Skip to content

පටුනට යන්න

විශිෂ්ට වර්ධනයක් සමඟම කඩිනම් ව්‍යාප්ත කිරීමක අවශ්‍යතාවක්

විශිෂ්ට වර්ධනයක් සමඟම කඩිනම් ව්‍යාප්ත කිරීමක අවශ්‍යතාවක්

‘මාවෙතට එන්න, මම ඔබට සහනය දෙමි’

විශිෂ්ට වර්ධනයක් සමඟම කඩිනම් ව්‍යාප්ත කිරීමක අවශ්‍යතාවක්

‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි’ යනුවෙන් යේසුස් ක්‍රිස්තුස් පැවසීය. (මතෙව් 11:28) ක්‍රිස්තියානි සභාවේ හිස විසින් කරනු ලබන එම ආරාධනාව මොනතරම් හද කුල්මත් කරවන්නක්ද! (එපීස 5:23) එම වදන් ගැන හොඳින් සිතා බලද්දී, ප්‍රබෝධය ගෙන දෙන අතිවැදගත් උල්පතක් අගය කිරීමට අපි පෙලඹෙන්නෙමු. එම උල්පත වන්නේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී අපේ ආත්මික සහෝදර සහෝදරියන් තුළින් අප ලබන ඇසුරය. “සහෝදරයන් එකමුතුව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රියජනකද!” යයි ගැයූ ගීතිකාකරුගේ වදන් සමඟ අප එකඟ වනවා නිසැකයි.—ගීතාවලිය 133:1, NW.

නමස්කාරය සඳහා එක් රැස් වන එම අවස්ථාවලදී අපට ඇසුරු කරන්න ලැබෙන අය අපට හමු විය හැකි හොඳම ආශ්‍රිතයන් වන බව නොඅනුමානයි. එමෙන්ම රැස්වීම්වලදී පවතින ආත්මික වාතාවරණය සිතට සතුටක් මෙන්ම සුරක්ෂිතබවක්ද ගෙන දේ. එක් යෞවන සාක්ෂිකාරියක් මෙසේ පැවසුවේ හොඳ හේතු ඇතුවය. “මම දවසේ වැඩි හරියක්ම ගත කරන්නේ ඉස්කෝලේ නිසා සෑහෙන පීඩනයකට ලක් වෙනවා. ඒ නිසා රැස්වීම් කාන්තාරයක තියෙන ක්ෂේම භූමියක් වගෙයි. ඊළඟ දවසේ ඉස්කෝලේදී ඇති වන අභියෝගවලට මුහුණ දෙන්න මට රැස්වීම්වලින් පුදුම ශක්තියක් ලැබෙනවා.” නයිජීරියාවේ යෞවනියක් පැවසුවේ, “යෙහෝවාට ප්‍රේම කරන අයත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන එක, ඔහුට ළං වෙලා ඉන්න මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා” යන්නයි.

සැබෑ නමස්කාරයේ මධ්‍යස්ථානයක් සඳහා ප්‍රජාවේ දැඩි අවශ්‍යතාවක් තිබෙන අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාව මගින් එම අවශ්‍යතාව සපුරාලයි. බොහෝ රාජ්‍ය ශාලාවලදී අඩුම තරමින් සතියකට දෙවරක් රැස්වීම් පවත්වයි. හැකි තාක් ඉක්මනට රාජ්‍ය ශාලාවට පැමිණ, එහිදී ලැබෙන ප්‍රබෝධවත් ඇසුරෙන් ප්‍රයෝජන ගන්නා ලෙස බයිබල් ශිෂ්‍යයන්ට දිරිගන්වනු ලැබේ.—හෙබ්‍රෙව් 10:24, 25.

හදිසි අවශ්‍යතාවක්

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාටම පහසුකම් සහිත රාජ්‍ය ශාලා නොමැති වීම කනගාටුවට කරුණකි. ලෝක ව්‍යාප්තව රාජ්‍ය ප්‍රකාශකයන්ගේ සංඛ්‍යාවේ විශිෂ්ට වර්ධනයක් අද්දැක තිබෙන නිසා හදිසි අවශ්‍යතාවක් පැනනැඟ තිබේ. මේ වන විටත් විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය ශාලා දහස් ගණනක අවශ්‍යතාවක් ඇත.—යෙසායා 54:2; 60:22.

