Skip to content

පටුනට යන්න

අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයෙන් ශක්තිය ලැබ

අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයෙන් ශක්තිය ලැබ

ජීවිත කතාව

අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයෙන් ශක්තිය ලැබ

පැවසුවේ තොම්සන් කාන්ගාලෙ

සැම්බියාවේ ලුසාකාවල පිහිටි ගොඩනැඟිලි 13කින් යුත් අලුත් ශාඛා කාර්යාල සංකීර්ණයක කැප කිරීමේ වැඩසටහනට පැමිණෙන්න කියලා 1993 අප්‍රියෙල් 24වෙනිදා මට ආරාධනාවක් ලැබුණා. මං අමාරුවෙන් ඇවිද්ද නිසා ගොඩනැඟිලි පෙන්වමින් අපිට මඟ පෙන්වපු ක්‍රිස්තියානි සහෝදරිය කරුණාවන්තව මෙහෙම ඇහැව්වා. “මම පුටුවක් අරගෙන එන්නද? එතකොට ඔයාට පුළුවන් විටින් විට ටිකක් විවේක ගන්න.” මම කළු ජාතිකයෙක්, ඇය සුදු ජාතිකයෙක්, ඒත් ඇය ඒක ගණනකටවත් ගත්තේ නැහැ. කියලා නිම කරන්න බැරි තරම් සතුටකින් මම ඇයට ස්තුති කළා. ඇගේ කරුණාව නිසා ශාඛා ගොඩනැඟිලි ඔක්කොම නරඹන්න මට පුළුවන් වුණා.

ගෙවීගිය අවුරුදු ගණනාවේදී, මේ වගේ අද්දැකීම්වලින් මගේ හිතේ ඇති වුණේ අමුතුම ප්‍රබෝධයක්. ඒ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සංවිධානය තුළ ප්‍රේමය තියෙනවා කියන විශ්වාසය තවත් තහවුරු වුණා. ක්‍රිස්තුස් කිව්වේ තමන්ගේ සැබෑ අනුගාමිකයන්ව අඳුනගන්න ලැබෙන්නේ එවැනි ප්‍රේමයකින් කියලයි. (යොහන් 13:35; 1 පේතෘස් 2:17) මම මේ ක්‍රිස්තියානීන්ව අඳුනගත්තේ 1931දීයි. බයිබලය මත පදනම්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නමින් තමන්ව ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන්න කැමති බව ඔවුන් පැවසුවේ ඒ වසරේදියි. ඔවුන්ව අඳුනගත්ත විදිහ දැන් මම කියන්නම්.—යෙසායා 43:12.

අප්‍රිකාවේ දේවසේවය පටන්ගත් අවදිය

වර්ෂ 1931 නොවැම්බර්වලදී අවුරුදු 22ක් වූ මම හිටියේ කිට්වේවලයි. ඒක පිහිටලා තිබුණේ උතුරු රොඩේෂියාවේ (දැන් සැම්බියාව) කොපබෙල්ට් ප්‍රදේශයේයි. මාත් එක්ක පාපන්දු ක්‍රීඩාවේ යෙදුණ මිත්‍රයෙක් මට සාක්ෂිකරුවන්ව හඳුන්වලා දුන්නා. මම ඔවුන්ගේ රැස්වීම් කීපයකට ගියාට පස්සේ දෙවිගේ වීණාව a නමැති බයිබල් පාඩම් ආධාරක පොත ඉල්ලලා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි ශාඛා කාර්යාලයට ලිපියක් දැම්මා. ඉංග්‍රීසි භාෂාව හොඳින් දැනගෙන හිටියේ නැති නිසා ඉංග්‍රීසියෙන් තිබුණ ඒ පොත තේරුම්ගන්න මට අමාරු වුණා.

