Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවෙන් ප්‍රයෝජන ගනිමු

යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවෙන් ප්‍රයෝජන ගනිමු

යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවෙන් ප්‍රයෝජන ගනිමු

“නුවණ ඇත්තා කවුද? තමන් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවේ ක්‍රියාවලට අවධානය යොමු කරන බව ඔහු පෙන්වනු ඇත.”—ගීතාවලිය 107:43, NW.

1. “ප්‍රේමනීය කරුණාව” යන ප්‍රකාශය බයිබලයේ මුලින්ම සඳහන් වූයේ කවදාද? මේ ගුණාංගය සම්බන්ධයෙන් අප සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

මීට අවුරුදු 4,000කට පමණ කලින් ආබ්‍රහම්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත් යෙහෝවාට මෙසේ පැවසුවේය. ‘ඔබ මහත් ලෙස [ප්‍රේමනීය, NW] කරුණාව පෙන්වන්නේය.’ (උත්පත්ති 19:19) “ප්‍රේමනීය කරුණාව” යන ප්‍රකාශය බයිබලයේ සඳහන් වන මුල්ම අවස්ථාව එයයි. යාකොබ්, නායොමි, දාවිත් ඇතුළු දෙවිගේ වෙනත් සේවකයෝ යෙහෝවාගේ මේ ගුණාංගය ගැන කතා කළහ. (උත්පත්ති 32:10; රූත් 1:8; 2 සාමුවෙල් 2:6; NW) මුල් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල “ප්‍රේමනීය කරුණාව” යන යෙදුමේ හෙබ්‍රෙව් වචනය 250 වාරයක් පමණ සඳහන් වේ. සිංහල බයිබලයේ නම් එම වචනය බොහෝ අවස්ථාවලදී යොදා තිබෙන්නේ “කරුණාව” ලෙසය. යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අතීතයේදී මේ ගුණාංගය විදහාපෙන්වනු ලැබුවේ කාටද? අද අප මෙම ගුණාංගයෙන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

2. “ප්‍රේමනීය කරුණාව” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය අර්ථ දැක්වීම ඉතාමත් අසීරු වන්නේ මන්ද? විකල්පයක් වශයෙන් එය පරිවර්තනය කළ හැක්කේ කෙසේද?

2 ශුද්ධ ලියවිලිවල “ප්‍රේමනීය කරුණාව” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් අර්ථ ගණනාවක් ප්‍රකාශ කෙරේ. මේ නිසා එම හෙබ්‍රෙව් වචනයේ සම්පූර්ණ අර්ථයම දෙන තනි වචනයක් භාෂා බොහොමයක සොයාගත නොහැක. ඇතැම් භාෂාවල මෙම වචනය “ප්‍රේමය” හෝ “ඇල්ම” “දයාව” සහ “විශ්වාසවන්තකම” හෝ “යහපත්කම” ලෙස පරිවර්තනය කර තිබුණත්, එම වචනවලින් එහි පුළුල් අර්ථය නිවැරදිව හා පරිපූර්ණ ලෙස ප්‍රකාශ නොවේ. කෙසේවෙතත්, අර්ථය වඩාත් පුළුල් ලෙස කියවෙන “ප්‍රේමනීය කරුණාව” යනුවෙන් පරිවර්තනය කර තිබෙන යෙදුම, “එම වචනයේ සම්පූර්ණ අර්ථයට බොහෝ දුරට ආසන්නයි” කියා එක් පොතක (Theological Wordbook of the Old Testament) සඳහන් වේ. ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයොමු සටහන් සහිතව නමැති ඉංග්‍රීසි බයිබලයේ “ප්‍රේමනීය කරුණාව” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය සඳහා යෝග්‍ය වූ ආදේශක වචනයක් ලෙස “පක්ෂපාත ප්‍රේමය” නමැති යෙදුමද භාවිත කරයි.—නික්මයාම 15:13; ගීතාවලිය 5:7; NW පාදසටහන.

ඇල්ම සහ පක්ෂපාතකමට වඩා වෙනස්

3. ප්‍රේමනීය කරුණාව ඇල්මට වඩා වෙනස් වන්නේ කෙසේද?