නිදසුනකට, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ අගනුවර තුළ සභා 290ක් ඇති නමුත් රාජ්‍ය ශාලා තිබෙන්නේ දහයක් පමණයි. රාජ්‍ය ශාලා බොහොමයක් සඳහා හදිසි අවශ්‍යතාවක් එම රට තුළ තිබිණ. ඇන්ගෝලාවේ රාජ්‍ය ශාලා සීමිත සංඛ්‍යාවක් පමණක් තිබෙන නිසා බොහෝ සභා රැස්වීම් පවත්වන්නේ එළිමහනේය. තවත් රටවල් ගණනාවකද එවන් අවශ්‍යතාවක් පැනනැඟ තිබේ.

එමනිසා 1999 සිට සීමිත සම්පත් තිබෙන රටවල රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කටයුතුවලට සහය දැක්වීම සඳහා සංවිධානාත්මක ප්‍රයත්නයක් දරා ඇත. එවන් රටවල ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට සහයෝගය දැක්වීම සඳහා අද්දැකීම් ලත් සාක්ෂිකරුවන් තම සේවාවන් ස්වේච්ඡාවෙන් පිරිනමා තිබේ. කැමැත්තෙන් ඉදිරිපත් වන ප්‍රාදේශීය ස්වේච්ඡා සේවකයන්ද එම ප්‍රයත්නයට අත හිත දීම නිසා ලැබෙන ප්‍රතිඵල ඉතා දිරිගන්වනසුලුයි. ප්‍රාදේශීය සාක්ෂිකරුවන්ද තමන්ට ලැබෙන පුහුණුව මගින් ඉමහත් ප්‍රයෝජන අත් කරගෙන ඇත. මේ සියල්ල, රාජ්‍ය ශාලා ඉදි කිරීම සඳහා තමන්ගේ රටවල තිබෙන අවශ්‍යතාව සපුරාලීමට මහෝපකාරි වේ.

මෙලෙස, නම්‍යශීලී ලෙස ප්‍රාදේශීය ඉදි කිරීමේ ක්‍රම හා ගොඩනැඟිලි ද්‍රව්‍ය උපයෝගි කරගනිමින් රාජ්‍ය ශාලා ඉදි කිරීම සඳහා ප්‍රායෝගික උපකාරය පිරිනමනු ලබයි. ඉලක්කය වන්නේ රාජ්‍ය ශාලා සඳහා තිබෙන දැඩි අවශ්‍යතාව පිරිමසා ගැනීමට පමණක් නොව ප්‍රාදේශීය තත්වයන්ට ගැළපෙන සේ ශාලාව සුදුසු තත්වයක පවත්වාගෙන යෑම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමයි.—2 කොරින්ති 8:14, 15.

දිරිගන්වනසුලු ප්‍රතිඵල

නමස්කාරය සඳහා සුදුසු ස්ථාන සැපයීමට දරන මෙම වෑයම්වලින් අත් කරගෙන තිබෙන ප්‍රතිඵල කුමක්ද? වර්ෂ 2001 ආරම්භ වෙනවාත් සමඟම, මලාවිවලින් ලැබූ වාර්තාවක මෙසේ පවසා තිබිණ. “මෙම රටේ කිරීමට සමත් වී ඇති දේ ඇත්ත වශයෙන්ම විශිෂ්ටයි. මතු පැමිණෙන මාස දෙකේදී අපි තවත් රාජ්‍ය ශාලා කිහිපයක ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.” (1වන සහ 2වන පින්තූර) මෑත මාසවලදී චාම් රාජ්‍ය ශාලා කිහිපයක් ඉදි කිරීමට ටෝගොහි ස්වේච්ඡා සේවකයන් සමත් වී තිබේ. (3වන පින්තූරය) මෙක්සිකෝවේ, බ්‍රසීලයේ සහ වෙනත් රටවල පහසුකම් සහිත රාජ්‍ය ශාලා ඉදි කිරීමට සහයෝගය දක්වන ස්වේච්ඡා සේවකයෝද අගනා සේවයක් පිරිනමති.

යම් ප්‍රදේශයක රාජ්‍ය ශාලාවක් ඉදි කළ පසු යෙහෝවාගේ සාක්ෂිකරුවන් එහි ස්ථිරව රැඳී සිටින බව එම ප්‍රදේශයේ ජනයාට වැටහී යයි. බොහෝ සභාවල අද්දැකීම වී තිබෙන්නේ එයයි. නමස්කාරය සඳහා සුදුසු ස්ථානයක් සාදන තෙක් සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීමට බොහෝදෙනෙකු අදිමදි කර ඇති බව පෙනී ගොස් ඇත. මලාවිහි නෆීසි සභාව වාර්තා කරන්නේ මෙලෙසයි. “අපිට දැන් ලස්සන රාජ්‍ය ශාලාවක් තිබෙන නිසා කදිම සාක්ෂියක් දැරීමට මෙය මඟ පාදා තිබෙනවා. ඒ නිසා ජනයා සමඟ බයිබල් පාඩම් ඇරඹීමත් පහසුයි.”

