Skip to content

පටුනට යන්න

මරණය පිළිබඳ මිථ්‍යාවන් කීපයක් දෙස සමීප බැල්මක්

මරණය පිළිබඳ මිථ්‍යාවන් කීපයක් දෙස සමීප බැල්මක්

මරණය පිළිබඳ මිථ්‍යාවන් කීපයක් දෙස සමීප බැල්මක්

එදා මෙදා තුර, මරණයේ අඳුරු සේයා අබියස මිනිසා සිටින්නේ ව්‍යාකූලත්වයෙන් හා තැතිගැන්මෙන් යුතුවයි. බොරු ආගමික අදහස්, ජනප්‍රිය සිරිත් විරිත් හා පැලපදියම් වී ඇති පෞද්ගලික විශ්වාසයන්ද මරණයේ බිය දෙගුණ තෙගුණ කර ඇත. මරණයට භය වුණොත් ජීවිතයේ රස විඳින්න බැරි විය හැකි අතර ජීවිතයට අර්ථයක් ඇති බවට තිබෙන නිසැකභාවයද නැති වී යා හැකියි.

මරණය පිළිබඳ ප්‍රචලිත මිථ්‍යාවන් බිහි කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැරදිකරුවන් වන්නේ ප්‍රධාන ආගම්ය. බයිබල් සත්‍යයන්හි උපකාරයෙන් මෙම මිථ්‍යාවන් කීපයක් පිරික්සා බලා, මරණය සම්බන්ධයෙන් ඔබ පෞද්ගලිකව අවබෝධ කරගෙන තිබෙන දේ වඩාත් නිවැරදි කරගත හැකිදැයි බලන්න.

1වන මිථ්‍යාව: ජීවිතය මරණයෙන් කෙළවර වීම ස්වාභාවික දෙයක්.

“මරණය . . . අපේ ජීවිතවල අනිවාර්යයෙන්ම සිදු වන දෙයක්” කියා ඩෙත්—ද ෆයිනල් ස්ටේජ් ඔෆ් ග්‍රෝත් නම් පොතේ පවසයි. මෙවැනි අදහස්වලින් මරණය ස්වාභාවික දෙයක් මෙන්ම එය සියලු ජීවීන්ගේ කෙළවරයි යන විශ්වාසය පිළිබිඹු වෙයි. එවැනි විශ්වාසයක ප්‍රතිඵලය වී තිබෙන්නේ, බොහෝදෙනා තුළ නාස්තිකවාදී දර්ශන හා අවස්ථාවාදී හැසිරීම් රටාවක් වර්ධනය වීමයි.

නමුත් ජීවිතය මරණයෙන් කෙළවර වීම ඇත්තෙන්ම ස්වභාවිකයිද? හැම පර්යේෂකයෙකුගේම විශ්වාසය එය නොවෙයි. උදාහරණයකට, මිනිසුන් වියපත් වන හේතුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ජීව විද්‍යාඥයෙකු වූ කැල්වින් හාලි සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මිනිසුන්ව “නිර්මාණය කර තිබෙන්නේ අනිවාර්යයෙන්ම මියයෑමටයි” කියා තමා විශ්වාස කරන්නේ නැති බවයි. ප්‍රතිශක්තිකරණය පිළිබඳ විද්‍යාඥයෙක් වන විලියම් ක්ලාක් පැවසුවේ “මරණය අනිවාර්යයෙන්ම ජීවිතය හා බැඳී පැවතිය යුතු යමක් නොවේ” යනුවෙනි. එමෙන්ම කැලිෆෝනියාවේ තාක්ෂණ විද්‍යාව පිළිබඳ ආයතනයේ සෙමුව බෙන්ස හොඳට හිතා බලා පවසන්නේ “වයසට යෑම නිශ්චිත කාල නිර්ණයකට අනුව සිදු වන දෙයක් ලෙස නොව තමන් කැමති අයුරින් වෙනස් කරගත හැකි තත්වයක් ලෙස විස්තර කිරීම වඩාත් සුදුසු” බවයි.