3 පක්ෂපාතකම මෙන්ම ඇල්ම නොහොත් ප්‍රේමය වැනි ගුණාංගවලට ප්‍රේමනීය කරුණාව නැතහොත් පක්ෂපාත ප්‍රේමය කිට්ටු නෑකමක් දක්වයි. කෙසේවෙතත් ප්‍රේමනීය කරුණාවෙහි යම් වැදගත් වෙනසක් දැකිය හැකියි. ප්‍රේමනීය කරුණාව සහ ඇල්ම එකිනෙකට වෙනස් වන ආකාරය සලකා බලන්න. ඇලුම් කිරීම යන වචනය යම් දේවල්වලට හා සංකල්පවලටද යොදාගත හැකියි. ‘මුද්‍රිකපානයට හා තෙලට ඇලුම් කිරීම’ ගැනත් ‘ප්‍රඥාවට ප්‍රියවීම’ නැතහොත් ඇල්මක් දැක්වීම ගැනත් බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසාය. (හිතෝපදේශ 21:17; 29:3) නමුත් ප්‍රේමනීය කරුණාව පෙන්වන්නේ මිනිසුන්ට මිස සංකල්පවලට හෝ අප්‍රාණික දේවලට නොවේ. නිදසුනක් වශයෙන් යෙහෝවා ‘දහස් ගණන් පරම්පරා දක්වා දයාව [ප්‍රේමනීය කරුණාව, NW] පෙන්වන’ බව නික්මයාම 20:6හි සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ ප්‍රේමනීය කරුණාව පෙන්වන්නේ මිනිසුන්ට බවය.

4. ප්‍රේමනීය කරුණාව පක්ෂපාතකමට වඩා වෙනස් වන්නේ කෙසේද?

4 “ප්‍රේමනීය කරුණාව” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙහි “පක්ෂපාතකම” යන වචනයටත් වඩා පුළුල් අර්ථයක් ගැබ්ව තිබේ. ඇතැම් භාෂාවල “පක්ෂපාතකම” යන වචනය බොහෝ අවස්ථාවලදී යොදාගනු ලබන්නේ සේවකයෙකු තම ස්වාමියා කෙරෙහි දක්වන ආකල්පය විස්තර කිරීමටයි. නමුත් බයිබලයේ තොරතුරු සැලකිල්ලට ගැනීමේදී ප්‍රේමනීය කරුණාව යන වදනින් “බොහෝ අවස්ථාවලදී ඇඟවෙන්නේ උසස් කෙනෙකු විසින් ඔහු යටතේ සිටින අයට හෝ දුර්වලයන්ට හෝ අසරණයන්ට පෙන්වනු ලබන පක්ෂපාතකමයි” කියා එක් පර්යේෂකයෙකු පවසා තිබේ. මේ නිසයි, දාවිත් රජුට හැකි වූයේ යෙහෝවාට මෙසේ කන්නලව් කරන්න. “ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබළෙවුව මැනව. ඔබගේ [ප්‍රේමනීය, NW] කරුණාවෙන් මා ගැළෙවුව මැනව.” (ගීතාවලිය 31:16) මෙහිදී බලයෙන් උසස් තැනැත්තා වන යෙහෝවාගෙන් අසරණව සිටි දාවිත් ඉල්ලන්නේ ප්‍රේමනීය කරුණාව නොහොත් පක්ෂපාත ප්‍රේමය පෙන්වන්න කියාය. බලවත් කෙනෙකු කෙරෙහි බලපෑම් කරන්න අසරණ කෙනෙකුට නොහැකි බැවින්, අවශ්‍ය අවස්ථාවලදී ප්‍රේමනීය කරුණාව පෙන්වනු ලබන්නේ එය කළ යුතුම දෙයක් නිසා නොව, සිය කැමැත්තෙනි.

5. (අ) දෙවිගේ වචනයෙහි සඳහන් පරිදි ඔහුගේ ප්‍රේමනීය කරුණාවේ විශේෂ ලක්ෂණ මොනවාද? (ආ) යෙහෝවා ප්‍රේමනීය කරුණාව පෙන්වන ආකාරය සම්බන්ධයෙන් අප සලකා බලන්නේ කුමක්ද?

5 “නුවණ ඇත්තා කවුද?” කියා ගීතිකාකරු ඇසුවේය. ඔහු ඊට ප්‍රතිචාරය දක්වන්නේ “තමන් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවේ ක්‍රියාවලට අවධානය යොමු කරන බව ඔහු පෙන්වනු ඇත” කියා කියමින්ය. (ගීතාවලිය 107:43, NW) යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවේ ප්‍රතිඵලයක් හැටියට ගැළවීම හා ආරක්ෂාව අද්දැකීමට පුළුවන. (ගීතාවලිය 6:4; 119:88, 159; NW) දුෂ්කරතා අද්දකින විට ඒවායින් සහනය හා රැකවරණය ලබාගැනීමට අවශ්‍යම දෙයකි එම ගුණාංගය. (ගීතාවලිය 31:16, 21; 40:11; 143:12; NW) පාපවලට සමාව ලබාගත හැක්කේද එම ගුණාංගය නිසාය. (ගීතාවලිය 25:7, NW) බයිබලයේ සඳහන් ඇතැම් සිද්ධීන් හා බයිබල් පාඨ සලකා බලද්දී යෙහෝවා ප්‍රේමනීය කරුණාව පෙන්වන ආකාරය සම්බන්ධයෙන් මූලික කරුණු දෙකක් සොයාගත හැකියි. (1) එය පෙන්වනු ලබන්නේ නිශ්චිත ක්‍රියාවන් කිරීමෙනි. (2) එය අද්දකින්නේ ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ය.

