Skip to content

පටුනට යන්න

“ආත්මයෙන්” දෙවිට නමස්කාර කරන්න

“ආත්මයෙන්” දෙවිට නමස්කාර කරන්න

“ආත්මයෙන්” දෙවිට නමස්කාර කරන්න

“නුඹලා දෙවි කාට සම කරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් ඔහුට සමාන කරන්නහුද”? යෙසායා 40:18.

දෙවිට නමස්කාර කිරීමේදී අයිකොන් චිත්‍ර භාවිතය සුදුසු බව ඔබේ අවංක විශ්වාසය විය හැකියි. ඇතැම් විට යාච්ඤාවලට සවන් දෙන අදෘශ්‍යමාන තැනැත්තා අපුද්ගල බලවේගයක් මෙන් පෙනෙන්ට තිබෙන නිසා අයිකොන් චිත්‍ර භාවිතය මගින් ඔහුට වඩාත් ළං විය හැකි බව ඔබට හැඟෙන්න පුළුවන්.

එහෙත් ඇත්ත වශයෙන්ම, දෙවි වෙත එළඹීම සඳහා අපේම ක්‍රමයක් තෝරාගැනීමට අපිට පූර්ණ නිදහසක් තිබෙනවාද? පිළිගත හැකි දේ හා නොහැකි දේ පිළිබඳ ප්‍රමිතිය නිශ්චය කළ යුත්තේ දෙවිම නොවේද? මෙම කාරණය ගැන දෙවි දරන දෘෂ්ටිය කුමක්ද කියා යේසුස් මෙසේ පැහැදිලි කළා. “මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වෙත නොපැමිණෙන්නේය.” (යොහන් [ජොහන්]14:6, න.අ.) a අයිකොන් චිත්‍ර හෝ වෙනත් ශුද්ධ වස්තු නමස්කාරයේදී භාවිත කිරීම තහනම් බව පෙන්වීමට මෙම වචන කිහිපය පමණක්ම සෑහේ.

මින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි පිළිගන්නාවූ විශේෂිත නමස්කාර ක්‍රමයක් තිබෙන බවයි. ඒ කුමක්ද? වෙනත් අවස්ථාවකදී යේසුස් එය පැහැදිලි කළේ මෙලෙසයි. “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියා තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයන්නේය. දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය.”—යොහන් 4:23, 24.

දෙවි “ආත්මයක්” නම් භෞතික රූපයක් මගින් ඔහුව නියෝජනය කළ හැකිද? කිසිසේත් නැහැ. අයිකොන් චිත්‍රයකට කොයිතරම් තේජාන්විත පෙනුමක් තිබුණද එය කිසිවිටෙක දෙවිගේ තේජසට සම කළ නොහැකියි. එමනිසා රූපයක් මගින් දෙවිගේ සැබෑ ස්වභාවය නිරූපණය කිරීමට දරන උත්සාහය සැමවිටම ව්‍යර්ථ වෙනවා. (රෝම 1:22, 23) යමෙකු දෙවි වෙත එළඹීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද අයිකොන් චිත්‍රයක් භාවිත කරනවා නම් ඔහු ‘සැබෑකමෙන් නමස්කාර කරනවා’ කියා පැවසිය හැකිද?

බයිබලයේ පැහැදිලි ඉගැන්වීමක්

නමස්කාරය සඳහා පිළිම සෑදීම දෙවිගේ ව්‍යවස්ථාවේ තහනම් කර තිබුණා. දස පනතේ දෙවෙනි ආඥාව තුළ පවසා ඇත්තේ, “නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත්, පහළ පොළොවෙහිවත්, පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න” කියාය. (නික්මයාම 20:4, 5, න.අ.) දේවානුභාවය ලත් ක්‍රිස්තියානි ලියවිලි තුළද “රූප නමස්කාරය වෙතින් පලා යන්න” කියා අණ කර තිබෙනවා.—1 කොරින්ති 10:14, න.අ.

