දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් ලද ආශීර්වාද
ජීවිත කතාව
දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් ලද ආශීර්වාද
පැවසුවේ විලියම් අයිහිනෝරියා
මැදියම් රැයේ තාත්තාගේ වේදනාබර හඬට මම ඇහැරුණා. තාත්තාට නිතර ඒ වේදනාව දැනෙනවා. ඒ වෙලාවේ තාත්තා බඩ තද කරගෙන බිම පෙරළුණා. අම්මයි, මගේ අක්කයි, මමයි ඔහු ළඟට වෙලා කිසිවක් කර කියාගත නොහැකිව බලාගෙන හිටියා. වේදනාව ටිකක් අඩු වෙනකොට ඔහු කෙළින් ඉඳගෙන සුසුමක් හෙළා මෙහෙම කිව්වා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විතරයි මේ පොළොවේ සාමය තියෙන්නේ.” කියපු දේ ටිකක් අමුතුයි. මම කවමදාකවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන අහලා තිබුණේ නැහැ. ඒ නිසා ඔහු කියපු දේ මගේ හිතට තදින්ම කාවැදුණා. තාත්තා අදහස් කළේ මොනවද කියලා මම කල්පනා කළා.
මේ සිද්ධිය වුණේ 1953දී. එතකොට මට වයස අවුරුදු හයයි. මගේ තාත්තට භාර්යාවන් කිහිපදෙනෙක් හිටියා. අපි හිටියේ නයිජීරියාවේ ටිකක් බටහිරට වෙන්න තිබුණ ඊවෝසා කියන කෘෂිකාර්මික ගමේ. භාර්යාවන් තුන්දෙනෙක් සහ දරුවන් දහතුන්දෙනෙක් හිටිය පවුලේ දෙවෙනි දරුවා වගේම පළවෙනි පිරිමි දරුවාත් මම. සීයාගේ පිදුරු සෙවිලි කළ මැටි නිවසේ තමයි අපි ජීවත් වුණේ. එහි කාමර හතරක් තිබුණා. ආච්චියි, තාත්තගේ සහෝදරයන් තුන්දෙනයි එයාලගේ පවුලේ උදවියයි සේරම ජීවත් වුණේ මේ ගෙදර.
මගේ ජීවිතේ මුල් කාලය ඉතාමත් දුක්බරයි. එයට මූලික හේතුව තාත්තාගේ අසනීපය. ඔහුට දරුණු බඩේ අමාරුවක් තිබුණා. ඒ අමාරුව මරණය දක්වා අවුරුදු ගණනාවක්ම අද්දැක්කා. අප්‍රිකානු ගොවි පවුලකට පුළුවන් හැටියට ආයුර්වේද සහ පාරම්පරික ප්‍රතිකාර කළත් කිසිම වෙනසක් සිදු වුණේ නැහැ. බොහෝ දවස්වලට රාත්‍රියේ තාත්තා එළිවෙනකම් වේදනාවෙන් බිම පෙරළි පෙරෙළි ඉන්නකොට අපි අඬ අඬා බලාගෙන ඉන්නවා. ඔහුගේ අසනීපයට බෙහෙත් හොයන්න අම්මාත් එක්ක ඔහු ගමන් බිමන් යනකොට මාවයි මගේ
සහෝදර සහෝදරියන්වයි ආච්චිත් එක්ක තමයි තියලා ගියේ.අපේ පවුල ජීවත් වුණේ බතල, මඤ්ඤොක්කා, කෝලා ඇට වගා කර විකුණා ලබාගත් ආදායමෙන්. අපේ හිඟන ආදායම වැඩි කරගන්න අපි රබර් කිරිත් කැපුවා. අපේ ප්‍රධාන ආහාරය වෙලා තිබුණේ බතල. උදේට බතල. දවල්ට බතල පිටි කරලා. රෑටත් බතල. ඉඳලා හිටලා පුලුස්සපු කෙසෙල් ගෙඩි ලැබෙනවා.