ගැළවීම—ප්‍රේමනීය කරුණාව පෙන්වීමකි

6, 7. (අ) ලොත්ගේ සිද්ධියේදී යෙහෝවා ඔහුගේ ප්‍රේමනීය කරුණාව මහත් ලෙස පෙන්නුවේ කෙසේද? (ආ) ලොත් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව ගැන සඳහන් කළේ කිනම් අවස්ථාවේදීද?

6 යෙහෝවා ප්‍රේමනීය කරුණාව කොතෙක් දුරට පෙන්වනවාද කියා දැනගැනීමට තිබෙන හොඳම ක්‍රමය වන්නේ මේ ගුණාංගය ගැන ශුද්ධ ලියවිලිවල සඳහන් වාර්තා පරීක්ෂා කර බැලීමයි. ආබ්‍රහම්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත්ව සතුරු හමුදාවක් විසින් පැහැරගෙන ගිය බව උත්පත්ති 14:1-16හි අපට කියවීමට තිබේ. නමුත් ඒ අවස්ථාවේදී ආබ්‍රහම් ලොත්ව ගළවාගත්තේය. ලොත් සහ ඔහුගේ පවුලේ අය ජීවත් වෙමින් සිටි දුෂ්ටකම්වලින් ගහන වූ සොදොම් නගරය විනාශ කිරීමට යෙහෝවා තීරණය කළ අවස්ථාවේදී නැවතත් ලොත්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය.—උත්පත්ති 18:20-22; 19:12, 13.

7 සොදොම් නගරය විනාශ කිරීමට ටික වේලාවකට කලින් ලොත්ට හා ඔහුගේ පවුලේ අයට එම නගරයෙන් ආරක්ෂා සහිතව පිටව යෑමට යෙහෝවාගේ දූතයෝ මඟ සලසා දුන්හ. ඒ අවස්ථාවේදී ලොත් මෙසේ පවසන්නට විය. “ඔබගේ මෙහෙකරුවාට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ. මාගේ ප්‍රාණය රක්ෂා කිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණා කරන්නේය [ප්‍රේමනීය කරුණාව පෙන්වන්නේය, NW].” (උත්පත්ති 19:16, 19) එම වදන්වලින් ලොත් පිළිගත්තේ තමාව ගළවාගැනීමෙන් යෙහෝවා විශේෂාකාර ලෙස තමන්ට ප්‍රේමනීය කරුණාව පෙන්වූ බවයි. ඒ අවස්ථාවේදී දෙවි විසින් ප්‍රේමනීය කරුණාව පෙන්වනු ලැබුවේ ගැළවීම හා ආරක්ෂාව සලසා දීමෙනි.—2 පේතෘස් 2:7, 8.

යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව සහ ඔහු සපයන මඟ පෙන්වීම

8, 9. (අ) ආබ්‍රහම්ගේ සේවකයාට පැවරුණු කාර්යය වූයේ කුමක්ද? (ආ) දෙවිගේ ප්‍රේමනීය කරුණාව ඉල්ලා සේවකයා යාච්ඤා කළේ මන්ද? ඔහු යාච්ඤා කරමින් සිටියදී සිදු වූයේ කුමක්ද?

8 දෙවි ප්‍රේමනීය කරුණාව නොහොත් පක්ෂපාත ප්‍රේමය පෙන්වා තිබෙන තවත් අවස්ථාවක් ගැන උත්පත්ති 24වන පරිච්ඡේදයේ අපට කියවීමට තිබේ. ආබ්‍රහම් ඔහුගේ පුත් ඊසාක්ට තමන්ගේ නෑදෑයන් අතරින් භාර්යාවක් සොයාගැනීමට ඔහුගේ සේවකයාව පිටත් කර හැරීම ගැන එම පරිච්ඡේදයේ සඳහන් වේ. (ඡේද උත් 24:2-4) මේ සේවකයාට පැවරුණු කාර්යය දුෂ්කර එකක් වූවත් යෙහෝවාගේ දූතයන්ගේ මඟ පෙන්වීම ඔහුට ලැබෙන බවට ස්ථිර කරමින් ඔහුගේ බිය සැක දුරු කරන ලදි. (උත් 24:7වන ඡේදය) අවසානයේදී මේ සේවකයා “නාහොර්ගේ නුවරට” (හාරාන් හෝ ඒ අසල පිහිටි නුවරක්) නුදුරින් පිහිටි ළිඳක් අසලට ළඟා වූයේ ස්ත්‍රීන් වතුර ඇදීමට ඒ ළිඳ ළඟ පැමිණෙමින් සිටි වේලාවේදීයි. (ඡේද උත් 24:10, 11) ස්ත්‍රීන් ළිඳ ළඟට පැමිණෙනවා දකිද්දී තමන්ගේ ගමනේ තීරණාත්මක අවස්ථාවට තමන් පැමිණ තිබෙන බව ඔහු දැනගත්තේය. නමුත් හරි තැනැත්තියව තෝරාගැනීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ කෙසේද?

