Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරමු

යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරමු

යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරමු

“ධර්මිෂ්ඨකමද [ප්‍රේමනීය, NW] කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.”—හිතෝපදේශ 21:21.

1. අද මිනිසුන් විනාශකාරි ප්‍රතිඵල අද්දැකීමට හේතු වී තිබෙන්නේ ඔවුන් කරන කුමන දේවල්ද?

 “මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.” (හිතෝපදේශ 16:25) වර්තමානයේ බහුතරයක් තෝරාගන්න මාර්ග බයිබලයේ සඳහන් එම හිතෝපදේශයෙන් කොතරම් නිවැරදිව විස්තර කරයිද! සාමාන්‍යයෙන් මිනිසුන් සැලකිලිමත් වන්නේ තමන්ට හරියි කියා සිතෙන දේවල් කිරීමටයි. අන් අයගේ මූලික අවශ්‍යතා කෙරෙහි පවා ඔවුන් සැලකිල්ලක් දක්වන්නේ නැත. (හිතෝපදේශ 21:2) තමන් ජීවත් වන රටේ තිබෙන නීති රීතිවලට ගරු කරන බව කියා සිටියත්, ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ ඒවායින් රිංගා යෑමටයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට සමාජය භේද භින්න වී ඇත. අවුල් වියවුල් වී ඇත.—2 තිමෝති 3:1-5.

2. මනුෂ්‍යවර්ගයාගේ ශුභසිද්ධිය සඳහා වහාම අවශ්‍ය කරන දෙය කුමක්ද?

2 අපගේම යහපත සඳහා මෙන්ම මුළු මනුෂ්‍යවර්ගයාගේම සාමය හා සුරක්ෂිතභාවය සඳහා අප සැමට වහාම අවශ්‍ය කරන දෙයක් තිබේ. එය නම් සියලුම මිනිසුන් පිළිගැනීමට හා පිළිපැදීමට කැමති යුක්තිය ඉටු කරන නීතියක් හෝ ප්‍රමිතියකි. මිනිසුන් කොතරම් බුද්ධිමත් හා අවංක විය හැකි වූවත්, ඔවුන් සාදන කිසිම නීතියකට හෝ ප්‍රමිතියකට එම අවශ්‍යතාව ඉටු කළ නොහැක. (යෙරෙමියා 10:23; රෝම 3:10, 23) එවැනි ප්‍රමිතියක් තිබේ නම් එය සොයාගත හැක්කේ කොතැනින්ද? එය මොන වගේ ප්‍රමිතියක්ද? වැදගත්ම ප්‍රශ්නය විය හැක්කේ එවන් ප්‍රමිතියක් තිබේ නම්, විරුද්ධත්වයකින් තොරව එය පිළිගත හැකිද? එමෙන්ම එය පිළිපැදීමෙන් ඔබට ප්‍රීතිය අද්දැකිය හැකිද යන්නයි.

ධර්මිෂ්ඨ ප්‍රමිතිය සොයාගැනීම

3. සියලුම ජනයාට පිළිගත හැකි මෙන්ම ප්‍රයෝජනදායක ප්‍රමිතියක් සැපයීමට සුදුසුම තැනැත්තා කවුද? එසේ පවසන්නේ මන්ද?

3 සෑම කෙනෙකුටම පිළිගත හැකි මෙන්ම ප්‍රයෝජන ලැබිය හැකි ප්‍රමිතියක් සොයාගැනීමට නම් වාර්ගික, සංස්කෘතික හා දේශපාලනික වැට කඩොලුවලින් සීමා නොවන, අදූරදර්ශී හා දුර්වල මිනිසුන් මෙන් නොවන කෙනෙකු වෙතට යෑමට අපට සිදු වේ. නිසැකවම මෙම සුදුසුකම් තිබෙන තැනැත්තා වන්නේ සර්වපරාක්‍රම මැවුම්කරු වන යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙකු නොවේ. ඔහු මෙසේ පවසයි. “අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.” (යෙසායා 55:9) තවදුරටත් බයිබලයෙහි යෙහෝවාව මෙසේ විස්තර කරයි. “ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවිකෙනෙකි. ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.” (ද්විතීය කථාව 32:4) ‘යෙහෝවා ධර්මිෂ්ඨය’ නමැති ප්‍රකාශය බයිබලය පුරාම අපට සොයාගත හැකියි. (නික්මයාම 9:27; 2 ලේකම් 12:6; ගීතාවලිය 11:7; 129:4; විලාප ගී 1:18; එළිදරව් 19:2) ඔව්, අපට උත්තරීතර ප්‍රමිති අපේක්ෂා කළ හැක්කේ යෙහෝවාගෙන් පමණි. මන්ද ඔහු විශ්වාසවන්තයි. යුක්ති ගරුකයි. ධර්මිෂ්ඨයි.

