Skip to content

පටුනට යන්න

මිනිසාගේ ගැටලු කෙදිනක හෝ නිම වේවිද?

මිනිසාගේ ගැටලු කෙදිනක හෝ නිම වේවිද?

මිනිසාගේ ගැටලු කෙදිනක හෝ නිම වේවිද?

“ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් දිවි ගෙවන්නේ දිළිඳුභාවයෙනි. බිලියන 1.3ක් පණ කෙන්ද රැකගන්නේ දිනකට ඩොලර් එකකටත් වඩා අඩු ආදායමකිනි. බිලියනයක්ම නූගතුන්ය. බිලියන 1.3කට හිතකර පානීය ජලය ලබාගැනීමට හැකියාවක් නැති අතර තවත් බිලියනයක් දිනපතා කුසගින්නෙන් පෙළෙති.” මෙසේ පවසා තිබෙන්නේ ලෝක තත්වය පිළිබඳව අයර්ලන්තයේ පළ වූ වාර්තාවකයි.

එය ලෝක ගැටලුවලට නිත්‍ය විසඳුම් සොයාගැනීමට මිනිසාට නොහැකි බව පැවසෙන අතිවිශාල චෝදනාවක් නොවේද! එම වාර්තාවේ විස්තර කර ඇති ජන පිරිසෙන් වැඩි කොටසක් ස්ත්‍රීන් හා දරුවන් බව ඔබට වැටහෙන විට එම ගැටලු ඊටත් වඩා ඛේදජනක ඒවා මෙන් පෙනේවි. මෙම 21වන සියවසේදී පවා, ඔවුන්ගේ අයිතිවාසිකම් “දිනපතාම කෙතරම් උල්ලංගනය වෙනවාද කියතොත් එය මෙතකැයි කියා සංඛ්‍යාවලින් දැක්විය නොහැකි” වීම ඇත්තෙන්ම තැතිගන්වන්නක් නොවෙයිද?—වසර 2000 ලෝක ළමා තත්වය (සිංහලෙන් නැත).

“එක පරම්පරාවක් තුළ නව ලොවක්”

‘මෙම දුක්ඛිත තත්වයන් නිසා ලොව පුරා සිටින මිනිසුන් තුළ ඇති වී තිබෙන බලාපොරොත්තු සුන්භාවය’ ඉවත් කළ හැකි බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහතික කර තිබේ. කෙසේවෙතත්, මෙම සංවිධානය පවසන්නේ එම අවාසනාවන්ත බිලියන සංඛ්‍යාත දෙනාට මේ මොහොතේ විඳදරාගැනීමට සිදු වී තිබෙන කටුක තත්වයන් “වැළැක්වීමට හෝ වෙනස් කිරීමට හැකි” බවයි. ඇත්තවශයෙන්ම එය ආරාධනා කර සිටින්නේ “සියලු ජනයාට එක පරම්පරාවක් තුළ නව ලොවක් බිහි කරන්න” කියායි. මෙම ලොව, මුළු මිනිස් සංහතියටම “දිළිඳුභාවයෙන් හා අසාධාරණයන්ගෙන් නිදහසද ප්‍රචණ්ඩත්වය හා රෝගවලින් නිදහසද” ළඟා කර දෙන ලොවක් වේවිය යන්න එහි බලාපොරොත්තුවයි.

“නොනවතින බවක් පෙනෙන්න තිබෙන ගැටුම් සහ අර්බුදයන්” නිසා දුක්ඛිත තත්වයන් ඇති වී තිබෙනවා. එම දුක්ඛිත තත්වයන් නැති කිරීමට වෙහෙසෙන සැලකිලිමත් ජනයා දැනටමත් විශාල සේවයක් කරමින් සිටිනවාය යන කාරණයෙන් ඉහත සඳහන් අදහස් ඉදිරිපත් කරන්නන් දිරිගැන්වීමක් ලබයි. උදාහරණයක් වශයෙන්, ඉකුත් වසර 15 පුරා චර්නබිල් ළමා ව්‍යාපෘතිය මගින් “න්‍යෂ්ටික පිපිරීම නිසා පිළිකාවලින් වේදනා විඳි දරුවන් සිය ගණනකගේ වේදනාව අඩු කිරීමට උපකාර සපයා ඇත.” (දි අයිරිෂ් එක්සැමිනර්, 2000 අප්‍රියෙල් 4) ආධාර සපයන විශාල හා කුඩා ආයතන, යුද්ධ හා විපත්තිවලට ගොදුරු වූ අසංඛ්‍යාත දෙනෙකුගේ ජීවිතවල ස්ථිර වශයෙන්ම විශාල වෙනසක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.

කෙසේනමුදු, එවැනි මානව හිතවාදී වෑයම්වල නිරතව සිටින්නන් යථාර්ථවාදියි. ඔවුන් දන්නවා “මීට දශකයකට පෙර තිබුණාට වඩා” දැන් පුළුල් ලෙස ගැටලු “වැඩි වී, විසඳුමක් ගෙනෙන්න නොහැකි තරමට ඒවා මුල් බැස තිබෙන බව.” අයර්ලන්ත අසරණ සරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක ඩේවිඩ් බෙග් පවසන්නේ, විනාශකාරි මහා ගංවතුරෙන් මොසැම්බික් යට වුණු අවස්ථාවේ “අපේ කාර්ය මණ්ඩලය, සහයෝගය දෙන්නන් හා පරිත්‍යාග කරන්නන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ විශිෂ්ට ලෙසය” කියායි. “නමුත් සෑහෙන විපත්තියක් සිදු වෙලා තිබෙන නිසා තනිවම පිළියම් කිරීමට අපට නොහැකියි.” අප්‍රිකාව තුළ ආධාර සැපයීමේ වෑයම් සම්බන්ධයෙන් ඔහු අවංකව මෙසේ පවසයි. “බලාපොරොත්තුවේ පහන් කීපයක් දැල් වී තිබුණත් ඒවා පවතින්නේ නිවි නිවි දිලෙමිනුයි.” ඔහු පැවසූ දෙයින් සමස්ත ලෝකයේම තත්වය කැටි කොට දැක්විය හැකි බව බොහෝදෙනෙකුගේ හැඟීම වෙයි.

“එක පරම්පරාවක් තුළ නව ලොවක්” බිහි වෙයි කියා අපට යථාර්ථවාදීව බලා සිටිය හැකිද? සිදු කෙරෙමින් පවතින මානව හිතවාදී වෑයම් සැබවින්ම පැසසිය හැකි වුවත්, ධර්මිෂ්ඨ හා සාමකාමි නව ලොවක් බිහි වන ආකාරය සම්බන්ධයෙන් ඇති වෙනත් අපේක්ෂාවක් සලකා බැලීම නුවණට හුරුයි. ඊළඟ ලිපියේ සලකා බැලෙන එම අපේක්ෂාව ගැන බයිබලයේ කතා කරයි.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Page 3, children: UN/DPI Photo by James Bu