Skip to content

පටුනට යන්න

වරද කොතැනද? ඔබේද? ඔබේ ජානවලද?

වරද කොතැනද? ඔබේද? ඔබේ ජානවලද?

වරද කොතැනද? ඔබේද? ඔබේ ජානවලද?

මත්පැනට ඇබ්බැහි වීම, සමලිංගික සේවනයට නැඹුරුවාව, අසංවර ලිංගික හැසිරීම, සැහැසියාව, අසාමාන්‍ය චර්යාවන් හා මරණයට පවා පාදක වන ජාන සොයාගැනීමට විද්‍යාඥයෝ දිවා රෑ වෙහෙසෙති. අපේ හැසිරීම් රටාව පිළිබඳව වගකිව යුත්තේ අප නොව අපේ ජාන සැකැස්ම බව දැනගන්ට ලැබුණොත් එය අස්වැසිල්ලක් නොවේද? සාමාන්‍යයෙන් වෙන කෙනෙකු පිට අපේ වරද පැටවීම මිනිස් නැඹුරුවාවයි.

වරදකරුවා අපේ ජාන නම්, ඒ අප්‍රසන්න ගතිලක්ෂණ ජාන තාක්ෂණය ඔස්සේ නිසි ලෙස වෙනස් කිරීමට විද්‍යාඥයෝ ඉදිරිපත්ව සිටිති. මිනිසාගේ ජාන පද්ධතිය හා සියලුම වර්ණදේහ පිළිබඳව කළ පර්යේෂණවල මෑත කාලීන සාර්ථකත්වය එවැන්නකට තල්ලුවකි.

කෙසේවෙතත්, මේ උපකල්පනය පදනම් වන්නේ, අපේ සියලුම පාප හා දෝෂවලට වගකිවයුත්තා අපේ සහජ ගතිපැවතුම්ය යන තර්කය මතය. එහෙත්, අපේ ජානවලට විරුද්ධව එවැනි චෝදනාවක් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සොයාගැනීමට විද්‍යා රහස් පරීක්ෂකයන්ට හැකි වී තිබේද? පැහැදිලිවම, ඊට සපයන පිළිතුර අප අප දෙසම හා අපේ අනාගතය දෙස බලන ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් කිරීමට හේතුවක් වනු ඇත. සාක්ෂි පිරික්සීමට පෙර, මිනිසාගේ ආරම්භය දෙස නෙත් හෙළීම උපකාරවත් වනු ඇත.

එය ඇරඹුණු හැටි

මුල් මිනිස් යුවළ වන ආදම් හා ඒව ඒදන් උයනේදී පව් කළ සිද්ධිය ගැන බොහෝදෙනෙක් දනිති. අඩුම තරමින් ඒ ගැන අසා ඇති. දෙවි ඔවුන්ව මැව්වේ ජානවල යම් පලුදු ඇතුව, පව් කිරීමට හා අකීකරු වීමට හේතු වූ යම් නිර්මාණ දෝෂ ඇතුවද?

කරන සෑම දෙයක්ම සම්පූර්ණ ලෙස කරන්නාවූ ඔවුන්ගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි, තමන් මැවූ සෑම භූමික මැවිල්ලක්ම “ඉතා යහපත්” බව ප්‍රකාශ කළේය. (උත්පත්ති 1:31; ද්විතීය කථාව 32:4) තම වැඩය ගැන තෘප්තිමත් වී ඇති බව තවදුරටත් පෙන්වමින් ඔහු මුල් යුවළට ආශීර්වාද කර, බෝ වී මිනිස් වර්ගයාගෙන් පොළොව පිරවීමටද ඔහුගේ භූමික මැවිල්ල යටත් කරගන්ටද උපදෙස් දුන්නේය. කෙනෙකුට තම හස්ත කර්මාන්තය ගැන විශ්වාසයක් නොමැති නම් මෙවැනි ආකාරයට භාර දීමක් නොකෙරෙනු ඇත.—උත්පත්ති 1:28.