නමස්කාරයේදී පිළිම භාවිත කිරීම රූප වන්දනාවක් නොවන බව බොහෝදෙනෙක් තරයේ කියා සිටින බව ඇත්තයි. උදාහරණයකට, ඕතඩොක්ස් ක්‍රිස්තියානීන් අයිකොන් චිත්‍ර ඉදිරියේ වැඳ වැටී යාච්ඤා කළත් ඔවුන් ඒවාට නමස්කාර නොකරන බව කියා සිටිනවා. ඕතඩොක්ස් පූජකයෙක් ලීවේ මෙලෙසයි. “ඒවා ශුද්ධ වස්තු වන නිසාත් ඒවා මගින් නිරූපණය කෙරෙන දේවලට භක්ත්‍යාදරය පිරිනමන නිසාත් අපි ඒවාට ගරුබුහුමන් කරනවා.”

කොහොම නමුත්, අයිකොන් චිත්‍රවලට වක්‍රාකාරව හෝ භක්ත්‍යාදරය පිරිනැමීම දෙවි අනුමත කරනවාද යන ප්‍රශ්නය සලකා බැලීම වටී. එවන් ක්‍රියාවකට අනුබල දෙන කිසිම බයිබල් වගන්තියක් සොයාගත නොහැකියි. ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාට භක්ත්‍යාදරය පිරිනැමීමේ මුවාවෙන් වස්සෙකුගේ රූපයක් තනාගත් විට එයට දැඩි අප්‍රසාදය පළ කරමින් යෙහෝවා පැවසුවේ ඔවුන් තමන්ට ද්‍රෝහි වී තිබෙන බවයි.—නික්මයාම 32:4-7.

සැඟවුණු අන්තරාව

නමස්කාරයේදී පිළිම හෝ අයිකොන් චිත්‍ර භාවිත කිරීම අනතුරුදායක ක්‍රියාවක්. එමගින් රූපයෙන් නියෝජනය කෙරෙනවායයි පැවසෙන දෙවිට නමස්කාර කරනවා වෙනුවට එම වස්තුවට නමස්කාර කිරීමට ජනයා පෙලඹෙන්න පුළුවන්. වෙනත් වචනවලින් පැවසුවොත්, අයිකොන් චිත්‍රය වැඳුම් පිදුම් ලබන යමක් බවට පත් වන නිසා එය රූප නමස්කාරයකට පෙරළෙයි.

ඉශ්‍රායෙල්වරුන්ගේ දවස්වලදී භාවිත කළ වස්තු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වුණා. ඔවුන් පාළුකරයේ සැරිසරමින් සිටි විට මෝසෙස් තඹ සර්පයෙකු සෑදුවා. මුලදී, රිටක් පිට තබා තිබූ මෙම සර්පයාගේ රූපය සුව කිරීම සඳහා යොදාගැනුණා. සර්පයෙකු දෂ්ට කිරීමෙන් දඬුවම් ලබා තිබූ අයට තඹ සර්පයා දෙස බැලීමෙන් දෙවිගේ උපකාර ලබාගත හැකි වුණා. නමුත් ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයේ පදිංචි වූ පසු සංකේතයක් ලෙස යොදාගත් මෙම රිට පිළිමයක් බවට පත් වූ බව පෙනෙන්ට තිබෙනවා. තඹ සර්පයාට සුව කිරීමට බලය ඇති බව සිතූ ඉශ්‍රායෙල්වරුන් එයට සුවඳ දුම් ඔප්පු කර එයට නෙහුෂ්තාන් කියා නමක් පවා පටබැන්දා.—ගණන් කථාව 21:8, 9; 2 රාජාවලිය 18:4.

ඉශ්‍රායෙල්වරුන් ගිවිසුම් පෙට්ටියද මන්තර බලය ඇති වස්තුවක් සේ සැලකූ නිසා එමගින් තම සතුරන්ට හානි පැමිණවීමට වෑයම් කළා. එසේ කිරීමෙන් ඉතාමත් භයානක ප්‍රතිඵල අත් වුණා. (1 සාමුවෙල් 4:3, 4; 5:11) ඒ වගේම යෙරෙමියාගේ දවස්වලදී යෙරුසලමේ වැසියන් නමස්කාරයේ යෙදුණු විට වැඩි තැනක් දුන්නේ දෙවිට නොව ඔහුට නමස්කාර කිරීම සඳහා ගොඩනඟා තිබූ දේවමාළිගාවටයි.—යෙරෙමියා 7:12-15.

