Skip to content

පටුනට යන්න

රජුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න

රජුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න

රජුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න

‘ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා තමා ළඟ තබාගත යුතුය. එමෙන්ම තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවිය යුතුය.’—ද්විතීය කථාව 17:18-20.

1. ක්‍රිස්තියානියෙකු කැමති විය යුත්තේ කවුරුන් හා සමාන වීමටද?

“මම රජෙක් හෝ රැජිනක්!” එවැනි සිතුවිල්ලක්වත් ඔබ තුළ පහළ වෙලා නැතුව ඇති! තමන් කටයුතු කරන්නේ රාජකීය බලතල තිබූ දාවිත්, යොෂියා, හෙසකියා හෝ යෙහෝෂාපාට් වැනි යහපත් රජවරුන් මෙන් කියා විශ්වාසවන්ත ක්‍රිස්තියානි භක්තිකයන් හෝ බයිබලය අධ්‍යයනය කරන අය සිතාවිද? බොහෝදුරට එසේ සිතන්නේ නැහැ. ඔව් සාමාන්‍යයෙන් එවැනි සිතුවිලි පහළ නොවුණත්, ඔබට අඩුම තරමින් එක් විශේෂ ආකාරයකින් ඔවුන් හා සමාන වන්ට පුළුවන්. ඇත්තෙන්ම එසේ විය යුතුයි. කුමක්ද ඒ විශේෂ ආකාරය? ඒ සම්බන්ධයෙන් ඔබ ඔවුන් හා සමාන විය යුත්තේ ඇයි?

2, 3. මිනිස් රජෙකු සම්බන්ධයෙන් යෙහෝවා කල් තියා දුටුවේ කුමක්ද? එවැනි රජෙකුගෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද?

2 තමන් තෝරාගත් සෙනඟ වූ ඉශ්‍රායෙල්වරුන් රජෙකු පත් කරගැනීමට කැමැත්තක් දක්වන බව බොහෝ කාලයකට ඉහතදී, එනම් මෝසෙස්ගේ කාලයේදී දෙවි කලින්ම දැක්කා. එනිසා රජෙකු හා සම්බන්ධ උපදෙස් හා මඟ පෙන්වීම් ව්‍යවස්ථා ගිවිසුමට ඇතුළත් කරන්න දෙවි මෝසෙස්ට ආනුභාවය දුන්නා. මෙම උපදෙස් විශේෂයෙන්ම අදාළ වූයේ රජවරුන්ටයි.

3 දෙවි මෙසේ පැවසුවා. “නුඹේ දෙවි වූ යෙහෝවා නුඹට දෙන දේශයට නුඹ පැමිණ ඒක හිමි කරගෙන එහි වාසය කරන විට මා වට කර සිටින සියලු ජාතීන් මෙන් මා කෙරෙහි රජෙකු පත් කරගන්නෙමියි කීවොත්, නුඹේ දෙවි වූ යෙහෝවා තෝරාගන්න තැනැත්තා නුඹ කෙරෙහි රජකමට කොහොම හරි පත් කරගන්න. . . . ඔහු තමාගේ රාජ්‍යයෙහි සිංහාසනය පිට හිඳින කල, . . . ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා, තමා ළඟ තබාගත යුතුය. . . . මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂා කරන හැටියට, තමාගේ දෙවි වූ යෙහෝවාට භය වෙන්ට ඉගෙනගන්න පිණිස . . . [ඔහු] තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.”—ද්විතීය කථාව 17:14-19.

4. රජවරුන්ට දුන් දෙවිගේ උපදෙස්වලට ඇතුළත් වූයේ කුමක්ද?

4 තමන්ට නමස්කාර කරන අය වෙනුවෙන් යෙහෝවා තෝරාගන්න රජ ලියවිලිවල පෞද්ගලික පිටපතක් සාදාගත යුතුව තිබුණා. එම ලියවිලි දැන් ඔබේ බයිබලයේ කොටසක්ව පවතිනවා. රජ විසින් එසේ සාදාගත් පිටපත දිනපතා නැවත නැවත කියවිය යුතු වුණා. එම කියවීම හුදෙක් මතකය දියුණු කරගැනීමේ අභ්‍යාසයක් නොවෙයි. අධ්‍යයනය කිරීමක් වූ එම කියවීමට තිබුණේ වටිනා අරමුණක්. යෙහෝවාගේ අනුමැතිය ලබන රජ නිසි ආකල්පයක් ඇති කරගෙන එය දිගටම රැකගැනීම සඳහා ලියවිලි අඛණ්ඩව අධ්‍යයනය කිරීම අවශ්‍ය වුණා. ඔහු තීක්ෂ්ණ බුද්ධියෙන් කටයුතු කරන සාර්ථක රජෙකු වීම රඳා පැවතුණේ දේවානුභාවයෙන් ලියන ලද එම ලියවිලි අධ්‍යයනය කිරීම මතයි.—2 රාජාවලිය 22:8-13; හිතෝපදේශ 1:1-4.