මුල් මිනිස් යුවළව මැවීම පිළිබඳව බයිබලය අපට මෙසේ පවසයි. “දෙවි තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූවේය. දෙවිගේ ස්වරූපයෙන් ඔහු මැවූවේය. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූවේය.” (උත්පත්ති 1:27) “දෙවි ආත්මයක්” බැවින්, ඔහුගේ ශරීරයට සමානව මනුෂ්‍යයන්ව මැව්වායැයි මින් අදහස් වන්නේ නැත. (යොහන් 4:24) එයින් අදහස් කරන්නේ, සදාචාරමය හැඟීමක් නැතහොත් හෘදය සාක්ෂියක් හා දිව්‍ය ගුණාංග දානය කරමින් ඔවුන්ව මැවූ බවය. (රෝම 2:14, 15) ඔවුන් කාරණයක් කිරා මැන තීරණයක් ගැනීමට හැකියාව ඇති, තම නිදහස් කැමැත්ත ඔවුන්ගේ අභිමතය පරිදි පාවිච්චි කළ හැකි අය විය.

කෙසේවෙතත්, අපේ මුල් දෙමාපියන්ට මාර්ගදර්ශක නොතිබුණා නොවේ. වැරදි කිරීමේ ආදීනව ගැන ඔවුන්ට අනතුරු අඟවා තිබුණි. (උත්පත්ති 2:17) එමනිසා, සදාචාරමය තීරණයක් ගැනීමට ආදම්ට සිදු වුවහොත්, ඒ මොහොතේදී ඔහුට සුදුසුයැයි හෝ වාසිදායකයැයි පෙනී ගිය දේ කිරීමට තෝරාගත හැකියැයි එමගින් අඟවයි. ආදම් කළේ, මැවුම්කරුවා සමඟ තිබෙන සම්බන්ධය හෝ තමන්ගේ ක්‍රියාව නිසා ඇති වන දිගුකාලීන බලපෑම ගැන නොතකා තම භාර්යාවගේ කීමට යටවීමයි. යෙහෝවා තමාට දුන් ස්ත්‍රිය තමාව රැවැට්ටූ බව කියමින් ඔහු පසුව යෙහෝවා මතද වරද පැටවීමට වෑයම් කළේය.—උත්පත්ති 3:6, 12; 1 තිමෝති 2:14.

ආදම් සහ ඒවගේ පාපය සම්බන්ධයෙන් දෙවි දැක්වූ ප්‍රතිචාරයෙන් යමක් ඉගෙනීමට හැකිය. ඔහු ඔවුන්ගේ ජානවල තිබූ යම් ‘නිර්මාණ දෝෂයක්’ නිවැරදි කිරීමට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට, අවසානයේදී ඔහු කී ලෙස ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵලය වූ මරණය උරුම කර දුන් ආදීනවවලට ඉඩහැරියේය. (උත්පත්ති 3:17-19) මිනිස් සංහතියේ මේ මුල් ඉතිහාසය මිනිස් හැසිරීම් රටාව පිළිබඳව අපට අවබෝධයක් ලබා දෙයි. a

ජීව විද්‍යාවට විරුද්ධ සාක්ෂි

විද්‍යාඥයෝ බොහෝ කාලයක් පුරා මිනිස් රෝග හා හැසිරීම්වලට පාදක වූ ජාන හා ඒවායේ දොස්, නිදොස් කළ හැකි ආකාරය සෙවීමේ දැවැන්ත කර්තව්‍යය සමඟ ගැටෙමින් සිටිත්. පර්යේෂක කණ්ඩායම් හයක් වසර දහයක් පුරා කළ වැඩයකින් පසුව, හන්ටිංටන් රෝගයට හේතු වූ ජානය සොයාගත්තද එම ජානය මගින් එම රෝගය ඇති වන්නේ කෙසේද යන්න සොයාගත්තේ නැත. කෙසේවෙතත්, මේ පර්යේෂණය ගැන හාවඩ් ජීව විද්‍යාඥ ඉවාන් බලබාන් කී දෙයක් සයන්ටිෆික් අමෙරිකන්හි උපුටා දැක්වීය. “මිනිසාගේ හැසිරීම් රටාවේ අක්‍රමිකතාවලට හේතු වන ජාන සොයාගැනීම ඊට වඩා අසීරුය.”