4. ‘ධර්මිෂ්ඨකම’ යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 “ධර්මිෂ්ඨ” යන වචනය ඇසෙන විට බොහෝදෙනෙකු තුළ ප්‍රියබවක් ඇති නොවේ. ඔවුන්ගේ සිතට එන්නේ අන් අයට වඩා තමන් ධර්මිෂ්ඨයි, ශුද්ධයි, ශ්‍රද්ධාවත් කියා මවා පාන මිනිසුන්වයි. කෙසේවෙතත්, බයිබලයේ සඳහන් ධර්මිෂ්ඨකමට යුක්තිසහගත, අවංක, සුචරිතවත්, නිර්දෝෂ, පව් රහිත යන අදහස් ඇතුළත් වේ. දෙවිගේ නීති ප්‍රතිපත්තිවලට හෝ පිළිගත් සදාචාර ප්‍රමිතිවලට අනුකූල වීම හා නිවැරදි මෙන්ම යුක්තිසහගත දෙය කිරීමද ඉන් අදහස් කෙරේ. මෙවන් කදිම ගුණාංගවලින් අනූන නීතියකට හෝ ප්‍රමිතියකට ඔබ ප්‍රිය කරන්නේ නැද්ද?

5. බයිබලයේ ප්‍රකාශ කර තිබෙන පරිදි ධර්මිෂ්ඨකම විස්තර කරන්න.

5 ධර්මිෂ්ඨකම ගැන එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා නමැති පොතේ මෙසේ අදහස් පළ කර ඇත. “ධර්මිෂ්ඨකම හුදෙක් පහසුවෙන් ග්‍රහණය කරගත නොහැකි සෛද්ධාන්තික සංකල්පයක් නොව, නමුත් සෑම සබඳතාවකදීම යුක්තිසහගත හා හරි දෙය කිරීම මත පදනම් වන දෙයකි.” නිදසුනක් වශයෙන් දෙවිගේ ධර්මිෂ්ඨකම කියන්නේ ඔහුගේ ශුද්ධකම හා නිර්මලත්වය වැනි ඔහු සතු පෞද්ගලිකත්වය හා බැඳි අභ්‍යන්තර ගුණාංගයක් නොවේ. ඊට වෙනස්ව දෙවිගේ ධර්මිෂ්ඨකම යනු නිවැරදි සහ යුක්තිසහගත ආකාරවලින් ඔහුගේ ස්වභාවය විදහාපෙන්වීමකි. යෙහෝවා ශුද්ධ හා නිර්මල නිසා ඔහු කරන සෑම දෙයක්ම හා ඔහු වෙතින් නික්මෙන සෑම දෙයක්ම ධර්මිෂ්ඨයි කියා පැවසිය හැක. බයිබලය පවසන්නාක් මෙන් “යෙහෝවා ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය. ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය [පක්ෂපාතය, NW].”—ගීතාවලිය 145:17.

6. පාවුල් ඔහුගේ කාලයේ සිටි ඇතැම් නොඇදහිලිවන්ත යුදෙව්වන් ගැන පැවසුවේ කුමක්ද? ඒ මන්ද?