බෙනින්හි ක්‍රාක් සභාව අතීතයේ දැඩි අපහාසයට ලක් වූයේ සමහර පල්ලි සමඟ සසඳද්දී ඔවුන්ට කලින් තිබූ රාජ්‍ය ශාලාව බාල ගොඩනැඟිල්ලක් මෙන් පෙනෙන්ට තිබූ නිසයි. (4වන පින්තූරය) දැන් එම සභාවට කදිම අලුත් රාජ්‍ය ශාලාවක් තිබෙන අතර එය චාම් නමුත් ගෞරවාන්විත ආකාරයකින් සැබෑ නමස්කාරය නියෝජනය කරයි. (5වන පින්තූරය) මෙම සභාවෙහි රාජ්‍ය ප්‍රකාශකයන් 34දෙනෙක් සිටින අතර ඉරිදා රැස්වීම්වලට සාමාන්‍යයෙන් 73දෙනෙකු පමණ පැමිණේ. එහෙත් රාජ්‍ය ශාලාවේ කැප කිරීමේ දිනයට 651දෙනෙක් පැමිණ සිටියහ. එසේ පැමිණ සිටි සංඛ්‍යාව අතර වැඩි පිරිසක් වූයේ ඉතා කෙටි කාලයක් ඇතුළත සාක්ෂිකරුවන්ට ශාලාවක් ඉදි කිරීමට හැකිවීම ගැන පුදුමයට පත් වූ ගම් වැසියන්ය. මේ සම්බන්ධව පසුගිය කාලවලදී අත් කරගෙන තිබෙන ප්‍රතිඵල ගැන සිම්බාබ්වේ ශාඛා කාර්යාලය මෙසේ පවසයි. “අලුත් රාජ්‍ය ශාලාවක් සාදා මාසයක් ගත වෙන්නත් කලින් රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වෙනවා.”—6වන හා 7වන පින්තූරු.

මෙම අලුත් රාජ්‍ය ශාලා කැප වූ ක්‍රිස්තියානීන්ට පමණක් නොව උනන්දුව දක්වන බොහෝදෙනෙකුටද ආත්මික ප්‍රබෝධය ලබා දීමට මහෝපකාරි වන බව නිසැකයි. යුක්රේනයේ සාක්ෂිකරුවන් තම අලුත් රාජ්‍ය ශාලාව භාවිත කිරීමට පටන්ගත් පසු එක් සාක්ෂිකාරියක් මෙසේ පැවසුවාය. “අපිට ලොකු සතුටක් දැනෙනවා. අපි අපේ ඇස් දෙකෙන්ම දුටුවා යෙහෝවා ඔහුගේ ජනයාට උපකාර කරන අන්දම.”

[10, 11වන පිටුවේ කොටුව⁄පින්තූර]

නිර්ලෝභි සහයෝගය අගය කරනු ලැබේ

ලෝ පුරා අලුත් රාජ්‍ය ශාලා සඳහා ඇති හදිසි අවශ්‍යතාව සපුරාගැනීමේදී අත් කරගෙන තිබෙන ශීඝ්‍ර ප්‍රගතිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඉමහත් ප්‍රීතියකි. විවිධ රටවල යෙහෝවාගේ නමස්කාරකයන්ගේ සංඛ්‍යාවෙහි නිරන්තර වර්ධනයක් අද්දකින නිසා අනාගතයේදීද අලුත් රාජ්‍ය ශාලා ගණනාවක් ඉදි කිරීමට සිදු වේ. උදාහරණයකට, 2001 සේවා වසරේදී සෑම සතියකදීම අලුත් සභා 32ක සාමාන්‍යයක් දක්නට තිබිණ! එම සභාවලට එක් රැස් වීමට හා නමස්කාර කිරීමට සුදුසු ස්ථාන අවශ්‍ය වේ.

යමෙකු මෙම ප්‍රශ්නය නැඟිය හැක. ‘විශේෂයෙන්ම සීමිත සම්පත් තිබෙන රටවල සිටින සහෝදරයන්ට අලුත් රාජ්‍ය ශාලා ඉදි කිරීම වැනි ව්‍යාපෘති සඳහා මුදල් ලැබෙන්නේ කොහොමද?’ මෙය ඉටු කිරීමට හැකි වී තිබෙන්නේ දෙවිගේ සහයෝගය මෙන්ම මනුෂ්‍යයන්ගේ නිර්ලෝභි සම්මාදම් තුළිනි.