මිනිසා නිර්මාණය වී ඇති ආකාරය අධ්‍යයනය කරන විට විද්‍යාඥයන් ව්‍යාකූල වෙනවා. ඔවුන්ට පෙනී යන්නේ, අවුරුදු 70 සිට 80 දක්වා වූ අපේ ජීවිත කාලය තුළ අපට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා දායාදයන් හා හැකියාවන් අපට උරුම වී තිබෙන බවයි. උදාහරණයක් වශයෙන්, මිනිස් මොළයෙහි අධික මතක ධාරිතාවක් තිබෙන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. එක් පර්යේෂකයෙක් තක්සේරු කර තිබෙන්නේ, “ලෝකයේ ලොකුම පුස්තකාලයක් පිරවිය හැකි ප්‍රමාණයක් වන වෙළුම් මිලියන විස්සක පමණ” තොරතුරු රැසක් රඳවාගැනීමට අපේ මොළයට හැකි බවයි. සාමාන්‍ය ජීවිත කාලයකදී පුද්ගලයෙක් තම මොළයේ ධාරිතාවෙන් සියයට එකකිනුත් 1/100ක් (.0001) පමණයි පාවිච්චියට ගන්නේ කියා ඇතැම් ස්නායුවේදී විද්‍යාඥයන් පවසනවා. ඉතින් ‘සාමාන්‍ය ජීවිත කාලයකදී අපි පාවිච්චියට ගන්නේ පුංචි කොටසක් නම් ඒ තරම් විශාල ධාරිතාවක් එක්ක මොළයක් ලැබිලා තියෙන්නේ ඇයි’ කියා ඇසීම යෝග්‍යයි.

මිනිස්සු මරණයට ප්‍රතිචාර දක්වන්නේ මොනතරම් අස්වාභාවිකවද කියාත් සලකා බලන්න. වැඩිදෙනෙකුට තමන්ගේ බිරිඳ, සැමියා හා දරුවා මියයෑම ජීවිත කාලයේ අද්දකින්න සිදු වන කටුකම අද්දැකීමයි. තමන් ගොඩක් ආදරය කළ තැනැත්තෙක් මැරිලා සෑහෙන කාලයක් යනකම් හුඟදෙනෙකුට තමන්ගේ හිත හදාගන්න බැරි වෙනවා. මරණය ස්වාභාවික දෙයක් කියා පවසන අයට පවා තමන්ගේ මරණය සියල්ලේ අවසානයයි යන අදහස පිළිගන්න අමාරුයි. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්හි “හැමෝම කැමති හැකි තරම් කාලයක් ජීවත් වීමටය යන විශිෂ්ට ගණයේ පොදු උපකල්පනයක්” ගැන කතා කරයි.

මිනිසා මරණයට දක්වන පොදු ප්‍රතිචාරය, මතක තබාගැනීමට හා ඉගෙනීමට තිබෙන පුදුමාකාර හැකියාව මෙන්ම සදාකාලය සඳහා තිබෙන ඇතුළාන්ත ආශාව ගැන සලකා බලද්දී, ඔහුව මවා තිබෙන්නේ ජීවත් වීමට බව පැහැදිලි නොවන්නේද? ඇත්තෙන්ම, දෙවි මිනිසාව මැව්වේ තම ජීවිතය ස්වාභාවිකව මරණයෙන් අවසන් වන සේ නොව නිම නොවන ජීවිතයක් භුක්ති විඳීම සඳහා වූ ප්‍රස්තාව ඇතුවයි. මුල් මිනිස් යුවළගේ අනාගතය වෙනුවෙන් දෙවි සැලසුම් කළේ කුමක්දැයි සලකා බලන්න. “බෝ වී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.” (උත්පත්ති 1:28) එය මොනතරම් අපූර්ව අනාගතයක්ද!

2වන මිථ්‍යාව: දෙවියන් මිනිසුන්ව තමන් ළඟට ගන්නවා.

මරණාසන්නව සිටි 27-හැවිරිදි තිදරු මවක් කතෝලික කන්‍යා සොහොයුරියකට පැවසුවේ “මට මෙහෙම වෙන්නේ මේක දෙවියන්ගේ කැමැත්ත නිසයි කියලා කියන්න හදන්න එපා. . . . කවුරුහරි ඒ වගේ කියනකොට මට එන්නේ පුදුම කේන්තියක්” කියායි. එහෙත්, මරණය සම්බන්ධයෙන් බොහෝ ආගම්වල උගන්වන්නේ දෙවියන් මිනිසුන්ව තමන් ළඟට ගන්න බවයි.

අපිව වේදනාවට පත් වෙන බව දැන දැනම හිත් පිත් නැති ආකාරයට අපව මැරෙන්න සලස්වන්න තරම් මැවුම්කරු කෲර නපුරු කෙනෙක්ද? නෑ, බයිබලයේ සඳහන් දෙවි නම් එහෙම දෙවි කෙනෙක් නෙවෙයි. පළවෙනි යොහන් 4:8ට අනුව “දෙවි ප්‍රේමයය.” එහි කියන්නේ දෙවිට ප්‍රේමය තියෙන බව හෝ දෙවි ප්‍රේමනීය බව නොව දෙවි ප්‍රේමයය බව සලකන්න. දෙවිගේ ප්‍රේමයේ ගැඹුරත්වය, පවිත්‍රත්වය, පරිපූර්ණත්වය ඔහු තුළින් හා ඔහුගේ ක්‍රියා තුළින් කෙතරම් හොඳින් විද්‍යමාන වෙනවාද කියනවා නම්, ඔහු ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වශයෙන් පැවසීම යෝග්‍යම දෙය විය හැකියි. මෙම දෙවි මරණයට ගොදුරු වන්න සැලැස්වීම මගින් මිනිසුන්ව තමන් ළඟට ගන්නා දෙවි කෙනෙක් නෙවෙයි.