9 තමන්ට දෙවිගේ උපකාරය අවශ්‍ය බව වටහාගත් ආබ්‍රහම්ගේ සේවකයා මෙසේ යාච්ඤා කළේය. “මාගේ ස්වාමි වූ ආබ්‍රහම්ගේ දෙවි වූ යෙහෝවා, මේ දවසෙහි මාගේ ගමන සඵල කරමින් මාගේ ස්වාමි වූ ආබ්‍රහම්ට [ප්‍රේමනීය, NW] කරුණාව පෙන්නුව මැනව.” (උත් 24:12වන ඡේදය) ඒ අවස්ථාවේදී යෙහෝවා තම ප්‍රේමනීය කරුණාව පෙන්වනු ඇත්තේ කෙසේද? දෙවි විසින් තෝරාගනු ලබන තරුණියව හඳුනාගැනීම සඳහා විශේෂ ලකුණක් සේවකයා ඉල්ලා සිටියේය. (ඡේද උත් 24:13, 14) ඔහු යෙහෝවාගෙන් ඉල්ලා සිටිය දෙය එක් තරුණියක් ඒ විදිහටම කළේ, හරියට ඔහු යාච්ඤාවේදී පැවසූ දෙයට ඇය සවන් දීගෙන සිටියාක් මෙනි! (ඡේද උත් 24:15-20) පුදුමයට පත් සේවකයා ‘ඇය දෙස ඕනෑකමින් බලා සිටියේය.’ කෙසේවෙතත්, තවත් වැදගත් කරුණු කිහිපයක් තහවුරු කරගැනීමට අවශ්‍ය විය. මෙම රූමත් තරුණිය ආබ්‍රහම්ගේ ඥාතියෙක්ද? ඇය අවිවාහකද යන දේවල් ඒ කරුණු අතර විය. එනිසා ‘යෙහෝවා තමාගේ ගමන සඵල කළාද නැද්ද කියා දැනගන්නා පිණිස සේවකයා නිශ්ශබ්දව සිටියේය.’—ඡේද උත් 24:16, 21.

10. යෙහෝවා තමාගේ ස්වාමියාට ප්‍රේමනීය කරුණාව පෙන්වා තිබූ බවට ආබ්‍රහම්ගේ සේවකයා නිගමනය කළේ මන්ද?

10 ටික වේලාවකට පසු, මේ තරුණිය ඇයව හඳුන්වා දෙමින් මෙසේ පැවසුවාය. “මම වනාහි [ආබ්‍රහම්ගේ සහෝදරයා වූ] නාහොර් නිසා මිල්කා බිහි කළ පුත්‍රයා වූ බෙතුයෙල්ගේ දුව [වෙමි].” (උත්පත්ති 11:26; 24:24) යෙහෝවා තමාගේ යාච්ඤාවට උත්තර දී තිබූ බව ඒ අවස්ථාවේදී සේවකයා තේරුම්ගත්තේය. එය තදින්ම සේවකයාගේ සිතට වැදුණේය. ඔහු හිස නමා මෙසේ පවසන්නට විය. “මාගේ ස්වාමි වූ ආබ්‍රහම්ගේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා වේවා. මක්නිසාද ඔහු තමාගේ [ප්‍රේමනීය, NW] කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත් නොහැරියේය. මා වනාහි මාර්ගයේ සිටියදී යෙහෝවා මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙව්වේය.” (ඡේද උත් 24:27) දෙවි මේ සේවකයාගේ ස්වාමියා වූ ආබ්‍රහම්ට ප්‍රේමනීය කරුණාව පෙන්නුවේ මෙලෙස මඟ පෙන්වීම සැපයීමෙනි.

