Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ තේජස ඔහුගේ සෙනඟ මත බබළයි

යෙහෝවාගේ තේජස ඔහුගේ සෙනඟ මත බබළයි

යෙහෝවාගේ තේජස ඔහුගේ සෙනඟ මත බබළයි

‘යෙහෝවා ඔබේ සදාකාල ආලෝකය වන්නේය.’—යෙසායා 60:20.

1. යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සෙනඟට ආශීර්වාද කරන්නේ කෙසේද?

 “යෙහෝවා තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන්නේය. යටහතුන් ගැළවීමෙන් සරසන්නේය [අලංකාර කරන්නේය, NW].” (ගීතාවලිය 149:4) මෙම වදන් පැවසුවේ පුරාණයේ විසූ ගීතිකාකරුයි. ඔහුගේ මෙම වදන් සත්‍යයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. යෙහෝවාගේ සෙනඟ ඔහුට විශ්වාසවන්තව සිටින විට ඔහු ඔවුන්ව රැකබලා ගන්නවා. සඵල වීමට උපකාර කරනවා. ආරක්ෂා කරනවා. පුරාණ කාලවලදී ඔවුන්ට සිය සතුරන්ව පරදා ජයග්‍රහණය ලබාගැනීමට උපකාර කළේ ඔහුයි. අද ඔහු ඔවුන්ව ආත්මිකව ශක්තිමත්ව තබන අතර යේසුස්ගේ පූජාවේ පදනම මත ඔවුන්ට ගැළවීම ලබා දෙන බවට සහතික කරයි. (රෝම 5:9) ඔහු මෙසේ කරන්නේ ඔහුගේ ඇස් හමුවෙහි ඔවුන් අලංකාර නිසයි.

2. දෙවිගේ සෙනඟ විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත් ඔවුන්ට නිසැකකමක් තිබෙන්නේ කුමන දේවල් ගැනද?

2 ඝන අන්ධකාරයෙන් වැසී තිබෙන ලෝකයක “භක්තිවන්ත ලෙස ජීවත් වන” අය විරුද්ධවාදිකම්වලට මුහුණ පෑම ගැන පුදුම විය යුතු නැහැ. (2 තිමෝති 3:12) කෙසේවෙතත් විරුද්ධවාදිකම් කරන අය දෙස යෙහෝවා බලාගෙනයි සිටින්නේ. ඔහු ඔවුන්ට මෙසේ අනතුරු අඟවනවා. “නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැති වන්නේය. එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශ වන්නෝය.” (යෙසායා 60:12) මේ කාලයේ විවිධාකාරවලින් විරුද්ධවාදිකම් පැමිණෙනවා. සමහර රටවල විරුද්ධවාදීන් වෑයම් කරන්නේ අවංක ක්‍රිස්තියානීන් යෙහෝවාට කරන නමස්කාරයට සීමා පනවන්නයි. නැත්නම් එය සම්පූර්ණයෙන් තහනම් කරන්නයි. වෙනත් රටවල සිටින ආගමික උන්මත්තකයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ශාරීරිකව පහර දී ඔවුන්ගේ දේපොළ ගිනිබත් කරනවා. ඒත් මෙය මතක තබාගන්න. තමන්ගේ කැමැත්ත ඉටු කිරීමට හරස් වෙන ඕනෑම විරුද්ධවාදියෙකුට අවසානයේදී අත් වන ප්‍රතිඵලය යෙහෝවා දැනටමත් තීරණය කර හමාරයි. විරුද්ධවාදීන්ට කවදාවත් ජය ලැබෙන්නේ නැහැ. මිහිපිට සිටින ඇගේ දරුවන්ගෙන් නියෝජනය වන සියොන්ට විරුද්ධව සටන් කරන අයට සාර්ථක වෙන්න බැහැ. අපේ ශ්‍රේෂ්ඨ දෙවි වන යෙහෝවාගෙන් ලැබෙන එම සහතිකය අපට මහත් දිරිගැන්වීමක් නොවේද?

බලාපොරොත්තු වුණාටත් වඩා ආශීර්වාද

3. යෙහෝවාගේ නමස්කාරකයන්ගේ අලංකාරය හා ඵලදායීතාව විචිත්‍රවත් ලෙස විස්තර කරන්නේ කෙසේද?