මුතුන්මිත්තන්ට නමස්කාර කිරීම අපේ ජීවිතේ ප්‍රධාන දෙයක් වී තිබුණා. අපේ පවුලේ අය වර්ණවත් බෙල්ලන්ගේ කටු රැඳවූ කෝටු ඉදිරියෙහි ආහාර පාන පූජා කළා. අපි මුතුන්මිත්තන්ට නමස්කාර කළේ එහෙමයි. දුෂ්ට ආත්මයන්ගේ සහ මායාකාරියන්ගේ බලපෑම්වලින් නිදහස් වීමට තාත්තා රූපයකටත් නමස්කාර කළා.
මට අවුරුදු පහක් විතර වෙනකොට අපි ටික කාලයකට කිලෝමීටර 11ක් විතර එහායින් තිබුණු ගොවි ජනපදයකට පදිංචියට ගියා. එහිදී තාත්තාට ගිනි පණු රෝගය වැළඳුණා. (guinea worm) මෙය ඔහුට තිබූ බඩේ ලෙඩේ තවත් උත්සන්න කළා. ඔහුට දවල් කාලයේ වැඩ කරන්න බැරුව ගියා විතරක් නෙවෙයි ඔහු රෑටත් බඩේ අමාරුවෙන් පීඩා වින්දා. මට ටයිෆස් වර්ගයේ උණක් හැදුණා. එම උණ සෑදෙන්නේ කිනිතුල්ලන්ගෙන්. මේ නිසා නෑදෑයින්ගේ උදව් උපකාරයෙන් තමයි ජීවත් වුණේ. බැරිම තැන අපි අපේ ගමට ගියා. මම වැඩිමහල් පුතා නිසා තාත්තට ඕනෑ වුණා නිකම්ම ගොවියෙක් වෙනවාට වඩා මම යමක් කමක් කරගන්න පුළුවන් කෙනෙක් වෙනවා දකින්න. මට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නොත් පවුලේ ජීවන තත්වය ඉහළ නංවන්නත් සහෝදර සහෝදරියන්ට උදව් කිරීමටත් හැකි වෙයි කියලා ඔහු හිතුවා.
විවිධ ආගමික පසුබිම්
අපේ ගමට ගියායින් පසු මගේ පාසැල් කටයුතු කරගෙන යෑමට හැකි වුණා. මේ නිසා ක්‍රිස්තියානි ලෝකයේ ආගම් ගැන දැනගන්න අවස්ථාව ලැබුණා. වර්ෂ 1950 ගණන්වලදී බටහිර අධ්‍යාපනය ලබන විට යටත්විජිත පාලකයින්ගේ ආගම නොඅදහා ඉන්න හැකි වුණේ නැහැ. මම අධ්‍යාපනය ලැබුවේ කතෝලික ප්‍රාථමික පාසැලක නිසා මට රෝමානු කතෝලිකයෙක් වෙන්න සිදු වුණා.
වර්ෂ 1966 වෙනකොට මට අවුරුදු 19යි. ඒ කාලයේදී මම අපේ ගමෙන් කිලෝමීටර 8ක් පමණ එහායින් තිබෙන ඊවෝහින්මී නගරයේ බැප්ටිස්ට් පාසැලට ගියා. එහිදී තමයි මගේ ආගමික අධ්‍යාපනය වෙනස් වුණේ. මම රෙපරමාදු පාසැලට ගිය නිසා කතෝලික පූජකවරයා ඉරිදා පූජාවට සහභාගි වෙන්න මට ඉඩ දුන්නේ නැහැ.
මෙම බැප්ටිස්ට් පාසැලේ ඉගෙනගන්න කාලයේ මට පළමු වතාවට බයිබලය කියවන්න ලැබුණා. මම දිගටම කතෝලික පල්ලියට ගියත් ඉරිදා පූජාවෙන් පස්සේ මම තනියම බයිබලය කියෙව්වා. යේසුස්ගේ ඉගැන්වීම් මගේ හිතට කාවැදුණ අතර දේවභක්තික, අර්ථවත් ජීවිතයක් ගත කිරීමට මගේ සිතේ ආශාවක් ඇති වුණා. මම බයිබලය කියවන්න කියවන්න ආගමික නායකයන්ගේ කුහකකම් ගැනත් එම ආගම් අදහන අයගේ අනාචාර ජීවන රටාව ගැනත් මට කලකිරීමක් ඇති වුණා. ක්‍රිස්තියානීන් කියලා කියාගත් අය අතරෙත්, යේසුස් සහ ඔහුගේ ගෝලයන් ඉගැන්වූ හා පිළිපැද්ද දේවල් අතරෙත් ලොකු වෙනසක් තියෙනවා කියලා මම දැක්කා.