දෙවිගේ ප්‍රේමනීය කරුණාව මගින් සහනය හා ආරක්ෂාව ලැබීම

11, 12. (අ) යෝසෙප් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව ලැබුවේ කුමන ආකාරයේ පීඩා අද්දකිමින් සිටි කාලයේද? (ආ) යෝසෙප් අද්දුටු පීඩාවලදී යෙහෝවා ඔහුට ප්‍රේමනීය කරුණාව පෙන්නුවේ කෙසේද?

11 දැන් අපි උත්පත්ති 39වන පරිච්ඡේදය සලකා බලමු. මෙහි සඳහන් වන්නේ ආබ්‍රහම්ගේ මුනුපුරා වූ යෝසෙප් ගැනයි. ඔහුව මිසරයේ වහල්කමට විකුණන ලදි. එහෙත් යෙහෝවා යෝසෙප් සමඟ සිටියේය. (ඡේද උත් 39:1, 2) මිසර ජාතිකයෙකු වූ පෝතිඵර් නම් යෝසෙප්ගේ ස්වාමියා පවා නිගමනය කළේ යෙහෝවා යෝසෙප් සමඟ සිටි බවයි. (ඡේද උත් 39:3) කෙසේවෙතත්, යෝසෙප් බරපතළ පරීක්ෂණයකට මුහුණ දුන්නේය. පෝතිඵර්ගේ භාර්යාවට ලිංගිකව අඩන්තේට්ටම් කළ බවට එල්ල වූ බොරු චෝදනා නිසා ඔහුව සිරගත කරන ලදි. (ඡේද උත් 39:7-20) ඔහුව ‘ඇඳිරි සිරගෙයි දමා’ “ඔවුහු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය. ඔහු යදම්වලින් බඳින ලද්දේය.”—උත්පත්ති 40:15; ගීතාවලිය 105:18.

12 මේ වේදනාත්මක සිදුවීම අද්දකිමින් සිටි කාලයේදී සිදු වූයේ කුමක්ද? ‘යෙහෝවා යෝසෙප් සමඟ සිටිමින් ඔහුට දයාව [ප්‍රේමනීය කරුණාව දිගටම, NW] පෙන්නුවේය.’ (ඡේද උත් 39:21අ) ප්‍රේමනීය කරුණාව පෙන්වමින් කළ එක් විශේෂ ක්‍රියාවක් යම් සිදුවීම් මාලාවකට මඟ පෑදූ අතර, කාලයාගේ ඇවෑමෙන් එහි ප්‍රතිඵලයක් හැටියට යෝසෙප් අද්දකිමින් සිටි කරදරවලින් ඔහුට නිදහසක් ලැබිණ. යෙහෝවා යෝසෙප්ට ‘හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි කරුණාව’ ලැබෙන්න සැලැස්සුවේය. (ඡේද උත් 39:21ආ) සිරගෙදර මුලාදෑනියා යෝසෙප්ට යම් වගකීම් සහිත පැවරුමක් භාර දුන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. (ඡේද උත් 39:22) පසුව යෝසෙප්ට තවත් මිනිසෙකු හමු විය. කලකට පසු එම මිනිසා මිසරයේ පාලකයා වූ ඵාරාවෝට යෝසෙප් ගැන පැවසුවේය. (උත්පත්ති 40:1-4, 9-15; 41:9-14) මෙහි ප්‍රතිඵලයක් හැටියට, යෝසෙප් ගැන තමන්ට අසන්න ලැබුණු දේවල් සැලකිල්ලට ගනිමින් රජ ඔහුව මිසරයේ දෙවන පාලකයා ලෙස පත් කළේය. ඔහුට එවන් උසස් තනතුරක් ලැබුණු නිසා මිසර දේශයේ මහත් සාගතයක් ඇති වූ කාලයේදී එහි වැසියන්ගේ ජීවිත ගළවාගැනීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමට යෝසෙප්ට හැකි විය. (උත්පත්ති 41:37-55) යෝසෙප් වයස අවුරුදු 17දී අද්දකින්න පටන්ගත් දුක් හිරිහැර අවුරුදු 12කට වැඩි කාලයක් පුරා තිබුණේය. (උත්පත්ති 37:2, 4; 41:46) නමුත් යෝසෙප් දුක් පීඩා අද්දුටු කාලය පුරාම යෙහෝවා දෙවි ඔහුට ප්‍රේමනීය කරුණාව පෙන්නුවේය. දෙවි එසේ කළේ ඔහුගේ ජීවිතය අනතුරේ හෙළන ලද විපත්තිවලින් ඔහුව ආරක්ෂා කරගැනීමෙන් හා තමන්ගේ අරමුණ තුළ යම් වරප්‍රසාද ලත් කාර්යයක් ඉටු කිරීමට හැකි වන පරිදි ඔහුගේ ජීවිතය රැකගැනීමෙනි.