රජෙකු මෙන් ඉගෙනගන්න

5. පිටපත් කිරීමට හා කියවීමට දාවිත් රජට තිබුණේ බයිබලයේ කුමන කොටස්ද? එසේ කිරීම ගැන ඔහුට හැඟුණේ කෙසේද?

5 ඔබ සිතන ආකාරයට දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ බවට පත් වූ විට ඔහුගෙන් අපේක්ෂා කළේ මොනවාද? පංච පුස්තකයේ (උත්පත්ති, නික්මයාම, ලෙවී කථාව, ගණන් කථාව, ද්විතීය කථාව) පිටපතක් සාදාගැනීමට ඔහුට සිදු වන්න ඇති. තමන්ගේ දෙනෙත් හා දෑත් යොදාගනිමින් ව්‍යවස්ථාවේ පිටපතක් සාදාගන්න විට දාවිත්ගේ මනසට හා හදවතට එය තදින් කාවැදුණු ආකාරය සිතා බලන්න. යෝබ් පොත සහ ගීතාවලිය 90වන හා 91වන ගීතිකා ලිව්වේ මෝසෙස් බව සිතිය හැකියි. දාවිත් ඒවාත් පිටපත් කළාද? සමහරවිට පිටපත් කරන්න ඇති. යෝෂුවා, විනිශ්චයකාරයන්ගේ පොත හා රූත් නමැති පොත්ද ඒ වෙද්දී තිබුණා විය හැකියි. මෙසේ කියවීමට සහ මෙනෙහි කිරීමට බයිබලයේ සැලකිය යුතු කොටසක් දාවිත් රජට තිබූ බව ඔබට වැටහෙනවා ඇති. ඔහු එවැන්නක් කළ බවත් විශ්වාස කරන්ට පදනමක් තිබෙනවා. මන්ද ගීතාවලිය 19:7-11 දක්වා සඳහන් වන පරිදි දෙවිගේ ව්‍යවස්ථාව ගැන ඔහු පැවසූ වදන්වලින් එය පැහැදිලි වෙනවා.

6. යේසුස් ඔහුගේ ආදි පියා වූ දාවිත් මෙන් ශුද්ධ ලියවිලි ගැන මහත් උනන්දුවක් දැක්වූ බව අපට ස්ථිරව පැවසිය හැක්කේ මන්ද?

6 උතුම් දාවිත් කියාද හඳුන්වන දාවිත්ගේ පුත්‍ර වූ යේසුස් ඒ හා සමාන දෙයක් කළා. ඔහුගේ ගමේ තිබූ සිනගෝගයට සතිපතා යෑම යේසුස්ගේ පුරුද්දක් වුණා. එහිදී ශුද්ධ ලියවිලි කියවා පැහැදිලි කරන ආකාරය ඔහුගේ සවනට වැටුණා. ඇතැම් අවස්ථාවලදී යේසුස් අනිත් අය ඉදිරියෙහි දේවවචනය හඬ නඟා කියවා එහි අදාළත්වයද පැහැදිලි කළා. (ලූක් 4:16-21) ඔහු ශුද්ධ ලියවිලි කොතරම් හොඳින් දැන සිටියාද කියා ඔබට තේරුම්ගන්න එතරම් අමාරු නැහැ. සුවිශේෂ වාර්තා කියවා බලන්න. “ලියා තිබේ” කියා යේසුස් කී වතාවක් එම වාර්තාවල පවසා තිබෙනවාද කියා සලකා බලන්න. ඒ වගේම ඔහු ශුද්ධ ලියවිල්ලේ ඇතැම් කොටස්වලට විවිධාකාරවලින් යොමු දැක්වූ ආකාරයද එහි ඔබට දැකගත හැකියි. උදාහරණයක් හැටියට මතෙව් වාර්තා කළ කන්ද උඩ දේශනාවේදී යේසුස් 21 වතාවක් හෙබ්‍රෙව් ලියවිලිවලින් උපුටා දැක්වුවා.—මතෙව් 4:4-10; 7:29; 11:10; 21:13; 26:24, 31; යොහන් 6:31, 45; 8:17.

7. යේසුස් ආගමික නායකයන්ට වඩා වෙනස් වූයේ කෙසේද?

7 ගීතාවලිය 1:1-3හි සඳහන් මෙම උපදේශය යේසුස් පිළිපැද්දා. “දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, . . . යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ, ඔහුගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය. . . . ඔහු කරන සියල්ල සඵල වෙයි.” යේසුස්ගේ කාලයේ ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව’ නොසලකමින් ‘මෝසෙස්ගේ ආසනයේ වාඩි වී සිටි’ ආගමික නායකයන් හා ඔහු අතර තිබූ වෙනස මොනතරම්ද!—මතෙව් 23:2-4.

8. යුදෙව් ආගමික නායකයන් බයිබලය කියවීමෙන් හා අධ්‍යයනය කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නොලැබුවේ ඇයි?