6 ප්‍රේරිත පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියේදී මේ කාරණය අවධාරණය කළේය. නොඇදහිලිවන්ත ඇතැම් යුදෙව්වන් ගැන ඔහු මෙසේ ලීවේය. “ඔවුහු දෙවිගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිර කරන්ට සොයමින්, දෙවිගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.” (රෝම 10:3) පාවුල් ඔවුන්ව “දෙවිගේ ධර්මිෂ්ඨකම [නොදන්න]” අය ලෙස හැඳින්වූයේ මන්ද? ව්‍යවස්ථාවේ සඳහන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන ඔවුන්ට උගන්වා තිබුණා නොවේද? ඔව්, ඇත්තෙන්ම ඔවුන්ට ඒ ගැන උගන්වා තිබිණ. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ධර්මිෂ්ඨකම සැලකුවේ අන් අය සමඟ කටයුතු කිරීමේදී තමන්ට මඟ පෙන්වන ප්‍රමිතියක් ලෙස නොව, පෞද්ගලිකව තමන්ගේ සුචරිතය ප්‍රදර්ශනය කරන දෙයක් ලෙසයි. ඔවුන් මේ බව පෙන්නුවේ ආගමික නීති මාලාවක් අකුරටම පිළිපැදීමෙනි. යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් මෙන් ඔවුහුද යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ සැබෑ හරය වටහාගැනීමට අසමත් වූහ.—මතෙව් 23:23-28.

7. යෙහෝවා ධර්මිෂ්ඨකම පෙන්වා තිබෙන්නේ කෙසේද?

7 මීට හාත්පසින්ම වෙනස්ව, යෙහෝවාගේ ධර්මිෂ්ඨකම, ඔහු කටයුතු කරන සියලු ආකාරවලින් ප්‍රකාශ වන අතර, ඒ සියලු අවස්ථාවන්හිදී පැහැදිලිව දැකගත හැක. හිතාමතාම වැරදි කරන අයගේ පාප ඔහු සුළු කොට නොසලකන්නේ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසාය. කෙසේවෙතත්, ඔහු අනවශ්‍ය ලෙස දේවල් ඉල්ලා සිටින, හැඟීමක් නැති මෙන්ම පහසුවෙන් එළඹිය නොහැකි දෙවි කෙනෙකු බව එයින් අදහස් නොකරයි. මීට වෙනස්ව මුළු මනුෂ්‍යවර්ගයාටම ඔහු වෙත එළඹීමටත් පාපයේ ඛේදනීය ප්‍රතිවිපාකවලින් ගැළවීමටත් මාර්ගය සලසා ඇත්තේ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියා නිසාය. මේ නිසා යෙහෝවාව “ධර්මිෂ්ඨ වූ දෙවි” ලෙසත් ‘ගැළවුම්කරු’ ලෙසත් විස්තර කර තිබීම ඉතාමත් යෝග්‍යයි.—යෙසායා 45:21.

ධර්මිෂ්ඨකම සහ ගැළවීම

8, 9. ව්‍යවස්ථාව මගින් දෙවිගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ වූයේ කිනම් ආකාරවලින්ද?

8 දෙවිගේ ධර්මිෂ්ඨකම සහ ඔහු ප්‍රේමනීය ලෙස ලබා දෙන ගැළවීම අතර තිබෙන සම්බන්ධය තේරුම්ගැනීම සඳහා ඔහු මෝසෙස් මාර්ගයෙන් ඉශ්‍රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාව ගැන සලකා බලමු. ව්‍යවස්ථාව ධර්මිෂ්ඨ බවට කිසිම සැකයක් නැත. මෝසෙස් ඉශ්‍රායෙල් ජාතියට පැවසූ අවසන් වදන්වලින් ඔහු මේ බව ඔවුන්ට මතක් කර දුන්නේය. “අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨ වූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?” (ද්විතීය කථාව 4:8) සියවස් ගණනාවකට පසු ඉශ්‍රායෙල්හි දාවිත් රජ මෙසේ පැවසීය. “යෙහෝවාගේ විනිශ්චයෝ සැබෑය. සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.”—ගීතාවලිය 19:9.