දෙවිගේ ප්‍රේමනීය කරුණාව සැමදා පවතී

13. (අ) ගීතාවලිය 136හි පෙන්වන ආකාරයට යෙහෝවා ප්‍රේමනීය කරුණාව පෙන්නුම් කළේ කෙසේද? (ආ) ප්‍රේමනීය කරුණාව පෙන්වීමෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද?

13 යෙහෝවා ජනතාවක් හැටියට ඉශ්‍රායෙල්වරුන්ට ඔහුගේ ප්‍රේමනීය කරුණාව නැවත නැවතත් පෙන්නුවේය. ඔහු ඔවුන්ට ප්‍රේමනීය කරුණාව පෙන්වමින් ගැළවීම (ඡේද ගීතා 136:10-15), මඟ පෙන්වීම (ඡේද ගීතා 136:16) සහ ආරක්ෂාව (ඡේද ගීතා 136:17-20) ලබා දුන් බව ගීතාවලිය 136වන පරිච්ඡේදයේ විස්තර කෙරේ. දෙවි ඔහුගේ ප්‍රේමනීය කරුණාව එක් එක් පුද්ගලයන්ටද පෙන්වා තිබේ. සෙසු අයට ප්‍රේමනීය කරුණාව පෙන්වන තැනැත්තෙකු එසේ කරන්නේ ඔවුන්ට අත්‍යවශ්‍ය වන යම් උපකාරයක් සිය කැමැත්තෙන්ම කිරීමෙනි. ප්‍රේමනීය කරුණාව ගැන බයිබලයේ සඳහන් වදන් ගැන විස්තර කරන එක් පොතක මෙසේ සඳහන් වේ. “මෙම ගුණාංගය ජීවිත රැක දෙයි. ශුභසිද්ධිය සලසයි. මෙම ගුණාංගය විදහාපෙන්වන තැනැත්තා අභාග්‍යසම්පන්න දෙයකට ලක් වූ කෙනෙකු හෝ දුක් පීඩාවක් අද්දකින කෙනෙකු වෙනුවෙන් මැදහත් වෙයි.” එක් විද්වතෙක් මේ ගුණාංගය විස්තර කරන්නේ “ක්‍රියාවට නඟනු ලබන ප්‍රේමය” ලෙසයි.

14, 15. ලොත් දෙවිගේ අනුමැතිය ලත් සේවකයෙකු වූ බව අපට නිසැකව පැවසිය හැක්කේ මන්ද?

14 අප පරීක්ෂා කර බැලූ උත්පත්ති වාර්තාවලින් පැහැදිලි වන්නේ තමන් ප්‍රේම කරන අයට ප්‍රේමනීය කරුණාව පෙන්වීමට යෙහෝවා කිසිවිටකත් අපොහොසත් නොවන බවයි. ලොත්, ආබ්‍රහම් සහ යෝසෙප් ජීවත් වූයේ වෙනස් තත්වයන් මධ්‍යයෙහි එකිනෙකට වෙනස් වූ පරීක්ෂණ අද්දකිමිනි. අසම්පූර්ණ මිනිසුන් වූවත්, ඔවුහු යෙහෝවාගේ අනුමැතිය ලත් සේවකයෝ වූහ. එමෙන්ම ඔවුන්ට දෙවිගේ උපකාරය අවශ්‍ය විය. අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා එවැනි අයට ප්‍රේමනීය කරුණාව පෙන්වන බව දැන සිටීම අපට සැනසිල්ලකි.

15 ලොත් අනුවණ තීරණ ගැනීම නිසා දුෂ්කරතා අද්දුටුවේය. (උත්පත්ති 13:12, 13; 14:11, 12) එසේ වුවද පැසසිය යුතු ගුණාංගද ඔහු විදහාපෙන්නුවේය. දෙවිගේ දූතයන් දෙදෙනෙකු සොදොම් නගරයට පැමිණි අවස්ථාවේදී ලොත් ඊට ප්‍රතිචාරය දැක්වූයේ ඔවුන්ට ආගන්තුක සත්කාරය දැක්වීමෙනි. (උත්පත්ති 19:1-3) සොදොමට පැමිණෙන්න ආසන්නව තිබූ විනාශය ගැන ඔහු ඇදහිල්ලෙන් යුතුව ඔහුගේ බෑනාවරුන්ට අනතුරු ඇඟෙව්වේය. (උත්පත්ති 19:14) දෙවි ලොත්ව සැලකුවේ කුමනාකාරයේ පුද්ගලයෙකු වශයෙන්ද කියා 2 පේතෘස් 2:7-10හි අපට මෙසේ කියවීමට තිබේ. ‘දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද, ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨ වූ ලොත්ව යෙහෝවා ගළවාගත්තේය. භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ට යෙහෝවා දන්නේය.’ ඔව්, ලොත් ධර්මිෂ්ඨ මිනිසෙක් විය. ඔහු ගැන සඳහන් ඉහත වදන්වලින් පෙනෙන්නේ ඔහු දේවභක්තික මිනිසෙකු වූ බවයි. අපත් ‘ශුද්ධ වූ හැසිරීම හා භක්තිවන්ත ක්‍රියා’ අප තුළින් දිස් වෙන්න සලස්වනවා නම් ලොත් මෙන් අපටත් දෙවිගේ ප්‍රේමනීය කරුණාව ලබන්න පුළුවනි.—2 පේතෘස් 3:11, 12.