දෙවිට නමස්කාර කරනවා වෙනුවට යම් වස්තුවකට නමස්කාර කිරීමට තිබෙන නැඹුරුවාව අද පවා ඉතා ප්‍රචලිතව පවතින යමක්. පර්යේෂක විටාලී ඉවැන්යිච් පෙට්‍රෙන්කො පැවසුවේ මෙලෙසයි. “අයිකොන් චිත්‍රය . . . නමස්කාරය ලබන වස්තුවක් බවට පත් වන අතර එය රූප නමස්කාරය දක්වා පෙරළීමේ අවදානමක් තිබේ . . . අයිකොන් චිත්‍ර නමස්කාරය ජනප්‍රිය විශ්වාසයන් මගින් එළි දක්වනු ලැබූ මිථ්‍යාදෘෂ්ටික පිළිවෙතක් බව පිළිගත යුතුයි.” ග්‍රීක ඕතඩොක්ස් සභාව තේරුම්ගැනීම (සිංහලෙන් නොමැත) නම් තම කෘතියේ, ග්‍රීක ඕතඩොක්ස් පූජක තමෙට්‍රියොස් කොන්ස්ටාන්ටීලොස් පවසා සිටියේ මෙලෙසයි. “ක්‍රිස්තියානියෙකු විසින් අයිකොන් චිත්‍රයක් නමස්කාර කරන වස්තුවක් බවට පත් කළ හැකියි.”

අයිකොන් චිත්‍ර භාවිත කරන්නේ නමස්කාරයට ආධාරකයක් වශයෙන් පමණක් බව කියා සිටීම පිළිගත නොහැකි යමක්. ඒ මන්ද? නිදසුනකට මේ ගැන සලකා බලන්න. බොහෝ කාලයකට පෙර විසූ මරියාව හෝ ඇතැම් “සාන්තුවරයන්ව” නියෝජනය කරනවායයි පැවසෙන සමහර අයිකොන් චිත්‍ර වෙනත් ඒවාට වඩා වැඩියෙන් ගෞරවාදරයෙන් සැලකිය යුතු බවත් ඒවා වඩාත් බලවත් බවත් විශ්වාස කෙරෙනවා කියා පිළිගත යුතු නැද්ද? උදාහරණයකට, ග්‍රීසියේ ටීනොස්හි මරියාගේ රූපය නියෝජනය කරනවායයි පවසන එක්තරා අයිකොන් චිත්‍රයක් වෙත පමණක් එක්රොක් වන ශ්‍රද්ධාවත් බැතිමතුන් පිරිසක් සිටිනවා. ග්‍රීසියේ උතුරුකරයේ සූමෙලා පූජකාරාමයේ තිබෙන මරියාගේ අයිකොන් චිත්‍රයටත් ඊට සමාන පක්ෂපාතී බැතිමතුන් පිරිසක් එක්රොක් වෙනවා. කණ්ඩායම් දෙකම විශ්වාස කරන පරිදි තම තමා ගරුබුහුමන් දක්වන අයිකොන් චිත්‍රය අනෙකට වඩා ශ්‍රේෂ්ඨ වන අතර අනෙකට වඩා බලවත් ප්‍රාතිහාර්යයන් සිදු කළ හැකියි. එම චිත්‍ර දෙකෙන්ම නියෝජනය කරන්නේ බොහෝ කලකට පෙර මිය ගිය එකම තැනැත්තිය වුවද, මෙවැනි විශ්වාසයක් පවතියි. අයිකොන් චිත්‍රවලට සැබවින්ම බලය තිබෙන බව විශ්වාස කරන නිසා මිනිසුන් ඒවාට නමස්කාර කරන බවක් ඔවුන්ගේ ක්‍රියාවලින් පෙනී යයි.