8 සුවිශේෂවල සඳහන් එක් කොටසක් නිසා ඇතැම් අය තුළ ප්‍රහේලිකාවක් ඇති විය හැකියි. ඊට හේතුව එම කොටසේ යේසුස් පැවසූ වදන්වලින් බයිබලය කියවීම අධෛර්යය කරවන බව අදහස් විය හැකි නිසයි. යොහන් 5:39, 40හි යේසුස් ඔහුගේ කාලයේ සිටි ඇතැම් අයට පැවසූ වදන් ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය. ඒවා මා ගැන සාක්ෂි දෙයි. නුමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමති නැත.” මෙසේ පැවසීමෙන් යේසුස් ඔහුට සවන් දෙමින් සිටි යුදෙව්වන්ව ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අධෛර්යයට පත් කළේ නැහැ. ඇත්තෙන්ම ඔහු ඒ අවස්ථාවේදී පෙන්වා දෙමින් සිටියේ ඔවුන් තුළ තිබූ වංකකම හා වෙනස් වනසුලු ස්වභාවයයි. ශුද්ධ ලියවිලි සදාකාල ජීවනයට මඟ පෙන්වන බව ඔවුන් වටහාගෙන සිටියා. නමුත් ඔවුන් සොයමින් සිටි ශුද්ධ ලියවිලි තුළින්ම මෙසියස් වන යේසුස්ව හඳුනාගන්නත් ඔවුන්ට ප්‍රස්තාව තිබුණා. කෙසේවෙතත්, ඔවුන් ඔහුව පිළිගත්තේ නැහැ. මේ නිසා ඔවුන්ගේ අධ්‍යයනයෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් තිබුණේ නැහැ. මන්ද ඔවුන් වංක, එකම මතයේ එල්බගෙන සිටි අය වූ නිසයි.—ද්විතීය කථාව 18:15; ලූක් 11:52; යොහන් 7:47, 48.

9. ප්‍රේරිතවරුන් හා අනාගතවක්තෘවරුන් තැබූ කදිම ආදර්ශය කුමක්ද?

9 බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් බලද්දී ප්‍රේරිතවරුන් ඇතුළු යේසුස්ගේ ගෝලයන් කොතරම් වෙනස්ද! “ගැළවීම පිණිස [යමෙකුව] නැණවත් කරන්ට පුළුවන් වූ ශුද්ධ ලියවිලි” ඔවුන් අධ්‍යයනය කළා. (2 තිමෝති 3:15) මෙසේ කිරීමෙන් ඔවුන් අනුකරණය කළේ ලියවිලි “කඩිසර ලෙස පරීක්ෂා කරමින් පරෙස්සමින් ගවේෂණය කළ” අනාගතවක්තෘවරුන්වයි. ඔවුන් එවන් ගවේෂණයක් කළේ මහත් ජ්වලිතයක් ඇතුව මාස කිහිපයකට හෝ අවුරුද්දක් වැනි කෙටි කාලයකට නොවේ. ප්‍රේරිත පේතෘස් පවසන්නේ ඔවුන් “දිගටම ගවේෂණය” කළ බවයි. ඔවුන් විශේෂයෙන්ම ගවේෂණය කළේ ක්‍රිස්තුස් ගැන හා මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීම සඳහා ඔහු සතු කාර්යභාරයට අයත් වූ තේජාන්විත දේවල් ගැනයි. පේතෘස් ඔහුගේ පළමු ලිපියේදී 34වතාවක් බයිබලයේ පොත් දහයකින් උපුටා දැක්වුවා.—1 පේතෘස් 1:10, 11, NW.

10. බයිබලය අධ්‍යයනය කිරීමට අප සෑම කෙනෙක්ම උනන්දු විය යුත්තේ ඇයි?

10 ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ දේවවචනය හොඳින් අධ්‍යයනය කිරීම පුරාණ ඉශ්‍රායෙලයේ රජවරුන් සඳහා වූ රාජකීය පැවරුමක් බවයි. යේසුස්ද එය කළා. අනික් අතට, දේවවචනය අධ්‍යයනය කිරීම ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ රජවරුන් ලෙස පාලනය කරන අයට පැවරී තිබූ වගකීමක් වුණා. (ලූක් 22:28-30; රෝම 8:17; 2 තිමෝති 2:12; එළිදරව් 5:10, NW; 20:6) එම පාලනය යටතේ පොළොව මත ආශීර්වාද භුක්ති විඳින්න ආශාවෙන් සිටින සියලුදෙනාම රජවරුන්ගේ එම ආදර්ශය අනුකරණය කිරීම අවශ්‍යයි.—මතෙව් 25:34, 46.

රජවරුන්ට මෙන්ම ඔබටද පැවරුමක්

11. (අ) අධ්‍යයනය කිරීම ගැන සලකා බලද්දී ක්‍රිස්තියානීන් කිනම් අවදානමකට වැටිය හැකිද? (ආ) අප අපගෙන්ම අසාගත යුත්තේ කුමන ප්‍රශ්නද?

