Skip to content

පටුනට යන්න

ආගමික අයිකොන් චිත්‍රවල ඉපැරණි මූලාරම්භය

ආගමික අයිකොන් චිත්‍රවල ඉපැරණි මූලාරම්භය

ආගමික අයිකොන් චිත්‍රවල ඉපැරණි මූලාරම්භය

“දෙවිඳුන්ගේ යහපත්කම හා ශුද්ධත්වය වෙතටත් එතුමන්ගේ සාන්තුවරයන් වෙතටත් අපව ළඟා කළ හැකි එක් මඟක් වන්නේ අයිකොන් චිත්‍රයි.”​—ඕස්ට්‍රේලියාවේ ග්‍රීක් ඕතඩොක්ස් අගරදගුරු පදවිය

එය ග්‍රීෂ්මාධික අගෝස්තු දිනයක්. ඒජියන් මුහුදේ ටීනොස් දූපතේ පිහිටි “අතිශුද්ධ දේවමෑණියන්ගේ” පූජකාරාමය වෙත දිවෙන පිය ගැට පෙළ තද අව් රශ්මියෙන් නැහැවී තිබෙනවා. එම කටුක තත්වයන් මධ්‍යයේ පවා දැඩි අධිෂ්ඨානයකින් යුත් ශ්‍රද්ධාවන්ත ග්‍රීක ඕතඩොක්ස් වන්දනාකරුවන් 25,000කට අධික පිරිසක් කෙමෙන් කෙමෙන් පූජකාරාමය වෙත පියමං කරනවා. ඔවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ විචිත්‍රවත් ලෙස සරසා ඇති යේසුස්ගේ මවගේ රූපය දැක්වෙන අයිකොන් චිත්‍රය දැකබලා ගැනීමයි.

අංග විකල වූ අසරණ තරුණියක් මෙම ගමනේ යෙදෙන්නේ දණ ගසාගෙනයි. ඇගේ දණහිස් ලෙයින් නැහැවී තිබෙන අතර ඇය වේදනාව තද කරගෙන සිටින බවක් මුහුණෙන් පිළිබිඹු වෙනවා. ඇයට නුදුරින් විඩාවට පත් වූ වයසක කාන්තාවක්ද තම ගමන නිම කිරීම සඳහා ලොකු සටනක යෙදෙනවා. ඇය එතැනට පැමිණ තිබෙන්නේ දුර කතර ගෙවාගෙන රටේ අනික් කෙළවරේ සිටයි. තෙරපෙන සෙනඟ මැදින් ගමන් කිරීමට මහත් ආයාසයක් දරමින් සිටින උද්‍යෝගිමත් මැදිවියේ පුරුෂයෙකුගේ ඇඟ පුරාම දහඩිය වැගිරෙනවා. මේ සියලුදෙනාගේම ඉලක්කය වන්නේ මරියාගේ අයිකොන් චිත්‍රය සිඹීම හා ඒ ඉදිරියේ වැඳ වැටීමයි.

අතිශයෙන් භක්තිවන්ත වූ මෙම ජනයා දෙවිට නමස්කාර කරන්න අවංක ආශාවකින් පසු වන බව නම් නිසැකයි. එනමුත් ආගමික අයිකොන් චිත්‍රවලට මෙලෙස භක්ත්‍යාදරය පිරිනැමීම ක්‍රිස්තියානි යුගයට සියවස් ගණනාවකට පෙර පැවති වත්පිළිවෙත් තුළින් ඈඳාගත් යමක් කියා දන්නේ ඔවුන් අතරින් කීයෙන් කීදෙනාද?