මරියාට හෝ “සාන්තුවරයන්ට” යාච්ඤා කිරීම සුදුසුද?

මරියාට හෝ “සාන්තුවරයන්ට” භක්ත්‍යාදරය පිරිනැමීම ගැන කුමක් කිව හැකිද? සාතන් තමාව පරීක්ෂාවට ලක් කළ අවස්ථාවකදී ද්විතීය කථාව 6:13හි සඳහන් දෙය උපුටා දක්වමින් යේසුස් ප්‍රතිචාරය දැක්වූයේ මෙසේයි. ‘නුඹේ දෙවි ස්වාමීන්ට නමස්කාර කරන්න. ඔහුට පමණක් සේවය කරන්න’ කියා ඔහු පැවසුවා. (මතෙව් 4:10, .අ.) පසු කාලෙකදී ඔහු පැවසුවේ, සැබෑ නමස්කාරකයන් “පියාණන්ට” පමණක් නමස්කාර කරන බවයි. (යොහන් 4:23) මෙය තේරුම්ගෙන සිටි දේවදූතයෙක් තමාට නමස්කාර කිරීමට වෑයම් කළ ප්‍රේරිත යොහන්ට තරවටු කරමින් මෙසේ කිව්වා. “මට නමස්කාර නොකරන්න. . . . දෙවිට පමණක් නමස්කාර කරන්න.”—එළිදරව් [එළිදරව්ව] 22:9, න.අ.

දෙවි ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වන මෙන් යේසුස්ගේ මවගෙන් හෝ විශේෂිත “සාන්තුවරයෙකුගෙන්” ඉල්ලා යාච්ඤා කිරීම සුදුසු දෙයක්ද? බයිබලය ඍජුවම පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “දෙවි හා මනුෂ්‍යයන් අතර වනුයේ එකම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස්ය.”—1 තිමෝති 2:5, න.අ.

දෙවි සමඟ වූ ඔබේ සබඳතාව රැකගන්න

නමස්කාරයේදී අයිකොන් චිත්‍ර භාවිතය බයිබලයේ පැහැදිලි ඉගැන්වීම්වලට මුළුමනින්ම පටහැනි වන බැවින් ජනයාට දෙවිගේ අනුමැතිය දිනාගැනීමටවත් ගැලවීම අත් කරගැනීමටවත් උපකාර කිරීමට ඒවාට නොහැකියි. යේසුස් පැවසුවේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔහු පෙන්වා දුන්නේ සදාකාල ජීවනය ලබන්ට නම් එකම සැබෑ දෙවි පිළිබඳව දැනුම ලබාගනිමින් ඔහුගේ අසමසම පෞද්ගලිකත්වය, අරමුණු හා මිනිසා සමඟ ඔහු කටයුතු කරන ආකාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත යුතුයි කියායි. (යොහන් 17:3) දෙවිව දැන හඳුනාගැනීමට හා ඔහුට පිළිගත හැකි ආකාරයකින් නමස්කාර කිරීමට අපට උපකාර කරන්න ඇස් නොපෙනෙන, හැඟීම් දැනීම් නැති හා කතා කළ නොහැකි අයිකොන් චිත්‍රවලට පුළුවන්කමක් නැහැ. (ගීතාවලිය 115:4-8) එම අතිවැදගත් අධ්‍යාපනය ලබාගත හැක්කේ දේවවචනය වන බයිබලය අධ්‍යයනය කිරීමෙන් පමණයි.

අයිකොන් චිත්‍රවලට නමස්කාර කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත් කරගත නොහැකි අතර එය ආත්මික වශයෙන් අපව අනතුරේ හෙළිය හැකි යමක්ද විය හැකියි. ඒ කෙසේද? ප්‍රථමයෙන්, යෙහෝවා සමඟ වූ අපගේ සබඳතාව එමගින් පලුදු විය හැකියි. “පිළිකුල් වූ රූප මගින් ඔහුව උදහස් කළ” ඉශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් දෙවි මෙසේ පුරෝකථනය කළා. “මම ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවාගන්නෙමි.” (ද්විතීය කථාව 32:16, 20, ද නිව් අමෙරිකන් බයිබල්-NAB) දෙවි සමඟ වූ ඔවුන්ගේ සබඳතාව නැවත ගොඩනඟාගැනීමට නම් තම ‘පව්කාර රූප ඉවතලිය’ යුතුව තිබුණා.—යෙසායා 31:6, 7, NAB.