11 බයිබලය පරීක්ෂා කිරීම සෑම ක්‍රිස්තියානියෙකුම පෞද්ගලිකව කළ යුත්තක් කියා අවධාරණයෙන් යුතුව අපට අවංකව පවසන්න පුළුවන්. මෙය හුදෙක් ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ මුලින්ම බයිබලය අධ්‍යයනය කළ කාලයේදී සිදු කළ දෙය හා සමාන දෙයක් නොවෙයි. ප්‍රේරිත පාවුල්ගේ කාලයේ සිටි පෞද්ගලික අධ්‍යයනය පසු කලෙක නොසලකා හැරිය අය මෙන් නොවීමට අප එක් එක්කෙනා අධිෂ්ඨාන කරගත යුතුයි. ඔවුන් “ක්‍රිස්තුස් ගැන මූලික ඉගැන්වීම්” වැනි “දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශවල ප්‍රධාන දේවල්” ඉගෙනගෙන තිබුණා. ඒ වුණත් ඔවුන් මුලදී පටන්ගත් අධ්‍යයනය දිගටම කරගෙන නොගිය නිසා “මේරූභාවය කරා වීර්යය කරන්න” අසමත් වුණා. (හෙබ්‍රෙව් 5:12–6:3, NW) මෙය සැලකිල්ලට ගනිමින් අපට පුළුවන් අපගෙන්ම මෙසේ අසාගන්න. ‘මම ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරන්නේ කෙටි කාලයක සිට හෝ වේවා දිගු කාලයක සිට හෝ වේවා, දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම ගැන මට හැඟෙන්නේ කොහොමද? තමාගේ කාලයේ සිටි ක්‍රිස්තියානීන් “දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් [දිගටම] වර්ධනය වීම” [NW] සඳහා පාවුල් යාච්ඤා කළා. මටත් එවැනිම ආශාවක් තිබෙන බව මම පෙන්නුම් කරනවාද?’—කොලොස්සි 1:9, 10, 12ආ.

12. දේවවචනය සඳහා සදාතනික ඇල්මක් ඇතුව සිටීම වැදගත් වන්නේ ඇයි?

12 යහපත් අධ්‍යයන පුරුදු ඇති කරගැනීමේදී මූලික අවශ්‍යතාවක් වන්නේ දේවවචනය සඳහා ඇල්මක් වර්ධනය කරගැනීමයි. දේවවචනයෙන් ප්‍රීතිය අද්දැකිය හැකි මාර්ගයක් ලෙස නිතිපතා අරමුණක් ඇතුව මෙනෙහි කිරීමේ වැදගත්කම ගීතාවලිය 119:14-16හි හුවා දක්වා තිබෙනවා. ඔබ කොතරම් කාලයක් පුරා ක්‍රිස්තියානියෙකුව සිටියත් එම පාඨයේ සඳහන් දෙය සැබවින්ම ඔබට අදාළ වෙනවා. මෙය තහවුරු කරගැනීම සඳහා තිමෝතිගේ ආදර්ශය මතක් කරගන්න. වැඩිමහල්ලෙකු වූ තිමෝති “ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙකු මෙන්” සේවය කරමින් සිටියත්, “සැබෑවේ වචනය හරි ආකාර [පහදා දීමේදී]” ඔහුගේ උපරිමය කරන්න කියා පාවුල් මහත් ඕනෑකමින් ඔහුගෙන් ඉල්ලා සිටියා. (2 තිමෝති 2:3, 15; 1 තිමෝති 4:15) ඔබේ “උපරිමය” [NW] කිරීමට නම් නිතිපතා අධ්‍යයනය කිරීමේ පුරුද්ද ඇති කරගැනීම අවශ්‍ය බව පැහැදිලියි.

13. (අ) බයිබලය අධ්‍යයනය කිරීම සඳහා වැඩිපුර කාලය සොයාගන්න පුළුවන් කොහොමද? (ආ) අධ්‍යයනය සඳහා කාලය සොයාගන්න ඔබට කළ හැකි සකස් කිරීම් මොනවාද?