මම හැදී වැඩුණේ බැංග්වොලෝ විලට කිලෝමීටර් 240ක් විතර නිරිතදිගින් පිහිටි කොපබෙල්ට් ප්‍රදේශයේයි. වෙනත් පළාත්වලින් ආව හුඟදෙනෙක් එහි තඹ ආකරවල සේවය කෙරුවා. සාක්ෂිකරුවන්ගේ කණ්ඩායම් කීපයක් බයිබලය පාඩම් කරන්න නිතිපතා එහි රැස් වුණා. ටික කාලෙකට පස්සේ, මම කිට්වේවලින් ඒ ළඟ පිහිටි නගරයක් වන එන්ඩෝලාවල පදිංචියට ගිහින් එහි සිටි සාක්ෂිකාර කණ්ඩායමක් ඇසුරු කරන්න පටන්ගත්තා. එතකොට මම ප්‍රින්ස් ඔෆ් වේල්ස් පාපන්දු කණ්ඩායමේ නායකයා හැටියටයි ක්‍රීඩා කළේ. මධ්‍යම අප්‍රිකාවේ ගබඩා කීපයක්ම අයිතිව හිටිය සමාගමක් වන ඇෆ්‍රිකන් ලේක්ස් සමාගමේ සුදු ජාතික කළමනාකරුවෙකුගේ ගෘහසේවකයෙකු හැටියටත් මම සේවය කළා.

මම පාසැල් අධ්‍යාපනය ලබාගෙන තිබුණේ ටික දුරකටයි. යුරෝපියයන් යටතේ සේවය කරද්දී ඉංග්‍රීසි ටිකක් එහෙන් මෙහෙන් දැනගත්තා. ඒත්, බාහිර අධ්‍යාපනය වැඩිදියුණු කරගන්න තිබුණ ආශාව නිසා දකුණු රොඩේෂියාවේ (දැන් සිම්බාබ්වේ) ප්ලම්ට්‍රීවල පාසැලක අධ්‍යාපනය ලබන්න මම ඉල්ලුම් කළා. මේ අතරතුර කේප්ටවුන්හි ශාඛා කාර්යාලයට දෙවන වතාවටත් ලිව්වා. දෙවිගේ වීණාව කියන පොතමට ලැබුණු බවත්, යෙහෝවාට පූර්ණ-කාලීනව සේවය කරන්න ඕන බවත් මම ඔවුන්ට දැන්නුවා.

ඔවුන්ගෙන් පිළිතුරක් ලැබුණේ මාව පුදුමයට පත් කරමින්. ඒකෙ මෙහෙම කියලා තිබුණා. “යෙහෝවාට සේවය කරන්න ඔබට තියෙන ආශාව අපි අගය කරනවා. ඒ ගැන යාච්ඤා කරන්න කියා දිරිගන්වන්න කැමතියි. එවිට වඩාත් හොඳින් සත්‍යය තේරුම්ගන්න යෙහෝවා ඔබට උපකාර කරන අතරම සේවය කරන්නත් ඔබට තැනක් සොයා දේවි.” කීප වතාවක් ලිපිය කියෙව්වාට පස්සේ මම මොනවද කරන්න ඕන කියලා සාක්ෂිකරුවන් කීපදෙනෙකුගෙන්ම ඇහැව්වා. ඔවුන් කිව්වේ “ඔයාගේ ආසාව යෙහෝවාට සේවය කරන්න නම් ඇයි තවත් බලාගෙන ඉන්නේ දැන්ම වැඩ පටන්ගන්න” කියලයි.

මුළු සතියක්ම මම ඒ කාරණය ගැන යාච්ඤා කරලා අන්තිමේදී මගේ බාහිර අධ්‍යාපනය නවත්වලා සාක්ෂිකරුවන් එක්ක දිගටම බයිබලය පාඩම් කරන්න ඕන කියලා තීරණය කළා. ඊළඟ වසරේ, 1932 ජනවාරිවලදී වතුර බව්තීස්මයෙන් මම යෙහෝවා දෙවිට මගේ කැපවීම සංකේතවත් කළා. එන්ඩෝලාවලින් ලුඇන්ෂියාවලට කිට්ටුව තියෙන නගරයක පදිංචියට ගියාට පස්සේ මට තවත් ඇදහිලිවන්තියක් වූ ජනෙට්ව මුණගැහුණා. අපි 1934 සැප්තැම්බර්වලදී විවාහ වුණා. අපි විවාහ වෙද්දිත් ජනෙට්ට පුතෙකුයි දුවෙකුයි හිටියා.