මළවුන් ඉන්න තැන සහ මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් බොරු ආගම් මගින් බොහෝදෙනෙකුව ව්‍යාකූල කර තිබෙනවා. ස්වර්ගය, නිරය, ශුද්ධගිනිස්ථානය, ලිම්බෝ යන තැන් මෙන්ම වෙනත් ගමනාන්තයන් අවබෝධ කරගැනීමට නොහැකි වන අතර ඉන් සමහරක් ඒවා මුළුමනින්ම තැතිගන්වනසුලුයි. අනිත් අතට, බයිබලය අපට පවසන්නේ මළවුන් සිහිසුන් තත්වයක ඉන්න බවයි. ඇත්තෙන්ම ඔවුන් නින්දකට සමාන කළ හැකි තත්වයකයි ඉන්නේ. (දේශනාකාරයා 9:5, 10; යොහන් 11:11-14) මෙබැවින්, සුව නින්දේ පසු වන කෙනෙකුව දුටු විට අපි ඒ ගැන කරදර නොවන්නාක් මෙන්ම මරණයෙන් පසුව අපිට සිදු වෙන්නේ මොකක්ද කියාත් කරදර වෙන්න අවශ්‍ය නැහැ. “සිහිවීමේ සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්” පාරාදීස පොළොවක් මතට යළි අලුත් කරනු ලැබූ ජීවිතයකින් ‘පිටතට එන’ කාලයක් ගැන යේසුස් කතා කළා.—යොහන් 5:28, 29, NW; ලූක් 23:43.

3වන මිථ්‍යාව: දේවදූතයන් කරගැනීමට දෙවියන් පුංචි දරුවන්ව ගන්නවා.

මාරාන්තික රෝගවලින් පෙළෙන අය පිළිබඳව අධ්‍යයනය කළ එලිසබෙත් කූබ්ල රෝස් ධාර්මික ජනයා අතර පවතින තවත් පොදු සංකල්පයක් ගැන සඳහන් කළා. සැබෑ සිද්ධියක් ගැන විස්තර කරමින් ඇය පැවසුවේ “පුංචි දැරිවියකගේ සහෝදරයා මියගිය විට, දෙවියන් පුංචි ළමයින්ට හුඟක් ආදරේ නිසයි පුංචි ජොනීව ස්වර්ගයට ගත්තේ කියලා ඈට කීම නුවණට හුරු දෙයක් නොවන” බවයි. එවැනි ප්‍රකාශයක් කිරීමෙන් දෙවිගේ පෞද්ගලිකත්වය හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වැරදි ඇඟවීමක් දෙයි. වෛද්‍ය කූබ්ල රෝස් තවදුරටත් මෙසේ පැවසුවා. “මේ පුංචි දැරිය ලොකු ගෑනියෙක් වුණාට පස්සෙත් දෙවියන් එක්ක තිබුණ ඒ තරහව පහ වෙලා තිබුණේ නැහැ. මේ නිසා, ඒ සිද්ධියෙන් අවුරුදු තිහකට පස්සේ ඇගේ පුංචි පුතා මියගිය අවස්ථාවේදී ඈ මානසික අවපීඩනයෙන් පෙළීමට පටන්ගත්තා.”

තව දූතයෙක් වැඩි කරගන්න හදමින් දෙවි ළමයෙකුව උදුරගන්නේ මොකටද? ඒක හරියට දරුවාගේ දෙමාපියන්ට වඩා දෙවිට ඒ දරුවාව ඕනෑ වෙනවා වාගෙයි. දෙවි දරුවන්ව ගන්නවා කියන එක ඇත්ත නම්, ඔහු අකරුණාවන්ත, ආත්මාර්ථකාමී මැවුම්කරුවෙකු වෙන්නේ නැද්ද? බයිබලයේ ඉදිරිපත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් සංකල්පයක්. “ප්‍රේමය දෙවිගෙන්ය.” (1 යොහන් 4:7) යම් තාක් දුරට හෝ ශිෂ්ටසම්පන්න මිනිසුන් වුවත් සාධාරණයි කියා නොපිළිගන්නා යමක් ප්‍රේමනීය දෙවි කෙනෙකු විසින් සිදු කරාවිද?