9 යෙහෝවා ව්‍යවස්ථාව මාර්ගයෙන් හරි වැරැද්ද පිළිබඳ තමන්ගේ පරිපූර්ණ ප්‍රමිති මොනවාද යන්න පැහැදිලි කළේය. ඉශ්‍රායෙල්වරුන් ආගමික කටයුතුවලදී පමණක් නොව, ව්‍යාපාරික කටයුතුවලදී, විවාහ ජීවිතයේදී, ආහාර පාන හා සනීපාරක්ෂාව හා සම්බන්ධ පුරුදුවලදී මෙන්ම විනිශ්චමය තීන්දු ගන්නා විටද ක්‍රියා කළ යුතු ආකාරය ගැන සම්පූර්ණ විස්තර ව්‍යවස්ථාවෙහි සඳහන් විය. ව්‍යවස්ථාවෙහි නීති කඩ කරන අයට විරුද්ධව පැමිණවිය යුතු දැඩි දඬුවම් පිළිබඳවද එහි සඳහන් විය. ඇතැම් සිද්ධීන්වලදී මරණීය දඬුවම පවා නියම කර තිබිණ. a අද බොහෝදෙනෙකු පවසන්නාක් මෙන් ව්‍යවස්ථාවේ සඳහන් වූ දෙවිගේ ධර්මිෂ්ඨ නියමයන් ජනයාට උසුලන්න බැරි තරමට දැඩි වූවාද? ඔවුන්ගේ නිදහස හා ප්‍රීතිය එමගින් සොරාගනු ලැබුවාද?

10. යෙහෝවාට ප්‍රේම කළ අයට ඔහුගේ නීති ගැන හැඟුණේ කෙසේද?

10 යෙහෝවාට ප්‍රේම කළ අය ඔහුගේ ධර්මිෂ්ඨ නීතිවලට හා නියමයන්ට කීකරු වීමෙන් මහත් ප්‍රීතියක් අද්දුටූහ. නිදසුනක් වශයෙන් දාවිත් රජ යෙහෝවාගේ විනිශ්චමය තීන්දු සැබෑ මෙන්ම ධර්මිෂ්ඨයි කියා පිළිගත්තා පමණක් නොව, අප දුටු පරිදි ඔහු මුළු හදින්ම ඒවාට ප්‍රිය කරමින් අගය කළේය. යෙහෝවාගේ නීති හා විනිශ්චමය තීන්දු ගැන ඔහු මෙසේ ලීවේය. “ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශා විය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය. තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.”—ගීතාවලිය 19:7, 10, 11.

11. ව්‍යවස්ථාව ‘ක්‍රිස්තුස් ළඟට පමුණුවන ගුරුවරයෙක්’ බව ඔප්පු වූයේ කෙසේද?

11 ඊටත් වඩා මහත් වටිනාකමක් ව්‍යවස්ථාවෙහි තිබෙන බව සියවස් ගණනාවකට පසු පාවුල් පෙන්වා දුන්නේය. ගලාතිවරුන්ට ලියූ ලිපියේදී ඔහු මෙසේ සඳහන් කළේය. “මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස් ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.” (ගලාති 3:24) පාවුල්ගේ කාලයේ බොහෝදෙනෙකු විසූ නිවසක සිටි සේවකයෙක් හෝ දාසයෙක් ගුරුවරයෙකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ කාර්යය වූයේ එම නිවසේ සිටි දරුවන්ව ආරක්ෂා කිරීමත් ඔවුන්ව පාසැලට ගෙන යෑමත්ය. ඒ හා සමානව ව්‍යවස්ථාව මගින් ඉශ්‍රායෙල්වරුන්ව දූෂිත ක්‍රියාවලින් හා අවට සිටි ජාතීන්ගේ ආගමික වත් පිළිවෙත්වලින් ආරක්ෂා කෙරිණ. (ද්විතීය කථාව 18:9-13; ගලාති 3:23) මීට අමතරව ව්‍යවස්ථාව මගින් ඔවුන්ගේ පව්කාර ස්වභාවය ගැනත් පාපවලට සමාව ලබාගැනීමේ හා ගැළවීමේ අවශ්‍යතාව ගැනත් ඉශ්‍රායෙල්වරුන්ව දැනුවත් කරන ලදි. (ගලාති 3:19, නව අනුවාදය) ව්‍යවස්ථාවෙන් නියම කළ පූජා පිළිබඳ විධිවිධානය මගින් මිදීමේ මිල පූජාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. තවදුරටත් එම පූජා මගින් සැබෑ මෙසියස්ව හඳුනාගත හැකි අනාවැකිමය ආදර්ශයක් සපයන ලදි. (හෙබ්‍රෙව් 10:1, 11, 12) මෙසේ යෙහෝවා ඔහුගේ ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව මාර්ගයෙන් පෙන්වනු ලැබුවත්, ඔහු එසේ කළේ ජනයාගේ ශුභසිද්ධිය හා සදාකාලික ගැළවීම සිතේ තබාගෙනය.