මම ටිකෙන් ටික ආත්මිකව දියුණු වෙන්න පටන්ගත් අතර 1937දී පූර්ණ-කාලීන දේවසේවයට ඇතුල් වුණා. වැඩි කලක් යන්න මත්තෙන් මාව සංචාරක දේවසේවකයෙකු හැටියට පත් කළා. දැන් ඔවුන්ව හඳුන්වන්නේ චාරිකා අවේක්ෂකයන් කියලයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ආත්මිකව ශක්තිමත් කිරීමට සංචාරක අවේක්ෂකයන් සභාවෙන් සභාවට යනවා.

දේශනා සේවයේ මුල් කාලය

අප්‍රිකාවේ ප්‍රධානියෙකු වූ සොකොන්ට්වෙ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව මුණගැසෙන්න කැමැත්ත පළ කරලා තිබුණ නිසා 1938 ජනවාරියේදී ඔහුව බැහැදකින්න මට පැවරුණා. ඔහුගේ පළාතට සයිකලයෙන් යන්න මට දවස් තුනක් ගත වුණා. අපේ කේප්ටවුන් කාර්යාලයට ඔහු එව්ව ලිපිය නිසයි මම ආවේ කියලා පැවසුවාම ඔහු හුඟක් සතුටු වුණා.

මම ඔහු යටතේ හිටිය වැසියන්ගේ පැල්පත්වලට ගිහින් ඉන්සාකාවලට (පොදු ස්ථානයක්) එන්න කියලා ඔවුන්ට ආරාධනා කළා. සෙනඟ එක් රැස් වුණාම මම ඔවුන්ට කතා කළා. ඊට පස්සේ බයිබල් පාඩම් ගොඩක් පටන්ගන්න පුළුවන් වුණා. එහෙ සභාවල මුල්ම අවේක්ෂකයන් වුණේ ගම්මුලාදෑනියා සහ ඔහුගේ ලියන මහත්තයායි. දැන් සැම්ෆ්‍යා දිස්ත්‍රික්කය නමින් ප්‍රසිද්ධ එහි සභා 50කට වඩා තියෙනවා.

මම 1942 ඉඳලා 1947 වෙනකං බැංග්වොලෝ විල ආශ්‍රිත ප්‍රදේශයේ සේවය කළා. හැම සභාවකම දවස් දහයක් ගත කළා. ඒ කාලයේදී ආත්මික අස්වැන්න නෙළන්න හිටියේ ටිකදෙනෙක් නිසා අපේ ස්වාමියා වූ යේසුස් ක්‍රිස්තුස්ට හැඟුණ විදිහටමයි අපිටත් හැඟුණේ. ඔහු කිව්වේ මෙහෙමයි. “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤා කරන්න.” (මතෙව් 9:36-38) ඒ කාලේදී ගමනාගමන පහසුකම් තිබුණේ නැති හින්දා සභාවලට ගියේ මං විතරයි. ජනෙට් හුඟක් වෙලාවට දරුවන් එක්ක ලුඇන්ෂියාවල නැවතුණා. ඒ වෙනකොට ජනෙට්ටයි මටයි තව දරුවන් දෙන්නෙක් හිටියත් ඔවුන්ගෙන් එක දරුවෙක් මාස දහයේදී මැරුණා.