16. බයිබලයේ ආබ්‍රහම් සහ යෝසෙප් ගැන සඳහන් කර තිබෙන්නේ පැසසුමට ලක් කරන කිනම් යෙදුම් යොදාගෙනද?

16 ආබ්‍රහම් යෙහෝවා සමඟ මොනතරම් සමීප සබඳතාවක් ඇති කරගෙන තිබුණාද කියා උත්පත්ති 24වන පරිච්ඡේදයේ සඳහන් වාර්තාවෙන් අපට මනාව පැහැදිලියි. ‘යෙහෝවා සියල්ලෙහිදී ආබ්‍රහම්ට ආශීර්වාද කර තිබූ’ බව මුල් වගන්තියේ සඳහන් වේ. ආබ්‍රහම්ගේ සේවකයා යෙහෝවාව ඇමතුවේ ‘මාගේ ස්වාමියා වූ ආබ්‍රහම්ගේ දෙවි’ කියාය. (ඡේද උත් 24:12, 27) ආබ්‍රහම්ව ‘ධර්මිෂ්ඨ කොට ගණන්ගනු ලැබූ’ බවත් ඔහුට ‘දෙවිගේ මිත්‍රයායයි කියනු ලැබූ’ බවත් ශ්‍රාවක යාකොබ් පවසයි. (යාකොබ් 2:21-23) මෙය යෝසෙප් සම්බන්ධයෙන්ද සැබෑවක් වේ. යෙහෝවා සහ යෝසෙප් අතර තිබූ සමීප සබඳතාව ගැන උත්පත්ති 39වන පරිච්ඡේදය පුරා අවධාරණය කෙරේ. (ඡේද උත් 39:2, 3, 21, 23) එපමණක්ද නොව, ශ්‍රාවක ස්තේපන් යෝසෙප් ගැන මෙසේ පැවසුවේය. ‘දෙවි ඔහු සමඟ සිටියේය.’—ක්‍රියා 7:10.

17. ලොත්, ආබ්‍රහම් සහ යෝසෙප් යන අයගේ ආදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

17 මේ දක්වා අප සලකා බැලූ දෙවිගේ ප්‍රේමනීය කරුණාව ලැබූ පුද්ගලයෝ යෙහෝවා දෙවි සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන ගිය අතර, දෙවිගේ අරමුණ ඉටු කිරීමට නොයෙක් ආකාරවලින් දායක වූහ. තමන්ගේම උත්සාහයෙන් ජයගත නොහැකි බාධා ඔවුන් හමුවෙහි විය. අනතුරු හමුවෙහි ලොත්ගේ ජීවිතය ආරක්ෂා විය. ආබ්‍රහම්ගේ පෙළපත අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට හැකි විය. යෝසෙප්ට ඔහුගේ කාර්යයන් සාර්ථකව කළ හැකි විය. මෙම දේවභක්තික මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකි වූයේ යෙහෝවාට පමණි. ඔහු එසේ කළේ ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ප්‍රේමනීය කරුණාව පෙන්වන ක්‍රියාවන් කිරීමෙනි. යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව සදහටම ලබන්න අප කැමති නම්, අපත් ඔහු සමඟ කිට්ටු සබඳතාවක් ඇති කරගනිමින් දිගටම ඔහුගේ කැමැත්ත කළ යුතුයි.—එස්රා 7:27, 28; ගීතාවලිය 18:50; NW.

දෙවිගේ සේවකයෝ කරුණාව ලබති

18. යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව ගැන විවිධ බයිබල් පාඨවලින් ඇඟවෙන්නේ කුමක්ද?

