Skip to content

පටුනට යන්න

නොසිතූ තැනකදී සත්‍යය ලැබී

නොසිතූ තැනකදී සත්‍යය ලැබී

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

නොසිතූ තැනකදී සත්‍යය ලැබී

දෙවිගේ කැමැත්ත නම් “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබීමත් ඔවුන් නිවැරදි දැනුම ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:3, 4, NW) මෙම ඉලක්කය අත් කරගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබල් හා බයිබලය ඉගෙනගැනීමට ආධාරක පොත් පත් මිලියන සංඛ්‍යාවක් මුද්‍රණය කර බෙදාහැර තිබේ. අවංක හදවත් ඇති බොහෝ ජනයාට සත්‍යය ලබාගැනීමට මෙම ප්‍රකාශන නොසිතූ ආකාරයෙන් ප්‍රයෝජනවත් වී තිබේ. මේ සම්බන්ධව ෆ්රීටවුන්හි සියෙරා ලියෝන්වල රාජ්‍ය ප්‍රකාශකයන් ලැබූ අද්දැකීමක් පහත දැක්වේ.

දරුවන් නවදෙනෙකුගෙන් යුත් පවුලක ඔස්මාන් දෙවෙනි දරුවාය. ආගමට ලැදි පවුලක හැදී වැඩුණු ඔස්මාන් තම පියා සමඟ නිතිපතා නමස්කාරය සඳහා ගියේය. කෙසේවෙතත් ඔහුගේ ආගමේ ඉගැන්වීමක් වන නිරාගින්න ගැන ඔස්මාන් මහත් ව්‍යාකූල තත්වයකට පත් වී සිටියේය. දුෂ්ට මනුෂ්‍යයන්ව ගින්නෙන් දවමින් වධ හිංසා කිරීමට දයාවන්ත දෙවි කෙනෙකුට හැක්කේ කෙසේද කියා ඔහුට තේරුම්ගත නොහැකිව තිබුණි. මෙම ඉගැන්වීම සම්බන්ධව ඔස්මාන්ට ලැබුණු පැහැදිලි කිරීම් එකකින්වත් ඔහු සෑහීමට පත් වුණේ නැත.

ඔස්මාන්ට වයස අවුරුදු 20දී පමණ, දිනක් කුණු බාල්දිය ඇතුලේ සැඟවී තිබුණු නිල් පාට පොතක් ඔහුගේ නෙත ගැටුණි. පොත් පත්වලට ඇලුම්කමක් දක්වන නිසාවෙන් ඔහු පොත පිරිසිදු කර එහි මාතෘකාව දෙස බැලුවේ මහත් ආශාවකින්. පොතේ මාතෘකාව වී තිබුණේ සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය යන්නයි. a

‘මොකක්ද මේ සත්‍යය?’ කියා දැනගැනීමට ඔස්මාන් තුළ කුතුහලයක් ඇති වුණි. පොත රැගෙන නිවසට ගිය ඔහු එය කියෙව්වේ එක හුස්මටය. දෙවිගේ පෞද්ගලික නම යෙහෝවා බව දැනගත් විට ඔහු ප්‍රීතියෙන් ඉපිල ගියේය. (ගීතාවලිය 83:17) තවද, දෙවිගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමය බවත් මනුෂ්‍යයන්ව ගින්නෙන් දවමින් වධ හිංසා කිරීම වැනි කුරිරු අදහසකට පවා දෙවි පිළිකුල් කරන බවත් ඔස්මාන්ට දැනගන්න ලැබුණි. (යෙරෙමියා 32:35; 1 යොහන් 4:8) දෙවි පොළොව පාරාදීසයක් කරන ආකාරයත් ජනයාට එහි සදාකල් ජීවත් විය හැකි ආකාරයත් ඔස්මාන් තවදුරටත් එම පොතෙන් දැනගත්තේය. (ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4) මෙම පුදුමාකාර සත්‍යය දැනුම් දෙන්නේ දයාවන්ත, ප්‍රේමනීය දෙවි කෙනෙක් නොවේද! නොසිතූ තැනකදී සත්‍යය ලබාගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් ඔස්මාන් යෙහෝවා දෙවිට මුළු හදින්ම ස්තුති කළේය.

ඉන් දින කිහිපයකට පසු ඔහුගේ මිතුරන්ගේ උදව්වෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව තිබෙන ස්ථානය සොයාගත් ඔස්මාන් පළමු වරට එහි රැස්වීමට සහභාගි වූයේය. එහිදී ඔහු සාක්ෂිකරුවෙකුගෙන් බයිබලය ඉගෙනගැනීමට උපකාර ඉල්ලා සිටියේය. පවුලේ දැඩි විරෝධතා තිබුණත් ඒ සියල්ල අභිභවමින් ඔස්මාන් ආත්මික ප්‍රගතියක් ලබා බව්තීස්ම විය. (මතෙව් 10:36) ඔහු අද සභාවේ වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන්නේය. මෙම පුදුමාකාර අද්දැකීමට හේතුපාදක වූයේ අන් කිසිවක් නොව කුණු බාල්දියේ තිබී සම්බ වූ බයිබල් ආධාරක පොතකි!

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් 1968දී ප්‍රකාශයට පත් කරන ලදි.