13 යහපත් අධ්‍යයන පුරුදු ඇති කරගැනීමේ එක් පියවරක් වන්නේ බයිබලය අධ්‍යයන කිරීම සඳහා නිතිපතාම කාලය වෙන් කරගැනීමයි. මේ සම්බන්ධයෙන් ඔබ ඇති කරගෙන තිබෙන පුරුදු ගැන කුමක් කිව හැකිද? ඔබේ අවංක පිළිතුර කුමක් වුණත්, ඔබ පෞද්ගලික අධ්‍යයනය සඳහා කාලය වැඩියෙන් වැය කළොත් එය ඔබට ප්‍රයෝජනවත් වේවි කියා ඔබ සිතනවාද? ‘මට ඒකට කාලය හොයාගන්න පුළුවන් කොහොමද?’ කියා ඔබ කල්පනා කරන්න පුළුවන්. සමහරුන් ඵලදායක ලෙස බයිබලය අධ්‍යයනය කිරීමට ඔවුන් වෙන් කර තිබූ කාලය වැඩි කරගෙන තිබෙන්නේ වෙනදාට වඩා ටිකක් වේලාසනින් නැඟිටීමෙනුයි. ඔවුන් විනාඩි 15ක් පමණ බයිබලය කියවනවා. නැත්නම් යම් විෂයක් සම්බන්ධයෙන් පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙනවා. කළ හැකි තවත් දෙයක් වන්නේ සතියක් සඳහා ඔබ පිළියෙළ කරන කාලසටහනේ පොඩි වෙනසක් කරගැනීමයි. මෙය කරන්න පුළුවන්ද කියා සිතා බලන්න. උදාහරණයක් හැටියට, දිනපතාම වගේ පුවත්පත් කියවන්න හෝ රූපවාහිනියේ රාත්‍රි ප්‍රවෘත්ති බලන්න ඔබ පුරුදු වී සිටිනවා නම්, සතියකට එක දවසක්වත් එසේ නොකර සිටින්න ඔබට පුළුවන්ද? ඔබ එදින පුවත්පත් කියවීමට හෝ ප්‍රවෘත්ති බැලීමට යොදන වේලාව බයිබලය වැඩිපුර කියවීම සඳහා යොදවන්න පුළුවන්. මෙසේ ඔබ සතියට එක දවසක් විනාඩි 30ක් පමණ ප්‍රවෘත්ති බලනවා වෙනුවට, පෞද්ගලික පාඩම සඳහා ඒ කාලය යෙදෙව්වොත්, ඔබ අවුරුද්දකදී පැය 25කට වැඩි කාලයක් පෞද්ගලික පාඩම සඳහා යොදවනු ඇති. බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම සඳහා අමතරව පැය 25ක් යෙදවීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනතරම්ද! මෙන්න තවත් යෝජනාවක්. ඊළඟ සතිය පුරා ඔබ කරන දේවල් සෑම දවසක් අවසානයේදීම ඇගයීමකට ලක් කරන්න. බයිබලය කියවීමට හා අධ්‍යයනයට වැඩිපුර කාලය යොදාගැනීම සඳහා අත්හරින්න පුළුවන් දේවල් හෝ කාලය අඩු කරගන්න පුළුවන් දේවල් තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න.—එපීස 5:15, 16.

14, 15. (අ) පෞද්ගලික අධ්‍යයනයේදී ඉලක්ක තබාගැනීම වැදගත් වන්නේ ඇයි? (ආ) බයිබලය කියවීම සම්බන්ධයෙන් තබාගත හැකි ඉලක්ක මොනවාද?

14 අධ්‍යයනය කිරීම ඔබට පහසු මෙන්ම සිත්ගන්නාසුලු කාර්යයක් කරගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද? ඉලක්ක තබාගැනීමයි. අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් ඔබට තබාගත හැකි ප්‍රායෝගික මෙන්ම සාධාරණ ඉලක්ක මොනවාද? බොහෝදෙනෙක් තබාගන්න මුල් ඉලක්කය වන්නේ මුළු බයිබලයම කියවා නිම කිරීමයි. ඇත්තෙන්ම මෙය අගය කරන්න වටිනවා. සමහරවිට ඔබ මේ වන විට බයිබලයේ ඇතැම් කොටස් කියවා තිබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එයින් ප්‍රයෝජන ලබා තිබෙනවාට සැකයක් නැහැ. මෙතැන් පටන් මුළු බයිබලයම කියවීමට අදිටන් කරගන්න ඔබට පුළුවන්ද? මෙය ඉටු කරගැනීම සඳහා ඔබට පුළුවන් මුලින්ම සුවිශේෂ හතර කියවීම ඉලක්කයක් හැටියට තබාගන්න. ඉන් අනතුරුව, දෙවන ඉලක්කය හැටියට ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලට අයත් ඉතිරි පොත් ටික කියවන්න පුළුවන්. මෙම ඉලක්කය සපුරාගැනීමෙන් ඔබ මහත් තෘප්තියක් හා ප්‍රයෝජන ලබනවාට සැකයක් නැහැ. ඉන්පසු මෝසෙස් ලියූ පොත් හා එස්තර් දක්වා තිබෙන ඓතිහාසික තොරතුරු ඇතුළත් පොත් ක්‍රමානුකූලව කියවා නිම කිරීම ඔබේ ඊළඟ ඉලක්කය හැටියට තබාගන්න පුළුවන්. මේ ඉලක්කයද සපුරාගැනීමෙන් පසු ඔබට වැටහේවි, බයිබලයේ ඉතිරි පොත් ටිකත් කියවා නිම කරන්න පුළුවන් කියා. ක්‍රිස්තියානියෙකු බවට පත් වන විට වයස අවුරුදු 65ක් පමණ වූ ස්ත්‍රියක් බයිබලය කියවන්න පටන්ගත් දිනය එහි කවරයේ ඇතුල් පැත්තේ ලියාගත්තා. පසුව ඇය මුළු බයිබලයම කියවා අවසන් වූ පසු එම දිනයත් එහි ලියාගත්තා. බයිබලය කියවීම පටන්ගත් හා අවසන් කළ දිනය යනුවෙන් පස් වතාවක් මේ වන විට ඇගේ බයිබලයේ සඳහන් වී තිබෙනවා. (ද්විතීය කථාව 32:45-47) පරිගණක තිරයක් ආධාරයෙන් හෝ කොළවල මුද්‍රණය කළ බයිබලයේ කොටස් කියවනවා වෙනුවට ඇය කළේ බයිබලය ඇගේ අතේ තබාගෙන කියවීමයි.