සිදු වෙච්ච සමහරක් දේවල් මාව විස්මයට පත් කළා. එක අවස්ථාවක මම කොන්තයක් මිල දී ගැනීමට ආගමික බඩු තිබෙන සාප්පුවකට ගියා. එතකොට මම දැක්කා එම සාප්පුවේ දොරේ ජූජූ යන්තරයක් (මන්තර සඳහා යොදාගන්න යන්ත්‍රයක්) එල්ලලා තියෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක බැප්ටිස්ට් පාසැලේ විදුහල්පති මාව ලිංගිකව දූෂණය කරන්න තැත් කළා. ඔහු සමලිංගිකයෙක්. ඒ වගේම කලින් වෙනත් අයව දූෂණය කර තිබෙනවා කියා මම දැනගත්තේ පස්සේ. මම මෙහෙම හිතුවා. ‘සාමාජිකයන් සහ එහි නායකයන් පවා කරන දරුණු පාප ගැන එතරම් තැකීමක් නොකරන ආගම් දෙවි පිළිගන්නවාද?’
ආගම වෙනස් කරගැනීම
කොහොමවුණත්, මම බයිබලයෙන් කියවා දැනගත් දේවලට ආස කළා. මම තීරණය කළා දිගටම බයිබලය කියවන්න. ඒ කාලයේදී තමයි මම “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විතරයි මේ පොළොවේ සාමය තියෙන්නේ” කියලා අවුරුදු 15කට කලින් තාත්තා කියූ දේ ගැන හිතන්න පටන්ගත්තේ. ඒත් මගේ පාසැලේ හිටිය සාක්ෂිකාරයන්ට සමච්චල් කිරීම මට හරි ප්‍රශ්නයක් වුණා. ඔවුන් අපේ උදෑසන නමස්කාරයට හවුල් වෙන්නේ නැති නිසා සමහර අවස්ථාවල ඔවුන්ට දඬුවම් කළා. ඒ වගේම ඔවුන්ගේ සමහර විශ්වාසයන් හරිම අමුතුයි කියලා මට හැඟුණා. උදාහරණයක් කියනවා නම්, 1,44,000ක් විතරයි ස්වර්ගයට යන්නේ කියලා විශ්වාස කරන්න මට අමාරු වුණා. (එළිදරව් 14:3) මගේ එකම ආශාව වෙලා තිබුණේ ස්වර්ගයට යන්න. ඒ නිසා මං ඉපදෙන්නත් කලින් ස්වර්ගයට යන අය තෝරගෙන ඉවරයිද කියලා මං කල්පනා කළා.
සාක්ෂිකරුවන්ගේ හැසිරීම සහ ආකල්ප අනිත් අයට වඩා වෙනස් කියලා පැහැදිලිව පෙනුණා. පාසැලේ අනෙක් ළමයි සමඟ දුරාචාරමය සහ සැහැසික ක්‍රියාවල ඔවුන් නිරත වුණේ නැහැ. සැබෑ ආගම අදහන අය ලෝකයෙන් වෙන් විය යුතුයි කියා මම බයිබලයෙන් කියවා තිබූ ලෙසම ඔවුන් කටයුතු කළා.—යොහන් 17:14-16; යාකොබ් 1:27.