18 යෙහෝවාගේ ‘[ප්‍රේමනීය, NW] කරුණාවෙන් පොළොව පිරී තිබේ.’ දෙවි මෙම ගුණාංගය පෙන්වීම ගැන අප ඔහුට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! (ගීතාවලිය 119:64) අපි මුළු හදින්ම ගීතිකාකරුගේ මේ වදන් ප්‍රතිරාවය කරමු. “යෙහෝවාගේ යහපත්කම [ප්‍රේමනීය කරුණාව, NW] හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ ඔහුට ස්තුති කෙරෙත්වා.” (ගීතාවලිය 107:8, 15, 21, 31) එක් එක් පුද්ගලයන් හැටියට හෝ කණ්ඩායමක් හැටියට හෝ යෙහෝවා ඔහුගේ ප්‍රේමනීය කරුණාව ඔහුගේ අනුමැතිය ලත් සේවකයන්ට පෙන්වීම ගැන අපි ප්‍රීති වන්නෙමු. අනාගතවක්තෘ දානියෙල් යාච්ඤා කරද්දී යෙහෝවාව ඇමතුවේ “ඔබට ප්‍රේම කොට ඔබගේ ආඥා රක්ෂා කරන්නන්ට ගිවිසුමත් [ප්‍රේමනීය, NW] කරුණාවත් පවත්වන්නාවූ මහත් වූ භයංකර වූ [සැබෑ, NW] දෙවි” කියාය. (දානියෙල් 9:4) ‘ඔබව අඳුනන්නන්ට ඔබගේ [ප්‍රේමනීය, NW] කරුණාව දිගටම පෙන්නුව මැනව’ කියා දාවිත් රජ යාච්ඤා කළේය. (ගීතාවලිය 36:10) යෙහෝවා ඔහුගේ සේවකයන්ට ප්‍රේමනීය කරුණාව පෙන්වීම ගැන අප ඔහුට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!—1 රාජාවලිය 8:23; 1 ලේකම් 17:13; NW.

19. ඊළඟ ලිපියේදී අප සලකා බලන්නේ කුමන ප්‍රශ්න ගැනද?

19 ඇත්තෙන්ම යෙහෝවාගේ ජනයා වශයෙන් අප කරුණාව ලැබූ සෙනඟකි. පොදුවේ දෙවි මනුෂ්‍යවර්ගයාට පෙන්වා තිබෙන ප්‍රේමයෙන් අප ප්‍රයෝජන ලබනවාට අමතරව, අපේ ස්වර්ගික පියා පෙන්වන ප්‍රේමනීය කරුණාව නොහොත් පක්ෂපාත ප්‍රේමය නිසා අපි විශේෂ ආශීර්වාද භුක්ති විඳින්නෙමු. (යොහන් 3:16) විශේෂයෙන්ම අපට උපකාරය අත්‍යවශ්‍ය වන අවස්ථාවලදී යෙහෝවාගේ එම අනර්ඝ ගුණාංගයෙන් අපි ප්‍රයෝජන ලබමු. (ගීතාවලිය 36:7, NW) එනමුත් යෙහෝවා දෙවිගේ ප්‍රේමනීය කරුණාව අපට අනුකරණය කළ හැක්කේ කෙසේද? අප එක් එක්කෙනා පෞද්ගලිකව මෙම අපූර්ව ගුණාංගය විදහාපෙන්වමින් සිටිනවාද? මෙම ප්‍රශ්න හා මීට අදාළ වෙනත් ප්‍රශ්න ගැන ඊළඟ ලිපියේදී සලකා බලනු ඇත.

ඔබට මතකද?

• “ප්‍රේමනීය කරුණාව” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයට යෝග්‍ය ආදේශයක් ලෙස යොදාගත හැකි යෙදුම කුමක්ද?

• ප්‍රේමනීය කරුණාව ඇල්ම හා පක්ෂපාතකමට වඩා වෙනස් වන්නේ කෙසේද?

• යෙහෝවා ලොත්, ආබ්‍රහම් සහ යෝසෙප් යන අයට ප්‍රේමනීය කරුණාව පෙන්නුවේ කිනම් ආකාරවලින්ද?

• අතීතයේදී යෙහෝවා ප්‍රේමනීය කරුණාව පෙන්වා තිබෙන ආකාරය සලකා බලන විට අපට ඇති කරගත හැකි නිසැකකම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

දෙවි ලොත්ට ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ කෙසේද කියා ඔබ දන්නවාද?

[15වන පිටුවේ පින්තූර]

යෙහෝවා ප්‍රේමනීය කරුණාව පෙන්වමින් ආබ්‍රහම්ගේ සේවකයාට මඟ පෙන්නුවේය

[16වන පිටුවේ පින්තූර]

යෙහෝවා යෝසෙප්ට ප්‍රේමනීය කරුණාව පෙන්නුවේ ඔහුව ආරක්ෂා කිරීමෙනි