3 යෙහෝවා, තමන්ගේ සෙනඟ බලාපොරොත්තු වුණාටත් වඩා වැඩියෙන් දැන් පවතින මේ ක්‍රමයේ අන්තිම දවස්වලදී ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා. ඔහු විශේෂයෙන්ම ඔහුගේ නමස්කාර ස්ථානයත් එහි සිටින ඔහුගේ නාමය දරන අයවත් ක්‍රමානුකූලව අලංකාර කර තිබෙනවා. යෙසායාගේ අනාවැකියෙහි සඳහන් වන පරිදි ඔහු සියොන්ට මෙසේ පවසනවා. “මාගේ ශුද්ධස්ථානය අලංකාර කිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව නුඹ ළඟට පැමිණෙනවා ඇත. මමද මාගේ පාද ස්ථානය තේජවත් කරන්නෙමි.” (යෙසායා 60:13) සශ්‍රීක ගස්වැල් පිරි වනාන්තරවලින් වැසී තිබෙන කඳු හරිම දැකුම්කලුයි. යෙහෝවාගේ නමස්කාරකයන්ගේ ඵලදායීතාව නොහොත් වර්ධනය ඉතාමත් සශ්‍රීකව වැඩුණු ගස්වලින් උචිත ලෙස සංකේතවත් කරයි.—යෙසායා 41:19; 55:13.

4. “ශුද්ධස්ථානය” සහ “[යෙහෝවාගේ] පාද ස්ථානය” කියන්නේ කුමකටද? මේවා අලංකාරවත් කර තිබෙන්නේ කෙසේද?

4 යෙසායා 60:13හි සඳහන් “ශුද්ධස්ථානය” සහ “[යෙහෝවාගේ] පාද ස්ථානය” කියන්නේ කුමකටද? මෙම වදන්වලින් යොමු දැක්වෙන්නේ යෙහෝවාගේ මහත් ආත්මික දේවමාළිගාවේ භූමික මළුවලටයි. ආත්මික දේවමාළිගාව කියන්නේ යෙහෝවාට නමස්කාර කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් පිවිසීමට තිබෙන විධිවිධානයයි. (හෙබ්‍රෙව් 8:1-5; 9:2-10, 23) ආත්මික දේවමාළිගාවේ සිට නමස්කාර කිරීම සඳහා සියලු ජාතීන්ගෙන් සමන්විත ජන සමූහයක් ගෙන ඒමෙන් එය තේජවත් තත්වයකට පත් කිරීමට වූ තමන්ගේ අරමුණ ගැන යෙහෝවා එහි සඳහන් කර තිබෙනවා. (හග්ගයි 2:7) සියලු ජාතීන්ට අයත් ජනකායක් ඉතා උස් කන්දක් බඳු යෙහෝවාගේ නමස්කාරය කරා පැමිණෙන ආකාරය මීට කලින් යෙසායා දැක තිබුණා. (යෙසායා 2:1-4) ඉන් වසර සියගණනකට පසු ප්‍රේරිත යොහන් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්” දර්ශනයක් මගින් දැක්කා. ඔවුන් සිටගෙන සිටියේ “දෙවිගේ සිංහාසනය ඉදිරියෙහි ඔහුගේ මාළිගාවේ රෑ දාවල් ඔහුට සේවය [කරමිනුයි].” (එළිදරව් 7:9, 15) මේ අනාවැකි අපේ කාලයේදී ඉටු වී තිබෙන නිසා යෙහෝවා ඔහුගේ ගෘහය අලංකාරවත් කර තිබෙන ආකාරය අපේම ඇස්වලින් දැකගන්න පුළුවන්.

5. සියොන්ගේ දරුවන් වර්ධනය ලැබුවේ කුමන ආකාරයේ මහත් වෙනස්කම් අද්දකිමින්ද?

