ සිත් නොගන්නේද? ඔබේ සවනට වැකෙන කුරුල්ලන්ගේ මිහිරි ගී නද හා සුළඟට ලෙල දෙන ගස් වැල්වල සර සර හඬ ප්‍රිය උපදවන්නේ නැද්ද? ඒ වගේම, මහ මුහුදේ ජීවත් වන යෝධ තල්මසා ඇතුළු එහි සැරිසරන අනෙකුත් ජීවීන් මොනතරම් චිත්තාකර්ෂණීයද! හෘදය සාක්ෂිය නමැති සහජ ක්‍රියාකාරිත්වය හා විස්මයජනක සංකීර්ණත්වයකින් යුත් මොළයක් සතු මිනිසා ගැනත් සිතා බලන්න. අප අවට තිබෙන මෙම මවිතකර දේවල් පැවත ආවේ කොහොමද කියා ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

මේ සියල්ල අහම්බෙන් පැමිණි බව සමහර අයගේ විශ්වාසයයි. එහෙත් එය සැබෑවක් නම් මනුෂ්‍යයන් දෙවි කෙනෙකු ගැන විශ්වාස කිරීමට නැඹුරු වන්නේ ඇයි? අහඹු සිදුවීමකින් එකිනෙකට සම්බන්ධ වූ රසායනික ද්‍රව්‍ය කිහිපයකින් අධ්‍යාත්මික අවශ්‍යතාවක් ඇති ජීවීන් බිහි වුණේ කොහොමද?

මහාචාර්ය ඇලිස්ට හාඩි තමා කළ පර්යේෂණයක ප්‍රතිඵල මිනිසාගේ අධ්‍යාත්මික ස්වභාවය (සිංහලෙන් නොමැත) නමැති කෘතියේ කැටි කොට දැක්වූයේ මේ ආකාරයටයි. “ආගමක් ඇදහීමට තිබෙන අවශ්‍යතාව මිනිස් ස්වභාවය තුළ ඉතා ගැඹුරට මුල් බැස ඇත. සමාජයේ සෑම අධ්‍යාපනික හා ආර්ථික පසුබිමක් තුළම එම ප්‍රවණතාව දක්නට ලැබේ.” මිනිස් මොළය පිළිබඳව මෑතකදී කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන්, ආගමක් ඇදහීමට මිනිසා සතු හැකියාව ඔවුන්ගේ “ප්‍රවේණි තුළ සටහන් වී ඇති” බව පැවසීමට ඇතැම් ස්නායු විද්‍යාඥයන් පෙලඹී තිබෙනවා. එකම යථාර්ථය වන්නේ දෙවියන්ද? (සිංහලෙන් නොමැත) යන කෘතියෙහි අදහස් දක්වා තිබෙන්නේ මෙහෙමයි. “මිනිසාගේ ආරම්භයේ සිටම පැවති සෑම සංස්කෘතියකම හා සෑම යුගයකම පාහේ පොදු ලක්ෂණයක් වූයේ . . . ජීවිතයේ අර්ථය සෙවීම සඳහා ආගමක් වැලඳගැනීමයි.”

වසර 2000කට පමණ පෙර විසූ උගත් මිනිසෙකුගේ නිගමනය වෙත අවධානය යොමු කරමු. “සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති. නුමුත් සියලු දේවල් පිහිටෙවූ තැනැත්තා දෙවිය” යනුවෙන් ඔහු ලියා තිබුණා. (හෙබ්‍රෙව් 3:4) ඇත්තෙන්ම, බයිබලයේ ආරම්භක වදන්වල පවා පවසා ඇත්තේ මෙහෙමයි. “පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.”—උත්පත්ති 1:1.

නමුත් දෙවි කියන්නේ කවුද? මුළු මිනිස් සංහතියම එම ප්‍රශ්නය පිළිබඳව භේදභින්නව සිටිනවා. දෙවි කවුද කියා ජපන් ජාතික නහඹරයෙක් වන යෝෂිගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි. “මම ඒක හරියටම දන්නේ නෑ. මම බෞද්ධයෙක්නේ. ඒ හින්දා දෙවියන් කවුද කියලා දැනගන්න මට ඒ තරම් අවශ්‍යතාවයක් නෑ.” කොහොම නමුත්, බොහෝදෙනෙක් බුදුන්ව පවා සලකන්නේ දෙවි කෙනෙක් වශයෙන් කියා යෝෂිටත් පිළිගන්න සිද්ධ වුණා. හැටගණන්වල පසු වන ව්‍යාපාරිකයෙක් වන නික් දෙවි කෙනෙක් ගැන විශ්වාස කරනවා. ඔහු සිතන්නේ දෙවි සර්වබලධාරි බලවේගයක් කියායි. දෙවියන් ගැන තමා දන්නේ කුමක්ද කියා පැහැදිලි කර දෙන්න කියා නික්ගෙන් ඉල්ලා සිටි විට ඔහු සෑහෙන වේලාවක් කල්පනා කරලා අන්තිමට මෙහෙම කිව්වා. “ඒක නම් හරිම අමාරු ප්‍රශ්නයක්, යාළුවා මට මෙච්චරයි කියන්න පුළුවන්. දෙවි කෙනෙක් ඉන්නවා. මට ඒ ගැන නම් සැකයක් නෑ.”

තවත් සමහරෙක් “මැවුම්කාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුම්පිඳුම් හා ගැතිකම්” කරනවා. (රෝම 1:25, නව අනුවාදය) දෙවිට ළං විය නොහැකියයි සිතමින් මිලියන ගණනක් තම මිය ගිය මුතුන්මිත්තන්ට වන්දනාමාන කරනවා. හින්දු ධර්මයේත් දෙවි දේවතාවන් විශාල සංඛ්‍යාවක් සිටියි. යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් විසූ කාලයේ සිටි මිනිස්සු සියුස් හා හෙර්මීස් වැනි දෙවිවරුන්ට නමස්කාර කළා. (ක්‍රියා 14:11, 12) ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි බහුතරයකම උගන්වන්නේ දෙවි ත්‍රිත්වයක් කියායි. එම ඉගැන්වීමට අනුව දෙවි කියන්නේ පියාණන්, පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන් යන ත්‍රිත්වයටයි.

ඇත්තෙන්ම බයිබලයේ පවසන්නාක් මෙන් “බොහෝ දෙවිවරුන්ද බොහෝ ස්වාමිවරුන්ද [සිටිනවා].” එහෙත් “අපට ඇත්තේ එක දෙවි කෙනෙක් වන පියාය. සියල්ල පැමිණ තිබෙන්නේ ඔහුගෙන්ය” කියා එහි තවදුරටත් පවසනවා. (1 කොරින්ති 8:5, 6) ඔව්, ඉන්නේ එකම සැබෑ දෙවි කෙනෙක් පමණයි. එහෙත් ඔහු කවුද? ඔහුට තිබෙන්නේ මොන වගේ ස්වභාවයක්ද? අපි මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ඉතා වැදගත්. යේසුස් පවා යාච්ඤාවකදී පැවසුවේ “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය” කියායි. (යොහන් 17:3, NW) ඔව්, අපේ සදාකාලික ශුභසිද්ධිය රඳා පවතින්නේ දෙවි පිළිබඳව සත්‍යය දැනගැනීම මතයි කියා විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවා.

[3වන පිටුවේ පින්තූරය]

මේ ජීවීන් පැවත ආවේ කොහොමද කියා ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

[හිමිකම් විස්තර]

Whale: Courtesy of Tourism Queensland

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Index Stock Photography © 2002