තවදුරටත් සොයා බැලීමට මම තීරණය කළා. වර්ෂ 1969 සැප්තැම්බර් මාසයේදී, “සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය” නමැති පොත ලබාගැනීමට මට හැකි වුණා. ඊළඟ මාසයේදී පුරෝගාමි සහෝදරයෙක් (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයෙක්) මාත් සමඟ පාඩමක් ආරම්භ කළා. පළමු පාඩමත් සමඟ මට ලැබුණ පිටුබලය නිසා සෙනසුරාදා රෑ කියවීමට පටන්ගත් සත්‍යය පොත ඉරිදා දහවල් වන විට කියවා අවසන් කළා. මම කියවා ඉගෙනගත් දේවල් වැඩි කල් නොගොස් පාසැල් මිතුරන්ට කියන්න පටන්ගත්තා. ශිෂ්‍යයන් සහ ගුරුවරු හිතුවේ මගේ අලුත් ඇදහිල්ල මාව පිස්සෙක් කරලා කියලා. ඒත් මට එහෙම පිස්සු හැදිලා නැහැ කියලා මම දැනගෙන හිටියා.—ක්‍රියා 26:24.
මම අලුත් ආගමක් දේශනා කරන්න පටන්ගෙන තිබුණු බව මගේ දෙමාපියන්ට ආරංචි වුණා. එයාලා මට වහාම නිවසට එන්න කිව්වා, මට මොනවාද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ ප්‍රශ්නය පැනනඟින කොට සාක්ෂිකරුවන් සියලුදෙනාම ඉලෙෂා නගරයේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වී සිටි නිසා මට උපදෙස් ලබාගන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. මම ගෙදර ආ හැටියේ අම්මයි අනිත් නෑයෝ ටිකයි ප්‍රශ්න වැලක් මගෙන් ඇහැව්වා. මම බයිබලයෙන් ඉගෙනගනිමින් තිබුණ දේවල් හරියි 1 පේතෘස් 3:15.
කියා ඔප්පු කරන්න සෑහෙන උත්සාහයක් ගත්තා.—යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොරු ගුරුවරු කියා ඔප්පු කිරීමට දැරූ වෑයම අසාර්ථක වෙනකොට මගේ බාප්පා වෙන උපක්‍රමයක් යෙදුවා. ඔහු බැගෑපත් ලෙස මෙහෙම කිව්වා. “ඔයා පාසැලට ගියේ ඉගෙනගන්න කියන එක අමතක කරන්න එපා. ඔයා පාඩම් අතපසු කරලා දේශනා සේවයේ ගියොත් කවමදාකවත් ඔයාගේ ඉගෙනීම සම්පූර්ණ කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉගෙනීම ඉවර කරලා අලුත් ආගමට බැඳෙන්න.” ඒ අවස්ථාවේ හැටියට කියපු දේ තර්කානුකූලයි. ඒ නිසා මම සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරන එක නැවැත්තුවා.
වර්ෂ 1970 දෙසැම්බර් මාසයේදී උපාධිය ලබාගත්තායින් පස්සේ මම කෙළින්ම ගියේ රාජ්‍ය ශාලාවට. එදා සිට මම නොකඩවාම රැස්වීම්වලට යනවා. මගේ කැපවීම සංකේතවත් කරමින් 1971 අගෝස්තු 30වනදා මම බව්තීස්ම වුණා. මෙය මගේ පවුලේ අයටත් ගම් පළාතේ අයටත් ලොකු තිගැස්මක් ඇති කළා. අපේ ගමෙන් ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් ලැබූ පළමු කෙනා මම නිසා එයාලා හිටියේ මා ගැන ලොකු බලාපොරොත්තු තියාගෙනයි. ගමේ අය හිතලා තියෙන්නේ මම මගේ අධ්‍යාපනය ගම නඟා සිටුවීමට යොදවයි කියලා.