5 මේ සෑම දෙයකින්ම සියොන් ලබා තිබෙන්නේ මොනතරම් මවිතකර වර්ධනයක්ද! යෙහෝවා මෙසේ පවසයි. “කිසිවෙක් නුඹ ළඟින් නොයන ලෙස නුඹ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම නුඹ සදාකාල උතුම්කමක්ද [ආඩම්බර වීමට හේතුවක්ද, NW] පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි.” (යෙසායා 60:15) පළමු ලෝක මහා යුද්ධයේ අවසාන භාගයේදී “දෙවිගේ ඉශ්‍රායෙල්” අසරණ වූ තත්වයකයි සිටියේ. (ගලාති 6:16) ඇයට හැඟුණේ තමන්ව සම්පූර්ණයෙන්ම ‘අත්හැර’ තිබූ බවයි. මෙයට හේතුව එවකට පොළොව මත සිටින ඇගේ දරුවන් ඔවුන් සඳහා වූ දෙවිගේ කැමැත්ත පැහැදිලිව අවබෝධ කරගෙන නොතිබීමයි. පසුව 1919දී යෙහෝවා ඔහුගේ ආලේප ලත් සේවකයන්ව යළි පණගැන්වූ අතර, එදා සිට මේ දක්වා ඔහු මවිතකර ලෙස ආත්මික සමෘද්ධියක් ඔවුන්ට ලබා දීමෙන් ආශීර්වාද කර තිබෙනවා. ඒ වගේම මේ වගන්තියේ තිබෙන පොරොන්දුව ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් නොවේද? යෙහෝවා සියොන්ව සලකන්නේ “ආඩම්බර වීමට හේතුවක්” ලෙසයි. ඔව්, යෙහෝවා සියොන් ගැන මෙන්ම සියොන්ගේ දරුවන් ගැනද ආඩම්බර වෙයි. ඇය “ප්‍රීතියක්,” ඔව්, උතුරා යන ප්‍රීතියට හේතුවක් වනු ඇති. මේ තත්වය හුදෙක් කෙටි කාලයකට සීමා වූ දෙයක් නොවෙයි. ඇගේ භූමික දරුවන්ගෙන් නියෝජනය වන සියොන් සිටින මේ වරප්‍රසාද ලත් තත්වය “පරම්පරාවෙන් පරම්පරාවට” පවතියි. එය කවදාවත් නැති වී යන්නේ නැහැ.

6. සැබෑ ක්‍රිස්තියානීන් ජාතීන්ගේ සම්පත් යොදාගන්නේ කෙසේද?

6 දෙවි දෙන තවත් පොරොන්දුවකට දැන් සවන් දෙන්න. සියොන්ව අමතමින් යෙහෝවා මෙසේ පවසයි. “නුඹ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය. රජුන්ගේ තන උරන්නෙහිය. යෙහෝවා වන මම නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයා යාකොබ්ගේ බලවන්තයා බවත් නුඹ දැනගන්නවා ඇත.” (යෙසායා 60:16) සියොන් “ජාතීන්ගේ කිරි” උරා බොන්නේ කෙසේද? ඒ වගේම “රජුන්ගේ තන” උරන්නේ කෙසේද? මෙය සිදු වන්නේ ආලේප ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් වන ‘වෙනත් බැටළුවන්’ නිර්මල නමස්කාරයේ අභිවෘද්ධිය සඳහා ජාතීන්ගෙන් ගත් වටිනා සම්පත් යොදාගැනීමෙනුයි. (යොහන් 10:16) සිය කැමැත්තෙන්ම මූල්‍යමය පරිත්‍යාග කිරීම නිසා ජාත්‍යන්තරව සිදු කරනු ලබන දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය නොනැවතී ඉදිරියටම ඇදී යයි. නවීන තාක්ෂණය නැණවත් ලෙස යොදාගැනීම නිසා බයිබල් හා බයිබලය මත පදනම් ප්‍රකාශන භාෂා සියගණනකින් ප්‍රකාශයට පත් කරන්න හැකි වී තිබෙනවා. ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් අතිවිශාල ජන පිරිසකට බයිබල් සත්‍යය දැනගන්න අද පුළුවන්. ආත්මික වහල්කමින් සිය ආලේප ලත් සේවකයන්ව මුදවාගත් යෙහෝවා සැබවින්ම ගැළවුම්කරු බව බොහෝ ජාතීන්ට අයත් වැසියන් ඉගෙනගනිමින් සිටිනවා.

සංවිධානාත්මක කටයුතුවල ප්‍රගතිය

7. සියොන්ගේ දරුවන් අද්දැක තිබෙන්නේ කිනම් කැපීපෙනෙන ප්‍රගතියක්ද?

7 යෙහෝවා තවත් ආකාරයකින් ඔහුගේ සෙනඟව අලංකාර කර තිබෙනවා. සංවිධානාත්මක කටයුතුවල වර්ධනයක් ඇති කිරීමෙන් ඔහු ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා. යෙසායා 60:17හි අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි. යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.” පිත්තල වෙනුවට රන් යොදාගැනීමෙන් දියුණුවක් අඟවයි. එම වගන්තියේ සඳහන් අනිකුත් ද්‍රව්‍යවලින්ද එම දෙයම අඟවනවා. මීට එකඟව අන්තිම දවස්වලදී දෙවිගේ ඉශ්‍රායෙල් සංවිධානාත්මක කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් ලබා තිබෙනවා. මෙයට උදාහරණ කිහිපයක් සලකා බලමු.

