Skip to content

පටුනට යන්න

මිනිසාගේ ගැටලුවලට ළඟදීම නිමාවක්!

මිනිසාගේ ගැටලුවලට ළඟදීම නිමාවක්!

මිනිසාගේ ගැටලුවලට ළඟදීම නිමාවක්!

“ගැටුම්වලට මූලික වන හේතු සොයා බලා පිළියම් යොදන පුළුල් උපාය මාර්ගයන්ට හා දේශපාලනික සහයෝගය නොමැතිව සිදු කෙරෙන මානව හිතවාදී ක්‍රියාවලට තිබෙන්නේ සීමිත වටිනාකමක්. ප්‍රධාන වශයෙන් දේශපාලනික ස්වරූපයක් ගන්නා ගැටලුවලට මානව හිතවාදී ක්‍රියාවලින් පමණක් විසඳුමක් ගෙන ඒමට නොහැකි බව බොහෝවිට අද්දැකීම්වලින් පෙනී ගොස් තිබෙනවා.”—වසර 2000 ලෝක සරණාගතයන්ගේ තත්වය (සිංහලෙන් නැත).

මානව හිතවාදී ක්‍රියා විශාල ලෙස සිදු වුණත් මිනිසාගේ ප්‍රශ්න ගැටලු අධික වෙන්නේ පුදුම විදිහකටයි. ඉතින් කල්පවතින දේශපාලනික විසඳුමක් බලාපොරොත්තු විය හැකිද? ඇත්තම කියනවා නම් බැහැ. එහෙමනම් අපි යා යුත්තේ කා වෙතටද? එපීසයේ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් යැවූ ලිපියේ මුලින්ම ලියා තිබූ විශේෂ කොටසේ මිනිසාගේ සියලු ගැටලුවලට දෙවි විසින් නිමාවක් ගෙනෙන අයුරු පැහැදිලි කර තිබෙනවා. මෙය කිරීමට දෙවි යොදාගන්නාවූ මාධ්‍යය ගැන පවා ඔහු සඳහන් කරනවා. එය අදදින අපට වින කරන ගැටලු සියල්ලට මූලික වී ඇති හේතූන් ගැන සලකා බැලෙන මාධ්‍යයක්. පාවුල් පවසන දේ ගැන සලකා නොබලන්නේ මන්ද? එය සඳහන් වන්නේ එපීස 1:3-10හිය.

“සියල්ලම නැවතත් ක්‍රිස්තුස් තුළ ඒකරාශි කිරීමට”

දෙවිගේ අරමුණ වන්නේ “නියම කරන ලද කාලවලදී . . . පරිපාලනය [නැතහොත් දේවල් පාලනය]” කිරීමයි කියා ප්‍රේරිතයා පවසයි. මින් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් වන්නේ, “ස්වර්ගයේ දේවල් හා පොළොවේ දේවල් යන සියල්ලම නැවතත් ක්‍රිස්තුස් තුළ ඒකරාශි කිරීම” සඳහා ක්‍රියාත්මක වීමට දෙවි තමාට කාලයක් නියම කරගෙන තිබෙන බවයි. (එපීස 1:10, NW [එපීස 1:9]) ඇත්තෙන්ම, ස්වර්ගයේ සහ පොළොවේ තිබෙන සියල්ල කෙළින්ම තම අණසක යටතේ එකඟත්වයකට ගෙන ඒමට දෙවි විධිවිධානයක් යොදා ඇත. මෙහි යොදා ඇති ‘නැවතත් ඒකරාශි කිරීම’ යන යෙදුම ගැන බයිබල් විශාරද ජේ. එච්. තේය පවසන්නේ ‘සියලු දේ සහ සියල්ලන් (තවමත් පාපය නිසා අසමඟි වී සිටින සියල්ලන්) ක්‍රිස්තුස් තුළ සහෝදරත්වයෙන් බැඳි තත්වයකට ගෙන . . . ඔහු වෙත නැවතත් ඒකරාශි කිරීම’ යනුවෙනි.