අයිකොන් චිත්‍ර බහුලව

ඕතඩොක්ස් රටවල අස්සක් මුල්ලක් නෑර අයිකොන් චිත්‍ර දැකගත හැකියි. යේසුස්ගේ, මරියාගේ මෙන්ම “සාන්තුවරයන්” බොහෝදෙනෙකුගේ අයිකොන් චිත්‍රවලට පල්ලියේ ප්‍රධාන තැනක් හිමි වෙනවා. බැතිමතුන් මෙම චිත්‍රවලට ගරුබුහුමන් දක්වන්නේ ඒවා සිඹීමෙන්, ඒවා ඉදිරියේ සුවඳ දුම් ඔප්පු කිරීමෙන් හා ඉටිපන්දම් පත්තු කිරීමෙන්. ඊට අමතරව, සෑම ඕතඩොක්ස් නිවසකම පාහේ අයිකොන් චිත්‍ර එල්ලීම සඳහා විශේෂිත ස්ථානයක් වෙන් කර ඇති අතර නිවැසියන් යාච්ඤා ඔප්පු කරන්නේ එම ස්ථානයේදීයි. අයිකොන් චිත්‍රයකට නමස්කාර කරන විට තමන් දෙවියන් වෙතට ළං වන බව ඕතඩොක්ස් ක්‍රිස්තියානීන්ගේ පොදු අදහසයි. අයිකොන් චිත්‍රවලට දිව්‍ය අනුග්‍රහය තිබෙන බවත් ප්‍රාතිහාර්යයන් සිදු කිරීමට ඒවාට බලය තිබෙන බවත් බොහෝදෙනෙක් විශ්වාස කරනවා.

මුල් සියවසේ ක්‍රිස්තියානීන් තම නමස්කාරයේදී අයිකොන් චිත්‍ර භාවිතය අනුමත නොකළ බව දැනගැනීමෙන් ඉහත සඳහන් බැතිමතුන් ඇතැම්විට පුදුමයට පත් වේවි. බයිසැන්ටියම් නම් පොතෙහි සඳහන් වන ආකාරයට, “යුදෙව් ධර්මය මුල් ක්‍රිස්තියානීන්ට රූප වන්දනාව කෙරෙහි දැඩි පිළිකුලක් උරුම කර දුන්නේය. එමනිසා ඔවුන් ශුද්ධවන්තයන්ගේ පින්තූරුවලට කොයිම ආකාරයකින්වත් භක්ත්‍යාදරය පිරිනැමීම දැඩි ලෙස හෙළා දුටුවා.” එම පොතේ තවදුරටත් පවසන්නේ, “පස්වන සියවසේ සිට අයිකොන් හෝ පිළිම භාවිතය . . . ප්‍රසිද්ධියේ හා පෞද්ගලිකව කළ නමස්කාරය තුළ එන්න එන්නම බහුලව දක්නට ලැබුණ” බවයි. මුල් සියවසේ ක්‍රිස්තියානීන් ආගමික අයිකොන් චිත්‍ර භාවිත කළේ නැත්නම් ඒවා පැමිණියේ කොහෙන්ද?

අයිකොන් චිත්‍රවල සුල මුල සෙවීම

පර්යේෂක විටාලී ඉවැන්යිච් පෙට්‍රෙන්කො මෙසේ ලිව්වා. “පිළිම භාවිතය හා ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් ක්‍රිස්තියානි යුගයට බොහෝ කලකට පෙර සිට පැවතැවිත් තිබෙන අතර ඒවාට තිබෙන්නේ ‘මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයක්’.” අයිකොන් චිත්‍ර නමස්කාරය පැවතැවිත් තිබෙන්නේ ඉපැරණි බබිලෝනීය, මිසර හා ග්‍රීසියේ ආගම්වලින් බවට බොහෝ ඉතිහාසඥයන් එකඟ වෙනවා. උදාහරණයක් වශයෙන්, ඉපැරණි ග්‍රීකයන් නමස්කාරය සඳහා ප්‍රතිමා භාවිත කළා. මෙම පිළිමවලට දිව්‍යමය බලය තිබූ බව විශ්වාස කෙරුණා. සමහර පිළිම මිනිස් අත්වලින් නෙළූ ඒවා නොව, ස්වර්ගයෙන් කෙළින්ම පහතට වැටුණු ඒවා බව ජනයා විශ්වාස කළා. විශේෂ උත්සවවලදී මෙම අදහන ලද පිළිම නගරය පුරාම පෙරහැරකින් රැගෙන ගියා. ඒවාට පුද පූජාද ඔප්පු කළා. “පිළිමය හා එමගින් නියෝජනය කළ දෙවියන් අතර වෙනසක් තිබෙන බව පෙන්වීමට . . . වෑයම් කර තිබුණත් ශ්‍රද්ධාවන්තයන් පිළිමය සැලකුවේ සප්‍රාණික දෙවිකෙනෙක් වශයෙන්” යයි පෙට්‍රෙන්කො පැවසුවා.