8-10. වර්ෂ 1919 පටන් සංවිධානාත්මක කටයුතුවල ලබා තිබෙන ප්‍රගතිය විස්තර කරන්න.

8 වර්ෂ 1919ට කලින් දෙවිගේ සෙනඟගේ සභාවන් පරිපාලනය කළේ සභා සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඡන්දයෙන් තෝරාගත් වැඩිමහල්ලන් සහ උපස්ථායකයන් විසිනුයි. ඒ අවුරුද්දේ පටන් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සෑම සභාවකම ක්ෂේත්‍ර සේවා කටයුතු අධීක්ෂණය කිරීමට සේවා අධ්‍යක්ෂකයෙකුව පත් කළා. (මතෙව් 24:45-47) කෙසේවෙතත්, ඡන්දයෙන් පත් කළ සමහර වැඩිමහල්ලන් එවැන්ජලිස්ත සේවයට ඔවුන්ගේ පූර්ණ සහය දුන්නේ නැති නිසා එම විධිවිධානය සභා බොහොමයක ඵලදායක වුණේ නැහැ. මේ නිසා 1932 සිට වැඩිමහල්ලන් සහ උපස්ථායකයන් ඡන්දයෙන් පත් නොකරන ලෙස සභාවන්ට උපදෙස් දෙනු ලැබුවා. ඒ වෙනුවට සභාවන් ඡන්දයෙන් පත් කරගත යුතුව තිබුණේ සේවා අධ්‍යක්ෂක සමඟ වැඩ කරන සේවා කමිටුවක සේවය කරන පුරුෂයන්වයි. එය හරියට “ලී” වෙනුවට “පිත්තල” ගෙන ඒම හා සමාන වුණා. විශාල වර්ධනයක් එයින් අදහස් කරනවා.

9 වර්ෂ 1938දී දියුණු කරන ලද විධිවිධානයක් ලොව පුරා පිහිටි සභාවන් සම්මුතියක් මගින් පිළිගත්තා. මෙය ශුද්ධ ලියවිලි සපයන මඟ පෙන්වීම්වලට පෙරට වඩා එකඟ වුණා. සභාවේ පරිපාලනය සභාවේ සේවකයෙකුට සහ වෙනත් සේවකයන් පිරිසකට භාර දෙනු ලැබුවා. සියල්ලන්වම පත් කරනු ලැබුවේ විශ්වාස වූ නුවණ ඇති දාසයාගේ අධීක්ෂණය යටතේයි. ඡන්ද ක්‍රමය අවසන්! මෙසේ සභාව තුළ පත් කිරීම් දිව්‍යාණ්ඩු ක්‍රමයට සිදු කරනු ලැබුවා. එය හරියට “ගල්” වෙනුවට “යකඩ” හෝ “පිත්තල” වෙනුවට “රත්රන්” ගෙන ඒම හා සමාන වුණා.

10 එවක් පටන් අඛණ්ඩව ප්‍රගතියක් ලබා තිබෙනවා. නිදසුනකට, 1972දී සභාවක් අධීක්ෂණය කිරීම සඳහා දිව්‍යාණ්ඩු ක්‍රමයට පත් කරනු ලබන සහයෝගයෙන් වැඩ කරන වැඩිමහල් මණ්ඩලයක් පත් කළ යුතු බව තේරුම්ගත්තා. මේ විධිවිධානය නිසා කිසිම තනි වැඩිමහල්ලෙකුට අනිත් වැඩිමහල්ලන් කෙරෙහි සිය බලය යෙදවිය නොහැකි වුණා. මේ ක්‍රමය මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව තුළ ක්‍රියාත්මක වූ විධිවිධානයට බෙහෙවින් සමාන වුණා. එපමණක්ද නොව, මීට අවුරුදු දෙකකට කලින් තවත් පියවරක් ඉදිරියට තැබුවා. සංවිධානයේ ඇතැම් නීතික සංස්ථාවල අධ්‍යක්ෂකවරුන් වශයෙන් පෙනී සිටින අය සම්බන්ධයෙන් යම් වෙනසක් කරනු ලැබුවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එදිනෙදා මතු වන නීතිමය කාරණාවලට අවධානය දීමෙන් නිදහස් වී, දෙවිගේ ජනයාගේ ආත්මික අවශ්‍යතාවලට වඩාත් පූර්ණ අවධානයක් දීමට පාලක මණ්ඩලයට හැකියාව ලැබී තිබෙනවා.