15 මුළු බයිබලයම කියවීමේ ඉලක්කය දැනටමත් සපුරාගෙන තිබෙන සමහරුන් තමන් අඛණ්ඩව කරන බයිබල් අධ්‍යයනයෙන් වැඩි ඵල ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් තවත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා. එසේ වැඩි ඵල ප්‍රයෝජන ලබාගත හැකි එක් ක්‍රමයකි, බයිබලයේ යම් පොතක් කියවීමට කලින් ඊට අදාළ තොරතුරු ඇතුළත් ආධාරක පොත් අධ්‍යයනය කිරීම. කොටස් වශයෙන් පළ වන “මුළු ලියවිල්ල” විශ්වාසවන්තය, ප්‍රයෝජනවත්ය සහ ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it, සිංහලෙන් නැත) නමැති ප්‍රකාශනවලින් ඔබ කියවන බයිබල් පොතේ ඓතිහාසික පසුබිම, ලේඛන ශෛලිය සහ එයින් ලබාගත හැකි ප්‍රයෝජන යනාදිය ගැන කදිම තොරතුරු සොයාගන්න පුළුවන්. *

16. බයිබලය අධ්‍යයනය කිරීමේදී අප අනුගමනය නොකළ යුත්තේ කාගේ ආදර්ශයද?

16 ඔබ බයිබලය අධ්‍යයනය කරන විට බයිබල් විශාරදයන් කියා හඳුන්වනු ලබන බොහෝදෙනෙක් මෙන් අධ්‍යයනයේ නිරත නොවන්න. ඔවුන් වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ මිනිසුන් විසින් ලියනු ලැබූ පොතක් මෙන් සලකමින් බයිබලයේ පාඨ විග්‍රහ කර බැලීමටයි. ඔවුන් අතර සිටින ඇතමුන් වෑයම් කරන්නේ බයිබලයේ පොත් යම් තෝරාගත් පාඨක පිරිසක් සඳහා ලියා තිබෙන බව පෙන්වීමටයි. නැත්නම් පොත ලියූ තැනැත්තාට තිබුණේ කවර පරමාර්ථයක්ද, කවර දෘෂ්ටිකෝණයකින් කරුණු පිළියෙළ කළාද යන්න අනුමාන කරන්න ඔවුන් වෙහෙසෙනවා. එසේ මිනිස් චින්තනය පදනම් කරගෙන බයිබලය පරීක්ෂා කර බැලීමේ ප්‍රතිඵලය විය හැක්කේ බයිබලය හුදෙක් ඉතිහාස පොතක් ලෙස සැලකීමයි. එසේ නැත්නම් කාලයාගේ ඇවෑමෙන් ආගමික සංකල්ප පරිණාමය වූ ආකාරයට නිදසුනක් ලෙස සැලකීමයි. තවත් විශාරදයන් පිරිසක් වැඩි කාලයක් යොදවන්නේ බයිබලයේ වචන හෝ බයිබල් සාහිත්‍යයේ ශබ්ද විද්‍යාව හදාරන්නයි. ඔවුන් වැඩි කාලයක් යොදවන්නේ දෙවිගේ පණිවිඩයේ තිබෙන වැදගත්කම පැහැදිලි කරනවා වෙනුවට බයිබලයේ වචනවල මූලාරම්භය අධ්‍යයනය කිරීමට හා හෙබ්‍රෙව් මෙන්ම ග්‍රීක් වදන්වල අර්ථ ගෙනහැර දැක්වීමටයි. මේ විදිහට බයිබලය අධ්‍යයනය කිරීමෙන් ක්‍රියාවට පොලඹවන ගැඹුරු ඇදහිල්ලක් ඇති වෙයි කියා ඔබ සිතනවාද?—1 තෙසලෝනික 2:13.

17. බයිබලය සියලුම ජනයා සඳහා පණිවිඩයක් අඩංගු පොතක් ලෙස අප සැලකිය යුත්තේ ඇයි?