එහෙමනම් ඇයි දරුවන් මියයන්නේ? බයිබලයේ දී තිබෙන පිළිතුරෙන් කොටසක් දේශනාකාරයා 9:11හි මෙසේ වාර්තා වෙනවා. ‘කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධ වෙයි.’ එමෙන්ම ගීතාවලිය 51:5හි අපට පවසන්නේ අපව පිළිසිඳගත් අවස්ථාවේ සිට අප සියලුදෙනාම අසම්පූර්ණත්වය හා පාපය උරුම කරගෙන සිටින බවයි. මේ නිසා මිනිසුන්ගේ ජීවිත දැන් මරණයෙන් අවසන් වන අතර එය විවිධ හේතූන් මත සිදු වෙයි. සමහරවිට ඉපදෙන්නත් කලින්ම දරුවන් මියයනවා. තවත් අවස්ථාවලදී, ඛේදජනක තත්වයන්ට ගොදුරු වී හෝ හදිසි අනතුරුවලින් දරුවන් මියයනවා. එවැනි අවසානයන්ට දෙවි වගකිව යුතු නැහැ.

4වන මිථ්‍යාව: සමහරු මරණයෙන් පස්සේ වධවේදනා විඳිනවා.

හුඟක් ආගම්වල උගන්වන්නේ දුෂ්ටයන් ගිනිමය නිරයකට ගොස් එහි සදහටම වධ විඳින බවයි. මෙය තර්කානුකූල හා ශුද්ධ ලියවිලිවලට එකඟ ඉගැන්වීමක්ද? මිනිසාගේ ආයුෂ අවුරුදු 70කට හෝ 80කට සීමා වෙලා. කෙනෙකු අතිදරුණු දුෂ්ටකමක් සිදු කිරීම හේතුවෙන් සිය ජීවිත කාලය පුරාම එයට වරදකරු වී සිටියත්, ඒ සඳහා ඔහුට සදාකාලයටම වධ විඳීමට සැලැස්වීම යුක්තිසහගත දඬුවමක් වේවිද? නැහැ. කෙටි ජීවිත කාලයකදී කෙනෙකු සිදු කළ පාපවලට සදහටම ඔහුට වධ වේදනා දීම සම්පූර්ණයෙන්ම අසාධාරණ ක්‍රියාවක් වෙනවා.

මිනිසා මියගිය පසු සිදු වන දේ හෙළි කළ හැක්කේ දෙවිට පමණක් වන අතර ඔහු එසේ හෙළි කර තිබෙන්නේ ඔහුගේ ලිඛිත වචනය වන බයිබලය තුළින්. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “[තිරිසනුන්] නසින්නාක් මෙන් [මනුෂ්‍යයන්ද] නසින්නෝය. එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය. ... සියල්ලෝම එක තැනකට යන්නෝය. සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.” (දේශනාකාරයා 3:19, 20) මෙහි ගිනිමය නිරයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. මිනිසුන් මියයන විට දූවිල්ලට හැරීයයි. එනම් පැවැත්මෙන් තොර වෙයි.

වධවේදනා විඳීමට නම් කෙනෙකු සිහිසන් ඇතුව සිටිය යුතුයි. මළවුන් සිහිසන් ඇතුව සිටිනවාද? යළිත් බයිබලය ඊට මෙසේ පිළිතුරු දෙයි. “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැති විය.” (දේශනාකාරයා 9:5) ‘කිසිවක් නොදන්න’ මළවුන්ට කොතැනකදීවත් යම් වේදනාවක් අද්දකින්න හැකියාවක් නැහැ.

5වන මිථ්‍යාව: මරණය යනු අපේ පැවැත්මේ ස්ථිර අවසානයයි.

අප මියයන විට පැවැත්මෙන් තොර වන නමුත් හැම දෙයකම අවසානය එය බව ඉන් අදහස් නොවෙයි. මියගිය විට මිනීවළ වන ෂෙයෝලයට තමා යන බව ඇදහිලිවන්ත යෝබ් දැනගෙන හිටියා. එහෙත් ඔහු දෙවිට කළ යාච්ඤාවට සවන් දෙන්න. “අහෝ, ඔබ මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහ වන තුරු මා සඟවා, මට කාලයක් නියම කොට, මා සිහි කරන්නේ නම් කැමැත්තෙමි! මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත් වේද? . . . ඔබ අඬගසන්නේය. මමද උත්තර දෙන්නෙමි.”—යෝබ් 14:13-15.