ඇත්තෙන්ම, මිනිස් හැසිරීම්වලට පාදක වන නිශ්චිත ජානය සොයාගැනීමට කරන්නාවූ පර්යේෂණ සාර්ථක වී නැත. නිදසුනකට, කනස්සල්ල ඇති කරවන ජානය සොයාගැනීම සඳහා ගත් වෑයම ගැන වාර්තා කරමින් සෛකෝලජි ටුඩේ පවසන්නේ, “ප්‍රධාන මානසික රෝග හා ඒවායේ මර්දනය පිළිබඳ තොරතුරුවලින් පැහැදිලි වන්නේ, එම රෝගවලට හේතුව හැටියට ජානවලටම දොස් පැවරිය නොහැකි” බවය. එම වාර්තාවේ මෙම උදාහරණය සපයයි. “වර්ෂ 1905ට පෙර අමෙරිකාවේ උපත ලැබූවන්ගෙන් වයස අවුරුදු 75 වන විට විෂාදයට පාත්‍ර වූයේ සියයට එකක් පමණි. එහෙත්, ඊට අවුරුදු 50කට පසුව උපත ලද අමෙරිකානුවන්ගෙන් සියයට හයක් විෂාදයට ලක්ව සිටියේ වයස අවුරුදු 24දීය!” එවන් කෙටි කාලයකදී එතරම් විශාල වෙනසක් ඇති කිරීමට හේතුව විය හැක්කේ, බාහිර හෝ සමාජීය කාරණා පමණමැයි එම වාර්තාව නිගමනය කරයි.

මෙම වාර්තා හා තවත් බොහෝ අධ්‍යයන මගින් හෙළි වන්නේ කුමක්ද? අපේ පෞද්ගලිකත්වයන් වෙනස් කිරීමෙහිලා ජාන යම් කාර්යයක් ඉටු කළත්, පැහැදිලිවම වෙනත් බලපෑම්ද තිබෙන බවයි. ප්‍රධාන හේතු සාධකයක් වන්නේ, මෑත කාලවලදී ප්‍රබල වෙනස්කම්වලට ගොදුරු වූ අපේ පරිසරයයි. වත්මන් තරුණයා නිරාවරණය වී ඇති ජනප්‍රිය විනෝදාස්වාදය ගැන කරුණු දක්වමින් බෝයිස් විල් බී බෝයිස් නමැති පොත මෙසේ නිරීක්ෂණය කරයි. අද දරුවන් “හැදී වැඩෙන්නේ පහර දීම්, වෙඩි තැබීම්, ආයුධවලින් ඇනීම්, බොකු බඩවැල් එළියට ඇදීම්, පෙති ගැසීම්, හම ගැසීම් හා අත් පා කපා දැමීම් ආදිය පෙන්වන රූපවාහිනි දර්ශන හා චිත්‍රපට පැය දසදහස් ගණනක් නරඹමිනි. තවදුරටත්, ස්ත්‍රී දූෂණ, සියදිවි හානි කරගැනීම්, මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි ලෙස භාවිතය මෙන්ම ස්වමතයම ඉටු කරගැනීම් වර්ණනා කරන ගීතවලට ඇහුම්කන් දෙමින් හැදෙන වැඩෙන” මේ දරුවන් යහපත් සදාචාර ප්‍රතිපත්ති වර්ධනය කරගනීයැයි සිතීම උගහටය.

පැහැදිලිවම, “මේ ලෝකයේ අධිපතියා” වන සාතන් මිනිසාගේ පහත් නින්දිත ආශාවන්ට සරිලන සේ පරිසරය සකස් කර ඇත. එවන් පරිසරයක් අප කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන්නේ නැතැයි කීමට හැක්කේ කාටද?—යොහන් 12:31; එපීස 6:12; එළිදරව් 12:9, 12.