ආගම වෙනස් කිරීමෙන් ඇති වූ ප්‍රතිඵල
මගේ පවුල අය සහ ගමේ වැඩිහිටියෝ මගේ ඇදහිල්ල බිඳ හෙළීම සඳහා ගමෙන් කට්ටියක්ව එව්වා. ඔවුන් මට ශාප කළා. ඔවුන් කියා සිටියා “ඔයා මේ ආගම අත්හැරියේ නැත්නම් ඔයාට අනාගතයක් නැහැ. රැකියාවක් සොයාගන්න බැරි වෙයි. ඔයාටම කියලා ගෙයක් ගොඩනඟා ගන්න බැරි වෙයි. ඒ වගේම විවාහ වෙලා පවුලක් නඩත්තු කරන්න පුළුවන් වෙන එකක් නැහැ” කියලා.
එයාලා මට නරක විදිහට ශාප කළත් පාසැලෙන් අස් වෙලා මාස දහයක් යනකොට මට ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට හැකි වුණා. වර්ෂ 1972 ඔක්තෝබර් මාසයේදී මගේ ආදරණීය භාර්යාව වන වෙරෝනිකා සමඟ විවාහ වුණා. පසු කාලයකදී ආණ්ඩුව විසින් මාව කෘෂි කර්මාන්තය ව්‍යාප්ත කිරීමේ නියෝජිතයෙක් ලෙස පුහුණු කළා. මම මගේ මුල්ම කාර් එක මිල දී ගත්ත අතර මගේම කියලා නිවසක් හදන්න පටන්ගත්තා. අපේ කුලුඳුල් දරුවා වන වික්ටරි දුව ඉපදුණේ 1973 නොවැම්බර් 5වනදා. ඉන්පසු ගත වුණ අවුරුදු තුළදී ලිඩියා දුව, විල්ෆ්‍රඩ් පුතා සහ ජොඈන් දුව ඉපදුණා. අපේ බාලම පුතා මයිකා ඉපදුණේ 1986දීයි. අපේ හැම දරුවෙක්ම සම්පතක් වගේම යෙහෝවාගෙන් ලද උරුමයක්.—ගීතාවලිය 127:3.
මගේ ජීවිතය දිහා හැරී බලනකොට මට කියන්න පුළුවන් ගමේ අය මට කරපු හැම ශාපයක්ම ආශීර්වාදයක් වෙලයි කියලා. මගේ පළවෙනි දූට වික්ටරි (ජයග්‍රහණය) කියලා නම දැම්මෙත් ඒ නිසයි. ළඟදී මට ගමෙන් ලියුමක් ආවා. ඒ ලියුමේ මෙහෙම ලියලා තිබුණා. “කරුණාකරලා ගමට එන්න. ඔබට දැන් දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියා පැහැදිලියි. එමනිසා ගමේ දියුණුවට ඔබේ දායකත්වය අපි ඉල්ලා සිටින්න සතුටුයි.”
දෙවිගේ මාර්ගවලට එකඟව දරුවන්ව උස් මහත් කිරීම
මමයි මගේ භාර්යාවයි දැනගෙන හිටියා සල්ලි හම්බ කරන්න වැඩි කාලයක් යෙදවීමෙන් දරුවන් හදා වඩා ගැනීමට දෙවි දුන් වගකීම නිසියාකාරයෙන් ඉටු කරන්න බැරි බව. ඒ නිසා අපි සරල ජීවිතයකින් සෑහීමට පත් වෙන්න ඉගෙනගත්තා. මීට වඩා වෙනස් ජීවන රටාවක් ගත කිරීමෙන් මුහුණ දීමට සිදු වන තත්වයන්ට වඩා මෙලෙස ජීවත් වීමට අපි සතුටු වුණා.
අපේ ජන සමාජයේ හැටියට නම් එකම නවාතැන වෙනත් පවුල් සමඟ බෙදාගන්නවා. ඒ කියන්නේ නාන කාමරය, කුස්සිය වැනි දේවල් හවුලේ තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණත් ආණ්ඩුවේ සේවකයෙක් වශයෙන් මාව මාරු කළ සෑම ස්ථානයකම මට පුද්ගලික නිවසක් කුලියට ගන්න හැකියාවක් ලැබුණා. එලෙස නවාතැනක් ගන්න එක වියදමක්. නමුත් වාසියක් තිබුණා. ඒ තමයි අපේ දරුවන් අහිතකර බලපෑම්වලට එතරම් හසු නොවීම. ගත වූ අවුරුදු ගණන පුරා අපේ දරුවන්ව සුවදායි ආත්මික වාතාවරණයක ඇති දැඩි කරන්න හැකියාව ලැබීම ගැන මම යෙහෝවාට ස්තුති කරනවා.