තමා මරණය දක්වාම විශ්වාසවන්තව සිටියොතින් දෙවි තමාව සිහි කරන බවත්, තමාව නැවත නැඟිටුවන බවත් යෝබ් විශ්වාස කළා. පුරාණ කාලවල සිටි දෙවිගේ සියලු සේවකයන්ගේ විශ්වාසය වූයේ එයයි. යේසුස්ම එම බලාපොරොත්තුව ස්ථිර කරමින්, මළවුන්ව නැඟිටුවීමට දෙවි තමාව යොදාගන්නා බව පෙන්නුවා. මේ බව ක්‍රිස්තුස්ගේම වචනවලින් සහතික වෙනවා. “සිහිවීමේ සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට යහපත් දේ කළ අය ජීවනය සඳහා වූ නැවත නැඟිටීමකටද, පිළිකුල් දේවල නියැලුණු අය විනිශ්චය සඳහා වූ නැවත නැඟිටීමකටද, පිටතට එන්නෝය.”—යොහන් 5:28, 29, NW.

දෙවි ළඟදීම සියලුම දුෂ්ටකම් පහ කර ස්වර්ගික පාලනය යටතේ පවතින නව ලෝකයක් පිහිටුවනු ඇත. (ගීතාවලිය 37:10, 11; දානියෙල් 2:44, 45ආ; එළිදරව් 16:14, 16) එහි ප්‍රතිඵලයක් වශයෙන් මුළු පොළොවම දෙවිට සේවය කරන වැසියන්ගෙන් පිරි පාරාදීසයක් බවට පත් වේවි. බයිබලයේ අපට මෙසේ කියවීමට තිබේ. “මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය, ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය, දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.”—එළිදරව් 21:3, 4.

බියෙන් නිදහස

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව පිළිබඳවත් එම ප්‍රස්තාව උදා කර දෙන තැනැත්තා පිළිබඳවත් දැනුම ලබාගැනීම ඔබට සැනසීමක් විය හැකියි. යේසුස් මෙසේ පොරොන්දු වුණා. “ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.” (යොහන් 8:32, NW) මරණ බියෙන් අපව නිදහස් කිරීම ඊට ඇතුළත් වෙනවා. මහලු වයසට යෑමේ ක්‍රියාවලිය වෙනස් කර මරණය නැති කර අපට සදාකාල ජීවනය පිරිනැමිය හැකි එකම තැනැත්තා යෙහෝවායි. දෙවිගේ පොරොන්දු කෙරෙහි ඔබට විශ්වාසය තැබිය හැකිද? ඇත්තෙන්ම, ඔව්. මන්ද දෙවිගේ වචනය සැමවිටම සැබෑ වෙයි. (යෙසායා 55:11) මිනිසා සඳහා දෙවිගේ අරමුණු පිළිබඳව තව බොහෝ දේ ඉගෙනගන්න කියා අප ඔබෙන් උදක්ම ඉල්ලා සිටිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රීතියෙන් බලා සිටින්නේ ඒ සඳහා ඔබට උදව් කරන්නයි.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මරණයට භය වුණොත් ජීවිතයේ රස විඳින්න බැරි විය හැකියි

[7වන පිටුවේ වගුව]

මරණය පිළිබඳ පොදු මිථ්‍යාවන් කීපයක් ශුද්ධ ලියවිල්ලේ ඒ ගැන පවසන්නේ කුමක්ද?

● ජීවිතය මරණයෙන් කෙළවර වීම උත්පත්ති 1:28; 2:17; රෝම 5:12

ස්වාභාවික දෙයක්

● දෙවියන් මිනිසුන්ව තමන් ළඟට යෝබ් 34:15; ගීතාවලිය 37:11, 29; 115:16

ගන්නවා

● දේවදූතයන් කරගැනීමට දෙවියන් ගීතාවලිය 51:5; 104:1, 4;

පුංචි දරුවන්ව ගන්නවා හෙබ්‍රෙව් 1:7, 14

● සමහරු මරණයෙන් පස්සේ ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 10;

වධවේදනා විඳිනවා රෝම 6:23

● මරණය යනු අපේ පැවැත්මේ යබ් 14:14, 15; යොහන් 3:16; 17:3;

ස්ථිර අවසානයයි ක්‍රියා 24:15

[8වන පිටුවේ පින්තූරය]

මරණය පිළිබඳ සැබෑව දැන සිටීමෙන් බියෙන් නිදහස් වීමට අපට හැකියි

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Barrators​—Giampolo/The Doré Illustrations For Dante’s Divine Comedy/Dover Publications Inc.