එසේනම්, “මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න” යන ශුද්ධලියවිලිමය උපදෙස් ලැබී තිබීම කොතරම් යෝග්‍ය වේද!—1 යොහන් 5:21.

[පාදසටහන]

a න.අ. යනු ශ්‍රී ලංකා බයිබල් සමාගම විසින් ප්‍රකාශ කරන ලද නව අනුවාදය නම් බයිබල් පරිවර්තනයයි.

[6වන පිටුවේ කොටුව]

“ආත්මයෙන්” නමස්කාර කිරීමට උපකාර ලැබූවන්

ඔලීවේරා ඇල්බේනියාවේ ඕතඩොක්ස් පල්ලියේ භක්තිවන්ත සාමාජිකයෙක්ව සිටියා. එම රටේ 1967දී ආගම් තහනම් කරනු ලැබූ පසුත් ඔලීවේරා රහසේ තම ආගමික කටයුතුවල නියැලුණා. ඇයට ලැබුණු සුළු විශ්‍රාම වැටුපෙන් වැඩි හරියක්ම වැය කළේ රත්තරන් හෝ රිදීවලින් නිම වූ අයිකොන් චිත්‍ර, සුවඳ දුම් හා ඉටිපන්දම් මිල දී ගැනීමටයි. ඇය මේවා නිදන ඇඳේ මෙට්ටය යට සඟවා තැබූ අතර ඒවා සොයාගනීවි හෝ නැති වේවියි යන බිය නිසා ඇය නිදාගත්තේ ඇඳ ළඟ තබා තිබූ පුටුවකයි. එක්දහස් නවසිය අනූගණන්වල මුලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇගේ නිවසට පැමිණියා. ඔවුන්ගේ පණිවිඩය බයිබල් සත්‍යයන් මත පදනම් වී තිබුණු බව ඇය වටහාගත්තා. සැබෑ නමස්කාරය “ආත්මයෙන්” කළ යුතුයි කියා බයිබලයේ පවසන බවත් අයිකොන් චිත්‍ර භාවිතය පිළිබඳව දෙවිට හැඟෙන ආකාරය ගැනත් ඇය ඉගෙනගත්තා. (යොහන් 4:24) ඔලීවේරාව බැහැදැකීමට ගිය සැම දවසකම නිවසේ අයිකොන් චිත්‍ර එන්න එන්න අඩු වන බව ඇය සමඟ බයිබලය පාඩම් කළ සාක්ෂිකාරිය නිරීක්ෂණය කළා. අන්තිමේදී එකක්වත් ඉතුරු වී තිබුණේ නැහැ. ඔලීවේරා බව්තීස්ම වූ පසු ඇය මෙසේ පැවසුවා. “අද මං ගාව තියෙන්නේ කිසිම වැඩකට නැති අයිකොන් චිත්‍ර නෙවෙයි යෙහෝවාගේ ශුද්ධාත්මයයි. අයිකොන් චිත්‍ර පාවිච්චි නොකර ඔහුගේ ආත්මය මට ලබාගන්න පුළුවන් වීම ගැන මම හදපත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා.”