ඒ කාලෙදී වාහනවත්, පාරවල්වත් එච්චර තිබුණේ නැහැ. දවසක් මම ජනෙට්ගේ සයිකලයෙන් කිලෝමීටර් 200කට වඩා වැඩි දුර ගමනක් යන්න පිටත් වුණා. එහෙම යද්දි පුංචි ගඟක් හරහා යන්න සිද්ධ වුණා. එතකොට මම සයිකලය කරේ තියලා එක අතකින් අල්ලගෙන අනිත් අත පාවිච්චි කරමින් පීනුවා. මේ විදිහට කොහොම හරි සේවයේ යෙදුණා. අන්තිමේදී ලුඇන්ෂියාවල සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව පුදුම විදිහට වැඩි වුණ අතර 1946දී ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 1850දෙනෙක් ආවා.

අපේ වැඩවලට විරෝධතා පැමිණෙයි

දෙවෙනි ලෝක මහා යුද්ධය පැවති කාලයේදී කවම්බ්වාහි දිස්ත්‍රික් කොමසාරිස්වරයා මාව ප්‍රශ්න කරන්න කැඳවලා මෙහෙම කිව්වා. “වොච් ටවර් සොසයටියේ පොත් පත් පාවිච්චි කරන එක වහාම නවත්වන්න. දැන් ඒවා තහනම් කරලයි තියෙන්නේ. ඕනෙනං ඔබේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් වෙන පොත් ලියන්න අවශ්‍ය දේවල් දෙන්න මට පුළුවන්.”

“අපි ළඟ තියෙන පොත් පත් හොඳටම ඇති. වෙන පොත් පත් ඕනෙ නැහැ” කියලා මම පිළිතුරු දුන්නා.

“ඔබ අමෙරිකානුවන් (එතකොට අපේ පොත් පත් මුද්‍රණය කළේ එක්සත් ජනපදයේයි) ගැන දන්නේ නැහැ. ඔවුන් ඔබව මුළා කරයි” කියලා ඔහු පැවසුවා.

“නෑ, මං ආශ්‍රය කරන අය ඒ වගේ නෙවෙයි” කියලා මම කිව්වා.

එතකොට ඔහු මෙහෙම ඇහැව්වා. “අනිත් ආගම් කරනවා වගේ මුදල්වලින් පරිත්‍යාගයක් කරලා යුද්දෙට උපකාර කරන්න ඔබේ සභාවලට දිරිගන්වන්න පුළුවන්ද?”

“ඒ වැඩේ අයිති රජයේ දූතයන්ටනේ” කියා මම පිළිතුරු දුන්නා.

“ඇයි ඔබ ගෙදර ගිහින් ඒ ගැන ටිකක් හිතලා බලන්නේ නැත්තේ?” කියා ඔහු කිව්වා.

බයිබලයේ “නික්මයාම 20:13 සහ 2 තිමෝති 2:24හි අපිට අණ කරලා තියෙන්නේ මිනී මරන්නවත්, සටන් කරන්නවත් එපා කියලයි” කියා මම පිළිතුරු දුන්නා.

මට ඒ වෙලාවේ යන්න ඉඩ දුන්නත්, දැන් මාන්සා කියලා හඳුන්වන නගරයක් වූ ෆෝට් රෝස්බෙරිවල දිස්ත්‍රික් කොමසාරිස් ආපහු මාව ප්‍රශ්න කරන්න කැඳෙව්වා. “රජයෙන් ඕගොල්ලන්ගේ පොත් තහනම් කරලා තියෙන බව දැනුම් දෙන්නයි මම ඔබව කැඳෙව්වේ” කියා ඔහු කිව්වා.

“ඔව්, මට ඒ බව දැනගන්න ලැබුණා” මම කිව්වා.

“එහෙමනම් ඔහේගේ හැම සභාවකටම ගිහින් ඔහේ එක්ක නමස්කාරයේ යෙදෙන අයට කියන්න ඔක්කොම පොත් ටික මෙහෙට ගේන්න කියලා, තේරුණාද?”

“ඒක මට අයිති වැඩක් නෙවෙයි. ඒක රජයේ දූතයන්ගේ වගකීමක්” කියා මම පිළිතුරු දුන්නා.

