Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පල්ලියේ පැවැත්වෙන මංගල හෝ අවමංගල උත්සවයකට සහභාගි වීම සැබෑ ක්‍රිස්තියානියෙකුට උචිතද?

බොරු ආගම හා සම්බන්ධ ඕනෑම දෙයක නියැලීමෙන් යෙහෝවා දෙවි අසතුටට පත් වන නිසා අප ඒවායින් වැළකී සිටිය යුතුයි. (2 කොරින්ති 6:14-17; එළිදරව් 18:4) පල්ලියේ පවත්වනු ලබන අවමංගල පූජාව ආගමික පිළිවෙතක්. එහිදී අමරණීය ආත්මය, සියලු යහපත් අය ස්වර්ගයට යයි වැනි දේවවචනයට පටහැනි ඉගැන්වීම් හුවා දැක්විය හැක. තවද කුරුසයේ ලකුණ යෙදීම හා පූජකයා සමඟ යාච්ඤා කිරීම වැනි ආගමික පුරුදුද අනුගමනය කරනු ලැබේ. පල්ලියේ හෝ වෙනත් ආගමික සිද්ධස්ථානවල සිදු කරන විවාහ මංගල්‍ය උත්සවයකදී පවා යාච්ඤා හා වෙනත් ආගමික පිළිවෙත් පවත්වන අතර මේවා බයිබලයේ ඉගැන්වීම්වලට හාත්පසින්ම වෙනස් ඒවා වේ. සියලුදෙනාම මෙවැනි බොරු ආගමික වතාවත්වල නියැලෙන විට සැබෑ ක්‍රිස්තියානියෙකුට මෙවැනි කටයුතු සිදු කිරීමට පීඩනයක් එල්ල විය හැකි අතර එම පිළිවෙත්වලට සහභාගි නොවී සිටීම අභියෝගයක් විය හැකියි. මෙවැනි පීඩනයකට නිරාවරණය වීම කොතරම් අඥානද!

පල්ලියේ පවත්වනු ලබන විවාහ මංගල්‍යයකට හෝ අවමංගල පිළිවෙතකට සහභාගි වීමට තමා බැඳී සිටිනවායයි සැබෑ ක්‍රිස්තියානියෙකුට සිතෙනවා නම් කුමක් කිව හැකිද? උදාහරණයකට ඇදහිල්ලේ නැති ස්වාමිපුරුෂයෙක් ඔහුගේ භාර්යාවගෙන් එවැනි උත්සවයකට සහභාගි වීමට ඉල්ලා සිටිනවා විය හැකියි. ඇයට ඔහු සමඟ නිරීක්ෂකයෙකු ලෙස සහභාගි විය හැකිද? ස්වාමිපුරුෂයාගේ කැමැත්තට ගෞරව දැක්වීම පිණිස භාර්යාව ඔහු හා යෑමට තීරණය කළහොත් එහි පැවැත්වෙන කිසිම පිළිවෙතකට සහභාගි නොවී සිටීමට ඇය ස්ථිරව අදිටන් කරගත යුතුයි. අනික් අතට එවැනි අවස්ථාවකදී මුහුණ පාන්න සිදු වන මානසික පීඩනය හා දෙවිගේ ප්‍රමිතිවලට පටහැනිව ක්‍රියා කිරීමට යම් නැඹුරුවාවක් ඇති විය හැකිය යන කරුණු ගැන හොඳින් සිතා බලා එහි නොයාමට ඇය තීරණය කරන්නද පුළුවන. මෙය ඇය විසින් ගත යුතු තීරණයක්. අනිවාර්යයෙන්ම, හෘද පූර්ණ එකඟත්වයකින් හා යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිටීමට ඇය කැමති වනු ඇත.—1 තිමෝති 1:19.

කෙසේවෙතත්, හිතට එකඟව ආගමික වතාවන්ට හෝ එහි ගයන ගීතිකාවලට සහභාගි වීමටත් යාච්ඤා කරන විට හිස නමාගෙන සිටීමටත් නොහැකි බව ස්වාමිපුරුෂයාට දන්වා සිටීම ඇයට ප්‍රයෝජනවත් වේ. මෙම පැහැදිලි කිරීම අනුව සමහර විට ස්වාමිපුරුෂයා වටහාගනීවි, එවැනි අවස්ථාවකට ඇය පැමිණීමෙන් ඔහුට අපහසුතාවක් ගෙන දිය හැකි බව. භාර්යාවට ඇති ප්‍රේමය නිසාත් ඇගේ විශ්වාසයන්ට ගෞරව කිරීමට හෝ එම අවස්ථාවේදී මුහුණපෑමට සිදු වන අපහසුතාවන් මඟහැරීමට අවශ්‍ය නිසාත් ඔහු තනිවම එහි යෑමට තීරණය කළ හැකියි. නමුත් ඔහු ඇයට යෑමට බල කර සිටිනවා නම් ඇයට නිරීක්ෂකයෙකු ලෙස සහභාගි විය හැකියි.

අප ආගමික සිද්ධස්ථානයක යම් උත්සවයකට සහභාගි වීම අපේ සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි සමහර විට බලපෑ හැකි බව අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි. එවැනි ආගමික උත්සවයකට යෑම නිසා අන් අයගේ හෘදසාක්ෂියට යම් හානියක් වේද? රූප නමස්කාරයට එරෙහිව සිටීමට ඔවුන් දරන සටන එතුළින් දුර්වල විය හැකිද? පාවුල් අපට උපදෙස් දෙන්නේ “ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන තෙක් අන් අයව බාධාවට නොපමුණුවා නිදොස්ව සිටින පිණිස වඩා වැදගත් දේවල් ඒත්තුගන්වන්න” කියායි.—පිලිප්පි 1:10, NW.

මෙම උත්සවය ළඟම ඥාතියෙකුගේ නම් පවුලේ අයගෙන් හා අනෙක් නෑදෑයන්ගෙන් අමතර පීඩනයක් එල්ල විය හැකියි. කෙසේ නමුත් සැබෑ ක්‍රිස්තියානියෙක් මේ සියලුම කාරණා කල්පනාකාරිව සැලකිල්ලට ගත යුතුයි. සමහර තත්වයන් යටතේ නිරීක්ෂකයෙකු වශයෙන් පල්ලියේ පැවැත්වෙන විවාහයකට හෝ අවමංගල්‍යයකට සහභාගි වීමෙන් තමන් කිසිම අපහසුතාවකට ලක් නොවන බව ඔහු හෝ ඇය උපකල්පනය කළ හැකියි. සමහර තත්වයන් යටතේ මෙවැනි උත්සවයකට යෑමෙන් අත් වන ප්‍රයෝජනවලට වඩා තමාගේ හෘදසාක්ෂියට හෝ අන් අයගේ හෘදසාක්ෂියට ඇති වන හානිකර බලපෑම බරපතළ විය හැකියි. කුමන තත්වයක් යටතේ වුවද සැබෑ ක්‍රිස්තියානියෙකු තීරණ ගත යුත්තේ දෙවි හා මනුෂ්‍යයන් ඉදිරියේ යහපත් හෘදසාක්ෂියක් දැරීමට හැකි වන පරිද්දෙනුයි.