මුලින්ම අසමඟිය ඇති වූ අයුරු සලකා බැලීමේදී දෙවිට ඒ ආකාරයෙන් සිදු කිරීමට අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි වේ. මිනිස් ඉතිහාසයේ මුල් කාලයේදී, අපේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගසමින් සාතන් නම් යක්ෂයාව අනුගමනය කළා. ඔවුන්ට ඕන වුණේ යහපත් දේ සහ අයහපත් දේ කුමක්ද කියා තමන්ම තීරණය කිරීමේ නිදහස ලබාගැනීමටයි. (උත්පත්ති 3:1-5) දිව්‍යමය යුක්තියට අනුව ඔවුන්ව දෙවිගේ පවුලෙන් පන්නා දැමූ අතර ඔහු සමඟ භුක්ති විඳි ඇසුරද ඔවුන්ට අහිමි වුණා. අදදින අප අද්දකින කටුක දේවල් සියල්ල සමඟින් ඔවුන් මිනිසාව අසම්පූර්ණත්වය තුළ ගිල්ලුවා.—රෝම 5:12.

තාවකාලිකව නපුරට ඉඩහැර

‘දෙවි ඔවුන්ට එහෙම කරන්න ඉඩඇරියේ ඇයි’ කියා සමහරු ඇසිය හැකියි. ‘අපිට දැන් විඳින්න වෙලා තියෙන දුක් වේදනා සියල්ල වළක්වන්න දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ බලය යොදමින්, ඔහුගේ කැමැත්ත ක්‍රියාත්මක නොකළේ ඇයි?’ එයාකාරයෙන් සිතීමට පෙලඹීමක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් එලෙස දෙවි තම බලය අනිසි ලෙස යෙදෙවුවොත් ඇත්තටම ඔප්පු වනු ඇත්තේ කුමක්ද? වෙනස් මතයක් පළ කරන සේයාවක් දුටු පමණින් තමන්ට තිබෙන බලය යොදා සියලු විරුද්ධවාදිකම් අතුගා දමන කෙනෙකුව ඔබ අගය කරනවාද? නැතහොත් ඔබ එවැන්නෙකුව අනුමත කරනවාද? එසේ නොකරන බව ස්ථිරයි.

කැරලිගැසූ අය ඇත්තෙන්ම අභියෝග කළේ දෙවිගේ සර්වබලධාරි බලයට නොවේ. ඔවුන් විශේෂයෙන්ම අභියෝග කළේ ඔහුගේ පාලනයේ නිවැරදිභාවයට හා පාලනය කිරීමට ඇති අයිතියටයි. පැනනැඟ ඇති මූලික ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් සහිත උත්තර සැපයීම සඳහා යෙහෝවා කෙළින්ම පාලනය නොකර තම මැවිලිවලට යම් කාල සීමාවකට ඔවුන්ගේම දේවල් මෙහෙයවාගැනීමට ඉඩහැරියා. (දේශනාකාරයා 3:1; ලූක් 21:24) කාල සීමාව අවසන් වූ පසු, ඔහු යළිත් පොළොව සම්පූර්ණයෙන් පාලනය කිරීමට මැදිහත් වේවි. පොළෝවාසීන්ට සදා සාමය, සතුට හා සෞභාග්‍යය ලැබෙන්නේ ඔහුගේ පාලනයෙන් පමණක් බව එදාට මනාව පැහැදිලි වෙයි. එවිට ලොව පුරා තාඩන පීඩන සිදු කරන සියල්ලන්ව සදහටම තුරන් කර තිබේවි.—ගීතාවලිය 72:12-14; දානියෙල් 2:44, 45අ.

ලෝකය මැවීමට ප්‍රථමයෙන්”

යෙහෝවා මේ සියල්ල කිරීමට අරමුණු කළේ බොහෝ කලකට පෙර, එනම් “ලෝකය මැවීමට ප්‍රථමයෙන්” කියා පාවුල් සඳහන් කරනවා. (එපීස 1:4) ඉන් අදහස් වන්නේ, පොළොව හෝ ආදම් සහ ඒව හෝ මැවීමට පෙර නොවෙයි. එම ලෝකය “ඉතා යහපත්ව” තිබූ අතර කැරලිගැසීමක් සිදු වී තිබුණේ නැහැ. (උත්පත්ති 1:31) එසේනම් ප්‍රේරිත පාවුල් පැවසූ “ලෝකය” කුමක්ද? එය ආදම් හා ඒවගේ දරුවන්ගේ ලෝකයයි. එනම් මිදීමේ අපේක්ෂාව ඇතුව සිටි මිනිසාගෙන් සමන්විත පාපතර, අසම්පූර්ණ ලෝකයයි. මුදවාගැනීමට හැකි ආදම්ගෙන් පැවතෙන්නන්ට සහනයක් ලබා දෙමින් දේවල් හසුරුවන ආකාරය යෙහෝවා දැනගෙන සිටියේ මෙලොවෙහි කිසිම දරුවෙකු බිහිවීමට පෙර සිටයි.—රෝම 8:20.