හදිසි හමුවීමකින් යහපත් ඵල ලැබේ

යුද්ධයෙන් පස්සෙත් අපි නොකඩවාම දේශනා සේවයේ යෙදුණා. වර්ෂ 1947දී මවාන්සා නම් ගමේ සභාවක සේවය හමාර කළාට පස්සේ තේ බොන්න තැනක් තියෙනවද කියලා සෝදිසි කරලා බැලුවා. නකොන්ඩෙ මහතාගේ නිවසේ තේපැන් හලක් තියෙන බව මට දැනගන්න ලැබුණා. ඉතින් මම එහෙට ගියහම නකොන්ඩෙ මහතාත්, ඔහුගේ බිරිඳත් මාව සාදරයෙන් පිළිගත්තා. මම තේ බොන ගමන් නකොන්ඩෙ මහතාගෙන් ඇහැව්වා “දෙවි සැබෑ බවට ඔප්පු වේවා!” (සිංහලෙන් නැත) කියන පොතේ “නිරය, බලාපොරොත්තු ඇතුව සැතපෙන ස්ථානයක්” කියන පරිච්ඡේදය කියවන්න කැමතිද කියලා.

“ඉතින් නිරය ගැන මොකක්ද ඔයාට පැහැදිලි වුණේ” කියලා මම තේ බීලා ඉවර වුණාට පස්සේ ඇහැව්වා. කියවපු දේ ගැන පුදුමයට පත් වුණ ඔහු සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඊට පස්සේ ඔහුත්, ඔහුගේ බිරිඳත් බව්තීස්ම වුණා. ඔහු දිගටම සාක්ෂිකරුවෙක් හැටියට හිටියේ නැහැ. ඒත් ඔහුගේ බිරිඳයි, දරුවන් කීපදෙනෙකුයි දිගටම සාක්ෂිකරුවන් හැටියට හිටියා. ඇත්තෙන්ම එක දරුවෙක්, ඒ කියන්නේ පිල්නේ, තවමත් සැම්බියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. පිල්නේගේ අම්මා දැන් හුඟක් වියපත් වෙලා හිටියත්, ඈ තවමත් විශ්වාසවන්ත සාක්ෂිකාරියක්.

නැඟෙනහිර අප්‍රිකාවේ ටික දවසක්

වර්ෂ 1948දී, උතුරු රොඩේෂියාවේ ලුසාකාවල පිහිටෙවූ අපේ ශාඛා කාර්යාලයෙන් මට ටැන්ගානිකාවලට (දැන් ටැන්සානියාව) යන්න පැවරුමක් ලැබුණා. මමයි මගේ බිරිඳයි, අපිත් එක්ක යන්න කැමති වුණ තවත් සාක්ෂිකරුවෙකුයි කඳුකර ප්‍රදේශය හරහා ඇවිද්දා. දවස් තුනක් පුරා ඇවිදලා ගමන අවසන් කරද්දී අපි සෑහෙන්න වෙහෙසට පත් වෙලා හිටියා. මම පොත් මිටිය උස්සගෙන යද්දී මගේ බිරිඳ අපේ ඇඳුම් අරගෙන ගියා. අනිත් සාක්ෂිකරුවා නිදාගන්න අවශ්‍ය දේවල් අරගෙන ගියා.

අපි 1948 මාර්තුවලදී මබෙයාවලට ගියහම බයිබලයේ ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙන විදිහට හැඩගැහෙන්න සහෝදරයන්ට සෑහෙන්න උපකාර කරන්න සිද්ධ වුණා. එක දෙයක් නම්, ඒ පළාතේ අපිව ප්‍රසිද්ධ වෙලා තිබුණේ වොච්ටවර් කට්ටිය හැටියටයි. සහෝදරයෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නම පිළිගෙන තිබුණත් ප්‍රසිද්ධියේ ඒ ගැන කියලා තිබුණේ නැහැ. ඊට අමතරව, සමහර සාක්ෂිකරුවන් මළවුන්ට ගෞරව කිරීම සම්බන්ධයෙන් තිබුණ ඇතැම් සිරිත් විරිත් පවත්වමින් හිටියා. නමුත් හැමෝම ඉදිරියේ ගෞරවනීය තත්වයකට පැමිණීම සඳහා තමන්ගේ විවාහයන් නීත්‍යනුකූලව ලියාපදිංචි කිරීම හුඟදෙනෙකුට අමාරුම කාර්යය වුණා.—හෙබ්‍රෙව් 13:4.