11. යෙහෝවාගේ සෙනඟ අතර සිදු වී තිබෙන සංවිධානාත්මක කටයුතුවල වෙනස්කම් පිටුපස සිටින්නේ කවුද? මේ වෙනස්කම්වල ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

11 මෙවන් ප්‍රගතිශීලී වෙනස්කම් පිටුපස සිටින්නේ කවුද? ඒ යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙකු නොවෙයි. “මම . . . රත්රන් ගෙනෙන්නෙමි” කියා පවසන්නේ ඔහුයි. “මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි” කියා තවදුරටත් පවසන්නේ ඔහුයි. ඔව්, තමන්ගේ සෙනඟව අධීක්ෂණය කරන්නේ යෙහෝවායි. යෙහෝවා ඔහුගේ සෙනඟව අලංකාර කරන තවත් ආකාරයක් වන්නේ පුරෝකථනය කරන ලද සංවිධානාත්මක කටයුතුවල ප්‍රගතියයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ ආකාරවලින් ආශීර්වාද ලබා තිබෙනවා. යෙසායා 60:18හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය. නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.” මෙම වදන් කොතරම් අලංකාරද! නමුත් මේවා ඉටු වී තිබෙන්නේ කෙසේද?

12. සමාදානය සැබෑ ක්‍රිස්තියානීන් අතර ප්‍රමුඛ දෙයක් වී තිබෙන්නේ කෙසේද?

12 සැබෑ ක්‍රිස්තියානීන් උපදෙස් හා මඟ පෙන්වීම ලබාගැනීම සඳහා මහත් ඕනෑකමින් බලන්නේ යෙහෝවා දෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙස යෙසායා පුරෝකථනය කළ “නුඹේ සියලුම දරුවෝ යෙහෝවා විසින් උගන්වනු ලබන්නෝ වෙති. නුඹේ දරුවන්ගේ සමාදානය මහත් වන්නේය.” යන මෙම වදන්වල සත්‍යතාව ඔවුන් අද්දකියි. (යෙසායා 54:13) ඒ වගේම යෙහෝවාගේ ආත්මය ඔහුගේ සෙනඟ මත ක්‍රියා කරන අතර, එම ආත්මයේ එක් ඵලයක් වන්නේ සමාදානයයි. (ගලාති 5:22) යෙහෝවාගේ සෙනඟ අතර තිබෙන සමාදානය නිසා ඔවුන් මෙම දරුණු ලොව තුළ නැවුම්බවක් ගෙන දෙන ක්ෂේම භූමියක් හා සමානයි. සැබෑ ක්‍රිස්තියානීන් එකිනෙකාට පෙන්වන ප්‍රේමය මත පදනම් වී තිබෙන අදදින ඔවුන් භුක්ති විඳින සමාදානය නව ලොවෙහි ජීවිතය සුළු වශයෙන් රස බැලීමක් පමණයි. (යොහන් 15:17; කොලොස්සි 3:14) එම සමාදානය භුක්ති විඳීමටත් එයට දායක වීමටත් ලැබීම ගැන අපි සියලුදෙනාම ඉමහත් සේ ප්‍රීති වෙනවාට සැකයක් නැහැ. අපේ දෙවිව පැසසුමට හා ගෞරවයට පත් කරන මෙම සමාදානය අප භුක්ති විඳින ආත්මික පාරාදීසයේ මූලික අංගයක් වෙයි.—යෙසායා 11:9.

යෙහෝවා සපයන ආලෝකය නොනවත්වා බැබළෙයි

13. යෙහෝවාගේ ආලෝකය ඔහුගේ සෙනඟ මත බැබළීම කවදාවත් නතර වෙන්නේ නැහැ කියා අපට නිසැක විය හැක්කේ මන්ද?