ඒ වගේම අපේ දරුවන්ගේ ඕනෑ එපාකම් සොයා බැලීමට මගේ භාර්යාව ගෘහිණියක් ලෙස කටයුතු කළා. වැඩ ඇරී ගෙදර ආ පසු පවුලක් ලෙස යම් දේවල් එකට කිරීමට අපි උත්සාහ කරනවා. මොනයම් දෙයක් කළත් එය එකමුතුව පවුලක් හැටියටයි කරන්නේ. මෙයට ඇතුළත් වන දේවල් තමයි පවුල් පාඩම, සභා රැස්වීම්වලට සූදානම් වීම සහ සහභාගි වීම, ක්‍රිස්තියානි දේවසේවයේ සහභාගි වීම හා සමාජීය ක්‍රියාකාරකම්වල සහභාගි වීම.
ද්විතීය කතාව 6:6, 7හි සඳහන් උපදෙස අනුගමනය කිරීමට අපි උත්සාහ කර තිබෙනවා. එහි දෙමාපියන්ට කියන්නේ ගෙදරදී පමණක් නොව ලැබෙන සෑම අවස්ථාවකදීම දරුවන්ට උගන්වන්න කියලා. මෙය දරුවන්ට සාක්ෂිකාරයන් අතරෙහි මිතුරන් ඇති කරගැනීමට පිටිවහලක් වී තිබෙනවා. මමයි වෙරෝනිකායි සාක්ෂිකාරයන් නොවන අයව වැඩිය ආශ්‍රය නොකරන නිසා අපේ දරුවොත් තම ආශ්‍රිතයන් ගැන සැලකිලිමත් වෙනවා.—හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33.
අපේ දරුවන්ට හොඳ බලපෑමක් ඇති කළේ අපේ මඟ පෙන්වීම සහ ඉගැන්වීම විතරක්ම නෙමෙයි. අපේ නිවස එදා සිට අද දක්වාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක සේවකයන් වැනි ජ්වලිත ක්‍රිස්තියානීන්ට නවාතැන් පොළක්. මෙම මේරූ ක්‍රිස්තියානීන් අපේ පවුලත් සමඟ ගත කළ කාලයේදී අපේ දරුවන්ට ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගී ජීවන රටාව පිළිබඳව ඉගෙනගැනීමටත් දැකගැනීමටත් හැකි වුණා. මෙය අපි ඉගැන්වූ දේවල් ඔවුන්ගේ හදවත් තුළටම කිඳාබසින්නත් සත්‍යය තමන්ගේම දෙයක් කරගැනීමටත් දරුවන්ට උපකාර වී තිබෙනවා.
දේවභක්තිය නිසා ආශීර්වාද
අද මගේ භාර්යාවත් මමත් අපේ දරුවෝ හතරදෙනෙකුත් පූර්ණ කාලීන සේවයේ නිරත වී සිටිනවා. මම පුරෝගාමි සේවය ආරම්භ කළේ 1973දී. ඒ ගත වූ අවුරුදු තුළ ආර්ථික ප්‍රශ්න නිසා කලින් කලට පුරෝගාමි සේවය නතර කරන්න සිදු වුණා. ඒ වගේම යම් අවස්ථාවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි අවේක්ෂකයන්ව පුහුණු කරන රාජ්‍ය සේවා පාසැලේ ඉගැන්වීමටත් භාග්‍යය ලැබුණා. වර්තමානයේදී මම රෝහල් සබඳතා කමිටුවේ සේවය කරන අතර උහන්මොරා නගරයේ තිබෙන සභාවක අවේක්ෂකයෙක් ලෙසද සේවය කරනවා.