එවන් අදහස් හා වත්පිළිවෙත් ක්‍රිස්තියානි ධර්මයට පිවිසියේ කොහොමද? ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ගේ අභාවයෙන් පසුව ගෙවුණු සියවස් කිහිපය තුළදී, විශේෂයෙන්ම මිසරයේ “ක්‍රිස්තියානි අදහස්වලට ප්‍රතිවිරුද්ධ වූ ‘මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන්වල සංකලනයක්’ තිබුණ” බව ඉහත සඳහන් පර්යේෂකයාම පැහැදිලි කර තිබෙනවා. “ක්‍රිස්තියානි මඟෙහි යන අතරතුර මෙම සංකලනයට අයත් වූ මිසර, ග්‍රීක, යුදෙව්, ප්‍රාචීන හා රෝම වත්පිළිවෙත් හා විශ්වාසයන්ද අනුගමනය කරනු ලැබුවා.” එහි ප්‍රතිඵලයක් වශයෙන් “ක්‍රිස්තියානි කලා ශිල්පීන් [අන්තර් ඇදහිලි] ක්‍රමයක් අනුගමනය කරමින් මිථ්‍යාදෘෂ්ටික සංකේතවලට ක්‍රිස්තියානි මුහුණුවරක් දී ඒවා අලුත් සංකේත බවට පත් කළා. එනමුත් මෙම අලුත් සංකේත මිථ්‍යාදෘෂ්ටික බලපෑම්වලින් මුළුමනින්ම මිදුණේ නැහැ.”

වැඩි කල් යන්නට මත්තෙන් පෞද්ගලික මට්ටමෙන් සිදු කළ නමස්කාරයේදී පමණක් නොව ප්‍රසිද්ධ නමස්කාරයේදීත් අයිකොන් චිත්‍රවලට හිමි වුණේ ප්‍රධාන තැනක්. දි ඒජ් ඔෆ් ෆේත් නමැති කෘතියේ ඉතිහාසඥ විල් ඩියුරන්ට් මෙය සිදු වූ ආකාරය මෙසේ විස්තර කරනවා. “නමස්කාර කළ සාන්තුවරයන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟම ඔවුන්ව හඳුනාගැනීමටත් මතක තබාගැනීමටත් අවශ්‍යතාවක් පැනනැඟිණ. සාන්තුවරයන්ගේ මෙන්ම මරියාගේ චිත්‍රද මහ පරිමානයෙන් නිෂ්පාදනය කිරීමට පටන්ගන්නා ලදි. ක්‍රිස්තුස්ට තිබුණායයි උපකල්පනය කළ හැඩරුවට සමානව නිමවන ලද රූපවලට පමණක් නොව ඔහුගේ කුරුසයට පවා භක්ත්‍යාදරය පිරිනැමීමට පටන්ගැනිණ. ඕනෑම දෙයක් විශ්වාස කිරීමට සූදානම්ව සිටි ජනයා ඒවා අද්භූත බලයක් සහිත සංකේතයන් බව විශ්වාස කළහ. යම් දේවල් සිතින් මවාගැනීමට තිබෙන සහජ මිනිස් නැඹුරුවාව නිසා මෙම ශුද්ධ වස්තු, චිත්‍ර හා පිළිමවලට භක්ත්‍යාදරය පිරිනමන්න ජනයා පෙලඹිණ. ඔවුහු ඒවා ඉදිරියේ වැඳ වැටුණා පමණක් නොව, ඒවා සිපගැනීමට, ඒවා ඉදිරියේ ඉටිපන්දම් පත්තු කිරීමට, සුවඳ දුම් ඔප්පු කිරීමට හා ඒවාට මල් මාලා පැළඳීමටද පටන්ගත්හ. තවද ඒවාට ගුප්ත බලයන් තිබුණායයි විශ්වාස කළ නිසා ඒවා යොදාගෙන ප්‍රාතිහාර්යයන් සිදු කිරීමටද මාන බැලූහ. . . . සභා පියවරුන් හා මන්ත්‍රණ සභා මගින් නිතරම පාහේ පැහැදිලි කිරීමට වෑයම් කළේ පිළිම යනු දෙවිවරුන් නොව දෙවිවරුන්ව සිහි කර දෙන යමක් පමණක් කියායි. නමුත් ජනයා එසේ වෙන් කිරීමක් කිරීමට කැමති වූයේ නැත.”