ඊට පස්සේ, උගන්ඩාව ඇතුළු නැඟෙනහිර අප්‍රිකාවේ වෙනත් ප්‍රදේශවල සේවය කරන්න මට වරප්‍රසාද ලැබුණා. එන්ටෙබ් සහ කාම්පාලාවල සති හයක් විතර ගත කරමින්, එහෙ හුඟදෙනෙකුට බයිබල් සත්‍යය පිළිබඳ දැනුම ලබාගන්න උපකාර කෙරුවා.

නිව් යෝක් නගරයට ආරාධනයක්

ටික කාලයක් උගන්ඩාවල වැඩ කළාට පස්සේ 1956 මුල්භාගයේදී මම ටැන්ගානිකාවේ අගනුවර වන ඩා එස් සලාම්වලට ගියා. එහෙ යනකොට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙන් මට ලිපියක් ඇවිත් තිබුණා. වර්ෂ 1958 ජූලි 27වෙනිදා සිට අගෝස්තු 3වෙනිදා දක්වා නිව් යෝක්වලදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවට පැමිණීමට සූදානම් වෙන්න කියලා ඒකෙ උපදෙස් දීලා තිබුණා. මේ ප්‍රස්තාව නිසා මට ඇති වුණ සතුට කියා නිම කරන්න බැහැ.

පිටත් වෙන්න කාලය පැමිණි විට තවත් සංචාරක අවේක්ෂකයෙකු වන ලූකා මවැන්ගෝයි මමයි එන්ඩෝලාවලින් දකුණු රොඩේෂියාවේ සැලිස්බරිවලටත් (දැන් හාරර්), ඊට පස්සේ කෙන්යාවේ නයිරෝබිවලටත් ගුවනින් ගියා. එතැනින් අපි එංගලන්තයේ ලන්ඩන්වලට ගුවනින් ගිය අතර එහිදී අපිව උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. එංගලන්තයට ගිය දවසේ අපි නිදි යහනට යද්දි අපි හිටියේ අමුතුම ප්‍රීතියකින්. අප්‍රිකානුවන් වන අපිට සුදු ජාතිකයන්ගෙන් ඒ තරම් හොඳ ආගන්තුක සත්කාරයක් ලැබුණ විදිහ ගැන අපි හුඟක් වෙලා කතා කළා. ඒ අද්දැකීමෙන් අපිට පුදුම දිරිගැන්වීමක් ලැබුණා.

අන්තිමේදී, අපි සමුළුව පැවැත්වෙන නිව් යෝක් නගරයට ගියා. සමුළුවේ එක දිනකදී, උතුරු රොඩේෂියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන මම වාර්තාවක් දුන්නා. එදා නිව් යෝක්වල පෝලෝ පිට්ටනියේ සහ යැන්කි ක්‍රීඩාංගනයේ 2,00,000කට ආසන්න සංඛ්‍යාවක් රැස් වෙලා හිටියා. මට ලැබුණු ඒ අපූරු අවස්ථාව ගැන හිත හිත හිටිය නිසා එදා රෑ මට හරියට නිදාගන්නත් බැරි වුණා.