යෙහෝවා තම පොරොන්දුවට එකඟව තම සේවකයන් කෙරෙහි ශුද්ධාත්මය වගුරුවයි. එමගින් “යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගිවන්තව, බෙදා දීමට ලැදිව සිටින්ටත්” ඔවුන්ට හැකි වී තිබේ. (1 තිමෝති 6:18) රාජ්‍ය දේශනා වැඩයට හැකි පමණින් උපකාර කිරීමට දෙවිගේ ආත්මය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පොලඹවයි. ඔවුහු ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සඳහා තම කාලය, ශක්තිය, පෞද්ගලික ශ්‍රමය හා වෙනත් සම්පත් පරිත්‍යාග කරති.

ව්‍යාප්ත කිරීමේ සහ ඉදි කිරීමේ වැඩයට සහයෝගය දැක්වීම සඳහා සාක්ෂිකරුවන්ව හා වෙනත් අයව පොලඹවන්නේ ඔවුන්ගේ පරිත්‍යාගශීලී ස්වභාවයයි. තමන්ගේ සභාවල වියහියදම් දැරීමට උපකාර කරනවාට අමතරව ඔවුන් ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිදු කරන ඉදි කිරීමේ වැඩ කටයුතුවලටද දායක වෙයි.

සෑම සභාවකම “ලෝක ව්‍යාප්ත වැඩය සඳහා සම්මාදම්—මතෙව් 24:14.” යන පැහැදිලි ලේබලය සහිත සම්මාදම් පෙට්ටි දැකගත හැකියි. යමෙකුට කැමති නම් ඔහුට එම පෙට්ටිවලට ස්වේච්ඡා සම්මාදම් දැමිය හැකියි. (2 රාජාවලිය 12:9) සුළු හෝ විශාල හෝ වේවා සෑම සම්මාදමක්ම අගය කරනු ලැබේ. (මාර්ක් 12:42-44) මෙම සම්මාදම් රාජ්‍ය ශාලා ඉදි කිරීම ඇතුළුව විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදාගනු ලැබේ. මෙම සම්මාදම්වලින් විධායකයන්ට වැටුප් ගෙවීමක් කෙරෙන්නේ නැත. මන්ද යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර එවන් අය නොසිටී.

ලෝක ව්‍යාප්ත වැඩය සඳහා දෙනු ලබන සම්මාදම් මගින් බලාපොරොත්තු වන අරමුණ ඉටු කෙරේද? එසේ ඉටු කෙරෙන බව නිසැකවම පැවසිය හැක. සිවිල් යුද්ධයෙන් පීඩා විඳින ලයිබීරියාවේ ශාඛා කාර්යාලය වෙතින් පැමිණි වාර්තාවකට අනුව, එම ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගෙන් බහුතරයක්ම විරැකියාව හා දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙති. මෙම රටේ යෙහෝවාගේ ජනයාට නමස්කාරය සඳහා සුදුසු ස්ථාන ලබාගත හැකි වන්නේ කෙසේද? “වෙනත් රටවල සහෝදරයන්ගේ නිර්ලෝභි සම්මාදම් එම වැඩය සඳහා යොදාගන්නවා” යයි ශාඛා කාර්යාලය සඳහන් කරයි. “එය මොනතරම් ප්‍රඥාවන්ත හා ප්‍රේමනීය විධිවිධානයක්ද!”

ආර්ථික අගහිඟකම්වලට මුහුණ දුන්නත් එම ප්‍රදේශවල සහෝදරයෝ පවා සම්මාදම් කිරීමට කැමැත්තක් දක්වති. සියෙරා ලියෝන් නම් අප්‍රිකානු රටෙන් මෙම වාර්තාව පැමිණේ. “ප්‍රදේශයේ සිටින සහෝදරයෝ මෙම වෑයමට අත හිත දෙමින් රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩ කටයුතු සඳහා ශ්‍රමය හා මූල්‍යමය අතින් තමන්ට දිය හැකි සෑම උපකාරයක්ම පිරිනැමීමට සතුටු වෙති.”

අවසානයේදී ඉදි කිරීම සඳහා දරන මෙම වෑයම් ප්‍රශංසාව ගෙන දෙන්නේ යෙහෝවාටයි. ලයිබීරියාවේ සහෝදරයන් ඉතා උද්‍යෝගයෙන් පවසන්නේ මෙලෙසයි. “රට පුරාම නමස්කාරය සඳහා සුදුසු ස්ථාන ඉදි කිරීම මගින් මෙම රටේ සැබෑ නමස්කාරය ස්ථිරවම පවතින බවට ජනයාට සාක්ෂියක් වන අතර එය දෙවිගේ උත්කෘෂ්ට නාමය අලංකාරවත් කිරීමටද ගෞරවයට පත් කිරීමටද දායක වේ.”