ඇත්තෙන්ම මෙහිදී පැවසීමට අදහස් කරන්නේ, මිනිසුන් දේවල් හසුරුවන විදිහට විශ්වයේ පරමාධිපති දේවල් හසුරුවන බවක් නොවෙයි. එය තේරුම්ගැනීම සඳහා අපි මේ දේ සලකා බලමු. හදිසි අවස්ථාවක් පැනනැඟුණහොත් තත්වය සාර්ථකව හැසිරවිය හැකි වන ලෙස උපක්‍රම රැසක් සැලසුම් කිරීමට වෙහෙස දරන්න ඔවුන්ට සිදු වෙනවා. නමුත් සර්වබලධාරි දෙවිට ඔහුගේ අරමුණු දියත් කර ඒවා ඉටු වෙන්න සැලැස්වීමට වෙහෙස දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙසේනමුත්, මිනිසාට සදාකාලික සහනයක් සලසා දීම සඳහා විධිවිධාන යෙදීමට යෙහෝවා තීරණය කළ ආකාරය ගැන පාවුල් පැහැදිලි කරයි. එම විධිවිධාන මොනවාද?

සහනය ගෙනෙන්නේ කවුද?

ක්‍රිස්තුස්ගේ ආත්මයෙන් ආලේප ලත් ගෝලයන්ට ආදම්ගේ පාපයෙන් සිදු වූ හානිය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩ කොටසක් කරන්න තියෙනවා. යෙහෝවා “ක්‍රිස්තුස් තුළ අප තෝරාගත්” බව පාවුල් පවසයි. එසේ කළේ යේසුස්ගේ ස්වර්ගික රාජ්‍යයේදී යේසුස් සමඟ පාලනයට හවුල් වීමටයි. ඒ ගැන තවදුරටත් පැහැදිලි කරමින් පාවුල් පවසන්නේ, “තමන්ගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළේය” කියායි. (එපීස 1:4, 6) ඇත්තෙන්ම, යෙහෝවා ඔවුන්ව තෝරාගත්තේ හෝ පුත්‍රයන් වීමට නියම කළේ එක් එක් පුද්ගලයා වශයෙන් නොවෙයි. කෙසේවුවද, ඔහු ක්‍රිස්තුස් සමඟ හවුල් වීමට විශ්වාසවන්ත කණ්ඩායමක්, එනම් කැප වූ සෙනඟක් නියම කළේය. එසේ කළේ සාතන් නමැති යක්ෂයා ආදම් සහ ඒවව හවුල් කරගනිමින් මිනිස් පවුලට සිදු කළ හානිය ඉවත් කිරීම සඳහායි.—ලූක් 12:32; හෙබ්‍රෙව් 2:14-18.

මොනතරම් පුදුමසහගත දෙයක්ද! දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහිව කළ මුල් අභියෝගයට අනුව සාතන් වෑයම් කළේ දෙවි මිනිසා මවා තිබෙන්නේ දෝෂයක් ඇතුව බව ඇඟවීමටයි. ඔහු කියා සිටියේ ඔවුන්ව සෑහෙන පීඩනයකට ලක් කළොත් එහෙමත් නැත්නම් පෙලඹුවොත් දෙවිගේ නීතිවලට එරෙහිව ඔවුන් සියල්ලන්ම කැරලිගසන බවයි. (යෝබ් 1:7-12; 2:2-5) කල් යත්ම, යෙහෝවා දෙවි “තමන්ගේ [මහත්, NW] කරුණාවේ මහිමය” විචිත්‍රවත් ලෙස නිරූපණය කරමින් තමන්ගේ ආත්මික දරුවන් වීමට ආදම්ගේ පාපතර පවුලේ දරුවන්ව දරුකමට ගනිමින් භූමික මැවිල්ල කෙරෙහි වූ තම නිසැකභාවය පෙන්නුවා. මෙම කුඩා කණ්ඩායමේ සිටින්නන්ව ස්වර්ගයේ සේවය කිරීමට ගන්නවා. මොන වගේ සේවයක් සඳහාද?—එපීස 1:3-6; යොහන් 14:2, 3; 1 තෙසලෝනික 4:15-17; 1 පේතෘස් 1:3, 4.