17 විශාරදයන් ඉදිරිපත් කරන නිගමනවල සත්‍යයක් තියෙනවාද? බයිබලයේ එක් එක් පොතට තිබෙන්නේ එක් මූලික අදහසක් පමණයි කියන මතයේ හෝ ඒවා ලියා තිබෙන්නේ විශේෂ පාඨක පිරිසකට පමණක් කියන මතයේ සත්‍යයක් තියෙනවාද? (1 කොරින්ති 1:19-21) නැහැ. සත්‍යය වන්නේ දේවවචනයේ තිබෙන පොත් මගින් ඕනෑම යුගයක හා පරිසරයක ජීවත් වන මිනිසුන්ට සැමදාම වටිනා මඟ පෙන්වීම් සැපයීමයි. බයිබලයේ යම් පොතක් මගින් මුලින්ම අමතනු ලැබුවේ තිමෝති නැත්නම් තීතස් වැනි එක් පුද්ගලයෙකුව හෝ වේවා ගලාතිවරුන් නැත්නම් පිලිප්පිවරුන් වැනි නිශ්චිත කණ්ඩායමක් හෝ වේවා එම පොත් අපටද අධ්‍යයනය කළ හැකියි. ඇත්තෙන්ම අපි ඒවා අධ්‍යයනය කළ යුතුයි. එම පොත් අපි සෑම කෙනෙකුටම වැදගත්. එක් පොතක් මගින් කාරණා කිහිපයක් සාකච්ඡාවට ලක් කළ හැකි අතර, එයින් බොහෝ පාඨක පිරිසකට ප්‍රයෝජන ගත හැකියි. ඇත්තෙන්ම බයිබලයේ සඳහන් පණිවිඩය මුළු ලෝකයටම එක සේ අදාළයි. ලොව පුරා භාෂා රැසකට බයිබලය පරිවර්තනය කර තිබීමෙන් ඒ බව අපට තේරුම්ගන්න පුළුවන්.—රෝම 15:4.

ඔබටත් අන් අයටත් ප්‍රයෝජන

18. ඔබ දේවවචනය කියවද්දී සිතා බැලිය යුත්තේ කුමන දේවල් ගැනද?

18 බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමටත් පසුබිම සැලකිල්ලට ගනිමින් එක් එක් කොටස් එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය වටහාගැනීමටත් වෑයම් කිරීමෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් බව බයිබලය අධ්‍යයනය කරද්දී ඔබ තේරුම්ගනීවි. (හිතෝපදේශ 2:3-5; 4:7) යෙහෝවා ඔහුගේ වචනය මගින් අනාවරණය කර තිබෙන දේවල් සහ ඔහුගේ අරමුණ අතර සමීප සම්බන්ධයක් තිබෙනවා. එනිසා ඔබ බයිබලය කියවන විට එහි සඳහන් කරුණු හා උපදෙස් ඊට සම්බන්ධ වෙන ආකාරය බලන්න. ඔබට පුළුවන්, බයිබලයේ සඳහන් යම් සිද්ධියක්, අදහසක් හෝ අනාවැකියක් යෙහෝවාගේ අරමුණට සම්බන්ධ වන ආකාරය ගැන සිතා බලන්න. ඔබෙන්ම මෙසේ අසන්න. ‘මම කියවන කොටස යෙහෝවා ගැන මට කියන්නේ මොනවාද? දෙවි ඔහුගේ රාජ්‍යය මගින් ඉටු කරනු ලබන ඔහුගේ අරමුණට එම කොටස සම්බන්ධ වන්නේ කොහොමද?’ මතු දැක්වෙන දේවල් ගැනත් ඔබට මෙනෙහි කරන්න පුළුවන්. ‘මේ තොරතුරුවලින් මට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? මම ශුද්ධ ලියවිලි පදනම් කරගනිමින් අනිත් අයට උගන්වද්දී හෝ උපදෙස් දෙද්දී මම කියවපු තොරතුරු යොදාගන්න පුළුවන්ද?’—යෝෂුවා 1:8.

19. ඔබ ඉගෙනගත් දේවල් අනිත් අයට පවසන විට එයින් ප්‍රයෝජන ලබන්නේ කවුද? පැහැදිලි කරන්න.

19 ඔබ බයිබලය කියවන විට අනිත් අය ගැන සිතීමත් ප්‍රයෝජනදායකයි. ඔබ බයිබලය කියවමින් අධ්‍යයනය කරද්දී අලුත් දේවල් අලුත් පැතිවලින් දකින්න හා ඉගෙනගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ දැනගත් මේ අලුත් දේවල් ඔබේ පවුලේ අය හා වෙනත් අය සමඟ කරන ගොඩනංවනසුලු කතා බහට ඇතුළත් කිරීමට වෑයම් කරන්න. සුදුසු අවස්ථාවලදී නිහතමානී ලෙස ඔබ එසේ කරනවා නම්, එවන් සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල ලැබෙනවා නිසැකයි. අධ්‍යයනය කිරීමෙන් ඔබ ඉගෙනගත් දේවල් හෝ ඔබේ සිත්ගත් කරුණු අවංකව හා උද්‍යෝගයෙන් අනිත් අයට පවසන විට එම තොරතුරු අනිත් අයගේ සිත්වලට කාවදින්න පුළුවන්. ඊටත් වඩා එයින් ඔබට ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. ඒ කොහොමද? පුද්ගලයෙක් ඉගෙනගත් දේවල් හා කියවපු දේවල් දිගු කාලයක් මතකයේ රැඳෙන්නේ, ඒ දේවල් ඔහුගේ මනසේ නැවුම්ව තිබෙන විට ඒවා භාවිත කිරීම හෝ අනිත් අයට පැවසීම මතයි කියා විද්වතුන් පවසනවා. *

20. බයිබලය නැවත නැවත කියවීම ප්‍රයෝජනදායක වන්නේ ඇයි?