මිනිස් ගැටලුවල මුල

අප දැනටමත් දුටු ආකාරයට, මිනිස් ගැටලු ආරම්භ වූයේ මුල් මිනිස් යුවළ පව් කළ දාය. එහි ප්‍රතිඵලය කුමක් වීද? ආදම්ගේ පාපයට ඔහුගෙන් පැවතෙන පරම්පරාවන් වගකිව යුතු නැති වුවත්, ඔවුන් සියල්ලෝම ඉපදෙන්නේ පාපය, අසම්පූර්ණත්වය හා මරණය උරුම කරගෙනය. මේ ගැන බයිබලය මෙසේ කියයි. “එහෙයින් එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුණාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.

මිනිසාගේ අසම්පූර්ණකම ඔහුට විශාල පාඩුවක් බව ඇත්තකි. ඒ නිසාම සදාචාරය හා බැඳුණු සියලුම වගකීම්වලින් ඔහු නිදහස් වන්නේද නැත. ඒ වෙනුවට, ජීවනය ලැබීම සඳහා වූ යෙහෝවාගේ සැපයුම කෙරෙහි ඇදහිල්ල තබා තමන්ගේ ජීවිත දෙවිගේ ප්‍රමිතිවලට එකඟ කරගන්නාවූ අයට ඔහුගේ අනුමැතිය ලැබෙන බව බයිබලය පෙන්වයි. යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව නිසාම, ආදම් නැති කරගත් දෙය යළි මිල දී ගන්නා සේ, මිනිසාව මුදවාගැනීමට දයාවන්ත විධිවිධානයක් සකස් කළේය. එම සැපයුම නම්, තම පරිපූර්ණ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාවයි. මේ ගැන යේසුස් මෙසේ කීවේය. “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාදයත්, ඔහු තමාගේම ඒක ජාතක පුත්‍රයාව ලෝකයට දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16, NW; 1 කොරින්ති 15:21, 22.

ප්‍රේරිත පාවුල් මේ සැපයුම ඔහුගේ හද පත්ලෙන්ම අගය කළේය. ඔහු හැඟීම්බරව මෙසේ ප්‍රකාශ කළේය. “අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ස්තුති කරමි.” (රෝම 7:24, 25) තම අසම්පූර්ණකම නිසා තමා පාපයට වැටුණොත්, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කරණකොටගෙන දෙවිගේ සමාව ලබාගත හැකි බව පාවුල් දැන සිටියේය. b

මුල් සියවසේදී මෙන් මේ කාලයේද අතීතයේදී දුරාචාර ජීවිත ගත කළ හෝ ජීවිතයට බලාපොරොත්තුවක් නැතුව සිටි අය, බයිබල් සත්‍යතා පිළිබඳව නිවැරදි දැනුම ලබාගෙන, අවශ්‍ය වෙනස්කම් කරමින්, දෙවිගේ අනුමැතිය ලබන තැනට පැමිණ තිබේ. ඔවුන්ට කරගැනීමට සිදු වූ වෙනස්කම් ලෙහෙසි පහසු ඒවා නොවීය. ඔවුන්ගෙන් සමහරෙක් තවමත් හානිකර නැඹුරුවාවන් සමඟ සටන් කරති. එහෙත්, දෙවිගේ උපකාරය ඇතුව, යෙහෝවා කෙරෙහි අඛණ්ඩතාව පවත්වමින් ප්‍රීතියෙන් ඔහුට සේවය කරන්ට ඔවුන්ට හැකිව ඇත. (පිලිප්පි 4:13) දෙවිව සතුටු කිරීම සඳහා තම ජීවිතයේ දැවැන්ත වෙනස්කම් කළ කෙනෙකු පිළිබඳ උදාහරණයක් සලකා බලන්න.