මගේ වැඩිමහල් දූවරු දෙදෙනා වන වික්ටරි සහ ලිඩියා ආදර්ශමත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දෙදෙනෙකු සමඟ විවාහ වී සිටිනවා. ඒ දූවරු දෙදෙනා සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් නයිජීරියාවේ ඉජේඩූමාහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. අපේ වැඩිමහල් පුතා විල්ෆ්‍රඩ් සභා සේවකයෙක් ලෙස සේවය කරන අතර බාලම පුතා මයිකා කලින් කලට උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙනවා. වර්ෂ 1997දී ජොඈන් ඇගේ සාමාන්‍ය පෙළ අවසන් කර ස්ථාවර පුරෝගාමි සේවය ආරම්භ කළා.
මගේ ජීවිතයේ ලද ලොකුම ආශීර්වාදය තමයි යෙහෝවාට සේවය කිරීම සඳහා ගත යුතු පියවර ගැනීමට අන් අයට උදව් කිරීම. මේ අය අතරට මගේ නෑදෑයන්ද අයිති වුණා. මගේ තාත්තාත් යෙහෝවාට සේවය කිරීමට උත්සාහ කළා. ඒත් ඔහුට භාර්යාවන් කිහිපදෙනෙක් සිටිය නිසා ඔහු එතරම් දියුණුවක් ලැබීමට අසමත් වුණා. කුඩා අවධියේ පටන් මම මිනිසුන්ට ආදරය කළා. අනෙක් අය දුක් විඳිනකොට මට හිතෙනවා මගේ ප්‍රශ්න මොනවද කියලා. එයාලාට උදව් කරන්න මම ගත් අවංක උත්සාහය ඒ අය දකින්න ඇති. ඔවුන්ට කිසි චකිතයකින් තොරව මාත් සමඟ කතා කිරීමට එය ඉවහල් වුණා.
දෙවි පිළිබඳව ඉගෙනගැනීමට මම උපකාර කළ අය අතර ඔත්පළව සිටි තරුණයෙකුත් සිටියා. ඔහු විදුලි බල සමාගමක වැඩ කළ සේවකයෙක්. සේවය කරමින් සිටින විට විදුලි සැර වැදී පපු පෙදෙසින් පහළ අක්‍රියාශීලී වි තිබෙනවා. ඔහු බයිබල් පාඩමකට කැමති වූ අතර කාලයත් සමඟ ඔහු ඉගෙනගත් දේවල් පිළිගත්තා. වර්ෂ 1995 ඔක්තෝබර් 14වනදා අපේ නිවස අසලින් ගලා ගිය ඇලකින් ඔහු බව්තීස්ම වුණා. අවුරුදු 15කට පසු ඔහු තම ඇඳෙන් බිමට බැස්ස මුල්ම අවස්ථාව තමයි එය. තම ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය එම දිනය බව ඔහු කියා සිටියා. ඔහු දැන් සභා සේවකයෙක්.
අවුරුදු 30කට පෙර යෙහෝවාගේ එක්සත් සහ කැප වූ සෙනඟ සමඟ සේවය කිරීමට ගත් තීරණය ගැන මම කනගාටු වෙන්නේ නැහැ. සැබෑ ප්‍රේමය මොකක්ද කියලා මම දැක්කේ ඔවුන්ගෙන්. යෙහෝවාගේ සේවකයන්ට ලැබෙන ආශීර්වාදයන්ට සදාකාලික ජීවිතය නමැති ත්‍යාගය ඇතුළත් වුණේ නැතත් දේවභක්තික ජීවිතයක් ගත කිරීම තමයි මගේ එකම පැතුම. (1 තිමෝති 6:6, NW; හෙබ්‍රෙව් 11:6) මගේ ජීවිතය සාර්ථක කළෙත් ස්ථාවර කළෙත් දේවභක්තියයි. එය මටත් මගේ පවුලේ අයටත් ප්‍රීතිය, තෘප්තිය හා සතුට ළඟා කළා.
[25වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1990දී මගේ භාර්යාව සහ දරුවෝ සමඟ
[26වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව, දරුවෝ සහ බෑණාවරුන් දෙදෙනා සමඟ