13 යෙහෝවාගේ ආලෝකය ඔහුගේ සෙනඟ මත දිගටම බැබළෙයිද? ඔව්! යෙසායා 60:19, 20හි අපට මෙසේ කියවීමට තිබෙනවා. ‘ඉර තවත් නුඹේ දවාලේ ආලෝකය නොවන්නේය. දීප්තිය පිණිස සඳද නුඹට ආලෝකය නොදෙන්නේය. නුමුත් යෙහෝවා නුඹට සදාකාල ආලෝකයක්ද නුඹේ දෙවි නුඹේ තේජසද වන්නේය. නුඹේ ඉර තවත් බැස යන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද යෙහෝවා නුඹේ සදාකාල ආලෝකය වන්නේය. නුඹේ වැලපීමේ දවස් කෙළවර වන්නේය.’ ආත්මික වහල්කමේ සිටිමින් කළ ‘වැලපීම’ 1919දී කෙළවර වූ පසු යෙහෝවාගේ ආලෝකය ඔහුගේ සෙනඟ මත බැබළෙන්ට පටන්ගත්තා. එතැන් සිට අවුරුදු 80කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙන අතර, අදත් ඔවුන් මත යෙහෝවාගේ ආලෝකය බබළයි. මෙසේ ඔවුන් යෙහෝවාගේ අනුග්‍රහය ඇතුව සිටියි. මේ ආලෝකය කවදාවත් නිවී යන්නේ නැහැ. ඔහුගේ සැබෑ නමස්කාරකයන් සම්බන්ධයෙන් බලන කල අපේ දෙවි ඉර මෙන් “බැස යන්නේවත්,” සඳ මෙන් “පහව යන්නේවත්” නැහැ. ඔහු සදාකාලයටම ඔවුන් මත ආලෝකය වගුරුවයි. අන්ධකාරයෙන් වෙළී තිබෙන මේ ලෝකයේ අන්තිම දවස්වල ජීවත් වන අපට මෙය මොනතරම් දිරිගන්වන පොරොන්දුවක්ද!

14, 15. (අ) දෙවිගේ සෙනඟට අයත් සියලුදෙනාම “ධර්මිෂ්ඨ” වන්නේ කිනම් ආකාරයෙන්ද? (ආ) යෙසායා 60:21 සලකා බලන කල, වෙනත් බැටළුවන් මහත් ආශාවෙන් බලා සිටින්නේ කිනම් වැදගත් ඉටුවීමක් දෙසද?

14 සියොන්හි භූමික නියෝජිතයන් වන දෙවිගේ ඉශ්‍රායෙල් සම්බන්ධයෙන් යෙහෝවා පවසන තවත් පොරොන්දුවකට සවන් දෙන්න. මේ ගැන යෙසායා 60:21හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවූ පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්ති විඳින්නෝය [දේශය හිමි කරගන්නෝය, NW].” වර්ෂ 1919දී ආලේප ලත් ක්‍රිස්තියානීන්ව යළි පණගැන්වූ විට, ඔවුන් විශේෂ කණ්ඩායමක් බවට පත් වුණා. අතිශය පාපතර ලෝකයක ඔවුන්ව “ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබ,” [NW] තිබෙනවා. මෙයට පදනම වන්නේ ක්‍රිස්තුස් යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඔවුන් තබා තිබෙන නොසැලෙන ඇදහිල්ලයි. (රෝම 3:24; 5:1) පුරාණ ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියේ වහල්කමින් නිදහස් වූවාක් මෙන් ඔවුන් ‘දේශයක්’ හිමි කරගෙන තිබෙනවා. මෙය ආත්මික දේශයක් නොහොත් ක්‍රියාකාරකම්වලින් පිරි ක්ෂේත්‍රයක්. ඔවුන් ආත්මික පාරාදීසයක් භුක්ති විඳින්නේ මේ දේශය නොහොත් ක්ෂේත්‍රය තුළයි. (යෙසායා 66:8) එම දේශයේ තිබෙන පාරාදීසයක් බඳු සුන්දරත්වය කිසිදාක පහව යන්නේ නැහැ. එයට හේතුව පුරාණ ඉශ්‍රායෙල් මෙන් නොව දෙවිගේ ඉශ්‍රායෙල් නොඇදහිලිකාර තත්වයකට ඇද නොවැටීමයි. ඔවුන්ගේ ඇදහිල්ල, විඳදරාගැනීම හා ජ්වලිතය නිසා දෙවිගේ නාමයට ගෙනෙන ගෞරවය කවදාවත් පහ වී යන්නේ නැහැ.