ධර්මිෂ්ඨයි කියා දෙවි සැලකූ අය

12. ව්‍යවස්ථාව මනා ලෙස පිළිපැදීමෙන් ඉශ්‍රායෙල්වරුන්ට අත් කරගත හැකිව තිබුණේ කුමක්ද?

12 යෙහෝවා විසින් දෙන ලද ව්‍යවස්ථාව සෑම අතින්ම ධර්මිෂ්ඨ වූ නිසා, එයට කීකරු වීමෙන් දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටීමට ඉශ්‍රායෙල්වරුන්ට හැකියාව තිබිණ. ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශය අද්දර සිටියදී මෝසෙස් ඔවුන්ට මේ දෙය මතක් කර දුන්නේය. “අපේ දෙවි වූ යෙහෝවා අපට අණ කර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්ට බලාගනිමු නම්, එය අපට ධර්මිෂ්ඨකම වන්නේය.” (ද්විතීය කථාව 6:25) එපමණක්ද නොව යෙහෝවා ඔවුන්ට මෙසේද පොරොන්දු විය. “නුඹලා මාගේ පනත් සහ විනිශ්චයන් පවත්වන්න. මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත් වන්නේය. මම යෙහෝවාය.”—ලෙවී කථාව 18:5; රෝම 10:5.

13. ධර්මිෂ්ඨ ව්‍යවස්ථාව පවත්වන්න කියා තම සෙනඟගෙන් ඉල්ලා සිටීමේදී යෙහෝවා යම් අයුක්තියක් කළාද? පැහැදිලි කරන්න.

13 කනගාටුවට කරුණක් නම් ඉශ්‍රායෙල්වරුන් ‘යෙහෝවා අණ කර තිබූ ලෙස මුළු ආඥාව පවත්වන්ට’ අසමත් වීමයි. එහි ප්‍රතිඵලයක් හැටියට දෙවි පොරොන්දු වූ ආශීර්වාද ඔවුන්ට අහිමි විය. දෙවිගේ සියලුම ආඥාවන් පැවැත්වීමට ඔවුන් අසමත් වූයේ දෙවි ඔවුන්ට දුන් ව්‍යවස්ථාව සම්පූර්ණ වූවත් ඔවුන් සම්පූර්ණ අය නොවීම නිසාය. මෙයින් අදහස් කරන්නේ දෙවි අයුක්තිසහගතයි කියා හෝ අධර්මිෂ්ඨයි කියාද? නිසැකවම නැත. මන්ද පාවුල් පසු කලෙක මෙසේ ලීවේය. “එසේ වී නම් කුමක් කියමුද? දෙවි වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා.” (රෝම 9:14) මෙහිදී අප සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ ව්‍යවස්ථාව දීමට කලින් සහ පසුව සිටි ඇතැම් පුද්ගලයන් අසම්පූර්ණ හා පව්කාර වූවත් දෙවි විසින් ඔවුන්ව ධර්මිෂ්ඨයයි සලකා තිබීමයි. එවන් දේවබියැති පුද්ගලයන්ගේ ලැයිස්තුවට නෝවා, ආබ්‍රහම්, යෝබ්, රාහබ් සහ දානියෙල් යන අය ඇතුළත් වේ. (උත්පත්ති 7:1; 15:6; යෝබ් 1:1; එසකියෙල් 14:14; යාකොබ් 2:25) මෙහිදී මතු වන ප්‍රශ්නය නම්, දෙවි එම පුද්ගලයන්ව ධර්මිෂ්ඨයි කියා සැලකුවේ කුමන පදනම මතද යන්නයි.