ඇතීනා ජීවත් වෙන්නේ ග්‍රීසියේ ලෙස්බොස් දූපතේ. ඇය කාලයක් පුරා ඕතඩොක්ස් පල්ලියේ ඉතා ක්‍රියාශීලී සාමාජිකාවක්ව සිටියා. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සිටි ඇය අයිකොන් චිත්‍ර භාවිතය ඇතුළු අනිත් ආගමික වත්පිළිවෙත් අකුරටම පිළිපැද්දා. ඇයට උගන්වා තිබූ සෑම දෙයක්ම බයිබලයට එකඟ ඒවා නොවන බව තේරුම්ගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇතීනාට උපකාර කළා. නමස්කාරයේදී අයිකොන් චිත්‍ර හා කුරුස භාවිතයද මෙම ඉගැන්වීම්වලට ඇතුළත් වුණා. මෙම ආගමික වස්තූන්වල මූලාරම්භය පිළිබඳව තමා පෞද්ගලිකව ගවේෂණයක් කළ යුතුයි කියා ඇතීනා පැවසුවා. ආශ්‍රේය ග්‍රන්ථ කිහිපයක්ම ගැඹුරින් අධ්‍යයනය කළ පසු මෙම වස්තූන්වලට තිබෙන්නේ ක්‍රිස්තියානි මූලාරම්භයක් නොවන බව ඇය ඒත්තු ගත්තා. දෙවිට “ආත්මයෙන්” නමස්කාර කිරීමට තිබෙන ආශාව නිසා තමා සතුව තිබූ ඉතා වටිනා අයිකොන් චිත්‍ර ඉවත දැමීමට ඇය පෙලඹුණා. දෙවිට පිළිගත හැකි මෙන්ම ආත්මික අතින් ශුද්ධ ආකාරයකින් නමස්කාර කිරීම සඳහා ඇයට තිබූ දැඩි ආශාව නිසා ඕනෑම පාඩුවක් විඳගැනීමට ඇය සතුටු වුණා.—ක්‍රියා 19:19.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අයිකොන් චිත්‍ර නිකම්ම නිකම් කලා කෘති පමණක්ද?

මෑත කාලවලදී ඕතඩොක්ස් සභාවේ චිත්‍ර කලාවට අයත් අයිකොන් චිත්‍ර එකතු කිරීම ලෝ වටා විනෝදාංශයක් වී තිබෙනවා. අයිකොන් චිත්‍ර එකතු කරන්නන් ඒවා සලකන්නේ පරිශුද්ධ ආගමික වස්තූන් ලෙස නොව බයිසන්තියානු සංස්කෘතියට අයත් කලා කෘතීන් වශයෙන්. අදේවවාදීන්යයි කියාගන්නා අයගේ නිවාසවල හෝ කාර්යාලවල පවා අයිකොන් චිත්‍ර දක්නට ලැබීම අසාමාන්‍ය දෙයක් නොවෙයි.

කෙසේවෙතත්, අයිකොන් චිත්‍ර සෑදීමේ මූලික අරමුණ පිළිබඳව අවංක ක්‍රිස්තියානීන් අමතක කර දමන්නේ නැහැ. එය නමස්කාර කිරීමට සෑදූ වස්තුවක්. අයිකොන් චිත්‍ර අන්‍යයන්ට සතු කරගැනීමට අයිතියක් තිබෙන බව පිළිගන්නා නමුත් ක්‍රිස්තියානීන් කලා කෘතියක් වශයෙන්වත් අයිකොන් චිත්‍රයක් තමන් සතුව තබාගන්නේ නැහැ. ඔවුන් මෙසේ කරන්නේ ද්විතීය කථාව 7:26හි [න.අ.] සඳහන් මෙම ප්‍රතිපත්තියට එකඟවයි. “මෙවැනි පිළිකුල් දේ [නමස්කාරයේදී භාවිත කරන පිළිම] ඔබේ ගෙදරටද නොගත යුතුය. එසේ කළොත්, ඔබත් ඒවා හා සමාන ශාප ලත් දෙයක් වනු ඇත. ඒ පිළිම ශාප ලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කොට හෙළා දැකිය යුතුය.”

[7වන පිටුවේ පින්තූරය]

නමස්කාරයේදී පිළිම භාවිත කිරීම දෙවි ඉවසුවේ නැහැ

[8වන පිටුවේ පින්තූරය]

දෙවිට ආත්මයෙන් නමස්කාර කිරීමට බයිබල් දැනුම අපට උපකාරවත් වෙනවා