දන්නෙම නැතුව සමුළුව ඉවර වුණා. ඉතින් අපි ආපහු ගෙදර ආවා. අපි ගෙවල් බලා එද්දී, නැවතත් එංගලන්තයේ සහෝදර සහෝදරියන්ගේ දයාබර ආගන්තුක සත්කාරය භුක්ති වින්දා. යෙහෝවාගේ සෙනඟ මොන වර්ගයට මොන ජාතියට අයිති වුණත්, ඔවුන් අතර තියෙන එකමුතුකම ඒ ගමනෙන් අපට ලැබුණ නොමැකෙන මතක සටහනක්!

පීඩා වින්දත් දිගටම සේවයේ රැඳෙමින්

වර්ෂ 1967දී චාරිකාවෙන් චාරිකාවට යන දේවසේවකයෙක්, ඒ කියන්නේ දිස්ත්‍රික් සේවකයෙක් හැටියට මාව පත් කළා. ඒ වෙනකොට සැම්බියාවේ, සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 35,000ට වඩා වැඩි වෙලා තිබුණා. ටික කාලෙකට පස්සේ, නිතර අසනීප තත්වයෙන් පසු වුණ නිසා ආපහු මට චාරිකා අවේක්ෂකයෙක් හැටියට කොපබෙල්ට්වලට යන්න පැවරුමක් ලැබුණා. කල් යද්දී, ජනෙට්ට හුඟක් අසනීප වෙලා 1984 දෙසැම්බර්වලදී ඈ මියගියා. මියයන තෙක්ම ඈ යෙහෝවාට විශ්වාසවන්තව හිටියා.

ඇගේ මරණෙන් පස්සේ භූත වැඩ කරලා ඇයව මරාගත්තා කියමින් මගේ නොඇදහිලිකාර විවාහ ඥාතීන් චෝදනා කළහම මට දරාගන්න බැරි වේදනාවක් ඇති වුණා. ඒත් ජනෙට්ගේ අසනීපය ගැන දැනගෙන හිටිය, ඇගේ වෛද්‍යවරයා එක්ක කතා කරලා තිබුණ අය ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා මේ නෑදෑයන්ට පැහැදිලි කළා. ඊට පස්සේ තවත් පීඩාවක් ආවා. සමහර නෑයන් මට කිව්වා උකුපියානිකා කියලා හඳුන්වන සම්ප්‍රදායානු සිරිතට එකඟ වෙන්න කියලා. මගේ ගම් පළාතේ තිබුණ මේ සිරිතට අනුව, කලත්‍රයෙක් මැරුණහම ජීවතුන් අතර සිටින තැනැත්තා මළ තැනැත්තාගේ කිට්ටුම නෑයෙක් එක්ක ලිංගික සම්බන්ධකමක් පැවැත්විය යුතුයි. මම කොහොමටවත් ඒකට එකඟ වුණේ නැහැ.

අන්තිමේදී, නෑයන්ගේ ඇවිටිල්ල නතර වුණා. ස්ථිරෙන් ඉන්න මට උපකාර කළ නිසා යෙහෝවාට මම ස්තුති කළා. මගේ නෝනා මැරිලා මාසෙකට පස්සේ සහෝදරයෙක් මා ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “සහෝදර කාන්ගාලෙ, ඔයාගේ නෝනා මැරුණ වෙලාවේ ඔයා මිථ්‍යා සම්ප්‍රදායන් එකකටවත් නැමුණේ නැති නිසා ඇත්තෙන්ම ඔයා අපිට ලොකු දිරිගැන්වීමක් වුණා. ඔයාට අපි අනේක වාරයක් ස්තුති කරන්න කැමතියි.”

අපූරු අස්වැන්නක්

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයෙකු හැටියට දැන් මම අවුරුදු 65ක් සේවය කරලා තියෙනවා. ඒ අවුරුදු ගණනාව පුරා මම සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කළ ප්‍රදේශවල සභා සිය ගණනක් පිහිටුවලා, රාජ්‍ය ශාලා බොහෝමයක් ඉදි කරලා තියෙනවා දකින්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! වර්ෂ 1943දී සැම්බියාවේ හිටියේ සාක්ෂිකරුවන් 2,800ක් වගේ සංඛ්‍යාවක්. නමුත් දැන් මෙහේ රාජ්‍ය ප්‍රචාරකයන් 1,22,000කට වඩා ඉන්නවා. ඇත්තෙන්ම මිලියන 11කට වඩා අඩු ජනගහනයක් ඉන්න මේ රටේ සිහි කිරීමේ උත්සවයට ගිය අවුරුද්දේ 5,14,000කට වැඩි සංඛ්‍යාවක් ආවා.