අද ආගමික අයිකොන් චිත්‍ර භාවිත කරන බොහෝදෙනෙක් තමන් පිළිමවලට ගෞරවය දක්වනවා මිසක ඒවාට නමස්කාර නොකරනවා කියා තර්ක කරන්න පුළුවන්. ආගමික චිත්‍ර භාවිතය දේවප්‍රතිපත්තිවලට එකඟ බවත් දෙවිට නමස්කාර කිරීම සඳහා ඒවා නැතුවම බැරි ආධාරක බවත් ඔවුන් කියා සිටිය හැකියි. සමහරවිට ඔබටත් එලෙස හැඟෙන්න පුළුවන්. නමුත් වැදගත් දේ වන්නේ දෙවිට මේ පිළිබඳව හැඟෙන්නේ කෙසේද යන්නයි. අයිකොන් චිත්‍රයකට ගරුබුහුමන් දැක්වීම එයට නමස්කාර කරනවා හා සමානද? ඇත්තෙන්ම, එවන් ක්‍රියාවන් තුළ සැඟවුණු අන්තරාවන් තිබෙන්න පුළුවන්ද?

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අයිකොන් චිත්‍රයක් යනු කුමක්ද?

අයිකොන් චිත්‍ර රෝමානු කතෝලිකයන්ගේ නමස්කාරයේදී සුලභව දක්නට ලැබෙන පිළිමවලට වඩා වෙනස්. ඒවා ක්‍රිස්තුස්ගේ, මරියාගේ, “සාන්තුවරයන්ගේ,” දේවදූතයන්ගේ මෙන්ම බයිබලයේ හෝ ඕතඩොක්ස් සභා ඉතිහාසයේ විවිධ චරිතයන් හා සිද්ධීන් අලළා කෙරුණු ද්විමාන හැඩයෙන් යුත් පින්තූරු. සාමාන්‍යයෙන් ඒවා පින්තාරු කර තිබෙන්නේ එහා මෙහා ගෙන යා හැකි ලී ලෑලි මතයි.

ඕතඩොක්ස් සභාවට අනුව “සාන්තුවරුන්ගේ අයිකොන් චිත්‍ර සාමාන්‍ය මිනිස් රූප මෙන් නොවේ.” ඒ වගේම අයිකොන් චිත්‍රවල “පර්යාලෝකය තිබෙන්නේ සාමාන්‍ය චිත්‍රවලට වඩා වෙනස් ආකාරයකටයි. එයින් අදහස් වන්නේ පසුපසට යත්ම දර්ශනය වඩ වඩාත් පටු ස්වභාවයක් ගන්නවා වෙනුවට එය වඩ වඩාත් පළල් වන බවක් පෙනෙන්ට තිබෙන බවයි.” එම චිත්‍රවල සාමාන්‍යයෙන් “සෙවණැලි මෙන්ම දවාල හා රාත්‍රිය පෙන්වීමට ක්‍රමයක් භාවිත කර නැත.” අයිකොන් චිත්‍රයක ලී හා සායම් තුළ “දෙවිට වැඩ වසන්න” පුළුවන් බවත් විශ්වාස කෙරෙනවා.

[4වන පිටුවේ පින්තූරය]

රූප භාවිතයට මුල් වී තිබෙන්නේ මිථ්‍යාදෘෂ්ටික වත්පිළිවෙත්

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© AFP/CORBIS