15 එම ආත්මික ජාතියේ සියලුම සාමාජිකයන් අලුත් ගිවිසුමකට සම්බන්ධ වී සිටිනවා. ඔවුන් සියලුදෙනාගේම හදවත්වල යෙහෝවාගේ ව්‍යවස්ථාව ලියා තිබෙන අතර, ඔහු යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ පදනම මත ඔවුන්ගේ පාපවලට සමාව දී තිබෙනවා. (යෙරෙමියා 31:31-34) ඔහු ‘දරුවන්’ මෙන් සලකමින් ඔවුන් ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරයි. ඔහු ඔවුන් සමඟ කටයුතු කරන්නේ පරිපූර්ණ අය සමඟ කටයුතු කරනවා වගෙයි. (රෝම 8:15, 16, 29, 30) වෙනත් බැටළුවන් ලෙස හඳුන්වනු ලබන ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන්ගේ පාපද යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත කමා කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඇදහිල්ල නිසා ආබ්‍රහම් මෙන් ඔවුන්වද දෙවිගේ මිත්‍රයන් වශයෙන් ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් “තමුන්ගේ සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා සුදු [කරගෙන]” තිබෙනවා. වෙනත් බැටළුවන්ගෙන් යුත් මේ සමීප ආශ්‍රිතයන් තවත් විශේෂ ආශීර්වාදයක් දෙස මහත් ආශාවෙන් බලා සිටිනවා. ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වූ පසු හෝ නැවත නැඟිටුවනු ලැබීමෙන් පසු ඔවුන් යෙසායා 60:21හි සඳහන් වදන්වල ඉටුවීම වචනයේ පරිසමාප්තියෙන්ම අද්දකිනවා. ඒ කාලයේදී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙයි. (එළිදරව් 7:14; රෝම 4:1-3) ඒ කාලයේදී “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11, 29.

වර්ධනය අඛණ්ඩව සිදු වෙයි

16. යෙහෝවා කර තිබෙන මවිතකර පොරොන්දුව කුමක්ද? එය ඉටු වී තිබෙන්නේ කෙසේද?

16 යෙසායා 60වන පරිච්ඡේදයේ අවසාන පදයෙහි යෙහෝවා එම පරිච්ඡේදයේ දෙන අවසාන පොරොන්දුව ගැන අපට කියවීමට තිබෙනවා. යෙහෝවා මෙසේ සියොන්ට පවසනවා. “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. යෙහෝවා වන මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.” (යෙසායා 60:22) අපේ කාලයේදී යෙහෝවා ඔහුගේ වචනය ඒ විදිහටම ඉටු කර තිබෙනවා. ආලේප ලත් ක්‍රිස්තියානීන්ව 1919දී යළි පණගන්වනු ලැබූ විට ඔවුන් ගණනින් ස්වල්පදෙනෙක්, ඇත්තෙන්ම ‘කුඩා තැනැත්තෙක්’ වුණා. ආත්මික ඉශ්‍රායෙල්ට අයත් තවත් අයව ඔවුන්ට එකතු කිරීමෙන් ඔවුන්ගේ ගණන වැඩි වුණා. පසුව නිමක් නොමැති ජල දහරාවක් මෙන් වෙනත් බැටළුවන් ඔවුන් වෙත එක් රොක් වෙන්න පටන්ගත්තා. දෙවිගේ සෙනඟ භුක්ති විඳින සමාදානයට, එනම් ඔවුන්ගේ ‘දේශයේ’ පවතින ආත්මික පාරාදීසය වෙත අවංක සිත් ඇති අය කොතරම් විශාල පිරිසක් ආකර්ෂණය වී ඇද්ද කියනවා නම්, “සුළු තැනැත්තා” ඇත්තටම “බලවත් ජාතියක්” බවට පත් වී තිබෙනවා. දැනට දෙවිගේ ඉශ්‍රායෙල් සහ කැප වූ ‘විදේශිකයන්’ මිලියන හයකට වැඩි පිරිසකගෙන් සමන්විත මෙම “ජාතිය” ලෝකයේ ස්වාධීන රාජ්‍යයන් බොහොමයකට වඩා ගණනින් විශාලයි. (යෙසායා 60:10) එහි පුරවැසියන් සියලුදෙනාම යෙහෝවාගේ ආලෝකය විහිදුවීමේ කාර්යයට සහභාගි වන අතර, ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සියල්ලන්වම යෙහෝවා සලකන්නේ අලංකාර යමක් හැටියටයි.

17. යෙසායා 60වන පරිච්ඡේදය ගැන අප කළ සාකච්ඡාව ඔබට බලපෑවේ කෙසේද?