14. බයිබලයෙහි මිනිසුන්ව “ධර්මිෂ්ඨයි” කියා සඳහන් කිරීමේදී එයින් අදහස් කරන්නේ කුමක්ද?

14 යම් මිනිසෙකු “ධර්මිෂ්ඨයි” කියා බයිබලයේ සඳහන් කරන විට, එයින් අදහස් කරන්නේ එම පුද්ගලයා පව් කරන්නේ නැහැ කියා හෝ පරිපූර්ණයි කියා නොවේ. ඉන් අදහස් කරන්නේ එම පුද්ගලයා දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි ඉටු කිරීමට බැඳී සිටින දේවල් ඉටු කිරීමයි. උදාහරණයක් හැටියට “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්” සහ “[ඔහුගේ] පරම්පරාවන්හි සම්පූර්ණව [නිර්දෝෂව, NW] සිටි” පුද්ගලයෙකු කියා නෝවාව හඳුන්වා තිබේ. මෙයට හේතුව “දෙවි ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු [කිරීමයි].” (උත්පත්ති 6:9, 22; මලාකී 3:18) යොහන් බව්තීස්තගේ දෙමාපියන් වූ සෙකරියස් සහ එලිසබෙත් “යෙහෝවාගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.” (ලූක් 1:6) කොර්නේලියස් නම් ඉතාලි ජාතික හමුදා නිලධාරියාව විස්තර කර තිබෙන්නේද “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් හා දෙවි කෙරෙහි භය ඇත්තෙක්” කියාය. ඔහු ඉශ්‍රායෙල් ජාතිකයෙක් නොවීය.—ක්‍රියා 10:22.

15. ධර්මිෂ්ඨකම කිට්ටුවෙන් සම්බන්ධ වන්නේ කුමක් සමඟද?

15 තවදුරටත්, යම් පුද්ගලයෙකුගේ ධර්මිෂ්ඨකම හා ඔහුගේ හදවතේ තිබෙන දේවල් අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇත. යෙහෝවා සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි ඒ තැනැත්තාගේ ඇදහිල්ල හා අගය කිරීම මෙන්ම ප්‍රේමය ඔහුගේ හදවතේ මුල් බැස තිබේ. මෙවැනි කෙනෙකු දේවල් කරන්නේ දෙවි ඉල්ලා සිටින නිසාම නොවේ. ආබ්‍රහම් ‘යෙහෝවා කෙරෙහි විශ්වාස කළේය [ඇදහිල්ල තැබුවේය, NW]. දෙවි ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන් ගත්තේය.’ (උත්පත්ති 15:6) ආබ්‍රහම් දෙවිගේ පැවැත්ම ගැන පමණක් නොව, “වංශය” පිළිබඳ ඔහුගේ පොරොන්දුව ගැනද ඇදහිල්ල තැබුවේය. (උත්පත්ති 3:15; 12:2; 15:5; 22:18) ක්‍රියාවලින් ප්‍රකාශ කරන ලද එවන් ඇදහිල්ලක් නිසා, ආබ්‍රහම් සහ වෙනත් ඇදහිලිවන්තයන් අසම්පූර්ණ අය වූවත් ඔවුන් සමඟ සබඳතාවක් ඇති කරගෙන ඔවුන්ට ආශීර්වාද කිරීමට යෙහෝවාට හැකි විය.—ගීතාවලිය 36:10; රෝම 4:20-22.

16. මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

16 අවසාන වශයෙන් කිව හැක්කේ මිනිසුන්ගේ ධර්මිෂ්ඨකම රඳා පවතින්නේ යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි තබන ඇදහිල්ල මත බවයි. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලීවේය. ‘ඔවුහු ඔහුගේ අනුග්‍රහයෙන් [දෙවිගේ මහත් කරුණාව නිසා, NW] ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති.’ (රෝම 3:24) මෙහිදී පාවුල් කතා කරමින් සිටියේ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගික රාජ්‍යයේ හවුල් උරුමක්කරුවන් වීමට තෝරාගනු ලබන අය ගැනයි. එනමුත් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව මගින් තවත් දශලක්ෂ ගණනකට දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයක සිටීමේ ප්‍රස්තාව විවෘත කර දී තිබේ. “කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, ... සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා” දර්ශනයක් මාර්ගයෙන් ප්‍රේරිත යොහන් දුටුවේය. සුදු සළුවලින් සංකේතවත් කරන්නේ දෙවි ඉදිරියෙහි ඔවුන් පවිත්‍ර මෙන්ම ධර්මිෂ්ඨ කරනු ලැබ සිටින බවයි. මෙවන් තත්වයක සිටීමට ඔවුන්ට හැකි වන්නේ ඔවුන් “තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු [කරගෙන]” තිබෙන නිසාය.—එළිදරව් 7:9, 14.

යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරමු

17. ධර්මිෂ්ඨකම ලුහුබැඳීමේදී ගත යුතු පියවර මොනවාද?

17 මිනිසුන්ට තමන් ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයක සිටීමට හැකි වන පිණිස යෙහෝවා ප්‍රේමනීයව ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ව මිදීමේ මිලයක් ලෙස සපයා තිබුණත්, එම තත්වය කිසිවක් නොකර, නිකම්ම යමෙකුට භුක්ති විඳිය හැකි දෙයක් නොවේ. මේ සඳහා යමෙකු මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල දක්වමින් දෙවිගේ කැමැත්තට එකඟව තම ජීවිතය ගොඩනඟා ගත යුතු අතර, යෙහෝවාට කැප වී එය වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළ යුතුය. මේ දේවල් කිරීමෙන් පසුද ඔහු දිගටම වෙනත් ආත්මික ගුණාංග ඇතුළුව ධර්මිෂ්ඨකම ලුහුබැඳිය යුතුය. ස්වර්ගීය ජීවිතය සඳහා කැඳවීමක් තිබූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙකු වූ තිමෝතිව පාවුල් මෙසේ මහත් ඕනෑකමින් උනන්දු කළේය. “ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද [විඳදරාගැනීමද, NW] මොළොක්ගුණයද පස්සේ යන්න.” (1 තිමෝති 6:11; 2 තිමෝති 2:22) මේ සඳහා අඛණ්ඩ වෑයමක් දැරිය යුතු බව මෙම වදන්වලින් යේසුස්ද අවධාරණය කළේය. “පළමුකොට ඔහුගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද [දිගටම, NW] සොයන්න.” දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද අත් කරගැනීම සඳහා අප මහත් වෑයමක් දරනවා විය හැකියි. නමුත් යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ග ලුහුබැඳීමටද අප ඒ හා සමානව මහත් වෑයමක් දරනවාද?—මතෙව් 6:33.

18. (අ) ධර්මිෂ්ඨකම ලුහුබැඳීම එතරම් ලෙහෙසි දෙයක් නොවන්නේ මන්ද? (ආ) ලොත්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

18 ධර්මිෂ්ඨකම ලුහුබැඳීම ලෙහෙසි දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද අප සියලුදෙනාම අසම්පූර්ණයි. එමෙන්ම අප ස්වභාවයෙන්ම නැඹුරු වන්නේ අධර්මිෂ්ඨ දේවල් වෙතය. (යෙසායා 64:6) එපමණක්ද නොව, අප වට වී සිටින්නේ යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ග සුළු කොට සලකන මිනිසුන්ගෙනි. අප මුහුණ දෙන තත්වයන්ද, දුෂ්ට නගරයක් ලෙස ප්‍රසිද්ධ වූ සොදොම් නගරයේ විසූ ලොත් මුහුණ දුන් තත්වයන්ට බොහෝදුරට සමානයි. පැමිණීමට ආසන්නව තිබූ විනාශයෙන් ලොත්ව ගළවාගැනීම සුදුසුයි කියා යෙහෝවාට හැඟුණේ ඇයි කියා පැහැදිලි කරමින් ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසීය. “[ධර්මිෂ්ඨ වූ ලොත්] ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් [පමුණුවාගත්තේය].” (2 පේතෘස් 2:7, 8) එසේනම් අප එක් එක්කෙනා අපගෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි. ‘අප අවට දකින්න තියෙන දුරාචාර දේවල් මම හිත යටින් අනුමත කරනවාද? ජනප්‍රිය, එහෙත් සහසික විනෝදාස්වාදවලට හා ක්‍රීඩාවලට මගේ අකමැත්ත පළ කෙරෙන්නේ යන්තමින් පමණක්ද? එවැනි අධර්මිෂ්ඨ ක්‍රියා ගැන ලොත්ට මෙන් දැඩි වේදනාවක්, දුකක්, පීඩාවක් මට දැනෙනවාද?