දෙවි විසින් දරුකමට ගන්නා ලද මොවුන් ඔහුගේ ස්වර්ගික රාජ්‍යයේදී ‘ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයෝ’ බවට පත් වෙනවා කියා ප්‍රේරිත පාවුල් පවසයි. (රෝම 8:14-17) රජවරුන් හා පූජකයන් වශයෙන් ක්‍රියා කරන ඔවුන් මිනිස් පවුල දැන් අද්දකින දුක් වේදනාවලින් ඔවුන්ව මුදාගැනීමේ පංගුකාරයන් වනු ඇත. (එළිදරව් 5:10) ඇත්තයි, “මුළු මැවිල්ලම, මේ වන තුරු එකට කෙඳිරිගාමින් සහ එකට වේදනා විඳිමින් සිටිනවා.” එහෙත්, වැඩි කල් නොගොස්, විශේෂයෙන් තෝරාගත් මෙම දෙවිගේ පුත්‍රයන් යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරමින් වැඩ පටන්ගන්නා අතර සියලු කීකරු මිනිසුන්ට “දිරාපත් වීමට වහල්ව සිටීමෙන් නිදහස් කරනු ලැබ, දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” ලැබේවි.—රෝම 8:18-22, NW.

‘මිදීමේ මිලය කරණකොටගෙන මිදීම’

ඒ සියල්ල සිදු වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය කරණකොටගෙනයි. මෙම මිදීමේ මිලය, මුදවාගත යුතු මිනිසාගෙන් සපිරි මෙම ලෝකය කෙරෙහි දෙවිගේ මහත් කරුණාව අතිචිත්තාකර්ෂණීය හා අතිඋදාර ලෙස ප්‍රකාශ කිරීමකි. පාවුල් මෙසේ ලියයි. ‘ඔහුගේ [මහත්, NW] කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, ඔහුගේ ලේ [යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය, NW] කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.’එපීස 1:7.

යේසුස් ක්‍රිස්තුස්, දෙවිගේ අරමුණ ක්‍රියාත්මක කරන ප්‍රධාන තැනැත්තායි. (හෙබ්‍රෙව් 2:10) ආදම්ගෙන් පැවතෙන සමහරුන්ව තම ස්වර්ගික පවුලේ දරුකමට ගැනීම සඳහා මෙන්ම ආදම්ගේ පාපයේ ඵලවිපාක අද්දකින මිනිස්වර්ගයාව මුදාගැනීම සඳහා යෙහෝවාට නීතික පදනම සැපයුවේ යේසුස්ගේ මිදීමේ මිල පූජාවයි. මෙසේ කළේ ඔහුගේ නීති හා ප්‍රතිපත්ති ගැන තිබෙන නිසැකභාවයට පලුද්දක් නොවන ලෙසිනි. (මතෙව් 20:28; 1 තිමෝති 2:6, NW) යෙහෝවා ක්‍රියා කර තිබෙන්නේ තම ධර්මිෂ්ඨකමට මෙන්ම පරිපූර්ණ යුක්තියට එකඟ වන ආකාරයකින්.—රෝම 3:22-26.

දෙවිගේ “පරිශුද්ධ රහස”

වසර දහස් ගණනක් පුරා, දෙවි පොළොව සම්බන්ධයෙන් වූ තම අරමුණ ඉටු කරන ආකාරය අපට හරියටම හෙළි කළේ නැහැ. පොදු යුගයේ මුල් සියවසේදී, ‘ඔහු තමන්ගේ කැමැත්තේ රහස [පරිශුද්ධ රහස, NW] අපට දන්වා දුන්නා.’ (එපීස 1:10) දෙවිගේ අරමුණ ක්‍රියාත්මක කිරීමේදී යේසුස් ක්‍රිස්තුස්ට පවරා තිබූ අතිවිශාල කාර්යභාරය ගැන පාවුල් හා ඔහුගේ ඇසුරේ සිටි ක්‍රිස්තියානීන් පැහැදිලිවම තේරුම්ගත්තා. ඔවුන් ක්‍රිස්තුස්ගේ ස්වර්ගික රාජ්‍යයේ හවුල් පාලකයන් වශයෙන් තමන්ට ලැබෙන විශේෂ කාර්යභාරය පිළිබඳව අගය කිරීමටද පටන්ගත්තා. (එපීස 3:5, 6, 8-11) ඔව්, ස්වර්ගයේ පමණක් නොව පොළොවේද කල්පවතින සමාදානය ඇති කිරීමට දෙවි යොදාගන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ හා සිය හවුල් පාලකයන්ගේ හස්තයේ පවතින රාජ්‍ය ආණ්ඩුවයි. (මතෙව් 6:9, 10) යෙහෝවා මේ පොළොව සම්බන්ධයෙන් මුලින් අරමුණු කර තිබූ තත්වයටම එය යළි ගෙනෙන්නේ මෙම රාජ්‍ය ආණ්ඩුව මගිනි.—යෙසායා 45:18; 65:21-23; ක්‍රියා 3:21.