ඒ අතරතුර යෙහෝවා මාව හොඳින් රැකබලා ගන්නවා. මට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනකොට ක්‍රිස්තියානි සහෝදරයෙක් මාව රෝහලට අරගෙන යනවා. ප්‍රසිද්ධ කතාවල් දෙන්න තවමත් මට සභාවලින් ආරාධනා ලැබෙන අතර එම අවස්ථාවලින් මට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. මගේ සභාවෙන් වැඩ පිළිවෙළක් යෙදුව නිසා ක්‍රිස්තියානි සහෝදරියන් ඇවිල්ලා මගේ ගේ පිරිසිදු කරලා දෙනවා. සහෝදරයන් හැම සතියකම මාත් එක්ක රැස්වීමට යන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම යෙහෝවාට සේවය කරමින් හිටියේ නැත්නම් ඒ වගේ ප්‍රේමනීය සැලකිල්ලක් මට කවමදාකවත් ලැබෙන එකක් නැහැ. පූර්ණ-කාලීන සේවයේ මාව නොකඩවාම යෙදවීම ගැනත්, මේ වෙනකම්ම මට දරන්න ලැබිලා තියෙන වගකීම් රාශිය සම්බන්ධයෙනුත් මම ඔහුට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා.

දැන් මගේ පෙනීම දුර්වලයි. රාජ්‍ය ශාලාවට ඇවිදගෙන යන අතරමඟදී කීපවිටක්ම විවේක ගන්නත් සිද්ධ වෙනවා. දැන් මගේ පොත් මල්ලත් බරයි වගේ දැනෙන නිසා රැස්වීමේදී වැඩිය පාවිච්චි නොකරන පොත් අයින් කරලා ඒක සැහැල්ලු කරගන්නවා. මගේ ක්ෂේත්‍ර සේවය බොහෝවිට, මගේ ගෙදරට එන අය එක්ක බයිබල් පාඩම් පැවැත්වීමට සීමා වෙලා. ඒත්, අතීතය ආවර්ජනය කරද්දී සිදු වෙලා තියෙන විශාල වර්ධනය දැක්කහම මට ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්. යෙසායා 60:22 වාර්තා වෙලා තියෙන යෙහෝවාගේ වදන්වල විශිෂ්ට ඉටුවීමක් තිබුණ ක්ෂේත්‍රයකයි මම සේවය කරලා තියෙන්නේ. ඒකෙ කියලා තියෙන්නේ මේ විදිහටයි. “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. යෙහෝවා වන මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.” ඇත්තෙන්ම මේ දේ සැම්බියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම සිද්ධ වෙනවා දකින්න ලැබෙනකම් මට ජීවත් වෙන්න පුළුවන් වුණා. b

[පාදසටහන්වල]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කරන ලද එම පොත දැන් මුද්‍රණය නොකෙරේ (සිංහලෙන් නොමැත).

b කියන්න කනගාටුයි. මේ ලිපිය පළ කිරීමට සූදානම් කෙරෙද්දී සහෝදර කාන්ගාලෙගේ ශක්තිය ක්‍රමක්‍රමයෙන් ක්ෂය වූ අතර, ඔහු මියයන විටත් විශ්වාසවන්තව සිටියා.

[24වන පිටුවේ පින්තූර]

තොම්සන් හා පසුබිමේ සැම්බියා ශාඛාව

[26වන පිටුවේ පින්තූරය]

අදදින සැම්බියා ශාඛාව