දිරිගන්වනසුලු අද්දැකීමක්

“ඉස්කෝලේ බෝඩිං වෙලා ඉගෙනගත්තු කාලයේ සමලිංගික සේවනයේ යෙදෙන්න මං පුරුදු වෙලා හිටියා. හැබැයි මම සමලිංගිකයෙක් කියලා නම් මම කවදාක්වත් සිතං හිටියේ නැහැ. මගේ අම්මයි තාත්තයි දික්කසාද වෙලා හිටියේ. ඉතිං මට නැතිව තිබුණු මව්පිය සෙනෙහස කොහෙං හරි ලබාගන්න මං පුදුම ආසාවකින් හිටියේ. ඉස්කෝලේ ගිහිං නැවතුණාම මම අනිවාර්යය හමුදා සේවයට බැඳුණා. මගේ බැරැක්කෙට එහා එකේ සමලිංගිකයෝ කණ්ඩායමක් හිටියා. ඒගොල්ලන්ගේ ජීවිත රටාවට හැඩගැහෙන්න මටත් ලොකු තෘෂ්ණාවක් ඇති වුණා. ඒ නිසා මම ඒගොල්ලන්ව ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඒගොල්ලන්ව අවුරුද්දක් විතර ආශ්‍රය කරනකොට මට හිතුණා මම සමලිංගිකයෙක් කියලා. ‘මේ මං ලබා උපන් හැටි, ඒ නිසා ඒක වෙනස් කරන්න මට බැහැයි’ කියලත් හිතුණා.

“මම සමලිංගිකයෝ කතා කරන භාෂාව ඉගෙනගත්තා. මත්ද්‍රව්‍ය සහ මත්පැන් ඇති වෙනකං පාවිච්චි කරන්න පුළුවන් ඒ අය ගැවසෙන සමාජ ශාලාවල කාලය ගත කරන්නත් පටන්ගත්තා. පිටාතරින් ඒ ජීවිතය හරිම වශී කරනසුලු වුණත්, ඒ ජීවිතය හරිම හිරිකිතයි. මෙවැනි සම්බන්ධකම් අස්වභාවිකයි කියලත් මේ ජීවිතයට අනාගතයක් නැති බවත් මට දැනුණා.

“දවසක් පුංචි ටවුමක් හරහා මම ගමනක් යමින් ඉද්දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක් හමු වුණා. ඒ වෙලාවේ රැස්වීම් පැවැත්වෙමිනුයි තිබුණේ. මම ඇතුළට ගිහිල්ලා කතාවට ඇහුම්කන් දුන්නා. ඒ කතාව තිබුණේ අනාගත පාරාදීස තත්වයක් ගැනයි. රැස්වීමෙන් පසුව මම සාක්ෂිකරුවන් එක්ක කතා කළා. එක්රැස්වීමකට එන්න කියා ඔවුන් මට කිව්වා. මම ඒකට සහභාගි වුණා. පවුල් ප්‍රීතියෙන් එකට නමස්කාරයේ යෙදෙනවා දැක්කම මම පුදුම වුණා. ඒත් එක්කම මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

“මට ගොඩාක් අමාරු වුණත්, බයිබලයෙන් ඉගෙනගත් දේවල් අදාළ කරගන්න මම පටන්ගත්තා. මං යෙදෙමින් හිටිය හැම අපවිත්‍ර හැසිරීමකින්ම මිදෙන්න මට පුළුවං වුණා. මාස 14ක් පුරා පාඩම් කළාට පස්සේ, මම යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණා. දැන් ජීවිතයේ මුල්ම වතාවට මට අවංක යහළුවන් ඉන්නවා. අනිත් අයට බයිබලයේ තියෙන සත්‍යතා ගැන කියා දෙන්නත් මට පුළුවං වෙලා තියෙනවා විතරක් නෙවෙයි, දැන් මම ක්‍රිස්තියානි සභාවක සභා සේවකයෙක් හැටියටත් සේවය කරනවා. යෙහෝවා ඇත්තටම මට ආශීර්වාද කරලා තියෙනවා.”