19. අප යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරනවා නම් භුක්ති විඳිය හැකි ආශීර්වාද මොනවාද?

19 මේ අනතුරුදායක අවිනිශ්චිත කාලයේ යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කිරීමෙන් අපට සුරක්ෂිතභාවය හා ආරක්ෂාව අද්දැකිය හැක. “යෙහෝවා, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද” කියන ප්‍රශ්නයට දාවිත් රජ මෙසේ පිළිතුරු දුන්නේය. “අවංක ලෙස හැසිරෙන්නා වූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ . . . තැනැත්තේය.” (ගීතාවලිය 15:1, 2) දෙවිගේ ධර්මිෂ්ඨකම ලුහුබැඳීමෙන් හා එයට ප්‍රියවීමෙන් ඔහු සමඟ හොඳ සබඳතාවක් දිගටම පවත්වාගැනීමටත් ඔහුගේ අනුමැතිය හා ආශීර්වාද භුක්ති විඳීමටත් අපට හැක. මෙහි ප්‍රතිඵලයක් හැටියට අපට තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අතර, ආත්ම ගරුත්වයක් හා මනසේ සාමය අත් කරගත හැකියි. ධර්මිෂ්ඨකමද [ප්‍රේමනීය, NW] කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ” කියා දේවවචනය පවසයි. (හිතෝපදේශ 21:21) එපමණක්ද නොව, අප හැකි සෑම වෑයමක්ම දරමින් යුක්තිසහගත මෙන්ම හරි දෙය කරනවා නම් අන් අය සමඟ සන්තෝෂවත් සබඳතා ඇති කරගත හැක. එමෙන්ම අපේ ජීවිතයේ සදාචාරමය හා ආත්මික ගුණයද එමගින් වර්ධනය වේ. ගීතිකාකරු මෙසේ ප්‍රකාශ කළේය. “යුක්තිය රක්ෂා කරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාද ලද්දෝය [සන්තෝෂවත්ය, NW].”—ගීතාවලිය 106:3.

[පාදසටහන]

a මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it, ඉංග්‍රීසියෙන්) නමැති පොතේ 2වන කාණ්ඩයේ 214-20 දක්වා පිටුවල සඳහන් “ව්‍යවස්ථා ගිවිසුමේ ඇතැම් ලක්ෂණ” නමැති උපමාතෘකාව යටතේ තිබෙන ලිපිය බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ධර්මිෂ්ඨකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

• ගැළවීම දෙවිගේ ධර්මිෂ්ඨකමට සම්බන්ධ වන්නේ කෙසේද?

• දෙවි මිනිසුන්ව ධර්මිෂ්ඨයි කියා සලකන්නේ කුමන පදනම මතද?

• යෙහෝවාගේ ධර්මිෂ්ඨකම මගින් අපට ප්‍රීතිය අත් කරගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

දාවිත් රජ දෙවිගේ නීතිවලට මුළු හදින්ම ප්‍රිය කළේය

[16වන පිටුවේ පින්තූර]

නෝවා, ආබ්‍රහම්, සෙකරියස් හා එලිසබෙත් මෙන්ම කොර්නේලියස් යන අයව දෙවි ධර්මිෂ්ඨයයි සැලකුවේය. එයට හේතුව ඔබ දන්නවාද?