සියලු තාඩන පීඩන හා අයුක්තිය පොළොවෙන් තුරන් කර දැමීම සඳහා ඍජු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුගේ නියමිත වේලාව පැමිණෙන්නේ නුදුරු අනාගතයේයි. නමුත් ඇත්තෙන්ම යෙහෝවා යළි ගොඩනැංවීමේ ක්‍රියාදාමය ඇරඹුවේ පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදීයි. කෙසේද? එදා පටන් “ස්වර්ගයෙහි දේවල්,” එනම් යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කරනු ලබන්නන්ව එක් රැස් කිරීම ඇරඹුණා. එපීසයේ ක්‍රිස්තියානීන්ද මොවුන්ට ඇතුළත් වුණා. (එපීස 2:4-7) ඉතා මෑතක සිට, එනම් මේ අපේ කාලයේදී, “පොළොවෙහි දේවල්” එක් රැස් කෙරෙමින් පවතිනවා. (එපීස 1:9) ලොව පුරා සිදු කෙරෙන දේශනා ව්‍යාපෘතිය මගින් ඔහු යේසුස් ක්‍රිස්තුස්ගේ හස්තයෙහි පවතින රාජ්‍ය ආණ්ඩුව පිළිබඳ ශුභාරංචිය සියලු දනන්ට දැනගන්න සලස්වමින් සිටිනවා. ප්‍රතිචාරය දක්වන්නන්ව දැනටමත් ආත්මිකව සුරක්ෂිතභාවය හා සුවය ගෙන දෙන ස්ථානයකට එක් රැස් කර තිබෙනවා. (යොහන් 10:16) ළඟදීම පිරිසිදු වූ පාරාදීස පොළොවක ඔවුන් සියලු අයුක්තීන් හා දුක් වේදනාවලින් සම්පූර්ණ නිදහස ලබනු ඇති.—2 පේතෘස් 3:13; එළිදරව් 11:18.

තාඩන පීඩනවලට ලක් වූ ජනතාවට උපකාර කරනු වස් මානව හිතවාදී සේවා සැපයීමට “පුදුමාකාර ලෙස පියවර බොහෝමයක් ඉදිරියට තබා තිබේ.” (වසර 2000 ලෝක ළමා තත්වය) එහෙත්, අතිපුදුමාකාර ලෙස පියවර ගනු ඇත්තේ ස්වර්ගික රාජ්‍ය ආණ්ඩුවේ පාලකයන් වන යේසුස් ක්‍රිස්තුස් හා සිය හවුල් පාලකයන් කොයි මොහොතේ හෝ මැදිහත් වීමෙනුයි. ඔවුන් අපට තර්ජනයක් වී තිබෙන ගැටුම්වලට මූලික වී ඇති හේතුකාරකයන් හා වෙනත් සියලු නපුරු දේවල් මුළුමනින්ම ඉවත් කරයි. එමෙන්ම මිනිස්වර්ගයාගේ සියලු ගැටලුවලට නිමාවක්ද ගෙනෙනවා.—එළිදරව් 21:1-4.

[4වන පිටුවේ පින්තූර]

මානව හිතවාදී ක්‍රියා මගින් මිනිසාගේ ගැටලු විසඳී නැත

[6වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව මිනිසාට ආදම්ගේ පාපවලින් මිදීම සැපයුවා

[7වන පිටුවේ පින්තූරය]

අදදින ආත්මික සුරක්ෂිතභාවය හා සුවය සොයාගත හැකියි

[7වන පිටුවේ පින්තූර]

ළඟදීම මෙසියානු රාජ්‍යය මගින් ගැටලුවලින් සම්පූර්ණයෙන් මිදීම ලැබෙනවා