17 ඇත්තෙන්ම, යෙසායා 60වන පරිච්ඡේදයේ සඳහන් කැපීපෙනෙන කරුණු අපගේ ඇදහිල්ල ශක්තිමත් කරයි. තම සෙනඟ ආත්මික වහල්භාවයට පත් වන බවත්, ඉන්පසු ඔවුන්ව යළි පිහිටුවනු ලබන බවත් යෙහෝවා කල්තියා දැන සිටි බව දැනගන්න ලැබීම අපට සැනසිල්ල ගෙන දෙන්නක්. අපේ කාලයේදී සැබෑ නමස්කාරකයන්ගේ ගණන විශාල ලෙස වැඩි වෙන බව යෙහෝවා කල්තියා දැන සිටීම අපව මවිතයට පත් කරයි. එපමණක්ද නොව, යෙහෝවා අපිව කවදාවත් අත්හරින්නේ නැති බව සිතේ තබාගැනීමෙන් අපට ලැබෙන්නේ මොනතරම් සැනසිල්ලක්ද! “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක්” තිබෙන අයව උණුසුම් ලෙස පිළිගැනීමට “නගරයේ” දොරටු සැමවිටම විවෘතව තිබෙන බවට දී තිබෙන සහතිකය මොනතරම් ප්‍රේමනීයද! (ක්‍රියා 13:48, NW) යෙහෝවා දිගටම ඔහුගේ සෙනඟ මත ආලෝකය බබළන්න සලස්වයි. සියොන්ගේ දරුවන් ඔවුන්ගේ ආලෝකය වඩ වඩා දීප්තිමත්ව බැබළෙන්න සලස්වද්දී ඇය සැමදාම ආඩම්බර වීමට හේතුවක් වෙයි. (මතෙව් 5:16) වෙන කවරදාකටත් වඩා වැඩියෙන් දෙවිගේ ඉශ්‍රායෙල්ට සමීපව සිටීමටත් යෙහෝවාගේ ආලෝකය විහිදුවාලීමට අපට ලැබී තිබෙන වරප්‍රසාදය ආදරයෙන් රැකගැනීමටත් වූ අපේ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් කරගනිමු.

ඔබට පැහැදිලි කළ හැකිද?

• විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට අපට නිසැක විය හැක්කේ කුමක් සම්බන්ධයෙන්ද?

• සියොන්ගේ දරුවන් ‘ජාතීන්ගේ කිරි උරා බී’ තිබෙන්නේ කෙසේද?

• යෙහෝවා ‘ලී වෙනුවට පිත්තල ගෙනැවිත්’ තිබෙන්නේ කිනම් ආකාරවලින්ද?

යෙසායා 60:17, 21හි කැපීපෙනෙන්න සලස්වා තිබෙන්නේ කිනම් ගුණාංග දෙකද?

• “කුඩා තැනැත්තා . . . බලවත් ජාතියක්” වී තිබෙන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෙසායාගේ අනාවැකිය සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන

මේ ලිපිවල තොරතුරු වසර 2001/02 කාලයේදී පැවැත්වූ “දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළුවේ එක් කතාවකදී ඉදිරිපත් කළා. සමුළු බොහොමයක කථිකයන් එම කතාව අවසානයේදී යෙසායාගේ අනාවැකියසියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන නමැති මාතෘකාවෙන් යුත් අලුත් ප්‍රකාශනයේ දෙවන වෙළුම මුදාහැරියා. යෙසායාගේ අනාවැකියසියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන නමැති පොතේ පළමුවන වෙළුම ඊට කලින් අවුරුද්දේදී මුදාහැර තිබුණා. මේ අලුත් ප්‍රකාශනය මුදාහැරීමත් සමඟ යෙසායා පොතේ සෑම වගන්තියක්ම වාගේ සාකච්ඡාවට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන අලුත් තොරතුරු සොයාගැනීමේ ප්‍රස්තාව අපට උදා වී තිබෙනවා. අප තුළ ක්‍රියාශීලී ඇදහිල්ලක් ඇති කරවන අනාවැකි ඇතුළත් යෙසායා පොත පිළිබඳව අපේ අවබෝධය මෙන්ම ඒ සඳහා තිබෙන අපේ අගය තවත් වැඩි කරගැනීමට මේ වෙළුම් දෙක කදිම උපකාරයක් බව ඔප්පු වෙමින් පවතී.

[15වන පිටුවේ පින්තූර]

දරුණු විරුද්ධවාදිකම් හමුවෙහි ‘යෙහෝවා ගැළවීම සපයමින් ඔහුගේ සෙනඟව අලංකාර කරයි’

[16වන පිටුවේ පින්තූර]

දෙවිගේ සෙනඟ නිර්මල නමස්කාරයේ අභිවෘද්ධිය සඳහා ජාතීන්ගෙන් ගත් වටිනා සම්පත් යොදාගනියි

[17වන පිටුවේ පින්තූරය]

සංවිධානාත්මක කටයුතුවල ප්‍රගතියක් හා සමාදානය ලබා දීමෙන් යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කර තිබෙනවා