20 ඔබ බයිබලයේ පොතක් කියවන සෑම අවස්ථාවකදීම අලුත් තොරතුරු එකතු කරගන්නවාට සැකයක් නැහැ. ඔබ යම් කොටසක් කියවන විට, එය කලින් කියවා තිබුණත් මේ වතාවේදී එය වැඩියෙන් සිතට කාවදින්න පුළුවන්. එසේ නැතහොත් එම කොටස ගැන ඔබේ අවබෝධය වැඩි විය හැකියි. මෙයින් අවධාරණය කෙරෙන්නේ බයිබලයේ පොත් හුදෙක් මිනිසුන් ලියූ සාහිත්‍ය පොත්වලට වඩා වටිනා මෙන්ම ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි තොරතුරු ඇතුළත් නිධානයක් බවයි. බයිබලය ඔබට ලැබී තිබෙන්නේ නැවත නැවත අධ්‍යයනය කරමින් ප්‍රයෝජන ලැබීම සඳහායි. දාවිත් වැනි රජවරුන් ‘ඔවුන්ගේ ජීවිතයේ සියලු දවස්වලදී එය කියවිය’ යුතුව තිබුණු බව අමතක නොකරන්න.

21. ඔබ දේවවචනය වැඩි වැඩියෙන් අධ්‍යයනය කරන විට ඔබට අපේක්ෂා කළ හැකි යහපත් ප්‍රතිඵල මොනවාද?

21 බයිබලය අර්ථාන්විතව අධ්‍යයනය කිරීමට කාලය සොයාගන්න අය ලබන ප්‍රයෝජන කියා නිම කළ නොහැකියි. ඔවුන් ආත්මික මැණික් සොයාගනී. යම් දේවල නියම හරය වටහාගැනීමේ බුද්ධියක් ඔවුන් ලබාගනී. එමෙන්ම දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ සබඳතාව තව තවත් ශක්තිමත් කරගනී. ඔවුන් පවුලේ සාමාජිකයන්ට, ක්‍රිස්තියානි සභාවේ සහෝදර සහෝදරියන්ට මෙන්ම තවමත් යෙහෝවාගේ නමස්කාරකයන් බවට පත් වී නොමැති අයටද දිනෙන් දින අගය වැඩි වන වටිනා සම්පතක් වෙනවා නිසැකයි.—රෝම 10:9-14; 1 තිමෝති 4:16.

[පාදසටහන්වල]

^ 15 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම අධ්‍යයන ආධාරක පොත් භාෂා බොහොමයකින් ලබාගත හැකියි.

^ 19 ඡේ. වර්ෂ 1993 අගෝස්තු 15 මුරටැඹ සඟරාවේ 13-14 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• ඉශ්‍රායෙලයේ විසූ රජවරුන් කළ යුතුව තිබුණේ කුමක්ද?

• බයිබලය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් යේසුස් හා ප්‍රේරිතවරුන් තැබූ ආදර්ශය කුමක්ද?

• පෞද්ගලික අධ්‍යයනය සඳහා ඔබ යොදවන කාලය වැඩි කරගැනීම සඳහා කළ හැකි සකස් කිරීම් මොනවාද?

• ඔබ දේවවචනය අධ්‍යයනය කිරීමට අවතීර්ණ විය යුත්තේ කිනම් ආකල්පයක් ඇතුවද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ කොටුව]

“අපේ අත්වල”

“බයිබලයේ වචන ඇතුළත් සූචියක් අපට වුවමනා නම් අන්තර්ජාලය තරම් හොඳ මෙවලමක් අපට සොයාගන්න නැහැ. නමුත් අපට වුවමනා කරන්නේ බයිබලය කියවන්න, අධ්‍යයනය කරන්න, ඒ ගැන කල්පනා කරමින් මෙනෙහි කරන්න නම්, එය අපේ අත්වල තබාගත යුතුයි. මන්ද එහි තිබෙන දේවල් අපේ මනසට හා හදවතට ඇතුල් කරගත හැකි හොඳම ක්‍රමය එයයි.”—නිව් යෝක්හි පිහිටි සිටි සරසවියේ විශ්‍රාම ලත් ගෞරවවේදී මහාචාර්ය ගර්ට්රූඩ් හිමල්ෆාබ්.