අප වගකිව යුතුයි

අපේ වැරදිවලට සම්පූර්ණ වරද අපේ ජාන මත පැටවීමෙන් කිසි යහපතක් වන්නේ නැත. එසේ කිරීම අපේ ගැටලු විසඳාගැනීමට හෝ ඒවා ජයගැනීමට ඉවහල් වනවාට වඩා “බොහෝ ගැටලුවලට හේතුව වන, අපි අසරණයි, කරන්ට කිසිත් ඉතිරි වී නැතැයි යන ආකල්පය ඇති කරගැනීමට හේතු විය හැකිය. එමෙන්ම, අපේ ගැටලු අඩු කරගන්ට උර දෙනවාට වඩා එය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් මෙන් වනු ඇතැයි” සෛකෝලජි ටුඩේ සඳහන් කරයි.

මෙහිදී අපේම පව්කාර නැඹුරුවාවන් හා දෙවිට කීකරු වීමෙන් අපව වෙනතකට යොමු කරන සාතන්ගේ උපක්‍රම ඇතුළුව වෙනත් ප්‍රබල බලපෑම්වලට එරෙහිව සටන් කිරීමට සිදු වන බව ඇත්තයි. (1 පේතෘස් 5:8) එමෙන්ම, අපට යම් ආකාරයෙන් හෝ බලපෑම් කිරීමට අපේ ජානවලට හැකි බවත් ඇත්තයි. එහෙත්, අප අසරණ වී නැත. සැබෑ ක්‍රිස්තියානීන්ට, යෙහෝවා, යේසුස් ක්‍රිස්තුස්, දෙවිගේ ශුද්ධාත්මය, ඔහුගේ වචනය වන බයිබලය හා ක්‍රිස්තියානි සභාව වැනි බලවත් මිත්‍ර පාක්ෂිකයන් සිටිත්.—1 තිමෝති 6:11, 12; 1 යොහන් 2:1.

ඉශ්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශයට පය ගසන්ට පෙර දෙවි ඉදිරියේ තිබෙන ඔවුන්ගේ වගකීම ගැන මෝසෙස් මතක් කර දුන්නේ මෙසේය. ‘මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබුවෙමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන, නුඹේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කොට, ඔහුගේ හඬට කීකරු වී, ඔහුට ඇලුම්ව සිටින්න.’ (ද්විතීය කථාව 30:19, 20) ඒ හා සමානව අදත්, දෙවිට සේවය කිරීම හා ඔහු ඉල්ලා සිටින දේ දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට, වගකීමක් දැරිය හැකි සෑම කෙනෙක්ම පෞද්ගලිකව බැඳී සිටියි. එහෙත්, තේරීම තිබෙන්නේ ඔබ අතේය.—ගලාති 6:7, 8.

[පාදසටහන්වල]

a වර්ෂ 1996 සැප්තැම්බර් 22 පිබිදෙව්!හි 3-8 දක්වා පිටු බලන්න (සිංහලෙන් නැත).

b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 62-9 දක්වා පිටු බලන්න.

[9වන පිටුවේ පින්තූර]

ආදම් හා ඒවව මවනු ලැබුවේ ඔවුන්ගේ ජානවල යම් පලුදු ඇති කරමින්, පව් කිරීමේ නැඹුරුවාවක් ඇතුවද?

[10වන පිටුවේ පින්තූර]

සෑම කෙනෙකුම තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් වගකිව යුතුද?

[හිමිකම් විස්තර]

Drug user: Godo-Foto

[11වන පිටුවේ පින්තූරය]

මිනිස් හැසිරීම්වලට පාදක වන ජානවල අඩංගු දෝෂ සෙවීම සාර්ථක වී නැත

[12වන පිටුවේ පින්තූරය]

බයිබලයෙහි කියන දේ අදාළ කරගැනීම ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගැනීම සඳහා අවංක අයට උදව්වක් වී ඇත